Wednesday, November 21, 2018
අයිඑම්එෆ් ණයද? චීන ණයද?
පසුගිය ඔක්තෝබර් 26 සිට ඊයේ දිනය දක්වා කාලය තුළ ඩොලරයක රුපියල් අගය 4.32කින් පමණ ඉහළ ගිහින් තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යන්න පටන් ගත්තේ ඔක්තෝබර් 26 සිට නෙමෙයි. දේශපාලන අර්බුදය ආරම්භ වන විටත් ඩොලරයක මිල වේගයෙන් ඉහළ යන්න පටන් අරගෙනයි තිබුණේ.
මම හිතන විදිහට පසුගිය කාලයේ ඩොලරයක මිල ඉහළ යාම මහ බැංකුව විසින් සැලසුම්සහගතව කරපු දෙයක්. ඒ වගේම නිවැරදි දෙයක්.
මෙහි පසුගිය කාලයේ කියා කියන්නේ ඔක්තෝබර් 26 සිට නෙමෙයි. ඊට මාස කිහිපයකටම පෙර සිට. ඒ වගේම, මම හිතන විදිහට ඩොලරයේ මිල පසුගිය කාලයේ ඉහළ ගියේත්, තවමත් ඉහළ යන්නේත් මහ බැංකුවේ පාලනය යටතේ. අනපේක්ෂිත විදිහට එක වරම විශාල ලෙස විණිමය අනුපාතිකය කඩා වැටෙන්න පෙර මේ විදිහට පාලනයක් සහිතව ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ හැරීම හොඳයි.
ඔක්තෝබර් 26 වන විටත් ලංකාව හිටියේ අයිඑම්එෆ් වැඩසටහනක් ක්‍රියාත්මක කරමිනුයි. කලින් කලට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දීමත්, අයිඑම්එෆ් එකේ උදවුවෙන් තාවකාලිකව ප්‍රශ්නයෙන් ගොඩයාමත් ලංකාවට සාමාන්‍ය දෙයක්.
අයිඑම්එෆ් එක විසින් කරන්නේ රටේ මහ බැංකුවට ණය දීමයි. මේ ණය ඉතා සහනදායී පොලියකට දෙන ඩොලර් ණය. හරියටම කියනවානම් එස්ඩීආර් කියන අයිඑම්එෆ් එකේ ජාත්‍යන්තර මුදල් ඒකක වලින් දෙන ණය. එස්ඩීආර් ඩොලර් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකට පහසුවෙන් මාරු කළ හැකියි.
ණය ආපසු ගැනීමේ අවදානම වැඩි වන තරමට පොලී අනුපාතික ඉහළ යන බව අප දන්නා කරුණක්. රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ඉන්න වෙලාවක ණය ආපසු නොගෙවා සිටීමේ අවදානම ඉතා විශාලයි. ඒ නිසා, වෙළඳපොළෙන් වානිජ ණය ගන්නවානම් එසේ ගන්න වෙන්නේ ඉතා ඉහළ පොලියකටයි. මේ පොලී ගෙවන්න යාමේදී ගෙවුම් ශේෂ අර්බුදය තවත් උග්‍ර වී ආර්ථිකය බිඳ වැටෙන්න පුළුවන්.
අයිඑම්එෆ් එක කියන්නේ සාමාජික රටවල කොටස් මුදල් යෙදවීමෙන් පිහිටුවා තිබෙන ජාත්‍යන්තර ආයතනයක්. හරියට සමුපකාර බැංකුවක් වගේ එකක්. කොටස් ප්‍රමාණය ගොඩක් වැඩි නැතත් ලංකාවත් අයිඑම්එෆ් එකේ අයිතිකාරයෙක්. ලොකුම අයිතිකාරයා ඇමරිකාව.
තමන්ගේ සාමාජික රටක් ගෙවුම් ශේෂ අර්බුදයක හිරවෙලා ඉන්න වෙලාවට අයිඑම්එෆ් එක ණය දෙනවා. එසේ ණය දෙන්නේ අදාළ සාමාජික රට අර්බුදයෙන් ගොඩ දැමීමේ අරමුණින් මිසක් ලාභ ලැබීමේ අරමුණින් නෙමෙයි. එසේ වුවත්, මේ ආයතනය නඩත්තු කිරීම සඳහා කිසියම් ආදායමක් අවශ්‍ය වන නිසාත්, ණය ආපසු නොලැබීමේ අවදානමක් තිබෙන නිසාත් කිසියම් පොලියක් අය කළ යුතුයි.
ගෙවුම් ශේෂ අර්බුදයක හිර වී සිටින රටකින් ණය ආපසු නොලැබීමේ අවදානම සලකා වෙනත් අය ඉහළ පොලී අනුපාතික වලට පමණක් ණය ලබා දෙද්දී, අයිඑම්එෆ් විසින් කරන්නේ රටකින් ණය ආපසු නොලැබීමේ අවදානම අඩු කරගෙන අඩු පොලියකට ණය ලබා දීමයි. අයිඑම්එෆ් යෝජනා ක්‍රියාත්මක කිරීම කියා කියන්නේ ඒ ආකාරයට ණය ආපසු නොලැබීමේ අවදානම අඩු කර ගැනීම සඳහා ඔවුන් යෝජනා කරන ප්‍රතිසංස්කරණ අදාළ රට විසින් ක්‍රියාත්මක කිරීමයි. සමහර වෙලාවට මේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නේ අදාළ රට විසින්මයි.
අයිඑම්එෆ් එක විසින් යෝජනා කරන බදු ඉහළ දැමීම, රජයේ සේවකයින් බඳවා ගැනීම සීමා කිරීම, පාඩු ලබන රජයේ ආයතන විකුණා දැමීම වගේ යෝජනා ජනප්‍රිය යෝජනා නෙමෙයි. අයිඑම්එෆ් එක මේ වගේ යෝජනා කරන්නේ රටේ මිනිස්සුන්ව අමාරුවේ දැමීමේ අරමුණිනුත් නෙමෙයි. රටක් අයිඑම්එෆ් වැඩසටහනකට යනවා කියන්නේ බොහෝ විට ඔය වගේ ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ නොකර ගොඩ දාන්න බැරි තරමටම ඒ රට හිර වෙලා කියන එකයි. ඒ නිසා දෙන ණය ආපසු ලබා ගත හැකි බවට සහතික වෙන්නනම් අදාළ රජයට ඔය වගේ ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා.
වාර්තා වන විට පවතින දේශපාලන වාතාවරණය හමුවේ අයිඑම්එෆ් එක විසින් ලබා දීමට සිටි අවසන් ණය වාරිකය අත් හිටවලා තියෙනවා. තවත් රටවල් කිහිපයකින් ලැබෙන්න තිබුණු මුදල් ලැබෙන එකත් නැවතී ඇති බව කියනවා. ඒ වගේම, රාජ්‍ය සුරැකුම්පත් වල හා කොටස් වෙළඳපොළේ වූ විදේශ ආයෝජන රටෙන් පිටතට ගලා යමින් තිබෙනවා. මේ සියල්ල ඩොලරයක රුපියල් මිල මත පීඩනයක් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
හැබැයි ඔය කලින් කී දේවල් එකක්වත්, අඩු වශයෙන් මේ දක්වා සිදු වී තිබෙන දේවල්, ලොකු ප්‍රශ්න කියලා මම හිතන්නේ නැහැ. අයිඑම්එෆ් එක විසින් වගේම ඔය කියන අනෙක් රටවල් විසින් දෙන්න හිටියේත් ණය. පොලිය අඩු වුවත්, ඔය විදිහට ගන්න ණය පොලිය සමඟ ආපසු ගෙවිය යුතුයි. රාජ්‍ය සුරැකුම්පත් වල විදේශ ආයෝජන කියන්නෙත් රජය විසින් ලබාගත් විදේශ ණය. මේ ණය ලබාගෙන තියෙන්නේ රුපියල් වලින් වුවත් එසේ රුපියල් කර තිබෙන්නේ ඩොලර් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක් නිසා කල් පිරුණු පසු පොලිය හා මුල් මුදල නැවත අදාළ විදේශ ව්‍යවහාර මුදලින්ම රටෙන් එළියට යනවා. කොටස් වෙළඳපොල ආයෝජන වලට ණය කියා කියන්න බැරිවුණත් ඒවත් රටේ විදේශ බැරකම්. බලපෑම සමානයි.
කෙටියෙන් කිවුවොත් ඔය දැන් නොලැබී තිබෙන දේවල් ලැබුණත් ඒ දේවල් කවදා හෝ රටෙන් එළියට යා යුතුයි. දැන් රටෙන් එළියට යන්නේත් රටෙන් එළියට කවදා හෝ යා යුතු දේවල්.
අපේක්ෂිත විදේශ ණය නොලැබීම හා ලංකාවේ ණය හෝ කොටස් වත්කම් වල කර තිබෙන විදේශ ආයෝජන ආපසු යාම නිසා ඩොලරයක මිල මත විශාල පීඩනයක් ඇති වෙනවා. මහ බැංකුව විසින් මැදිහත් වුනේ නැත්නම් ඩොලරයක මිල තව තවත් ඉහළ යන එක වලක්වන්නත් බැහැ. නමුත්, එය විශාල ප්‍රශ්නයක් කියා මම පෞද්ගලිකව හිතන්නේ නැහැ.
ඩොලරයක මිල තව සෑහෙන්න ඉහළ යා යුතු බව මා මුල සිටම කියපු දෙයක්. තවමත් අවශ්‍ය මට්ටමට මිල වැඩි වී නැහැ. අයිඑම්එෆ් ණය වලින් අපේක්ෂා කළේ මේ මිල ඉහළ යාම පාලනය කරන්නයි. නමුත්, එසේ ගන්න අයිඑම්එෆ් ණයත් නැවත ආපසු ගෙවිය යුතුයි. එසේ ගෙවන්න ලංකාවට ඩොලර් එන්නේ කොහෙන්ද? බොහෝ විට වෙනත් ණයකින්. මෙතැනදී අයිඑම්එෆ් ණය ගැනීමේ වාසිය වෙන්නේ ඒ වෙනත් ණය හදිසියේ ඉහළ පොලියකට ලබා නොගෙන ටිකක් අඩු පොලියකට හොයා ගැනීමට කල් ලැබීම පමණයි. දැන් අයිඑම්එෆ් ණය නොලැබීම ප්‍රශ්නයක් වෙන්නේ ඩොලරයේ මිල පවත්වා ගැනීම සඳහා හදිසියේ ඉහළ පොලියකට වෙනත් ණයක් ගත්තොත් මිසක් ඩොලරය වැඩි වීම නිසා නෙමෙයි.
අයිඑම්එෆ් ණය හා ඉහත කී අනෙකුත් දේවල් වල බලපෑම එසේ වුවත් දේශපාලන අර්බුදය ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය උග්‍ර කරන බවනම් බොරුවක් නෙමෙයි. ලංකාවට විදේශ විණිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරකයින්ගේ පැමිණීම දැනටමත් සීමා වී තිබෙනවා. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම නිසා ප්‍රශ්නය විසඳුනාට පසුව වුවත් විදේශ ණය ගැනීමේදී වැඩි පොලියක් ගෙවන්න වෙයි.
සමහර අය අයිඑම්එෆ් ණය වලට විරුද්ධයි. හැබැයි ඔවුන්ගේ විකල්පය වන්නේ ණය නොගෙන සිටීම නෙමෙයි. ජනප්‍රිය නොවන කොන්දේසි රහිතව එන ණය ලබා ගැනීමයි. එවැනි ණය වෙනුවෙන් විශාල පොලියක් ගෙවන්න වෙනවා. ඒ වගේම ඒ ණය වලටත් කොන්දේසි තිබෙනවා. කොන්දේසි වෙනස් වීම පමණයි වෙනස. උදාහරණයක් විදිහට චීන ව්‍යාපෘති ණය ලබා ගැනීමේදී බොහෝ විට අදාළ ව්‍යාපෘතිය චීනයටම ලබා දිය යුතුයි.
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති අතර තිබෙන ප්‍රධානම වෙනසක් වන්නේ තියෙන ණය රෝල් කරන්න අලුතින් ණය ගත යුත්තේ කාගෙන්ද කියන එකයි. රනිල්ලාගේ කණ්ඩායම අඩු පොලී ණය වෙනුවෙන් ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරද්දී මහින්දලාගේ කණ්ඩායම කොන්දේසි රහිතව ලැබෙන වැඩි පොලී ණය වෙනුවෙන් පෙනී සිටිනවා. චීන ණය හා අයිඑම්එෆ් ණය අතර වෙනස වන්නේ අඩු පොලියක් පිණිස ජනප්‍රිය නොවන කොන්දේසි පිළිගන්නවාද නැත්නම් ඉහළ පොලියකට එවැනි කොන්දේසි නැති ණය ගන්නවාද කියන එකයි. හැබැයි ඉතිං ඔය කොයි එකත් ණයම තමයි. අර මීයාගේ ප්‍රශ්නය වගේ තමයි.
දැන් දැන් පෙනෙන අලුත්ම ප්‍රවණතාවක් තමයි මිනිස්සු ඉහත කී සම්ප්‍රදායික විකල්ප දෙකම වෙනුවට තෙවන විකල්ප දිහා බලන එක. ඒ නිසා, චීන ණයත් එපා අයිඑම්එෆ් ණයත් එපා කියන ප්‍රවණතාවයකුත් දැන් ලංකාවේ වර්ධනය වෙමින් තියෙනවා. පොල්කට්ටෙන් එළියට ගිහින් හිතාගන්නවත් අමාරු පට්ට සිරා විකල්ප ඉදිරිපත් කරන අයත් ඉන්නවා.
Subscribe to:
Post Comments (Atom)
ණය ගෙවන්න ණය ගැනීම තරම් දුප්පත් තත්වයක් තවත් තියේ ද? මා දන්නා සමහර පුද්ගලයින් ද ඒ වැනි තත්වයකට වැටී තිබුණා. ඔවුන්ට ගොඩ එන්න නම් ණය නොවන මුදල් ආධාර ලබා දෙන්න සිදුවුණා!
ReplyDeleteකොන්දේසි සහිතයි. එය නම්, නැවත එලෙස ණය නොගැනීම!
කොන්දේසිය ක්‍රියාත්මක වන බව සහතික කරගත්තේ කොහොමද?
Deleteඉකොනෝමැට්ටා ජිවත් වන රටේ එදිනෙදා ප්‍රශ්න, ඒවා ගැන ඉකොනෝ ඒ රටේ පුරවැසියන් සමග කතා බහ කරන අයුරු, ඒවාට විසදුම් යෝජනා කරන විදිය ගැන එහෙම ලිපි පෙලකුත් ලියන්න. ලංකාවේ එව්වා ගැන නං අපි ඕනි තරං ලිපි දකිනවනි. විදේශ වල ඉන්න අයත් ආයේ ආයේ ලංකාව ගැනම කතා කරනවට වඩා ඒ ඒ රටවල දේවල් ගැනත් ලියනවා නං අපිට ඒ රටවල නොදන්නා දේ ගැන දැන ගත්තහැකි.
ReplyDeleteඇනෝ, මේ බ්ලොග් එක මුල සිටම කියවපු කෙනෙක් නෙමෙයිද? ඔබ කියන ආකාරයේ ලිපි ගණනාවක් මෙහි පළ කර තිබෙනවා.
DeleteAnonymous November 21, 2018 at 9:52 PM
Deleteඉකොනෝමැට්ටා ජිවත් වන රටේවත් සංවර්ධනය වූ සමහර රටවල් වළත් කසළ නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා සෑහෙන දුරට ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබුණ ද, ලොව බොහෝ සංවර්ධනය වූ / සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ කසළ ගැටලුවෙන් පීඩා විඳිනවා. කසළ ගැටලුවෙන් පීඩා විඳින රටවල් අතර ලංකාවේ අපිවත් ඉදිරියෙන් සිටිනවා.
ඊජිප්තු අගනුවර වන කයිරෝ නුවර නිවාස හා කාර්යයාල ගොඩනැඟිලිවලින් දිනකට ටොන් ගණනාවක කසළ ගොඩගැසෙනවා. මේවා අවසානයේ ප්‍රවාහනය වන්නේ එහි තදාසන්න ප්‍රදේශක් වූ 'මන්ෂියාත් නසර්' නම් පෙදෙසට යි. කෙසේ නමුත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන් මෙහි ගොඩගැසෙන කුණු කසළ සම්පූර්ණයෙන් ම එහි වෙසෙන 60,000ක් පමණ වූ ජනකායට අවාසනාව ගෙන එන්නේ නැහැ. එහි වෙසෙන්නන් මේවා සළකන්නේ වටිනා ද්‍රව්‍යයක් ලෙස යි. එයට හේතුව ඔවුන්ගෙන් වැඩි පිරිසක් ජීවිකාව සොයාගන්නේ කසළ හා සබැඳි වෘත්තීන්වලින් වීම නිසා යි.
මන්ෂියාත් නසර් කසළ නගරය කයිරෝවට ම යාබද ව, ව. කි. මී. කිහිපයක භූමියක් වසාගෙන් පැතිරී ගත් මන්ෂියාත් නසර් පෙදෙස 'සබලීන්' නගරය ලෙස ද ප්‍රාදේශීය ව හඳුන්වන අතර, එහි අර්ථය 'කසළ' යන්න යි. මෙහි ජනකාය මුඩුක්කු වැනි කුඩා ඉඩකඩවල හරිබරි ගැසී ජීවත් වන අතර, එහි වීදි, ගොඩනැඟිලි මෙන්ම කුඩා ගෙවතුත් නිතර ම කසළවලින් ගැවසී තිබෙනවා.
ඊජිප්තුව ඉස්ලාම් රාජ්‍යයක් වුව ද, මෙහි වෙසෙන ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි ලබ්ධිකයින් වෙනවා. මේ නගරයේ කසළ සංස්කෘතිය ඇරඹී වසර 70ක් පමණ වෙනවා.
කයිරෝ නුවර ජනගහනය මිලියන 20ක් පමණ වෙනවා. මොවුන් විසින් නිපදවන කසළ ඉතා කාර්යයක්ෂ්ම ලෙස එක්කාසු කොට 'කසළ නගරය' වෙත ගෙන එන්නට එහි වැසියන් යුහුසුළු ව කටයුතු කරනවා. නිවසින් නිවසට, කාර්යයාල හා හෝටල්වල දොරින් දොරට ගොස් කසළ එකතු කරගන්නා ඔවුන් ඒ සඳහා සෑම තැනකින් ම සුළු අය කිරීමක් සිදුකරනවා. ඉන් අනතුරුව අත් කරත්ත හෝ බූරුවන් බැඳි කරත්ත මඟින් ඒවා සිය ප්‍රදේශය වෙත ගෙන යනවා. ඉන් අනතුරුව ඔවුන් ඒවා සිය නිවස්නයේ පසෙකින් ගොඩගසා විවිධ කාණ්ඩවලට අනුව තෝරා, වෙන් කිරීමට පටන්ගන්නවා. මෙහි දී විශේෂයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ වෙන් කරගැනීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් කසළ එකතු කරගෙන එය මන්ෂියාත් නසර් වෙත ප්‍රවාහනය කිරීම පුරුෂයින්ට අයත් රාජකාරියක් වන අතර, ඒවා වෙන් කර කාණ්ඩගත කිරීම කාන්තාවන් විසින් සිදුකරනවා.
ඊජිප්තු කසළ නගරයේ ඉඩකඩ සීමිත වූවත්, එහි ජනයා විසින් කසළ කළමනාකරණය කිරීම සඳහා එතරම් දියුණු ක්‍රමවේදයන් භාවිතා නොකළත්, මේ පෙදෙසට ගොඩගැසෙන කසළවලින් 90%ක් ම නිසියාකාර ව ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කෙරෙනවා.
මෙය බොහෝ දියුණු යැයි කියාගන්නා බොරු කයිවාරුකාර ඇමරිකා එ.ජ. වැනි කොල්ලකාරීත්වයෙන් ධනවත් වූ ත්‍රාඩ රටවල ප්‍රතිචක්‍රීකරණය වන කසළ ප්‍රතිශතයට වඩා බොහෝ වැඩි අගයක්.
එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමේ රහස වන්නේ ඔවුන් විසින් ඉතා නිවැරදිව මෙන්ම යුහුසුළුව ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු කසළ කොටස් අනෙක්වායින් වෙන් කරගැනීමයි. 2009 දී තිරගත වූ Garbage Dreams නම් වාර්තාමය චිත්‍රපටය මන්ෂියාත් නසර් ප්‍රදේශයට වෙනස්ම ආකාරයකට වසන්තය කැන්දාගෙන ඒමට සමත් වී තිබෙනවා. ඒ එම චිත්‍රපටයෙන් මෙම ප්‍රදේශයේ වත ගොත දැක බලාගත් දෙස් විදෙස් සංචාරකයින්, එහි තත්ත්වය සියැසින්ම දැක ගැනීමට නිතර මෙහි ඇදෙන්නට පටන් ගෙන පසුගිය වසර 10 තුළ ඇති වූ මෙම ප්‍රවණතාවය නිසා මෙහි මුදල් යහමින් ගැවසීම ඇරඹිලා.
ඉකොනෝමැට්ටා,
ReplyDelete//රනිල්ලාගේ කණ්ඩායම අඩු පොලී ණය වෙනුවෙන් ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරද්දී මහින්දලාගේ කණ්ඩායම කොන්දේසි රහිතව ලැබෙන වැඩි පොලී ණය වෙනුවෙන් පෙනී සිටිනවා. චීන ණය හා අයිඑම්එෆ් ණය අතර වෙනස වන්නේ අඩු පොලියක් පිණිස ජනප්‍රිය නොවන කොන්දේසි පිළිගන්නවාද නැත්නම් ඉහළ පොලියකට එවැනි කොන්දේසි නැති ණය ගන්නවාද කියන එකයි. හැබැයි ඉතිං ඔය කොයි එකත් ණයම තමයි. අර මීයාගේ ප්‍රශ්නය වගේ තමයි.//
අයි.එම්.එෆ් එකෙන් ණය ලබාදෙන්නේ අාර්ථික ස්ථාවරත්වය සහ රනිල්ගේ ලබ්බේ දිග පළල අනුව නොවේ. අයි.එම්.එෆ් ණය ලබාදෙන්නේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීම සඳහායි. අයි.එම්.එෆ් ව්‍යාපෘති වලට ණය දෙන බවක් නම් අපි අසා නැත. ��
IMF මූල්‍ය අරමුදල යනු රටවල ආර්ථික ස්ථාවරත්වය, දිගු කාළීන ආදායම් තහවුරු වීම, රැකියා ප්‍රවර්ධනය ආදී බොහෝ පුළුල් පරාසයක ක්‍රියා කරන අරමුදලකි. එම අරමුදල මගින් රජයන්ට මුදල් ලබා දෙන විට, එයට සමගාමීව උපදේශකත්වයද ලබා දෙයි. ඒ උපදෙස් මත බොහෝ විට ආදායමක් ඉපයෙන ව්‍යාපෘති සඳහා අයවැයට එක්වන රාජ්‍ය වැය පාර්ශවයට සහාය දීම ඔවුන් සිදු කරයි. මහින්දලාගේ කණ්ඩායමද එම අයි.එම්.එෆ් අරමුදල මගින් ණය මුදල් ලබා, එයට සමගාමීව උපදේශකත්වයද ලබා තියෙනවා.
ඉකොනෝමැට්ටා ව්‍යාපෘති ණය ලබාදෙන්නේ සංවර්ධනය සඳහාම ණය ලබාදෙන ලෝක බැංකුව (IBRD), ආසියානු සංවර්ධන බැංකුව (ADB), AIIB (Asian Infrastructure Investment Bank), Exim bank (both India & China), JICA, KOICA වැනි ආයතන වලින්.
ඉකොනෝමැට්ටා, බ්‍රෙට්න් වුඩ් ආයතන දෙක තමයි ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල. ලෝක බැංකුව තාක්ෂණික සහාය, මූල්‍ය අවශ්‍යතා, වගේ ව්‍යාපෘති කරනවා, බොහෝ විට මේ ආයතන දෙක, එකක් බැංකුවක් ලෙසත්, අනෙක උපදේශක මූල්‍ය ආයතනයක් ලෙසත් පෙනී සිටිනවා.
අයි.එම්.එෆ් එකෙන් නය ලබාදෙන්නේ මූල්‍ය පද්ධතිය සහ Macro economic stability එක පවත්වාගෙන යාමට ඒ ඒ රටවල් වලට හිමි SDR quota එකෙන් අදාළ ප්‍රමාණයයි. එහි මූලිකම අරමුණ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමයි. IMF program එකක් තියෙන රටක් කියන්නේ ආර්ථික වශයෙන් ලෙඩෙක් කියලයි අපිනම් අහල තියෙන්නේ.
අයි.එම්.එෆ් එක මගින් කරන උපදේශන ව්‍යාපෘති එහි ප්‍රයෝජනය අරමුණු කරගෙන කරන්නෙ. උදා: අප්‍රිකානු රටවල් 18 ක දිළිඳු කම පිටු දැකීමේ ගෘහාශ්‍රිත කර්මාන්ත උපදේශන ව්‍යාපෘතිය, ඉන්දියාවේ ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් උපදේශන ව්‍යාපෘතිය, එතනදි ඔවුන් ස්ථාවරත්වය, සැලසුම්කරණය, පැවැත්ම, අරමුණු, වගේ බොහෝ දේවල් බලනවා. ඒ කන්ඩිෂන්ස් නැත්නම් ඔවුන් ඉස්සෙල්ලා ඒ තත්වයන් ඇති කරගන්න අවශ්‍ය ආයතන ඒවා කරන කල් තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ නෑ, උදා: රුවන්ඩාවේ ඔවුන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උපදේශන ව්‍යාපෘති සහ එයට අනුබද්ධ අරමුදල් ටුට්සි සහ හුටු ගෝත්‍ර දෙක අතර ගැටුම් සමනය වන තෙක් කලේ නෑ.
ඒ නැත්නම් අයි.එම්.එෆ් අය අවධානය යොමු කරන්නේ රටේ ජනතාවන්ට ඔවුන්ගේ විශේෂඥයන්ට අනුව සුදුසුයි කියලා හිතෙන දේවල් වලට. මේ වෙලාවේ ශ්‍රී ලංකා මහ බැංකුව තෝරාගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් කියන විකල්පයයි. මේ වෙද්දී මිලියන දහස් ගානක බිල්පත් නිකුත් කරලා තියෙනවා. ඒවා ප්‍රාථමික වෙළෙඳපොලෙන් හෝ වෙනත් ලියාපදිංචි මූල්‍ය ආයතන මඟින් ගන්න පුළුවන්.
//අයි.එම්.එෆ් ණය ලබාදෙන්නේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීම සඳහායි. අයි.එම්.එෆ් ව්‍යාපෘති වලට ණය දෙන බවක් නම් අපි අසා නැත.//
Deleteඅප කොතැනකවත් එසේ කියා ද නැත. ඒ අතරම, මෑත දශක දෙක තුනක කාලය තුළ ප්‍රායෝගිකව ලංකාවේ ආණ්ඩු විසින් ව්‍යාපෘති ණය ලබා ගැනීම මඟින් අපේක්ෂා කර ඇත්තේද ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමයි. ණය සමඟ එන ව්‍යාපෘතිය ඇස් ඒ බව සඟවන ඇස් බැන්දුමක් පමණි. එයින් කියන්නේ එවැනි ව්‍යාපෘති සිදු නොවන බව නොවේ. ණය ලබා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති බොහොමයක අරමුණ අදාළ ව්‍යාපෘති මඟින් ණය ආපසු ගෙවිය හැකි විදේශ විණිමය ඉපැයුමක් කරනවාට වඩා ක්ෂණිකව ලබා ගන්නා ගෙවුම් ශේෂ වාසිය බවයි.
///මෑත දශක දෙක තුනක කාලය තුළ ප්‍රායෝගිකව ලංකාවේ ආණ්ඩු විසින් ව්‍යාපෘති ණය ලබා ගැනීම මඟින් අපේක්ෂා කර ඇත්තේද ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමයි. ණය සමඟ එන ව්‍යාපෘතිය ඇස් ඒ බව සඟවන ඇස් බැන්දුමක් පමණි. එයින් කියන්නේ එවැනි ව්‍යාපෘති සිදු නොවන බව නොවේ. ණය ලබා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති බොහොමයක අරමුණ අදාළ ව්‍යාපෘති මඟින් ණය ආපසු ගෙවිය හැකි විදේශ විණිමය ඉපැයුමක් කරනවාට වඩා ක්ෂණිකව ලබා ගන්නා ගෙවුම් ශේෂ වාසිය බවයි.//
Deleteඉකොනොමැට්ටා ව්‍යාපෘතියක් (Project)ලෙස අර්ථ දක්වන්නේ යම් අරමුණක් හෝ පරමාර්ථයක් සපුරා ලීම සඳහා කලින් තීරණය කරන ලද නිශ්චිත කල කාලසීමා රාමුවක් තුල ඉලක්ක ගත ප්‍රතිලාභීන් සමුහයක් වෙත යම් සම්පත් ප්‍රමාණයක් යොදවමින් ක්‍රියාත්මක කරන එකිනෙකට සම්බන්ධ අනු ක්‍රියාකාරකම් සමුහයකටයි.
ව්‍යාපෘති මඟින් මූල්‍යකරණය (Project financing) යනු සුවිශේෂී කුසලතාවකි (Skill). ආයෝජනය (investment) යනු අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේදී කරනු සම්පත් කැප කිරීමකි. එහිදී ආයෝජකයෙකුගේ (investors) බලාපොරොත්තුව තමා යෙදවූ මුදලද ආරක්ෂා කරගනිමින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.
ව්‍යාපෘති (Project) සඳහා හොඳම මූල්‍ය සැපයුම් ක්‍රම භාරගැනීම සහ ව්‍යුහගත කිරීම සඳහා ව්‍යාපෘති ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් සහ මූල්‍ය ප්‍රවීණත්වයක් අවශ්‍ය වේ. ව්‍යාපෘතියක මුදල් ගලනය (cash flow) පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමුකළ යුතු නිසා ව්‍යාපෘතිය වාණිජ මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාව ඇගයීමේදී එම ක්‍රියාවලියට අනුග්‍රාහකයාගේ (financier) අතීත තොරතුරු, වෙළඳපොළ, තාක්ෂණය හා නිෂ්පාදනය, කළමනාකරණය හා මානව සම්පත්, පරිසරය, රෙගුලාසි සහ ව්‍යවස්ථාපිත අනුමැතිය ආදිය ඇතුළත්.
ඉන් අනතුරුව කොටස් දායකත්වය සහ තෝලන මට්ටම (Gearing level), ණය කාලය සහ ආපසු ගෙවීමේ සැලැස්ම, සහ අවශ්‍ය වීමට ඉඩ ඇති ණය වර්ධන ආදිය සමගින් මූල්‍ය සම්පාදනය සඳහා ඇති හොඳම ක්‍රම තීරණය කෙරේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සංවර්ධන ව්‍යාපෘති සලකන කල ඒවා ශීඝ්‍ර සංවර්ධනයක් සඳහා යන ගමනක ව්‍යාපෘති ලෙස දැකිය හැකි ය. මහා මාර්ග, වරාය, ගුවන්, ඛනිජ තෙල් ආදී අංශ ගණනාවක් ඔස්‌සේ දිවෙන මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් ඇත.
බොහොමයක් මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති රජය විසින් පවත්වාගෙන යනු ලබන්නේ විදේශීය රටවල් හෝ ආයතනයවලින් ලැබෙන ආධාර හෝ ණය මුදල්වලින්, මෙය ද එක් හේතුවක් කොටගෙන බොහොමයක් මෙවන් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන් විදේශීය සමාගම් බවට පත් වී ඇත.
එයිනුත් බොහොමයක් චීන ආයතන වීම බොහෝ දෙනා දන්නා සත්‍යයකි.
කොන්ත්‍රාත්කරුවන් විදේශිකයන් වූවාට ඉදිකිරීම්හි අයිතිය හිමි වන්නේ දේශීය අපට ය. එම නිසා ඒවා ඔවුන් ලවා ගුණාත්මකව නියමාකාරව අදාළ කටයුතු ඉටු කර ගැනීම අප ගේ අයිතියකි. එය පළමුව හා මූලිකව සැලකිය යුතු කාරණයකි. දෙවැන්න නම් ඔවුන් ගෙන් ලබාගත හැකි නව තාක්‌ෂණික දැනුම ලබා ගැනීමයි. බොහොමයක් නූතන ව්‍යාපෘතීන් ලාංකික අපට නැවුම් අත්දැකීම් ය. එනිසා අපට එතුළින් ලබාගත හැකි දැනුම බොහෝ ය. තෙවැන්න නම් මේ ව්‍යාපෘති හරහා ඔවුන් අප රටින් ගෙන යන විදේශ විනිමය ඉතිරි කර ගැනීමයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති යෝජනා වී ඇත. මේ මඟින් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වාණිජ ප්‍රවාහන පහසුකම් සැපයීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය සඳහාම වූ විශේෂ ප්‍රවේශ මාර්ගයක් සහිතව, නව කැලණි පාලම සිට ගාලු මුවදොර දක්වා කිලෝ මීටර 5.3ක දිගින් යුක්ත වූ කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතය. එමෙන්ම වරාය ප්‍රවේශ මාර්ගය මංතීරු හය දක්වා වැඩි කිරීමට සහ විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ පද්ධතියක් ඉදි කිරීමටද යෝජනා වී ඇත. මීට අමතරව මෙම ඉදි කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වන වරාය සතු ස්ථාන 49ක් ප්‍රතිස්ථානගත කිරීමට සහ වරාය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක මුළු ආයෝජනයක් සිදු කිරීමට රජය විසින් අපේක්ෂා කරනු ලබන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක විදේශීය අරමුදල් සහායක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම මඟින් ක්ෂණිකව ලබා ගන්නා ගෙවුම් ශේෂ වාසිය හුදෙක් අමතර වාසියක් පමණි.
//මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක මුළු ආයෝජනයක් සිදු කිරීමට රජය විසින් අපේක්ෂා කරනු ලබන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක විදේශීය අරමුදල් සහායක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම මඟින් ක්ෂණිකව ලබා ගන්නා ගෙවුම් ශේෂ වාසිය හුදෙක් අමතර වාසියක් පමණි.//
Deleteඔබ උඩින් ලියා තිබෙන කරුණු හා අදාළව මා තර්ක කරන්නේ නැහැ. ඔබේ අවසන් වාක්‍යයෙන් ගම්‍ය වෙන්නේ ඔබ කියන ආයෝජනයෙන් ගෙවුම් ශේෂ වාසියක් ලැබෙන අතර ඒ වාසිය නැතත් වෙනත් ප්‍රතිලාභ තිබෙන බවයි. ඒ ලියා තිබෙන දේ ව්‍යාපෘති කළමනාකරණයේදී සැලකිලිමත් වන මූලික කරුණු. ඒ වගේම, ඔබ සඳහන් කරන නිශ්චිත ව්‍යාපෘතිය හෝ වෙනත් කිසියම් ව්‍යාපෘති වල මුදල් ගලනය සිදු වන ආකාරය ඇතුළු ව්‍යාපෘති සැලසුම් මා විසින් අධ්‍යයනය කර නැහැ. නමුත්, පොදුවේ ගත්තහම ලංකාවේ ආර්ථිකය මේ වන විට පවතින තත්ත්වයෙන් පෙනෙන්නේ පසුගිය කාලය පුරා හැදූ ව්‍යාපෘති සැලසුම් සමස්තයක් ලෙස අසාර්ථක බවයි. ඔබ කියන ව්‍යාපෘති වලින් ලැබෙන වාසි කිහිපයක් මම පහත උපුටා දක්වනවා.
1. "කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති යෝජනා වී ඇත. මේ මඟින් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වාණිජ ප්‍රවාහන පහසුකම් සැපයීමට අපේක්ෂිතය."
2. "බොහොමයක් නූතන ව්‍යාපෘතීන් ලාංකික අපට නැවුම් අත්දැකීම් ය. එනිසා අපට එතුළින් ලබාගත හැකි දැනුම බොහෝ ය."
මෙය ගත්තේ උදාහරණයක් සේ පමණයි. කිසියම් ව්‍යාපෘතියක් නිසා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඔබ සඳහන් කර ඇති කරුණු නිදර්ශන. නමුත්, ඔබ මෙහි සටහන් කර තිබෙන දේ මත පමණක් පදනම්ව කිසියම් ව්‍යාපෘතියක වාසි ගැන නිශ්චය කරන්න බැහැ. ඒ සඳහා, මේ කියන වාසි මුදල් ගලන බවට පරිවර්තනය වන ආකාරය පිළිබඳ ඇස්තමේන්තු අවශ්‍ය වෙනවා.
හරියටම කියනවනම් පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු අවශ්‍යයි.
Delete1. වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අඩු වීම හේතුවෙන් අනාගතයේ ලංකාවේ රජයේ ශුද්ධ ආදායම් ඉහළ යා හැකි නාලිකා (මේ මාර්ගය ඉදි නොකිරීමට සාපේක්ෂව) මොනවාද? (උදාහරණ: රජයේ ඉන්ධන වියදම අඩු වීම, ප්‍රවාහන වියදම් අඩු වීම නිසා සමාගම් වල ආදායම් වැඩි වී ඒ හේතුව මත රජයේ බදු ආදායම ඉහළ යාම, සංචාරකයින් පැමිණීම ඉහළ යාම නිසා සංචාරක කර්මාන්තයේ ලාබ වැඩි වී රජයේ බදු ආදායම් වැඩි වීම හා වීසා ගාස්තු ලෙස ලැබෙන මුදල්)
2. ඒ එක් එක් නාලිකාව හරහා අනාගතයේ එක් එක් වසරකදී ලැබෙන අමතර ආදායම් ප්‍රමාණ කොපමණද? ඒ අමතර ආදායමෙන් කොපමණක් රුපියල් ආදායම්ද? කොපමණක් ඩොලර් (හෝ වෙනත් ශක්තිමත් ව්‍යවහාර මුදලකින් ලැබෙන) ආදායම්ද? (උදාහරණ: 2022දී අමතර සංචාරකයින් 5,212ක්ද, 2023දී අමතර සංචාරකයින් 7,723ක්ද, මේ මාර්ගය ඉදිකිරීම නිසා ලංකාවට පැමිණෙනු ඇත. ඒ හරහා සංචාරක කර්මාන්තයේ ලාභ රුපියල් --- බැගින් ඉහළ ගොස් රජයේ බදු ආදායම් රුපියල් --- බැගින් ඉහළ යනු ඇත. වීසා ගාස්තු ලෙස ඩොලර් ---ක ආදායමක් රජයට ලැබෙන ඇත. රජයේ ඉන්ධන වියදම අඩු වීම නිසා 2022දී රුපියල් ---ක ඉතිරියක් සිදු වනු ඇත.)
3. ඒ එක් එක් නාලිකාව හරහා අනාගතයේ එක් එක් වසරකදී විදේශ ව්‍යවහාර මුදල් ප්‍රවාහ වලට තිබෙන බලපෑම කොපමණද? (උදාහරණ: රජයේ ඉන්ධන වියදම අඩු වීම නිසා ඩොලර් --ක් රට තුළ ඉතිරි වනු ඇත. පෞද්ගලික අංශයේ ඉන්ධන වියදම අඩු වීම නිසා ඩොලර් --ක් රට තුළ ඉතිරි වනු ඇත. අමතර සංචාරකයින් විසින් ඩොලර් --ක ප්‍රමාණයක් රට තුළට රැගෙන එනු ඇත.)
4. මේ ව්‍යාපෘතිය හේතුවෙන් ලැබෙන අමතර දැනුම (spillover effects) හේතුවෙන් අනාගතයේ ලංකාවේ රජයේ ශුද්ධ ආදායම් ඉහළ යා හැකි නාලිකා (මේ මාර්ගය ඉදි නොකිරීමට සාපේක්ෂව) මොනවාද? (මේවාද ඉහත ආකාරයෙන්ම සංඛ්‍යාත්මකව ඇස්තමේන්තු කළ යුතුය.)
