Tuesday, December 20, 2016

ට්‍රම්ප් ඇත්තටම ජනාධිපති ධුරයට!

පසුගිය නොවැම්බර් 8 වන දින පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ බව කවුරුත් දන්නා පරණ කතාවකි. එහෙත්, එදින ඇත්තටම සිදු වූයේ මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයාව තෝරාපත්කරගැනීම නොවේ. ඒ කටයුත්ත කරන මැතිවරණ සාමූහිකය (electoral college) සඳහා නියෝජිතයින් 538 දෙනෙකු පත් කර ගනු ලැබීමයි.

මෙසේ එදින පත් කරගැනුණු නියෝජිතයින් අතරින් 306 දෙනෙකු රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයෝද ඉතිරි 232 දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයෝද වූහ. ඇමරිකානු ජනාධිපතිවරයාව ඇත්තටම තෝරන්නේ මේ නියෝජිතයින්ගේ ඡන්දයෙන් වන අතර ජනාධිපති ධුරයට පත් වීම සඳහා මැතිවරණ සාමූහිකයේ ඡන්ද වලින් අවම වශයෙන් 270ක් අවශ්‍ය වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ඇමරිකානු ජනාධිපති වරයා ලෙස සැලකුනේ ඔහු මැතිවරණ සාමූහිකයේ ඡන්ද 306ක්ම හිමිව තිබුණු රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයා වූ බැවිනි.

කෙසේ වුවද, මැතිවරණ සාමූහිකයේ සාමාජිකයින් තමන්ව තෝරා පත් කර ගැනුණු ඡන්දදායකයින්ගේ කැමැත්ත නියෝජනය නොකරමින් වෙනත් අපේක්ෂකයෙකුව ජනාධිපති ලෙස යෝජනා කරමින් ඡන්දය භාවිතා කිරීමේ හැකියාවක්ද තිබේ. ඇතැම් ප්‍රාන්ත වල නීතියෙන් මේ තත්ත්වය වලක්වා ඇතත් සෑම ප්‍රාන්තයකම එවැනි තත්ත්වයක් නොමැති නිසා මෙවැන්නක් නිතර සිදු නොවුණත්, එවැනි දේ සිදු නොවනවාම නොවේ.

ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ සැබෑ ඡන්දය වන මැතිවරණ සාමූහිකයේ ඡන්දය ඊයේ (දෙසැම්බර් 19) පැවැත්විණ. මෙහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් පහසුවෙන් ජයග්‍රහණය කළත් ඔහුට ලැබුණේ රිපබ්ලිකන් නියෝජිත ඡන්ද 306න් 304ක් පමණි. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට මැතිවරණ සාමූහිකයේ ටෙක්සාස් ප්‍රාන්ත නියෝජිතයින් දෙදෙනෙකුගේ තේරීම වූයේ පිළිවෙලින් මේ වන විට ලිබටේරියන් පාක්ෂිකයෙකු වන රොන් පෝල් හා ඔහායෝ ප්‍රාන්තයේ වත්මන් ආණ්ඩුකාර ජෝන් කේසික්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉහත පරිදි රිපබ්ලිකන් ඡන්ද දෙකක් අඩුවෙද්දී, හිලරි ක්ලින්ටන්ට ඩිමොක්‍රටික් ඡන්ද 232න් පහක්ම නොලැබී ගියේය. මේ ඡන්ද පහෙන් එකක් හවායි ප්‍රාන්තයේ ඡන්දයක් වූ අතර ඉතිරි හතර වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්දයි. හවායි නියෝජිතයාගේ ඡන්දය ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා හිලරි ක්ලින්ටන් සමඟ තරඟ කළ බර්නි සැන්ඩර්ස්ටත්, වොෂින්ටන් ඡන්ද හතරෙන් තුනක් හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවල්ටත්, ඉතිරි ඡන්දය රතු ඉන්දියානු නායකයෙකු වන ෆේත් ස්පොටඩ් ඊගල්ටත් හිමි විය. මෙය ඇමරිකානු මැතිවරණ සාමූහිකයේ ඡන්දයක් රතු ඉන්දියානුවෙකුට හිමි වුනු ප්‍රථම අවස්ථාවයි. මීට අමතරව ජෝන් කේසික් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට උත්‍සාහ කළ කොලරාඩෝ ඩිමොක්‍රටික් නියෝජිතයෙකුගේ හා බර්නි සැන්ඩර්ස් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ/ එසේ උත්‍සාහ කළ මිනසෝටා හා මේන් ප්‍රාන්ත වල තවත් ඩිමොක්‍රටික් නියෝජිතයින් දෙදෙනෙකුගේත් ඡන්ද එම ප්‍රාන්ත වල නීති අනුව අවලංගු කර හෝ වෙනත් විකල්ප නියෝජිතයෙකු යොදවා හිලරි ක්ලින්ටන් වෙත ලැබෙන්නට සැලැස්වූයේ නැතිනම් ඇගේ ඡන්ද ගණන තවත් තුනකින් අඩු විය හැකිව තිබුණේය.

පසුගිය සියවස තුළ මෙවැනි සිදුවීම් වී ඇත්තේ අටවරක් පමණි. ඒ, මැතිවරණ අටකදීය. මේ අයුරින් එකවර මැතිවරණ සාමූහිකයේ ඡන්ද හතක්ම වෙනත් අයට භාවිතා කර තිබීම සුවිශේෂී සිද්ධියකි.


(Image: http://www.democraticunderground.com/10028093015)

52 comments:

  1. හිලරි ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තුන්වන පාරටත් 2016 මැතිවරණය පාරජය වුණා. වරක් නොවැම්බර 8 දා පරාද වුණා. ඊට පසු ජිල් ස්ටයින් හරඹය හරහා නැවත ගණන් කිරීමකින් දිනන්න බලලා සුළුවශයෙන් වුණත් ට්‍රම්ප් ගේ බහුතරය වැඩි වුණා, ඔබ කියන පරිදි electoral college එකේ සාමාජිකයින් faithless electors ලා කරවීමට විශාල ව්‍යාපාරයක් ගෙනගිහින් එයිනුත් ට්‍රම්ප් ට ඡන්ද දෙකක් අහිමි වෙත්දී හිට්ලරි ඡන්ද හතරක් හෝ පහක් අහිමි කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව්. අන්තිමට බැක්ෆයර් වීමක් වෙලා තියෙන්නේ.

      Delete
  2. මේ මනුස්සයා මොනවා කරයිද කියලා ලෝකයම බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මහ ලොකු වෙනසක්නම් වෙන එකක් නැහැ.

      Delete
  3. අන්තිමට කියන්න තියෙන්නේ මහා ලොකුවට කෑ ගැහුවට ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් බවයි. වැඩි චන්ද ගත් කෙනා පරාජය වී අඩු චන්ද ගත් එහෙත් කොහේද සිටින හල්පරුවන් රැලකගේ චන්දයෙන් ජනාධිපති තේරීම ජනටහ්වගේ චන්දය ලඝු කොට දැමීමකි. ඔය එලෙක්ටෝරල් කොලේජ් ක්‍රමය ආවේ සාමාන්‍ය ජනතාවට නිවැරදි තීරණයක් ගත නොහැකි යයි සිතා බැවින් එය ඉවත් කිරීමට දැන් කල් ඇතිය.

    ReplyDelete
    Replies
    1. +1; Every vote should be equal!

      Delete
    2. මේ මැතිවරණයේදී ජනාධිපතිවරයා තේරෙන්නේ රටේම වැඩි ඡන්දයෙන් නොවන බව ඡන්දායකයින් දැනගෙන සිටි දෙයක්. මේ ක්‍රමයට ඇමරිකානුවන් කාලයක් පුරුදු වෙලයි ඉන්නේ. මිනිස්සු ඡන්දය දැම්මේ හෝ නොදැම්මේත්, අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරක කටයුතු කළේත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ ජයග්‍රහණය ලැබීමේ අරමුණින්. ඒ නිසා මේ තේරීම රටේ ජනප්‍රිය ඡන්ද අනුව කළානම් ලැබෙන්නේ මේ ප්‍රතිඵලයම කියා සිතීම වැරදි අදහසක්. එය සමාන කළ හැක්කේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ලංකා සිතියම දිස්ත්‍රික්ක අනුව පාට කිරීමටයි. ඇමරිකාවේ ව්‍යවස්ථාව හදන කාලයේ පැවති තත්ත්ව අනුව හැදූ මේ ක්‍රමය යල් පැනගිය ක්‍රමයක් තමයි. එහි අඩුපාඩු තිබෙනවා. එහෙත්, අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත වලට ජනගහණ ප්‍රතිශතයට වඩා වැඩි නියෝජනයක් ලැබීමේ ලොකු වරදක් මටනම් පෙන්නේ නැහැ. වසර දෙසීයකටත් පසු යුරෝපීය සංගමය විසින් භාවිතා කරන්නෙත් මෙවැනි ඡන්ද ක්‍රමයක් වීමෙන් පෙනෙන්නේ වැඩි බලතල නැති මධ්‍යම රජයක් හා බලවත් ප්‍රාන්ත පාලනයක් සහිත ඇමරිකාවට මේ ක්‍රමය ගැලපෙන බවයි. දැන් යුරෝපීය සංගමය තුළත් මිලියන 3කට ආසන්න ජර්මානුවන් ගණනකට ඡන්දයක් ලැබෙන විට ලක්ෂම්බර්ග් වැනි රටක මිලියන 0.1 කට ඡන්දයක් ලැබෙනවනේ. (ඇමරිකාවේ ප්‍රාන්ත අතර විෂමතාවයන් ඊට වඩා ගොඩක් අඩුයි). එවැනි ක්‍රමයක් නොතිබී හරියටම ජනගහණ අනුපාතය අනුව ඡන්ද බලය තීරණය වුනානම් යුරෝපීය සංගමයේ ලොකුම රටවල් හතර එක පැත්තක සිටින විටක පොඩි රටවල් වල නියෝජනයෙන් කිසිම වැඩක් නැතිව යනවා. ඇමරිකාවේ තියෙන්නේත් එවැනි තත්ත්වයක්. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න පොඩි ප්‍රාන්ත වල කැමැත්ත ගන්න එක ළඟකදීනම් නොවෙන දෙයක්. ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රාන්ත වලින් 3/4ක් අනුමත කළොත් පමණයි.

