Saturday, April 23, 2016

දවසට පැය කීයක්ද එහේ?


Animation show planet orbiting star from above, with star wobbling.

අනෙකුත් විෂයයන්ට සාපේක්ෂව භෞතික විද්‍යා විෂයයෙහි අපේ දැනුම දියුණුයැයි ඇතැම් අය සිතති. භෞතික විද්‍යාවේ විෂය පථය ඉතා පුළුල් එකක් වන අතර අපට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ සීමා දක්වා පැතිරේ. එසේ සැලකූ විට දන්නා දේ වලට වඩා නොදන්නා දේ වැඩිය. අනෙක් අතට ජීව විද්‍යාවේත්, සමාජ විද්‍යාවන්හිත් විෂය පථය පෘථිවියට, එහි වසන ජීවීන්ට හා ඔවුන්ගෙන් එක් වර්ගයක් වන හෝමෝ සේපියන්ස්ලාගේ භෞතික හා සමාජ ජීවිතයට බොහෝ දුරට සීමා වේ.

භෞතික විද්‍යාවේ විෂය පථය වඩා පුළුල් බව අමතක කළහොත්, අපේ එදිනෙදා කටයුතු වලට අදාළ වන භෞතික විද්‍යා දැනුම සාපේක්ෂව දියුණු මට්ටමක පවතී. මෙය අහම්බයක් නොවේ. භෞතික විද්‍යාව අද පවතින තැනට දියුණු වුණේ වසර දහස් ගණනකට පෙර සිටම මේ විෂය හා අදාළ දැනුම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම නිසාය. වසර දෙදහසකට පමණ පෙරද භෞතික විද්‍යාව සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණේය. අඩු වශයෙන් වසර එක්දහස් හයසියයකට පෙර සිටම ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂව පෘථිවියේ, සූර්යයාගේ හා අනෙකුත් ග්‍රහවස්තූන්ගේ චලිතයන් සිදුවන ආකාරය නිවැරදිව තේරුම් ගැනීමට තරම් දැනුමක් අප සතු විය. මෙයට සාපේක්ෂව ජීව විද්‍යා විෂයයෙහි අප සතු වූයේ ඉතා අල්ප දැනුමකි. ජීවත්ව සිට මියයන කෙනෙකුගේ ජාන ඔහුගේ හෝ ඇයගේ දරුවෙකුගේ දරුවකුට හෝ පසු පරම්පරාවක අයෙකුට ලැබීම නිසා පෙර මිය ගිය පුද්ගලයාගේ අසම්පූර්ණ පිටපතක් නැවත ඇති වන්නේ කෙසේද යන්න ගැන දැනුම ඉතා මෑතක් වන තුරුම අපට ආගන්තුක විය.

මෙහිදී මා 'අප' යන වචනය භාවිතා කළේ හෝමෝ සේපියන්ස්ලා යන අර්ථයෙනි. මෙයට සිංහලයින් හා ලාංකිකයින්ද ඇතුළත්ය. සහශ්‍ර එකහමාරකට හෝ දෙකකට පෙරත් පර්සියාව, ග්‍රීසිය හා වත්මන් ඉන්දියාව ඇතුළු දැනුම් කේන්ද්‍ර අතර ඉතා හොඳින් දැනුම සංසරණය වූ නිසා මේ දැනුම යම් සීමිත පිරිසකගේ දැනුමක් ලෙස වර්ග කිරීම අපහසුය. එහෙත්, ලෝකයේ සෑම ප්‍රදේශයකම ජීවත් වූ හෝමෝ සේපියන්ස්ලා දැනුම අතින් සම මට්ටමක සිටි බව එයින් අදහස් නොවේ.

ඓතිහාසිකව අපේ කලාපයේ භෞතික විද්‍යා දැනුම දියුණු කළේ හින්දු හෝ මූල-හින්දු ගණිතඥයින්/ භෞතික විද්‍යාඥයින්  විසිනි. මා එසේ ඔවුන්ව හඳුන්වන්නේ ඔවුන් එදා පර්යේෂණ සිදුකර ඇති ක්‍රමවේද අද විද්‍යාත්මක ක්‍රමය ලෙස සැලකෙන දෙයින් විශාල ලෙස වෙනස් නැති නිසාය. මෙහිදී, පර්සියානු, අරාබි, ග්‍රීක හා රෝම ගණිතඥයින්/ භෞතික විද්‍යාඥයින් විසින් සොයාගත් දේ පිළිබඳවද මේ කලාපයේ පර්යේෂකයින් හොඳින් දැන සිට තිබේ.

මේ විෂයයන්ට අදාළව බෞද්ධ හා ජෛන පර්යේෂකයින් සිටියේ හින්දු, සෞරාෂ්ඨ හෝ ග්‍රීක/රෝම පර්යේෂකයින්ට වඩා පිටුපසිනි. එයට පැහැදිලි හේතු තිබේ. අප දන්නා ලෝකයට බාහිර උපරි ව්‍යුහයක් ගැන විශ්වාසය තබන සංස්කෘතියක් තුළ තමාගේ පාලනයෙන් තොර භෞතික ක්‍රියාවලීන් තේරුම් ගැනීම සඳහා වැඩි බරක් පැටවේ. එහෙත්, එවැන්නක් ගැන විශ්වාසය නොතැබූ බෞද්ධ හා ජෛන පර්යේෂකයින්ට තමන් නොවැදගත් දේ ලෙස සැලකූ ග්‍රහවස්තූන්ගේ චලිතයන් ආදිය ගැන සොයන්නට කාලය මිඩංගු කිරීමට අවශ්‍ය නොවීය. මිනිස් මනස තේරුම් ගැනීමට උත්සාහ කළ බෞද්ධ පර්යේෂකයින් අතින් මනෝ විද්‍යාව වැනි වෙනත් ක්ෂේත්‍ර වලට එළිය වැටුණේය.

බයිබලයේ පැරණි ගිවිසුම අනුව (උත්පත්ති, 5) ආබ්‍රහමික දෙවියන් විසින් ලෝකය මැවීමෙන් පසු "ආලෝකයට දවාල කියා ද, අන්ධකාරයට රාත්‍රිය කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය." ක්‍රිස්තියානි බයිබලයට වඩා පැරණි හීබෘ බයිබලයේද (බෙරෙෂිට්, 5) මෙය මෙලෙසම කියැවේ. මේ පැරණි ලියවිලි වල මෙලෙස සටහන් වී ඇත්තේ ඒ කාලයේ දවස පිළිබඳව සමාජයේ පැවති අදහසයි.

මේ අනුව, දවසක් යනු දිවා කාලයක් හා රාත්‍රී කාලයකි. යුරෝපීය බලපෑම් මත වෙනස් වන තුරු ලංකාවේද දවසක් ලෙස සැලකුනේ දිවා කාලයක හා රාත්‍රී කාලයක එකතුවකි. හිරු උදාවෙන් ඇරඹුණු මේ දවස පසුදින හිරු උදාව සමඟ අවසන් විය. මෙවැනි දවසක කොටස් දෙකක් විය. හිරු උදාවේ සිට හිරු බසින තුරු දිවා කාලයයි. හිරු බැසීමේ පටන් පසුදින උදය වන තුරු රාත්‍රී කාලයයි. මේ එක් එක් කොටසක් හෝරා තිහකට බැගින් බෙදුණේය. ඒ හෝරාවක් විනාඩි ආදී ලෙස තවදුරටත් බෙදා තිබුණේය.

මේ වන විට සම්මතය වන පැය යන සංකල්පයට සාපේක්ෂව පැරණි සිංහල ක්‍රමය අනුව දිවා පැයක්, රාත්‍රී පැයකින් වෙනස් විය. එමෙන්ම දවසේ දිගද මේ වන විට සම්මතය වන දවසකට සාපේක්ෂව නියතයක් නොවීය. ඉර උදාව හා ඉර බැසීම අනුව දවසේ දිග වෙනස් විය. සමකය ආසන්නයේ පිහිටි ලංකාවට මෙන්ම තරමක් ආසන්නයේ පිහිටි ඉන්දියාවට හෝ මැද පෙරදිගට වුවද මෙය ප්‍රශ්නයක් නොවූ අතර ජීවන රටාවන් සමඟ ඉතා හොඳින් ගැලපුණේය.

දිවා රාත්‍රී චක්‍ර වලට වෙනත් සතුන් මෙන්ම හෝමෝ සේපියන්ස්ලාද පරිණාමිකව හැඩ ගැසී සිටිති. හෝමෝ සේපියන් දරුවෙකු මවු කුසින් එළියට පැමිණ මමත්වයක් සහිත පුද්ගලයකු බවට පත්වන කාලයේ (මේ ගැන විස්තර කරන්නට කලින් ලියූ වෙනත් ලිපි මාලාවක් අවසන් කළ යුතුව තිබේ.) ඔහුගේ හෝ ඇයගේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව සකස්වන්නේද දිවා රාත්‍රී ආලෝක වෙනසට සංවේදී වෙමිනි. ඒ නිසා, ලොව පුරා සිටින විවිධ සංස්කෘතීන්ට අයත් හෝමෝ සේපියන්ස්ලා විසින් පොදුවේ දිවා රාත්‍රී චක්‍රයක් දවසක් ලෙස සැලකීම අහම්බයක් නොවේ.

පෘථිවියට දිවා රාත්‍රී ඇති වන්නේ පෘථිවියේත් සූර්යයාගේත් පිහිටීමේ සිදුවන සාපේක්ෂ වෙනස්කම් නිසාය. පැරණි ලෝකය මේ සාපේක්ෂ චලිතය තේරුම් ගත්තේ නිශ්චලව ඇති පොළොව වටා සූර්යයා ගමන් කිරීමක් ලෙසිනි. එහෙත්, මේ ලිපිය කියවන බොහෝ දෙනෙකු එම අදහසට එකඟ නොවන්නට ඉඩ තිබේ. පොළොව වටා ඉර ගමන් කරන්නේය යන දැනුම විස්ථාපනය කරමින් ඉර වටා පොළොව ගමන් කරන්නේය යන දැනුම පසුව ප්‍රමුඛත්වය ගත්තේය. කෙසේවුවද මේ දැනුම් පද්ධති දෙකම අපට පොළොවට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දැන ගැනීමට උදවු කරන ආකෘති පමණි.

කිසියම් වස්තුවක චලිතය ගැන කතා කළ හැක්කේ තවත් වස්තුවකට සාපේක්ෂව පමණි. ඔබ බොරලැස්ගමුවෙන් එකසිය විස්සකට අමාරුවෙන් නැඟ ගත් පසු එසේ නොකළ හැකිව බස් නැවතුමේ නැවතුණු මඟියෙකුට සාපේක්ෂව ඉදිරියට යයි. එහෙත්, බසයේ සිටින මඟීන්ට සාපේක්ෂව ඔබ ආසනයකට හේත්තුවක් දමාගෙන නිශ්චලව සිටී. ටික වේලාවකට පසු පොල්ල අල්ලගෙන පස්සට යන මෙන් කොන්දොස්තරවරයා ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරයි. ඔබ මේ ඉල්ලීම ඉටු කරයි. ඔබ පස්සට යන බව බසයේ අනෙක් මඟීන්ට පෙනේ. එහෙත්, මුලින් බස් නැවතුමේ නැවතුනු මඟියාට සාපේක්ෂව ඔබ තවමත් ඉදිරියට යයි.

චලිතයක් හැමවිටම සාපේක්ෂය. ඒ නිසා, බුදුන් වහන්සේ විසින් "මම නැවතී සිටිමි. දුවන්නේ ඔබයි!" කියා අංගුලිමාලට කියන විට එයින් අදහස් කළ දෙය අමතක කළත් සාපේක්ෂ චලිතය අනුව වුවද මෙහි වැරැද්දක් නැත. ඒ අයුරින්ම, ඉර පොළොව වටා යන ලෙස සැලකීම, පොළොව ඉර වටා යන බව සැලකීමට වඩා විශාල වරදක් ඇති දෙයක් නොවේ.

වඩා නිවැරදි භෞතික විද්‍යා ආකෘතියක් අනුව පොළොව වටා ඉරවත්, ඉර වටා පොළොවවත් ගමන් නොකරයි. මේ අනුව, සිදුවන්නේ පොළොවේත්, ඉරේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා (barycenter) ඉරත් පොළොවත් දෙකම ගමන් කිරීමයි (ලිපිය ආරම්භයේ ඇති ආකෘතිය බලන්න). මේ අයුරින්ම හඳේත්, පොළොවේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා හඳත්, පොළොවත් ගමන් කරයි. හඳට සාපේක්ෂව පොළොවේ ස්කන්ධය ඉතා අධික නිසා මේ පොදු ගුරුත්ව කේන්ද්‍රය තිබෙන්නේ පෘථිවිය ඇතුලේමය. එහෙත් පෘථිවියේ මධ්‍යයේ සිට මතුපිට දක්වා ඇති දුරෙන් 70-80% අතර ප්‍රදේශයකය. ඒ නිසා පොළොව වටා හඳ ගමන් කරන බව කීම වඩා හොඳ ප්‍රවාදයකි.

සූර්යයාගේ ස්කන්ධය සමඟ සසඳන විට පෘථිවියේ ස්කන්ධය ඉතා කුඩා නිසා පෘථිවියේ බලපෑමෙන් සූර්යයාගේ චලිතයට සැලකිය යුතු බලපෑමක් නොවේ. එහෙත්, සූර්ය ග්‍රහ මණ්ඩලයේ තවත් ග්‍රහ වස්තු රැසක් තිබේ. වඩා නිවැරදි ආකෘතියක් අනුව සිදු වන්නේ සූර්ය ග්‍රහ මණ්ඩලයේම පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා සූර්යයාද ඇතුළු මේ ග්‍රහ වස්තු සියල්ලම චලනය වීමයි. පෘථිවියේ ස්කන්ධය සාපේක්ෂව කුඩා වුවත් බ්රුහස්පති වැනි විශාල ග්‍රහ වස්තුවකට සූර්යයාගේ චලිතයට සැලකිය යුතු බලපෑමක් කළ හැකිය. බ්රුහස්පතිගේ ආකර්ශනය හේතුවෙන් පමණක් සූර්ය ග්‍රහ මණ්ඩලයේ ගුරුත්ව කේන්ද්‍රය සූර්යයාගේ පෘෂ්ඨයෙන්ද පිටතට ඇදේ.

අනෙකුත් විශාල ග්‍රහයින් වන සෙනසුරුට, යුරේනස්ට හා නෙප්චූන්ටද සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රයට 'දැනෙන' බලපෑමක් කළ හැකිය. මේ ග්‍රහවස්තු සියල්ලම සූර්යයාට සාපේක්ෂව එකම පැත්තක ඇති විට සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රය සූර්යයාගේ මධ්‍යයේ සිට සූර්ය පෘෂ්ඨයට ඇති දුර මෙන් දෙගුණයක් දක්වා ඈත් විය හැකිය. එවිට සූර්යයා චලනය වන පථය සාපේක්ෂව විශාල එකකි. එමෙන්ම, අනෙකුත් විශාල ග්‍රහයින් සියල්ලම බ්රුහස්පති සිටින පැත්තට ප්‍රති විරුද්ධ පැත්තේ ස්ථානගත වූ විට සිදුවන සමතුලනය නිසා මේ පොදු ගුරුත්ව කේන්ද්‍රය සුර්යයාගේ ගුරුත්ව කේන්ද්‍රයටම ආසන්න වේ.

දිවා රෑ යුගලයකින් සමන්විත දවසක් ගැන සම්ප්‍රදායික අදහස වූයේ දවසක් යනු ඉරට පොළොව වටා යාමට ගතවන කාලය බවයි. වත්මන් සම්මතය අනුව දවසක් යනු පැය විසිහතරකි. මේ අදහස නිවැරදිය. පොළොව නිශ්චලව ඇති ලෙස සැලකුවහොත් ඉරට පොළොව වටා යාමට පැය විසිහතරක් ගතවේ.

දවස ගැන ඇති තවත් ජනප්‍රිය අදහසක් වන්නේ පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන කාලය පැය විසිහතරක් බවයි. සූර්ය කේන්ද්‍රීයව සිතූ විට, පොළොව සිය අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා සහ පොළොව අතර චලිතයේ වඩා සංකීර්ණ සංරචක කිහිපයක්ම ඇතත් මේ සරල ආකෘතිය දවස ගැන කතා කරන්නට ප්‍රමාණවත්ය. අවුරුද්ද ගැන කතා කරන විටනම් මේ චලිතයේ අනෙකුත් සංරචක ගැනද අවධානය යොමු කිරීමට සිදුවේ.

අපට අදාළ වන කාල පරාස තුළ නිශ්චලව පවතින්නේයැයි උපකල්පනය කළ හැකි ඈතින් ඇති (වඩා නිවැරදිවනම්, අතීතයේදී පැවති) තාරකාවන්ට සාපේක්ෂව පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට ගතවන්නේ පැය 23.93447ක් පමණි. එනම් 23 මිනිත්තු 56 තත්පර 4.09කි. ඒ අනුව, දවසක් යනු පොළොවට සිය අක්ෂය වටා අංශක 360කින් කැරකීමට ගතවන කාලයට වඩා විනාඩි 3 තත්පර 55.91කින් වැඩි කාලයකි. වෙනත් අයුරකින් කිවහොත් පොළොවට සිය අක්ෂය වටා වටයක් හා තවත් අංශකයකට ආසන්න ප්‍රමාණයක් (අංශක 360.9856ක්) යාමට ගතවන කාලයයි.



වත්මන් භාවිතයේ සම්මත පැය විසිහතරේ දවස පදනම් වන්නේ පෘථිවිය සිය අක්ෂය වටා කැරකී සූර්යයා කලින් සිටි තැනට පැමිණීමට ගත වන කාලය අනුවය. පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන නමුත් සූර්යයා වටා නොයන්නේනම් එය අංශක 360කින් කැරකුණු පසු සූර්යයා කලින් සිටි තැනින්ම හමුවනු ඇත. එහෙත්, පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන අතරම සූර්යයා වටාද ගමන් කරන බව සැලකූ විට (ඉහත රූප සටහනේ පරිදි) මෙය මෙලෙසම සිදු නොවේ. පෘථිවිය සිය අක්ෂය වටා අංශක 360කින් කැරකෙන විට සූර්යයා වටාද අංශකයකට ආසන්න දුරක් ගමන් කරන නිසා වටය කැරකී බලන විට සූර්යයා සිටින්නේ අංශකයක් පිටුපසිනි. ඒ නිසා සූර්යයා සමඟ පෙර වූ දිශානතිය පවත්වාගැනීමට තවත් වැඩිපුර ටිකක් කැරකෙන්නට සිදුවේ.

පෙර කී ලෙස දිනකට අංශකයකට ආසන්න ප්‍රමාණක් වැඩියෙන් කරකැවීමේ ප්‍රතිඵලය ලෙස වසරකදී එකතුවන මේ 'කොට කෑලි' වල එකතුව තවත් අංශක 360කි. ඒ නිසා ආසන්න වශයෙන් දින 365.25ක් ලෙස සැලකෙන අවුරුද්දකදී පෘථිවිය සිය අක්ෂය වටා වටා ඇත්තටම 366.25 වරක් (ආසන්න වශයෙන්) කැරකේ.

වසරක් තුළදී පෘථිවිය සිය අක්ෂය වටා කැරකෙන වාර ගණන (ආසන්නව) 366.25ක් පමණ වුවද පෘථීවි කේන්ද්‍රීයව සිතූ විට පෘථීවිය වටා සූර්යයා කැරකෙන වාරගණන (ආසන්නව) 365.25ක් පමණි. ඒ නිසා ශක කැලැන්ඩරය ගත්තද, සම්මත ග්‍රෙගෝරියන් කැලැන්ඩරය ගත්තද දවස යන සංකල්පය වඩා හොඳින් ගැලපෙන්නේ පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය සමඟය. අනෙක් අතට සූර්ය කේන්ද්‍රීය ආකෘතිය යනු සූර්යයා මත සිටින නිරීක්ෂකයෙකුට විශ්වය පෙනෙන ආකාරයද නොවේ. යම් හෙයකින් සූර්යයා මත නිරීක්ෂකයෙකු සිටින්නේයයි උපකල්පනය කළහොත් ඒ නිරීක්ෂකයාට පෙනෙන ලෝකය ගැන කතා කරන්නටනම් සූර්යයා සිය අක්ෂය වටා කැරකෙන බවත්, සූර්ය ග්‍රහ මණ්ඩලයේ පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා භ්‍රමණය වන බවත් සැලකිල්ලට ගත යුතුය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය මත පදනම් වූ දවස නමැති සරල සංකල්පය සූර්ය කේන්ද්‍රීය ආකෘතිය සමඟ ගලපා ඇත්තේ ඉතා අසීරුවෙනි. මෙසේ ගැලපීමෙන් පසු පෘථිවියට සිය අක්ෂය වටා කැරකී 'සූර්යයා සිටි තැනට' පැමිණෙන්නට ගතවන කාලය පැය විසිහතරක් ලෙස අර්ථ දක්වා තිබේ. මෙය අර්ථදැක්වීමක් නිසා මේ පැය විසිහතර යනු වෙනස් නොවන දෙයකි.

මා පෙර කී පරිදි සිංහල පැයක් යනු දිවා කාලයේනම් සූර්යෝදයේ සිට සූර්ය අස්තය දක්වා කාලයෙන් තිහෙන් එකකි. රාත්‍රී කාලයේනම් සූර්ය අස්තයේ සිට ඊළඟ දින සූර්යෝදය දක්වා කාලයෙන් තිහෙන් එකකි. සූර්යෝදය හා සූර්ය අස්තය සිදුවන වේලාවන් අනුව ග්‍රෙගෝරියන් පැයකට සාපේක්ෂව සිංහල පැයක කාලය වෙනස් වේ. එහෙත්, සිංහල කාලය අනුව දවසට ඇත්තේ පැය හැටකි. එය වෙනස් වන්නක් නොවේ. රුපියල කෙතෙක් බාල්දු වුවද රුපියලට ඇත්තේ සත සීයක්ම ලෙසිනි.

ග්‍රෙගෝරියන් සම්මතයට පුරුදු වී සිටීම නිසා අපට හිතෙන්නේ 'ඉංග්‍රීසි' පැයක් යනු මෙසේ වෙනස් නොවන ස්ථිර කාලයක් බවයි. දිනකට ඇති ඉංග්‍රීසි පැය ගණන විසිහතරක් වන්නේද දිනකට ඇති සිංහල පැය ගණන හැටක් වන ආකාරයෙන්ම සම්මතය අනුවය. එයද වෙනස් නොවන්නක් නොවේ. එක් අතකින් පෘථිවියේ භ්ර්මන වේගය වෙනස් වේ. අනෙක් අතෙන් සූර්යයා වටා පෘථිවිය ගමන් කරන පථය ඉලිප්සාකාර එකක් නිසාත්, සූර්යයා වටා ගමන් කරන වේගය ඒකාකාරී නොවන නිසාත් සිය අක්ෂය වටා වටයක් භ්‍රමණය වීමට ගතවන කාලය තුළ එය සූර්යයා වටා ගමන් කරන දුර නිශ්චිත නැත. ඒ නිසා සූර්යයා 'කලින් සිටි' තැනට පැමිණීමට ගතවන කාලය සෑම දිනකම සමාන නැත. මෙයට විසඳුමක් ලෙස මෙසේ ගතවන කාලයේ සාමාන්‍ය අගය පැය විසිහතරක් ලෙස සැලකුවද දීර්ඝ කාලීනව මේ සාමාන්‍ය අගයද යම් තරමකින් හෝ වෙනස් වේ. ඒ නිසා අවසාන වශයෙන් කාලය කියන්නේද වැඩි දෙනාගේ සම්මුතියකි.

අවුරුද්ද හා අදාලව ඇති අවුල් සැලකූ විට දවස හා සම්බන්ධව අවුල් නොමැති තරම්ය. ඒ ගැන පසුව කතා කරමු.

(Image: http://spaceplace.nasa.gov/barycenter/en/)

28 comments:

  1. කාලය සහ අවකාශය පිළිබඳව මිනිසා තුළ ඇති ඥාන සම්භාරය, ඉතා ඈත අතීතය දක්වා දිවෙන බව පෙනෙනවා. මේ ලිපිය කියවූ විට, මට එක් වරම මතක්වුනේ, ගුත්තිල කාව්‍යයේ එන, මෙන්න මේ කවිය.

    කිමෙක කියනු සුරපුර සිරිසර වෙසෙස
    මෙලොව සියක් අවුරුදු එහි එක දවස
    එවැනි එ සුරපුර සිරිසැප ලබන ලෙස
    කරව කුසල් තොපි මදකත් නොව අලස


    මේ කවියේ දෙවැනි පේලියේ තියනවා මෙලොව සියක් අවුරුදු එහි එක් දවස කියලා. මෙය හුදු සාහිත්‍යමය කියමනක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ, මේ කාව්‍යය ලියවුන කාලයේදීත් (14 වැනි සියවස?) බටහිර ජාතීන්ගේ දැනුමට සාපේක්‍ෂව පෙරදිග ජාතීන් තුළ ද, ගණිත සංකල්ප මැනවින් වර්ධනය වී තිබුන බවට මෙය හොඳ සාක්‍ෂියක්.

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තු වර්ෂ හතර වන සියවසේ සංශෝධනය කළ (ඊට පෙරද භාවිතා වූ) සූර්ය සිද්ධාන්තය හා මුහුර්ත චින්තාමණිය වැනි පොත් අනුව මෙලොව වසරක් දෙවියන්ගේ සහ අසුරයන්ගේ එක් දිනයක්. ඒ කතාවනම් මට ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට සහ පැහැදිලි කිරීමට පුළුවන්. ඉදිරියේදී ඒ ගැන ලියන්නම්. අනෙක් පසුකාලීන ප්‍රවාද මේ සූර්ය සිද්ධාන්ත අදහස වෙනස් වීමෙන් හැදුනු මත විය හැකියි. නැත්නම් වෙන මට නොතේරෙන දෙයක් තියෙන්නත් පුළුවන්.

      Delete
  2. භෞතික විද්‍යාවට තියන ඌණ හැකියාව නිසද කොහෙද අදනම් වැඩි දෙයක් තේරුනේ නෑ ඉකොනො...ඒත් යම් යම් දේවල් අතරින් පතර ග්‍රහණය කර නොගත්තා කිව්වොත් ඒක බොරුවක්...

    ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සෙන්නා, අදහස් දැක්වීමට. ලිපිය ටිකක් දිග වැඩියි. ඒත් එක දිගටම කිව යුතු කතාවක් නිසා දෙකට කඩන්නත් අමාරුයි. වෙලාවක් තිබුණොත් නැවත කියවලා අපැහැදිලි පළමු තැන ගැන අහන්න.

      Delete
  3. සෙන්නා මගේ කෙමෙන්ට් ඒක කොටලා
    ලිපිය කියෙව්වා එත් හරියටම මිටර් උනේ නැහැ

    ReplyDelete
    Replies
    1. සෙන්නට කියපු එකම තමයි කියන්න තියෙන්නේ. කමෙන්ට් එකට ස්තුතියි!

      Delete
  4. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. හොඳ සටහනක්.. අර උඩ කියල තියන අපගේ එක් වසරක් සුර අසුරයන්ගේ එක් දිනයක් වෙන කතාව පුලුවන් ඉක්මනින් ලියන්න...

    ස්තුතී...

    ReplyDelete
  5. දැනුම සම්භාරයක් ගෙන දෙන ලිපියක්. මෙවැන්නක් මහන්සි නොබලා ලිවීම ගැන ස්තුතියි. ඒ වගේම, ඔබගේ දැනුම ගැන ආඩම්බර විය හැකියි. තමන් සම්පූර්ණයෙන් අවබෝධ කර නොගෙන, මෙවැන්නක් හැකිතාක් සරල සිංහල බසින් ලිවීම කල නොහැකියි.

    ReplyDelete
  6. කාලයද සම්මුතියක් කියලනේ කියන්නේ.....කිසියම් හේතුවක් නිසා සිද්දියක් ...එහෙමත් නැත්නං වෙනස්වීමක් වෙනවා මිසක් කාලය යනු යථාර්තයක් නෙවෙයි කියලා තමයි මට නම් හත වසරෙදී අපේ ආරම්භක විද්‍යා ගුරුතුමා ඉගැන්නුවේ...;)

    අර අංගුලිමාකගේ ලිපිය කීයෙව්වා...නියමයි.....

    අංගුලීමාල වගේ මීටරයකට නවතින්න කියලා කිව්වම ඌ දන්නවා මොනාද නවත්වන්න ඕනා කියලා.....උදේ ඉදන් හැන්දෑවෙන කන් බණ අහණ අපි නොදන්න නැවතීම..

    ReplyDelete
    Replies
    1. //කාලය යනු යථාර්තයක් නෙවෙයි කියලා තමයි මට නම් හත වසරෙදී අපේ ආරම්භක විද්‍යා ගුරුතුමා ඉගැන්නුවේ//

      නලින් ද සිල්වාට ඉගැන්වූ සිංහල ගුරුවරයාගේ අනිත් පැත්ත වගේ.

      Delete
  7. http://sllyric.blogspot.com/2013/09/wasanthaye-aga-hamuwemu-sonduriya.html#sthash.294jm4al.dpuf
    මේ සින්දුව තාරකා විද්‍යාත්මකව බැලුවාම මොකක්ද හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසට ටයිටල් එකට සිංදුව හොඳයි.

      Delete
  8. ලිපිය කියෝල ඉවරවෙනකොට අර උඩ තියෙන කැරකෙන බෝලෙ වගේ තමයි.
    බලමු ආයෙ පාරක් නිදහසේ කියෝල.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා. ඔය වගේ කොයිතරම් දේවල් වෙනවද? (වැට් වැඩි කළා වගේ)

      Delete
  9. පසුගිය පෝස්ට් එකේ මෙටික් කැලැන්ඩර් නැත්තෛ් ඇයි කිය එකට ලැබුණ උත්තරෙන් සෑහීමට පත්වුනත් මේකෙන් උද්දීපනේට පත්වුනා, ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න, ගූගල් දෙවියා දෙන ඉංගිරිස් ලින්ක් වලින් සුරාන්තෙට යන්න අමාරුයි.

    අංගුලිමාලගේ මීටර් මෝටර් කියෙව්වෙත් අදයි, ඉකොනො ලංකාවට ඇවිල්ල ටියුෂන් කඩයක් ඇරියනම් ලංකාවේ ඉළඟ විධායකය වෙතෑකි, මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ ඉළඟ විධායකය වෙතෑකි, මට හිතෙන්නෙ.//
      දවස ගානේ බ්ලොග් කාරයින්ගන් බැණුම් අහන්න වෙන එක ගැන හිතල අදහස අත ඇරිය.

      Delete
  10. ග්‍රේරෝ සර්ගේ physics පන්තිය මතක් වුණා. ලිපිය දිග උනත් අපූරු විග්‍රහයක් ඉකොන්.

    ReplyDelete
    Replies
    1. වැල්ලවත්තේ කුණු ඇළ අයිනේ පන්සලේ පන්ති කරන කාලේ මමත් ගිහින් තියෙනවා.

      Delete
  11. "මෙවැනි දවසක කොටස් දෙකක් විය. හිරු උදාවේ සිට හිරු බසින තුරු දිවා කාලයයි. හිරු බැසීමේ පටන් පසුදින උදය වන තුරු රාත්‍රී කාලයයි. මේ එක් එක් කොටසක් හෝරා තිහකට බැගින් බෙදුණේය. ඒ හෝරාවක් විනාඩි ආදී ලෙස තවදුරටත් බෙදා තිබුණේය."

    මේ ගැන එකඟ වන්නට අපහසුය.

    හෝරා යනු hour සිංහල කටට හුරු කර ගත් අයුරයි; මිනිත්තු යනු minute වේ. ඒ මිස පැය හා හෝරාවත්, විනාඩිය හා මිනිත්තුවත් සම කොට සැළකීම වරදකි.

    හිරු උදාවේ පටන් පසුදින හිරු උදාව දක්වා ගණන් ගන්නා 'සිංහල' දවසකට පැය 60 කි (පෑ තැටියෙන් මැන්නේ මේ පැයයි.). පැයක් විනාඩි 60 කි. විනාඩියක් තත්පර 60 කි. අප පියාණන් කියා දී ඇති ආකාරයට නම් තත්පරයක් කලා හැටකි. කලාවක් විකලා හැටකි. සිංහලයන්ගේ කාල මැනීම එයාකාර වේ. ඉන් ගම්‍ය වන්නේ ප්‍රාථමික යැයි සැළකෙන ශිෂ්ඨාරයකට අනුගතව සිටි පුරාණ සිංහලයින් එතරම් කුඩා කාල ප්‍රාන්තර ගැන පවා මිනුම් සැලකූ බවයි.

    මධ්‍යම රාත්‍රියේ පටන් ඊළඟ මධ්‍යම රාත්‍රිය දක්වා ගණන් ගැනෙන 'ඉංගිරිසි' (හෝ ග්‍රෙගරියන් හෝ රෝමානු හෝ බටහිර හෝ) ක්‍රමයට දවසකට හෝරා 24 කි. හෝරාවකට මිනිත්තු 60 කි. වෙන වචනයක් තනා නොමැති හෙයින් මිනිත්තුවකට (තත් කාලින සිංහලයින්ට කුඩා කාල වෙනසක් එතරම් වැදගත් නොවන්නට ඇත.) ඉංගිරිසි තත්පර 60 ඇති ලෙස සැළකිය හැක.

    ReplyDelete
    Replies
    1. කලා/ විකලා මැන්න බවට සාක්කියක් නැත. බොහෝවිට ඒවා යොදාගන්න ඇත්තේ ජ්‍යෝතිශඥයින් තම අනාවැකි වැරදුන විට. "කෙස් ගහෙන් වැරදුනා" කියා ඇඟ බේරා ගැනීමට විය හැක.

      Delete
    2. මටත් එකඟ වෙන්න බෑ; පුරාණ සිංහල කාල මිණුම් ඒකක වුනේ : කාල, විකලා සහ හපලා යනාදි වශයෙන්, ඒ නිසා තමයි දෙමාපියෝ කීවේ හොඳට විකලා කන්න කියා. හපලා කියන්නේ බොහොම විද්‍යාත්මක ඒකකකයක්, හපලා 1 = 1 bite.

      Delete
    3. හෝරා යන වචනය සෑදී ඇත්තේ hour යන ඉංග්‍රීසි වචනය මුල් වීමෙන්යැයි මෑතකදී අදහස් පලවී තිබෙනු මා දැක ඇත. මෙය වැරදි අදහසකි. ඇත්තටම එය එහි අනිත් පැත්තයි. හෝරා (होरा) යන සංස්කෘත වචනය බිඳෙන්නේ දවාලක් හා රැයක් යන තේරුම ඇති අහෝරාත්‍ර (अहोरात्र) යන මුල් සංස්කෘත වචනයේ මුල් හා අග අකුරු ලොප් වීමෙන් බව දහවන සියවසේ කල්‍යාණ වර්මයන් විසින් ලියූ සාරාවලියේද විස්තර කර තිබේ. (මෙහි සිංහල පරිවර්තනයක් තිබේ.) හෝරා ශාස්ත්‍ර යන යෙදුම පැරණි සංස්කෘත යෙදුමකි. මේ වචනය පසුව ග්‍රීක් (ὥρα) හා ලතින් (hora) භාෂා වලට එලෙසින්ම එක් වී hour ලෙස ඉංග්‍රීසියට එක් වී ඇත. කෙසේවුවද, මේ වචනයේ වෙනත් තේරුම්ද තිබේ. පොදුවේ කාලය යන අර්ථයෙන්ද, කාලයේ මැනිය හැකි නිශ්චිත කොටසක් යන අර්ථයෙන්ද, රාශ්යාර්ධයක් යන අරුතින්ද මේ වචනය යෙදී ඇත. රාශ්යාර්ධයක් යනු රාශියකින් අර්ධයක් හෙවත් සූර්යයාට පොළොව වටා අංශක 15ක් යාමට ගතවන කාලයයි. මෙය වත්මන් ඉංග්‍රීසි පැයකට ආසන්න කාලයකි. ඒ අර්ථයෙන් ඔබ නිවැරදිය. එහෙත්, ලංකාවට යුරෝපීයයන් පැමිණීමට ආසන්න කාලයේත් 'හෝරා' හා 'පෑ' යන වචන භාවිතා වී ඇත්තේ සමාන අර්ථයකිනි (ක්වේරෝස් පළමු පොත, 15 පරිච්ඡේදය "What the Chingalas know of mathematics"). හින්දු ජ්‍යෝතිෂයේ ඔවුන් දැන සිටි කාලයේ ප්‍රභේද පැහැදිලිව විස්තර කර ඇත. එසේම අපට නිරීක්ෂණය කළ හැකි විශ්වය යන සංකල්පයද (observable universe), කාලයේ සාපේක්ෂතාව යන සංකල්පය ගැනද පැරැන්නන්ට දැනුමක් තිබුණේය. (මෙයින් මා කියන්නට හදන්නේ අද අප දන්නා බොහෝ දේ ඒ අයුරින්ම ඔවුන් දැන සිටි බව නොවේ.) එමෙන්ම මැනිය හැකි කාලය හා නොමැනිය හැකි කාලය ලෙසද බෙදීමක් තිබේ. නාඩි, විනාඩි, නිමේෂ, ප්‍රාණ ආදී ලෙස තත්පරයකින් 60,750කින් කුඩා කොටසක් දක්වාත් වසර 4,320,000,000,000ක මහාකල්පයක් දක්වාත් සංකල්පීය ලෙස විස්තර කර තිබේ. (තත්පර හා විනාඩි යන වචනද කලින් කලට අද අර්ථ දැක්වීමෙන් වෙනස්ව භාවිතා වී තිබේ.)

      Delete
    4. කලා එකක් යනු අංශකයකින් 1/60කි. විකලා එකක් යනු කලාවකින් 1/60කි. මේ ඒකක යොදාගන්නේ කෝණයක් මැනීමේදීය. ඇතැම් අවස්ථාවල සූර්යයාට කලාවක් හෝ විකලාවක් ගමන් කිරීමට ගතවන වැනි අරුතකින් කාලය මැනීමටද යොදාගෙන තිබේ. සූර්යයාට අංශකයක් ගමන් කිරීමට සිංහල විනාඩි 10ක් හෙවත් මිනිත්තු 4ක් පමණ ගතවේ. කලාවක් ගමන් කිරීමට ඉංග්‍රීසි තත්පර 4ක්ද විකලාවක් ගමන් කිරීමට තත්පර 1/15ක් පමණද ගතවේ. සංස්කෘත ඝටිකා හා විඝටි දකුණු ඉන්දීය භාෂා වල නාඩි හා විනාඩි වී ඇත. යම් කාලයකදී සිංහලයේ මේ නාඩි හා විනාඩි අරුත් මාරු වී ඇති බව මගේ දළ අදහසයි. සියවස් ගණනකට පෙර තත්පරයක් ලෙස සැළකු කාලය විනාඩියකින් 1/60කටද වඩා අඩු කාලයකි.

      Delete
    5. jagath pathirana
      ඔබේ අදහසට ස්තූතියි. මගේ අදහස නම් නක්ෂත්‍රය පිළිබඳ ප්‍රවීණයන් (ගණිතයන්) විසින් මේවා යොදා ගන්නට ඇති බවයි.

      ඇණයා Nut Man
      නෑ. හපලා කියන එක කලා විකලා එක්ක කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ගැලපෙන එක පටන් ගන්නේ හ'යන්නෙන් නෙමේ.

      ඉකොනොමැට්ටා Economatta
      ඔබ දීර්ඝ අදහස් දැක්වීමට ස්තූතියි. අපගේ පියාණන් වෙතින් ළමා සංදියේ අප ලබා ගත් දැනුමට ඔබේ මතයෙන් එල්ල කෙරෙන්නේ පහරක්. කෙසේ වුවත් පියාණන් කී දෙය'යි එය දිව්‍ය භාෂිතයක් ලෙස සළකන පුරුද්දක් අපට නැති බැවින් මේ අදහස ඔස්සේ වැඩිදුර සොයා බලන්නට ඉටා ගතිමි.

      නිතර ප්‍රතිචාර නොදැමුවත් ඔබේ අඩවිය දිනපතා බලමි. එය දියුණුවෙන් දියුණුවට යේවා'යි ද පතමි.

      Delete
  12. කෑදර කමකින් කියවමි.
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.