Thursday, December 1, 2016

ආණ්ඩුව ඇත්තටම ණය ගෙවනවාද?


පසුගිය ලිපියෙන් මා කතා කළේ විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී බදු වැඩි කිරීම වැනි ක්‍රම වලින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සොයාගැනීමට අමතරව රුපියල් ඩොලර් බවට හැරවීමේ දෙවැනි ප්‍රශ්නයක්ද ඇති බවයි. රටේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමක තිබේනම් මෙය ගැටළුවක් නොවේ.

දශක ගණනක සිටම ලංකාවේ විදේශ ණය ප්‍රමාණය විදේශ සංචිත වලට වඩා කිහිප ගුණයක් වැඩිව තිබුණේය. පසුගිය රජය කාලයේ විදේශ සංචිත වැඩි වුවත්, විදේශ ණය ප්‍රමාණය ඊට වඩා වැඩි විය. කෙසේ වුවද, මෙය බරපතල ප්‍රශ්නයක් වන්නේ විදේශ ණය සියල්ල එකවර ගෙවන්නට වුවහොත්ය. සාමාන්‍යයෙන් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවේ. කෙටිකාලීන ණය ගෙවීමට අවශ්‍ය තරම් විදේශ මුදල් සංචිත මහ බැංකුව සතුව පැවති බව මගේ අදහසයි.

මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේද අළුතින් විදේශ ණය නොගෙන දැනට ඇති ණය ගෙවා දමන්නේනම් පමණි. ණය ගෙවන ප්‍රමාණයට වඩා සුළු වශයෙන් හෝ වැඩි ප්‍රමාණයක් නැවත ආපසු ලබා ගන්නේනම් විදේශ සංචිත පිලිබඳ ගැටළුවක් ඇති නොවේ.

මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නට ඇත්තටම ආණ්ඩුව ශුද්ධ ලෙස විදේශ ණය ආපසු ගෙවනවාද? එනම් අළුතින් විදේශ ණය ගන්නවාට වඩා පරණ ණය ආපසු ගෙවන ප්‍රමාණය වැඩිද? ඩොලර් ප්‍රශ්නයක් මතුවන්නේ එසේ කරන්නේනම් පමණි.

ආණ්ඩු මාරුවට පෙර, 2014 වසර අවසානයේදී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9 ක් විය. වසරකට පසු මේ ණය මල්ල රුපියල් බිලියන 8,503.2 ක් දක්වා විශාල විය. තවත් සමසකට පසු, 2016 ජූනි වන විට ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,062.2 ක් දක්වා වැඩි වී තිබේ. මෙය මාස 18ක් තුළ 22.6%ක ණය වර්ධනයකි. ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුනහමාරක සිට ලක්ෂ හතරහමාරක් පමණ දක්වා වැඩි වීමකි. ණය ආපසු ගෙවීමක් සිදුවනවානම් මේ අයුරින් ණය වැඩි විය නොහැක.



ඉහත වගුවෙන් පෙනෙන පරිදි, මේ රජය විදේශ ණය ගන්නවාට වඩා දේශීය ණය ගන්නට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. දේශීය ණය 26.0%කින් වැඩි වෙද්දී, විදේශ ණය වැඩි වී ඇත්තේ 17.9%කින් පමණි. දේශීය ණය විදේශ ණය තරම් හානිකර නැතැයි ආණ්ඩුව විශ්වාස කරනවාද? අපි මේ ගැන වෙනම ඉදිරි ලිපියකින් කතා කරමු.

කෙසේ වුවද වැදගත් කරුණ වන්නේ විදේශ ණයද 17.9%කින් වැඩි වී තිබීමයි. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව අළුතින් විදේශ ණය ගැනීම නොවේ. රුපියල පිරිහීම නිසා කලින් පැවති ණය ප්‍රමාණයේ රුපියල් අගය වැඩි වීමයි. එසේ වුවත්, මේ සාධකය ඉවත් කළද රජය සුළු වශයෙන් හෝ වැඩිපුර ණය ගෙන ඇතුවා මිස විදේශ ණය ආපසු ගෙවා නැත. ගෙවන්නට උත්සාහ කරන බවක්ද නොපෙනේ. ඒ නිසා, ණය ගෙවන්නට විදේශ ව්‍යවහාර මුදල් නැතැයි යන කතාව කතන්දරයක් පමණි.

ආණ්ඩු මාරුවට පෙර 2014 දෙසැම්බර් වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,208.4ක් වූ අතර පසුගිය අගෝස්තු වන විට මේ ප්‍රමාණය ඩොලර් මිලියන 6,598.9ක් දක්වා අඩු වී ඇත. මෙසේ නිල විදෙස් මුදල් සංචිත 19.6කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇත්තේ විදෙස් ණය ගෙවීම නිසා නොවේ. විදෙස් ණය තවදුරටත් වැඩි වෙද්දීය! ආණ්ඩුව රටේ අනාගත විදේශ ණය බැරකම් ගෙවීම විශාල බරක් ලෙස අවංකවම සිතනවානම් කළ යුත්තේ මෙසේ විදේශ සංචිත විකුණා දැමීම වෙනුවට විදේශ සංචිත තර කර ගැනීමයි.

ආණ්ඩුව විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමේ ප්‍රතිපත්තියකට විතැන් වී ඇත. ප්‍රශ්නයට මුල රජයේ අකාර්යක්ෂමතාවය, ඒ හා බැඳුණු නාස්තිකාර වියදම් හා එහි ප්‍රතිඵලය වන අඛණ්ඩ අයවැය හිඟය බැවින් මේ මූලික ප්‍රශ්න නොවිසඳා කොට්ට මාරු කිරීම විසඳුමක් නොවේ. වඩා හොඳ දේශීය ණයද නැත්නම් විදේශීය ණයද යන ප්‍රශ්නය හරියට වඩා හොඳ සීනිද නැත්නම් කොලෙස්ටරෝල්ද යන ආකාරයේ ප්‍රශ්නයකි. ඔය දෙකෙන් එකක්වත් හොඳ නැත. (වැඩි විස්තර පසු ලිපියක) කෙසේ වුවද, මේ ණය දෙවර්ගයේ වෙනස්කම් තිබේ. මහජනතාවගේ පැත්තෙන් බැළුවොත්නම් මෙය 'හාට් ඇටෑක්' හැදී මැරෙනවද නැත්නම් 'කිඩ්නි නරක් කරගෙන' මැරෙනවාද ආකාරයේ වෙනසකි.

මහජනතාවගේ පැත්තෙන් වැඩි වෙනසක් නැතත්, දේශීය ණය ගැනීමේ එක් වාසියක් රජයට තිබේ. රජයට 'සල්ලි අච්චු ගසා' දේශීය ණය ආපසු ගෙවිය හැකිය. එහෙත්, ඩොලර් හෝ යුරෝ එසේ අච්චු ගසන්නට නුපුළුවන!

ඇත්තටම දැන් සිදු වෙන්නට පටන් ගෙන ඇත්තේත් එයයි. මේ වසරේ පළමු මාස අට තුළ පමණක් මහ බැංකුවේ සංචිත මුදල් 16.7%කින් වැඩි වී ඇත. මෙයින් අදහස් වෙන්නේ රටේ මුදල් ප්‍රමාණය මාස අටක් තුළ එපමණකින් වැඩි වී ඇති බවයි. වසර අවසන් වන විට මේ වර්ධනය 20% ඉක්මවන්නට ඉඩ තිබේ!

මහින්ද රාජපක්ෂ පළමු වරට ජනාධිපති වීමෙන් පසුවද මෙවැනිම ප්‍රතිපත්තියක සිටියේය. ඒ අනුව, ඔහුගේ මුල් අවුරුදු වලදී විදේශ ණය වැඩිපුර නොගත් අතර දේශීය ණය ලබා ගැනීම සඳහා අලෙවි කළ භාණ්ඩාගාර බිල්පත් (දැන් මෙන්ම) මහ බැංකුවට අලෙවි විය. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නේ මුදල් අලුතින් මුද්‍රණය කර ඒවා වැය කරමිනි. අළුතින් මුදල් අච්චු ගැසූ පසු උද්ධමනය එන තුරු අවුරුදු 2-3ක 'ඉන්ටවල් එකක්' ලැබේ. ඒත් පහු වී තැපෑලෙන් බඩු ෂුවර්ය. පසුගිය රජය 2004-06 කාලයේ අළුතින් අච්චු ගැසූ මුදල් වල රිසල්ට් එන්නට පටන් ගත්තේ 2007-2008 දීය. අන්තිමේදී උද්ධමනය 30% ඉක්මවීය. ඒ කාලය වන විට මුදල් සැපයුම සීමා කර තිබුණත් ඒ වන විට පරක්කු වැඩිය. රාජපක්ෂ රජය විදේශ ණය ගැනීම පටන්ගෙන වේගවත් කළේ ඉහත කී අසාර්ථක පරීක්ෂණයෙන් පසුවය.

දැන් මේ ආණ්ඩුව නැවත කරන්නේ රාජපක්ෂ රජය විසින් මුලින්ම කළ අසාර්ථක පරීක්ෂණයයි. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල තවත් දෙවසරකින් පමණ ලැබෙනු ඇති අතර ඉන්පසුව හෝ ඊට පෙර මේ ආණ්ඩුවද නැවතත් විදේශ ණය ගැනීමට තල්ලු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

තත්ත්වය මෙසේ වුවත් මෙය තනිකරම මේ ආණ්ඩුවේ වැරැද්දක් ලෙස දැකීම ආණ්ඩුවට කරන අසාධාරණයකි. දශක ගණනාවක් අයවැය හිඟයක් පවත්වාගත් රජයක එම අයවැය හිඟය වසරකින් හෝ දෙකකින් නැති කළ නොහැකිය. එය ක්‍රමයෙන් අඩු කරගත යුතුය. ආණ්ඩුව ඒ සඳහා සැලකිය යුතු උත්සාහයක් දරයි.

අයවැය හිඟය අඩු කරගත්තත් එය සම්පූර්ණයෙන්ම නැති කර ගන්නා තුරු රජයට තව තවත් අළුතින් ණය ගන්නට සිදු වේ. ඒ නිසා, ආණ්ඩුවට ණය මල්ල තරවීම නැවැත්විය නොහැක. කළ හැකි එකම දෙය එය තර වන වේගය පාලනය කර ගැනීමයි. වැඩි කරන බදු වලින් පරණ ණය නොගෙවුවත්, අළුතින් ගන්නා ණය ප්‍රමාණය අඩු කරගන්නට මේ වැඩි කළ බදු උදවුවකි.


(Image: http://time.com/4077757/sri-lanka-china-financial-crisis-ravi-karunanayake-interview/)

25 comments:

  1. /* දේශීය ණය 26.0%කින් වැඩි වෙද්දී, විදේශ ණය වැඩි වී ඇත්තේ 17.9%කින් පමණි. */

    අදල කාලයේ ඇමරිකානු ඩොලරයක් ඉහල ගිය ප්‍රමාණය සළකා බලන විට ඇත්තටම රුපියල් අගයෙන් පෙන්වන 17.9% වැඩිවීම ඩොලර්වලින් අඩුවීමක් වෙන්නත් ඉඩ තියෙනවා නේද? මා 2013 නොවැම්බරයේ දී ඔසී ඩොලරයකට ඇමරිකානු ඩොලර් 1.05 ක් ලැබුණා. එය 2015 දී ශත අසුව දක්වා පමණ අඩුවුණා. දැන් ලැඹෙන්නේ ශත හැත්තෑ පහයි!

    එය රුපියලේ අගය අඩුඬීමකට වඩා ඇමරිකානු ඩොලරයේ ශක්තිමත් වීමක්!

    ReplyDelete
    Replies
    1. මේ මාස 18 ඇතුළත රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ ගොස් ඇත්තේ ආසන්න වශයෙන් 11%කින් පමණයි.

      Delete
    2. ඒ කියන්නේ ඔසී ඩොලරය තමයි කුජීත විදියට බාල්දු වෙලා තියෙන්නේ!

      Delete
    3. අදාළ මාස 18 තුළ ඔසී ඩොලරය රුපියලට සාපේක්ෂව වෙනස් වෙලා නැති තරම්. ඒ කියන්නේ ඔසී ඩොලරය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 11% පමණ පිරිහී ඇති බවයි. ඔබ කියනවා වගේම මෙතැන වුණේ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීමයි. නමුත්, මහ බැංකුව සංචිත විකිණීම නිසා එය සම්පූර්ණයෙන්ම පිළිබිඹු වී නැහැ.

      Delete
    4. RBA දත්ත අනුව 2014 අවසානයේ වූ ශත 82 සිට ශත 75 දක්වා අඩුවී තිබෙනවා. 1.05 තියෙන්න ඇත්තේ ඊට ටිකක් කලින්.

      Delete
    5. උඩින් ලියා ඇති පරිදි මං ඇමරිකාවට යන්න ඩොලර් ගත්තේ 2013 නොවැම්බරයේ දී යි. ඒ කාලේ ඇමරිකන් ඩොලර් මිලියනයක් අරං දැම්මා නම් මට අද වෙනකොට ඔසී ඩොලර් ලක්‍ෂ හතරක විතර වාසියක් ගන්න තිබුණා!

      Delete
    6. අපරාදේ තමයි. මටත් තිබුණා රසිකගෙන් ඔසී ඩොලර් මිලියනයක් විතර ණයට අරගෙන හොඳ පොලියකුත් එක්ක ආපහු ගෙවලත් තව සෑහෙන ගාණක් හම්බ කරගන්න.

      Delete
    7. අපි ගෝර්බචෝෆ්ගේ අවසාන කාලයේ ඩොලර්-රූබල් බිස්නස් එක කළා, රූබලය සීග්‍රයෙන් මස්තබාල්දුවෙමින් තිබූ නිසා රිස්ක් එකක් තිබුනේම නෑ, හොස්ටල් එකේ විදේශිකයන් එදිනෙදා විකුණන ඩොලර් ටික එකතුකරගෙන ලොකු ලාබයක් තියාගෙන වික්කා, ඉද හිට පිට නගර වලින් ලොකු ඇණවුම් ආවා, එවැනි ලොකු ඇණවුම් ලැබුනාම හොස්ටල්ස් ස්ටොක් එක්ස්චෙන්ජ් එක වගේ ක්‍රියාකාරීවෙනවා, හැමෝම ලන්සු තියනවා හරිම කළබලකාරීයි. වලින් පුංචි කොල වලටට සාපේක්ෂව ලොකු කොල වලට වැඩි රේට් එකක් ලැබුනේ එවා සඟවාගෙන ගෙනියන්න (සුරුට්ටු වගේ ඔතන්න) පහසුවුන නිසා.

      Delete
    8. ඇණය වැඩේ හොඳට කරලා වගේ. අපේ පත්ටෙහ් විට්ටෝ කළේ ඔය වැඩේ ඇබ්බෝ එක්ක.

      Delete
  2. මෙයින් මතුවෙන වැදගත් ප්‍රශ්නය තමයි කවුද මේ ගැන රජයට උපදෙස් දෙන්නේ කියන එක. මහ බැංකුව ස්වාධීනයි ද, නැතිනම් ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට ද වැඩ කරන්නේ?

    පොකැට්ටුවේ ඩොලර් තියාගෙන තවත් ණය ගන්න එකේ ආණ්ඩුවට ඇති වාසියක් නෑ.

    ReplyDelete
    Replies
    1. //පොකැට්ටුවේ ඩොලර් තියාගෙන තවත් ණය ගන්න එකේ ආණ්ඩුවට ඇති වාසියක් නෑ.//
      ඔබ කියන්නේ මහ බැංකුව සතු සංචිත ගැනනම් මෙය නිවැරදි නැහැ. ඒ මුදල් රජයට වියදම් කළ හැකි පොකැට්ටුවේ ඇති මුදල් නෙමෙයි. රජය විසින් වියදම් කර අවසන් වූ, පසුව මහ බැංකුව විසින් වෙළඳපොළෙන් රුපියල් ගෙවා මිල දී ගත් මුදල්. එකම මුදලක් දෙවරක් වියදම් කළ නොහැකියි. කෙසේවුවත්, රජය බදු මඟින් හෝ වෙනත් ආකාරයකින් රුපියල් වලින් අරමුදල් රැස් කර ගත්තොත් (යම් සීමාවක් දක්වා) විදේශ ණය ගෙවීම සඳහා මේ ඩොලර් සමඟ හුවමාරු කළ හැකියි. ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වෙන්නේ ඊටත් වැඩියෙන් ණය ආපසු ගෙවන අවස්ථාවකදී. යන විදිහට එය වෙන්න තියෙන්නේ ඉතාම නොගිනිය හැකි ඉඩක්.

      Delete
    2. ස්තුතියි.
      මං හිතුවේ ඒ මහ බැංකුව සතු ජංගම ගිනුම් ශේෂය (හෝ එවැනි දෙයක්) කියායි! ඔබ කිවේ මෙසේයි නේද? "කෙටිකාලීන ණය ගෙවීමට අවශ්‍ය තරම් විදේශ මුදල් සංචිත මහ බැංකුව සතුව පැවති බව මගේ අදහසයි. "

      කෙසේ වෙතත් මේ කරුණුවලින් පෙන්නේ මං කලින් ලිපියේ ලියූ දෙය, එනම් රජය කරන්න ඇත්තේ ණය ගෙවීම නොව ණය පොලී වාරික ගෙවීම, කියන කාරණය නේද?

      Delete
    3. මගේ වාක්‍යය පැහැදිලි මදි තමයි. රජය සතුව මුදල් තිබුණත්, එසේ තිබියදී ඩොලර් නැතිකම නිසා ණය ගෙවන්න බැරිවුණොත් එය අවසාන වශයෙන් ණය නොගෙවා සිටීමක් වන නිසා රටට විශාල ප්‍රශ්නයක්. මෙවැනි තත්ත්වයක් මඟ හරවා ගැනීම සඳහා අඩුම වශයෙන් කෙටිකාලීන ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණයවත් නිල සංචිත ලෙස රඳවා ගැනීම තමයි මහ බැංකුවේ පසුගිය කාලයේ ඉලක්කය වුණේ. මා එම වාක්‍යයෙන් අදහස් කළේ එයයි.

      මා හිතන විදිහට ඔබ කියන දෙවන කරුණ හරි. ඇතැම් ණය සම්බන්ධව මේ ණය මුදල් වල තියෙන්නේ මුල් මුදලේ වාරික ගෙවා ඉතිරිය විය යුතුයි. විදේශ ණය වල පොලී ගෙවන්න වෙන්නෙත් ඩොලර් (හෝ වෙනත් එවැනි විදෙස් ව්‍යවහාර මුදලකින්) නිසා ඒ සඳහාත් රුපියල් ඩොලර් කරන්න වෙනවා. ආණ්ඩුව කියන්නේ මේ පොලී ගෙවීම ගැන වෙන්න ඇති. ඩොලර් වලින් නිකුත් කර ඇති සංවර්ධන බැඳුම්කර, ස්වෛරිත්ව බැඳුම්කර ආදියට අදාලවනම් මෙය තරමක් සංකීර්ණ දෙයක්. පොලී සහ මුල් මුදල 'කලවම් වෙලයි' තියෙන්නේ.

      Delete
  3. "රජය විසින් වියදම් කර අවසන් වූ, පසුව මහ බැංකුව විසින් වෙළඳපොළෙන් රුපියල් ගෙවා මිල දී ගත් මුදල්. එකම මුදලක් දෙවරක් වියදම් කළ නොහැකියි"
    මගෙ ඔලුව කැරකෙනව ඕයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ඇනෝ. දැන් රජයට ඩොලර් වලින් ණයක් ලැබුණු විට එය වියදම් කරන්නේ ඩොලර් වලින්ම නෙමෙයි. ආනයන ආදිය සඳහා කොටසක් ඩොලර් වලින්ම ගෙවුවත් ලෝකල් කන්ට්‍රැක්ටර්ලට එහෙම ගෙවන්නේ රුපියල්නේ. ඒ සඳහා ඩොලර් මහ බැංකුවට දීල රුපියල් ගන්නවා. දැන් මහ බැංකුවේ ඩොලර් තිබුණත් රජය ඒ ඩොලර් වලට හරියන්න රුපියල් අරගෙන වියදම් කරලත් ඉවර නිසා ඒ ඩොලර් තවදුරටත් රජයට අයිති නැහැ. ණය ගෙවන්න ඩොලර් ඕනෑ වුන වෙලාවක රජය මහ බැංකුවට නැවත රුපියල් දීලයි ඒ ඩොලර් ටික ආපසු ගත යුත්තේ. ඒ සඳහා රුපියල් හොයන්න ආණ්ඩුව බදු ගහනවා. නමුත් ඔය අතරේ මහ බැංකුව අර ඩොලර් ටික වෙන කාට හරි විකුණලා තිබුණොත් ආණ්ඩුවට රුපියල් හොයා ගෙනත් ණය ගෙවා ගන්න බැරිවෙනවා. ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් කියන්නේ ටිකක් ආසන්නව ඒ වගේ දෙයක්. එවැන්නක් වලක්වා ගන්න මහ බැංකුවේ ප්‍රමාණවත් ඩොලර් සංචිත පවත්වා ගත යුතුයි.

      Delete
  4. මම හිතන්නේ මේ ආණ්ඩුවේ ඇත්ත ප්‍රශ්ණය ඒකේ ආර්ථිකය මෙහෙයවන අය විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තිය සහ ඔවුන් පිටට පෙන්වන ආර්තික ප්‍රථිපත්තියේ වෙනස.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දේශීය ණය ගත්තට ලොකු අවුලක් නැහැ කියා ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් අය සිතනවා.

      Delete
  5. ලෝකේ හැම රටක්ම ණය ගන්නවාද ? නැත්නම් අපි වගේ ඌණ සංවර්ධිත රටවල් විතරද ණය ගන්නේ?

    දේවනි ලෝක යුද්ධෙ කාලේ ලංකාව බ්‍රිතාණ්‍යයට ණය දිපු කතාවක් අහලා තියනවා.. යටත් විජිතයක් කොහොමද තමන්ගේ මව් අධිරාජ්‍යටම ණය දෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මේ ගැන වැඩි විස්තරයක් දන්නේ නැති වුනත්, ලංකා කොලනිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති වෙනම පරිපාලන හා ආර්ථික ඒකකයක් නිසා මෙය විය හැකියි.

      ඉහළ ආදායම් ලබන රටවල් අතරත් අයවැය හිඟයක් දිගටම පවත්වා ගැනීම නිසා රාජ්‍ය ණය දිගින් දිගටම වැඩි වූ රටවල් තියෙනවා. මෑතකදී අර්බුදයට ගිය ග්‍රීසිය උදාහරණයක්.

      http://economatta.blogspot.com/2015/07/blog-post_27.html

      Delete
  6. කොමෙන්ට් මොඩරේට් නම් පරණ ණයක්ම තමා..

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වශයෙන්ම එක් අයෙක් නිසා එය කරන්නට සිදු වී තිබීම කණගාටුවට කරුණක්!

      Delete
  7. මිනිසාගේ "මම" කියන සංකල්පය තියෙන තුරු අවුල් ජාල බිහිවෙන අතර ඒවා විසඳන්න සහ සොයා බලන්නන් ද නූල් බෝල මෙන් පැටලි පැටලී එකම ගැටලු නැවත නැවත දකිමින් ඒත් අත අරින්නේත් නැතුව චක්‍රයක යනවා එක එක පරම්පරාව...

    ReplyDelete
  8. ඔබ හදිසි ණය අවශ්ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ වන්න කැමති නම් අපි එළියට, ව්යාපාර ණය, පුද්ගලික ණය, ශිෂ්ය ණය, මෝටර් රථ ණය ආදිය ලබා: (dakany.endre@gmail.com)

    ණය පර්

    You need an urgent loan? Contact: (dakany.endre@gmail.com) For further information on the loan.

    ReplyDelete
  9. සුබ දවසක්,

    ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.


    සේවාවන් ඇතුළත්:
    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * මුල් පිටුව වැඩිදියුණු
    * නව නිපැයුම්කරු ණය
    * වාහන ණය
    ආදිය ..

    easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

    අපි සහතික,
    විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

    සම්බන්ධයෙන්,
    ඩෙරෙක් ඩග්ලස්
    easyloanfirm2020@gmail.com

    3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්

    ReplyDelete
  10. විශ්වාසවන්ත සේවයට පිළිගන්න

    සුබ දවසක්,
    ඔබගේ මූල්ය අවශ්යතා විසඳා ගැනීමට හදිසි ණයක් අවශ්ය නම්, ඩොලර් 3,000.00 සිට ඩොලර් 1,000,000 දක්වා සිටිමු. Max, අපි විශ්වසනීය, කාර්යක්ෂම, වේගවත් හා ගතිකව විශ්වාසනීයව, 100% සහතික වූ ණයක් ලබා දෙනවා (යුරෝ, පවුම් සහ ඩොලර්). සියලු ණය සඳහා අදාළ වන පොළී අනුපාතය (3%), ඔබ අප වෙත නැවත පැමිණීමට උනන්දු නම්.

    (trustfirm2010@gmail.com): සපයන සේවා:

    * නිවාස වැඩිදියුණු කිරීම
    * ණය නිමැවුම්කරු
    * ණය සම්බන්ධීකරණ ණය
    ව්යාපාර ණය
    * පුද්ගලික ණය.

    අද අප අමතන්න. අප සමඟ ව්යාපාරික කටයුතු කිරීමට අප සතුටු වෙනවා
    විද්යුත් තැපෑල: trustfirm2010@gmail.com

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.