Tuesday, November 29, 2016

බදු වැඩි කර විදේශ ණය ගෙවිය නොහැකිද?

ආර්ථික විද්‍යාව තරමක් තරමක් දුරට හැදෑරු අයෙකුට සරල කරුණක් ලෙස පෙනෙන ඉහත ප්‍රශ්නය බොහෝ දෙනෙකුට එතරම්ම සරල නැති, 'කොමන් සෙන්ස් එකෙන්' පමණක් තේරුම් ගත නොහැකි කරුණක් බව පෙනේ. මෙය ඔවුන්ගේ වරදක් නොවේ. අප ලබන අධ්‍යාපනයේ ප්‍රශ්නයකි. රජයට සල්ලි අච්චු ගසා පඩි වැඩි කරන්නට බැරි ඇයිද යන්න වුවද නිවැරදිව තේරුම් නොගත් අය සාපේක්ෂ උගත් කමක් ඇති සමාජ ස්ථර වල පවා අඩු නැත. ලංකාවේ වැඩි දෙනෙකුට මූලික ආර්ථික විද්‍යා දැනුමක් ලබා ගැනීමට වුවද කවර හෝ අවස්ථාවක් නොලැබෙන පසුබිමක එය එසේ වීමේ කිසිදු පුදුමයක් නැත.

අප බොහෝ දෙනෙක් දන්නා පරිදි රජයේ ණය කොටස් දෙකකි. ඒ දේශීය ණය හා විදේශීය ණයයි. පසුගිය 2015 වසර අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503ක් විය. එයින් රුපියල් බිලියන 4,959ක් හෙවත් 58%ක් දේශීය ණයයි. ඉතිරිය වන රුපියල් බිලියන 3,544ක් හෙවත් 42%ක් විදේශීය ණයයි.

ණය යනු ආපසු ගෙවිය යුතු මුදලකි. ණය ලබාගන්නා අවස්ථාවේදී, ණය දෙන්නා සහ ණය ලබාගන්නා අතර මේ ණය මුදල ආපසු ගෙවන ආකාරය ගැන එකඟතාවයක් ඇතිවේ. එම එකඟතාවය ණය මුදල කිසියම් කාලයකින් පසුව එකවර ආපසු ගෙවීමක් හෝ කාලයක් තිස්සේ වාරික ලෙස ගෙවීමක් විය හැකිය. ආපසු ගෙවීමේදී, ලබාගත් මුල් මුදලට අමතරව එකඟ වූ පොලී මුදලක්ද ගෙවිය යුතුය. මේ පොලී මුදලද එක වර හෝ වරින් වර ගෙවන්නක් විය හැකිය.

ඉහත ණය මුදල් ප්‍රමාණ සංසන්දනය කිරීමේ පහසුව තකා රුපියල් වලින් පෙන්වූවත් රජයේ ණය සියල්ලම රුපියල් ණය නොවේ. මේ ණය වලින් කොටසක් ලබාගෙන ඇත්තේ ඩොලර්, යෙන් වැනි විදේශ ව්‍යවහාර මුදලකිනි. එසේ වෙනත් ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ආපසු ගෙවිය යුත්තේද අදාළ මුදල් වර්ගයෙනි. එමෙන්ම, එවැනි ණය මුදලක් සඳහා ගෙවිය යුතු පොලිය ද අදාළ ව්‍යවහාර මුලින්ම ගෙවිය යුතුය. වෙනත් අයුරකින් කිවහොත් රුපියල් වලින් ණය ගත් විට ණය හා පොලිය රුපියල් වලින්ම ගෙවිය හැකි වුවත්, ඩොලර් වලින් ණය ගත් විට ණය හා පොලිය ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. යෙන් වලින් ගත් ණය පොලිය සමඟ ආපසු ගෙවිය යුත්තේ යෙන් වලිනි.

රජයේ දේශීය ණය බොහෝ දුරට රුපියල් ණය වන අතර විදේශීය ණය බොහෝ දුරට වෙනත් විදේශීය ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. මෙහිදී 'බොහෝ දුරට' කියා කියන්නේ එය හැම විටම එසේම නොවන බැවිනි.

රජයේ විදේශ ණය ප්‍රමාණයෙන් රුපියල් ණය ප්‍රමාණය 8.6%ක් පමණි. ඉතිරි 91.4%ම ලබාගෙන ඇත්තේ කිසියම් විදේශ ව්‍යවහාර මුදලකිනි. එයින් වැඩිම ප්‍රමාණය එනම් 48.9%ක් හෙවත් රුපියල් බිලියන 1,734ක් (එක්සත් ජනපද) ඩොලර් වලින් ලබාගත් ණයයි. තවත්, රුපියල් බිලියන 470ක් (13.2%) යෙන් වලින්ද, රුපියල් බිලියන 181ක් (5.1%) යුරෝ වලින්ද, රුපියල් බිලියන 735ක් (20.7%) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය වන එස්ඩීආර් වලින්ද, ඉතිරි 3.5% වෙනත් විවිධ ව්‍යවහාර මුදල් ඒකක වලින්ද ලබාගෙන තිබේ. අනෙක් අතට, රජයේ දේශීය ණය වලින් රුපියල් බිලියන 690ක් හෙවත් 13.9%ක් ද ලබාගෙන ඇත්තේ කිසියම් විදේශ ව්‍යවහාර මුදලකිනි. මේ අනුව, පසුගිය වසර අවසානය වන විට රජය විසින් ගෙවිය යුතුව තිබුණු මුළු දේශීය හා විදේශීය ණය ප්‍රමාණයෙන් රුපියල් ණය ප්‍රමාණය 54% පමණ වන අතර ඉතිරි 46% කිසියම් විදේශ ව්‍යවහාර මුදලකින් ගෙවිය යුතු ණයයි. මෙහිදී, රුපියල් බිලියන වලින් සියළු ණය මුදල් දක්වා ඇත්තේ 2015 අවසානයේදී පැවති විණිමය අනුපාතික උපයෝගී කරගෙන විදේශ ව්‍යවහාර මුදලින් ගෙවිය යුතු ණය රුපියල් වලට හරවමිනි. ඒ නිසා, විණිමය අනුපාතික වෙනස් වන විට මෙම ණය ප්‍රමාණද (රුපියල් වලින් ගණන) වෙනස් වේ. උදාහරණයක් ලෙස රුපියල ඩොලරයට සාපේක්ෂව 10%කින් අවප්‍රමාණය වන විට රුපියල් ණය වෙනස් නොවුණත්, ඩොලර් ණය 10%කින් වැඩි වේ. ඒ ඩොලර් වලින් එම ණය ප්‍රමාණය නොවෙනස්ව තිබියදීමය.

දේශීය වුවද, විදේශීය වුවද ණය ආපසු ගෙවන්නටනම් රජය ආදායම් ඉපදවිය යුතුය. බදු හරහා එකතු කරන මුදල් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. බදු වැඩි කළ විට සාමාන්‍යයෙන් රජයේ ආදායම වැඩි වේ. රජයේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීමෙන් අනතුරුව කිසියම් අතිරික්තයක් ඇත්නම් මේ ආදායම කලින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා යොදාගත හැකිය.

රජයේ බදු ආදායම් ඇතුළු අනෙකුත් ආදායම් බොහොමයක්ම ලැබෙන්නේ රුපියල් වලිනි. ඒ නිසා, අතිරික්ත ආදායමක් ඇත්නම් රජයේ රුපියල් ණය ආපසු ගෙවීම සාපේක්ෂව සරල කටයුත්තකි. එහෙත්, විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණය ආපසු ගෙවීමටනම් මේ රුපියල් ආදායම ඩොලර්, යෙන්, යුරෝ වැනි වෙනත් ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීමට සිදුවේ. මේ සඳහා මෙවැනි විදේශ ව්‍යවහාර මුදල් අතේ ඇති, රුපියල් අවශ්‍ය අය සොයාගත යුතුය.

රටට විදේශ ව්‍යවහාර මුදල් රැගෙන එන ප්‍රධාන කණ්ඩායම් වන්නේ අපනයනකරුවන් හා විදෙස් ශ්‍රමිකයින්ය. සංචාරකයින් වැනි වෙනත් පිරිස්ද සිටිති. අපනයනකරුවන්ට ආදායම් ලැබෙන්නේ ඩොලර්, යුරෝ වැනි විදේශ ව්‍යවහාර මුදලකින් වුවත් ඔවුන්ට සේවක පඩිනඩි ආදිය වෙනුවෙන් රට තුළ වැය කරන්නට රුපියල් අවශ්‍යය. එමෙන්ම, විදෙස් ශ්‍රමිකයින් විසින් විදෙස් ව්‍යවහාර මුදලින්
රටට එවන අරමුදල් රට තුළ වියදම් කිරීම සඳහා ඔවුන්ගේ පවුල්වල අයට රුපියල් අවශ්‍යය. මෙවැනි අය විදෙස් ව්‍යවහාර මුදල් රුපියල් වලට මාරු කරන විට රටේ බැංකු පද්ධතිය තුළ එම ව්‍යවහාර මුදල් එකතු වේ. රජයට තමන් සතු රුපියල් බැංකුවකට දී මේ විදෙස් ව්‍යවහාර මුදල් ලබාගෙන විදේශ ණය ගෙවා දැමිය හැකිය.

කෙසේ වුවද, රටේ බැංකු වලට රුපියල් ලබාදී විදෙස් ව්‍යවහාර මුදල් ඉල්ලා සිටින්නේ රජය පමණක් නොවේ. විදෙස් ව්‍යවහාර මුදල් ඉල්ලා සිටින වෙනත් කණ්ඩායම් බොහොමයකි. ආනයනකරුවන් ඒ අතර ප්‍රධානම කණ්ඩායමයි. ආනයනකරුවන්, රජය ඇතුළු විදෙස් ව්‍යවහාර මුදල් සොයන පිරිස් වලට රට තුළට ආනයනකරුවන් හා විදෙස් ශ්‍රමිකයින් වැනි කණ්ඩායම් විසින් රැගෙන එන සීමිත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණය සඳහා තරඟ වදින්නට සිදුවේ. මෙහිදී ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිත තාවයක් ඇතිවී විදෙස් ව්‍යවහාර මුදල් වල මිල හෙවත් විණිමය අනුපාතිකය ඉහළ යයයි. රුපියල අවප්‍රමාණ වෙයි. එවිට, රජය විසින් නිශ්චිත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වන නිසා බදු වැඩි කර ආදායම් වැඩිකර ගැනීමේ වාසියෙන් සැලකිය යුතු කොටසක් නැතිව යයි. ඒ සමඟම, විදෙස් ව්‍යවහාර මුදලින් රැගෙන ඇති ණය තොගයේ රුපියල් අගය ඉහළ යාම නිසා ණය බර
තවත් වැඩිවේ.

මේ තත්ත්වය මඟ හරවා ගැනීමට 'ගොඩ වෙදකමක්' ලෙස මහ බැංකුව මැදිහත් වී විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහතින් තබා ගැනීම ලංකාව විසින් වරින් වර කරන දෙයකි. එසේ කිරීමෙන් විදෙස් විණිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිතවීමට ඇති ඉඩකඩ ඇහිරෙන නිසා රටට වරින් වර ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්නට සිදුවේ. පසුගිය කාලයේ රුපියල අවප්‍රමාණ වීමට ඉඩ හැර තිබුණත් මේ වන විට මහ බැංකුව විසින් (එක්සත් ජනපද ඩොලර්) විණිමය අනුපාතිකය රුපියල් 150 මට්ටමේ රඳවා ගැනීමට උත්සාහයක් දරන බවක් පෙනෙන්නට තිබේ. එසේ රැවුලත් කැඳත් බේරා ගැනීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ආනයන සීමා කිරීම සඳහා රජය යම් යම් පියවර ගනු පෙනේ.

ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රධාන මුහුණත් දෙකකි. එකක් රජයේ අයවැය හිඟයි. දෙවැන්න ගෙවුම් ශේෂ හිඟයි. දීර්ඝකාලීනව ආර්ථික ස්ථාවරත්වය කරා ළඟා වීමටනම් මේ අර්බුද දෙකටම පිළියම් යෙදිය යුතුය. බදු වැඩි කිරීම වැනි ක්‍රමවලින් රජයේ ආදායම වැඩි කරගැනීම රටේ විදේශ ණය පියවීමට ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවේ. ඒ සඳහා ගෙවුම් ශේෂ ප්‍රශ්නයද විසඳිය යුතුය. කෙසේවුවද, මෙසේ රජයේ ආදායම වැඩි කරගැනීම රටේ විදේශ ණය පියවීමට ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවූවත්, අනිවාර්ය අවශ්‍යතාවයකි. දේශීය වුවද, විදේශීය වුවද ණය ගෙවා දැමීම සඳහා රජය සතුව සම්පත් අතිරික්තයක් තිබිය යුතුය. ඒ නිසා, දේශීය ණය ගෙවීමට මෙන්ම විදේශීය ණය ගෙවීම සඳහාද බදු වැඩි කිරීම උදවුවකි.


(Image: http://www.ibtimes.co.in/sri-lanka-offers-infrastructure-equity-china-do-away-part-8-billion-debt-673970)

35 comments:

  1. මට පේන විදියට ආණ්ඩුවේ මූලික ප්‍රශ්නය විදෙස් ණය වාරික ගෙවීම නොව පොලී වාරික ගෙවීමයි.

    ReplyDelete
    Replies
    1. පසුගිය කාලයේ අරගෙන තියෙන ඇතැම් විදේශ ණය කෙටිකාලීන ණය. ණය වාරික ගෙවීමත් ප්‍රශ්නයක්.

      Delete
  2. දේශීය ණය වාරික හෝ පොලී ගෙවීමට දේශීය බදුවලින් හැකි බව පෙනුනත්, ඒ බදු නිසා දේශීය පරිභෝජනය අඩු වී රජයේ ආදායම අඩුවෙන්නටත්, ආර්ථිකය සංකෝචනය වෙන්නටත් ඉඩ තියෙනවා.

    සමස්ත ණය ප්‍රශ්නයට විසදුම ලෙස ලංකාවේ සුලභව ඇති එකම ස්වභාවික සම්පත වෙන ශ්‍රම බලකායේ හැකියාවන් නංවා, කෙලින් ම පිටරට පැටවීම, අපනයන නිෂ්පාදන ක්‍ෂේත්‍රවල සහ ආනයන ආදේශන නිෂ්පාදන ක්‍ෂේත්‍රවල යොමු කර ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කර ගැනීම හැර වෙන විසඳුමක් මට පේන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. සුළු වැටුප් ලබන විදේශ රැකියාවල නිරත වූවන් හොඳ ආදායමක් රටට ගෙනෙන නිසා මොන ප්‍රශ්න තිබුනත් කාන්තාවන් මැද පෙරදිග යවන එක නතර කරන්න බැහැ. ඉංග්‍රීසි අධ්‍යාපනය විධිමත් කර පිලිපීනයේ වගේ calling centers වල සේවය සඳහා තරුණ තරුණියන් පුහුණු කල හැකිනම් එයත් විදේශ විනිමය ලබාගන්න පුළුවන් ක්‍රමයක්. පිලිපීනයේ මසකට ඇ. ඩොලර් 400ක තරම වැටුපක් ගෙවනවා. අපනයනය අතින් රට ඉන්නේ ක්‍රමයෙන් දුර්වල වන තත්වයක. ඉහළ යන ජීවන වියදමත් එක්ක තරඟකාරී මිලට භාණ්ඩ අපනයනය පහසු දෙයක් නොවේ.

      Delete
    2. Call Center Services වලින් 2012 වසරට පිලිපීනය ලැබූ අදායම ඇ.ඩොලර් බිලියන අටක්. ලක්ෂ 6කට පමණ රැකියා උත්පාදනය වී තිබුණා.

      Delete
    3. ලංකාවේ සුලබ ශ්‍රමයට ඔය වගේ පුහුනුවක් ලබා දෙන එක හරිම අමාරුයි. ප්‍රධානම හෙතු වෙන්නේ ඒ වගේ පුහුනුවක් ලබා ගන්න අවශ්‍ය විනය, හික්මීම, common sense ඔවුන්ගෙන් සාතිශය බහුතරේකට නැහැ. ඒක හින්දා ඉතුරු වෙන්නේ housemaid කමයි, කොරියාවේ hard labour jobs ටිකයි විතරයි.

      Delete
    4. ආනයන වර්ධනය, අපනයන තරඟකාරීත්වය අඩුවීම, ආනයන ආදේශක වැඩිදියුණු නොවීම ආදී සියල්ලටම මුල විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමයි. මෙය ලොකුවටම වුනේ පසුගිය ආණ්ඩුවේ අවසාන වසර වලදී. එහි හානිය ඉතාම විශාලයි. මෙයින් අවාසිය හෙට්ටු කිරීමේ හැකියාවක් නැති තේ වතු වල සේවය කරන කම්කරුවන්, ඇඟලුම් සේවිකාවන් හා විදෙස් ශ්‍රමිකයන්ට නිසාත්, වාසිය තීරු බදු රහිත වාහන ගෙන්විය හැකි, විදෙස් සංචාර කළ හැකි, දරුවන් පිටරට ඉගෙනීමට යැවිය හැකි දේශපාලනඥයින්, රජයේ ඉහළ නිලධාරීන් හා දොස්තරලා වැනි බලගතු අයට නිසාත් බැරිම තැනකදී නිවැරදි කරන නමුත් විණිමය අනුපාතිකය නියම තැනට ගේන්න ප්‍රතිපත්ති සම්පාදකයින්ට උවමනාවක් නැහැ. විණිමය අනුපාතිකය නිවැරදිනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැහැ. පහළ අමිල චතුරංග විසින් ලියා ඇති සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වැනි දේ පවා ඉබේම වෙනවා.

      Delete
    5. මිනිහෙකුට කතා කරන්න දන්නේ නැති ජාතියකට මොන call centres ද

      Delete
    6. //සියල්ලටම මුල විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමයි. මෙය ලොකුවටම වුනේ පසුගිය ආණ්ඩුවේ අවසාන වසර වලදී.//
      විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීම සඳහා මූලිකවම වැය කල යුත්තේ විදෙශ සංචිත නේද ? නමුත් පසුගිය ආන්ඩුවේ අවසාන කාලයේ විදෙශ සංචිතත් තරමක වර්දනයක් පෙන්නුවා නේද ?
      මහා පරිමාන ව්‍යාපෘති වලදී මහා බැංකුවට යන ඩොලර් වලින් කොටසක් නැවතත් විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීම සඳහා වියදම් කලාද ?

      Delete
    7. AnonymousDecember 2, 2016 at 8:38 AM
      මම මෙහිදී පළ කරන අදහස තරමක් විවාදාත්මක අදහසක්. එහෙත් මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට ලංකාවේ ආර්ථික අර්බුදයේ එක් මුලක් (වරින් වර මතුවන දිගුකාලීන ගෙවුම් ශේෂ ප්‍රශ්නය) තියෙන්නේත්, ප්‍රශ්නයට විසඳුම තියෙන්නෙත් මෙතැනයි. මෙය සම්මත ආර්ථික විද්‍යා ආකෘතියක හිරවී හෝ ජා.මූ.අ. අච්චුවේ හිරවී බැලූ විට තේරුම් ගත නොහැකි දෙයක්. ඒ ආකෘති සම්මත ආකෘති නිසා ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් හමුවේ එලෙසම යොදා ගැනීම නිසා ඇතිවන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මෙය මා බොහෝ කලක් උත්සාහ කර තේරුම්ගත් දෙයක්. මා මේ කියන්නේ පිස්සුවෙන් ජා.මූ.අ. ආකෘතිය හා සම්මත ආකෘති ප්‍රතික්ෂේප කිරීමක් ගැන නෙමෙයි. එම ආකෘති ගැලපෙන පරිදි fine tune කරගැනීමක් ගැනයි.

      පසුගිය රජය කාලයේ සමස්තයක් ලෙස විදේශ සංචිත වර්ධනය වුනා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස ඩොලර් මිල දී ගත්තා. එසේ නොකළානම් රුපියල තවත් ශක්තිමත් වී ප්‍රශ්න වඩාත් වැඩි වෙනවා. මේ අනුව සම්මත ආකෘති අනුව කළ යුතු දෙයටත් වඩා වැඩි දෙයක් මහ බැංකුව කරලා තියෙනවා. කෘතිමව විණිමය අනුපාතිකය පහළින් තියා ගැනීම වෙනුවට එහි අනිත් පැත්ත කර ඇති බවයි පෙනෙන්නේ. එහෙමනම්, මම කියන කතාවේ තේරුම කුමක්ද?

      මෙහි මා දකින සුවිශේෂී තත්ත්වය මෙයයි. මේ කාලයේ රටට පැමිණි ඩොලර් සියල්ලම සුමට ලෙස පැමිණි, පහසුවෙන් උපයාගත් ඩොලර් නෙමෙයි. එයින් කොටසක් ලොකු පොලියකට ගත් ණය. මේ ණය පමණක් නොව පොලියත් ආපසු ගෙවිය යුතුයි. (ඇමරිකාව සමඟ සැසඳුවොත් ඇමරිකාවට අඩු පොලියට ණය දෙන්න ලොව පුරා රජයයන් ඇතුළු ආයෝජකයින් පස්සෙන් එන නිසා එහි තත්ත්වය ලංකාව සමඟ සසඳන්න බැහැ) මේ ණය සහ පොලිය ලෙස ඩොලර් ගෙවීම සඳහා ඩොලර් ජනනය වීමක් සිදුවිය යුතුයි. මගේ පෞද්ගලික අදහස වන්නේ ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය විය යුත්තේ ණය ලෙස ලබාගන්නා ඩොලර් සියල්ල හෝ එයට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුවේ සංචිතයට ගනිමින් රටතුළ ඉතිරි ඩොලර් ඉල්ලුම සහ සැපයුම සමතුලිත වෙන්න ඉඩ හැරීම බවයි. එසේ කළානම් අපනයන තරඟකාරිත්වය මේ තරම් දුර්වල වෙන්නේ නැහැ. මා එසේ කියන්නේ අයවැය හිඟයක් අඛණ්ඩව නඩත්තු කරමින් මෙසේ විශාල ලෙස විදේශ ණය ගැනීම සම්මත ආකෘති වලදී සලකා බැලෙන සාමාන්‍ය දෙයක් නොවන නිසා. දැන් මෙසේ කළ විට ඇති වන එක් ප්‍රශ්නයක් තමයි මහ බැංකුව ඩොලර් මිලදී ගෙන එලියට දමන රුපියල් නිසා මුදල් සැපයුම වැඩීවීම. ඒ මුදල් නැවත ආපසු ගැනීමට මහ බැංකුවට මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීමේ නීතිමය හැකියාව තිබෙනවා. එසේ කළ විට රජයට සුරැකුම්පත් විකිණීමේදී මහ බැංකුව සමඟත් තරඟ කරන්න වෙන නිසා තවත් ප්‍රයෝගික ගැටළුවක් එනවා. ඒ නිසා, මෙය කිරීම සඳහා රජයේ අයවැය හිඟයත් සමාන්තර ලෙස අඩුකරගත යුතුයි. අයවැය හිඟය නැති කර ගත හැකිනම් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳන එක සාපේක්ෂව පහසු වැඩක්.

      Delete
    8. //මා එසේ කියන්නේ අයවැය හිඟයක් අඛණ්ඩව නඩත්තු කරමින් මෙසේ විශාල ලෙස විදේශ ණය ගැනීම සම්මත ආකෘති වලදී සලකා බැලෙන සාමාන්‍ය දෙයක් නොවන නිසා. // what you are saying here is in SL economy, we have a problem that is not discussed or addressed in standard models used in Economics. Hence you suggest to follow some policies that will reduce the current issue to standard problem and then apply a solution discussed/tested in standard frameworks?. I think this is what RW and clan can do best and has been failing once again dramatically for the second time.

      Delete
    9. economatta contradicting himself ?

      @ඉකොනොමැට්ටා Ecඔනොමට්ටණොවෙම්බෙර් 30, 2016 අට් 7:17 ඵ්M
      //ආදී සියල්ලටම මුල විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමයි. මෙය ලොකුවටම වුනේ පසුගිය ආණ්ඩුවේ අවසාන වසර වලදී. //

      @ඉකොනොමැට්ටා Ecඔනොමට්ටඪෙcඑම්බෙර් 2, 2016 අට් 9:55 ඇM
      //පසුගිය රජය කාලයේ සමස්තයක් ලෙස විදේශ සංචිත වර්ධනය වුනා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස ඩොලර් මිල දී ගත්තා. එසේ නොකළානම් රුපියල තවත් ශක්තිමත් වී ප්‍රශ්න වඩාත් වැඩි වෙනවා. මේ අනුව සම්මත ආකෘති අනුව කළ යුතු දෙයටත් වඩා වැඩි දෙයක් මහ බැංකුව කරලා තියෙනවා. කෘතිමව විණිමය අනුපාතිකය පහළින් තියා ගැනීම වෙනුවට එහි අනිත් පැත්ත කර ඇති බවයි පෙනෙන්නේ.//

      Delete
    10. AnonymousDecember 2, 2016 at 7:46 PM

      //Hence you suggest to follow some policies that will reduce the current issue to standard problem and then apply a solution discussed/tested in standard frameworks?//

      Not exactly, Ano. What I suggest is to customize the standard framework to fit the structure of the SL economy while broadly following the same framework.

      Delete
    11. AnonymousDecember 2, 2016 at 7:53 PM

      //economatta contradicting himself ?//

      I don't contradict myself, Ano. Maybe I am not clear enough. The second quote is based on the standard framework. The first is my opinion.

      I have explained this in the third para of my December 2, 2016 at 9:55 AM comment above. I still have missed one important thing I wanted to add, foreign remittances which have grown substantially during the past decade. If we have to face a BOP problem even when we have worker remittances amounting to nearly 75% of import dollars we earn that, in my view, is a problem with the foreign exchange policy. Simply put, we have more than enough dollar inflows if we just allow the exchange rate to adjust to a level that we can maintain export competitiveness or to a closer level. In another words, I suggest to depreciate the national currency (gradually) until the trade deficit disappears or equals the surplus in services account. Somewhere in 2004 (just quote my memory without checking the numbers) exports were around 20% more than imports. As a result of the foreign exchange policy of the previous regime exports were nearly twice larger than imports after a decade. This happened while the CB was absorbing dollar inflows and building up the reserves to some extent. If the the rate was allowed to be determined by the market forces alone the Rupee could have been appreciated and it was prevented by CB intervention. However, that intervention was not sufficient in my view. That's why I say that the rate was kept too low. I used the term 'artificially' because in my view the massive amount of dollar inflows through foreign loans was not natural. I can explain my view in detail but since my regular audience here does not expect that type of deep analysis, my effort would not be worth.

      Delete
    12. ඉකොනොමැට්ටා EconomattaDecember 2, 2016 at 11:55 PM
      ඔබේ දීර්ග පිලිතුරට බොහොම ස්තුතියි. මම විශයයක් විදිහට ආර්තික විද්යාව ඉගෙනෙ ගත් අයෙක් නොවෙමි. නමුත් මගේ මූලික විශයට(Eng. like urs) අතිරේකව මා ඉතා උනන්දුවෙන් තනිවම ඉගෙනීමට අත්සාහ දරන විශයන් කීපයෙන් එකක්. ඒනිසා ඔබේ මේ ලිපි පෙල සහ "සත පහෙ" ලිපි තුලින් මම සෑහෙන දෙ ඉගෙන ගනිමින් සිටිමි.
      ඒ වෙනුවෙන් මගෙ ස්තුතිය. එනිසාම සමහර විට මෝඩ ප්‍රශනත් ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇත. කමත්වා..

      Delete
    13. ඔබේ කමෙන්ට් එක මාව දිරිමත් කරවන පිළිතුරක්, ඇනෝ. මෝඩ වගේ පෙනෙන ප්‍රශ්න ඕනෑම එකක් ඇහුවට කමක් නැහැ. මෝඩ වගේ පෙනෙයි කියා ප්‍රශ්න නොඅසා සිටීම අපේ සංස්කෘතික ප්‍රශ්නයක්. එය මටත් තියෙනවා. මා ලියා ඇති දේ අභියෝගයට ලක් කරන ප්‍රශ්න හෝ කමෙන්ට් වලට වගේම විසංවාද හෝ එසේ පෙනෙන දේ පෙන්වා දෙන කමෙන්ට් වලට මම ගොඩක් කැමතියි. එවිට මා වැරදිනම් මට නිවැරදි කරගත හැකියි. හදිසියෙන් ලියා දෙවරක් නොකියවා පළ කරන නිසා වැරදි තියෙන්නේ පුළුවන්. එසේ නැත්නම් මා කියන දේ පැහැදිලි කළ හැකියි. සන්නිවේදනය වෙන්නේ මම කියන දේ නෙමෙයිනම් එයත් මෙගේ දුර්වලතාවයක්. කියන දේ සැලකිල්ලෙන් හා විමර්ශනාත්මකව කියවන සහ මෙවැනි ප්‍රශ්න අසන ඔබ වැනි පිරිස් එකතු වන තරමට මට මගේ ලියවිලි ඉහළ තලයකට ගෙන යාම පහසු වෙනවා.

      Delete
    14. හොඳ කොමෙන්ට් ටිකක් කියෙව්වා.
      //මේ තත්ත්වය මඟ හරවා ගැනීමට 'ගොඩ වෙදකමක්' ලෙස මහ බැංකුව මැදිහත් වී විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහතින් තබා ගැනීම ලංකාව විසින් වරින් වර කරන දෙයකි// ගොඩ වෙදකම් වැරදුනාම ලෙඩා මිය යනවා නේද??

      Delete
  3. මටත් ඔය ගැන හරි අවබෝධයක් තිබුනේ නෑ.. කොටින්ම අර සල්ලි අච්චු ගහල ගෙවන්න බැරි ද වගේ අදහස් තිබුනේ මටත්..හෙහ් හෙහ්.. මේකෙන් ගොඩක් දුරට පැහැදිලි වුණා.

    ReplyDelete
    Replies
    1. පසුව තව ටිකක් පැහැදිලි කරන්න බලන්නම්.

      Delete
  4. මට හිතෙන විදිහට අවාසනාවකට 1970 පත්වෙච්චි සිරිමා බන්ඩාරණායක ආන්ඩුවට ඇර වෙන කිසිම ආන්ඩුවකට මේ ණය බරින් නිදහස් වෙන්න උපමනාවක් තිබුනේ නෑ !

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ එවැන්නක් නොවෙයි. සමඟි පෙරමුණු කාලයේ සාමාන්‍ය ණය වර්ධනය රාජපක්ෂ යුගයේ ණය වර්ධනයට වඩා විශාල ලෙස වෙනස් නැහැ.

      http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_13.html

      විදේශ ණය පමණක් ගත්තත් තත්ත්වය මෙවැනියි.

      Delete
  5. ඒත් හරියටම තේරුනේ නැත! :-(

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි, රාජ්. ඇත්තටම මීටත් වඩා සරලව ලියන්නත් තිබුණා. පසුව, මේ ගැන තව ටිකක් ලියන්නම් වෙලාවක් ලැබුණහම. මේක තේරුම් ගන්නේ නැතුව ආර්ථිකයේ තියෙන සැබෑ ප්‍රශ්නය තේරුම් ගන්න බැහැ. එය හරියට පැහැදිලි කර ඇති තැනකුත් මට හමුවෙලා නැහැ.

      Delete
    2. කලින් කියෙවුවේ නැත්නම් මෙයත් කියවන්න. http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_20.html

      Delete
  6. ඔබගේ පැහැදිලි කිරීම් වටිනවා..අපිට ඔය ගැටලුවට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් පහසුවෙන් ම විසඳුම් සොයාගන්න හැකියි..
    නමුත් රජය සංචාරක පැත්තට ලොකු අවධානයක් සහ පාසුකම් සැලසීමක් තිබෙන ආකාරයක් නෑ..

    මම මේ අලුතින් ගහන්න ඕනි බදු ගැන ඊයෙ හවහ ලිව්වා.. ඒත් මේක බැලුවාම තේරෙනෝ බදුවලින් ඉතරක් වැඩේ ගොඩදාන්න බැරිය කියල ..

    ReplyDelete
    Replies
    1. බදු වලින් ගොඩ දාන්න උත්සාහ කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ඇති අවුල. උඩ රසික ලියල තියන කරුණු වැනි දේ නිසා මෙය හොඳම දේ නෙමෙයි. මෙහිදී වෙන්නේ රජයේ අකාර්යක්ෂමතාවයේ වියදම රජයට සම්බන්ධ නැති මහජනතාව පිට පැටවීම. රජයේ වියදම් පැත්ත අඩු කිරීමයි වඩා වැදගත්. නමුත් එය කෙරෙන්නේ නැත්නම් ඊළඟට කරන්න තියෙන්නේ බදු වැඩි කිරීම. වෙනම කරුණක් වන විදේශ විණිමය ප්‍රතිපත්තියේ වැරැද්ද නිසා ඇති වී ඇති ගෙවුම් ශේෂ ප්‍රශ්නය බදු ගැසීමෙන් විසඳන්න බැහැ. එය කළ හැක්කේ විණිමය අනුපාතිකය කළමනාකරණය කිරීම මඟිනුයි.

      Delete
  7. දැන් ඔය වාහන වලට බදු ගහන එකත් උන්නත් දාහයි, මලත් දාහයි සීන් එකක් නේද?" බදු වැඩි හින්දා වාහන ගෙන එක අඩු වුනොත් ඩොලර් පිටට යන එක අඩු වෙනවා. ගාන වැඩි වුනත් වාහන ගත්තොත් රජයේ බදු ආදායම වැඩි වෙනවා." (මට හිතුනු විදිහට කිව්වේ)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇනෝ. ඔබ හරි. බොහෝ විට ඔය දෙකම ටික ටික වෙන නිසා දෙපැත්තෙන්ම වාසියක් වෙනවා.

      Delete
  8. ආර්ථික විද්‍යාව ග්‍රීක් වුණත් සාමාන්‍ය පුරවැසියන් තේරුම්ගන්න ඕන....
    තේරුම් කරන්න ඕන..
    මේ විපක්ෂය ඒක තේරුම් කළ නිසා බැඳම්කර වංචාව ප්‍රශ්ණයක් වුණා..
    ගිය විපක්ෂයට තේරුම් කරගන්න බැරිවුණ නිසා බැඳුම්කර වංචාව ගැන කවුරුත් දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. මේ විපක්ෂය හා ගිය විපක්ෂය කියන එක හරියටම මීටර් වුණේ නැහැ. බැඳුම්කර සිද්ධිය දිගටම ඇදගෙන යාමේ ගෞරවය විපක්ෂයට හිමි වුණත් ඒ හා අදාළව ඔවුන් කියන හැම දෙයක්ම නිවැරදි නැහැ.

      Delete
  9. ඉකොනො,වෙලාවක් තියනවා නම් බැඳුම්කර කතාව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො.විවිධ මත රාශියක් කැරකෙනවා.අහගන්න කෙනෙක් නෑ..
    හාඩ් ලේබර් මට්ටමත් එක්සකටිව් මට්ටමත් අතර දෝලනය වන විශාල තරුණ පිරිසක් ඉන්නවා රජයට හැකි නම් විදෙස් රැකියා ඉලක්ක කරල පුහුණු කරලා යවන්න,දැනට පෙනෙන එකම විසඳුම එය වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර ගැන එක ලිපියක් නෙමෙයි සීරිස් එකක්ම තියෙනවා. මෙහි ගිහින් කියවන්න.
      http://emgesathapaha.blogspot.com/

      මුල් ලිපි දහයෙන් මම පැහැදිලි කරල තියෙනවා කෝප් වාර්තාවේ තියෙන ගණනය කිරීම් නිවැරදි නැති බව. එයින් ඉදිරියට විස්තර තවම ලියා අවසන් නැහැ.

      Delete
  10. ඉතාම අගනා පැහැදිලි කිරීමක් ඉකොනෝ, බොහෝම ස්තුතියි ඔබට.

    චීනයේ යෙන් සහ රෙමින්ග්බි යනුවෙන් මූල්‍ය ඒකක දෙකක් තියාගෙන ඉන්නේ විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහළින් තබා ගැනීමටද?

    ReplyDelete
  11. මම හිතනවා බදු අය කරීම ගැන ක්‍රම දෙකයි තියෙන්නේ කියල. එකක් තම ස්වීඩනයේ , ජර්මනියේ ක්‍රමය. බදු හොඳටම වැඩියි. නමුත් එයට සමානුපාතිකව සේවා ඉතා උසස් තත්වයෙන් පොදු ජනතාවට ලබා දෙනවා. ජර්මනියේ රජයේ අරෝග්‍යශාලාවක් පෞද්ගලික එකක් වගේ හින්දයි. ස්විදනයේත් එහමයි. නැත්නම් බදු අය නොකර බදු වලින් රටවැසියා සම්පුර්නයෙන්ම නිදහස් කල යුතුයි. භාණ්ඩ මිල හා සේවා මිල වැඩි වෙනවා. නමුත් ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණු වෙනවා.

    ReplyDelete
  12. ඔබ හදිසි ණය අවශ්ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ වන්න කැමති නම් අපි එළියට, ව්යාපාර ණය, පුද්ගලික ණය, ශිෂ්ය ණය, මෝටර් රථ ණය ආදිය ලබා: (dakany.endre@gmail.com)

    ණය පර්

    You need an urgent loan? Contact: (dakany.endre@gmail.com) For further information on the loan.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.