      Delete
    3. ////මේ මැතිවරණයේදී ජනාධිපතිවරයා තේරෙන්නේ රටේම වැඩි ඡන්දයෙන් නොවන බව ඡන්දායකයින් දැනගෙන සිටි දෙයක්. මේ ක්‍රමයට ඇමරිකානුවන් කාලයක් පුරුදු වෙලයි ඉන්නේ. මිනිස්සු ඡන්දය දැම්මේ හෝ නොදැම්මේත්, අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරක කටයුතු කළේත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ ජයග්‍රහණය ලැබීමේ අරමුණින්. ඒ නිසා මේ තේරීම රටේ ජනප්‍රිය ඡන්ද අනුව කළානම් ලැබෙන්නේ මේ ///////////

      මේ වගේම තත්වයක් තමයි ආසන ක්‍රමය නම් සිස්ටම් එක තුල එංගලන්තෙත් වුනා පහුගිය මැතිවරනේ. උදාහරණයක් හැටියට යුකිප් කාරයෝ සහ ග්‍රීන් පාටි එක ගත්ත රටේම ඡන්ද ප්‍රමානය සහ ආසන ගනන. මේවා ඒ ඒ රටවල් පිලිගත් ඡන්ද සිස්ටම්ස්. ඒවා වෙනස් කරගන්න එක ඔවුන්ගේ රාජකාරියක්.

      Delete
    4. යුරෝපිය ක්‍රමය ඕකට සමාන කරන්න අමාරුයි . යුරෝපයේ තියෙන්නේ රටවල් මිසක් ජනගහනය නොවෙයි. කවුන්සිල් ඔෆ් යුරෝපේ එකේ චන්ද වල විතරයි එහෙම ක්‍රමයක් තියෙන්නේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරාගන්නේ ජනතාවගේ ඩිරෙක්ට් චන්දෙන්. ඇමෙරිකාවේ පනත රාජ්‍ය හා යුරෝපයේ රටවල් වල බලතල වෙනස්. ඒවා ස්වාධින රටවල්. මුළු රටේම ජනාධිපති තෝරන කොට ජනටහ්ව වැඩි ප්‍රාන්තයේ ජනතාවගේ චන්දයට අඩු අගයක් ලැබිල අඩු ජනතාවක් ඉන්න ප්‍රාන්තෙට වැඩි බලයක් ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ජාධිපතිවාය නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාව නිසා. අර අඟහරුවාදා චන්දෙ දාන සින් එකත් විකාරයක් නේ. 1845 තීරණය කරපු නිසා අස්වැන්නෙන් පස්සේ එන්න පළමු අඟහරුවාදා ඒ කාලෙට හරි. දැන් අඩක් නැහැ. ඉලෙක්ටෝරල් කොලේජ් එකත් ඒ වගේ. මහින්ද රාජපක්ෂ මහත්මය දිනුවෙත් ට්‍රම්ප් වගේ අඩු චන්දයකින්. චන්ද වර්ජනයක් තිබ්බ නිසා. හිට්ලර් දිනුවෙත් එහෙමද කොහෙද?

      Delete
    5. ඇමරිකාව කියන්නේ ජනගහණය, ආර්ථිකයේ ප්‍රමාණය හා භූමි ප්‍රමාණය අතින් යුරෝපීය යුනියනයේ සියළුම රටවල් වල එකතුවට සමාන රටක්. මේ කරුණු අතින් යුරෝපයේ එක් රටක් සමඟ සැසඳිය හැක්කේ ඇමරිකාවේ ප්‍රාන්තයක්. මේ එක් එක් ප්‍රාන්තයේ ආර්ථිකය, භූගෝලීය පිහිටීම ඇතුළු ගොඩක් දේ බොහෝ වෙනස්. ලොකු කාලයක් එක්ව සිටි නිසා යුරෝපයේ රටවල් අතර තරම් සංස්කෘතික වෙනස්කම් නැතත් එක් එක් ප්‍රාන්ත වල ජීවත් වන අයගේ අවශ්‍යතා වෙනස්. ඒ නිසා රටේ ජනජීවිතයට බලපාන තීරණ වැඩි ප්‍රමාණයක් ගැනෙන්නේ ප්‍රාන්ත නීති අනුවයි. ප්‍රාන්ත වලට සෑහෙන දුරට ස්වාධීනත්වයක් තියෙනවා. මේ ප්‍රාන්ත වල වැසියන්ට ෆෙඩරල් නීතියට පිටින් උනත් යම් යම් දේ සම්මත කර ගත හැකියි. ෆෙඩරල් නීතියෙන් මරිජුවානා තහනම්ව තියෙද්දී ඇතැම් ප්‍රාන්ත වල එය නීත්‍යානුකූල වී තියෙන්නේ ඒ නිසයි. යුරෝපීය සංගමයේ රටවල් සංගමයක් ලෙස එකතු වූ විටත් එම තනි රටවල ස්වාධීනත්වය සැලකිය යුතු තරමකට යටපත් වෙනවා. යුරෝපීය සංගමයේ රටවල් ඇමරිකාවේ ප්‍රාන්ත වලට වඩා ස්වාධීන වුනත් මුදල් ප්‍රතිපත්තිය වැනි දේ සම්බන්ධව එම ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලයි තියෙන්නේ. තමන්ගේ ස්වාධීනත්වය කැප කරන්න කැමති නැත්නම් බ්රෙක්සිට් වුනා වගේ අයින් වෙන්න වෙනවා. ස්වාධීන රටවල් හා නැති රටවල් කියා ඉරක් ගහල බයිනරි ලෙස වෙන් කරල බලනවට වඩා මේ ස්වාධීනත්වය කියන එක ඩිස්ක්‍රීට් ස්කේල් එකක තියෙන දෙයක් කියල ගත්තොත් මෙය තේරුම් ගන්න පුළුවන් වෙයි.

      ඇමරිකාව තනි රටක් කියල ගත්තත් ප්‍රාන්ත වල ආණ්ඩුකාරවරුන් ඇතුළු නියෝජිතයන් තෝරා පත්කරගන්නේ සෘජු මහජන ඡන්දයෙන්. කොන්ග්‍රස් එකට නියෝජිතයින් පත් වෙන්නෙත් සෘජු ඡන්දයෙන්. රාජ්‍ය නායකයාව පත් කරගැනීම පමණක් පියවර දෙකකිනුයි සිදුවෙන්නේ. දැන් එංගලන්තය ඇතුළු බොහෝ යුරෝපීය රටවල රාජ්‍ය නායකයා වන අගමැති පත් වෙන්නෙත් ඔය විදිහටමනේ. එතකොට ඒ ක්‍රමයේත් රටේ බහුතර ඡන්දය ගත් පක්ෂයෙන් අගමැති පත් නොවී වෙනත් අයෙක් පත් වෙන්න පුළුවන්නේ. එතකොට මේ රටවල් ඔක්කොම "මහා ලොකුවට කෑ ගැහුවට ප්‍රජාතන්ත්‍රවාදය නැති" රටවල්ද? ඔය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ සෘජු ඡන්දයෙන් ජනාධිපති තෝරන ලංකාව, රුසියාව වගේ රටවල්වල විතරද?

      //අර අඟහරුවාදා චන්දෙ දාන සින් එකත් විකාරයක් නේ.// මේකේ පසුබිම කුමක් වුනත් නිශ්චිත ක්‍රමයක් තියෙන නිසා වැඩේ පිළිවෙලකට වෙනවා. ලංකාවේ වගේ කේන්දර බලලා ඡන්ද තියන දවස තීරණය කිරීමක් වෙන්නේ නැහැ. දැන් ඕක අඟහරුවාදා නැතුව බදාදා කළාම විසඳෙන ප්‍රශ්නය මොකක්ද? සෙනසුරාදා ඉරිදා සති අන්තය වීමත් ඔය වගේම තේරුමක් නැති ආගමික පසුබිමක් තියෙන දෙයක්නේ. එයින් ජනජීවිතය වඩා පිළිවෙල වෙනවනම් ඕක විකාරයක් කියලා වෙනස් කරන්න ඕනැද?

      //මහින්ද රාජපක්ෂ මහත්මය දිනුවෙත් ට්‍රම්ප් වගේ අඩු චන්දයකින්. චන්ද වර්ජනයක් තිබ්බ නිසා.// මහින්ද හා ට්‍රම්ප් යන දෙදෙනාම දිනුවේ අදාළ කාල වල එම රටවල පැවති ඡන්ද ක්‍රම අනුව නියම විදිහට. ඡන්දය භාවිතා නොකළ අය ඡන්දය දැමීම වැනි වෙනත් තත්ත්වයක් යටතේ ප්‍රතිඵලය වෙනස් විය හැකිව හෝ නොහැකිව තිබුණා. සිදු නොවූ දෙයක් ගැන අපට හරියටම කියන්න බැහැ.

      Delete
    6. //එය ඉවත් කිරීමට දැන් කල් ඇතිය.//
      පහු ගිය වසර 200 තුළ මේ ක්‍රමය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට යෝජනා 700කට වඩා කොන්ග්‍රසයට ඇවිත් තියෙනවා. නමුත්, මේ ක්‍රමය දිගටම පවතින්නේ පවතින ක්‍රමයට වැඩි සහයෝගයක් දිගටම තිබුණු නිසායි.

      Delete
    7. AnonymousDecember 20, 2016 at 2:26 PM

      Ano,

      Voting Theory itself is a developed subject. Allowing everyone the same number of votes (or one vote) doesn't necessarily mean that they have equal power in an assembly. Please read something I wrote here.

      https://economatta.blogspot.com/2015/06/blog-post_27.html

      This is because people, in many instances, make decisions together as groups but not independently. When a political party system is in place this is the rule than the exception. As a result (usually but not always) bigger groups enjoy more power in decision making than their fair share while small groups virtually have no power at all. The EU voting system was designed taking this factor into consideration. These theories were not developed when the US electoral college system was introduced but as we know now this system serves the purpose to some extent. Still bigger states like Florida enjoy more power in the process of selecting a US President while smaller states virtually have no power, even though the people in smaller states are better represented in the electoral college.

      Delete
    8. මහින්ද රාජපක්ෂ මහත්මය දිනුවේ ප්‍රභාකරන් චන්ද වර්ජනය කරනන් බල කල නිසා. ප්‍රේමදාස මහත් දිනුවේ ජවිපෙ චන්ද වර්ජනය කරනන් භිෂණය ක්‍රියාත්මක කල නිසා. මේ නිසා මේවා ප්‍රජාතන්තවාදී තේරීම් කියන්න අමාරුයි. රුසියාවේ ජනාධිපති තේරීම එතරම් ප්ප්‍රජාතන්ත්‍ර වාදී නැත්තේ රටේ ජනාධිපති ගේ අසීමිත බලය නිසා. එතැනදී මම ඇමෙරිකන් කොන්ග්රෙස්ස්/සෙනෙට් ක්‍රමයට කැමතියි. ජනාධිපති බලතල සීමා වෙනවා.
      නමුත් හිලරි (මම එයාට අකමැති වුනත්) වැඩි චන්ද මිලියන් 2.8 අරන් පරදින කොට එතන ප්‍රශ්නයක් තියනවා. මේ ඉන්නේ ප්‍රාන්ත ජනාධිපති කෙනෙක් මිසක් රටේ ජනාධිපති නෙමේ.

      http://www.independent.co.uk/news/world/americas/hillary-clinton-3-million-popular-vote-donald-trump-us-election-a7487901.html
      // එතකොට ඒ ක්‍රමයේත් රටේ බහුතර ඡන්දය ගත් පක්ෂයෙන් අගමැති පත් නොවී වෙනත් අයෙක් පත් වෙන්න පුළුවන්නේ.//
      අනික තමා එංගලන්තේ එහෙම අගමැති කෙනෙක් පත්වුණු සිද්ධියක් මම තවම දන්නේ නැහැ. වැඩි පක්ෂ ගණනක සහයෝගය ඕනේ. ඒ කියන්නේ එකතු කලොත් එන්නේ බහුතරය. නමුත් එතනත් වැරැද්දක් තියනවා ඔය කියන විධිහට එහෙම වෙන්න පුළුවන් නිසා. එහම නම් ජර්මනියේ සමානුපාතික ක්‍රමය තමා වඩා හොඳ.

      Delete
    9. //මහින්ද රාජපක්ෂ මහත්මය දිනුවේ ප්‍රභාකරන් චන්ද වර්ජනය කරනන් බල කල නිසා. ප්‍රේමදාස මහත් දිනුවේ ජවිපෙ චන්ද වර්ජනය කරනන් භිෂණය ක්‍රියාත්මක කල නිසා. මේ නිසා මේවා ප්‍රජාතන්තවාදී තේරීම් කියන්න අමාරුයි.//
      දැන් එතකොට කවුරු හරි කොටසක් ඡන්දය වර්ජනය කරනවානම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙන්නේ ඒ ඡන්ද වර්ජනය පිටින් දාලා ඡන්ද ප්‍රතිඵලය අවලංගු කරල දිගටම බලයේ ඉන්න එකද?

      //මේ ඉන්නේ ප්‍රාන්ත ජනාධිපති කෙනෙක් මිසක් රටේ ජනාධිපති නෙමේ.//
      රටේ තිබුණු ඡන්ද ක්‍රමය අනුව ට්‍රම්ප් ජනාධිපති වෙලා තියෙනවා. මම ඡන්දේ දැම්මෙත් ට්‍රම්ප්ට නෙමෙයි. ඒත් පැවති ක්‍රමය අනුව ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලැබුවා. ක්ලින්ටන් කඳවුර හෝ ට්‍රම්ප් කඳවුර රටේම වැඩි ඡන්ද ගන්න උත්සාහ කළේ නැහැ. දෙගොල්ලම බර දැම්මේ ස්වින්ග් ස්ට්ටේස් වලටයි. එහෙම කරලත් ක්ලින්ටන් පැරදුනා. ඊට පස්සේ හිතේ අමාරුවට බොරු තර්ක දාල වැඩක් නැහැ.

      Delete
    10. ඉකොන්මැට්ස්.....ෆරාජ්ලා එංගලන්තයෙ පහුගිය මැතිවරනයෙන් පස්සේ මැතිවරන සංශෝධනයක් ගැන ඤරු ඤුරුවක් ගෑවා. ඒත් ෆරාජ් කියන්නේ තව දුරටත් බලපෑම් කල හැකි පුද්ගලයෙක් හෝ කංඩායමක් කියා මම හිතන්නේ නැහැ. මේ ක්‍රම ඒ ඒ රටවල අරටු බැහැලා තියෙන්නේ. ඉලෙක්ශන් එකෙන් ඉලෙක්ශන් එකට එක එක පක්සෙට ඕන විදිහට වෙනස් වෙන එකක් නැහැ.

      Nigel Farage calls for snap general election to be held under proportional representation

      Delete
    11. //අනික තමා එංගලන්තේ එහෙම අගමැති කෙනෙක් පත්වුණු සිද්ධියක් මම තවම දන්නේ නැහැ.//
      1951 මැතිවරණයේදී රටේම ඡන්ද ගණන බැලුවනම් දිනන්නේ චර්චිල් නෙමෙයි. කම්කරු පක්ෂයේ ඇට්ලි. (එහෙම වුනානම් තව ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා කියලත් ඕනෑනම් කියාන්න පුළුවන්. )

      කොන්සර්වේටිව් ඡන්ද- 13,717,850 (48%)
      කොන්සර්වේටිව් ආසන- 321

      කම්කරු පක්ෂය ඡන්ද-13,948,385(48.8%)
      කම්කරු පක්ෂය ආසන-295

      ඕක ප්‍රශ්නයක් කියල හිතනවනම් එංගලන්තයට ඔහොම වෙන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යෝජනා කරන්න.

      ඔය වැනි දෙයක් සෘජු ඡන්දයෙන් රාජ්‍ය නායකයා තෝරන්නේ නැති ඕනෑම රටක වෙන්න පුළුවන්. ඡන්ද ක්‍රමය හැමදාම වෙනස් කර කර තවම අත්හදා බලමින් ඉන්න ජර්මනියේත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්.

      එක් රටට හරියන මැතිවරණ ක්‍රමය ඒ රටේ ජනතාවගේ තේරීමක්. ඒක හැම රටකටම එකම ක්‍රමයක් වෙන්න ඕනෑ නැහැ. ප්‍රශ්නයක් තියෙන්නේ රටේ ජනතාවට කැමති විදිහට එය වෙනස් කරගන්න බැරිනම්.

      Delete
    12. //මේ ක්‍රම ඒ ඒ රටවල අරටු බැහැලා තියෙන්නේ. ඉලෙක්ශන් එකෙන් ඉලෙක්ශන් එකට එක එක පක්සෙට ඕන විදිහට වෙනස් වෙන එකක් නැහැ.//
      රටක ජනතාව පුරුදු වී සිටින ක්‍රමය කාලයක් එක දිගට නොවෙනස්ව තියෙන එක හොඳයි. නැත්නම් වෙන්නේ එක් එක් පක්ෂය විසින් තමන්ට වාසිදායක ලෙස ක්‍රමය වෙනස් කිරීම. අනිත් එක ක්‍රමය වෙනස් කර කලක් යන කොටයි එහි අවුල් පේන්නේ. දැන් ජර්මනියේ දිගින් දිගටම ලෝසූට් එන්නේ ඒකනේ.

      Delete
    13. //එකොන් අපි එමොෂනල් නොවී ප්‍රශ්නය දිහා බලමු.//

      කිසිම ඉමොෂනල් වීමක් මෙතන නැහැ. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් කියන දරුණු ප්‍රකාශය කළාම ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. යුරෝපයේ හැම රටකම වගේම රාජ්‍ය නායකයා තෝරන්නේ ඡන්දයකින් පත්වුණු නියෝජිතයන් විසින් මිසක් සෘජුවම මහජන ඡන්දයෙන් නෙමෙයි. ඇමරිකාවෙත් වෙන්නේ එයයි. මම දන්නා තරමින් දේශපාලන පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගැනීම මහජන ඡන්දයෙන් සිදුවන එකම රට ඇමරිකාව. එවැනි වෙන රටවල් තිබෙනවද කියා මම දන්නේ නැහැ.

      //අවංකවම කියනවා නම් ට්‍රම්ප් හොඳයි වගේ මට නම් දැනට. හිලරි කියන්නේ මම කැමති කෙනෙක් නෙමේ.//

      ඇමරිකාව වගේ ජනාධිපතිට ලොකු බලයක් නැති රටක මටනම් මෙහි ප්‍රශ්නයක් නැහැ. දෙදෙනාගේම ප්‍රතිපත්ති වල මම අකැමැති දේවල් තියෙනවා. ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියටත්, අයවැය හිඟය වැඩි කිරීමට තුඩු දිය හැකි ක්‍රියාමාර්ග වලටත් මම කැමති නැහැ. එහෙත්, ඇමරිකාවේ රාජ්‍ය ව්‍යුහයේ තියෙන බලතුලනය අනුව කවුරු ජනාධිපති වුනත් තමන්ට කැමති දේවල් කරන්න බැහැ.

      //නමුත් රටේ ම ජනාධිපති මිලියන් 2.8 චන්දයක් නොලැබී පත්වීම මටනම් ප්‍රශ්නයක්//

      අජිත්ට එය ප්‍රශ්නයක් වෙන්නේ ඇමරිකාව කියන්නේ ලංකාව වගේ ඒකීය රටක් කියල හිතාගෙන ඉන්න නිසයි. ඇමරිකාව කියන්නේ ප්‍රාන්ත එකතුවක්. ෆෙඩරල් රජයට ජනතාව සතු බලය එන්නේ ප්‍රාන්ත හරහා. සංකල්පීය ලෙස ගත්තොත් එංගලන්තයේ වගේ රැජින සතු බලය උඩ සිට පහළට ඇවිත් ජනතාවට එන්නේ නැහැ. ඇමරිකානු මැතිවරණ ක්‍රමය අනුව රටේ මුළු ඡන්ද එකතුව වැඩි වීම ජනාධිපති ලෙස තේරෙන්න සුදුසුකමක් නෙමෙයි. ඒක එච්චරයි. යම් හෙයකින් එය ඒ වගේ වුනානම් තේරෙන්නේ ඇමරිකාවේ කවුන්ටි වලින් 10-20% ප්‍රමාණයක පමණක් වැඩි බලය ඇති, රටේ වැඩි ප්‍රාන්ත හා ප්‍රදේශ ගණනක සහයෝගයක් නැති ලොකු නගර කිහිපයක පමණක් නියෝජිතයෙක් වන ජනාධිපති කෙනෙක් කියා කෙනෙක්ට තර්ක කරන්නත් පුළුවන්.

      https://en.wikipedia.org/wiki/United_States_presidential_election,_2016#/media/File:2016_Presidential_Election_by_County.svg

      නමුත්, මෙය තේරුමක් නැති තර්කයක් වන්නේ මිනිස්සු ඡන්දය ප්‍රකාශ කරන්නේ පවතින මැතිවරණ ක්‍රමයට සාපේක්ෂව නිසා. වෙන ක්‍රමයක් තිබුණානම් ඔය ප්‍රතිඵලය ඔය විදිහටම ලැබෙනවා කියල කියන්න බැහැ.

      //මම අපක්ෂපාති චන්ද කොමසාරිස් නම් මම ඒ දෙකම අවලංගු කරනවා.//

      ඔය වැඩේ කොයි තරම් කාලයක් කරන්නද? එයින් වෙන්නේ ඡන්ද නොතියා දිගටම බලයේ ඉන්න දැනට ඉන්න අපේක්ෂකයාට වක්‍රව උදවු කිරීමක්. අඩුපාඩු සහිතව වුවත් පවතින තත්ත්වය යටතේ හැකිතාක් හොඳින් ඡන්දය පැවැත්වීමයි කළ යුත්තේ. එහෙමනම් ජේආර් ලස්සනට තව සෑහෙන කලක් ඉඳියි. 1989දී මම මරණ තර්ජන වලට මුහුණ දෙමින් පළමු වරට ඡන්ද රාජකාරි ගියේ මැතිවරණයක් කියන්නේ රාජ්‍ය පාලනයට ලංකාවේ මා වැනි පුරවැසියෙකුට මැදිහත්වීමක් කළ හැකි එකම අවස්ථාව බව ඒ කාලයේත් යන්තමින් හෝ තේරුණු නිසයි. 2005දී නම් මම හිටියේ ඔබ දැන් සිටින රටේ. ඒ නිසා මැතිවරණ රාජකාරි යාම තබා ඡන්දයවත් දමන්න ලැබුනේ නැහැ.

      //ජේ ආර් ක්‍රමේ වෙනස් කලෙත් 1970 සමගි පෙරමුණු රජය බලයට ආවේ සමස්ත චන්ද සංඛ්‍යාවෙන් අඩු ප්‍රතිශතයක් අරගෙන නිසා නේ.//

      නිදහසින් පසු 1956 හැර 1977 දක්වා සෑම මැතිවරණයකින්ම වැඩිම ඡන්ද ගත්තේ එජාපයයි. ඒත් සෑම වසර පහකටම වරක් එජාපය පැරදුනා. මේ දත්ත අනුව ජේආර් සමානුපාතික නියෝජන ක්‍රමය ගෙනාවේ හැමදාම එජාපය බලයේ තියන්නයි. නමුත්, එසේ කිරීමේදී ඔබ දැන් තේරුම් නොගන්නා දෙය ජේආර් තේරුම් ගත්තේ නැහැ. මිනිස්සු කියන්නේ අවස්ථාව අනුව චර්යාවන් වෙනස් කරන, පරිගණකයක් වගේ නීතියකට වැඩ නොකරන කොට්ඨාශයක් බව ඔහු තේරුම් ගත්තේ නැහැ. ආසන ක්‍රමය යටතේ ඡන්ද වැටෙන විදිහටම වෙනත් ක්‍රමයක් යටතේ ඡන්ද වැටෙන්නේ නැහැ. ඒ නිසා අවසාන ප්‍රතිඵලය වුනේ එජාපයට කලින්ටත් වඩා විශාල කාලයක් විපක්ෂයේ ඉන්න සිදු වීමයි. දැන් එංගලන්තයේ මැතිවරණ ක්‍රමය වෙනස් කළත් ටික කලකින් මිනිස්සු ඒ ඡන්ද ක්‍රමය අනුව ඡන්ද දමන පිළිවෙළ වෙනස් කරනවා. ඒ නිසා 1951 ඡන්දය දෙස බැලිය යුත්තේ එවකට පැවති (සහ දැනටත් එංගලන්තයේ පවතින) ක්‍රමයට සාපේක්ෂවයි.

      Delete
    14. අජිත්ගේ කමෙන්ට් එක කුමක් හෝ හේතුවකින් පබ්ලිෂ් වෙලා නැහැ කියල දැනුයි දැක්කේ. ඒක ඩිලීට් කළාද? මගේ අතින් ඩිලීට් වෙලානම් ඊමේල් එකෙන් අරගෙන දාන්නම්.

      Delete
    15. නැහැ මම ඩිලීට් කලේ නැහැ.

      Delete
    16. approvalකරන්න ඕනේ නිසා ඔයාගේ අතින් මොකක් හරි වෙන්න ඇති. නැත්නම් ස්පෑම් යන්න ඇති.

      Delete
    17. කිසියම් හේතුවකින් පළ නොවූ අජිත්ගේ කමෙන්ට් එක. මෙය උඩින් තිබිය යුතු එකකි.

      Ajith Dharma has left a new comment on your post "ට්‍රම්ප් ඇත්තටම ජනාධිපති ධුරයට!":

      //ඊට පස්සේ හිතේ අමාරුවට බොරු තර්ක දාල වැඩක් නැහැ.//
      එකොන් අපි එමොෂනල් නොවී ප්‍රශ්නය දිහා බලමු. අවංකවම කියනවා නම් ට්‍රම්ප් හොඳයි වගේ මට නම් දැනට. හිලරි කියන්නේ මම කැමති කෙනෙක් නෙමේ. ආව නම් අර ඊයේ රුසියාව හා තුර්කිය එකතු වෙලා කරදරයක් නැතුව අලෙප්පෝ වල මිනිස්සු ඉවත් කරපු එකවත් කරන්න දෙන්නේ නැහැ. කෙලවල දානවා. එයාගේ හැටිනේ ඒ. නමුත් රටේ ම ජනාධිපති මිලියන් 2.8 චන්දයක් නොලැබී පත්වීම මටනම් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මුළු චන්ද දුන් සංඛ්‍යාව 138,884,643 වෙද්දී හිලරිට 2% වැඩියෙන් ලැබෙනවා. හුඟක් රටවල දිනන ජනාධිපති දිනන්නේ ඔයිට වඩා අඩු ගණනකින්.

      //දැන් එතකොට කවුරු හරි කොටසක් ඡන්දය වර්ජනය කරනවානම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙන්නේ ඒ ඡන්ද වර්ජනය පිටින් දාලා ඡන්ද ප්‍රතිඵලය අවලංගු කරල දිගටම බලයේ ඉන්න එකද? // ප්‍රභාකරන් චන්ද බලෙන් වර්ජනය කලේ. භිෂණය මගින්. මිනිස්සු කැමැත්තෙන් වර්ජනය කලා නෙමේ. එසේම ප්‍රේමදාසගේ කලත් එහෙමයි. මම අපක්ෂපාති චන්ද කොමසාරිස් නම් මම ඒ දෙකම අවලංගු කරනවා. (මම 2005 දී සහයෝගය දුන්නේ මහින්දට. හැඳුනුම් කමක් නිසා )
      //1951 මැතිවරණයේදී රටේම ඡන්ද ගණන බැලුවනම් දිනන්නේ චර්චිල් නෙමෙයි. කම්කරු පක්ෂයේ ඇට්ලි. (එහෙම වුනානම් තව ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා කියලත් ඕනෑනම් කියාන්න පුළුවන්. )

      කොන්සර්වේටිව් ඡන්ද- 13,717,850 (48%)
      කොන්සර්වේටිව් ආසන- 321
      කම්කරු පක්ෂය ඡන්ද-13,948,385(48.8%)
      කම්කරු පක්ෂය ආසන-295
      // ඉතින් මේක වැරදියි කියල හිතෙන්නේ නැත්ද? මෙහෙත් දැන් සමානුපාතික ක්‍රමයක් ගැන කතා කරන්නේ ඒකයි. සමහර විට වෙනස් කරයි.
      ජේ ආර් ක්‍රමේ වෙනස් කලෙත් 1970 සමගි පෙරමුණු රජය බලයට ආවේ සමස්ත චන්ද සංඛ්‍යාවෙන් අඩු ප්‍රතිශතයක් අරගෙන නිසා නේ.

      Delete
  4. ට්‍රම්ප්ස් ඇවිල්ලා තියෙන නිසා ඕමියක් ගහයිද කපෝති වෙන්නම..

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප්ස් වහල ගහන 304ට වඩා ඕමි හොඳයි.

      Delete
    2. ට්‍රම්ස්ලා ගේ හරි නම ට්‍රම්ප් නොවෙයි Drumpf නේද? ජර්මන් Drumpf නම ලේසියට කියන්න පසුව වෙනස් කරලා!

      Delete
    3. ඔව්. මුලින් ඔවුන්ගේ වාසගම වී තිබෙන්නේ එයයි.

      Delete
    4. And sounds perilously close to "Dumb" ?

      Delete
  5. //මැතිවරණ සාමූහිකයේ සාමාජිකයින් තමන්ව තෝරා පත් කර ගැනුණු ඡන්දදායකයින්ගේ කැමැත්ත නියෝජනය නොකරමින් වෙනත් අපේක්ෂකයෙකුව ජනාධිපති ලෙස යෝජනා කරමින් ඡන්දය භාවිතා කිරීමේ හැකියාවක්ද තිබේ.//

    මේ විදියේ සිදුවීමක් නිසා මුලින් තේරී පත්ව සිටි ජයග්‍රහකයා වෙනුවට වෙනත් අයෙක් ජයගත් අවස්ථාවක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. එවැන්නක් වෙලා නෑ, මනෝජ්.

      Delete
  6. ඇමරිකාවෙ සිස්ටම් එක අනිත් රටවලට සංසංදනය කරලා හොඳ නරක කියන්න අමාරුයි නේද?
    අයිතිහාසිකව එක් එක් කාලවල එකතු කරගත් ප්‍රාන්ත සමූහයක්නෙ තියෙන්නෙ. ප්‍රංශයෙන් , මෙක්සිකෝවෙන් ගත්ත ඒවා, අල්ලගත්ත ඒවා, ජොයින් වෙනකොට වෙනස් කොන්දේසි මත ආපු ඒවා, ටෙක්සාස් ඉතා සුලු කාලයක් රිපබ්ලික් එකක් වශයෙනුත් හිටියනෙ, තාමත් කොන්ෆෙඩරේට් සිම්පතයිසර්ලා, රීකන්ස්ටෘක්ශන් කාලෙ වුන දේවල්වලට තාමත් තරහ අය,ෆෙඩරල් ආණ්ඩුවේ බලය තවත් අඩු විය යුතුයි කියන අය, කිසිම ආණ්ඩුවක් තිබිය නොයුතුයි කියන ෆ්‍රන්ටියර් ස්පිරිට් වගේ අය.
    ඔය කැඳ හැලියකදී සිම්පල් පුද්ගල චන්දයකින් පත් කිරීම අසාධාරණයි හෝ ඇමරිකන් ක්‍රමයට හෝ ස්පිරිට් එකට විරුද්ධයි ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි, ප්‍රාජේ! ඔය ලිස්ට් එකට ප්‍රාන්ත ඇතුලෙ තැනින් තැන තියෙන විවිධ ගෝත්‍ර වලට අයිති රතු ඉන්දියන් කොලනිත් ඇතුලත් විය යුතුයි. ඒවායේ තියෙන්නේ ඒ අයගේ නීති. ඇතැම් ප්‍රාන්ත වලට එකතු වූ කොන්දේසි අනුව පහසුවෙන් ඉවත් වීමේ හැකියාවත් තියෙනවා. ඒ වගේම ඇමරිකාව කියන්නේ වෙනත් කිසිම රටක පුරවැසිකමක් නැතුව ඇමරිකන් පුරවැසිකමෙන් ඉවත්වෙන්නත් ඉඩදෙන රටක්. ඔය ඓතිහාසික පසුබිම ගැන අවබෝධයක් නැතුව ඇමරිකාව තමන් දන්නා වෙනත් රටක් හෝ රටවල් සමඟ සසඳන කෙනෙක්ට මෙය තේරෙන්නේ නැහැ.

      Delete
    2. Ok say I will accept what both of you are saying. I don't like that econ's assertion that I don't know about American system . I search and read lot before I comment . Any way even econ does not accept what I wrote about Afghan situation when us supported taliban . If us thinks and econ think us system is fair and others should not criticise it then us should stay away from other countries too. They should stop exporting democracy to rest if the world . If you do you should know you are open to criticism for your own behaviour .

      Delete
    3. I am in Germany st the moment . I will post in Sinhalese when I come back . Sorry about that .

      Delete
    4. //If us thinks and econ think us system is fair and others should not criticise it//
      අජිත් ඉංග්‍රීසියෙන් කමෙන්ට් එක දමා තියෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් හේතුවෙන් නිසා මම සිංහලෙන් පිළිතුරු දෙන්නම්. ඇමරිකන් සිස්ටම් එක හෝ වෙනත් ඕනෑම දෙයක් (මතවාදීව) විවේචනය කරමින් මෙහි කමෙන්ට් කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ.විවේචන සාධාරනනම් හා/හෝ කරුණු මත හා/හෝ තර්කනුකූලව පිළිගත හැකිනම් ඒවා පිළිගන්න පමණක් නෙමෙයි මගේ අදහස් වෙනස් කරගන්න වුනත් මම මැලිවෙන්නේ නැහැ. හැබැයි කිසිම පිළිගත හැකි පදනමක් නැතුව, අර සමහර අය ඇනෝ කමෙන්ට් ගැන චෝදනා කරන ආකාරයට කරන විවේචන මට පිළිගන්න බැහැ. කරුණු අනුව හෝ තර්කානුකූලව විචේචනයක් සාධාරණ නැති බව පෙනෙන විට මම එය ප්‍රශ්න කරනවා. එසේ නොකළොත් මෙය කියවන අය කමෙන්ට් එක මා විසින් අනුමත කළ බව හිතන්න ඉඩක් තියෙනවා. සමහර විවේචන සමඟ මම එකඟ නැතත් දැනට මම දන්නා කරුණු අනුව මට ප්‍රති-තර්කයක් ගේන්න අමාරුනම් ඒත් මම නිහඬව ඉන්නවා. මම විශ්වාස කරන දේවල් වෙනුවෙන් වුනත් පදනමක් නැතුව පෙනී සිටින්න මම කැමති නැහැ.

      ඇමරිකාවේ ඡන්ද ක්‍රමය නොගැලපෙන බව ඇමරිකානුවන් සිතනවානම් එය වෙනස් කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් ඇමරිකාවේ තියෙනවා. එවැනි උත්සාහයන් 700කට වැඩි ප්‍රමාණයක් සාර්ථක වී නැත්තේ අවශ්‍ය තරම් සහයෝගයක් නොලැබුණු නිසයි. දැන් මේ ජනප්‍රිය ඡන්දයෙන් රාජ්‍ය නායකයා නොතේරීම කියන එක පදනම්ව අජිත් කියනවා 'මහා ලොකුවට කෑ ගැහුවට ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක්' කියලා. මේ තර්කය අනුව, එංගලන්තය, ජර්මනිය ආදී රටවලුත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටවල්. එංගලන්තයේ මෙවැනි දෙයක් සිදුවී ඇති බව දන්නේ නැහැ කියූ විට මම ඒ සඳහාත් උදාහරණයක් පෙන්නුවා. ජර්මනියේ තියෙනවා වැනි සමානුපාතික ක්‍රමයක් යටතේත් මෙය සිදුවිය හැකියි. එවැන්නක් තවම සිදුවී නැත්නම් ඒ ක්‍රමය හඳුන්වා දී වැඩි කලක් නැති නිසයි. අවශ්‍යනම් කෘතීම උදාහරණයකින් එය විය හැකි බව පෙන්විය හැකියි. එතකොට අජිත්ගේ තර්කය අනුව මේ කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදය නැද්ද? දැන් අජිත් රුසියාවේ සහ ලංකාවේ පවතින තත්වයනුත් විවේචනය කරනවා. එතකොට අජිත් කියන ප්‍රජාතන්ත්‍රවාදය ධනවාදය ඉවර වෙලා කොමියුනිස්ට් ක්‍රමයක් ආවට පස්සේ හැදෙන එකක්ද? මටනම් පැහැදිලි නැහැ.

      //කොහේද සිටින හල්පරුවන් රැලකගේ චන්දයෙන් ජනාධිපති තේරීම ජනටහ්වගේ චන්දය ලඝු කොට දැමීමකි//
      දැන් මේ තර්කය අනුව ආසන ක්‍රමය හෝ සමානුපාතික නියෝජන ක්‍රමය තියෙන රටක අගමැති තෝරන්නෙත් කොහෙද ඉන්න හාල්පාරුවෝ ටිකක් කියලද අජිත් කියන්නේ?

      අනෙක් දේවල් ගැන කියන්න තියෙන්නෙත් ඒකයි. මාධ්‍ය වල ඇති තොරතුරු බොරු කියා ඔබ 'ඇත්ත' ඉදිරිපත් කරන විට ඒවා ඔබේ ඔලුවේ තියෙන හිතළු පමණක් නොවන බව ඔබ තහවුරු කළ යුතුයි. ඔබේ මත කුමක් වුවත් ඒවා ඔබේ මත පමණක් ලෙස සලකා මත පිළිගත හැකි වුවත් ඔබ ඉදිරිපත් කරන කරුණු පිළිගත හැකි සාධක නැතුව එසේ පිළිගත නොහැකියි.

      Delete
    5. අද උදේ ආපහු ආවේ. ඒ නිසා සංවාදය ටිකක් මිස් උනා.
      // එසේ නොකළොත් මෙය කියවන අය කමෙන්ට් එක මා විසින් අනුමත කළ බව හිතන්න ඉඩක් තියෙනවා// මම නම් හිතන්නේ නැහැ එහෙම කවුරුත් හිතයි. ප්‍රතිචාරය දාන කෙනාගේ මතයනේ කොමෙන්ටුවේ තියෙන්නේ.
      //එංගලන්තයේ මෙවැනි දෙයක් සිදුවී ඇති බව දන්නේ නැහැ කියූ විට මම ඒ සඳහාත් උදාහරණයක් පෙන්නුවා// මේ පෙන්වූ උදාහරණයේ කිසියම් වැරැද්දක් තිබෙනවා. ඒක තමා මේ එංගලන්ත චන්ද ක්‍රමය 1970 මැතිවරණයේ උනා වගේ රජය පරද වෙන්නේ අසන ගානින් බව. ආසනවලට චන්දෙ දෙන්නේ මිනිස්සු. එක චන්දයකින් තෝරන්නේ එක මන්ත්‍රී. ඒ මන්ත්‍රී පසුව අගමැති තෝරන්නේ. ඒ නිසා මෙතන මේ ප්‍රතිඵලය ප්‍රජතාන්තන්ත්‍ර වාදියි. චන්දදායකයා කෙලින්ම තෝරන්නේ මන්ත්‍රී මිසක් අගමැති නොවෙයි. එතන ඔබ කියන ප්‍රශ්නය වෙන්නේ නැහැ.
      http://www.bbc.co.uk/news/special/politics97/background/pastelec/ge51.shtml
      මේ තර්කය මාග්‍රට් තැචර් ට දැම්ම. අය 43% ගන්න කොට රටේ 47% ඇයට විරුද්ධ බව. ඇය කිව්වේ මිනිස්සු චන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයට අනුකූලව බව. මම ඒක පිලිගන්නවා. මොකද මිනිසුන් පක්ෂයට සහ මන්ත්‍රීට දුන්නේ චන්දය. ඔබේ ලොජික් එකේම අනිත් පැත්ත. නමුත් මේ ක්‍රමය වැරදි තිබෙන නිසා තමා මම හිතන්නේ ජේ ආර් ගේ සමානුපාතික ක්‍රමය හොඳ බව. සුළුතර නියෝජනයත් සලක බලා තිබෙනවා. . ඒක හොඳ ප්‍රජාතන්ත්‍ර වාදී පියවරක්. නමුත් අනිත් හැමදේම වගේ ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල වැඩි කරලා දුන්න දේ අපහු උදුරා ගත්ත .

      Delete
    6. ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ඩිමොක්‍රසි කියන්නේ මොකක්ද? විකිපෙදිය හැටියට නම්: Democracy (Greek: δημοκρατία, Dēmokratía literally "rule of the commoners"), in modern usage, is a system of government in which the citizens exercise power directly or elect representatives from among themselves to form a governing body, such as a parliament.[1] Democracy is sometimes referred to as "rule of the majority".[2] Democracy was originally conceived in Classical Greece, where political representatives were chosen by a jury from amongst the male citizens: rich and poor. මේක පිළිගන්න පුළුවන්නේ. වැඩි දෙනාගේ චන්දයෙන් නියෝජිතයන් තේරීම.

      Delete
    7. ජර්මනියේ සිස්ටම් එක ඇවිත් තියෙන්නේ 1957. වැරදෙනවනම් දැන් කල් ඇති. තුර්කින් වගේ ජාතීන්ගේ නියෝජනයක් තිබීම නිසා එතන වඩා දධරනත්වයක් හා සර්ව ජන චන්ද බලයක් තියනවා. https://en.wikipedia.org/wiki/Electoral_system_of_Germany
      1836 ඇමෙරිකා චන්ද්දී කළු ජාතික වහලියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් තිබු ජොන්සන් පරාද කලේ ඔය වගේ ඉලෙක්ටර් කෙනෙක්. නමුත් උසාවි ගිහින් සහ පක්ෂයේ (ඩිමොක්‍රටික්) බලපෑමෙන් ඔහු දිනුවා. ඔය ක්‍රමයේ වැරැද්ද ඒකයි. ඉලෙක්ටර් ලාගේ නමවත් දමන්න අවශ්‍ය නැහැ බැලට් පේපර් එකේ. (සමහර ප්‍රාන්ත වල දානවලු දන්නේ නැහැ) ඉතින් ඔය මම හාල්පාරුවෙක් යනුවෙන් හැඳින්වූ අය එන්න ලෙහෙසිම ක්‍රමයක්. අඳුරන අය , ෆ්රිමේසන් අය සහ වෙනත් ලොබි ගෘප් වල අය (මම ෆ්රිමේසන් එකේ හිටි නිසා මේ ගැන නම් දනනවා. ඔප්පු කරලා ලියන්න නම් බැහැ) ඔතනට එනවා.
      එංගලන්තේ අඩුම ගානේ චන්දෙ දෙන මන්ත්රිව අපි දන්නවා.
      About the Electors
      Electoral college: What is it, and is it really the best system

      Delete
    8. //එතකොට අජිත් කියන ප්‍රජාතන්ත්‍රවාදය ධනවාදය ඉවර වෙලා කොමියුනිස්ට් ක්‍රමයක් ආවට පස්සේ හැදෙන එකක්ද// ප්‍රජාතන්ත්‍ර වාදය ගැන නේ අපි කතා කළේ. ධනවාදය ඉවර වෙලා එන ක්‍රමයක් තියනවනම් ප්‍රජාතන්ත්‍රවාදය (බහුතරයේ කැමැත්ත) ම නොවී බහුතරය හා සුළුතරය එක්ව වඩා ලෝකලයිස් වෙෂ්හ්හ ක්‍රමයකට මම වැඩ කැමතියි. ඒ කියන්නේ බලය යටට බෙදී ගිය.
      සෝවියට් දේශය වගේ රටවල් වල හිටියේ ඔය මම කියපු විධිහේ හාල්පාරුවෝ. තනි පක්ෂයට නේ බලය තිබුනේ. පක්ෂෙන් දාල තියෙනේ ලිස්ට් එකට චන්දෙ දෙන්න ඕනේ. සමහර අය දන්නවා කවුද කියල. සමහර අය දන්නේ නැහැ කිසි කෙනෙක්. එතැන ගියේ නිකම් බොරුවක් විතරයි. අනික උන් ගොඩක් පක්ෂයට බැඳෙන්නේ වාසි බලාගෙන. මිනිස්සුනට චන්දෙ දෙන්න වෙන්නෙත් එවැනි එවුන්ට. ඉතින් පරණ සමාජවාදී රටවල වුනේ සුළුතරය විසින් බහුතරය පාලනය කිරීමක් එක පැත්තකින්. නමුත් නිර්ධන පංති ආඥා දායකත්වය කියන්නෙත් ඒකාධිපතිවාදයක් නේ. එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.

      //දැන් මේ තර්කය අනුව ආසන ක්‍රමය හෝ සමානුපාතික නියෝජන ක්‍රමය තියෙන රටක අගමැති තෝරන්නෙත් කොහෙද ඉන්න හාල්පාරුවෝ ටිකක් කියලද අජිත් කියන්නේ// මේකට මම දුන්න ඉහත පිළිතුරු සැහේවී කියල හිතනවා. අපේ මන්ත්‍රී අපට වග කියනවා. මෙහෙ ඉන්න එකිත් එහෙමයි. ඊයේ පෙරේදත් හෙන වලියක් දාගත්ත මම. එක චන්දයකයා එක චන්දය , ඔවුන්ගෙන් තොරණ සමහර අය හාල්පාරුවෝ බවට පසු කලෙක පත්වෙන්න පුඋලුවන්. නමුත් මිනිස්සු අතේ බලය තිබෙනවා. ලංකාවේ එක රජයක හිටිපු හාල්පාරුවෝ ටික අනිත් රජයට පනින ක්‍රමය නවත්වන්න විධිහක් නැත්ද?

      Delete
    9. සතියක පමණ වැකේෂන් ට්‍රිප් එකකට ලෑස්ති වෙමින් ඉන්නේ. ඉඩක් ලැබුණු විටක පිළිතුරක් ලියන්නම්.

      Delete
    10. දැන් මම මෙහිදී අජිත් සමඟ එකඟ නොවුනේ අජිත් විසින් මුලින්ම කියූ ඇමරිකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක් කියන ප්‍රකාශයට සහ එම ප්‍රකාශයට එකම පදනම වූ රටේ ජනාධිපතිවරයා ජනප්‍රිය ඡන්දයෙන් නොතේරීම වැරදියි කියන මතයටයි. අජිත්ගේ අදාළ ප්‍රකාශ මම නැවත පහත උපුටා දක්වනවා.

      //අන්තිමට කියන්න තියෙන්නේ මහා ලොකුවට කෑ ගැහුවට ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් බවයි. වැඩි චන්ද ගත් කෙනා පරාජය වී අඩු චන්ද ගත් එහෙත් කොහේද සිටින හල්පරුවන් රැලකගේ චන්දයෙන් ජනාධිපති තේරීම ජනටහ්වගේ චන්දය ලඝු කොට දැමීමකි.//

      //මුළු රටේම ජනාධිපති තෝරන කොට ජනටහ්ව වැඩි ප්‍රාන්තයේ ජනතාවගේ චන්දයට අඩු අගයක් ලැබිල අඩු ජනතාවක් ඉන්න ප්‍රාන්තෙට වැඩි බලයක් ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ජාධිපතිවාය නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාව නිසා.//

      මම මේ අදහසට එකඟ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙසේ සරල ලෙස නිර්වචනය කළ හැකි දෙයක් නෙමෙයි. මේ නිර්වචනය අනුව ගියොත් අජිත් ජීවත් වන එක්සත් රාජධානිය ඇතුළු බොහෝ යුරෝපීය රටවලත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවයි මම පෙන්වා දුන්නේ. මෙය මගේ මතය නෙමෙයි. මගේ මතය වන්නේ එක් එක් රටවල පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය ඒ රටවල ජනතාව විසින් තීරණය කරන දෙයක් බවයි. මූලික ආකෘතිය එකම වුණත් ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය රටින් රටට වෙනස් විය හැකියි.

      අජිත් විසින් කොපමණ කරුණු ඉදිරිපත් කළත් මෙහි මා පෙන්වා දුන් ඔහුගේ ප්‍රකාශයේ ඇති වැරැද්ද නිවැරදි වන්නේ කෙසේද කියා පෙන්වා දී නැහැ. අජිත් විසින් ලියා ඇති කරුණු වලින් සිදුවී ඇත්තේ මා පෙන්වා දී ඇති ඔහුගේ ප්‍රකාශයේ ඇති වැරැද්ද තහවුරු වීම පමණයි.

      එක්සත් රාජධානියේ Na h-Eileanan an Iar ආසනයේ ඡන්දදායකයින් 21,769 දෙනෙකුට එක් මන්ත්‍රීවරයෙකු ලැබෙන විට Isle of Wight ආසනයේ ඡන්දදායකයින් 108,804 දෙනෙකුටම හිමිවන්නේ එක් මන්ත්‍රීධුරයයි. මේ අනුව Na h-Eileanan an Iar ආසනයේ ඡන්දයක වටිනාකම Isle of Wight ආසනයේ ඡන්ද පහක වටිනාකමටත් වඩා වැඩියි. දැන් "ජනටහ්ව වැඩි ප්‍රාන්තයේ ජනතාවගේ චන්දයට අඩු අගයක් ලැබිල අඩු ජනතාවක් ඉන්න ප්‍රාන්තෙට වැඩි බලයක් ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි" කියන ඇමරිකාව සම්බන්ධ අජිත්ගේ තර්කය අනුව එක්සත් රාජධානියේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.

      මෙතැනදී අජිත් විසින් ඩබල් ස්ටෑන්ඩර්ඩ් එකකට යමින් එක්සත් රාජධානිය ගැන කියන්නේ වෙන කතාවක්.

      //මේ එංගලන්ත චන්ද ක්‍රමය 1970 මැතිවරණයේ උනා වගේ රජය පරද වෙන්නේ අසන ගානින් බව. ආසනවලට චන්දෙ දෙන්නේ මිනිස්සු. එක චන්දයකින් තෝරන්නේ එක මන්ත්‍රී. ඒ මන්ත්‍රී පසුව අගමැති තෝරන්නේ. ඒ නිසා මෙතන මේ ප්‍රතිඵලය ප්‍රජතාන්තන්ත්‍ර වාදියි. චන්දදායකයා කෙලින්ම තෝරන්නේ මන්ත්‍රී මිසක් අගමැති නොවෙයි. එතන ඔබ කියන ප්‍රශ්නය වෙන්නේ නැහැ.//

      ඇමරිකාවේ වෙන්නෙත් ඕකම තමයි. ඡන්දදායකයා විසින් තෝරන්නේ මැතිවරණ සාමූහිකයේ සාමාජිකයින්. ජනාධිපතිවරයාව තෝරන්නේ ඒ අය විසින්.

      //මුළු රටේම ජනාධිපති තෝරන කොට ජනටහ්ව වැඩි ප්‍රාන්තයේ ජනතාවගේ චන්දයට අඩු අගයක් ලැබිල අඩු ජනතාවක් ඉන්න ප්‍රාන්තෙට වැඩි බලයක් ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ජාධිපතිවාය නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාව නිසා.//

      දැන් එතකොට එක්සත් රාජධානියේ අගමැති කියන්නේ මුළු රටේම අගමැති නෙමෙයිද? අගමැති විසින් නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාව නෙමෙයිද? එහෙමනම් එක්සත් රාජධානියේත් ඇමරිකාවෙත් එකම දේ වෙනකොට ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් හා එක්සත් රාජධානිය ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් වෙන්නේ කොහොමද?

      Delete
    11. //වැඩි දෙනාගේ චන්දයෙන් නියෝජිතයන් තේරීම//
      ඇමරිකාවේ මැතිවරණ සාමූහිකය (electoral college) තුළ ජනාධිපතිවරයා තෝරන්නේ වැඩි ඡන්දයෙන් තමයි. වැඩි ඡන්දයට අමතරව 50% ඉක්මවන ඡන්දයකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම, එක් එක් ප්‍රාන්තයේ හෝ මැතිවරණ බල ප්‍රදේශයේ මැතිවරණ සාමූහික නියෝජිතයින් තෝරන්නෙත් එම ප්‍රදේශයේ ඡන්දදායකයින්ගේ වැඩි ඡන්දයෙන්. එහෙම නැතුව වැඩි ඡන්ද ලබන අය පැරදිලා අඩු ඡන්ද ලබන අය දිනන මැතිවරණ ක්‍රමයක් ඇමරිකාවේ නැහැ. ඇමරිකාවේ ප්‍රකාශිත ඡන්ද ඇමරිකාවේ කවදාවත් ක්‍රියාත්මක නොවූ ඡන්ද ක්‍රමයක් පැවතියානම් යන පදනම මත විශ්ලේෂණය කළ විට වෙන ලැබෙන උපකල්පිත ප්‍රතිඵලය වෙනත් එකක් වීම ඇමරිකානු ඡන්ද ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    12. //ජර්මනියේ සිස්ටම් එක ඇවිත් තියෙන්නේ 1957. වැරදෙනවනම් දැන් කල් ඇති.//
      මම ජර්මන් ඡන්ද ක්‍රමය ගැන දන්නේ අඩුවෙන් වුනත් 1957 සිට එකම ක්‍රමයක් පැවතුණා කියන එක වැරදියි. දැන් පවතින Sainte-Laguë/Schepers procedure අනුව ආසන වෙන් කිරීම සිදුවන්නේ 2009 සිටයි. ඉන් පෙර පැවතුණේ Hare-Niemeyer procedure එකයි.
      කලින් ක්‍රමය තාක්ෂණික වැරදි ගොඩක් ඇති ක්‍රමයක් වූවා පමණක් නොව ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය විසින් තීන්දු කළ එකක්. අළුත් ක්‍රමයත් අංග සම්පූර්ණ එකක් නෙමෙයි. අනිත් එක කිසියම් සිද්ධියක් වෙන්න තියෙන සම්භාවිතාව 1ට අඩුනම් කොපමණ නියත (finite) වාර ගණනක් එය රිපීට් කළත් සිදුනොවී තියෙන්න ඉඩක් තියෙන බව ගණිතය හදාරා ඇති කෙනෙක් වන ඔබ නොදැන සිටින්න විදිහක් නැහැ. සම්භාවිතාව අඩු දෙයක් සීමිත වාර ගණනක් පමණක් රිපීට් කළ විට එය නොවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. ඒ වුණත් එයින් කියන්නේ එය නොවෙනවා කියන එක නෙමෙයි.

      Delete
    13. //මේ නිර්වචනය අනුව ගියොත් අජිත් ජීවත් වන එක්සත් රාජධානිය ඇතුළු බොහෝ යුරෝපීය රටවලත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවයි මම පෙන්වා දුන්නේ// ඉතින් මම ඒකට එකඟ වුනානේ.
      //ඇමරිකාවේ වෙන්නෙත් ඕකම තමයි. ඡන්දදායකයා විසින් තෝරන්නේ මැතිවරණ සාමූහිකයේ සාමාජිකයින්. ජනාධිපතිවරයාව තෝරන්නේ ඒ අය විසින්.// මේක තමයි වෙන්නේ නැත්තේ. ඔය සාමාජිකයන්ට නොවේ චන්දය දෙන්නේ. ජනාධිපති අපේක්ෂකයාට. ප්‍රන්ටැහැ දෙක තුනක විතරක් පැත්තක නම් දාල තියනවා කියල ආරංචි වුණා. ඇමෙරිකාවේ වෙන්නේ එංගලන්තේ වෙන දේ නොවෙයි. ඔයා බොරුවක් ලියනවා කියන තැනට මම යන්නේ නැහැ. ඔය මම දාපු ලින්ක් වල කියන්නෙත් ඒ කතාව.
      එංගලන්තයේ ඔබ ඔය කියන අයිල් ඔෆ් වයිට් වගේ ප්‍රශ්න නිසා තමා මම කියන්න සමනුපටික ක්‍රමය ගෙන්න ඕන කියල. තව අදහසක් තිබෙනවා අගමැති චන්දෙන් තෝරන්න. මන්ත්රිලා නැතුව.
      මගේ අදහස එංගලන්ත මන්ත්‍රී ජනතවට වග කීවට ඇමෙරිකාවේ එලෙක්ටර් ල වග කියන්නේ නැති බව. එතන ප්‍රජාතන්ත්‍ර වාදය නැහැ.
      1957 සිට ජර්මනියේ කිසියම් සමානුපාතික ක්‍රමයක් පැවතුනේ. ඒ ගොල්ලෝ වැරදි අහුවෙන්නේ අහුවෙන්න වෙනස් කලා . ඉතින් ඒ ක්‍රමය හොඳයි ඔය ඇමෙරිකන් හා බ්‍රිටිෂ් ක්‍රමයටත් වැඩිය. සර්ව සම්පුර්ණ නොවුනත් වඩා inclusive.

      Delete
    14. //මේක තමයි වෙන්නේ නැත්තේ. ඔය සාමාජිකයන්ට නොවේ චන්දය දෙන්නේ. ජනාධිපති අපේක්ෂකයාට. ප්‍රන්ටැහැ දෙක තුනක විතරක් පැත්තක නම් දාල තියනවා කියල ආරංචි වුණා.//
      ඕකද අවුල? කිවුවනම් පැහැදිලි කරනවනේ. මම හිතන්නේ අපේ ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවේත් ඔය නම් නැහැ. නමුත්, මේ නම් ලැයිස්තු ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රසිද්ධ කර තියෙනවා. වෙනත් තැන් වලත් තියෙනවා. කිසියම් පක්ෂයක් වෙනුවෙන් ඡන්දය ලකුණු කිරීමේදී වෙන්නේ එම පක්ෂය විසින් දැනටම තෝරගෙන සිටින අපේක්ෂකයන් (ජනාධිපති හා උප ජනාධිපති) වෙනුවෙන් ප්ලේජ් කර ඇති ඉලෙක්ටර්ස්ලා කණ්ඩායම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමයි. මෙම අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර තිබුණත් මෙහිදී වෙන්නේ සෘජුව ජනාධිපති අපේක්ෂකයාට ඡන්දය දීමක් නෙමෙයි.

      ඇත්තටම අතිමහත් බහුතරය ඡන්දය ලකුණු කරන්නේ අපේක්ෂකයාටත් නෙමෙයි පක්ෂයට. පක්ෂයට ඡන්දය ලකුණු කළ විට ඒ පක්ෂයේ ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය තනතුරු සඳහා තරඟ කරන සියළුම අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය ස්වයංක්‍රීයව ලකුණු වෙනවා. (ඇමරිකාවේ මැතිවරණ රාශියක් එකම දින පවත්වන බව ඔබ දන්නවා ඇතිනේ) එවිට වෙන වෙනම ඡන්ද ලකුණු කරන්න නාස්තිවන කාලය ඉතිරි කර ගත හැකියි. එසේ කිරීමෙන් පසුවත් පක්ෂ වලට සම්බන්ධ නැති non-partisan තනතුරු හා yes/no ලකුණු කළ යුතු ජනමතවිචාරණ ප්‍රශ්න වලට වෙනම ඡන්දය ලකුණු කළ යුතුයි. කිසියම් එක් තනතුරකට පමණක් වෙනත් පක්ෂයක අයෙකුට ඡන්දය දිය යුතුනම් ස්වයංක්‍රීයව ලකුණු වුණු එක වෙනස් කරන්නත් පුළුවන්. ඒ වගේම අපේක්ෂයින් වැඩි දෙනෙකුගේ නම් ඡන්ද පත්‍රිකාවේ ඇත්තෙත් නැහැ. ඒ අයට ඡන්දය දෙන්න "other" යන්න සිලෙක්ට් කර නම ලිවිය යුතුයි. මේ කරුණු නිසා ඉලෙක්ටර්ස්ලගේ නම ඡන්ද පත්‍රිකාවට දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මැතිවරණ දිනය වන විට ඉලෙක්ටර්ස්ලා තෝරා අවසන්. එදින ඒ අයට කණ්ඩායමක් වශයෙන් ඡන්දය ප්‍රකාශ කරනු මිස වෙන වෙනම ඡන්දය දීමේ හැකියාවක් නැහැ. (එසේ සිදුවී තිබෙනවා බොහෝ කලකට පෙර) ඒ නිසා ඔවුන්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ තිබීම වැදගත් නැහැ.

      Delete
    15. //මගේ අදහස එංගලන්ත මන්ත්‍රී ජනතවට වග කීවට ඇමෙරිකාවේ එලෙක්ටර් ල වග කියන්නේ නැති බව. එතන ප්‍රජාතන්ත්‍ර වාදය නැහැ.//
      තමන් විසින් තෝරාගන්නා නියෝජිතයින් තෝරාගත් ජනතාවගේ අභිලාශ වලට අනුගත නොවීම කොහොමටත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ප්‍රශ්නයක් (Principal- Agent Problem). අපි දෙන්නම හොඳින්ම දන්න උදාහරණයක් ගත්තොත්, වසරක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ ජනතාව හරහා සපථ කර ජනප්‍රිය ඡන්දයෙන් බලයට පැමිණි ජනාධිපති අපේක්ෂිකාවන් අන්තිමේදී ලස්සනට ඒවා අමතක කරල හිටියේ. මේ ප්‍රශ්නය ඇමරිකාවෙත් තියෙනවා. නමුත් එය මැතිවරණ ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (United States House of Representatives) ධුර කාලය වසර දෙකකට සීමා කර තියෙන්නේ මේ ප්‍රශ්නය අවම කර ගැනීමටයි. මම දන්නා ගොඩක් රටවල මේ ධුර කාලය මීට වඩා වැඩියි. ඒ වගේම ජනාධිපති තේරීම වැනි නිශ්චිත එක් කටයුත්තක් සඳහා තෝරාගන්න ඉලෙක්ටර්ස්ලා ඒ කාර්යය පැහැර හරින්න තියෙන ඉඩකඩ වැඩ ගොඩකට තෝරා ගන්නා නියෝජිතයෙක්ගේ එම ඉඩකඩට වඩා අඩුයි. ඒ වගේම ඉලෙක්ටර්ස්ලා අවශ්‍ය පරිදි කටයුතු නොකරනවානම් ඔවුන්ව ඉවත් කර වෙනත් අය ආදේශ කිරීමට බොහෝ ප්‍රාන්ත වල ඉඩ තියෙනවා. ඔබ විසින් තෝරාගත් මන්ත්‍රීවරයා හැමවිටම ක්‍රියා කරන්නේ හරියටම ඔබට අවශ්‍ය පරිදි කියා ඔබ කියනවනම් මට ඔබේ අදහසට විරුද්ධ වෙන්න බැහැ. මට කියන්න තියෙන්නේ එය ඉතාම විශේෂිත තත්ත්වයක් බවයි. මටනම් මගේ අදහස් හැමවිටම හරියටම නියෝජනය කරන නියෝජිතයෙක් හමුවෙලාම නැහැ.

      Delete
  7. ඉකොනො
    ඔබ කියා තියනවා 1988 හා 2005 ජනාධිපතිවරන වැරදි බවත් ඔබ මැතිවරන කොමසාරිස් නම් අවලංගු කරන බවත්. ඇත්තෙන්ම ඒ දෙකෙන්ම දිනන්න තිබුනෙ වෙන දෙන්නෙක්. 1988 දි සිරිමා ත් 2005 දි රනිලුත්.ඔය දෙකම තියන්න වෙන්නෙ නෑනෙ ත්‍රස්තවාදීන් හැමදාම වර්ජනය කරන්න ගියොත්. 1988 චන්දෙ අද වෙනකම් තියන්න වෙන්නෙ නෑ ජවිපෙ හැමදාම වර්ජනය කරන නිසා. 2005 චන්දෙත් අද වෙනකම් තියන්න වෙන්නෙ නෑ. ඒ නිසා මගෙ මතයනම් මොන හේතුවක් නිසා චන්දය පාවිච්චි නොවුනත් ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව මත තෝරාගත යුතු බවයි.

    ඇමරිකන් ජනාදිපතිවරනයෙ චන්ද විද්‍යාල ක්‍රමය ප්‍රජාතන්ත්‍රවිරෝධියි කියලයි මට හිතෙන්නෙ. නමුත් ඇතැම් සුළුජනකොටස් ගෙඩිය පිටින් චන්දය දී ප්‍රතිපලය විකෘතිකරන අවස්ථා ඇති නිසා ස්ටේට්ස් වල බහුතරය මත ජනපති තේරීම සාධාරනයි.

    ReplyDelete
    Replies
    1. //ඔබ කියා තියනවා 1988 හා 2005 ජනාධිපතිවරන වැරදි බවත් ඔබ මැතිවරන කොමසාරිස් නම් අවලංගු කරන බවත්. //
      මෙය මම කියන දෙයක් නෙමෙයි. අජිත් (කොළඹ ගමයා) කියන දෙයක්. කිසියම් හේතුවකින් ඔහුගේ කමෙන්ට් එක පළ වුණේ නැති නිසා එය ඊමේල් එකෙන් අරගෙන පළකළේ. අජිත්ගේ කමෙන්ට් එක මා විසින් පළ කළ නිසායි ඉකොනොමැට්ටා ලෙස තියෙන්නේ. ඔහුගේ අදහසට මම එකඟ නැහැ. (හැබැයි ඡන්ද වර්ජන නොතිබුණානම් ප්‍රතිඵලය වෙනස්විය හැකිව තිබුණු බව මගෙත් අදහස. එකඟ නොවන්නේ ඡන්දය අවලංගු කළ යුතුව තිබුණු බවට ඔහු පළ කරන අදහසටයි.)

      //මගෙ මතයනම් මොන හේතුවක් නිසා චන්දය පාවිච්චි නොවුනත් ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව මත තෝරාගත යුතු බවයි.//
      මේ ගැන මම හිතන්නෙත් ඔබ සිතන ආකාරයටයි.

      දැන් ඔබව වැඩිපුර පෙනෙන්න නැති වීම අඩුවක්!

      Delete
    2. It is my idea. Both of you misunderstood the point here . Anyone can boycott elections. No problem and no body need to do anything . That's your right . Tamil people did not boycott election . Armed organisation enforced it. That is not correct for democratic country . Boycott was enforced by gun. There is a difference .

      Delete
    3. ඡන්ද වර්ජනය කැමැත්තෙන් සිදු වූ එකක් නොවූ බවට මධ්‍යස්ථ මතධාරියා වගේම මමත් එකඟයි. අප එකඟ නොවන්නේ මේ හේතුවෙන් ජාතික මැතිවරණ අවලංගු කළ යුතුව තිබුණු බවට ඔබ පළකරන මතයටයි. එහෙම කළානම්, 2009 වන තුරුම ලංකාවේ ජාතික මැතිවරණයක් තියන්න වෙන්නේ නැහැ.

      Delete
    4. කොච්චර හොඳද. ලංකාවේ මැතිවරණ වලින් මියය යන ගාන අඩු කර ගන්න තිබ්බ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.