Tuesday, May 19, 2015

"එල්ලෙන සියල්ල රඹුටන් නොවේ."




"එල්ලෙන සියල්ල රඹුටන් නොවේ."

වැඩි දෙනෙකු නොදන්නවා විය හැකි වුවත් මේ නිවුටන්ගේ හතරවන නියමයයි. හොයා ගත්තේ මල්වානේ නිවුටන් බාසුන්නැහේය​. කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරද්දී පලන්චියකින් වැටී කොන්ද කඩා ගත්තේ මේ මනුස්සයාය​.

නිවුටන් බාසුන්නැහේ අමාරුවෙන් හොයාගත් මේ නියමය නිවුටන්ගේ පළමු නියමය නොවී හතරවන නියමය වුනේ නිවුටන් නියම තුනක්ම වන විටත් සොයාගෙන තිබුණු නිසාය. තුන හොයාගෙන තිබුනේ අවුරුදු තුන්සීයකටත් කලින් එංගලන්තයේ ජීවත්ව සිට ඇති අයිසෙක් නිවුටන්ය. අර අඩු වයසෙන් මිය ගිය අහිංසක ගොවියා නොවේ. ඔහු ඇස් දෙකටවත් නොදුටු ඔහුගේ එකම පුතාය. පොඩි කාලේ ඉස්කෝලෙන් දොට්ට දැමූ කොලුවාය. අම්මාත්, අම්මාගේ දෙවන සැමියාත් සමඟ ඔවුන් ජීවත් වූ නිවස ගිණි ලෑමට සුදානම් වූ ඇට්ටර කොලුවාය.

ගුරුත්වාකර්ෂණය සොයාගත්තේ මේ අයිසෙක් නිවුටන්ය. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි අයිසෙක් නිවුටන්ට ගුරුත්වාකර්ෂණය සොයා ගැනීමට හැකි වුනේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණු නිසාය. ලංකාවේ කාටවත් අයිසෙක් නිවුටන්ට කලින් මේක හොයා ගන්ඩ බැරි වුනේ ලංකාවේ ඇපල් හැදෙන්නේ නැති නිසාය. ඒත් හොඳ වෙලාවට අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයාගන්නා කාලයේදීම වාගේ පෘතුගීසීන් මැලේසියාවේ සිට ලංකාවට රඹුටන් ගෙනාවේය. මේ රඹුටන් වල ඇට ඔවුන්ගේ ප්‍රධානම බලකොටුවක් වූ මල්වාන අවට පැල වී පසුව වෙනත් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත වුනේය. මේ නිසා අයිසෙක් නිවුටන් වගේම තාත්තාව ඇහින් නොදුටු, ඉස්කෝලෙන් දොට්ට දාමු නිවුටන් බාසුන්නැහේට හතරවෙනි නියමය හෝ ගොඩ දා ගත හැකි විය. අනෙක් අතට අයිසෙක් නිවුටන්ගේ ලක් එකට එංගලන්තයේ රඹුටන් නැති නිසා ඔහු හිටියේ ඇපල් ගසක් යටය. ඇපල් ගෙඩි නැට්ටෙන් ගැලවී බිමට වැටුනත් රඹුටන් සාමාන්‍යයෙන් එසේ නොවැටෙන නිසා වැඩේ මේ ආකාරයෙන් ගොඩ නොයන්නට ඉඩ තිබුණි. ඒ වගේම වෙලාව හොඳනම් රඹුටන් ගහේ සිට කපුටෙක් හෙලන වර්චස් පිඬකින් හෝ වැඩේ ගොඩයන්නත් ඉඩ තිබුණි.




ලෝකය වෙනස් කළ ඇපල් ගෙඩි තුනක් ගැන කවුදෝ කියා ඇත. පළමුවැන්න ආදම්ගේ ඇපලයයි. දෙවැන්න නිවුටන්ගේය. තුන්වැන්න ස්ටීව් ජොබ්ස්ගේය. මෙයින් පළමුවැන්න ලබාගැනීමට ආදම්ට ඉතා විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය. මේ ඇපලය වෙනුවෙන් ඔහු අනාගත පරම්පරා සියල්ලම උගසට තැබුවේය. දෙවැන්නනම්, කිසිම මහන්සියක් නැතුව නිකම්ම බිමට වැටුණේය. ( වන විට ගුරුත්වාකර්ෂණය සොයා ගෙන නොතිබුණු නිසා මේ දෙවන ඇපලය බිමට වැටුණේ ගුරුත්වාකර්ෂණය නිසා වීමට නුපුළුවන.) තුන්වැනි ඇපලය දැන් අපව පිස්සු වට්ටවා ඇත. නොකා නොබී හෝ මේ තුන්වැනි ඇපලය හිමි කර ගැනීමට අපි දඟලමු. නැත්නම් අල්ලපු ගෙදර එකාට සෙකන්ඩ් වීමට සිදුවේ.

ආදම් වැඩේ අනාගත්තේ දෙවියන් වහන්සේ මැවූ බ්‍රෑන්ඩ් නිවු ලෝකයේ තීන්ත වේලෙන්නත් කලින්ය. ආදම්ට අවශ්‍යයයි දෙවියන් වහන්සේ සිතූ හැමදෙයක්ම ඔහුට ලබා දී තිබුණත් ආදම් හිතුවේ වෙන විදියකටය. ලෙනින් හැදූ සෝවියට් සංගමයේත් සිදු වුනේ මේ ටිකමය.

ආර්ථික විද්‍යාවේ පළමු මූලධර්මය මෙතැන තිබේ. අපේ ආශාවන් අසීමිතය. ඒ නිසා ඒ ආශාවන් සපුරා ගැනීමට අවශ්‍ය වන සම්පත්ද අසීමිතය. මේ අසීමිත ආශාවන්ට සාපේක්ෂව දෙවියන් වහන්සේ මැවූ බ්‍රෑන්ඩ් නිවු ලෝකයේ ඇති සම්පත් වුවද ප්‍රමාණවත් නැත. මේ හේතුවෙන් ලෝකයේ ආරම්භයේ පටන්ම මිනිසා අතෘප්තිමත්ය. (ලෝකයට ආරම්භයක් ඇත්ද යන්න මේ කරුණට එතරම් අදාළ දෙයක්  නොවේ.)

ආර්ථික විද්‍යාවේදී සම්පත් වශයෙන් හඳුන්වන්නේ අපට අවශ්‍ය වෙනත් භාණ්ඩ හෝ සේවාවන් නිෂ්පාදනය කිරීම හෝ ලබාගැනීම සඳහා අවශ්‍ය වන මූලික අමුද්‍රව්‍යයන්ය. (කාලය, මුදල්, භූමීය මෙන්ම ඉන්ධන වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැකිය.) මේ මූලික අමුද්‍රව්‍ය අප සතුව ඇත්තේ සීමිතව බැවින් ඒවා උපයෝගී කරගෙන ලබා ගත හැකි විවිධ විකල්ප අතරින් තෝරාගැනීමක් කිරීමට අපට සිදුවේ. මෙය පුද්ගලයෙකුට පමණක් නොව සමාජයකට හෝ රටකට වුවද අදාළය. පුද්ගලයකුනම් මෙහිදී කරන්නේ තමාට වඩාත්ම තෘප්තිමත් විය හැකි විකල්පය තෝරාගැනීමයි. මෙසේ විකල්ප රැසක් අතරින් එකක් තෝරාගැනීම යනු අනෙත් සියළු විකල්ප අතහැර දැමීමකි. මෙසේ තෝරාගැනීමක් කිරීමේදී අදාල පුද්ගලයා විසින් ගෙවනු ලබන සැබෑ මිල ලෙස ආර්ථික විද්‍යාවේදී සැලකෙන්නේ ඔහු හෝ ඇය විසින් සිය පළමු මනාපය වෙනුවෙන් අත් හැර දමන ලද දෙවන මනාපයේ වටිනාකමයි. ආවස්ථික පිරිවැය ලෙස හඳුන්වන මේ සංකල්පය මා ඉදිරිපත් කරන දෙවන මූලධර්මයයි.

ආවස්ථික පිරිවැය යනු භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීම සඳහා අප විසින් ගෙවනු ලබන මිලම නොවේ. උදාහරණයක් ලෙස ලංකාවේදී නොමිලේ ලැබෙන ලෙස සැලකෙන සරසවි අධ්‍යාපනය ලබාගැනීම සඳහා සිසුවෙකු සැලකිය යුතු ආවස්ථික පිරිවැයක් දැරිය යුතුය. දළ වශයෙන් මේ මිල වනුයේ වසර හතරක් වෙනත් රැකියාවක් කර ඔහුට හෝ ඇයට උපයාගත හැකි මුදලයි.

