වෙබ් ලිපිනය:

Friday, April 14, 2017

සේනක බිබිලේ බොරුකාරයෙක්ද?



මේ වන විට පසුගිය 2016 වසර සඳහා වන ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.

වාර්තාව අනුව පසුගිය වසරට සාපේක්ෂව දුම්කොළ සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 121,525 දක්වා 14%කින්ද, ශුද්ධ ආදායම රුපියල් මිලියන 31,747 දක්වා 22%කින්ද, බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 21,219 දක්වා 17%කින්ද, බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 12,559 දක්වා 18%කින්ද, ශුද්ධ වත්කම් රුපියල් මිලියන 3,485 දක්වා 21%කින්ද වැඩි වී තිබේ.

දුම්කොළ සමාගම විසින් වසර තුළ රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් මිලියන 89,777ක් වන අතර මෙය පසුගිය වසරට වඩා රුපියල් මිලියන 9,386ක වැඩි වීමකි. දුම්කොළ සමාගමේ ඇස්තමේන්තු අනුව රජයේ සමස්ත බදු ආදායමෙන් 7%ක් ගෙවා ඇත්තේ දුම්කොළ සමාගමයි. 


රජය වාර්ෂිකව දුම්වැටි හා මත්පැන් මත අයකරන බදු වැඩි කළත්, එසේ කිරීමේදී බදු ආදායම් අඩු වන මට්ටමට බදු අනුපාතික ඉහළ නොදැමීමට සැලකිලිමත් වේ. මෙතෙක් කල් කිසිදු වසරක් තුළ මෙය වෙනස් ආකාරයකින් සිදුවූ බවක්, එනම් බදු අනුපාතික වැඩි කර රජයේ බදු ආදායම් අඩු කරගත් බවක්, මා දන්නේ නැත.

ලංකාවේ සිටින දුම්බොන්නන් ගණන මිලියන දෙකක් ලෙස සැලකුවහොත්, පසුගිය වසර තුළ එක් දුම් බොන්නෙකුගෙන් රජය විසින් රුපියල් 45,000ක පමණ මුදලක් එකතු කරගෙන තිබේ. මේ බොහෝ දෙනෙක් පහළ හා පහළ මැදි ආදායම්ලාභීන් විය යුතුය. බලාගෙන ගියාම  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ වලින් සෑහෙන කොටසක් කරන්නේද ලංකා දුම්කොළ සමාගමයි.

අද පළවී ඇති ලංකා සී නිවුස් පුවතකට අනුව "යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් පවසා තිබේ. ඖෂධ සමාගම් සමඟ සටන් කරන්නේය යන පදනමින්, පසුගිය නෙළුම්යාය බ්ලොග් සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇමති රාජිත සේනාරත්නව හඳුන්වා දී තිබුණේ නූතන සේනක බිබිලේ වශයෙනි.

ඇත්ත මෙන් හැඟෙන්නට ඉංග්‍රීසි මූලාශ්‍ර උපුටා දක්වමින්, සිංහල පාඨකයින්ට ඒ මූලාශ්‍ර වල නැති බොරු ඉදිරිපත් කරන ලංකා සී නිවුස්හි පළවන දේවල් එතරම් විශ්වාසනීය නැත. කෙසේවුවද, යම් හෙයකින් රාජිත සේනාරත්න ඉහත ප්‍රකාශය කළේනම් එහි පදනම ගැටළු සහගතය. ඇතැම් විට, මේ කියන අඩුව සිදුවී ඇත්තේ ඉතාම මෑතකදී වන්නට පුළුවන.

එසේ නැත්නම්, ලාංකිකයින් දුම්වැටි මිලදී ගත්තද දුම්පානය නොකර ඒවා ගෙවල්වල ගබඩා කර තබා ගැනීමට පුරුදු වී ඇත්දැයි කියා අප දන්නේ නැත. දුම්වැටි වලට ඇති ඉල්ලුම ලේසියකට නැති නොවන නිසාත්, මිල ඉතාම වේගයෙන් දිගින් දිගටම වැඩි වන නිසාත් දුම්වැටි වල මුදල් ආයෝජනය කිරීමත් නරක
නැත!

පසු සටහන:
වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගිය පරිදි ඇත්තටම සිදුවී ඇත්තේ බදු ඉහළ දැමීමට පෙර වෙළඳ නියෝජිතයින් ලෙසින් විශාල ලෙස තොග මිල දී ගෙන ගබඩා කර ගැනීමයි. මාස ගණනකට අවශ්‍ය තොග කලින්ම මිලදී ගෙන අවසන් නිසා බදු වැඩි කිරීමෙන් පසු අලෙවිය පහත වැටී තිබේ. මේ තොග අවසන් වීමෙන් පසු අලෙවිය නැවත පෙර මට්ටමට පැමිණෙනු ඇත.


(Image: http://www.sundaytimes.lk/160925/news/vital-drug-prices-to-come-down-at-last-209805.html)

39 comments:

  1. දුම්වැටි, රාජිත, සී-නිවුස්... මරු සුසංයෝගයක්...

    ReplyDelete
  2. ඉකොන්ගේ පෝස්ට්ස් සාමාන්‍යයෙන් මීට වඩා රිසර්ච් කිරීමෙන් පසුව ලියන ඒවා හැටියට තමයි මට හුරු. රිසර්ච් අඩුවුණාට 'සේනක බිබිලේ' කථාව ගෙනවිත් රාජිත ගේ ප්‍රකාශණය ප්‍රශ්ණ කිරීමට නම් ඔබ පසුබට වෙලා නැහැ. කොහොම වුණත් ඔබ මේවා නොසළකා හැරලා. සී ටී සී සමාගම දෙසැම්බර් මාසයේ ගිණුම් වර්ෂය අවසන් කරන සමාගමක්. විශාල බදු වැඩිවීම වුණේ නොවෙම්බෙර් කාලයේ. එමනිසා විශාල විකුණුම් අඩුවීම සිදුවන්නට ඇත්තේ නොවෙම්බර් සහ දෙසැම්බර් කාලයේදී.

    ඔබ නොසළකා ඇති දෙවන දෙවන කරුණ නම් සමාගමේ ආදායම සහ රජයෙ බදු ආදායම දැක්වීමෙන් දුම් පානය පිළිබඳව දත්ත ලබා ගන්න බැහැ. උදාහරණයකට 20% කින් බදු වැඩි වීමක් සිදුවුණොත් සමාගමේ දල ආදායම 20% ඉහල යනවා, බදු ගෙවීම 20% කින් ඉහල යනවා. ලාභය සුළු වශයෙන් ඉහල යනවා. මේකට හේතු දෙකක් තියෙනවා. ඒවා මම ලියන්න යන්නේ නැහැ. ඉහත වැඩි වීම් විකුණන සිගරට් ප්‍රමාණයේ වැඩිවීමක් රහිතව විය හැකියි.

    එමනිසා විකුණන සිගරට් ප්‍රමාණය හෝ යොදාගත් දුම්කොල ප්‍රමාණය ගැන සටහනක් නැතුව විකිණීම වැඩි වීමක් හෝ අඩුවීමක් ගැන අදහසක් ලබා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. //'සේනක බිබිලේ' කථාව ගෙනවිත් රාජිත ගේ ප්‍රකාශණය ප්‍රශ්ණ කිරීමට නම් ඔබ පසුබට වෙලා නැහැ.//
      මට ලංකා සී නිවුස් ප්‍රවෘත්ති ගැන ඒ තරම් විශ්වාස නැහැ. මෙය රාජිතගේම ප්‍රකාශයක් බව තහවුරු කිරීම ගැන ස්තුතියි!

      //විශාල බදු වැඩිවීම වුණේ නොවෙම්බෙර් කාලයේ. එමනිසා විශාල විකුණුම් අඩුවීම සිදුවන්නට ඇත්තේ නොවෙම්බර් සහ දෙසැම්බර් කාලයේදී.//
      එහෙම වෙන්න ඉඩකඩක් තියෙනවා. "මේ කියන අඩුව සිදුවී ඇත්තේ ඉතාම මෑතකදී වන්නට පුළුවන." කියල ලිවුවේ ඒකයි. නමුත්, එහෙම උපකල්පනය කරනවා ඇරෙන්න එය තහවුරු කරන්න තොරතුරු හොයාගන්න තැනක් නැහැනේ.

      //ඉකොන්ගේ පෝස්ට්ස් සාමාන්‍යයෙන් මීට වඩා රිසර්ච් කිරීමෙන් පසුව ලියන ඒවා හැටියට තමයි මට හුරු.//
      පිළිගත හැකි තොරතුරු සහිත මූලාශ්‍රයකට දැනට තියෙන්නේ දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව පමණයි. අවසාන මාස දෙකේ අලෙවිය ඒ තරම්ම අඩුවුණානම් මුල මාස දහයේ සැලකිය යුතු වැඩිවීමක් වෙලා තියෙන්නත් ඕනෑ.

      //ඔබ නොසළකා ඇති දෙවන දෙවන කරුණ නම් සමාගමේ ආදායම සහ රජයෙ බදු ආදායම දැක්වීමෙන් දුම් පානය පිළිබඳව දත්ත ලබා ගන්න බැහැ.//
      මෙය හරි. දළ අදහසක් විතරයි ගන්න පුළුවන්. එහෙත්, 48% වැනි විශාල ප්‍රතිශතයකින් භාවිතය අඩුවුණොත් සමාගමේ ආදායම් හා රජයේ බදු ආදායම් වැඩි නොවෙන්න සැලකිය යුතු ඉඩක් තියෙනවා. ලොතරැයි හා වාහන ආනයන බදු ආදායම අඩු වුනේ ඒ නිසයි.

      //උදාහරණයකට 20% කින් බදු වැඩි වීමක් සිදුවුණොත් සමාගමේ දල ආදායම 20% ඉහල යනවා, බදු ගෙවීම 20% කින් ඉහල යනවා.//
      මෙය වැරදි අදහසක්. දුම්වැටි වලත් ප්‍රත්‍යස්ථතාවයක් තියෙනවා. මිල වැඩි වන විට වෙනත් ඕනෑම සාමාන්‍ය භාණ්ඩයක වගේම අලෙවිය අඩුවෙනවා. ඒ හේතුවෙන් ආදායම් හා බදු අඩු වෙන්න වුවත් පුළුවන්.

      //ඉහත වැඩි වීම් විකුණන සිගරට් ප්‍රමාණයේ වැඩිවීමක් රහිතව විය හැකියි.// බොහෝ විට සිගරැට් අලෙවිය යම් තරමකින් පහත වැටී තිබිය යුතුයි. මිල වැඩි කරන හැම විටකම අලෙවිය යම් තරමකින් පහත වැටෙනවා. එහෙත්, එය බොහෝ විට ජනතාවගේ සෞඛ්‍යය නඟා සිටුවීමට ගන්නා ක්‍රියාමාර්ගයකට වඩා රජයේ බදු ආදායම් වැඩි කරගැනීමට දරන උත්සාහයේ අතුරු ඵලයක්. සැබෑවටම එවැනි අවංක උවමනාවක් තියෙනවානම් දුම්බොන්නන්ගෙන් අයකරන බදු ජනතාවගේ සෞඛ්‍යය නඟා සිටුවීමට නැවත වැය කරන බව පෙනෙන්නට තිබිය යුතුයි. එහෙත් බදු වැඩි වුනත් සෞඛ්‍යය සඳහා වැය කරන මුදල් කප්පාදු වීමයි සිදුවන්නේ. මේ මුදල් බොහෝ විට වැය වන්නේ ඵලදායී නොවන කාර්යයන්ට. මත්පැන් හා දුම්වැටි වලින් අයකරන බදු මුදල පමණක් මුළු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේම වැය ශීර්ෂයට වඩා විශාලයි.

      //එමනිසා විකුණන සිගරට් ප්‍රමාණය හෝ යොදාගත් දුම්කොල ප්‍රමාණය ගැන සටහනක් නැතුව විකිණීම වැඩි වීමක් හෝ අඩුවීමක් ගැන අදහසක් ලබා ගන්න බැහැ.//
      අලෙවිකළ හෝ නිෂ්පාදනය කළ ප්‍රමාණය ගැන දත්ත දැනට හොයාගන්න නැහැ. යොදාගත් දුම්කොළ ප්‍රමාණයනම් මෙට්‍රික් ටොන් 3,164 සිට 4,972 දක්වා 57%කින්ම වැඩිවෙලා තියෙනවා. ඒ ගැන ලිවුවේ නැත්තේ එය අසම්පූර්ණ නිර්ණායකයක් නිසයි.

      Delete
    2. පහත සාරස විසින් පෙන්වා දී ඇති පරිදි global drive brands වල අලෙවිය 43%කින් වැඩි වී තිබේ.

      Delete
    3. නොවෙම්බර් මස බදු ඉහල දැමීමෙන් පසු දුම්වැටි අලෙවියේ අඩුවක් තිබෙනවා. එය සැලකිය යුතු අඩුවීමක්. ඔබ කියන පරිදි වාර්ශික වාර්ථාවෙන් නිෂ්පාදන සහ විකිණීම් දත්ත හොයාගන්න බැරිනම් කවුරුහරි පරිභෝජනය අඩුවීමක් ගැන කියා තියෙන දෙයක් ගැන කථා කිරීමට එය යොදා ගැනීම ගැනයි මම සඳහන් කලේ. මෙය කවුරුන් කී දෙයක් දැයි මම දන්නේ නැහැ. එහෙත් විකිණීම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව සත්‍යයක්. ආරංචි විදිහට වැඩි බදු යටතෙ වුවත් රජයට ලැබෙන දුම්වැටි බද්දේ රුපියල් ප්‍රමාණයේ අඩුවීමක් තියෙනවා කියා වාර්ථා වුණා. එම දත්ත ලැබුණු වෙලාවක දන්වන්නම්.

      Delete
    4. //නොවෙම්බර් මස බදු ඉහල දැමීමෙන් පසු දුම්වැටි අලෙවියේ අඩුවක් තිබෙනවා. එය සැලකිය යුතු අඩුවීමක්. //
      පෙනෙන පරිදි මෙය ඇත්තකි. එහෙත් එයට ප්‍රධාන හේතුව හතරවන කාර්තුවේ ඉල්ලුම තුන්වන කාර්තුවේදීම නියෝජිතයින්ට අලෙවි වීමයි.

      //ඔබ කියන පරිදි වාර්ශික වාර්ථාවෙන් නිෂ්පාදන සහ විකිණීම් දත්ත හොයාගන්න බැරිනම් කවුරුහරි පරිභෝජනය අඩුවීමක් ගැන කියා තියෙන දෙයක් ගැන කථා කිරීමට එය යොදා ගැනීම ගැනයි මම සඳහන් කලේ. මෙය කවුරුන් කී දෙයක් දැයි මම දන්නේ නැහැ. එහෙත් විකිණීම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව සත්‍යයක්.//
      රවුම් කිරීමේ දෝෂ සහිතව වුවත් 77 පිටුවේ පහළ ඇති ප්‍රස්තාර වලින් මේ දත්ත සොයා ගැනීමට පුළුවන.

      //ආරංචි විදිහට වැඩි බදු යටතෙ වුවත් රජයට ලැබෙන දුම්වැටි බද්දේ රුපියල් ප්‍රමාණයේ අඩුවීමක් තියෙනවා කියා වාර්ථා වුණා. එම දත්ත ලැබුණු වෙලාවක දන්වන්නම්.//
      2016 පළමු කාර්තු දෙකේ නිෂ්පාදනය සිගරැට් බිලියන 2ක් වන අතර රජයට ගෙවා ඇති නිෂ්පාදන බදු ප්‍රමාණය බිලියන 44.6කි. අවසන් කාර්තු දෙකේ නිෂ්පාදනය සිගරැට් බිලියන 1.9 ක් වන අතර රජයට ගෙවා ඇති නිෂ්පාදන බදු ප්‍රමාණය බිලියන 42.8කි. ඒ අනුව, මුල අර්ධය හා අග අර්ධය අතර නිෂ්පාදනය 5%කින්ද (මෙය රවුම් කර ඇති ගණන් මත පදනම් වන නිසා ආසන්න ගණනකි.) රජයට ගෙවා ඇති බදු 4.0%කින්ද අඩු වී තිබේ. එහෙත් දෙවන අර්ධයේ මුල තෙවන කාර්තුව තුළ නියෝජිතයින් විශාල ලෙස දුම්වැටි මිලදී ගෙන ගබඩා කරගැනීම නිසා පළමු කාර්තු දෙකේ සාමාන්‍යයට සාපේක්ෂව නිෂ්පාදනය සිගරැට් බිලියන 0.3කින් ඉහළ ගොස් හතරවන කාර්තුවේදී 0.4කින් අඩු වී තිබේ.

      මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට 50%ඉක්මවන විශාල අඩුවීමක් පෙනේ. මේ අයුරින්ම රජයේ බදු ආදායමද පළමු කාර්තු දෙකේ සාමාන්‍යයට සාපේක්ෂව තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 5.7 කින් රුපියල් බිලියන 28.0 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්පසුව හතරවන කාර්තුවේදී රුපියල් බිලියන 14.8 දක්වා පහත වැටී තිබේ. පළමු කාර්තු දෙකේ සාමාන්‍යය වන රුපියල් බිලියන 22.3න් තෙවන කාර්තුවේ අසාමාන්‍ය වැඩිවීම වූ හතරවන කාර්තුවේ ඉල්ලුම සඳහා කළ මිලදී ගැනීම් වන රුපියල් බිලියන 5.7 ඉවත් කළ විට රුපියල් බිලියන 16.6කි. ඒ අනුව, බදු ආදායම ඇත්තටම අඩුවී ඇත්තේ රුපියල් බිලියන 1.8කින් වුවත්, නියෝජිතයින් විසින් ගබඩා කර ගැනීම නොසලකා හැරිය විට රජයේ බදු ආදායම 47%කින් අඩුවී ඇති බව එක් වරම පෙනේ. ඇමති රාජිත මෙන්ම ඇතැම් විට මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ද මුලා වන්නට ඇත්තේ මේ පෙනෙන්නට තියෙන අඩුවටය.

      එමෙන්ම, මෙය ආණ්ඩුව විසින් ජනතාවගේ සෞඛ්‍යට නඟා සිටුවීම සඳහා සද්භාවයෙන් කළ 'සේනක බිබිලේ ක්‍රියාවක' ප්‍රතිඵලයක් නොවේ (දුම්පානය අඩු කිරීමට ගත් රූප අවවාද අනිවාර්ය කිරීම ආදී අනෙකුත් නියාමන ක්‍රියාමාර්ග ගැන මා එසේ කියන්නේ නැත.) රජයේ බදු ආදායම වැඩි කරගැනීමට ගොස් සිදුවූ තවත් එක් ඇන ගැනීමක් පමණි. ලොතරැයි හා වාහන ආනයනය අදාළවද මෙසේ සිදුවිය. එසේ නොවීනම් මුදල් අමාත්‍යාංශය සිය ආදායම් ඇස්තමේන්තු ඉහළ දමන්නේ නැත. (දැන් නැවත පහළ දමා තිබේ.) මෙතැනදී දුම්කොළ සමාගම සිට ඇත්තේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට වඩා බොහෝ ඉදිරියෙනි. එක්කෝ ඔවුන් රජයේ ක්‍රියාමාර්ගය ඉතා නිවැරදිව පුරෝකථනය කර ඇත. එසේ නැත්නම් ඔවුන්ට ඒ ගැන නිවැරදි අභ්‍යන්තර තොරතුරු ලැබී ඇත. මේ දෙකෙන් කුමක් වුවත් දුම්කොළ සමාගම විසින් උපාය මාර්ගික ලෙස හැසිරෙමින් සිය නියෝජිතයින් දැනුවත් කර අනාගත ඉල්ලුම කලින්ම අලෙවි කර අපේක්ෂිත බදු ඉහළ දැමීම සිය වාසියට හරවාගෙන තිබේ. මෙය නිවැරදිව තේරුම් නොගත් මුදල් අමාත්‍යාංශය තෙවන කාර්තුවේ වේගයෙන් වැඩි වූ බදු ආදායම් වලට හේතුව ඉල්ලුමේ සැබෑ වැඩිවීමක්යැයි සිතා රජයේ ආදායම් ඇස්තමේන්තු ඉහළ දැමුවත්, බදු ආදායම විශාල ලෙස පහත වැටීමෙන් පසුව නැවත එම ඇස්තමේන්තු පහළට සංශෝධනය කර තිබේ. මුල් නිගමනය මෙන්ම මේ දෙවන නිගමනයද වැරදිය. දුම්පානය මේ සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන තරමට පහත නොවැටෙන බැවින් ඉතා ඉක්මණින් දුම්වැටි වලින් උපයන රජයේ බදු මුදල් නැවත ඉහළ යනු ඇත.

      Delete
    5. මා කලින් කීවාක් මෙන් මෙම බ්ලොග් පිටුවෙන් මා දැක පුරුදු ගැඹුරට සොයා බලා කෙරෙන පෝස්ට් වලින් මෙය බැහැර වීමකි. ඔබගේ බ්ලොග් ලිපියේ විස්තර සොයා බැලීම ඔබ කල යුතු දෙයක්. එහෙත් ඔබ එය නොකර නිගමන වලට ඒම නම් මෙම බ්ලොගය ගැන මා සිතා සිටි අයුරින් නම් ඉතා බොලඳයි.

      මෙම මිල වැඩි කිරීමට හේතු සහිතව මම ලිපියක් ලියන්නම්. නැත්නම් ඔබගේ ලිපියෙන් වූ නොමග යැවීම වඩා ප්‍රසිද්දියේ නිවැරදි කිරීමක් වෙන්නේ නැහැ. එය ලිවූ පසුව ඔබ නිගමන වල පැනීම කොතරම් නිවැරදිද යන්න ඔබටම වැටහෙනු ඇත.

      Delete
    6. වැඩිදුර සොයා බැලීමේදීද මුල් නිගමන කිසිවක් වෙනස් කරගැනීමට තරම් දෙයක් හමුවී නැති අතර ඒ නිගමන තවදුරටත් තහවුරු වී තිබේ. ප්‍රසිද්ධ කර නැති අමතර අභ්‍යන්තර තොරතුරු ඔබ සතුව තිබේනම් ඔබේ ලිපිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමෙන් පසුව වැඩි දෙයක් කියන්නට පුළුවන. බදු වැඩි කිරීමට පෙරම දුම්වැටි අලෙවිය විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් බදු වැඩි කිරීමෙන් පසුව අලෙවිය කෙටිකාලීනව පහත වැටී ඇතත්, ලංකාවේ දුම්පානය 48%කින් අඩු වී ඇතැයි නිගමනය කිරීමට හෝ අඩු වශයෙන් සැක කිරීමට නොහැකිය. සුළු අඩුවීමක් තිබිය හැකිය. මෙවැනි කරුණු ප්‍රචාරය කිරීම බදු ඉහළ නංවන අතර එම බදු ආදායම් බදු ගෙවන ජනතාවගේ යහපත වෙනුවෙන් නොව රජය නඩත්තු කිරීම සඳහා යොදවාගන්නේය යන කරුණ වසා ගැනීමට කරන අසාර්ථක උත්සාහයක් පමණි.

      Delete
    7. //කිරීම බදු ඉහළ නංවන අතර එම බදු ආදායම් බදු ගෙවන ජනතාවගේ යහපත වෙනුවෙන් නොව රජය නඩත්තු කිරීම සඳහා යොදවාගන්නේය යන කරුණ වසා ගැනීමට කරන අසාර්ථක උත්සාහයක් පමණි.//

      එකොන්, දුම්වැටි මත්පැන් බදු වැඩි කල එකම ආණ්ඩුව මෙය නොවේ. ඒ හැම ආණ්ඩුවම ඒවා කරමින් සමාජයට හොඳක් කිරීමට කියා කිව්වත් ඒ සැමවිටම කලේ රජයේ අදායම වැඩි කරගැනීම. එය ගැන නොවේ මගේ තර්කය. ඔබ එය මෙයට පටලවා ගන්නේ ඇයි දැයි මට වැටහෙන්නේ නැහැ. මේ මිල වැඩි වීමේ ඉතිහාසය වෙනස්. එමෙන්ම සිගරට් හංගා පසුව මිල වැඩි කල පසුව එලිය දැමීම නිසා අන්තිම මාස දෙකේ විකිණීම් අඩු වුණා කියා නිගමනයකට පැමිණ ඇත්තේ ඔබයි. මම කථා කලේ එය ගැනයි.

      Delete
    8. //එමෙන්ම සිගරට් හංගා පසුව මිල වැඩි කල පසුව එලිය දැමීම නිසා අන්තිම මාස දෙකේ විකිණීම් අඩු වුණා කියා නිගමනයකට පැමිණ ඇත්තේ ඔබයි. මම කථා කලේ එය ගැනයි.//

      මෙය කියන්නේ මම නොවේ. ලංකා දුම්කොළ සමාගමයි.

      The unprecedented excise-led price increase in the 4th quarter resulted in volumes halving from previous quarters due to the impact on consumer affordability coupled with the speculative volumes in the 3rd quarter in anticipation of the 4th quarter price increase .

      Delete
    9. Oh, Ian, all your yahapaalana lies are falling apart!

      Delete
    10. // එක්කෝ ඔවුන් රජයේ ක්‍රියාමාර්ගය ඉතා නිවැරදිව පුරෝකථනය කර ඇත. එසේ නැත්නම් ඔවුන්ට ඒ ගැන නිවැරදි අභ්‍යන්තර තොරතුරු ලැබී ඇත //

      No wonder Econ... you are on the spot!!

      See, Mr Dinesh Weerakkody, advisor to Hon Ranil Wickramasinghe, Prime Minister of Sri Lanka (and the author of Ranil's biography) is in CTC board...

      :D

      Delete
  3. සී නිවුස් - රාජිත ප්‍රකාශයේ 48% සඳහා මූලාශ්‍ර මොනවාද? මං අහන්නේ රාජිත එය කියා ඇත්තේ කොතැනද? ඇමති කතාවක් ද, අමාත්‍යාංශ නිල නිවේදනයක් ද?

    ReplyDelete
    Replies
    1. මූලාශ්‍රය සොයාගත නොහැකි වුවත්, දුමකොළ සමාගමේ වාර්ෂික වාර්තාව වැඩිදුර කියවූ විට රාජිත කියා ඇති කරුණ සනාථ විය. කාර්තුවක සාමාන්‍ය සිගරැට් අලෙවිය සිගරැට් බිලියනයකි. මෙය තුන්වන කාර්තුවේදී බිලියන 1.3 දක්වා ඉහළ ගොස් අවසන් කාර්තුවේදී 0.6 දක්වා පහත වැටී ඇත. එය 50%ද ඉක්මවන පහත වැටීමකි. (රවුම් කිරීම ගැන සැලකූ විට මෙය 48% වන්නට පුළුවන.) එහෙත් මෙහිදී ඇත්තටම සිදුවී ඇත්තේ බදු වැඩි කරන බව දැනගෙන වෙළඳ නියෝජිතයින් විසින් හතරවන කාර්තුව සඳහා අවශ්‍ය ඉල්ලුමද තුන්වන කාර්තුවේදී මිලදී ගෙන ගබඩා කර තබා ගැනීමයි. දුම්කොළ සමාගම විසින් සෑම අපේක්ෂිත බදු වැඩි කිරීමකටම පෙර මේ අයුරින් අලෙවිය වැඩි කරගන්නා බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. වෙළඳ නියෝජිතයින් විසින් ගබඩා කරගෙන සිටින අමතර තොග විකිණීමෙන් පසුව අලෙවිය නැවතත් විධිමත් වනු ඇත. මේ ගැන වැඩිදුර සොයා බැලීමට පෙළඹවූ ඉයන්ට සහ සාරසට ස්තුතිය හිමිවේ!

      Delete
    2. මිල වැඩිවීමක් බලාපොරොත්තුවෙන් භාණ්ඩ ප්‍රමාණයක් සඟවා තබාගෙන විකිණීම වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔය කියන ප්‍රමාණයට නෙවෙයි. Econ there is a significant reduction in use of ciggies. So don't commit with 'explanations' based on assumptions and heresy. We are only few weeks away from the actual numbers. CTC will publish their interim accounts by 15th May on www.cse.lk

      Delete
    3. //Econ there is a significant reduction in use of ciggies.//
      I can believe you if you can provide me an acceptable source. The available numbers do not imply so. It's mostly a significant increase in sales by the company prior to the tax hike due to speculative purchases by agents (again, as acknowledged in the report) followed by a noticeable sharp drop after the price increase since the demand is already met. This large drop or the preceding increase is unlikely to translate to a reduction in smoking or final sales, though there can be some drop as happens always after increasing the price of any good or service.

      //So don't commit with 'explanations' based on assumptions and heresy. We are only few weeks away from the actual numbers.//
      The numbers quoted are ACTUAL numbers from the CTC annual report which I missed first time (page 77).

      Delete
    4. //තෙල්දෙනිය මුලික රෝහලේ පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය//

      Delete
    5. රසික සූරියආරච්චි - Rasika SuriyaarachchiApril 14, 2017 at 11:51 PM
      //රාජිත ප්‍රකාශයේ 48% සඳහා මූලාශ්‍ර මොනවාද?//
      රාජිතගේ ප්‍රකාශවල මූලශ්‍ර වලට වඩා අර්තවත් වෛශ්‍යාවකගේ කන්‍යා භාවය හොයන එක

      Delete
  4. On page 74 of the annual report, they say that the 80 billion cigarettes produced in 2015 was increased to 115 billion in 2016. 43.75% increase.

    Econ, what you say may be correct... the consumers must be saving cigarettes in their homes.

    ReplyDelete
    Replies
    1. 115 billion cigarettes ?? all these for domestic use ? in addition to this, as i'm very much aware, some government officials are helping a lot to bring cigarettes in as a part of their corruption acts. ( some of them are meant to stop such activities )

      may be we have to increase number of cancer hospitals as well.. one is for sure not sufficient enough to serve the demand which will create by aforesaid cigarettes production + illegal imports.

      Delete
    2. Senna, It says the number of cigarets manufacturered in 2016 as 115 million (Not billion). CTC has paid Rs. 87 Billion in taxes in 2016. So tax per stick cannot be below Re.1/=.

      Delete
    3. Yes, the number is 115 million, not billion and also only the global drive brands like Dunhill which are only a small fraction of the total product portfolio. So, this number is just indicative of the trend of the total production. The GDB production may have grown faster than the total production.

      Delete
  5. ඇත්තම කේස් එක නං රජය විසින් සීටීසී එකට ටාගට් එකක් දීල තියෙන්නෙ අහවල් ගාණ ඕන කියල රජයේ සමස්ථ බදු ආදායමෙන් 6% ගෙවන්නෙ සීටීසී එක. ඇත්තටම රේගුවයි සුරාබදු එකයි දේශිය ආදයම් බදු එකයි කියන තුනම ගත්තත් සීටීසී එකට ඊට වඩා පවර් එකක් තියෙයි.
    රුපියල් 6ක විතර ප්‍රඩක්ෂන් කොස්ට් එකක් යන සිගරට් එකේ ඉතිරියම බදු. ඉතිං සිරා මාමා මොන බුත කෙලියත් ටාස්ක් ෆේල් වෙන්නෙ නෑ

    අනික කවුද මිලියන පන්සීයක් ඩිපොසිට් කරන්නෙ සිගරට් පැට්ටරියක් පටං ගන්න
    හැක්

    ReplyDelete
    Replies
    1. //රජයේ සමස්ථ බදු ආදායමෙන් 6% ගෙවන්නෙ සීටීසී එක.// සීටීසී එක කියන විදිහට දැන් 7%ක්.

      //අනික කවුද මිලියන පන්සීයක් ඩිපොසිට් කරන්නෙ සිගරට් පැට්ටරියක් පටං ගන්න//??

      Delete
  6. වඩාත් විනෝදාත්මක වන්නේ තමන්ගේ ප්‍රෝඩාවන් සාක්ෂි සහිතව හෙලිවනවිට යහපාලන සට්ටබින් නගන විලාපයන්ය. ඉකොනෝ මහතා බලාගෙන, ලබන නෙලුම්යයේ ඔබට කිසිම තැනක් නොලැබිය හැකියි?

    පහත ලිපියේ දත්ත තමන්ට අවශ පරිදි නමා ඇති අකාරය පැහැදිලිකල හැකිද?

    45 pc decline in cigarette sales! - Lanka News Web

    ReplyDelete
    Replies
    1. // තමන්ගේ ප්‍රෝඩාවන් සාක්ෂි සහිතව හෙලිවනවිට //

      ඔව් ඔව් ඇනෝ තුමා ඔබ හරියටම හරි

      Delete
    2. මෙය දත්ත නැමීමකට වඩා දත්ත විමසා නොබැලීමකි. බදු වැඩි කරන්නට පෙර අලෙවිය විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් බදු වැඩි කිරීමෙන් පසුව අලෙවිය විශාල ලෙස අඩු වූ බව පෙනුණත් ඇත්ත අඩුවීම ඒ තරම් විශාල නැත. උඩ ඉයන්ගේ කමෙන්ට් එකට ප්‍රතිචාර ලෙස වැඩිපුර තොරතුරු පළ කර තිබේ.

      Delete
    3. ඉයන් April 15, 2017 at 1:09 PM

      "ඔව් ඔව් ඇනෝ තුමා ඔබ හරියටම හරි"

      Then why the hell you keep arguing?

      Delete
  7. Econ,

    Perhaps, I may propose a little erratum to your heading, in which you dragged in Dr Bibile's name to create a pun.

    I am pretty sure Dr Bibile was a SMOKER himself !!

    There are legendary stories about him still circulating among the Faculty of Medicine, Peradeniya, grape wine ....

    ReplyDelete
    Replies
    1. Interesting. Now remember seeing this somewhere else too.

      Delete
    2. Could You Please Enlighten Us...

      Delete
  8. Increasing the price of Cigarette does not stop smoking. Smokers who can't afford the cigarettes turn to Bidi.

    UNP MP Mr Champika Premadhasa, State Minister for Industry and commerce is a well known Bidi manufacturer.

    ReplyDelete
    Replies
    1. I don't think MPs like Champika Premadasa have a decision making role in the government to this extent, though he is benefited.

      Delete
  9. ඉකොන්,
    මම දකින විදියට නම්, සමස්ථ බදු ආදායම (සිගරට් අලෙවියෙන් ) මද අඩිවීමක් සිදු වීම භව්‍යයි. ඒත් 48% ක අඩුවක් නෙවෙයි.
    ඒ ගැන ඔබේ පැහැදිලි කිරීම හරිම තර්කානුකූලයි.
    මේ ලෙස සුලුවෙන් හෝ රජයේ බදු ආදායම අඩු වූවත්, එය සෞඛ්‍යය සේවා සඳහා ප්‍රථි ආයොජනය නොවූවත්, සමස්ථයක් ලෙස මේ හරහා රජයේ පාඩුව ඉහල යන බව නම් පැහැදිලියි.
    මේ වන විට සිගරට්ටුවට ඇබ්බැහි වී උන් බොහෝ පිරිසක් අඩු මිල සහිත බීඩි සුරුට්ටු වැනි විකල්ප වලට යොමු වෙමින් සිටිනවා. සිගරට්ටුවට සාපේක්ශව වඩා හානිදායක හා ප්‍රමිතියකින් තොර මෙවැනි නිශ්පාදන වලට යොමු වීම නිසා දුම් පානය කරන්නගේ සෞඛ්‍යය අවධානම වඩා ඉහල යනවා. එය නැවතත් රජයට මූල්‍ය අවාසියක් බවට පත් වෙනවා.
    ඔබ මේ විකල්ප වලට යොමු වීම දකින්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය ඇත්ත. බොහෝ විට සිගරැට් මිල වැඩිවීම නිසා වත්මන් සිගරැට් පාරිභෝගිකයින් බීඩි භාවිතයට යොමුවෙනවා. එහෙත්, මෙහි හානිය මත්පැන් වලදී (කසිප්පු වලට යොමු වීම නිසා) වෙනවාට වඩා අඩු බවයි මගේ අදහස. ඉහළ මිල අළුතින් දුම්පානයට යොමුවන ගැටවරයින් අධෛර්යමත් කරනවා. බොහෝ දුම්බොන්නන් එය පටන් ගන්නේ අඩු වයසකදී.

      Delete
  10. Ctc එක ජනවාරි මාසයේ සිට production 1/3 අඩුයි කරා කියලා නිව්ස් එකක් ගියා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: