වෙබ් ලිපිනය:

Tuesday, February 6, 2018

කොටු පනින කයෝටි හා අවජාතක කෝයිවෘකයෝ


අපේ ගෙවල් ඉසවුවේ කරක් ගසමින් සිටි කයෝටියෙක් ගැන අසල්වැසියෙක් විසින් මාස කිහිපයකට පෙර අපේ නිවාස හිමියන්ගේ සංගමයේ වත්පොත් පිටුවේ පළ කර තිබුණු නිවේදනයක් ගැන කලින් ලිපියකින් මම කිවුවෙමි. මේ නිවේදනය පළවීමෙන් පසු ගත වූ මාස කිහිපය තුළ තවත් අය විසින්ද එවැනිම නිවේදන මේ වත්පොත් පිටුවේ පළ කළේය. මේ අනුව, රෑ ජාමයේ අපේ ගෙවල් පැත්තේ කයෝටියන් කැරකෙන බව ඉතා පැහැදිලිය.

කොහොම වුනත්, කයෝටියන් නේවාසික පෙදෙස් වල ගැවසෙන එකේ විශාල අවදානමක් නැත. කයෝටියන් මිනිසුන්ට පහර දෙන්නේ නැත. එහෙත්, කයෝටියෙකු විසින් කොයි වෙලාවක හෝ නිවසක ඇති කරන සුරතල් සතෙකුටනම් වැඩේ දෙන්නට ඉඩක් තිබේ. අනෙක් අතට, මේ කයෝටීන් යම් හෙයකින් ගෙවල් වල කුණු බක්කි වලට පුරුදු වුවහොත් එය දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් වෙයි.

ඉවත ලූ මාංශමය ආහාර කොටස් නොඅඩුව ඇති, ගෘහස්ථ කුණු දමන බක්කි සාමාන්‍යයෙන් එළියේ තියන්නේ සතියේ කුණු එකතු කරන දවසේ පමණක් වුවත් උදේ පාන්දර කුණු බක්කිය පාර අයිනට තල්ලු කරනවා වෙනුවට රෑ නින්දට යාමට පෙර එය ඒවා පාර අයිනේ ස්ථානගත කිරීම අපද ඇතුළු බොහෝ දෙනෙක් කරන දෙයකි. මෙවැනි දවසක අහම්බෙන් අපේ ගෙවල් පැත්තට එන කයෝටියෙකුට මේ කුණු බක්කි වල ඇති ආහාර ගැන ඉව වැටෙන්නටත්, පසුව එය පුරුද්දට යන්නටත් බැරිකමක් නැත. එහෙම වුනොත්, දිගුකාලීනව එය ප්‍රශ්නයකි. වත්පොත් පිටුව හරහා අපේ ඇතැම් අසල්වැසියන් මේ කරුණ ගැන අවධානය යොමු කර තිබුණේය.

පසුගිය සතියේ දිනෙකත් ඉහත වත්පොත් පිටුවේ අපේ අසල්වැසියෙකු විසින් පාන්දර ජාමයේ දුටු කයෝටියෙකු ගැන විස්තරයක් තිබුණේය. මේ නිවේදනය පළකළ තැනැත්තියට අනුව ඇය විසින් දැක තිබුණේ ශරීර ප්‍රමාණයෙන් සාමාන්‍ය කයෝටියෙකුට වඩා බොහෝ විශාල තරමක් අසාමාන්‍ය කයෝටියෙකි. මේ නිවේදනය වත්පොත් පිටුවේ පළවී දිනකට හෝ දෙකකට පසු, වෙනත් අසල්වැසියෙකු විසින් එයට ප්‍රතිචාරයක් ලෙස අපේ නගරයේ ප්‍රාදේශීය පුවත්පතක පළවූ ලිපියක සබැඳියක් පළ කර තිබුණේය.

ඉහත පුවත්පත් වාර්තාවට අනුව, අපේ නගරයේ කෝයිවෘකයින් සිටින බවට සැක පහළව තිබේ.

කෝයිවෘකයෙකු යනු කොටළුවෙකු මෙන් දෙමුහුන් සතෙකි. අශ්වයින් හා බූරුවන් අතර සංසර්ගයෙන් කොටලුවන් හැදෙන අයුරින්, වෘකයින් හා කයෝටියන් අතර සංසර්ගයෙන් කෝයිවෘකයින් බිහි වේ. කෝයිවෘකයෙකු ශරීර ප්‍රමාණයෙන් රාත්තල් සීයක් පමණ විශාල විය හැකි අතර ඔවුහු මිනිසෙකු දුටු විට කයෝටින් මෙන් සැඟව පලා නොයති. එකම පූර්වජයෙකුගෙන් පැවත එන වෘකයින් හා කයෝටියන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් ලෙස වෙන් වී වැඩි කලක් නැති නිසා තවමත් ඔවුන්ට එක්ව දරුවන් බිහිකළ හැකිය.

සාමාන්‍යයෙන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් අතර සිදුවන සංසර්ගයකින් පසු බිහිවන කොටළුවන් වැනි සතුන්ට සරු ජනිතයින් බිහි කළ නොහැකිය. එසේ වුවත්, කෝයිවෘකයින්ට ඒ හැකියාවද තිබේ.

මුල් නිවේදනයට ප්‍රතිචාරයක් ලෙස ඉහත පුවත්පත් වාර්තාව අවධානයට ලක් කිරීමෙන් පසුව මුල් සටහන දැමූ තැනැත්තිය විසින් මෙසේ ලියා තිබුණේය.

"මම දැක්කේ කෝයිවෘකයෙක් වෙන්න පුළුවන්. අපේ ප්‍රදේශයේදී වෘකයෙකු හමුවිය හැකි බව දැන නොසිටි නිසා මම හිතුවේ මා දුටුවේ ලොකු කයෝටියෙක් කියලයි!"

දින දෙක තුනකට පෙර ප්‍රාන්ත රජයේ වනජීවී නිලධාරීන් විසින් නිවේදනය කර තිබුණේ අපේ ප්‍රාන්තයේ කෝයිවෘකයින් සිටින බව තහවුරු වී නැති බවත්, එය සහතික කළ හැක්කේ ඩීඑන්ඒ පරීක්ෂණයකින් පසුව පමණක් බවත්ය. ආණ්ඩු වලින් කොහොමත් කියන්නේ ඔය වගේ කතාය.

අපේ ගෙවල් පැත්තේ කයෝටින් ගැවසෙන බව ස්ථිර වුවත්, කෝයිවෘකයින් සිටින්නේද යන්න ස්ථිර නැත. එසේ සිටින්නේනම්, මාස කිහිපයකට පෙර මා අපේ ගෙවල් ආසන්නයේ ඇති ස්වභාවික රක්ෂිතයේ දරුවකු සමඟ ඇවිදිද්දී හමු වූ අඩිසලකුණු අතර වුවද කෝයිවෘකයෙකුගේ අඩි සලකුණු තිබුණා වන්නට වුවත් බැරිකමක් නැත.

අප බොහෝ විට දකින්නේ යම් මොහොතක, යම් තැනක තිබිය හැකියැයි අප විශ්වාස කරන දේවල් පමණි. අපේ ගෙවල් පැත්තේ කෝයිවෘකයින් සිටිය හැකි බව දැන නොසිටි අසල්වැසියා ලොකු කයෝටියෙකු දැක්කේ එබැවිනි. ඒ  ඇත්තටම ලොකු කයෝටියෙකු වන්නට මෙන්ම කෝයිවෘකයෙකු වන්නටද පුළුවන.

ස්වභාවික රක්ෂිතයේ ඇවිදිද්දී හමු වූ අඩි සලකුණු කයෝටියෙකුගේ බව මගේ දරුවා විසින් හඳුනා ගත්තේ ඒ ප්‍රදේශයේ කයෝටියන් ගැවසෙන බව ඔහු දැන සිටි නිසාය. ඔහු නැතිව මා තනියම එහි ඇවිදින්නට ගියේනම් මා ඒවා හඳුනා ගන්නේ බල්ලෙකුගේ අඩි සලකුණු ලෙසිනි. එසේ වූවානම්, මේ සටහන් දෙක තුන ලියවෙන්නේ නැත.

(Image: https://www.smithsonianmag.com/smart-news/coywolves-are-taking-over-eastern-north-america-180957141/)

13 comments:

  1. උතුරු ඇමෙරිකාවේ සීතල පෙදෙස් වල දැකිය හැකි පාත්තයන් (Canada Geese) විශාල ලෙස රංචු වශයෙන් නිවාස අශ්‍රිතව ඉතා සුලබව දැකිය හැක.

    එයට හේතුව ඔවුන්ට කැලෑ තුලදී අනෙකුත් සතුන්ගෙන් සිදුවිය හැකි අනතුරු සහ පීඩා වලට වඩා ඉතාම අඩු අනතුරු සිදුවීමේ අවස්ථාවක් මිනිසුන් ජීවත් වන පෙදෙස් තුලදී පවතින බව යැයි මා කලකට පෙර කියවූවා මතකයි.

    ඇතැම් විට ඔබ ජීවත්වන වන පෙදෙසේ සරන මෙම කයෝටියන්ගේ බලපොරෝතුවත්, එලෙසම ආරක්ෂාව පිළිබද තත්වයක් විය හැක.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඇනෝ! මේ කරුණට මම එන්නයි හිටියේ.

      Delete
    2. ඔබගේ දෙමුහුන් කොටළුවා ගැන සදහනත් සමග මා හට බොහෝ කලකට පෙර ඇසු ලස්සන කතාවක් මතක්වුණා.... ඉස්සර ග්‍රීසියේ විසු ඉතාම රූමත් නිළියකට එකල විසු අග්‍රගන්‍ය විද්යාඥයෙකුට (මට ඔහුගේ නම හරියටම මතක නැහැ) දාව දරුවෙකු බිහිකිරවාගැනීමේ ආශාවක් ඇතිවුනාලු. ඇය කෙලින්ම ඔහුට තම උවමනාව පැවසු විට පුදුමයට පත් විද්යාඥයා, ඔබ වන් ඉතා සුරූපී ලලනාවක් මා වැනි ඉතා අවලක්ෂණ පෙනුමක් තිබෙන මහලු කෙනෙකුගෙන් දරුවෙකු ලබාගැනීමට බලාපොරොතු වන්නේ ඇයි කියන එක ඉතා අමාරු විද්‍යාත්මක කාරණයක් තෝරා බෙරගන්නවටවත් වඩා සංකීර්ණ දෙයක් වගේ තමා මට දැනෙන්නේ.

      එවිට නිළිය, ඒ ගැන ලොකුවට සිතන්න උවමනා නැහැ. මොහොතක් සිතන්න .... ඔබගේ බුද්ධියත් මගේ රූප ස්වභවයත් ඇතිව අප දෙදෙනාට දාව උපදින ඒ දරුවා මොනතරම්නම් වාසනාවන්ත සහ ලෝකයට මොන තරම්නම් වැඩදායක කෙනෙකු වේවිද?

      ඒකම තමා දරුවා මේ මමත් කල්පනා කළේ....... මොහොතකට හිතන්න ඕකෙම අනිත් පැත්ත සිදුවුවහොත් අපිට උපදින දරුවා මොන තරම්නම් අවාසනාවන්තයෙකු වේවිද.....!

      Delete
  2. හුඟක් ඉස්සර ඉඳම්ම වෘකයන් හා බල්ලන් ඉන්ටර් බ්‍රීඩ් වුනා. ජැක් ලන්ඩන් ගේ කතා කියවල ඇතිනෙ.

    Tigon/Liger (සිංහ + ව්‍යාඝ්‍ර) ගේ sterile ප්‍රශ්නෙ තියනවා

    ReplyDelete
  3. කොටු පැනීම කියන්නේ තම ජාතියෙන් පිට සංස්ර්ගයක් ද, කසාදයෙන් පිට සංසර්ගයක් ද?

    ReplyDelete
    Replies
    1. කොටු පැනීම කියන්නේ Hopscrotch !

      Hopscotch is a children's game that can be played with several players or alone. Hopscotch is a popular playground game in which players toss a small object into numbered triangles of a pattern of rectangles outlined on the ground and then hop or jump through the spaces to retrieve the object.

      Delete
  4. සිනුවර රසිකට පිස්සු ඩබල් වෙලා වගේ.
    සංසර්ගය අරව මේවා කතා තිබුනනේ!

    ReplyDelete
  5. ගෙවල්වල CCTV හයි කරල නැද්ද. එහෙම උනානං කරුමෙට හරි ඔය එකෙක් ඒකකට අහුවෙන්න තිබුණනෙ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: