වෙබ් ලිපිනය:

Tuesday, March 1, 2016

ඉතිහාසයේ ටක්කෙටම හරිගිය අනාවැකි


ඒ මීට අවුරුදු 512කට පෙර හැන්දෑවකි. ස්වදේශීය අරවක් ගෝත්‍රිකයින් විසින් ක්ෂේමයිකා ලෙස එවකට හැඳින්වූ ජැමෙයිකාවේ මුහුදුබඩ පෙදෙසක යුරෝපීයයන් කණ්ඩායමක් සහ ස්වදේශිකයින් අතර රැස්වීමකි.

"තමුසෙලට මම කිවුවනේ, පැහැදිලි කරලා. කෝ ඇහුවද?"

ක්‍රිස්ටෝපර් කතා කරයි. පරිවර්තකයෙකු එය ස්වදේශිකයින්ට විස්තර කරයි.

"අපේ දෙවියන් වහන්සේ හොඳටම කෝප වෙලයි ඉන්නේ. මට කිවුවා තව ටිකකින් තමුසෙලගෙ 'කාරායා'ව පුච්චල නැති කරල දානව කියලා."

ඇතැම් ස්වදේශිකයින්ගේ මුහුණෙහි බියක සලකුණු ඇඳී ඇත. කාරායාව පුච්චල නැති කරල දාන්න? මනුස්සයෙකුට පුළුවන්ද එච්චර දෙයක් කරන්න. ඔහු අහස දෙස බලයි. 'නී' තාමත් අහසේ සිටී. රෑ බෝ වී නී ගුහාවට රිංගූ පසු කාරායා ගුහාවෙන් එළියට එනු ඇත.

රැස්ව සිටින ස්වදේශිකයින් කණ්ඩායමේ එක් අයෙකු වන මකාකා වටපිට බලයි. ඔහු මෙන් බය වී සිටින්නේ ඔහුගේ සගයන් කිහිප දෙනෙකු පමණි. අනිත් අයගේ මුහුණේ ඇත්තේ සම්ච්චලයකි.

"මොකද කියන්නෙ? ගිහින් අපිට කන්න බොන්න මොනව හරි ටිකක් අරං එනවද? නැත්තං..."

"මේ වැඩේ දැන් අපි මාස හයක් තිස්සෙම කළානේ?" මකාකා සිතයි.

"මොකක්ද අපිට ලැබුන ප්‍රයෝජනේ? දිගටම වුනේ අපිව රවට්ටන එකයි අපේ තියෙන දේවල් හොරකම් කරන එකයි. දැන්  'කාරායා'ව පුච්චල නැති කරල දාන්න කතා කරනවා. මේ ගොල්ලන්ගේ ඔය කියන දෙයියෝ ඔය තරං බලවත්ද? ඇරත් අද කාරායා හොඳටම බලවත් දවස. ඒක කොහොමවත් වෙන්න බෑ."

"නෑ. ආයෙනම් කෑම දෙන්නේ නෑ. ඔහේ මැරිල ගියාවෙ බඩගින්නෙ..."

මකාකාගේ සගයින් කවුරුත් හිතන්නේ මකාකා හිතන විදිහටමය.

නී ගුහාවට රිංගුවේය. කළුවර වැටීගෙන එයි. කාරායා ගුහාවෙන් එළියට ඇදේ.

"මොනව මේක වෙන්න පුලුවන්ද?"

කාරායා වෙනදා මෙන් කහ පාටින් බැබළෙන්නේ නැත. තනිකරම ලේ රතු පාටය. ගිණිගෙන දැවෙනවා වගේය. දැන්නම් මකාකාගේ අනිකුත් සගයින්ගේ මුහුණුවල ඇත්තේත් බියකි.

කාරායා හිමිහිට උඩට මතු විය. එහෙත්, ඇගේ මුහුණේ ඇත්තේ වෙනදා ඇති ප්‍රසන්න පෙනුම නොවේ. රතු වූ වේදනාබර මුහුණකි.

"දැක්ක නේද මොකද වෙලා තියෙන්නේ කියල?" ක්‍රිස්ටෝපර්ගේ මුහුණේ පෙනෙන්නට ඇත්තේ ලොකු යුද්ධයක් දිනුවාක් වැනි හැඟීමකි.

"මොකද කියන්නෙ දැන්වත් ගිහිං කෑම අරං එනවද?"

"මේ මනුස්සය ඇත්තනෙ කියල තියෙන්නේ.." මකාකා සිතයි. එහෙත්, කවුරුත් කෑම ගෙනෙන්නට යන පාටක් නැත. සියල්ලෝම විමතියෙන් කාරායා දෙස බලා සිටිති. දැන් ටිකෙන් ටික කාරායාගේ පැත්තක් අඩුවෙන්නට පටන්ගෙන තිබේ. හරියට කවුරු හරි ගිල දමනවා වගේය.

"යමු යමු ගිහින් කෑම මොනව හරි අරගෙන එමු."

මකාකා ගෙදර දුවන්නට සැරසේ. තවත් අය ඔහු පසුපසය.

"ආ ගෙනාවද? කොහෙද ඕක කරන්න දෙවියෝ කෝප වෙනකම්ම හිටියනේ..."

මකාකා කෑම මල්ලක්ම ගෙනත් ගොඩ ගැහුවත් ක්රිස්ටෝපර්ගේ මුහුණේ තාමත් හිනාවක් නැත. තවත් අයත් කෑම ගෙනත් ගොඩගසති.

මකාකා අහස දෙස බැළුවේය. දැන් පෙනෙන්නට ඇත්තේ කාරායාගේ කුඩා තීරුවක් පමණි. මොහොතකින් එයද නොපෙනී ගියේය.

"අනේ පිං අත්වෙයි. කරුණාකරලා මේ දේව කෝපෙන් අපිව ගලවල දෙන්න!"

"අපි බලමු එහෙනං දෙවියන්ට යාඥා කරලා.."

කාමරයට ගොස් දොර වසාගත් ක්‍රිස්ටෝපර් දෙවියන්ට යාඥා කර ප්‍රශ්නය විසඳන තුරු මකාකා ඇතුළු පිරිස අඳුරේ බලා සිටිති. කාමරයට ගිය ක්‍රිස්ටෝපර්  රෙගියෝමොන්ටනස් නම් වූ ආරුඪ නමකින් ප්‍රකාශ කර ඇති ජොහැන්නස් වොන් කොනින්බර්ග්ගේ ලිත නැවතත් අතට ගත්තේය. මීටත් වඩා බලගතු දෙවි කෙනෙක් සිටිය හැකිද? යාන්තම් වැඩේ ගොඩය.

ලිත අනුව මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය විනාඩි 48ක් පවතිනු ඇත. ක්‍රිස්ටෝපර් කොලොම්බස් වැලි ඔරලෝසුව විනාඩි 48ක ප්‍රමාණයට පුරවා අනිත් පස හැරවීය. දැන් ඇත්තේ බලා සිටින්නටය.

මේ ක්‍රිස්ටෝපර් විසින් නව ලෝකයට සිදුකළ සිවුවන මුහුදු චාරිකාවයි. ඔහුගේ මුහුදු යාත්‍රාවේ දැවමය කොටස් පණුවන් වර්ගයක් බෝවීමෙන් සිදුරුව යාත්‍රා කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති නිසා දැන් මාස හයක් තිස්සේ ඔහු මේ ජැමෙයිකා වෙරළේ සිය නාවිකයින් සමඟ සිර වී සිටී. පසුගිය කාලය මුළුල්ලේම ස්වදේශිකයෝ ඔවුන්ට බොහෝ උපකාර කළහ. එහෙත්, ඔහුගේම කණ්ඩායමේ පිරිස් ස්වදේශිකයින්ව රවටන්නටත්, ඔවුන්ගේ බඩු සොරා ගැනීමට හා පැහැර ගැනීමටත් පටන් ගැනීම නිසා දැන් මාස හයකට පසු ස්වදේශිකයින්ගෙන් ලැබුණු උදවු උපකාර නැවතී තිබේ. අන්තිමේදී, ක්‍රිස්ටෝපර්ට තම කණ්ඩායම පාලනය කර ගැනීම පවා අමාරු වන තත්ත්වයක් ඇති විය. ඔවුන් සූදානම් වූයේ ආයුධ රැගෙන ගොස් ස්වදේශිකයින්ගේ ආහාර පැහැර ගැනීමටය.

ආධාරක නැවක් පැමිණෙන තුරු මාස හයක්වත් බලා ඉන්නට සිදුවනු ඇත. ඒ නිසා දැන්මම ස්වදේශිකයින් සමඟ ගැටුම් ඇති කර ගැනීම නුවණට හුරු කරුණක් නොවේ. ක්‍රිස්ටෝපර් හැමවිටම පරිහරණය කරන ලිත අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව දැන සිටි ඔහු සිය කණ්ඩායමේ නාවිකයින්ගෙන් ඉල්ලා සිටියේ තමන් දින තුනකින් මෙම ප්‍රශ්නය විසඳන තුරු ඉවසා සිටින ලෙසය. ලිතේ ඇත්තේ යුරෝපයට මෙම චන්ද්‍රග්‍රහණය පෙනෙන වෙලාව නිසා, තමන් සිටින තැනට මෙය පෙනෙන වෙලාව පිළිබඳව තමන් විසින් සිදු කළ ගණනය කිරීම් ගැන ක්‍රිස්ටෝපර්ට සැකයක් නොතිබුණා නොවේ. කෙසේවුවද, දැන්නම් බයවෙන්නට දෙයක් නැත.

අන්තිම වැලි ටික වැටෙන්නට දැන් ඔන්න මෙන්නය. තව ටික වෙලාවකින් සඳ නැවත මතු වනු ඇත. ක්‍රිස්ටෝපර් කාමරයෙන් එළියට ආවේය.

"යාඥාව ඉවරයි වගේ"

මකාකා සැනසුම් සුසුමක් හෙලයි.

"දෙවියන් වහන්සේ සමාව දෙන්න සූදානම්. මොකද කියන්නේ දිගටම අපිට කෑම බීම ගෙනත් දෙනවද?"

නොවරදවා එසේ කරන බව ස්වදේශික අරවක් ගෝත්‍රිකයෝ එකාවන්ව සපථ කරති.

"ඔන්න එහෙනම් කාරායාට ආපහු පණ ලැබෙයි!"

ක්‍රිස්ටෝපර් අහසට අත් දිගුකර කිසියම් යාඥාවක් කරයි. ස්වදේශිකයින්ගේ ඇස් අහසට යොමු වූ ගමන්ය.

විනාඩියක්වත් ගතවුණේ නැත. සඳ නැවතත් හිමිහිට මතුවන්නට පටන්ගෙන ඇත. ස්වදේශික අරවක් ගෝත්‍රිකයෝ ප්‍රීති ඝෝෂා නඟති. ටික වෙලාවක් යද්දී සම්පුර්ණයෙන් මතු වුනු පූර්ණ චන්ද්‍රයා අහසේ බබලයි. ස්වදේශිකයෝ සතුටින් විසිර යති. තවත් මාස හයකට පසු පැමිණෙන නැවකින් නැවත යුරෝපයට යනතුරු ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ කණ්ඩායමට ආහාර හිඟයක් නොවේ. මේ කොලොම්බස්ගේ අවසන් චාරිකාවයි.

කෙසේවුවද, යුරෝපීයයෝ ජැමෙයිකාවේ සහ යාබද පෙදෙස් වල සිය බලය පතුරුවති. අරවක් ගෝත්‍රිකයෝ ඔවුන් වෙනුවෙන් හරි හැටි කෑමක්වත් නොලබමින් වැඩ කරති. යුරෝපීයයන් ගෙන එන වසංගත රෝග වලට ඔවුහු ගොදුරු වෙති. යුරෝපීයයන්ගේ බලගතු දෙවියන් යුරෝපීයයන්ව මේ වසංගත වලින් බේරාගත්තත් ස්වදේශිකයින්ගේ දෙවියන්ට එවැනි බලයක් නැති නිසා ඉතා කෙටි කලකින් අරවක් ගෝත්‍රිකයෝ එකා පසු පස එකා වැටී මිය යති. ලක්ෂ හෝ මිලියන ගණනක ජනගහණයක් සිටි අරවක් ගෝත්‍රය දශක කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම වඳ වී යයි.

ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට උදවු කළ රෙගියෝමොන්ටනස්ගේ ලිත වැනි ලිත් යුරෝපයේ නොකඩවා වාර්ෂිකව පළවේ. මේ වන විට නාසා ආයතනයන් නිකුත් කරන  දත්ත ඇසුරින් සකස්වන, දැනට එංගලන්තයේ මුද්‍රණය කෙරෙන, වසර දෙසියයක පමණ ඉතිහාසයක් ඇති රපායෙල්ගේ ලිත වැනි ග්‍රහ වස්තූන්ගේ චලන හා අදාළ දත්ත වගු සහිත වාර්ෂික ප්‍රකාශන වලින් එසේ උපුටාගත් බවවත් සඳහන් නොකරමින් උපුටාගන්නා දත්ත වගු සියවස් එකහමාරකට වැඩි කාලයක් තිස්සේ නොකඩවා ඈත පෙරදිග දිවයිනක දේශීය භාෂාවකට පරිවර්තනය වී පංචාංග ලිත් නමින් පළවේ. අවුරුද්දකට වරක් මේ ප්‍රකාශනයක් මිලදී ගන්නා වෘත්තිකයෝ පිරිසක්, ඒවා ඇසුරෙන් මේ දිවයිනේ වැසියන්ට අනාගතයේ සිදු විය හැකි දේ ගැන ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට කියන්නට බැරි වූ බොහෝ දේ කියා දෙති. 

(Image:http://aerospace.wcc.hawaii.edu/shadows.html)

37 comments:

  1. හුරේ මමයි එක :D

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක පලවෙලා විනාඩි 18යි. :)

      Delete
  2. හරිම රසවත් කතාවක් ඉකෝන්. කොලොම්බස් ඇමෙරිකාව හොයාගත්ත කතාව දැනගෙන හිටියට මේ කතාව ඇහුවේ අදයි. මේවගේම සූර්යග්‍රහණයකින් වැඩේ ගොඩ දාගන්න අවස්ථා දෙකක් King Solomon's Mines පොතේ සහ Tin Tin කතාවක තියෙනවා මට මතක විදියට. කොලොම්බස්ගේ කතාව ඇත්ත නම් මේ ප්‍රබන්ධ දෙකට අභාසය ලැබෙන්න ඇත්තේ එකෙන් වෙන්න පුළුවන්.

    පෙරදිග දිවයිනේ සිටින අනාගතය පෙනෙන වෘත්තිකයින් ගැන කතා නොකර ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්ටෝපර් සමඟ මේ අවස්ථාවේ සිටි ඔහුගේ දෙවන පුතා වන ෆර්ඩිනැන්ඩ් කොලොම්බස් විසින් විස්තරාත්මකව මේ සිද්ධිය සටහන් කර ඇත. එය සැබෑවට සිදුවූ ඓතිහාසික සිද්ධියකි. රයිඩර් හැගාඩ්ගේ King Solomon's Mines, මාර්ක් ට්වේන්ගේ A Connecticut Yankee in King Arthur's Court සහ ටිංටිංගේ වික්‍රමයක් වන Prisoners of the Sun වල ඇති සත්‍ය නොවන සිද්ධි වලට පාදක වී ඇත්තේ මේ සැබෑ සිදු වීමයි.

      Delete
    2. මටත් මතක් උනේ ටින් ටින්!

      Delete
  3. එතකොට ඈපා පංචාන්ගෙත් ...

    ReplyDelete
    Replies
    1. මා මෙහි ලියා ඇත්තේ බටහිර විද්‍යාව අවස්ථාවෝචිතව තමන්ගේ වාසිය වෙනුවෙන් ප්‍රයෝජනයට ගෙන ඇති අවස්ථාවක් ගැනය. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වැනි රෝහල් වල බයිපාස් සැත්කම් කිරීමේ සිට එවැනි සැත්කම් කළ යුතු වෙලාව තීරණය කිරීම දක්වා කටයුතු වලට බටහිර විද්‍යාවේ දැනුම සාර්ථකව යොදාගැනේ. ඔය කියන දිවයිනේ පැරණිම පංචාග ලිත සම්ප්‍රදායික මුද්‍රණ තාක්ෂණයෙන් අකුරු අමුණා කරද්දී දශක තුන හතරකට පෙර සිට 'පරිගණක ඇසුරෙන් සකස් කළ' පංචාග ලිතක්ද තරඟකාරී ලෙස වෙළඳපොළට ඇතුළු විය. එහෙත්, මෙසේ පරිගණක ඇසුරෙන් කෙප්ලර්ගේ සමීකරණ යොදා ගණනය කිරීම් සිදු නොවුන අතර අර කී පොතේ ඇති වගු පරිගණක ඇසුරෙන් ටයිප් සෙටින් වීම ඇරඹුනේය. ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය කියන දෙයට එවැනි දේවලුත් ඇතුළත්ය.

      Delete
  4. ඒ මචං ඉකොන්... අපේ තාත්ත ඔය කතාව අපි පොඩි කාලෙ කිව්ව බං. අපේ ගෙදර වරිච්චි ගහල කුස්සියක් හැදුව. ඒක‍ෙ වැඩ කරන ගමං, දවල් කෑමට නතර කරපු වෙලාවෙ තාත්ත ඔය කතාව කිව්වෙ. එයත් කිව්වෙ කොලොම්බස් ඔහෙම වැඩක් කළා කියලයි. ඒ ගැන වෙන කිසිම තැනකිං කියවන්න ලැබුන් නැති නිසා මං හිතුව තාත්ත වෙන කාගෙදෝ කතාවක් කොලොම්බස්ට ආදේශ කරල කියල. මං අදයි හරිම විස්තරේ දැනගත්තෙ. ටැංකිව් බං.

    ReplyDelete
    Replies
    1. ටිං ටිං නුත් ඔයවගේ වැඩක් කලා, ඊනිඩ් බ්ලයිටන් ඇඩ්වෙන්චර් පොතකත් කලා.

      කොයිතරම් කලත් රැවටීම අඩුනැති බව ෆෙන්ෂුයි සිට වාලම්පූරි හා විශ්ව ශක්තිය හරහා හඳහන් දක්වා ඉන්නා අපේ කොලබොක්ස්කාරයින් ඔප්පුකරනු ඇත

      Delete
    2. ඩ්‍රැකීම කලින් කියල තිබුන වගේ ඩ්‍රැකීගේ තාත්තා බ්ලොග් එකක් ලිවුවනම් සෑහෙන්න දේවල් දැනගන්න තිබුණා.

      Delete
  5. අර මෙල් ගිබ්සන්ගේ පිලුම් එකෙත් තියෙන්නෙ මීට සමාන එකක්ද?

    ReplyDelete
    Replies
    1. මට මෙවැනි සිද්ධියක් චිත්‍රපටියක බැලු බවක් මතක නෑ, දේශ්. චිත්‍රපටිය මතකද?

      Delete
  6. රයිඩර් හැගාඩ්ගෙ කිං සොලමන්ස් මයින්ස් කියන පොතෙත් ඔය කතාව ඔය ආකාරයටම ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට පාදක වෙලා තියෙන්නේ 1504 පෙබරවාරි 29 හැන්දෑවේ සිදු වූ මේ සැබෑ සිද්ධිය, හැලපේ.

      Delete
  7. ඉක්කා වරුන්ට දියුනු ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුනා. ඉතින් ඒ වගේ පිරිසක් චන්ද්‍රගුහණයක් නොදැන හිටියා යැයි හිතන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්, ජගත්. පළමුව, මේ අය ඉන්කා වරු නෙමෙයි. ඉන්කා වරු පැතිරී හිටියේ දකුණු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ. මෙය සිදුවන්නේ කැරිබියන් දූපතක. ඒ වුනත්, ඇස්ටෙක් වරුනුත් චන්ද්‍රග්‍රහණ ගැන නොදැන ඉන්න විදිහක් නෑනේ. ඔවුන්, බොහෝ විට චන්ද්‍රග්‍රහණ ගැන සිතාගෙන ඉන්න ඇත්තේ දෙවියන්ගේ (Zemi) බලපෑමෙන් සිදුවන දෙයක් ලෙසයි. මෙතන තියෙන්නේ එය සිදුවන වෙලාව හරියටම දැනගැනීම නිසා ඇති වුනු වාසිය. දෙවියන් සමඟ කෙළින්ම කතාබහ කරලා දෙවියන් කරන දෙයක් හරියට කියන්න පුළුවන් අයට අද වුනත් කෑම බීම දෙන්න කොයි තරම් අය ඉන්නවද? ඇස්ටෙක් වරුන් වඳ වී යාමට ඔවුන් සහ යුරෝපීයයන් අතර තිබුණු ජීව විද්‍යාත්මක වෙනස්කම් හා අවි ආයුධ වල වෙනස්කම් වලට අමතරව දැනුම් පරතරයත් බලපෑමක් කරන්න ඇති. සමහර වෙලාවට සංස්කෘතීන් දෙකක් එකට හමු වූ විට දැනුමේ සුළු වෙනසක් නිසා එක් කණ්ඩායමක් සම්පූර්ණයෙන් නැති වී යන්න පුළුවන්. දැන් තරමක් වෙනස් අදහස් ඇතත් නියන්ඩතාල්ලා හෝමෝ සේපියන්ස්ලා හමුවීම ගැන කාලයක් තිබුණු මතයත් එවැන්නක්.

      Delete
  8. මගේ තාත්තා ඔය රෆායෙල් ඇල්මනැක් එක ගැන කියනවා මං අහල තියෙනවා

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙය ඔබේ පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දැනසිටි ග්‍රන්ථයක්.

      Delete
  9. ලංකාවේ වැද්දන්ගේ බ්ලඩ් ග්රුප් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ ඇනුවල් චෙකප් එකට ගියාම තමයි හරියටම දැනගන්න වෙන්නේ, මල්මි. :)

      ඔබ අහන්නේ ඇත්තටමනම්, මම කියවල තියෙන පර්යේෂණ ලිපි කිහිපයේ ඇති කරුණු මම තේරුම් ගන්න ආකාරයට ලංකාවේ සිටින වෙනස් ජනවර්ග ජානමය ලෙස වෙනස් වන්නේ කොහොමද කියා තහවුරු කරන්න තරම් තියෙන සාක්ෂි ප්‍රමාණවත් නැහැ.

      Delete
    2. අහන්නේ ඇත්තට.

      මේක මත මට මම තේරුම් ගන්න ආකාරය ගැන ස්තාවර නිගමනයකට එන්න පුලුවන් වේවි.

      Delete
    3. මට හිතෙන විදිහට, දැන් ලංකාවෙ ඉන්න වැද්දන්ගෙ ලේ ගොඩක්ම, සිංහල, දෙමළ සහ මුස්ලිම් ලේ සමඟ කළවම් වී තියෙන්නෙ...

      Delete
    4. මම පර්යේෂණ ලිපි කිහිපයක් මගේ දැනුම හා සතුට වෙනුවෙන් කියවා තිබුණත් ඒවා ඊට වඩා මට ප්‍රයෝජනවත් නොවන නිසා සේව් කරගෙන නැහැ, මල්මි. වෙලාවක් ලැබුණු ගමන් හොයල දාන්නම්.

      Delete
    5. මම හිතන්නේ මල්මිට දැන ගන්න අවශ්‍ය වැද්දන්ගේ ජාන සම්බන්ධකම් ගැන වෙන්න ඇති කියලා. පහළින් තියෙන්නේ මම කලින් කියවා මතක තිබුණු ලිපි දෙකක්. මල්මි හොයන්නේ පර්යේෂණ පත්‍රිකානම් google scholar ගිහින් මල්මිට හරියටම අවශ්‍ය දෙය දමා සර්ච් කරන්න. මම ඔය අහම්බෙන් උඩින් පල්ලෙන් දැකපු දෙයක් විතරයි මේ ගැන දන්නේ.
      http://www.nature.com/jhg/journal/v59/n1/full/jhg2013112a.html
      http://www.jstor.org/stable/41465438?seq=1#page_scan_tab_contents
      මට තේරෙන හැටියට සමරි එකක් ඕනෑනම් මගේ උඩ කමෙන්ට් එකේ සහ ඩ්‍රැකීගේ කමෙන්ට් එකේ ඇති දෙයයි කියන්න තියෙන්නේ.

      Delete
    6. @malmi hi: වැද්දෝ ද මනුෂ්‍යයෝය. එබැවින් A, B, AB, සහ O යන 'බ්ලඩ් ග්රුප්' 4 වැද්දන් සතුව පවතී. (එකක් කිව නොහැක)

      @ඩ්‍රැකී: ඔබ සඳහන් කරන ජාති (nation) - ජනවර්ග (race) සහ blood group අතර සම්බන්ධයක් නැත. ලේ සම්බන්ධකම් (blood line) පිළිබඳව සළකා බලන්නේ නම් මුස්ලිම් යනුවෙන් එක වර්ගයක් ලංකාවේ නැත. බහුතර මුස්ලිමුන් පිරිසක් ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ එකල මැඩ්රාස් ප්‍රෙසිඩෙන්සි (වර්තමාන දෙමළ රට) ලෙස හැඳින්වුණු පෙදෙසිනි - උහු ඉස්ලාම්කරණය වූ දෙමළු වේ. තව කොටසක් මැලේ ජාතිකයෝ ය. මීට අමතරව, උතුරු ඉන්දීය (වර්තමාන පාකිස්ථාන ඇෆ්ගන් ආදී පෙදෙස් වලින් සංක්‍රමණය වූ) සම්භවයක් ඇති ජන කොටස් ද වේ - උදා: බෙග් මාස්ටර්. මෙයටත් අමතරව බංගලිදේශ බුරුම ආදී පෙදෙස් වලිනුත් මාලදිවයිනෙනුත් (ඉස්ලාම්කරණය වූ පැරණි සිංහලයින්) සරනාගත ජනකොටස් අදත් පැමිණෙති. මෙකී වර්ග වල පිරිමින් (එක මිනිහාට ගැහැණු ගොඩක් බඩ කිරීමට අවශ්‍ය වීම හේතුවෙන්) ලංකාවේදී සිංහල ගැහැණුන් සහේට ගැනීමෙන් සිංහල මිශ්‍රණයක් ද සුළු වශයෙන් පවතී.

      කෙසේ වුව මුස්ලිමුන් එක blood line එකක් ලෙස සැළකුවත් නැතත් ජනවර්ගයක් ලෙස මුස්ලිමුන් තුල වැදී ලේ තිබීමේ ඉඩක් මිස වැද්දන් තුල මුස්ලිම් ලේ තිබීමේ ඉඩක් නැත.

      Delete
    7. ලේ සහ ජාන අතර වෙනස කියවා බලන්න

      Delete
    8. කනිෂ්ක: ඔබ කියන පරිදිම සෑම ජන වර්ගයකම වගේ මේ රුධිර කාණ්ඩ හතරම තිබුණත් ජානමය වෙනස්කම් නිසා එක් එක් රුධිර කාණ්ඩවලට අයත් ප්‍රතිශත වල සැලකිය යුතු වෙනස්කම් තිබේ. මෙය බලන්න.

      https://en.wikipedia.org/wiki/Blood_type_distribution_by_country

      ලංකාවේ විවිධ ජනවර්ග අතරද (පරම්පරා ගණනාවක් විවාහ වලින් මිශ්‍ර නොවීම නිසා) මෙවැනි ඉඩක් තිබීම විය හැක්කකි. එහෙත් දැනට කර ඇති පර්යේෂණ සීමිත ප්‍රමාණයේ ප්‍රතිපල අනුව මේ වෙනස්කම් ඉතා විශාල නැත. වෙනත් විදිහකින් කියනවානම් තිබිය හැකි සීමිත වෙනස්කම් පැහැදිලිව හඳුනාගත හැකි තරමට විශාල පිරිසක් යොදාගත් පර්යේෂණ බොහෝ ගණනක් කෙරී නැත.

      වැදි ජනතාව ගැන ඔබ කියන දෙයට පදනමක් තිබේ. මුස්ලිම් මෙන්ම සිංහල හෝ දෙමළ අයද වැදි අයෙකු සමඟ විවාහ වී වැදි වීම දුලබ සිදුවීමක් බව මගේ අදහසයි. බොහෝ විට සිදුවන්නේ එහි අනිත් පැත්ත නිසා යම් තරමකට හෝ 'ශුද්ධ' වැදි ජාන තිබීමේ ඉඩක් පවතී.

      Delete
  10. රැවටිල්ලෙන් පාලනය.. දැණුම ගලා යන්න ගලා යන්න පාලනය අපහසු වෙයි.අළුත් රැවටිලි ක්‍රම ඕන වෙයි.බොරුව මොකද්ද ඇත්ත මොකද්ද,ලොකු ඇත්තක පොඩි බොරුවක් පටලා ඇත්ත බොරු කිරීම,ලොකු බොරුවක පොඩි ඇත්තක් පෙන්නා බොරුව ඇත්ත කිරීම... ජීවිතය කියලා හඳුන්වන දවස අත ලඟයිද,උදාවෙලාද... කරායා දිහා බලං ඉන්න තමා වෙන්නෙ.හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //ලොකු ඇත්තක පොඩි බොරුවක් පටලා ඇත්ත බොරු කිරීම, ලොකු බොරුවක පොඩි ඇත්තක් පෙන්නා බොරුව ඇත්ත කිරීම// මේ දෙකනම් බොහොම හොඳ නිරීක්ෂණ.

      Delete
  11. අභ්‍යවකාශ යානයක් මඟින් ග්‍රහ චලිතය පටිගතකර එම වීඩියෝව ආපසු වාදනය කලහොත් නිරීක්ෂකයාට එහි අමුත්තක් දැනෙන්නේ නෑ. එයට හේතුව එම චලිතය නිව්ටෝනීය/ ගැලීලීය සුසමාදර්ශය ඔස්සේ පැහැදිලිකල හැකි එකක් වීමයි. එම සුසමාදර්ශයට අනුව අතීතය ආ අනාගතය සමමිතිකයි.
    නමුත් බෝංචි ඇටයක් පරෝහනය වන ආකාරය පටිගතකර එය ආපසු වදනය කලහොත් එය බොරුවක් බව නිරීක්ශකයා අවබෝධකර ගන්නවා එයට‍ හේතුව එය තාපගතික සුසමාදර්ශයට අයත් සිද්ධියක් වීමයි එහි කාලයට දිශාවක් තිබෙනවා.
    (නලීන්ද සිල්වාගේ දේශන ඇසුරින්.)
    පාඨලී චම්පික රණවක මහතා රූපවාහිනී වැඩසටහනකදී සූශමදර්ශය කියා වචනයක් ප්‍රකාශ කලා :-)

    ReplyDelete
    Replies
    1. මටනම් ඔය දෙකේ වෙනස තේරෙන්නෙ නෑ, ජගත්. මම නලින්ද සිල්වා තරමට භෞතික විද්‍යාව ඉගෙනගෙන නැති නිසා වෙන්න ඇති. මටනම් හිතෙන්නේ නිරීක්ෂකයා පළමුවැන්න හෝ දෙවැන්න බොරුවක් බව අවබෝධ කරගන්නේ ඔහුගේ මොළයේ ඇත්ත ලෙස සටහන් වී ඇති දෙයට සාපේක්ෂව බවයි.

      Delete
  12. වටිනා ලිපියක්. ඔබේ ලිපිව ල ඔබටම අනන්‍ය වූ විශේෂතාවක් තිබෙනවා. ස්තුතියි

    ReplyDelete
  13. etthatama Columbus janagathaka aparada kara neda.

    ReplyDelete
    Replies
    1. කොලොම්බස් විසින් පෞද්ගලිකව එවැනි ජන ඝාතන කළාද කියා මම දන්නේ නැහැ, ජගත්. එහෙත්, ඔහු විවෘත කර දුන් පාර දිගේ පැමිණි අය විසින් එසේ කළා. කොලොම්බස් විසින් පැරණි ලෝකය සහ නව ලෝකය සම්බන්ධ නොකළත් වෙන කවුරු හෝ එය පසුව කළ පසු ඒ දෙයම විය හැකිව තිබුණා.

      Delete
  14. ටිං ටින් පොතේ කතාව තමයි මතක් වුනේ.ඒ කොහොම වෙතත් විදේශිකයින්,ස්වදේශකයින් රැවටීම අනාදිමත් කාලයක් පුරවාට සිදුවී තිබෙනවා වගේනේ.එතකොට මේ විදියට ස්වදේශකයින් පහසුවෙන් විදේශිකයින්ට රැවටෙන්නේ තමන්ගේ උන්ට වඩා පිට උන් විශ්වාස කිරීමට යාමෙන් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇතැම් ස්වදේශිකයෝ රැවටෙන්න සූදානමින් ඉන්නකොට විදේශිකයෝ වගේම ස්වදේශිකයොත් වාසි තකා ඒ අයව රවට්ටනවා, මනෝජ්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: