වෙබ් ලිපිනය:

Sunday, November 11, 2018

මන්ත්‍රීවරුන්ගේ මිල ඉහළ ගියේ ඇයි?


ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රධාන තවත් අය විසින් සති දෙකකට වැඩි කාලයක් තිස්සේ  අල්ලමින් ඉන්න අඩවුවෙන් පැහැදිලි වන පළමු කාරණය වන්නේ ලංකාවේ පවතින ව්‍යවස්ථාව යටතේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය කෙතරම් දුර්වලද කියන එකයි.

තවමත් ඇති වී තිබෙන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් පමණයි. ඉදිරි සතිය තුළ දී බොහෝ විට ප්‍රශ්නයට අධිකරණය මැදිහත් වන ආකාරයත් බලා ගන්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා. එයින් ප්‍රශ්නය විසඳෙයිද නැත්නම් තවත් ඔඩු දුවයිද කියන එක පිළිබඳවනම් සැකයකුයි තියෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් එක්ක ප්‍රශ්නය වඩා සංකීර්ණ වී තිබෙනවා. අධිකරණයේ මැදිහත්වීම සිදුවන ආකාරය අනුව එය මීට වඩා සංකීර්ණ වීමේ අවදානමකුත් තිබෙනවා. ඒ ගැන කතා කිරීම අපි පසුවට තියමු.

ප්‍රශ්නය පටන් ගත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමත් සමඟයි. ඒ මොහොතේ හා පසුව කවුරු මොනවා කිවුවත් ජනාධිපති සිරිසේන විසින් මහින්දව අගමැති සේ පත් කරන මොහොතේ මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය නොතිබුණු බව සියලු පාර්ශ්වයන් විසින් පිළිගන්නා කරුණක්.

මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් උත්සාහ කළේ පාර්ලිමේන්තුව රැස් වන්නට පෙර කවර ආකාරයකින් හෝ බහුතරය හදාගන්නයි. ඒ උත්සාහය තුළ තිරය පිටුපස සිදු වූ බොහෝ දේ රටේ බොහෝ දෙනෙක්ට තිරය විනිවිද දකින්නට හැකි වුනා. කෙසේ වුවත්, අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනට ජනාධිපතිවරයා තල්ලු වුනේ කවර ආකාරයකින් හෝ පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීම අසීරු බව පෙනී යාමෙන් පසුව බව පැහැදිලියි.

තමන් විසින් තෝරා පත් කරගත් මහජන නියෝජිතයින් කරවල හාල්මැස්සන් සේ අලෙවි වීම බොහෝ දෙනෙකුගේ ජුගුප්සාවට භාජනය වූ කරුණක්. මහජන නියෝජිතයින් පක්ෂ මාරු කිරීම වලක්වන නීති ගෙන ආ යුතු බව කියමින් බොහෝ දෙනෙක් අදහස් පළ කර තිබුණා.

ජේආර් ජයවර්ධන විසින් 1978 ව්‍යවස්ථාව හඳුන්වා දුන් මුල් කාලයේ මහජන නියෝජිතයින්ට පක්ෂ මාරු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත්, ඒ කාලයේ තත්ත්වය වඩා ප්‍රජාතන්ත්‍රවාදී වූ බව කියන්න බැහැ. එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ පක්ෂ නායකයින්ගේ වහලුන් පිරිසක් පමණයි. මේ තත්ත්වය වෙනස් වුනේ අධිකරණ තීන්දු මතයි.

දැන් ඉන්න  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ පක්ෂ නායකයින්ගේ වහලුන් නොවේද කියා කාට හෝ අහන්න පුළුවන්. නමුත්, අප මේ තත්ත්වය දෙස බැලිය යුත්තේ ජේආර්ගේ කාලයට සාපේක්ෂවයි.

සිදු වන්නේ කුමක් වුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු තමන් නියෝජනය කරන පිරිස් වල මතය නියෝජනය කළ හැකි පුද්ගලයින් විය යුතුයි. ඒ මතය කිසියම් මන්ත්‍රීවරයෙකුගේ දේශපාලන පක්ෂයේ මතය සමඟ නොගැලපෙන අවස්ථා තිබෙන්න පුළුවන්.

මේ විදිහට කිවුවත් මන්ත්‍රීවරුන්ට ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීමට ලැබී තිබෙන අවකාශය ඔවුන් විසින් අවභාවිතා කරනවානම්, ඔවුන් කැමැත්තෙන්ම මුදලට හෝ වෙනත් වරදාන වෙනුවෙන් විකිණෙනවානම් කළ හැක්කේ කුමක්ද?

පසුගිය දෙසතියේ සිදු වූ දෑ වලින් පිළිබිඹු වූ දෙවැන්න එවැනි තත්ත්වයන් සම්පූර්ණයෙන් වලක්වා ගැනීම කෙසේ වුවත්, සෑහෙන තරමකින් පාලනය කරගත හැකි තරමට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවයි.

ලංකාවේ මහජන මන්ත්‍රීවරුන් මුදලට විකිණීම ඒ අයගේ හෝ ඒ අයව මිල දී ගන්නා අයගේ පමණක් වැරැද්දකින් සිදුවන්නක් නොවෙයි. ඒ අයව තෝරා ගන්නා ඡන්දදායකයින් විසින් වක්‍රව එවැනි කටයුතු අනුමත කිරීමත් එයට හේතුවක්. එය එසේ නොවන විට මහජන මන්ත්‍රීවරයෙකු විසින් මුදලට පක්ෂපාතීත්වය මාරු කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට මන්ත්‍රීවරුන් මිල දී ගැනීම වඩා අසීරු කාර්යයක් බවට පත් වෙනවා. පසුගිය දෙසතිය තුළ දකින්නට ලැබුණේ ඒ තත්ත්වයයි.

ලංකාවේ සාමාන්‍ය ඡන්දදායකයා මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ සෑහෙන තරම් සක්‍රිය දායකත්වයක් සපයනවා. ඒ හමුවේ, විධායකයට, ව්‍යවස්ථාදායකයට වගේම අධිකරණයටත් රිසි සේ පිස්සු කෙළින්න තිබෙන හැකියාව සෑහෙන තරමකින් සීමා වෙනවා.

ලාංකීය ඡන්දදායක ප්‍රජාව ඇතුළේ සිටින නිර්පාක්ෂික ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. දේශපාලන පක්ෂ වල වහලුන් නොවන විශාල පිරිසක් මහින්ද විරෝධී කණ්ඩායමේ වගේම රනිල් විරෝධී කණ්ඩායමේත් ඉන්නවා. මතවාදී ස්ථාවරයක එල්බ සිටීමත් තමන්ගේ පක්ෂය කියන ඕනෑම දෙයක් කිරීමත් එකක් නොව දෙකක්. තර්කානුකූලව ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් තිබෙන පළමු කණ්ඩායම එන්න එන්නම ශක්තිමත් වෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක අවසන් ප්‍රතිඵලය තීරණය කරනු ඇත්තේ මේ පිරිසයි.

ව්‍යවස්ථාවේ මොන තරම් හිල් තිබුණත්, මේ මොහොතේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ශක්තිය අවතක්සේරු කළ යුතු නැහැ.

(Cartoon by Awantha Artigala https://www.facebook.com/Awantha.artigala/photos/a.580926191924881/2735286016488877/?type=3&theater)

7 comments:

  1. monawada predictions?

    ReplyDelete
  2. මන්ත්‍රීවරුන්‌ගේ මිල ඉහළ ගියේ කොළඹ කුරුඳුවත්තේ ඉඩම් මිළ වගේ. ආණ්ඩුක්‍රම ව්යවස්ථාව ගැන උගන්වන්න කොළඹ විශ්ව විද්‍යාලය දෑවුරුදු පාඨමාලාවක් පවත්වනවා. වැස්සකටවත් ඉස්කෝලෙට නොගිය මන්ත්‍රීවරු දැන් TV වල ඒ ගැන කතාකරන හැටි බලන්න අපූරුයි!

    ReplyDelete
  3. මගේ ඡන්දය ලක්ෂයයි, මනාපයක් 25000 යි. මුල්ම ඉල්ලුම්කරුට දෙනවා.. වැඩිගානක් දුන්නට ආයෙ වෙනස් වෙන්නෑ... ඉක්මන් කරන්න. ඔබේ මැති ඇමති,අගමැති සිහිනය සැබෑවක් කරගන්න...

    ReplyDelete
  4. ඉකොනො කිව්වා වගේම, සමහර මන්ත්‍රී වරු මුදලට විකුනුන බව කාටවත් රහසක් නෙවෙයි. අද ජනාධිපතිත් නිල වශයෙන්ම රටටම කිව්ව මන්ත්‍රීලගේ ගණන් වැඩියි , ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න සිද්ධඋනා කියල.
    කෙනෙකුට මේ වගේ ගැටළු එතකොට මතුවන්න පුළුවන්-

    1) 2019 ජනවාරි මැතිවරණයෙන් පත්වෙන මන්ත්‍රීලත් ඉක්මනින්ම විකිනෙන්න පටන්ගත්තොත් ආයෙත් පාර්ලිමේන්තුව විසුරුවනවද?

    2) 'තමන්ව විකිනෙන්නට ඇති හැකියාව ' ත් අර කාර් පර්මිට් වගේ මන්ත්‍රී වරුන්ට අයිති වරප්‍රසාදයක්ද? නැත්නම්, ඒ ඉඩ කඩ නැති කිරීම ගැන මයිත්‍රී මොනවත් නොකිව්වුවේ ඇයි ?

    3) (එසේ වීමට ඇති හැකියාව මේ මොහොතේ නොපෙනෙන නමුත් ) UNP එක දිනුවොත්, චන්දදායකයන් සල්ලිවලට අරන් කියල තව වතාවක් පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් වලංගු ප්‍රශ්න ටිකක්, ඇනෝ. ඒ වගේම, දැනට ගොඩක් අය විශ්වාස කරනවා වගේ පොහොට්ටුවම දිනුවත්, මෛත්‍රීට මහින්ද එක්ක කලින් පාර වගේ ප්‍රශ්න ඇති වුනොත් තත්ත්වය මොකක්ද?

      මන්ත්‍රීලා විකිණෙන එක ගැන මේ තරම් විස්තරයක් රාජ්‍ය නායකයෙක් විසින් නිල වශයෙන් කරනවා ඇහුවමයි!

      Delete
  5. මයිත්‍රීට ඒ ගැන ගානක් නැතිඋනාට, ලබන අවුරුද්ද සඳහා අයවැයක් වත් අතුරු සම්මත ගිණුමක්වත් සම්මත කරගන්න වත් නොදී තමයි පාර්ලිමේන්තුව 'බ්ලාස් ' උනේ. දැන් මුදල් ඇමති හැටියට මහින්දට පුලුවන්ද තමන් කැමති විදියට ආණ්ඩුවෙ සල්ලි වියදම් කරන්න? පාර්ලිමේන්තුවෙන් අනුමත නොවී?
    2018 දෙසැ 31 න් පස්සෙ වියදම් කරන්න ආණ්ඩුවෙ ආයතන වලට ප්‍රතිපාදන තියෙනවද?
    සමහර අවස්ථාවල ඇමරිකාවේ උනා වගේ , (ජනාධිපතිගේ අයවැය කොන්ග්‍රස් එකෙන් අනුමත කිරීම ප්‍රමාද කිරීමෙන්) , අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවෙ සම්මත වෙනකම් , 2018 දෙසැ 31 න් පස්සෙ රජයේ සේවාවන් නතර කල යුතු වෙනවද.

    ReplyDelete
  6. Pf Ratnejeevan Hoole, a hero of our time.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: