වෙබ් ලිපිනය:

Wednesday, March 16, 2016

අයියා නංගිලාගේ දරුවෝ


මිනිසුන්ගේ ඇති වෙනත් අයෙකුට හානියක් නොවන ආකාරයේ විවිධ විශ්වාස ගැන කතාකිරීම ඒ තරම්ම තේරුමක් නැති දෙයකි. ආගමික, සංස්කෘතික මෙන්ම ඇතැම් විට විද්‍යාත්මක ලේබල් යටතේද එන එවැනි විශ්වාස වලින් අප බොහෝ දෙනෙකු ඉඳහිට හෝ සිඟිති ආතල් එකක් ගන්නෙමු. කිසිවෙකුගේ ආගමික විශ්වාස වලට ගැරහීමේ අදහසක් නැතත්, යමෙකුට එසේ සිතෙනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරමින් මේ ලිපිය ලියන්නට හේතු වූ මූලික අදහස පහළ වුනේ රසිකගේ ලිපියක ඇති කරුණක් දැකීමෙනි.

රසිකගේ ලිපියේ හරය නොවූවත්, ඔහු එහි අවසානයේ "සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව මතක් කර ඇත. ඔහු මෙහිදී කියන්නේ අපේ ජනප්‍රිය ඉතිහාස කතාව අනුව සිංහලයින් වගේම වැද්දන්ද පැවතෙන්නේ අයියා-නංගී එකතුවකින් බවයි. ඔහු කෙළින්ම කියා නැතත්, අයියා-නංගී එකතුවක් නුසුදුසු දෙයක් බව එයින් අදහස් වේ. මෙය ඔහු කියන දෙයක්ම නොවේ. අප මත බලෙන් පැටවූ රෝම-ලන්දේසි නීතිය අනුවත්, එවකට රටේ පැවති උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුණු නීතිය අනුවත් අයියා-නංගී විවාහයක් යනු නොගැලපෙන, තහනම් විවාහයකි.

සදාචාරය කියන සංකල්පය වගේම නීතිරීතිත් තැනින් තැනට කලින් කලට වෙනස් වේ. අයියා-නංගී විවාහ නුසුදුසු ලෙස ලංකාවේ සාමාන්‍යයෙන් සැලකුනත් මවගේ සොහොයුරෙකුගේ හෝ පියාගේ සොහොයුරිකගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් ලංකාවේ නීතියෙන් මෙන්ම සමාජ සම්මත අනුවද අනුමත විවාහයකි. පරම්පරා කිහිපයකට පෙර කාලය දක්වාම සිදුවුණු සම්ප්‍රදායික විවාහ බොහොමයක්ම මේ ආකාරයේ නෑනා-මස්සිනා විවාහයි. කෙසේ වුවද, පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් සැලකෙන්නේ අසම්මත, තහනම් විවාහයක් වශයෙනි. ලංකාවේදී අසම්මත සම්බන්ධතා ලෙස පිළිගැනෙන පියාගේ සොහොයුරෙකුගේ හෝ මවගේ සොහොයුරියෙකුගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහ බොහෝ මුස්ලිම් රටවල ජනප්‍රිය සම්ප්‍රදායකි.

ඇමරිකාවේ ප්‍රාන්ත වලින් අඩකම මේ ආකාරයේ ළඟම ඥාතීන් අතර විවාහයක් සිදුකිරීම නීති විරෝධීය. තවත් ප්‍රාන්ත හතක ඒ සඳහා ඉඩ ලැබෙන්නේ වයස හෝ වෙනත් හේතුවක් මත දරුවන් බිහි කිරීමේ ඉඩකඩක් නැත්නම් පමණි. මෙහි අරමුණ ඉපදෙන දරුවන් නිරෝගී දරුවන් වීම තහවුරු කිරීමයි. චාල්ස් ඩාවින් පවා ඔහුගේ නෑනා හා විවාහ වූ නමුත් බටහිර සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් ළඟ නෑයන් අතර විවාහ අනුමත නොකෙරේ.

ළඟ නෑයන් අතර විවාහ පිලිබඳ සම්මත රටින් රටට විශාල ලෙස වෙනස් වුවද, එක පවුලේ අයියා-නංගී විවාහ ලෝකයේ සෑම සංස්කෘතියක මෙන්ම පිළිකුල් කෙරෙන දෙයකි. මෙයට ආගමික පසුබිමක්ද තිබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ මේ ගැන කියවෙන්නේ මෙසේය.


"නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.

නුඹේ මවගේ නිරුවත අනාවරණය කොට නුඹේ පියාට නින්දා නොකළ යුතු ය. ඈ නුඹේ මව බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි.

ගෙදර උපන් හෝ අන් තැනක උපන් හෝ නුඹේ පියාගේ හෝ මවගේ හෝ දුව වන නුඹේ සහෝදරියගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි.

නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ ලේලි, නුඹේ පුතාගේ බිරිඳ වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.

නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.

නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 18 (6-18).


මේ වන විට විද්‍යාත්මක පදනමක් තිබුණද ළඟ ඥාතීන් අතර විවාහ පිලිබඳ බටහිර සදාචාර අදහස් වර්ධනය වන්නේ මේ බයිබල් පාඨ වල සිට බව මගේ අදහසයි.

මේ බයිබල් මතය ගැන මා මුලින්ම දැනගන්නා විට මගේ වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. ඒ දිනවල අප වාසය කළ ප්‍රදේශයේ සතියක් පුරා යම් ක්‍රිස්තියානි නිකායක සුවකිරීමේ මෙහෙයක් පැවැත්වුනේය. ගම්සභා පිට්ටනියේ පැවැත්වූ මේ සුවකිරීමේ මෙහෙය මෙහෙයවූයේ ඇමරිකානුවෙකු විය යුතුයැයි මා දැන් සිතන 'සුද්දෙකි'. පරිවර්තකයින් දෙදෙනෙකු විසින් ඔහු කියන දේ සිංහලට හා දෙමළට හැරෙව්වේය.

සුද්දා කියන දේ දෙමළට හැරවූ නමුත්, මේ අවස්ථාවට දෙමළුන් කිසිවෙකුත් පැමිණියාද යන්න සැක සහිතය. මේ කියන ප්‍රදේශය තනිකරම වාගේ සිංහල බෞද්ධ ගමකි. එහි සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක්ද සිටි නමුත් යාබද ගමක සිට පැමිණ වෙදකම් කළ ඇපොතිකරි කෙනෙකු හැරුණු විට කිසිදු ක්‍රිස්තියානි, කතෝලික හෝ දෙමළ පවුලක් සිටි බවක් මට මතක නැත. ඇත්තටම කියනවානම් අපේ නිවසට යාබද නිවසේ සිටියේත් දෙමළ ක්‍රිස්තියානි පවුලක් වුවත් ඒ වන විට ඔවුන් සිංහල බෞද්ධයින් වී සිටියහ.

සුව කිරීමේ මෙහෙය සඳහා සැලකිය යුතු සෙනඟක් දිනපතා පැමිණියේ මූලික කටයුත්තට අමතරව චිත්‍රපට පෙන්වීම හා ජනප්‍රිය සිංහල හා හින්දි සිංදු වල තාලයට ආගමික ගීත ගැයීමද සිදුවූ බැවිනි. මේ දෙකටම වඩා මට අවශ්‍ය වූයේ මගේ පොත් රාක්කයට නොමිලේ දෙන පොත් හැකි තරමක් එකතු කර ගැනීමටය.

මුල් දවස්වලම සැලකිය යුතු පොත් ප්‍රමාණයක් එකතු කර ගත හැකි වුවත් මට අවශ්‍ය වූයේ තරමක් ලොකු ඉලක්කයකට ලඟා වීමටය. ඒ සම්පූර්ණ බයිබලයක් අයිති කර ගැනීමයි. සම්පූර්ණ බයිබල් සීමිත ප්‍රමාණයක් තිබෙනු මා දුටුවද, මා එයින් පිටපතක් ඉල්ලා සිටියද මට එය ලැබුණේ නැත. පොත් බෙදා දුන් ශ්‍රී ලාංකික පුද්ගලයා දවසකට බයිබලයේ එක් පරිච්ඡේදයක් වන සුභාරංචි පොත් පිංචක් වැනි යමක් දී තවත් පොත් අවශ්‍යනම් ඊළඟ දිනත් පැමිණෙන ලෙස දන්වයි. මේ වැඩේ මට ඇල්ලුවේ නැත.

තෙවන හෝ සිවුවන දින පමණ වෙද්දී මම බයිබලයක් කෙසේ හෝ ලබා ගැනීමට සැලසුමක් හැදුවෙමි. සුවකිරීමේ මෙහෙය අවසන් කිරීමෙන් පසු මේ කටයුත්තට සම්බන්ධ වන සුද්දා ඇතුළු සියල්ලෝම වේදිකාවෙන් බැස පොත් බෙදීමත්, ප්‍රශ්න වලට උත්තර දීමත් කරයි. මට අවශ්‍ය වුනේ කෙසේ හෝ සුද්දාවම අල්ලා ගන්නටය.

මම සුද්දා කිට්ටුවටම ගියෙමි. එහෙත්, ලාංකික පුද්ගලයෙක් මට බාධා කළේය.

"මට අරයට පොඩ්ඩක් කතා කරන්න ඕනෑ. ප්‍රශ්නයක් තියෙනව අහන්න."

"ඇයි? මොකක්ද දැනගන්න ඕනෑ? මගෙන් අහන්න"

"දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට අයියලා නංගිලා කසාද බඳින එක හරිද?"

"නෑ. ඒක පාපයක්!"

මා සිතන පරිදි, මීට පෙර දිනද මොහුගෙන් මේ ආකාරයේ අණ්ඩර ප්‍රශ්න ගණනක් අසා සිට ඇති නිසා ඔහු මට උත්තර දෙන්නේ එතරම් කැමැත්තකින් නොවේ. අඩි හතරක්වත් උස නැති බටු කොල්ලෙකු විසින් වැඩිහිටියෙකු ලස්සනට මඩවන මේ අවස්ථාව බලා ගැනීමට තවත් ළමයින් හා වැඩිහිටියන් රැසක් වටවී සිටින්නේ මෙය මෙසේ සිදුවන පළමු දිනය නොවූ බැවිනි.

"ඒක පාපයක් කියල බයිබලේ තියෙනවද?"

"ඔවු, තියෙනව."

"මට දීපු කොටස් ටිකනම් ඔක්කොම කියෙවුව. ඒවයෙනම් තිබුනෙ නෑ. හරියටම පෙන්නන්න පුලුවන්ද තියෙන තැන?"

වටේ පිටේ අයත් දැන් සිනාසෙති. තමන්ගේ සහායකයාව පොඩි එකෙක් බයිට් එකට ගෙන ඇති බව සුද්දා කෙසේ හෝ නිරීක්ෂණය කළේය. සුද්දා කඩිමුඩියේ මා සිටි තැනට ආවේය. ඔහුගේ අතේ බයිබලයක්ද ඇති බව මම දැක්කෙමි. දැන් මගේ ඇහැ එතැනය.

"යර්ස් සන් වට්ස් ද ප්‍රොබ්ලම්?"

ඔහු ඇමරිකානුවෙකු බව මා සිතන්නේ ඔහුගේ උච්ඡාරණය තේරුම් ගැනීම මට බොහෝ අසීරු වූ බව මතක ඇති නිසාය.

"මෙයාගෙන් අහන්න අයියා-නංගි කසාද බඳින එක වැරැද්දක් කියල බයිබලේ තියෙනවද කියල?"

ඔහු සමඟ සිටි ඔහුගේ පරිවර්තකයා එය ඉංග්‍රීසියට හැරෙවුවේය.

"හරි, තියෙනව කියල මම දන්නව. මට ඕනෑ ඒකේ තියෙන දෙයයි තැනයි හරියටම දැනගන්න."

ඔහු සහායකයාට යමක් කිවුවේය. සහායකයා ඔහු අත වූ සිංහල බයිබලයක් පෙරලා ඉහතින් ඇති පාඨ විය යුතුයැයි මා දැන් සිතන කොටසක් කියවාගෙන ගියේ මේ කරදරෙන් බේරෙන්නේ කෙසේද කියා හිතමින් විය යුතුය.

"යම් මිනිසෙකු තම පියාගේ දුව හෝ තම මවගේ දුව වන තමාගේ සහෝදරිය හෝ පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය කළොත්, එය දුෂ්ටකමකි. ඔවුන් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කර තම සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය. ඔහු තම සොහොයුරියට නින්දා කළ බැවින්, ඒ දුෂ්ටකම ගැන වගකිව යුතු ය."

ලෙවි ව්‍යවස්ථාව 20 (17).


"එතකොට ඔයගොල්ලන්ගේ දෙවියෝ අයියා-නංගි කසාද බඳින එකට විරුද්ධයි. ඒක හරි. තව ප්‍රශ්නයක් තියෙනවා..."


"දැන් ඔයගොල්ලන්ගේ දෙවියෝ ඉස්සෙල්ලම මැවුවේ ආදම්ව නේද?"

"ඔවු"

"ඊට පස්සේ එයාගේ ඉල ඇටයක් අරන් ඒවව මැවුවනේ?"

"ඔවු"

සහායකයා අපට පරිවර්තයෙන් උදවු කරයි.

"දෙවියන් වහන්සේ වෙන කවුරුවත්ම මිනිස්සු මැවුවේ නැද්ද?"

"නෑ"

ඇතැම් විට පිළිතුර මීට වඩා දිග, බයිබල් උපුටාගැනීම් සහිත එකක් වූවා විය හැකිය.

"එතකොට ඒ අයගෙන් තමයි මිනිස්සු ඔක්කොම පැවතෙන්නේ?"

"ඔවු"

"ඒක එහෙම වෙන්නනම් ආදම්ගෙයි ඒවගෙයි ළමයින්ට කසාද බඳින්නම වෙනවනේ. මැවුවේ දෙන්නෙක් විතරනම් ඒක වෙන බව දෙවියෝ දැනගෙන ඉඳල තියෙනව. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දෙවියෝ අයිය-නංගි විවාහ අනුමත කරල තියෙනවා"

මම ජයග්‍රාහකයෙකු මෙන් කියාගෙන ගියෙමි. වටේට රැස් වී සිටින පිරිස හයියෙන් හිනාවේ.

සුද්දාට කට උත්තර නැති වුනේයැයි කීම අතිශයෝක්තියක් වන්නේ මේ ප්‍රශ්නයටද ඔහුට පැහැදිලි පිළිතුරක් තිබුණු බැවිනි. ඔහු කීවේ ඒ දවස්වල දෙවියන්ගේ කැමැත්ත එසේ වූ බවත් පසුව එය වෙනස් වූ බවත්ය. මගේ බයිට් කිරීම එතැනින් අවසන් වුනේත් නැත. අන්තිමේදී සුද්දාගේ අතේ තිබුණු බයිබලය ගන්නට මරිසියක් දැම්මත් ඒක හරිගියේත් නැත.

කෙසේවුවද, මට කියන්නට අවශ්‍ය වන්නේ තමන් අයියා-නංගී විවාහයකින් පැවත එන බව සිතන්නේ සිංහලයින් පමණක් නොවන බවයි. පරණ ගිවිසුම මත පදනම් වූ ආබ්‍රහමික ආගම් අදහන ලෝක ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක්, ඔවුන් විශ්වාස කරන පරිදි, පැවතෙන්නේ අයියා-නංගී සම්බන්ධතාවයක ප්‍රතිඵල ලෙසින්ය.


(Image: https://en.wikipedia.org/wiki/Tutankhamun)

44 comments:

  1. ඉකොනොමැට්ටා ගේ බ්ලොගය සහ මගේ රසිකොලොජි බ්ලොගය දිනෙන් දිනම එකිනෙක ඈදෙමින් ඉදිරියට යනු දැකීම සතුටකි!

    මෙලෙස ඈදෙන්නේ අප දෙදෙනා ගේ ඉකොනො කොටසද, මැටි කොටසද යන්න කියවන්නන් විසින් තීරණය කරනු ඇත.

    ReplyDelete
    Replies
    1. "කො" කොටස නිසාය - රසි "කො" ලොජි - ඉ"කො"නො මැට්ටා

      Delete
    2. කෝ ප්‍රොබ්ලම්?

      Delete
    3. ඕකට කියන්නේ මැටි ලොජික්ස් කියලා...

      Delete
    4. /මැටි ලොජික්ස් / අළුත් කැටගරියක් පටන් ගන්න හොඳ නමක්!

      Delete
  2. මාත් ඔය කාලායේ බයිබල් සුභාරංචි පොත් කියවා රස විඳ ඇත්තෙමි. ඒවා මට ලැබුණේ සිළුමිණ පුවත පතේ පළවූ කුඩා දැන්වීමකට අනුව ජීවිතාලෝකය, තැ.පෙ. 68, කොළඹ යන ලිපිනයට තැපැල් පතක් යැවූ විටය.

    ඒව ඇගේ හොර මිනිහා සමග තහනම් ගෙඩි කෑ පසු දරුවන් ලැබුණා නේද? මේ අනුව ඔබේ තර්කයේ වෙනත් ඵැත්තක් තියෙන්නට ඉඩ තියෙනවා.

    එකම මවගේ වුනත්, පියවරු දෙදෙනොකුගේ දරුවන් අතර සම්බන්ධතාවලින් ජාන විකෘතියක් සිදුවීමේ ඉඩ අඩු බව කියවෙනවා.

    ඔබ ආතර් සී ක්ලාක් ගේ රාමා පොත් කියවා ඇති නම්, එහි දෙවන කොටසේ අතරමං වූ චරිත තුනක් විසින් මෙවැනි දෙයක් ප්‍රායෝගිකව කරනවා.

    ReplyDelete
    Replies
    1. ක්ලාක්ගේ කතානම් ඔක්කොම වගේ කියවල තියෙනවා.

      Delete
  3. ඇමරිකාවේ වෙන්නම මහ පුදුම දේවල් නේ... මෙන්න මේකත් කියවන්නකෝ...

    ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා... ටික වෙලාවකින් අපේ එකා...

    "ඔයා දන්නවද..? අපේ දෙමව්පියෝ ගෙදරින් එළියටවත් බැහැල නැති,..... මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල දුන්න. ඒකී ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ.. මේ මගුල මට දැන් එපාවෙලා තියෙන්නේ......"

    "ඔහේ මගුලක් කතාකරනව.. ආදරේ කරළ කරන මගුල් ගැන...මම බැන්දේ අවුරුදු 3 ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනීයෙක්.. ටික කාලේකට පස්සෙ... අපේ තාත්ත මේ ගෑනිගෙ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා..."

    "දැන් තාත්ත මගේ බෑනා.. මං තාත්තගේ මාමා... තාත්ත බැන්ද කෙල්ල මගේ අම්ම... මගේ ගෑනී මගේ ආච්චි..."

    "ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම... මගේ පුතා මගේ තාත්තගේ මල්ලි.. ඒ නිසා පුතා මගේ බාප්පා..."

    "තත්වේ දරුණු වුනේ අපේ තාත්තගෙ නෝනට දුවෙක් ලැබුනම.... දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී. මගෙයි නෝනගෙයි මිණිබිරී..."

    "බලාගෙන ගියහම මම මගේම සීය වෙලා.. මගේම මුණුබුරා වෙලා... උඹ මේ පවුල් ප්‍රශ්න කතාකරනවා...."

    "දඩස්"... යනුවෙන් සබ්දයක් ලංකාවේ පොර සිටී දෙසින් ඇසින.....

    යහලුවෙක් ඊ තැපෑලෙන් එවන ලදුව මාතලන් වන මා විසින් හුදී ජන පහන් සංවේගය උදෙසා පරිවර්ථනය කොට ප්‍රසිද්දියට පත් කොරන ලදී....

    ReplyDelete
    Replies
    1. මේක රජකාලේ කතාවක්.

      රජුයි පුතයි කැලේ අතරමංවෙලා යද්දී ගෑණු දෙන්නෙකු ගේ පා සළකුණු දැකලා පොඩි අඩි සළකුණ ඇති ගැණීව පුතාටත් ලොකු අඩි සළකුණ ඇති ගෑණිව රජාටත් කියා වෙන්කරගෙන වෙච්ච අවුලක්!

      Delete
    2. වර්ෂන් දෙකම කලින් කියවල තියෙනවා. තව අර අර්ධ සහෝදරියන්ගේ කතාවකුත් තිබුණේ. 1995 පමණ සංසරණය වූ ඊමේල් එකක්. ඒ කතාවට අදාලවනම් තව ඉකොනොමැට්ටගේ දිග අතුරු කතාවකුත් තියෙනවා.

      Delete
  4. මේකෙ මුල කියවගෙන එද්දි මටත් හිතුනෙ ඕකම තමා...අන්තිමට ඉකොනො ලස්සනට කතාව එතනට ගෙනත් තර්කය මතුකරලා තියනවා....

    ඔව්, මැවීම් වාදය ඇත්තක් කියලා පිළිගත්තොත් අපි ඔක්කොම අයියා-නංගිලාගේ දරුවෝ.... ඒත් ඒක බොරුවක්නම් !

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හෝව්... මට පේන විධිහට වැඩේ අපි හිතනවට වැඩිය සීරියස්.....

      ආදම් සහ ඒවට ගෑණු ළමයි හිටියා කියලා කොහෙවත් සඳහන් වෙලා නෑ.. හිටියේ කායින් සහ ආබෙල් කියලා පුත්තු දෙන්නෙක්...ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක් අනික් කෙනාවා මරනවා. එහෙම බැලුවම බිලියන 7ක් වෙන ලෝක ජනගහනය ස්වයං වින්දයක ප්‍රතිඵලයක්.... :D

      Delete
    2. නමක් ගමක් කියලා තිබ්බෙ නැති වුණාට, තව ලමයි හිටියලු බං... වෙන කරන්න රස්සාවක් එහෙම තිබ්බ එකක්යැ...

      Delete
    3. කුලියපිටියෙදි වගේ හුලඟින් ගිහින්?

      එබ්‍රහම් ලොක්කත් ඔහුගේ සොහොයුරිය වන සේරා කසාද බැන්දේය..

      Delete
    4. @සෙන්නා
      https://books.google.co.nz/books?id=9I62BcuPxfYC&pg=PA142&lpg=PA142&dq=hindu+mythology+spilled+semen&source=bl&ots=4XPEQifYcR&sig=sJwtEXAR-c1NMo_WG8aeEMlVfDs&hl=en&sa=X&ved=0ahUKEwiao6q3rcfLAhVOW44KHaWyCpgQ6AEIMjAF#v=onepage&q=hindu%20mythology%20spilled%20semen&f=false

      Delete
    5. //හිටියේ කායින් සහ ආබෙල් කියලා පුත්තු දෙන්නෙක්...ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක් අනික් කෙනාවා මරනවා.// කතාව ඇත්ත නම් සීන් එක තවත් දරුණු වෙන්න ඕනි. මොකද ගෑණු පරනෙකට ඉඳ ඇත්තේ 'ඒව' හෙවත් උන්නේ අම්මා විතරක්ම වෙන්න ඇතිනේ.. (විහිළුවක් නොතේරෙන ආගම් හා සුචරිත වාදීන් මේ කොමෙන්ටුව නොකියවා සිටිනවා නම් හොඳයි.)

      Delete
    6. කමි, සෙන්න අරෙහෙම කියද්දී මගෙත් ඔළුවට එක පාර ආවේ ඔය අදහස...

      Delete
    7. බටහිර සංස්කෘතියේ (අතීතයේ නෙමෙයි, මේ වන විට) තියෙන එක හොඳක් තමයි කමිගේ ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක් වුනත් කෙළින්ම අහන්න පුළුවන්කම. හොඳටම මූලධාර්මික ප්‍රදේශයක වුනත් මෙවැන්නකට පිළිතුරක් දෙනවා මිස ගහන්න එන්නේ නැහැ. මෙය බලන්න.

      (https://answers.yahoo.com/question/index?qid=20091029020458AAmnROr)

      විද්‍යාව ඉදිරියට යද්දී මැවුම්වාදයත් ඒ සමඟ ඉදිරියට යන්නේ හෝ ඉතා හෙමින් ප්‍රතික්ෂේප වන්නේ මේ ප්‍රවේශය නිසයි. මෙයට විවිධ අය විවිධ පිළිතුරු දෙනවා. වඩාත්ම ප්‍රචලිත පිළිතුර මෙයයි.

      -ආදම් සහ ඒවට තවත් බොහෝ දරුවෝ සිටියහ. බයිබලයේ සඳහන් කර ඇත්තේ විශේෂ වැදගත්කමක් ඇති අය ගැන පමණි.
      "සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ." උත්පත්ති 5(4) [ඒ නිසා ඒවගේ ගැහැණු දරුවන් සමඟ මිස ඒව සමඟ එකතු වීමක් සිදු නොවීය.]

      -ඒ දිනවල මැවූ අළුත සිටි සෑම අතින්ම වාගේ පරිපූර්ණ "බ්‍රෑන්ඩ් නිවු" ගෑනු මිනිස්සුන්ගේ ජාන වල විකෘති තත්ත්වයන් නොතිබුණු නිසා පවුලේ සහෝදර සහෝදරියන් අතර විවාහ වලින් වුවද රෝගාබාධ සහිත දරුවන් බිහි නොවීය. රෝගාබාධ සහ ජාන විකෘති ඇති වුනේ එයින් පසුවය.

      මේ වඩා ප්‍රචලිතම පිළිතුරයි. මෙයට වඩා වෙනස් පැහැදිලි කිරීම්ද තිබේ.

      Delete
  5. දැන් එන ශුබාරංචි සුද්දෝ කාටවත් ලඟට එන්න දෙන්නේ නැත්තේ ඉකොනෝ කරපු වැඩේ නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ගුටිකන්න වෙයිද කියන බයත් තියෙනවනේ. බැලූ බැල්මට අදාළ නැති කරුණක් වගේ පෙනෙන "මේ කියන ප්‍රදේශය තනිකරම වාගේ සිංහල බෞද්ධ ගමකි." කියන කොටස දැම්මෙත් හිතලමයි. ඔය කාලයේ එවැනි ගමකට ඇවිත් කිසි ප්‍රශ්නයක් නැතුව මෙවැනි ආගම් ප්‍රචාරක කටයුත්තක් කරන්න පුළුවන්කම තිබුණා. ගමේ මිනිස්සුත් ඕකට ගිහින් පොඩි ආතල් එකක් ගත්තා මිසක් ආයේ ගල් ගහන්න ගිණි තියන්න ගියේ නෑ. ඒ වගේම මම දන්න තරමින් ගමේ කිසිම කෙනෙක් ආගම මාරු කළෙත් නෑ. අපි ඔය වගේ ප්‍රශ්නයක් අහල පොඩි ආතල් එකක් ගත්තා. ගෙවල්වලට ඇවිත් බෙදපු පොත් පත්රිකාත් ගොඩක් අය සද්ද නැතුව අරගෙන කියවා හෝ නොකියවා කුණු ගොඩට දැම්මා. (ඒ දවස් වල ඒ පැත්තේ කුණු බක්කි තිබුණේ නෑ.)

      Delete
    2. මම හිතන්නේ ඔය තත්ත්වය වෙනස් වුනේ එක අතකින් මේ ක්‍රිස්තියානි මූලධාර්මික නිකාය බුදු දහම නොගැඹුරු ලෙස විචේනය කිරීමත් එමෙන්ම බුදුන්ට හා එවැනි බෞද්ධයන් පූජනීය ලෙස සලකන සංකේතවලට අපහාස කිරීමත් ආදිය නිසා විය හැකියි - මෑතකදී යාපනයට ගිය විට අතරමඟ යුද්ධයෙන් හානි වී තිබූ කිලිනොච්චිය ආදි ප්‍රදේශවල මේ මූලධාර්මික නිකාය ව්‍යාප්ත වී ඇති බව දක්නට ලැබුනා

      Delete
  6. අපූරු ලිපියක්. කමෙන්ට්සුත් අපූරුයි.

    මම කියවලා තියෙන විදියට ඔය සිරිත 'ශාක්‍ය' වංශයේ පවා පැවතුනු දෙයක්. එයාලා හිතුවේ පරපුරේ පිරිසිදුකම ආරක්ෂා කිරීමලු.

    මිනිස්සු වෙනස් විදියට හිතන්නේ තමන් ජීවත්වෙන පරිසරය අනුව. කෙනෙකුට වැරදි දෙයක් අපිට හොඳ වෙන්ටත්, අපි හරි කියලා හිතනදේ තවත් කෙනෙකුට වැරදිවෙන්ටත් පුලුවන්.

    ආසියාතික රටවල 'දෑවැදි' දෙන එකම බලන්ට. සමර රටවල, ගෑනු කෙනෙක් ගන්ට ඕනි දෑවැද්දක් දීලා. :P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඔයා අහලා තියනවද දන්නේ නෑ... ඉස්සර ඔය වෙස්ටෙරොස් කියන මහද්වීපයේ ඉඳලා තියනවා ටාගේරියන් කියලා රජ පෙළපතක්... එයාලත් තමන්ගේ පෙළපතේ ශුද්ධ බව රැකගන්න කියලා අයියා-නංගී විවාහ කරගෙන තියනවලු... ඔයා සමහර විට දන්නේ නැතුව ඇති...

      Delete
    2. මෙහෙම කළාම ශුද්ධ කෙසේ වෙතත් විකෘතිතා ඇතිවෙනවා කියලා තමා තතු දත්තෝ කියන්නේ..

      Delete
    3. @සෙන්නා

      https://www.themedicalbag.com/article/impact-of-royal-inbreeding-part-iii

      Delete
    4. ප්‍රා, බලාගෙන යනකොට උන් හරි අවංකයො නේද ? හෙහ් හෙහ්...

      Delete
    5. මම ලිපිය සමඟ තුතන්කාමන්ගේ රූපයක් දැම්මෙත් මේ ගැන උනන්දුවක් ඇති කෙනෙක් ඉන්නවනම් හොයා බලයි කියලා.

      Delete
  7. /සොහොයුරෙකුගේ හෝ පියාගේ සොහොයුරිකගේ විරුද්ධ ලිංගික දරුවෙකු සමඟ කරන විවාහයක් ලංකාවේ නීතියෙන් මෙන්ම සමාජ සම්මත අනුවද අනුමත විවාහයකි./

    ඔය උඩ උපුටල තියන රූල මීටර් කර ගත්තේ බොහොම අසීරුවෙන්,මගේ මොලේට ඔය වාක්‍ය ජීරණය වුනේම නෑ, ඔය ‘විරුද්ධ ලිංගික‘ කියන වචන දෙක එතන නෑ කියා සිතුවාම වක්‍ය ඉතාම පහසුවෙන් ජීරනය වුනා. අපේ රටේ ‘සම ලිංගික‘ යන්න නම් සමාජ අසම්මතයක්මනේ.

    ReplyDelete
    Replies
    1. ඔය සමලිංගික කියන එක අසම්මතයක් වීමේ පදනම තියෙන්නෙත් පැරණි ගිවිසුමේම තමයි. හරියටම කියනවනම් 'විරුද්ධ ලිංගික' කියන යෙදීමත් වැරදියි. අපි බොහෝ වෙලාවට හිතන්නේ XX හා XY කියා කොටස් දෙකක් පමණක් ඉන්නවා කියලයි. අප අතර XXY, XXXY, XO වගේ අයත් ජීව විද්‍යාත්මක නොවන හේතු මත මුලින් කී ගොඩවල් දෙකෙන් එකකටවත් දාන්න බැරි අයත් සැලකිය යුතු ප්‍රමානයක් ඉන්න බව අමතක කළ යුතු නැහැ.

      Delete
  8. විද්යාත්මක පර්යේශන වලට පාවිච්චි කොරන්නේ "ඉන්බ්‍රෙඩ්" මීයන් ය.......

    ReplyDelete
    Replies
    1. පාලක පාලිත නියැදි හැකිතාක් සමානව තියාගන්න වෙන්න ඇති නේද? හැබැයි අනික් අතට ප්‍රතිපලය ජෙනරලයිස් කිරීමේදී පොඩි අවුලකුත් වෙනව නේද?

      Delete
  9. ඉකොනෝ පොඩිකාලේ හෙන වැඩකාරයෙක් නේ :) අයියා නංගි විවාහය කෙසේ වෙතත් අදටත් අයියලා අතින් ලංකාවේ නංගිලා සෑහෙන දෙනෙක් දුෂණය වෙනවා. බිය, ලැජ්ජාව ආදී කරුණු නිසා මේවායින් එළිවෙන්නේ බොහොම අතළොස්සයි.

    ලේ ඥාතීන් අතර සිදුවන විවාහවලින් ඔය තැලසීමියා, හිමොෆිලියා වගේ රෝග දරුවන්ට ඇතිවීමේ අවදානම වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. ඩබල් ඇනෝ විදිහට ලියන්නම්, අපේ සීයා ඔය වැඩේ කරලා එයාගේ නංගීට පියෙකු නැති දරුවකු සිටියා, නැන්දාගේ (තාත්තාගේ නංගීගේ) පුතෙකුත් එයාගේ නංගීට ඔය දේ කරලා අහුවුනා, ඇබෝෂන් කරා. මේවා හැමෝගෙම පවුල් වල ඇති කා සමගවත් නොකියන ගෞරවය පිළිබඳ කතන්දර.

      Delete
    2. වැරදුනා කතන්දර නොවේ, රහස්.

      Delete
    3. පෘථිවිය මත ජීවය හැදුණු වසර බිලියන 4කට පමණ පෙර කාලයේ සිට වසර බිලියන 1.2කට පෙර කාලය දක්වාම ජීවය ව්‍යාප්ත වුණේ ආදම්ගේ ඉල ඇටයකින් ඒව හැදුන විදිහට. ගැහැණු පිරිමි කියා දෙකොටසක් ඇති වී ආදම් සහ ඒව වගේ තමන්ට වඩා ජාන වලින් වෙනස් දරුවන් බිහි කිරීම ඇරඹුණේ වසර බිලියන 1.2කට පෙර. එතැන් සිට ඉතාම මෑතක් වන තුරු මිනිසුන් ඇතුළු සත්තු බොහෝ දෙනෙක් දරුවන් බිහි කළේ ළඟ නෑයින් සමඟ එකතු වීමෙන්. ජානමය ලෙස දුරස්ථ අය සමඟ එක් වී දරුවන් බිහි කිරීමට පෙළඹීම සාපේක්ෂව ඉතාම මෑත කාලයේ ඇරඹුණු දියුණු චර්යාවක්. ඒ නිසා ගොඩක් සමාජ වල මෙවැනි දේ වෙනවා. ඔබ කියා ඇති අයුරින් හංගගෙන ඉන්න නිසා මතුපිටින් බැලූ විට පේන්නේ නැහැ.

      Delete
  10. ඉකොනෝ එළ කොල්ලෙක්නේ ඒ කාලේ.. මටත් පොඩි කාලේ ඔය වගේ බහුබූත ප්‍රශ්න ඔලුවට එනවා.. එත් කාගෙන්වත් ප්‍රසිද්දියේ අහලා 'අන්නන්න' තරම් ධෛර්යයක් තිබ්බේ නෑ.. :/

    ReplyDelete
    Replies
    1. මට පොඩි කාලේ තිබුණු ලොකුම ප්‍රශ්නය කට පියාගෙන ඉන්න බැරිකම. ඔය වගේ පණ්ඩිත කතා අහල කොච්චරනම් බැනුම් අහල, ගුටි කාල ඇද්ද? වැඩිපුරම ප්‍රශ්න වෙලා තියෙන්නේ එදාට උගන්නන දේට විතරක් ලෑස්ති වෙලා එන ගුරුවරුන්ගෙන්. වයස දහඅටක් විතර වෙනකොට අමාරුවෙන් පුරුද්ද නවත්තගත්තා. ඊට පස්සෙනම් අහන්න ඕනෑ දෙයක් වුනත් අහන්නේ කිහිප පාරක් හිතල බලලා.

      Delete
  11. හොඳ තර්කයක් ඉකොන්...

    ReplyDelete
    Replies
    1. ඒ වයසේ හැටියට දැන් බැලුවහමත් හොඳ තර්කයක්. (අපේ ළමයිනුත් දැන් මේ ජාතියේ තර්ක දානවා)

      Delete
  12. බයිබලය තුල ඇති ජනප්‍රිය නැති කරුණු කීපයක් කියන්න කැමතියි.
    1. බයිබලය තුල මරණාසන්න අත්දැකීම් දෙකක් සඳහන් වෙනවා. එකක් ජෙරමියා කියන දිවැසිවරයා දුටු දෙයක්. අනෙක යොහාන් කියන පුද්ගලයා දුටු දෙයක් එය ආශ්‍රයෙන් හෙලිදරව්ව පොත ලියා තිබෙනවා.
    2. බයිබලයේ මිනිසාගේ මැවීම ගැන කතා දෙකක් තිබෙනවා පලමු එක පීචං කතාව දෙවැන්න ප්‍රබුද්ධ මැවීමි කතාව
    3. ජේසුස් වහන්සේ අවසන් භෝජනයෙදී "දැනි ඉතිං උඹලා මාව මරාගෙන කාපල්ලා" වගේ දෙයක් කිව්වවත්ද?

    මැවීම ගැන මට මෙහෙම අදහසක් තියෙනවා
    දෙවියන් වහන්සේ අවකාශයට වගේම කාලයටත් පිටතින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔහුගේ මැවීම අවකාශය තුල නොව අවකාශ කාලය තුල කල එකක් විය හැකියි. එනම් දෙවියන් වහන්සේ කර ඇත්තේ පිලිම සෑදීම වැනි මැවීමක් නොව 3D ඇනිමේශන් එකක් තැනීම විය හැකියි. වෙනත් විදියකට කිව්වොත් මිනිසා මැවීම යනුවෙන් අදහස් වෙන්නේ මිනිස් වර්ගයාගේ පරිනාමය සහ වඳවීයාම යන සියල්ල මැවීම විය හැකියි. ඕක මම හිතලා කීව දෙයක් නමුත් මට කලින් මොකෙක් හරි සුද්දෙක් ඕක කියලා ඇති.

    ReplyDelete
    Replies
    1. //වෙනත් විදියකට කිව්වොත් මිනිසා මැවීම යනුවෙන් අදහස් වෙන්නේ මිනිස් වර්ගයාගේ පරිනාමය සහ වඳවීයාම යන සියල්ල මැවීම විය හැකියි.// ඔබ හරි, ජගත්. මෙය තර්කයෙන් හරි හෝ වැරදි බව ඔප්පු කළ නොහැකි අදහසක්. එය එසේ විය හැකි බවට එකිනෙකින් වෙනස් පැහැදිලි කිරීම් කිහිපයක්ම තියෙනවා. මේ පොත ගැන දන්නවද? "The Holographic Universe: The Revolutionary Theory of Reality"

      Delete
    2. The Thirteenth Floor චිත්‍රපටිය බලල නැත්නම් ඒකත් බලන්න.

      Delete
  13. කම්මැලි පීරියඩ් එකකට පොඩි කික් එකක් ගන්න ටීචව බයිට් කරන්න තර්ක කොරලා තියෙනවා නොසෑහෙන්න.. ඒ කුපාඩි කම් පලදුන්නෙ ඒ ලෙවල් කොරන කොට.. කිව්වට විභාගෙට ලියනකොට.හෙහ් හෙහ්...
    බයිබලේ ඔක්කොමත් හරි.. මොලේ ගැට ගැහෙනවා කියොගෙන යනකොට... අන්න ඒකයි අවුල.ලස්සන කතා ටික මක්ක උනත්.
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: