වෙබ් ලිපිනය:

Friday, February 2, 2018

පොල්ල වරද්දා නොගෙන...


කලින් ලිපියේ ලියූ පරිදි, මා නිතර මාළු ආහාරයට ගන්නා අයෙක් වුවත්, මාළුවෙක් අල්ලාගෙන කන්නට හිත හදා ගැනීම මට ඉතා අසීරු කරුණකි. ලංකාවේ තවත් බොහෝ දෙනෙකු හා අදාළ තත්ත්වය වන්නේද මෙයයි. මේ හැසිරීම බෞද්ධ ඉගැන්වීම් සමඟද ගැලපේ. බෞද්ධයින්ට සතුන් නොමැරීමට මිස අනිවාර්යයෙන් සත්ත්ව මාංශ ආහාරයට නොගැනීමට නිර්දේශ කර නැත. ඇතැම් අයෙකු මෙහි විසංවාදයක් දකිතත් මටනම් මෙහි අවුලක් නොපෙනේ. ලංකාවේ බොහෝ දෙනෙකුටද මේ හැසිරීම අමුතු එකක් නොවේ.

කෙසේවුවත්, සාමාන්‍ය ජීවිතයේදී බොහෝ විට සතුන්ට අනුකම්පාව දක්වන ලාංකිකයින් ඒ අනුකම්පාව සෑම සතෙකුටම එක ලෙස දක්වන්නේ නැත. විශේෂයෙන්ම මදුරුවන් හා මකුණන් වැනි පීඩාකාරී හා කුඩා සතුන් සම්බන්ධව බොහෝ දෙනෙකු අනුගමනය කරන්නේ බුද්ධ ධර්මයෙන් නිර්දේශ කර ඇති ප්‍රතිපත්තියම නොවේ. ඒ නිසා, සිල් අරන් ඇවිත් මකුණන් මරණ සීලවතීලා දැක ගැනීම අසීරු දෙයක් නොවේ.

අනෙක් අතට ලංකාවේ සීලවතීලාට බොහෝ විට මකුණන් මරන්නට සිදුවී තිබෙන්නේ කුඩා දරුවෙකුගේ හෝ පවුලේ වෙනත් අයෙකුගේ සුඛ විහරණය සැලසීමේ චේතනාවෙන් මිස එම සතා විනාශ කර දැමීමේ ඒකායන අරමුණින්ද නොවේ. මේ තර්කයම දිගු කළහොත්, යුද්ධ වලට මුලා වී කරන සියලුම ඝාතන වලට අදාළ කරුණක් නොවූවත්, හමුදා සාමාජිකයෙකුට මිනිසුන් මරන්නට වෙන්නේද මිනිස් ඝාතන කිරීමේ ඒකායන අරමුණින් නොවේ.

මකුණන් හා මදුරුවන් වැනි කුඩා සතුන් හැරුණු විට බොහෝ විට ලංකාවේ මිනිසුන්ගේ වෛරයට පාත්‍ර වන සත්ත්ව කොට්ඨාශයක් වන්නේ සර්පයින්ය. ලංකාවේ සංස්කෘතිය තුළ වැඩි ගෞරවයක් ලබන අලින් හා හරකුන් වැනි ලොකු සතුන් පැත්තකින් තිබ්බත්, අඩු වශයෙන් මකුණෙකුට ලැබෙන තරමේ අනුකම්පාවක්වත් බොහෝ විට සර්පයෙකුට නොලැබේ. මකුණන් හා අදාළව "එක මකුණයි ළමයෝ කන්නේ - ඇයි ඔක්කොම මකුණො මරන්නේ" කියා කිව්වත් සර්පයින් හා අදාළව කියැවෙන්නේ "විෂඝෝර සර්පයා - දැක නාරු මෝඩයා" යන්නයි.

ලොකු කුඩා වෙනත් බොහෝ සතුන්ට අනුකම්පාව දක්වන ඇතැම් ලාංකිකයින් සර්පයෙකු දුටු විට වහාම ඌව මරා දමා පසුව පුළුස්සා දමන්නට දෙවරක් හිතන්නේ නැත. විෂ සහිත සර්පයින් මරා දැමීම සෘජුව හෝ අනියමින් අනුමත කරන අතරම "ගැරඬි මරා පවු පුරවා ගන්න එපා" කියා කිවුවත්, මෙසේ ලාංකිකයින් අතින් මැරෙන බොහෝ සර්පයින් විෂ රහිත සර්පයෝය.

ලාංකිකයින්ගේ වෛරයට නිබඳ පාත්‍රවන සර්පයින් අතරින් විශේෂත්වයක් ලබන එක් සර්පයෙකු සිටී. ඒ නාගයාය. සෑම වසරකදීම මිනිස් ජීවිත ගණනාවක් බිලිගන්නා විසකුරු සතෙකු වුවත්, "නයාට ගසා පොල්ල වරද්දා ගන්නට" බිය නැති  ලාංකිකයින් දැකිය හැක්කේ ඉතා අඩුවෙනි. නාගයින් හා අදාළව ලාංකිකයින්ට ඇත්තේ බිය මිශ්‍ර ගෞරවයකි. එසේ නැත්නම් ගෞරවය මිශ්‍ර බියකි.

අප කුඩා කාලයේ අසා තිබුණු පරිදි නයෙකුට පහර දුන් විට නයා වෛර බඳී. මෙසේ වෛර බඳින නයා කල් යල් බලා කොයි වෙලාවක හෝ දෂ්ඨ කරන්නට ඉඩ තිබේ. යම් හෙයකින් නයාව මරා දැම්මත් ආත්ම හතක් යන තුරු නයාගෙන් ගැලවීමක් නැත. ඒ නිසා, වත්තේ නයෙකු දුටු විට බොහෝ වැඩිහිටියන් විසින් කළේ "අනේ නයිහාමි හොඳ නයිහාමි වගේ තරහ නැතුව  මෙතනින් යන්න!" කියා කාරුණික ඉල්ලීමක් කිරීමයි. මේ ඉල්ලීමට නයිහාමි විසින් දක්වන ප්‍රතිචාරය විධායක ජනාධිපති තනතුරට පත් වූ අයෙකුගෙන් එවැනි ඉල්ලීමක් කළ විට ලැබෙන ප්‍රතිචාරයට වඩා වෙනස් නැත.

වැඩිහිටියන් විසින් සර්පයින් මරනු ඕනෑ තරම් දැක තිබුණත්, නයෙකු මරනු දකින්නටනම් මට ඉඩක් ලැබී ඇත්තේ එක් වරක් පමණි.

ඒ ජවිපෙ භීෂණය ආරම්භ වීමට පෙර වසරකි. ඒ නිසා, අපේ ගෙදර වගේම වෙනත් ඇතැම් ගෙවල් වලද තුවක්කු තිබුණේය. ඒ දිනවල අප ජීවත් වූ නිවසට ඉදිරිපස නිවසේ ජීවත් වුණේ වීරසේකර මහත්තයාය (සැබෑ නම නොවේ). ඔහු රජයේ ලිපිකරුවෙකි. එහෙත්, උරුමයෙන් උරුම වූ තරමක දේපොලකටද උරුමකම් කිවූ ඔහු සාමාන්‍ය රජයේ සේවකයෙකුට වඩා තරමක් හොඳ ජීවන තත්ත්වයක් පවත්වා ගත්තේය.

වීරසේකර මහත්තයාගේ විශේෂත්වය වුණේ ඔහුගේ රැකියාව හෝ ඔහු සතු වූ ඉඩකඩම් ආදිය නොවේ. ඔහු යූඇන්පී කාරයින් රැසක් හා ශ්‍රී ලංකා කාරයින් යම් ප්‍රමාණයක් ජීවත් වූ අපේ ගමේ සිටි කොමියුනිස්ට් කාරයෙකි. ඒ නිසා, විය යුතු පරිද්දෙන්ම, ඔහු යූඇන්පී කාරයින්ට හා ශ්‍රී ලංකා කාරයින්ට වඩා වෙනස් පුද්ගලයෙකු විය.

මැදිවිය පසුකර සිටි වීරසේකර මහත්තයා හවසට ගමේ තරුණයින් සමඟ පාපන්දු ක්‍රීඩා කළේය. නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා කළේය. සමාජවාදයට බර පොත් පත්තර කියෙවුවේය. බොහෝ දේවල් හා අදාළව ගමේ අනෙක් අය මෙන් රැල්ලට නොගියේය.

මේ කාලය ජේආර්ගේ ආණ්ඩුව විසින් මාධ්‍ය ඒකාධිකාරයක් පවත්වා ගත් යුගයකි. සෑම ජාතික පුවත්පතකම දැකිය හැකි වූයේ ආණ්ඩුවට වාසිදායක පුවත් පමණි. කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ඇත්ත පුවත්පතේ බොහෝ හිස්තීරු දකින්නට ලැබුණේය. ඒ හිස් තීරු යටින් "බලධාරියා විසින් කපා හරින ලදී" කියා කුඩාවට මුද්‍රණය කර තිබුණේය.

විකල්ප පුවත්පත් ආරම්භ වී නොතිබුණු මේ කාලයේ මුල් වරට මාධ්‍ය ඒකාධිකාරය බිඳ දැම්මේ මාසික සඟරාවක් ලෙස පටන්ගත් රාවයයි. වීරසේකර මහත්තයා සෑම මසකම නොවරදවා රාවය සඟරාව මිල දී ගත්තේය. එපමණක් නොව බය නැතිව ප්‍රසිද්ධියේම ජේආර්ගේ ආණ්ඩුව විවේචනය කළේය. බොහෝ විට මහ හයියෙන්ම මේ විවේචන කළේ හවස් අතේ හීනියට යමක් සප්පායම් වීමෙන් පසුවය.

ඔය අල්ලපනල්ලේ දවසක අපේ අවට ගෙවල් වල හතරමායිම් අස්සේ නයෙක් කරක් ගහන්නට පටන් ගත්තේය.

"ඔය ඉස්සරහ වැට ළඟ ඊයේ හවස නයෙක් ඉඳල තියෙනව. පරිස්සමෙන් බලාගෙන යන්න!"

එළියට බහින විට කවුරු හෝ කිවුවේය. ඒ නිසා, අපි ගෙදරින් එළියට ගියේ තරමක හිතේ දෙගිඩියාවෙනි. අපේ ගෙදර මෙන්ම, වීරසේකර මහත්තයාගේ ගෙදරද අනෙක් ගෙවල් වලද ළමුන් ගණනාවක් සිටියේය. දැන් මෙන් ටියුෂන් පිස්සුවක් හැදී නොතිබුණු ඒ කාලයේ පාසැල් ඇරී නිවසට පැමිණීමෙන් පසු මේ ළමුන් බොහෝ විට කළේ එකිනෙකට මුහුණ ලා පිහිටි නිවෙස් හතර පහේ මිදුල් වලින් සෑදෙන ලොකු ඉඩකඩෙහි මොනවා හෝ සෙල්ලමක් කිරීමයි. දින කිහිපයක සිට නිතර සිදුවන නයාගේ ආගමනය නිසා මිදුලේ සෙල්ලම් කරන ළමුන්ට පමණක් නොව ඔවුන්ගේ භාරකරුවන්ට පවා විශාල ආතතියකින් සිටින්නට සිදු විය.

මෙසේ ළමුන් සෙල්ලම් කරමින් සිටි එක් හැන්දෑ වරුවක හිටිවනම නාගරාජයා දර්ශනය විය.

"අන්න, නයා!"

කවුරු හෝ අයෙක් කෑ ගැසුවේය. ඒ සමඟම සෙල්ලම් කරමින් සිටි ළමයි තමන් සිටි තැන අනුව කාගේ හෝ නිවසකට වහාම රිංගා ගත්හ.

නයා හිමිහිට මිදුල දිගේ ඇදෙන්නට විය. හොඳ වෙලාවට ඌ අපේ ගේ ඇතුළට රිංගා නොගෙන වෙනත් නිවසක් පැත්තට ගිය නිසා චන්ද්‍රා අනගිරත්නට ඇති වූ ආකාරයේ ප්‍රශ්න අපට ඇති වුණේ නැත. ඒ ගෙදර වැඩිහිටියෙක් එළියට ආවේය. එසේ පැමිණ නයාගෙන් කිසියම් කාරුණික ඉල්ලීමක් කළේදැයි මා නොදනිතත්, නයාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් සිදුවන බවක්නම් නොපෙනුණේය.

හෙමින් හෙමින් මිදුල දිගේ ඇදුණු නයා ඉන්පසුව වීරසේකර මහත්තයාගේ වත්තට ඇතුළු විය. වෙන කවුරු නැතත් වීරසේකර මහත්තයානම් නයාට එරෙහිව මොනවා හෝ ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි මගේ හිත කීවේය.

"වීරසේකර මහත්තයා! ඔන්න නයා ඔය පැත්තට එනවා!!" කවුරු හෝ කෑ ගැසුවේය.

වීරසේකර මහත්තයා නිවසේ ඉදිරි දොර වෙත පැමිණ එබී බැලුවේය. ඉන්පසුව කිසිදු කලබලයක් නොපෙන්වා දොර වසාගෙන නැවත නිවස ඇතුළට ගියේය. මගේ බලාපොරොත්තු කඩ විය.

මම ගේ ඇතුළට යන්නට හැරුණා පමණි. එකවරම විශාල හඬක් ඇසුණේය. සද්දයේ හැටියට වෙඩි හඬක් විය යුතුය.

අහල පහළ අය කෙටි අඩි තබමින් හෙමින් සැරේ වීරසේකර මහත්තයලාගේ ගෙවල් පැත්තට ඇදෙන්නට විය. වීරසේකර මහත්තයා තුවක්කුවත් රැගෙන නිවස ඇතුළට ගොස් එය නිවසේ තබා නැවත ආපසු පැමිණියේය.

වීරසේකර මහත්තයාගේ වෙඩිපහර අඩි පහක් පමණ දිග නයාගේ ඔළුවටම කෙසේ වෙතත් ඔළුව කිට්ටුවෙන් කඳට වැදී ඇත. නයාට සිටින තැනින් වෙනත් තැනකට යන්නට නොහැකි වුවත් තවමත් පණ තිබේ.

වීරසේකර මහත්තයා දෙකේ දෙකේ පොල්ලක් ගෙනවිත් නයාගේ ඔලුවටම පහර කිහිපයක් දී වැඩේ ඉවරයක්ම කර දැමුවේය. ඉන්පසුව වත්තේ පැත්තක වලක් කපා නයාගේ සිරුර එහි දමා, කෑන් එකකින් පෙට්‍රල් වක් කොට ගිණි තැබුවේය.

ජේආර්ට ප්‍රසිද්ධියේ බනින්නට බය නැති වීරසේකර මහත්තයා නයෙකුට බය නොවීම ගැන මට පුදුම හිතුණේ නැත.

තවත් ටික කලක් ගත වුණේය. ජවිපෙ මුල් වූ විරෝධතා ක්‍රමයෙන් සිවිල් සමාජය කෙරෙහි එල්ලවන භීෂණයක් බවට පරිවර්තනය වෙමින් තිබුණේය. ජේආර්ගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ ජවිපෙ කෙරෙහි කිසියම් අනුකම්පාවක් දක්වමින් සිටි වීරසේකර මහත්තයා වැනි අයට හවස් වරුවේ ආණ්ඩුවට මෙන්ම ජවිපෙටද බනින්න්ට සිදුවන තරමට තත්ත්වය වෙනස් විය. ජවිපෙට එරෙහි ප්‍රතිභීෂණය ඒ වන විටත් ආරම්භ වී නොතිබුණු අතර වීරසේකර මහත්තයාගේ සහයෝගය ලැබූ එක්සත් සමාජවාදී පෙරමුණේ සාමාජිකයින් ජවිපෙ මරණ තර්ජන වලට ලක්වෙමින් සිටියහ.

හදිසියේම රැයක ජවිපෙ තුවක්කුකරුවෝ අපේ ගෙවල් පැත්තටත් පැමිණියහ. ඒ ගෙවල්වල තිබුණු තුවක්කු එකතු කරන්නටය. ටී පනස් හය ගිණිඅවියක් ඇතුළු අවි රැගෙන, කළු ඇඳ, මුහුණු ආවරණය කර පැමිණි මේ කණ්ඩායම අපේ ගෙදර එන්නට පෙර ගියේ වීරසේකර මහත්තයලාගේ ගෙදරටය.

මේ දවස්වල මෙය සිදුවන බව මම දැන සිටියෙමි. ඒ නිසා, මා සිටියේ විමසිල්ලෙනි. අඩ නින්දේ සිටි නිසා හෝ වෙනත් හේතුවක් නිසා මේ කණ්ඩායම අපේ ගෙවල් ආසන්නයට පැමිණෙන විටම මට ඇහැරුණේය. ඔවුන් මුලින්ම යන්නේ වීරසේකර මහත්තයලාගේ ගෙදරට බව අඩි සද්ද වලින් තේරුණේය.

විදුලි ලාම්පු නොදල්වා අඳුරේම ඇඳෙන් බැසගත් මම දොරේ වූ යතුර හිමිහිට කරකවා ඉස්තෝප්පුවට ගියෙමි. මේ නිවසේ ඉස්තෝප්පුවේ ඉදිරිපස කොටස ලැටිස් ගසා තිබුණේය. ලැටිස් අතරින් සිදුවන්නට යන දෙය මම බලා සිටියෙමි.

කිසියම් ලොකු දෙයක් සිදුවනු ඇතැයි මගේ හිත කීවේය. නයින්ටත් බය නැති, ජේආර්ටත් බය නැති වීරසේකර මහත්තයා ජේවීපී කාරයින් ඉදිරියේ සෙකන්ඩ් වන්නට ඉඩක් නැත. ඇරත් ඔහුට තුවක්කුවක් තිබේ. එපමණක් නොව එල්ටීටීඊ එකෙන් කටුනායක ගුවන් තොටුපොළට පහර දුන් අවස්ථාවේ ගුවන් යානා පැහැරගෙන යාම වැළැක්වීමට ටයර් වලට වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට මෙන් හරියටම ඉලක්කය ගන්නටත් පුළුවන්ය. ඒ නිසා, තවත් මොහොතකින් ලොකු ගිණි විජ්ජුම්බරයක් සිදුවන බව සහතිකය.

ජවිපෙ තුවක්කුකරුවෝ වීරසේකර මහත්තයලාගේ නිවස වට කළෝය. ඉදිරි දොර අසළ කිහිප දෙනෙකු ඉතිරි කර අනෙක් අය පසුපස දොර හා ජනෙල් වෙත ගියෝය. ඉන් පසු කණ්ඩායමේ අයෙකු නිවසේ ඉදිරි දොරට තට්ටු කළේය.

"වීරසේකර මහත්තයා, අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන්! කරුණාකර ලයිට් දමන්න එපා!! කෑගහන්න එපා!!! කලබල කරන්න එපා!!!!"

"අපි ආවේ තුවක්කුව ගෙනියන්න. කරුණාකර තුවක්කුව අපිට බාර දෙන්න!"

වීරසේකර මහත්තයා කළුවරේම නිවස ඇතුළට ඇදුණේය. ඉන්පසු තුවක්කුව සමඟ ආපසු පැමිණෙන්නට ඇත.

"බොහොම ස්තුතියි! දැන් දොර වහගන්න!!"

ජවිපෙ තුවක්කුකරුවෝ වීරසේකර මහත්තයාගෙන් කිසිදු බාධාවකින් තොරව ලැබුණු තුවක්කුවත් රැගෙන අපේ ගෙවල් පැත්තට පිය මනින්නට වූහ.

14 comments:

  1. මිනිහා මොළේ තියෙන කොමියුනිස්ට් කාරයෙක් බව පේනවා.. පොල්ල වරද්දා ගන්නෙත් නැතුව නයා වරද්දා ගන්නේත් නැතුව ගහන හැටි දන්නවා..

    ඒ උනාට ඇත්තම කියුවොත් මගක් එද්දී හිතුනේ නයා මරපු එකේ දිට්ට ධම්ම වේදනීය කර්මෙට අහුවෙලා පැට්‍රොල් සෑයක යන්න වුනාවත්දෝ කියල අහිංසක මනුස්සයට.. :)

    ReplyDelete
    Replies
    1. ජේආර්ව විවේචනය කරල පණ බේරගන්න පුළුවන් වුණත්, නයාට ගහලා බේරෙන්න පුළුවන් වුණත් සහෝදරයින්ගෙන් බේරෙන එක ලේසි නැති බව ඔහු තේරුම් ගන්න ඇති. ඒ නිසා, තවමත් හොඳින් ජීවත් වෙනවා.

      Delete
  2. Weerasekara mahaththaya Molen wada karaka thiyenawa

    ReplyDelete
    Replies
    1. ඔවු! නැත්නම් මේ කතාව වෙනස් විදිහකට ඉවර වෙනවා.

      Delete
  3. මේපාර ගම jvp එකට දිපුවහම අර තුවක්කුව ඉල්ලගන්න පුලුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් ජවිපෙ මර්දනය කිරීමෙන් පසු මේ තුවක්කු හොයාගෙන ඩෝසර් කළා.

      Delete
  4. /කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ඇත්ත පුවත්පතේ බොහෝ හිස්තීරු දකින්නට ලැබුණේය. ඒ හිස් තීරු යටින් "බලධාරියා විසින් කපා හරින ලදී" කියා කුඩාවට මුද්‍රණය කර තිබුණේය./

    ඇත්තේ කර්තෘ හිටියෙ බී.ඒ.සිරිවර්ධන නොහොත් ඇත්තේ සිරා.නිසි බලධරයා විසින් කපා හරින ප්‍රවෘත්ති පළවෙන්නට තිබූ තැන ඔහු "බලධරයා විසින් උලා කන ලදී" කියල පළකලා.

    වර්තමාන ඇමතිවරයෙක් වන සරත් අමුණුගමත් කාලයක් ප්‍රවෘත්ති බලධරය විදිහට කටයුතු කලා...

    ඉකෝන් ඔබේ රචනා ශෛලිය හරියට සන්ලයිට් වගේ.."එන්න එන්නම හොඳ වෙනවා..." ..හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක කියෙවුවහම ලයිෆ්බෝයි ගාල නෑව වගේ සනීපයක් දැනෙනවා. :)

      Delete
  5. //කලින් ලිපියේ ලියූ පරිදි, මා නිතර මාළු ආහාරයට ගන්නා අයෙක් වුවත්, මාළුවෙක් අල්ලාගෙන කන්නට හිත හදා ගැනීම මට ඉතා අසීරු කරුණකි. //

    මෙතන සැලකිය යුතු තව කරුණක් තියෙනවා.
    මුස්ලිම් ශිෂ්ටාචාරය ගොඩනැඟුනේ වෙනත් සංස්කෘතිවල අය මුස්ලිම් ආගමට හා සංස්කෘතියට හරවා ගෙන.

    ඒ වගේම ඇමෙරිකා ඔරුමත්තුනාඩුව හැදුනෙත් ලොව විවිධ රටවල මිනිසුන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හරවාගෙන.

    විනෝදයට මාළූ ඇල්ලීම කියන සිරිත ඇංග්ලිකන් ක්‍රිස්තියානි සිරිතක්.
    ඔරුමත්තුනාඩුවෙ ඉන්න සිංහලයෝ ඔයවගේ සිරිත් වලට හවුල් නොවිය යුතුයි. නැතිනම් වෙන්නේ සිංහලකම නැතිව ගිහින්
    ඇංග්ලිකන් ක්‍රිස්තියානියන් බවට පත්වීමයි.
    මාළූ අන්න අවශෟ ්‍ය නම් ලංකාවෙදි ඇල්ලුවට කමක් නෑ.

    ශුද්ධ බයිබලයේ ජෙරමියා කියන දිවැසි වරයා, යුදෙව් සෙනඟට බබිලෝනියානුවන් යටතේ සිටිනවිට හැසිරිය යුතු ආකාරය කියාදී තිබෙනවා.

    සත්තු මැරුවාම පව් සිද්ධ වෙනවා කියන කතාවේ එතරම් අර්ථයක් නෑ. මන්ද, එහෙනම් බත් කෑවාමත් පවු සිද්ධ වෙනවා.
    එතනදී කලහැකි එකම දෙය ප්‍රාණඝාත අවම වන පරිදි ආහාර නිෂ්පාදනය සැලසුම් කිරීමයි.

    ReplyDelete
  6. මං හිතුවේ ඩෝං කියයි කියල අන්තිමට

    ReplyDelete
  7. අවසන් වචනය වූහ ලෙස නිවරද විය යුතුයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රසික! නිවැරදි කළා.

      Delete
  8. මට නම් ඒ 88-89 සර්පයින් කැතයි. එය බයක් නොවේ!

    ReplyDelete
  9. ඔය මහා ලොකුවට (සත්ව ) හිංසනය ගැන කතා කරන මිනිස්සු, පණ ඇති ඕනම දේකට රිදවන්න දෙපාරක් හිතන්නේ නැහැ තමන්ට අභියෝගයක් නම් හරි තමන්ට පහලින් ඉන්නවා නම් හරි...පණ නැති දේවල් පණ වගේ සුරකින එකත් හරි බහුලයි... ඒ තමයි "මිනිස්සුන්ගේ" ඇත්ත කොච්චර එක එක දේවල් වලින් වහ ගන්න හැදුවත්, මගෙන් නම් ඕන තරම් (මිනිස්) සත්තුන්ට රිදිලා ඇති, හිතා මතා වගේම නොහිතත්.....රිදෙන බව දැනීම නිසාම රිදවීම අඩු කරගන්න නම් පුලුවන්...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: