වෙබ් ලිපිනය:

Wednesday, November 28, 2018

අවිනිශ්චිත නොවැම්බරය


නොවැම්බර් මාසය අවසන් වෙන්න තව දවස් දෙකක් පමණයි තියෙන්නේ. සියවසකට පමණ පෙර සිදුවුණු ඔක්තෝබර් විප්ලවය කියන සිදුවීම දැන් සමරන්නේ නොවැම්බර් මාසයේ. ඒ සිදුවීම එතැන් සිට ගත වුනු සියවස් තුන්කාලක කාලය තුළ ලෝක දේශපාලනයට විශාල බලපෑමක් කළා. ඒ ආකාරයටම ලංකාවේ රාජ්‍ය බලය පැහැරගන්න දෙවරක්ම උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භක නායකයාව මරා දමනු ලැබුවේත් නොවැම්බරයකදී. ඔහු ඇතුළු අනෙකුත් මිය ගිය ජවිපෙ සාමාජිකයින්ව සමරමින් එම පක්ෂය හා එම පක්ෂයෙන් බිඳී ගිය පක්ෂ ඉල් මහ විරු සමරු පවත්වනවා.

ලංකාවේ රජය සමඟ වසර විසිහයක් යුද වැදුණු (ඊටත් පෙර සිට ක්‍රියාත්මක වූ) එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ වගේම එම අරගලය වෙනුවෙන් උපවාසයක් කර මිය ගිය තිලීපන්ගේත් උපන් දින යෙදී තිබුනේත් නොවැම්බර් මාසයේ. මේ කාලය තුළ සැමරුණු මහවිරු සතියේදී එල්ටීටීඊ සංවිධානය විසින් බොහෝ විට කිසියම් දරුණු ත්‍රස්ත ක්‍රියාවක් කළ හෝ කරන්නට ඉඩ තිබුණු නිසා අදාළ කාලයේ බොහෝ දෙනෙක් ගෙදරින් එළියට බැස්සේ අවිනිශ්චිත හැඟීමකින්. එල්ටීටීඊ හිතවාදීන් විසින් තවමත් රහසිගතව හෝ මහවිරු සමරු පවත්වනවා. එල්ටීටීඊ සංවිධානය පරාජය කරද්දී ලංකාවේ ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂත් නොවැම්බරයේම උපන් අයෙක්.

ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ සියල්ල පැවැත්වෙන මැතිවරණ දිනය යෙදෙන්නෙත් නොවැම්බරය තුළයි. ඒ නිසා නොවැම්බරය ඇමරිකාවටත් අවිනිශ්චිත මාසයක්. සති කිහිපයකට පෙර පැවති මැතිවරණයෙන් ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ජනාධිපති වරයාගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂය වෙත මාරු වුනා.

නොවැම්බර් මාසය යෙදෙන්නේ උත්තරාර්ධ ගෝලයේ හේමන්ත සෘතුව තුළ වුවත්, අපට දැනටම හිම වැටෙන්න පටන් අරන්. සති කිහිපයකට පෙර වර්ණවත්ව තිබුණු ගස් ගොඩක් දැන් කෝටු වෙලා. හැලුණු කොළ උඩ හිම එකතු වෙලා. අපේ ගේ ඉස්සරහ තිබෙන එක මේපල් ගහකනම් තවමත් කොළ වැටිලා නැහැ. හැම අවුරුද්දේම ඒ ගහේ විතරක් කොළ වැටෙන්නේ සතියකට දෙකකට පසුවයි. මිනිස්සු වගේම ගසුත් එකිනෙකට වෙනස් නිසා වෙන්න ඇති.

ඔක්තෝබර් අවසානයේ සිට දිග් ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය නොවැම්බරය පසු කරගෙන දෙසැම්බරය කරා ගමන් කරමින් තිබෙනවා. අද ඩොලරයක මැදි මිල රුපියල් 180.39ක්. ඔක්තෝබර් 25 සිට මේ වන විට මේ මිල රුපියල් 7.66කින් ඉහළ ගොස් තිබෙනවා. නොවැම්බර් 21න් අවසන් වූ සති 4 තුළ රාජ්‍ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 29.0ක් ඉවත් කරගෙන තිබෙනවා. නොවැම්බර් 23න් අවසන් වූ සති 4 තුළ කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 7.8ක් ඉවත් කරගෙන තිබෙනවා.

මා ඉහත හානි සියල්ල දේශපාලන අර්බුදයට බැර කරන්නේ නැහැ. දේශපාලන අර්බුදය නොපැවතියත් මේ කාලය තුළ ඩොලරයේ මිල යම් තරමකින් ඉහළ යාමත්, රාජ්‍ය සුරැකුම්පත් වල හා කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන යම් ප්‍රමාණයක් රටින් පිටව යාමත් සිදු විය හැකිව තිබුණා. ඒ ප්‍රවණතා ආරම්භ වී තිබුණේ දේශපාලන අර්බුදය ඇරඹෙන්න පෙරයි. හැබැයි දේශපාලන අර්බුදය නිසා තත්ත්වය වඩා දරුණු වුණා.

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් යටතේ රුපියල අවප්‍රමාණය වීම නරක දෙයක් කියා මා කියන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වුනා හෝ නොවුනා කියා හොඳ දෙය නරක දෙයක් වෙන්නේ නැහැ. නරක දෙය වන්නේ දේශපාලන අර්බුදය නිසා රුපියල අවප්‍රමාණය වීමේ අපේක්ෂිත වාසිය නැති වීමයි.

රුපියල අවප්‍රමාණය වූ පමණින් රටේ නිෂ්පාදන ආර්ථිකය එකවර දියුණු වෙන්නේ නැහැ. රුපියල නියම තැනට ඇවිත් ස්ථාවර වුවත්, දශකයක පමණ කාලයක් තිස්සේ ක්‍රමයෙන් ගොඩ නැගුනු ආනයන අපනයන පරතරය නැති වෙන්න අඩු වශයෙන් වසර කිහිපයක්වත් යයි. නමුත්, දේශපාලන අර්බුදය ආරම්භ වන විටත් ආර්ථිකයේ සේවා අංශය විණිමය අනුපාතිකයේ වෙනස් වීමට ප්‍රතිචාර දක්වමිනුයි තිබුණේ. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විණිමය සැලකිය යුතු ලෙස වැඩි විය හැකිව තිබුණා.

දැනට පවතින තත්ත්වයේ යම් වෙනසක් සිදු විය හැක්කේ අධිකරණ තීන්දු වලින් පසුව පමණයි. ඇතැම් අය කියන විදිහට නොවැම්බරය ලංකාවට අරාජික මාසයක්. නමුත්, මා එසේ හිතන්නේ නැහැ. මහින්ද පාර්ශ්වයේ අරමුණ වුනේම කවර ආකාරයෙන් හෝ රාජ්‍ය බලය ඇල්ලීම හා පවත්වාගෙන යාමයි. සමස්තයක් ලෙස බැලූ විට ඔවුන් මේ වන විට අපේක්ෂිත අරමුණ ඉටු කරගෙන තිබෙනවා. රටින් පිටත පිළිගැනීමක් නැතත්, රට ඇතුළේ ඔවුන් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරමින් සිටිනවා.

රාජ්‍ය බලයට දිගින් දිගටම හිමිකම් කිවුවත්, මහින්ද පාර්ශ්වයේ අභියෝගය හමුවේ රනිල් විසින් කළේ රාජ්‍ය බලය අතහැර දැමීමයි. ඔවුන් උත්සාහ කළේ ව්‍යවස්ථාදායකය හරහා විධායකයේ බලයට අභියෝග කිරීමටයි. ඒ සඳහා ඔවුන්ට කල් පසු වී වුවත් අධිකරණයේ සහායද පතන්නට සිදු වුණා.

මේ වන විට මහින්ද විරෝධී කණ්ඩායම විසින් ව්‍යවස්ථාදායකය තුළ සිය බලය තහවුරු කරගෙන සිටියත් එතැනින් එහාට අඩියක් තියන්න ඔවුන්ට හැකි වී නැහැ. ව්‍යවස්ථාදායකය නොසලකා හරිමින් විධායකය ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ඇමරිකාවටත් හුරුපුරුදුයි. ව්‍යවස්ථාදායකය විසින් මුදල් වෙන් නොකිරීම මත ඇමරිකන් ෆෙඩරල් රජයේ ක්‍රියාකාරීත්වය සීමා කරන්න සිදු වී තිබෙන්නේ වරක් දෙවරක් නෙමෙයි. නමුත්, රට ඇතුළේ ඇමරිකන් ෆෙඩරල් රජයේ බලපෑම එතරම් විශාල නොවන නිසා ෆෙඩරල් රජය අකර්මන්‍ය වීම සාමාන්‍ය ජන ජීවිතයට ලොකු බලපෑමක් කරන්නේ නැහැ.

ලංකාවේ සාමාන්‍ය ජනජීවිතයට මධ්‍යම රජයේ බලපෑම ඊට වඩා ගොඩක් වැඩියි. නමුත්, දැන් පැහැදිලිව පෙනෙන පරිදි ලංකාවේ විධායකය ඇමරිකාවේ විධායකයට වඩා ගොඩක් බලවත්. ලංකාවේ විධායකයට ව්‍යවස්ථාදායකය නොසලකා කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. ඇමරිකානු ජනජීවිතයට සෘජු බලපෑමක් කරනවාට වඩා පහසුවෙන්, වෙනස් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති රටකට සෘජු බලපෑමක් කර, ඒ හරහා වක්‍ර ලෙස ඇමරිකන් ජනජීවිතයට බලපෑමක් කිරීම ඇමරිකන් ජනාධිපතිවරයාට පහසුයි.

උදාහරණයක් ලෙස ගත්තොත් ලංකාවේ රාජ්‍ය නායකයෙකුට මෙන් ඇමරිකානු ජනාධිපතිවරයාට සෘජුව ඇමරිකාවේ තෙල් මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ. එය තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. නමුත්, ඔහුට තෙල් නිපදවන ප්‍රධාන රටක් වන සවුදි අරාබියේ රාජ්‍ය නායකයාට බලපෑමක් කළ හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස, දැන් සිදු වී තිබෙනාවක් මෙන්, තෙල් මිල විශාල ලෙස පහළ වැටෙන්න පුළුවන්.

හැත්තෑ හතේ සිටම ලංකාවේ ව්‍යවස්ථාදායකය කියන්නේ විධායකය විසින් නැටවූ රූකඩ මඩුවක් පමණයි. මෙය යම් තරමකින් වෙනස් වුනේ රනිල් වික්‍රමසිංහ අගමැති සේ කටයුතු කළ වකවානු දෙකේදීයි. මුල් අවස්ථාවේදී විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම අවසන් වුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය නීත්‍යානුකූල ලෙස පරාජය කරනු ලැබීමෙනුයි. දහනවවන සංශෝධනයේ අරමුණ වූයේ එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීමයි. ඒ උත්සාහය කෙතරම් සාර්ථකද කියා දැනගන්න ලැබෙන්නේ ඉදිරි සති කිහිපය ඇතුළත ලැබෙන්නට නියමිත අධිකරණ තීන්දු වලින් පසුවයි.

5 comments:

  1. 19වන සංශෝධනය සම්මත කරගන්න ජනාධිපති සිරිසේන එදා මහත් වෙහෙසක් ගත්තා.දවස පුරාම පාර්ලි‌‌මේන්තු පරිශ්‍රයේ ඉඳගෙන පනත සම්මත කරගන්න තම මන්ත්‍රී වරු කණ්ඩායම දිරි ගැන්වුවා මට මතකයි. ඒ නිසා 19වන සංශෝධනය නොතකා හරින්න ඔහුට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඉන්දියාවෙන් දුන්නත් 13වන සංශෝධනය නොසලකා
    කටයුතු කරන්න අපට පුලුවන්ද?
    පාර්ලිමේන්තු සදාචාරයට පිටුපාන මොහු තමන්ම පත්කළ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කල පරිදි චන්ද ප්‍රචාරක කටයුතු සඳහා ITN එක යොදාගැනීමට එරෙහිව මහින්දට විරුද්ධව නඩු දමනවා වෙනුවට මහින්ද අගමැති ලෙස පත්කිරීම වරදකි.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා ලංකා රාජ්‍ය සෝමාලියාවක් වීමට මොහොතකට පෙර මෙසේ ලියා තබමි;

    2005 මහින්ද බළයට එනකොට ඒක - පුත්ගල ණය ප්‍රමාණය රු 180,000/= යි

    2015 මහින්ද යනකොට ඒක පුත්ගල ණය ප්‍රමාණය රු 3,20,000/= යි

    ආසන්න වශයෙන් ...

    2015 බළයට පැමිණි රනිල් - මෛත්‍රී මේ ණය ප්‍රමාණය එක පුරවැසියෙකුට ලක්ෂ හතරක් දක්වා අරන් ආවා..... 450,000

    විශේෂයෙන්ම ගෙවීගිය වසර 13 ක කාළය තුළ ශ්‍රී ලංකාව සංවර්ධන කාර්‍යන් වෙනුවෙන් පවා ලබාගෙන තිබුනේ වානිජ ණය;

    එම නිසා මේ ණයවලට ගෙවන්නට සිදු වන පොළිය 7% / 8% ක් වැනි ඉහළ පොලී අනුපාතයන් වලට යටත්,

    කෙටියෙන්ම කීවොත් ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ණය උගුලකයි සිර වී සිටින්නේ,

    මේ අතර තමයි රොහාන් පල්ලෙවත් කියලා කෙනෙක් මේ ණය ප්‍රශ්නයෙන් රට ගලවා ගැනීමට නිශ්චිත වැඩ පිලිවෙලක් ගැන කතා කරන්නේ...

    (මෙතෙක් රටේ කිසිදු නායකයෙකු ණය ගෙවීම පිලිබඳ නිශ්චිත වැඩපිලිවෙලක් පිලිබඳ කතා කර නැත, ඔවුන් ජනතාවට අඟවන්නේ ණය ගැනීම වීරකමක් බවයි )

    පල්ලෙවත්තගේ යෝජනාව කෙටියෙන් .....

    "ණය හුවමාරු කරගැනීම - restrucruring of loans - exchanged loan structure"

    ශ්‍රී ලංකාව මේ වන විට චීන රජයෙන් ලබාගෙන ඇති සියළුම ණය පොලිය එකවර ගෙවීමට ජපානය සම්බන්ධ කරගන්නවා,

    ජපානය විසින් චීනයට මුළු ණය මුදලම එකවර ගෙවා දමන අතර එතැන් සිට අළුත් ගිවිසුමක් යටතේ අපි ජපානයට ඒ ණය මුදල ගෙවන්න එකඟවෙනවා ...

    " නව එකඟතාවයෙන් රටට ලැබෙන වාසිය " ?

    නව එකඟතාවය අනුව ලංකාවේ අප විසින් ජපානයට ගෙවිය යුතු ණය පොළිය 0.5% - 1 % ත් අතර වන නිසා ණය පොලිය ලෙස චීනයට ගෙවීමට ගිය ඩොලර් බිලියන ගණනක මුදල් රටට ඉතුරු වෙනවා....

    ඒ වගේම ජපාන රජය මේ ණය අය කර ගැනීම අරඹන්නේ ණය නිකුත් කිරීමෙන් වසර 12 කට පසුවයි,

    ඒ වසර 12 තුළ අපට ගෙවීමට කිසිදු ණය වාරිකයක් නොමැති අතර ඒ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරගැනීමට ක්‍රම සම්පාදනය කර ගැනීමට අපට අවකාශ ලැබෙනවා.....

    පල්ලෙවත්තට හතර අතේ නෙළන බුකී වීරයන්ගෙන් අසන ප්‍රශ්නය .....

    මේ ණය ගෙවීමේ ක්‍රමය රටට හොදද නරකද ?

    බුකී වීරයන්ගේ පැනය,

    ඕක කරන්න පල්ලෙවත්ත ජනාධිපති වෙන්නම ඕනද?

    පිළිතුර...

    පල්ලෙවත්ත විසින් මෙම යෝජනාව ඒ ඒ රජයන්ට ඉදිරිපත් කර ඇත, නමුත් රාජතාන්ත්‍රික හේතුන් මත චීනය අත් හැරීමට මේ පාලකයන් සුදානම් නැත.

    පල්ලෙවත්ත බළය ඉල්ලන්නේ ඔවුන් ඒ දෙය කරන්න අකමැති වු නිසාය....

    කොම්පැණියක අයිතිකාරයෙක් වු පමණින් රටක් පාලනය කළ හැකිද ?

    පිළිතුර,

    මිත්‍රයා, මදක් ඇමරිකාව දෙසට හැරී බලන්න...

    දිනෙන් දින කඩා වැටුන ඇමරිකානු ආර්ථිකය මේ වන විට සීග්‍ර වර්ධනයක් ලබමින් සිටී,

    ජනාධිපති ට්‍රම්ප්ද දේශපාලනයට ආගන්තුකයෙකු නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙකි.....

    තීරණය ඔබට බාරයි ඉකොනොමැට්ටා ....

    ReplyDelete
  3. රටේ මුළු ණය ප්‍රමාණය කීයද කියලා විගණකාධිපතිගෙන් ඇහුවම ඔහු කියන්නේ ඒක "වයිම" ගෙන් අහන්න කියලයි. විගණකාධිපති කියන විදියට ලංකාව ගත්ත සමහර ණය හංගන්න උවමනාවට රාජ්‍ය දෙපාර්තමෙන්තුවල ගිණුම් වලට ඇතුලත් කරලා!
    පල්ලෙවත්තගේ "ණය හුවමාරු කිරීම" ගැන ජපාන රජය දන්නවද?
    ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් වෙන්නේ 1953දි JR විසින් San Francisco වලදී ජපානයට පක්‍ෂපාතිත්වය දක්වා කල දේශනයෙන්. එදා මෙදා තුරා ජපානය ලංකාවට බොහෝ දේ දුන්නා. මේ කියන "ණය හුවමාරුව" කල හැකි දෙයක් නම් වික්‍රමසිංහ රජය විසින් එය ජපානයෙන් ලබාගන්නා බව මගේ පිළිගැනීමයි.

    ReplyDelete
  4. අපොයි රට! නියමම චිත්‍රය මවා පෙන්නුවාට ස්තුතියි!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: