Tuesday, April 19, 2016

මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස


වයස යනු අප බොහෝ දෙනෙකු බොහෝ සංවේදී සංකල්පයකි. බොහෝ සංස්කෘතීන්හි කෙනෙකුගේ වයස යනු ඔහු හෝ ඇය උපන් දින සිට අද දක්වා ගතවූ කාලයයි. (ඇතැම් සංස්කෘතීන්හි මේ ආරම්භක මොහොතද වෙනස් අවස්ථාවක් වුවද මේ ලිපියෙන් ඒ ගැන සාකච්ඡා නොකෙරේ.) වයස සාමාන්‍යයෙන් අවුරුදු, මාස හා දින වලින් ගණනය කෙරේ.

කෙනෙකුගේ උපන් දිනය මෙන්ම අද දිනයත් භාවිතා කරන කැලැන්ඩරයට සාපේක්ෂය. මේ වන විට සවුදි අරාබිය, ඉරානය වැනි රටවල් අතළොස්සක් හැරුණු විට ලෝකයේ රටවල් බොහොමයක්ම භාවිතා කරන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරයයි. එහෙත්, වෙනත් රටවල් බොහොමයකම ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සමාන්තරව වෙනත් කැලැන්ඩරද භාවිතා වේ. හොඳම උදාහරණය ලංකාවයි. 1971 අංක 79 දරන නිවාඩු දින පණත අනුව ශ්‍රී ලංකා රජය විසින් නිවාඩු දින ගණනය කිරීම සඳහා අඩු වශයෙන් කැලැන්ඩර් පහක් භාවිතා කරයි.

-නිදහස් දිනය, මහ සිකුරාදා, මැයි දිනය හා නත්තල සඳහා නිවාඩු දෙන්නේ කතෝලික පල්ලියෙන් යෝජනා කළ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුවය.
-වෙසක් දිනට පසු දිනද ඇතුළුව පෝය නිවාඩු දහතුන (හෝ දහහතර) තීරණය කරන්නේ බෞද්ධ චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරය අනුවය.
-මහා සිවරාත්රී හා දීපාවලී නිවාඩු තීරණය කෙරෙන්නේ හින්දු චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරය අනුවය. මෙය බෞද්ධ චන්ද්‍ර-සූර්ය කැලැන්ඩරයට බොහෝ දුරට සමානය.
-රාමසාන්, හජ්ජි හා මිලාද්-උන්-නබි නිවාඩු දින තීරණය කරන්නේ ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය අනුවය.
-තයිපොංගල් නිවාඩුව හා සිංහල/දෙමළ අවුරුදු නිවාඩු දෙක තීරණය කරන්නේ සිංහල/හින්දු ශක කැලැන්ඩරය අනුවය.


ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අද දිනය 2016 අප්‍රේල් 19යි (2016-04-19). බුද්ධ වර්ෂයෙන් මේ ගෙවෙන්නේ 2559 බක් පුර තෙළෙස්වකයි (2559-11-13). ශක වර්ෂයෙන් 1938 මේෂරවි 7 දිනයි (1938-01-07). ඉස්ලාම් කැලැන්ඩරය අනුව 1437 රජාබ් 11 දිනයි (1437-07-11). මේ එක් එක් කැලැන්ඩරය අනුව වසර ඇරඹෙන්නේ විවිධ දින වලදීය.

භාවිතා කරන කැලැන්ඩරයේ වසර ඇරැඹෙන්නේ කවර දිනයකද යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. එහෙත්, මේ එක් එක් කැලැන්ඩරය අනුව අවුරුද්දක දිග වෙනස් වේනම් එය තවත් බොහෝ දේ වලට බලපෑමක් කරයි. උදාහරණයක් ලෙස අපේ වයස මෙන්ම අප උපන්දිනය ලෙස සමරන දිනයද අප භාවිතා කරන කැලැන්ඩරයට සාපේක්ෂය.

ඉස්ලාම් කැලැන්ඩරයේ අවුරුද්ද තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයාගේ ගමන අනුවය. ඒ අනුව, මාසයක් ඇරඹෙන්නේ අළුත් සඳක් සමඟය. මෙවැනි මාස දොළහක් අවුරුද්දකි. අවුරුද්දකට දින 354-355 පමණ වේ. ග්‍රෙගෝරියන් හා සිංහල/ශක කැලැන්ඩර වල අවුරුද්ද  තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව සූර්යයාගේ (වෙනත් විදිහකින්, සූර්යයාට සාපේක්ෂව පෘථිවියේ) ගමන අනුවය. මේ අවුරුද්දකට දින 365ක් හෝ 366කි. සිංහල/ශක කැලැන්ඩර වල සූර්යයාගේ ගමන අනුවම මාස වෙන් කර ඇති අතර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ එයම තරමක් අපිළිවෙල ලෙස සිදු කර තිබේ. 


බෞද්ධ/හින්දු චන්ද්‍ර-සූර්ය කැලැන්ඩර ඉහත ක්‍රම දෙකේ එකතුවකි. මෙහිදී, චන්ද්‍රයාගේ ගමන අනුව සාමාන්‍ය අවුරුද්දක් දින 354-355 පමණ වේ. මෙය සූර්ය කැලැන්ඩරයකට සාපේක්ෂව දින 11ක් පමණ කෙටි කාලයකි. කෙසේ වුවද, වසර තුනකට පමණ වරක් 'අධික' මාසයක් එක් කිරීම මඟින් මේ කැලැන්ඩරය සූර්ය කැලැන්ඩරය සමඟ සම්පාත කෙරේ. ඒ නිසා, දීර්ඝකාලීනව ශක කැලැන්ඩරයේ හා බෞද්ධ කැලැන්ඩරයේ කාලය ගැලපේ. එහෙත්, ඉස්ලාම් කැලැන්ඩරයේ මෙවැන්නක් සිදු නොවේ.

ඉස්ලාම් කැලැන්ඩරය ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට වඩා කෙටි නිසා ඉස්ලාම් කැලැන්ඩරය අනුව වසරක් ඉක්මනින් ගෙවේ. මේ නිසා ඔබේ උපන්දිනයද දින 11ක් පමණ කලින් එළැඹේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 33ක් වන විට ඉස්ලාම් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 34ක් පමණ වේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 66ක් වන විට ඉස්ලාම් කැලැන්ඩරය අනුව ඔබේ වයස වසර 68ක් පමණ වේ. (මේ නිසා අවශ්‍යනම් කැලැන්ඩරය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දෙකහමාරකින් පමණ වැඩි කර ගැනීමට පුළුවන.)

මේ තරම් විශාල වෙනසක් නැතත් ග්‍රෙගෝරියන් අවුරුද්ද සහ සිංහල අවුරුද්දද හරියටම සමාන නැත. මේ වෙනසට හේතුව පෘථිවියට සූර්යයා වටා යාමට ගතවන කාලය මනින ක්‍රමයයි. රවුමක් ගොස් කලින් සිටි තැනටම පැමිණි බව දැනගැනීමටනම් සිටින තැන යම් අයුරකින් සලකුණු කළ යුතුය. සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී මේ 'හිටපු තැන' සලකුණු කරගන්නේ ඉතා ඈතින් පිහිටි තාරකා ඇසුරිනි. ග්‍රෙගෝරියන් අවුරුද්ද ගණනය කිරීමේදී එය කරන්නේ පෘථිවිය සූර්යයා වටා යන පථය පිහිටි තලය මත පෘථිවියේ අක්ෂයේ ප්‍රක්ෂේපනයත්, පෘථිවියේ සිට සූර්යයා තෙක් ඇඳිය හැකි රේඛාවත් අතර කෝණය ඇසුරිණි. මේ දෙවැන්න, ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂව වසරක් තුළ යම් තරමකින් පෘථිවිය චලනය වන දිශාවට විරුද්ධ අතට චලනය වන නිසා අංශක 360ක් සම්පූර්ණ කිරීමට පෙර පෘථිවිය "කලින් සිටි තැනට" පැමිණේ. මේ නිසා ග්‍රෙගෝරියන් අවුරුද්දක් සිංහල අවුරුද්දකට වඩා විනාඩි ගණනක් කෙටිය


ඒ අනුව, උඩරට ගිවිසුමේ දින යෙදීමට උපයෝගී කරගත් සිංහල ශක කැලැන්ඩරය අතහැර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වීම නිසා අපට පැය ගණනකින් තරුණ වීමට හැකි වී තිබේ.

(Image: www.familyholiday.net)

33 comments:

  1. // සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී මේ 'හිටපු තැන' සලකුණු කරගන්නේ ඉතා ඈතින් පිහිටි තාරකා ඇසුරිනි. ග්‍රෙගෝරියන් අවුරුද්ද ගණනය කිරීමේදී එය කරන්නේ පෘථිවිය සූර්යයා වටා යන පථය පිහිටි තලය මත පෘථිවියේ අක්ෂයේ ප්‍රක්ෂේපනයත්, පෘථිවියේ සිට සූර්යයා තෙක් ඇඳිය හැකි රේඛාවත් අතර කෝණය ඇසුරිණි. මේ දෙවැන්න, ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂව වසරක් තුළ යම් තරමකින් පෘථිවිය චලනය වන දිශාවට විරුද්ධ අතට චලනය වන නිසා අංශක 360ක් සම්පූර්ණ කිරීමට පෙර පෘථිවිය "කලින් සිටි තැනට" පැමිණේ//

    මේ කොටසනම් තේරුම් ගැනීමට අපහසුයි. නරකද රූප සටහනක් ඇතුලත් කළා නම්?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රූප සටහන් කීපයක් එකතු කරමින් විස්තර කලානම් වඩාත් හොඳයි.

      Delete
    2. රූප සටහන් එක්ක ඒ කොටස විස්තර කරලා ලිපියක් වෙනම දාන්නම්.

      Delete
  2. දිනදර්ශන 5 ක්... ලේසි වැඩක් නෙවෙයි...

    ඉකොනොමැට්ටාගේ ලිපිය අපූරුයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, නිර්මාණී. සිංහල ශක කැලැන්ඩරයේ සහ දෙමළ ශක කැලැන්ඩරයේ ඇති සුළු වෙනස්කමුත් සැලකුවොත් හයක් වෙනවා.

      Delete
  3. ඉකොනොමැට්ටාට මේ හැම ක්ෂේත්‍රයක් පිළිබඳවම තියන දැනුම විශ්මිතයි ! ඇත්තෙන්ම මේ බ්ලොග් එක කියවන එක කොහෙත්ම අපතේ යන වැඩක් නෙමේ.. හැමදාම දැණුමට, ජීවිතේට අලුත් දෙයක් එකතු කරණවා. ඔබට බොහොම ස්තූතියි මේ කාර්‍යයට.

    මේ කැලැන්ඩර් වල වෙනස නිසා තමයි එහෙනම් හැම අවුරුද්දෙම මුස්ලිම් ඊඩ් උත්සවය සති දෙකක් විතර ඉස්සරහට එන්නෙ...

    ග්‍රේගෝරියන් කැලැන්ඩරයයි, සිංහල කැලැන්ඩරයයි ආසන්න වසයෙන් සමානයි කිව්වම අපේ මිනිස්සුන්ට තිබුන දැනුම ගැන මම පුදුම වුනා. ඒ කියන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩර හඳුන්වා දෙන්න පෙර ඉඳන්ම සිංහල මිනිස්සු දැනන් ඉඳලා තියනවා වසරකට දින 365ක් තියනවා කියලා. ඒක ඔවුන් සූර්යයා පෘතුවිය වටේ යනවා කියලා ගැන්නා වුනත් වැඩේ හරියටම වෙලා තියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා වැදගත් දෙයක් කියනවා මං දැක්කමයි මේ.. හැක් හැක්..

      Delete
    2. දේශක යා බොරුවක් කියනවා මං දැක්කමයි මේ..හැක් හැක්..

      Delete
    3. සෙන්නාගේ අදහසට මාත් එකඟයි. ඉකොනොමැට්ටා ලියන්නේ හරි අපූරු දේ. ගොඩක් වැදගත් වෙන දේ...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ගිරිගෝරිස් අයියත් සිංහලයන්ගෙන් කොපි කරලද? මාරයි නේ. දන්න විදිහට නේපාලෙත් ඔය අපේ සිංහල අවුරුද්ද දවසෙම එයාලගේ අවුරුද්ද සමරනව බික්‍ර‍ම් සම්පත් කියලා කැලැන්ඩරයකින් බලලා, ඒකත් අපෙන් ගහපු කොප්පක් වෙන්නෝන, හින්දු එකනම් අනිව කොප්පක්මයි.

      පොඩි අවුලකට තියෙන්නේ සිංහල කැලැන්ඩරේ කියල එකක් ගැන ඉකොනො ලියල නෑනේ.

      Delete
    6. වැරදුනා ගිරිගෝරිස් අයියා නොවේ ගිරිගෝරිස් පප්පා.

      Delete
    7. උඩරට ගිවිසුමේ දිනය සඳහන් කර ඇත්තේ "ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්වාදහස් අටසිය පහළොහක් වු මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහළ වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්වාදහස් හත්සිය තිස් හයට පැමිණි අවුරැද්දේ නවම් මස අවසතවක් නම් තිථිය ලත් ගුරු දින" යනුවෙනුයි. මේ කියන සිංහල කැලැන්ඩරය සූර්ය සිද්ධාන්ත ගණිතය මත පදනම් වූ හින්දු ශක කැලැන්ඩරයමයි. දැනට ඉන්දියාවේ ජාතික කැලැන්ඩරයත් මෙයමයි. නේපාලයේ බික්‍ර‍ම් සම්පත් කැලැන්ඩරය වගේම, ඉන්දියාවේ සහ වෙනත් කලාපීය රටවල භාවිතා වල කැලැන්ඩර් බොහොමයක් සුළු වෙනස්කම් සහිත මෙහිම ප්‍රභේද.

      Delete
  4. පොකට් ඇප් එක යූස්ෆුල් වෙන්නෙ මේ වගේ ලිපි වලට.
    ආයෙ කියවන්න හරි තොරතුරක් හරි හොයාගන්න ඕන වුනාම කාල් ගාන්ට ඕන නෑ නෙව..
    ඇත්තටම යම් යම් කාරණා නං නොතේරුනා තමයි. බැරිද අර කියන්නැහෙ රූපයක් දාන්න. ජාලයෙන් හොයාගත හැකි වෙයිද...
    අගනා ලිපියක්
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. රූප සමඟ ලිපියක් පසුව දමන්නම්, මහේෂ්.

      Delete
  5. හැබෑට ඉකෝන් උඹ මැට්ටෙක් උනේ කෝමද? හැක්..

    මේ වගේ ඉදිරිපත් කිරිමේ විලාශයක් කාලෙකින් දැක්කේ නැහැ.. උඹගෙන් ඇර.. හා හා බොරුවට උඩ යන්න ඕන නෑ උඹ තාමත් ඉකොනොමැට්ටම තමා.. ජය වේවා..

    මේ කැලැන්ඩර් මහ බොරුවක් නේද?? හැම දේම සාපේක්ෂයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. උඩ කියන්නේ අපිට ගුරුත්වය සංවේදනය කරන විද්‍යුත් සංඥා සහ ඇස් වල කේතු සෛල වලින් එවන විද්‍යුත් සංඥා මොළය විසින් ගලපන ආකාරයේ ප්‍රතිඵලයක් නිසා මම පහළට එනකොට වෙන කෙනෙක්ට උඩ යනවා වගේ පෙනෙන්න වුනත් පුළුවන්. :)

      Delete
  6. හැමදාම වගේ අදත් අපූරු ලිපියක්! හැම ලිපියකින්ම අලුත් දෙයක් ඉගෙනගන්න පුළුවන් බ්ලොග් මතක් කරනකොට මුලටම එන්නේ ඉකොනොමැට්ටාගේ බොජුන්හල. ඉකොනොමැට්ටා නැතුව ඉකොනොඑක්ස්පර්ට් වගේ නමක් වඩා ගැලපෙනවා මම හිතන්නේ.

    ස්තුතියි ඉකෝන් ඔබේ කාලයට සහ මහන්සියට!

    ReplyDelete
  7. මේ විදිහට කැලැන්ඩර් කිහිපයක් අපිව නිවාඩු දෙන්න භාවිතා කරන බව මේයට පෙර දැන සිටියේ නැහැ.
    එතකොට ක්‍රිස්තුවර්ශ භාවිතා වෙන්නෙත් ග්‍රේගොරියන් අවුරුදුවලට සමානව නේද

    ReplyDelete
    Replies
    1. මේ නිවාඩු අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්නේ භාවිතා කරන කැලැන්ඩර වෙනස් නිසා. අදාළ කැලැන්ඩරය අනුව නිවාඩුව එන්නේ එකම දවසට. දැන් ක්‍රිස්තු වර්ෂ සම්පාත වන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය සමඟයි.

      Delete
  8. gregorian calender eka sammatha kare POpe neda.

    ReplyDelete
    Replies
    1. ඔවු, 1582දී 13වන පාප් තුමා විසින්. ඒත් එය මුලින්ම භාවිතයට ගත්තේ කතෝලිකයින් පමණයි. ඉන්පසුව ක්‍රමයෙන් අනෙක් රටවලට ව්‍යාප්ත වුණා.

      Delete
  9. පුරුදු පරිදිම ඉකෝන් ගෙන් අමුතු ලිපියක්.වයස ගණනය කරනකොට නම් රටවල් අනුවත් වෙනස් වෙනවා නේද? බිහිවූ දිනයේ සිට සහ උපකල්පිත පිළිසිඳගත් දින සිට කියලා.ගස්ලබ්බට් ඒ ගැන හරි අවබෝධයක් නම් නෑ.අහල තියෙනවා.
    තව තවත් ලියවේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔවු, ගස්ලබ්බ. එවැනි භාවිතයන් තියෙනවා. අග්නිදිග ආසියාතික හා අප්‍රිකානු රටවල් උදාහරණ.

      Delete
  10. ආයෙත් සුපිරි පෝස්ට් එකක්, අර අපේක්ෂිත ආයුකාල පෝස්ට් එක අදයි කියෙව්වේ කොහොම මිස් වුනාද මන්දා.

    මට පුංචි කාලේ හිටං තිබ්බ ගැටළුවක් තමා කවුරුත් මෙට්‍රික් කැලැන්ඩරයක් හැදුවේ නැත්තේ ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන හේතුව අවුරුද්ද, මාසය හා දිනය යන සංකල්ප භෞතික දෙයකට සම්බන්ධව තිබීම (පෘථිවියට සූර්යයා වටා යාමට ගතවන කාලය/ සෘතු නැවත පැමිණීම, චන්ද්‍රයාගේ චක්‍රයක් සම්පූර්ණ වීම/ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය, දිවා රෑ චක්‍රය). දිග හෝ බර මැනීමේදී මෙවැනි නිශ්චිත භෞතික යමක් නැහැ.

      Delete
  11. ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් විතරක් ලැබෙන තවත් අපූරු ඩිෂ් එකක්.

    අපි අම්මට වදින ගාථාව හදලා තියෙන්නෙ ඉස්ලාම් කැලැන්ඩරේටද කොහෙද?. දස මාසෙ කිව්වට දවස් 280 යි නැත්නම් සූර්‍ය මාස 9.
    මම දන්න විදිහට අපේ ජෞතිෂ වැඩ කෙරෙන්නෙ චන්ද්‍ර මාස අනුව.
    අපි ක්‍රි. ව. පාවිච්චි කරාට තායිලන්තෙ වගේ සමහර රටවල් බු. වර්ෂ තමයි දැනටත් පාවිච්චි කරන්නෙ. ජපානෙ ක්‍රමයට අද දිනේ 28.04.20

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ 'දස මාසේ උරේකත්වා' කියන විට මාස ලෙස අදහස් වන්නේ කාන්තාවකගේ ඔසප් චක්‍ර. මෙය පුද්ගලයා හා වයස අනුව වෙනස් වුනත් සාමාන්‍ය අගය 28 නිසා 28x10=280 ගැලපෙනවා. ලංකාවේ සහ ඉන්දියානු උපමහද්වීපයේ ජ්‍යෝතිෂය පදනම් වී තිබෙන්නේ සූර්ය කැලැන්ඩරය මත. ඉතා මෑතකදී බටහිර තාරකා විද්‍යා නිරීක්ෂණ ප්‍රයෝජනයට ගැනීම පටන් ගන්නා තුරුම සියළු ග්‍රහ පිහිටීම් හා දින ගණනය කළේ සූර්ය සිද්ධාන්තයේ සමීකරණ අනුවයි.

      Delete
  12. What is the internationally recognized callender? Can anyone ask others to write date or calculate age in an internationally recognized system? For ex. Calculating age for international sports event.

    ReplyDelete
  13. ගොඩක් වැදගත් ලිපියක් ඉකෝන්...
    ස්තුතියි...

    ReplyDelete
  14. ලිපිය කියෙව්වා, අළුත් දෙයක් දැනගත හැකි ලිපියක්. ස්තුතියි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.