ඉතින් ආදම්ගේ ඇපලය නිවුටන්ගේ ඇපලය මෙන් බිමට නොවැටුණේ දෙවියන් වහන්සේ මැවූ බ්‍රෑන්ඩ් නිවු ලෝකයේ ගුරුත්වාකර්ෂනයක් නොතිබූ නිසා නොවේ. එය බිමට වැටෙන තුරු සිටීමට ඉස්පාසුවක් ආදම්ට නොතිබුණු නිසාය. එහි ආවස්ථික පිරිවැය පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තිබුණාදැයි මම නොදනිමි. කෙසේ හෝ අවසාන වශයෙන් ආදම්ගේ ඇපලය ඔහුගෙන් පැවතෙන්නන්ගේ අපලය විය.

නිවුටන්ගේ ඇපලය සැබැවින්ම ඔහුගේ ඔළුවට වැටුණේ නැත. එහෙත් ගුරුත්වාකර්ෂණය පිලිබඳ අදහස ඔහුට ඇතිකළ මේ ඇපලය නටුවෙන් ගිලිහී බිමට වැටුණේය. මේ ඇපලය වැටෙන විට නිවුටන් ඔහුගේ මිතුරු විලියම් ස්ටකලි සමඟ නිවසින් පිටත සෙට් වී සිටියේය. සෙට් වී කිවුවාට බිවුවේ තේය. ඒ දවස් වල ලංකාව කෝපි කාලේ නිසා සිලෝන් ටී වීමට ඇති ඉඩකඩ අඩුය. එහෙම වුනානම් ක්‍රෙඩිට් එකෙන් ටිකක් අපිටත් ගන්නට තිබුණි.

ඔය කියන ඇපල් ගෙඩිය නිවුටන්ගේ ඔළුවට නොවැටුනාට නිවුටන්ගේ ඔළුවට වන විටත් වැටී තිබුණු පොල් පරාල කිහිපයක්ම නිසා ඔළුව ගෙඩි ගැහී තිබුණේය. පළමුවම නිවුටන් කොලුවාගේ හිස මතට පරාලයක් කඩාපාත් වුනේ 1642 වසරේ නත්තල් දවසේ අඩු මාසෙන් උපන් ඔහු මෙලොව එළිය දකින්නටත් මාස තුනකට පෙරය. අයිසෙක් නිවුටන් නමම තිබුණු ඔහුගේ පියාගේ වියෝවයි. දෙවන පරාලය ඔළුවට වැටෙන විට නිවුටන්ට අවුරුදු තුනකි. පාර සිදු වුනේ නිවුටන්ව ආච්චි අම්මාට පංගාර්තු කර අම්මා තවත් දීගෙක යාමයි. මේ අලුත් තාත්තාව නිවුටන්ට එච්චර ඇල්ලුවේ නැතිවා පමණක් නොව මේ සිද්දිය නිසා ඔහුට අම්මාවත් එපා විය. අලුත් තාත්තා සහ අම්මා සමඟ ගෙදරම ගිණි තැබීමට තරම් තරහක් ඇති කිරීමට මේ දෙවැනි පොල් පරාලය සමත් විය. තුන්වන පොල් පරාලය ඔළුවට වැටෙන විට නිවුටන් අවුරුදු දාහතක ගැටවරයෙකි. නිවුටන්ව ඉස්කෝලෙන් දොට්ට දැම්මේ පාරය. වනවිට දෙවන දීගයත් කඩාගෙන ආපහු ගෙදර ඇවිත් සිටි නිවුටන්ගේ අම්මාට නිවුටන්ව තාත්තා වගේ ගොවියෙකු කිරිමට ලොකු ඕනෑකමක් තිබුණත් නිවුටන්ට ගොවිතැන ඇල්ලුවේම නැත.

සින්ඩරෙල්ලාගේ ගෝඩ් මදර් ආවා වගේ ඕනෑ කළ වෙලාවේම අන්කල් කෙනෙක්ගෙන් සපෝට් එකක් ලැබුණු නිසා වාසනාවට වගේ නැවතත් අධ්යාපන කටයුතු වලට යොමු වෙන්නට අවස්ථාවක් නිවුටන්ට සැලසුණේය. වර නිවුටන් ඇතුළු වුනේ කේම්බ්රිජ්හි පිහිටි ට්රිනිටි කොලීජියටය. මේ පාරත් උදැල්ලකි. පන්තියේ බුවෙක් නිවුටන්ව හැමදාම බයිට් එකට ගනී. නිවුටන්ට අම්බානක මලය. බුවාගෙන් පළිගන්නට පුළුවන් තරම් හොඳින් අධ්යාපන කටයුතු කළ නිවුටන් වැඩේ කෙළවර කළේ පන්තියේ හොඳම සිසුවා වීමෙන් අනතුරුවය.

මල්වානේ නිවුටන් බාස් අයිසෙක් නිවුටන් තරම් වාසනාවන්ත වුනේ නැත. ඔහුගේ තාත්තා ඔහුට කිසිදා හමු නොවුනේ නිවුටන් ඉපදෙන්නටත් කලින් තාත්තා අම්මාව අතහැර ගොස් තිබුණු නිසාය. අයිසෙක් නිවුටන් වගේම නිවුටන් බාස්වත් ගැටයා කාලයේදී පන්තියේ බුවෙක් බයිට් එකට ගත්තේය. නිවුටන් බාස්ව ඉස්කෝලෙන් දොට්ට දැම්මේ බුවාගේ දතක් කැඩෙන්නට ගැසූ හතරේ පහරින් පසුවය. නිවුටන් බාස්ව නැවතත් අධ්යාපනයට යොමු කරන්නට ගෝඩ් ෆාදර් කෙනෙක් නොසිටි නිසා ඔහුට සිදුවුනේ ඉදිකිරීම් ක්ෂේත්රයේ අත්වැඩ කරුවෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමටය. ලෝක වෙළඳ මධ්යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා සේවකයන් බඳවා ගන්නා වකවානුව වන විට නිවුටන් බාස් තනියම පොඩි පොඩි කොන්ත්රාත් භාර ගනිමින් සිටියේය. මොන කොන්ත්රාත් තිබුණත් රඹුටන් කාලයට සියල්ල පැත්තකට දමන නිවුටන් බාස් රඹුටන් ගස් බදු ගැනීම අරඹයි. රඹුටන් ගැට යාන්තම් පාට වැටීගෙන එනවිටම හොඳ රඹුටන් අඳුනා ගැනීමට ඔහුට තිබුණේ සුවිශේෂී හැකියාවකි. රඹුටන් ගස් බදු ගන්නා නිවුටන් බාස් රඹුටන් කඩා සිල්ලරට විකිණීමට වද නොවීය. වෙනුවට ඔහු කළේ රඹුටන් ඉදුණු පසු ලාභයක් තබාගෙන ගස් පිටින්ම නැවත විකිණීමයි.

ලෝක වෙළඳ මධ්යස්ථානයේ රැකියාව ඇරඹු පසු මේ පාර්ට් ටයිම් ඉඩ ප්රස්ථාව නිවුටන් බාස්ගෙන් ප්රථම වරට ගිලිහී ගියේය. ගැන ඔහු සිටියේ කනස්සල්ලෙනි. රඹුටන් වාරයට කොළඹ කොටුව රඹුටන් වෙළෙඳුන්ගෙන් පිරී යයි. වැඩ නිම වෙමින් පවතින ලෝක වෙළඳ මධ්යස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මාලයක සිට බැලූ විට මේ රඹුටන් වෙළඳසැල් වල දසුන ඉතා දර්ශනීයය. බොහොමයක්ම වෙළෙඳුන්ගේ තේමා පාඨය වූයේ 'මල්වානේ පැණි රඹුටන්' යන්නයි. විසි අට වන මහලින් පිටත පලන්චියක සිට මේ රඹුටන් වෙළඳසැල් දෙස බලා හූල්ලන නිවුටන් බාස්ට මේ මල්වානේ කතාව ඇසෙන වාරයක් පාසා මළ පනී.

"ලස්සනට එල්ලල තිබුණට ඔය එකෙක් ගාවවත් තියෙන්නේ මල්වානේ රඹුටන් නෙමෙයි මල්ලි.." නිවුටන් බාස් නිතරම කියන්නේ තරම් සතුටකින් නොවේ. " වුනාට මං කාල බැලුවා අන්න අතනින්. එළ රඹුටන් ටික නිවුටන් අයියා..." සගයකු එසේ කියන්නේ නිවුටන් බාස්ව කෝප ගැන්වීමටය. "පිස්සුද මල්ලි! උඹලා නියම මල්වානේ රඹුටන් කාල නෑ. හිටපල්ලකො මං නියම රඹුටන් ගෙනත් පෙන්නනකම්. ඔය හැමතැනම එල්ලලා තියෙන්නේ රඹුටන්ද?"

හතරවන නියමයේ ගෞරවය නිවුටන් බාස්ට ලබාදීමට මුල් වූයේ මේ දෙබස දිනපතාම අසා සිටි වැඩ පරීක්ෂක තිලකරත්නය.

එක් අවාසනාවන්ත දිනයක කෙසේ හෝ නිවුටන් බාස් ලෝක වෙළඳ මධ්‍යස්ථාන​ ගොඩනැගිල්ලේ විසිඅට වන මහල ආසන්නයේ සිට බිමට ඇද වැටුනේය. ඔහුව නවතාගන්නට ආරක්ෂිත දැලක් හෝ ආරක්ෂිත බඳ පටියක් තිබුණේ නැත. වැඩි ඈතක නොවූ කොළඹ මහ රෝහලට ඔහුව ගෙන යන්නට ගිලන් රථයක් ගෙන්වා ගත හැකි වූයේද සෑහෙන ප්රමාදයකින් පසුවය.

පොළොවෙන් යම් කිසි උසකදී නිදහස් වන වස්තුවක් කෙළින්ම පොළොවට වැටේ. මේ සංසිද්ධිය විස්තර කිරීමට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයම අවශ් නැත. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියම මඟින්ද මෙය පැහැදිලි කෙරේ. අනුව, අයිසෙක් නිවුටන්ගේ වත්තේ ගසේ හැදුණු ඇපල් ගෙඩියත්, වෙළඳ මධ්‍යස්ථාන​ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කළ නිවුටන් බාස්ගේ සිරුරත්, සුමනදාසගේ කමත අයිනේ දිගේලි කර ඇති රතු එළදෙන හෙළන ගොම්බෙට්ටත් වැටෙන්නේ කෙලින්ම බිමටය.

ඔය කියන ඇපලය වැටෙන විට අයිසෙක් නිවුටන් ට්රිනිටි කොලිජියේ දීප්තිමත් සිසුවෙකුව සිට ගණිතය සහ භෞතික විද්යාව මැනවින් හදාරා තිබුණේය. නිසා, තවත් අලුත් භෞතික විද්යා නියමයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. යම් කිසි ආකාරයකින් ඔහුගේ විෂයය (ආර්ථික විද්යාව වැනි) වෙනකක් වීනම් ඉතිහාසය තරමක් වෙනස් විය හැකිව තිබුණි.

ගුරුත්වාකර්ෂණය තිබු පමණින්ම නිවුටන්ගේ ඔළුවට ඇපලයක් වැටෙන්නේ නැත. පළමුව ඔහුගේ වත්තේ ඇපල් ගසක් තිබිය යුතුය. ගෙඩි හැදෙන ඇපල් ගසක එසේ ගෙඩි නොහැදෙන ගසකට වඩා වටිනාකමක් ඇති නිසා කවුරුන් හෝ මේ ඇපල් ගස එතැන සිටවන්නට ඇත. එසේම ඇපල් ලීයෙහි දැවමය වටිනාමක් නොමැති නිසා මේ ගස කපා විකුණන්නට කාටවත් උවමනා වී නැත. ඇපල් වාරයට එංගලන්තයේ ඇපල් තරම්ම දුලබ නොවන නිසා ආදම්ට මෙන් වැටෙන්නට පෙර මේ ඇපල් ගෙඩිය කඩා ගන්නට කාටවත් උවමනා වූයේ නැත. ඇපල් ගස බදු ගන්නට නිවුටන් බාස් කෙනෙක් කාලයේ අයිසෙක් නිවුටන්ලාගේ ගෙවල් පැත්තේ සිටියේත් නැත. මෙකී නොකී කරුණු රැසක් හේතුවෙන් නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩිය බිමට වැටුණේය. අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය සොයා ගත්තේය.

නිවුටන් බාස් විසි අටවන මහලේ සිට බිමට වැටෙන විට ගොඩනැගිල්ල වටා ආරක්ෂක දැලක් තිබුනේන්නම් ඔහුව වැටෙන්නේ දැල මතට මිස මහ පොළොවට නොවේ. ඩිජිටල් තාක්ෂනය දියුණුවීමට පෙර රූගත කල චිත්රපට වල බූට් කෑ නිළියන්ටත්, සුපර්මෑන්ලාටත් බයක් සැකක් නැතුව උස් ගොඩනැගිලි වලින් බිමට පැනිය හැකි වූයේ මෙවැනි දැල් නිසාය.

ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සැලසුම් කිරීමේදී අදාළ සමාගම මෙවැනි දැලක් සවිකිරීම ගැන සලකා බැලීය. සම්පත් වල සීමාවන් හමුවේ සමාගම සතුව විකල්ප දෙකක් විය. පළමුවැන්න දැලක් සවි කිරීමයි. දෙවැන්න එසේ නොකර සිටීමයි. තීරණය ගතයුත්තේ වියදම් අවම වන පරිදිය. පළමු විකල්පය හා අදාල පිරිවැය ඇස්තමේන්තු කිරීම එතරම් අපහසු නැත. මෙහි පිරිවැය අදාළ දැල සහ අනෙකුත් උපාංග මිලදී ගැනීමටත් එය සවි කිරීමටත් යන වියදමයි. දෙවන විකල්පය සඳහා යන වියදම ගණනය කිරීම එතරම්ම සරල නැත. දැල සවි නොකළහොත්, ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුවන මුළු කාලය තුළ වැඩකරුවෙකු හෝ කිහිපදෙනෙකු අනතුරට ලක්වීමේ අවදානමක් ඇත. මෙය අනිවාර්යයෙන් සිදුවන දෙයක් නොවේ. යම් කිසි සම්භාවිතාවක් ඇති දෙයකි. එසේ අනතුරට ලක් වුවහොත් වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. දෙවන විකල්පයේ පිරිවැය ගණනය කිරීමට සිදුවන්නේ මෙසේ ගෙවීමට සිදුවිය හැකි වන්දි මුදල අනතුරක් සිදුවීමේ සම්භාවිතාවෙන් ගුණ කිරීමෙනි. සමාගමේ පැහැදිලි තෝරාගැනීම වුයේ දෙවැන්නයි. අනුව ආරක්ෂිත දැලක් සවි කෙරුණේ නැත. නිවුටන් බාස් පලංචියෙන් වැටී කොන්ද කඩා ගත්තේය. ඔහුව බිමට වැටුණේ ගුරුත්වාකර්ෂණය නිසාය යන්න නිවැරදි වුවත් එය එක පැහැදිලි කිරීමක් පමණි.



අයිසෙක් නිවුටන් අකැමති වූ ගොවිතැනට බොහෝ මනාප සුමනදාසගේ කමත අයිනේ දිගේලි කර ඇති රතු එළදෙන හෙළන ගොම්බෙට්ට කෙලින්ම බිමට වැටේ. ගොම්බෙට්ටට ආර්ථික වටිනාකමක් නැති නිසාය. ඒත් රතු එළදෙන ගොයම් පාගන විටනම් ගුරුත්වාකර්ෂණය තිබුණා කියා ඔය ගොම්බෙට්ට බිමට වැටෙන්නේ නැත. පිදුරු ටිකක් අතට ගන්නා සුමනදාස අත්දෙකම එකතුකර බිමට වැටෙන්නට නොදී ගොම්බෙට්ට සීරුවෙන් අල්ලාගනී.

ආර්ථික වටිනාකමක් ඇත්නම් ගුරුත්වාකර්ෂණය තිබුණු පලියට ගොම්බෙට්ටක් තබා බලුබෙට්ටක්වත් බිමට වැටෙන්නේ නැත.

(නිවුටන් බාස් සහ ලෝක වෙළඳ සංකීර්ණය සම්බන්ධ සිදුවීම් මනඃකල්පිත​ සිදුවීම් වන අතර සැබෑ සිදුවීමකට කිසිදු සම්බන්ධයක් නැත. ඡායාරූප අන්තර්ජාලයෙනි.)

2 comments:

  1. රසවත් ලිපියක් ...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි, අනුර ඔබේ ප්‍රතිචාරයන්ට!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.