අවසාන වශයෙන් මේ ව්‍යාපෘතිය හේතුවෙන් අනාගතයේ රජයේ ආදායමට සිදුවන බලපෑමත්, ගෙවුම් ශේෂයට සිදු වන බලපෑමත් නිශ්චිතව ගණනය කළ යුතුය. ඉන්පසුව ව්‍යාපෘති වියදම හා එයට අදාළ පසුකාලීන නඩත්තු වියදම් ආදිය (මේ ව්‍යපෘතියේ ප්‍රතිඵලයක් ලෙස රජයේ ආයතන වල අලුත් රැකියා ඇති වේනම් ඒ රැකියා වල වියදම ආදියද ඇතුළුව) ඇස්තමේන්තු කළ යුතුය. මෙය පළමු කටයුත්තට සාපේක්ෂව පහසු කටයුත්තකි. ඉන්පසුව, ව්‍යාපෘතිය නිසා අනාගතයේ රජයේ ආදායමට සිදුවන ශුද්ධ බලපෑමත්, ගෙවුම් ශේෂයට සිදු වන ශුද්ධ බලපෑමත් නිශ්චිතව ගණනය කළ හැකිය. ව්‍යාපෘතිය වාසිදායක එකක්ද යන්නත්, එයින් ගෙවුම් ශේෂයට දීර්ඝකාලීනව ඇති බලපෑම කුමක්ද යන්නට නිශ්චය කළ හැක්කේ එයින් පසුවය. රජයට ශුද්ධ වාසියක් ඇතත් (NPV) ගෙවුම් ශේෂයට දිගුකාලීන බලපෑමක් ඇත්නම් එය සමනය කරන ක්‍රියාමාර්ගයක්ද තිබිය යුතුය.
මේ ආකාරයේ ඇස්තමේන්තුව ඇස්තමේන්තු වරද සැලකිය යුතු තරම් විශාල විය හැකි නිසා විවිධ තත්ත්වයන් (scenarios) යටතේ ඇස්තමේන්තු ගණනාවක් තිබිය යුතුය. එවැනි ඇස්තමේන්තු අවශ්‍ය කෙනෙකුට අභියෝග කළ හැකි පරිදි ප්‍රසිද්ධ කළ යුතුය. ඉන් පසු කිසිවෙකු අඩුපාඩුවක් පෙන්වා දුන්නොත් නිවැරදි කළ යුතුය.
ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපෘති හා අදාළ මෙවැනි හැදෑරීම් සිදු කෙරෙනවා විය හැකිය. එහෙත් මා දැක නැත. මා දැක තිබෙන්නේ දේශපාලන පදනමකින් කිසියම් ව්‍යාපෘතියක වාසි ගුණාත්මක ලෙස ගෙනහැර දක්වනු පමණි. ගුණාත්මක වාසි හා සංඛ්‍යාත්මක වියදම් එකිනෙක සැසඳීම අපහසු කටයුත්තක් නිසා ආණ්ඩු පාර්ශ්වයේ අය කිසියම් ව්‍යාපෘතියක් වාසිදායක එකක් බව උලුප්පා දක්වද්දී විපක්ෂයේ අය එවැන්නක් විවේචනය කිරීම බොහෝ විට දැකිය හැකිය. දෙගොල්ලන්ම කරන්නේ රැවටීමකි.
****කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති යෝජනා වී ඇත.****
ReplyDeleteමෙම ව්‍යාපෘති රටට හොදා කියල කීම පමණවත් නැත. මොකද අපි මෙ ව්‍යාපෘති කරන්නේ නය අරගෙන එතකොට අපි එම නය කරපු ව්‍යාපෘති හරහා ලැබෙන අදායමෙන් ගෙවන්න ඕන.
අපි නිකමට හිතමු මත්තල Airport එක හදන්න XXXXXXXXXX කියල මුදලක් වැයවෙනවා.
XXXXXXXXXX මුදල 10 Years වලින් ගෙවන්න ඕන එක 1Year =1 installment(X)+පොලිය (Y)
දැන් අපි 1year වලින් XY කියන මුදල + 1Year මත්තල Maintain cost (Z) එක හොයන්න ඕන...
එහම බැලුවම අපිට 1Year අවම XYZ මුදලක් ඕන.
ලංකාවේ ඔක්කොම Projects ඔය කියන Basic estimate නැතුව හදල තියන්නේ.
ඇනෝ ඔය කියන "Basic estimate කරනවා" ඕකට එකතුවෙනවා දේශපාලන කොමිස් "C"
Deleteමත්තල Airport එක හදන්න මුළු වියදම =XXXXXXXXXX +C
ඔය C තමා "XYZ" මුදල ලොවෙත් ගෙවන්න බැරි වෙන්න හේතුව...
විශාල සිවිල් ඉදිකිරීම් ලොකු මිලදී ගැනීම් වලට අමතරව කල හැකි කල යුතු ප්‍රතිසංස්කරණ ගොඩක් අපේ පද්ධති වලතියෙනවා..
ReplyDeleteදැන් අපි සරල උදාහරණයක් ගනිමු. අපේ රටේ දුමිරිය සේවයක් තියෙනවා. දුම්රිය සේවයේ දියුණුව කියලා හැමවිටම දේශපාලකයින් කරන්නේ දුම්රිය මැදිරි ගෙන්වීම, විශාල එන්ජින් ගෙන්වීම, පාරවල්හැදීම ආදී දේවල්..ඒත් මේ ඇතුලේ තියෙන පද්ධති නවීකරණය කරන්න ලොකු උනන්දුවක්නැහැ. කොටින්ම අපිට තාම ඉලෙක්ටොනික් ඔන්ලයින් ටිකට්සිස්ටම් එකක් වත් නැහැ.. රුපියල් බිලියන් ගානක්දීලා ලොකු එන්ජින් ගෙන්වද්දි ඇත්තටම ටිකට් සිස්ටම් එකක් ගෙනාවොත් ලොකු මුදලක් ඉතිරිකරගන්න අවස්තාව ලැබෙනවා.