Monday, November 7, 2016

අලිද බූරුවෝද?


බොහෝ දෙනෙකු අවධානයෙන් බලා සිටින ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු ප්‍රධාන මැතිවරණ ගණනාවක් පැවැත්වෙන ඇමරිකාවේ මැතිවරණය දිනය හෙටට (නොවැම්බර් 8) යෙදී ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා ගන්නේ සෘජු මහජන ඡන්දයෙන් නොවේ. එක් එක් ප්‍රාන්තයේ ඡන්දදායකයින් විසින් සිය ඡන්දයෙන් තෝරාගන්නා නියෝජිතයින් 538 දෙනෙකුගේ ඡන්දයෙනි. මේ නිසා 2000 ජනාධිපතිවරණයේදී සිදු වූවාක් මෙන් රටේම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබන අපේක්ෂකයා ජනාධිපති ලෙස තේරී පත් නොවන්නට වුවද පුළුවන.

මැතිවරණ දිනය යෙදී ඇත්තේ හෙටට වුවත් මා වාසය කරන ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක මැතිවරණ දිනයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබේ. ඒ අනුව, මා දැනටමත් මගේ ඡන්දය ප්‍රකාශ කර අවසන්ය. මගේ ප්‍රාන්තයේ පසුගිය ඔක්තෝබර් 12 දින සිට අද දක්වාම මෙසේ කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබුණේය.

පෙර ඡන්දය දීම සඳහා ලොකු පෝලිමක් නැති බව මා සිතා සිටියත් මා වැරදි බව මා දැනගත්තේ ඡන්ද පොළට යාමෙන් අනතුරුවය. තාප්ප පුරා පෝස්ටර්, පාර පුරා කොඩි වැල් හෝ හන්දියක් හන්දියක් ගානේ ප්‍රචාරක රැස්වීම් නැතත් මෙවර ඡන්දය දැමීම සඳහා විශාල උනන්දුවක් ඇති බව පෝලිමට එකතු වන විටම පෙනී ගියේය. ඡන්ද විමසීම පස්වරු හත දක්වා පැවැත්වෙන නිසා මා එහි ගියේ පස්වරු හයට ආසන්නවය. අන්තිමේදී මට ඡන්දය ප්‍රකාශ කරන්නට ලැබෙන විට වෙලාව පස්වරු නවයයි තිහද පසු වී තිබුණි. ඒ, පස්වරු හතට පෙර ඡන්ද පොළට පැමිණ සිටි සියල්ලන්ම ඡන්දය ප්‍රකාශ කරන තුරු ඒ කටයුත්තට ඉඩ දුන් බැවිනි.

අපේ ඡන්ද පොලේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වුනේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් උපයෝගී කරගනිමිනි. කවුරුත් දන්නා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් ඇතුළු රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් අපේක්ෂකයින්ට මෙන්ම ඇමරිකාවේ නැඟී එන තෙවන පක්ෂය වන ලිබටේරියන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගැරී ජොන්සන් ඇතුළු කණ්ඩායමේ අපේක්ෂකයින්ට ඡන්දය දීමේ අවස්ථාව අපේ ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට තිබුණේය. අවශ්‍යනම් මුලින්ම පක්ෂය තේරූ විට එම පක්ෂයේ අපේක්ෂකයින් සියළු දෙනාටම ඡන්දය සලකුණු වේ. එසේ නැත්නම්, එක් එක් තනතුරු වෙනුවෙන් වෙනස් පක්ෂ වල අප්ක්ෂකයින්ට ඡන්දය දීමේ හැකියාවද තිබේ. හරිත පක්ෂයේ අපේක්ෂිකාව වැනි තවත් අපේක්ෂක අපේක්ෂිකාවන් ගණනාවකගේ නම් අපේ ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවේ නැතත් අවශ්‍ය අයෙකුට එවැන්නෙකුගේ නම ලියා ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

අපේ ඡන්ද පත්‍රිකාවේ තිබුණු පක්ෂ සලකුණු එම පක්ෂ වල වැඩි දෙනෙකු දන්නා සලකුණුම නොවේ. ඔවුන් මැතිවරණ වලදී භාවිතා කරන වෙනත් පක්ෂ සලකුණුය. ඒ අනුව, ඩිමොක්‍රටික් සංකේතය ලෙස බූරුවා වෙනුවට කුකුළාත්, රිපබ්ලිකන් අලියා වෙනුවට රාජාලියත්, ලිබටේරියන් පන්දම වෙනුවට ලිබර්ටි ප්‍රතිමාවත් යොදාගෙන තිබුණේය.

මෙවරද පෙර මෙන්ම මැතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇත්තේ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයක අයෙකි. ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් තරමක් ඉදිරියෙන් සිටින බව පෙනුනත් ඇය හා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පරතරය අවසන් දින කිහිපය තුල පටුවෙමින් පැවතුණේය. ගැරී ජොන්සන් ජයගන්නට ඉඩක් නැතත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පෙරට වඩා වැඩි වන්නට ඉඩ තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණ සටන තවමත් විවෘත තරඟයකි.

14 comments:

  1. හිලරි දිනුවොත් හොඳයි කියල මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි හිලරි උන්දෑ දිනුවොත් ලෝකෙටම අබසරණයි. උන්දෑ අනිවාර්‍යයෙන්ම 21 වැනි සියවසේ මාරි අන්තුවානෙත් (Antoinette - ඇන්ටනොට්)

      එහෙම නැත්නම්, අනික් උන්දෑ ට්‍රම්පට් අයියා දිණුවොත් ඇමරිකාවේ සිවිල් යුද්ධයක් ඇතිවන එක නවත්වන්න බෑ කීයටවත්.. බොහෝ විට මෙවන් තත්වයක් ඇති වෙයි.. කවදා හරි ලෝකෙටම කරපුවාට කන්නත් එපාය.

      Delete
  2. පක්‍ෂ සඳහා පාට සහ සංකේත භාවිතය ඡන්දදායකයින් ගේ සාක්‍ෂරතාව අඩු නිසා ඇතිවුණු, එනිසා ම දෝ, තවමත් පවතින ක්‍රමවේදයකි!

    ලංකාවේ සහ යූඑස්ඒ හි තිබුණත්, ඕස්ටේ‍ර්ලියාවේ නම් නැත!

    ReplyDelete
    Replies
    1. පාට හා පක්ෂ ලකුණු වලින් ඇමරිකාවෙත් දැන් ප්‍රායෝගිකව සිදුවන කාර්ය භාරයක් නැහැ.

      Delete
  3. ට්‍රම්ප් දිනුවොත් හොඳයි කියල මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි දෙන්නටත් එකඟ වෙන්න පුළුවන් කාරණයක් මේක...

      Delete
  4. කවදා විතරද නිල ප්‍රතිපල එන්නේ ?

    ReplyDelete
    Replies
    1. හෙට වෙනකොට දැනගන්න පුළුවන් වෙයි.

      Delete
  5. මොකා දිනුවත් අපි ගැන නම් බලන එකක් නැහැ.

    ReplyDelete
  6. "...මේ නිසා 2000 ජනාධිපතිවරණයේදී සිදු වූවාක් මෙන් රටේම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබන අපේක්ෂකයා ජනාධිපති ලෙස තේරී පත් නොවන්නට වුවද පුළුවන..."

    ඔන්න බලාගන්න පින්වතුනි සුපිරිම ප්‍රජාතන්ත්‍රවාදය!!

    ReplyDelete
    Replies
    1. කුඩා හා ඒකීය රටක් වන ලංකාවට සාපේක්ෂව මෙය නරක ක්‍රමයක් ලෙස පෙනුණත් ප්‍රාන්ත එකතු වී හැදුණු විශාල රටක් වන ඇමරිකා එක්සත් ජනපදයට එහි පවතින මැතිවරණ ක්‍රමය එතරම් නරක ක්‍රමයක් නෙමෙයි.

      Delete
    2. මොනවද ඉකොනෝ අය්යේ මේ දිව දෙකේ කතා?

      "...ඉකොනොමැට්ටා EconomattaNovember 5, 2016 at 6:46 AM
      ඔබ මතු කරන කරුණ පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදයේදී වෙන්නේ බහුතරයේ අදහසට සුළුතරය යටවීමක් තමයි. බහුතරය කිසියම් සුළුතරයක් ගැන නොසලකා තීන්දු ගන්නා විට එවැනි සුළුතරයක් අසරණ විය හැකියි. කොහොම වුනත් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් වෙන්න කලින් මානව චර්යාව පිළිබඳ ප්‍රශ්නයක්. සුළුතරයක් විසින් බහුතරය වෙනුවෙන් තීන්දු ගන්නවාට වඩා එය ඉදිරිගාමීයි (කාර්යක්ෂමයි)...."

      Delete
    3. AnonymousNovember 9, 2016 at 12:28 PM
      ඔබට මේ කරුණු දෙක අතර නොගැලපීමක් පෙනෙනවනම් එය පැහැදිලි කරන්නම්. පළමු කරුණේදී කතා කරන්නේ ප්‍රාදේශීය තනතුරක් ගැනයි. එතැනදී, තනතුරට පත් වෙන පුද්ගලයාව එම තනතුරේ බලපෑම ඇති අයගේ බහුතර කැමැත්තෙන් තෝරා ගැනීම, එම අයගෙන් සුළුතරයකගේ කැමැත්තෙන් තෝරා ගැනීමට වඩා සුදුසුයි. මේ තර්කයම දිගු කළොත් (ඔබ ඇතැම් විට හිතනවා විය හැකි පරිදි) ඇමරිකන් ජනාධිපති ධුරය ජාතික තනතුරක් නිසා රටේ සමස්ත ඡන්ද ප්‍රමාණය මත තෝරාගැනීම වඩා සුදුසු බව තර්ක කළ හැකියි. එහෙත් එය සිදු වෙන්නේ ඒ විදිහට නෙමෙයි. මෙවරත් රටේ වැඩිම ඡන්ද පැරදුනු ක්ලින්ටන්ට වෙන්න ලොකු ඉඩක් තියෙනවා. කොහොම වුනත්, ඇමරිකාවේ පවතින ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමය මෙලෙස සකස් වී තියෙන්නේ ඇමරිකාව ඓතිහාසිකව හැදුනු ආකාරයටයි. ඇමරිකාව කියන්නේ වෙන් වශයෙන් ඇති වුනු කොලනි, ප්‍රාන්ත හෝ රාජ්‍ය ගණනාවක එකතුවක්. ජනතාව සතු බලය ෆෙඩරල් රජයට ලැබෙන්නේ මේ ප්‍රාන්ත හරහා වක්‍රව. රටෙන් බාහිර කටයුතු ගැන බලපෑම් කිරීමේ හැකියාව තියෙන්නේ ෆෙඩරල් රජයට වුවත්, රට තුළ සැබෑ 'පාලනය' කරන්නේ මේ ප්‍රාන්ත රාජ්‍යයි. වොෂින්ටන් අගනුවර පිහිටුවා තිබෙන්නේත් මේරිලන්ඩ් ප්‍රාන්තයෙන් ලබා දුන් බිම් කොටසක. එසේ නැත්නම් ෆෙඩරල් රජයට රට තුළ ඉඩම් අයිතියක් හෝ නැහැ. මෙය කුඩා, ඒකීය රටක් වන ලංකාවේ මධ්‍යම රජය සතුව පවතින බලතල පළාත් සභාවකට පැවරීම වැනි උඩ සිට පහළට බලය ඒමක් නෙමෙයි. ඒ නිසා, ජනාධිපතිවරයා කියන්නේ බොහෝ දුරට රටින් පිටතදී (විදේශ ප්‍රතිපත්ති හා යුද්ධ වැනි බාහිර කටයුතු වලදී) රටේ ප්‍රාන්ත රාජ්‍ය සියල්ල නියෝජනය කිරීමට තෝරාගන්නා පුද්ගලයෙක්. පවතින ක්‍රමය යටතේ සිදුවන්නේ වැඩි පුද්ගලයින් ගණනකගේ නොව වැඩි ප්‍රාන්ත ගණනක (ජනගහණයට සමානුපාතික බරක් සහිතව) කැමැත්ත ඇති පුද්ගලයෙකු ජනාධිපති ලෙස තේරීමයි. මෙසේ තේරීමේදී එක් එක් ප්‍රාන්තය කටයුතු කළ යුතු ආකාරය එම ප්‍රාන්තයේ වාසය කරන බහුතරය විසින් තීරණය කරනවා. ඇමරිකානු සමාජය මේ ක්‍රමය ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. ඒ වගේම ඔබ නොගැලපෙන සේ දකින අවස්ථා දෙකේදීම වෙන්නේ ප්‍රාදේශීය බහුතරයේ තීරණයට වැඩි බරක් වැටීමයි. කාලයත් සමඟ ප්‍රාන්ත රාජ්‍ය වලට සාපේක්ෂව ෆෙඩරල් රජයේ හා විධායකයේ බලය ටිකෙන් ටික වැඩි වී යම් සීමාවකට පැමිණියොත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයයි ඇමරිකානුවන් සිතන්න ඉඩ තියෙනවා.

      Delete
  7. ඉකොනෝ මහතා ඔබ ඉතා සංයමයෙන් අදහස් පැහැදිලිකිරිම පිළිබඳව පළමුව මගේ ප්‍රණාමය.

    නමුත් ඔබම කියා ඇති පරිදි ජනාධිපතිවරණයේදී සිදුවන්නේ රටේ ප්‍රාන්ත රාජ්‍ය සියල්ල නියෝජනය කිරීමට තෝරාගන්නා පුද්ගලයෙක් තෝරා පත්කරගනිමයි. එහිදී මා විශ්වාසකරන ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම අනුව හැම ඇමරිකානු පුරවැසියෙකුටම සමාන අවස්ථාවක් හිමිවිය යුතියි. නමුත් ෆ්ලොරිඩා වැනි ප්‍රාන්ත අනුගමනය කරන තේරීම් ක්‍රියාදාමය අනුව එහි පුරවැසියන්ට ජනපති තේරීමේ වැඩි අවසථාවක් හිමිවෙනවා. මට අනුව මෙය අසාධාරණයි.

    විවාහ රේගිස්ටාර් වැන්නවුන් සිටියයුත්තේ වයස්ථාදායකය මගින් සකස්කළ නීති ක්‍රියාත්මක කිරීමටයි. මෙම තනතුරුදරනන්ට තමන්ගේ දේශපාලනික හෝ ආගමික මතවාද තම රාජකාරි කටයුතු කිරීම හෝ නොකිරීම සදහා හේතුන් කරගත නොහැකියි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.