වෙබ් ලිපිනය:

Monday, June 6, 2022

උද්ධමනය කාටත් දැනෙන්නේ එක විදිහටද?

පසුගිය මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 39.1% මට්ටමේ පැවතුණා. ඇතැම් අය කියන්නේ "මහ පොළොවේ" පෙනෙන උද්ධමනය මීටත් වඩා වැඩි බවයි. නිසි ක්‍රමවේදයකට ගණනය නොකර මහ පොළොවෙන් හෝ වෙනත් විකල්ප ක්‍රම වලින් උද්ධමනය හොයා ගන්න යාම සාර්ථක ප්‍රවේශයක් නොවන බව මම කලින් පැහැදිලි කර තිබෙනවා. එසේ වුවත්, උද්ධමනය 39.1% යන්නෙන් අදහස් වෙන්නේ හැමෝටම උද්ධමනය දැනෙන්නේ එක විදිහට කියන එක නෙමෙයි.

උද්ධමනය ගණනය කරන්නේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ පරිභෝජන රටාව මත පදනම්වයි. එහෙත්, කිසියම් තනි පුද්ගලයෙක් හෝ පවුලක් සැලකූ විට පරිභෝජන රටාව මේ සාමාන්‍ය රටාවට හරියටම සමාන වෙන්නේ නැහැ. කවදාවත් ගෑස් වලින් උයපු නැති ගෙදරකට ගෑස් මිල වැඩි වීම දැනෙන්නේ නැහැ. ඉන්ධන මිල ඉහළ යාම මුලින්ම දැනෙන්නේ වාහන තිබෙන අයට. පසුව බස් ගාස්තු වැඩි කළ විට එය දැනෙන්නේ බස් වල යන අයට. එකිනෙකාගේ පරිභෝජන රටා අනුව කෙනෙකුට දැනෙන උද්ධමනය වෙනස්.

පහළම ආදායම් ස්ථර වල අය තමන්ගේ ආදායමෙන් වැඩි කොටසක් වැය කරන්නේ ආහාර වලට. ආදායමක් නැතත් ණය වෙලා හරි මොනවා හෝ නොකා ජීවත් වෙන්න බැහැ. මිනිස්සු වෙන දේවල් කරන්න හිතන්නේ බඩ පිරුණට පසුවයි. ආදායම ඉහළ යද්දී මිනිස්සු ආහාර සඳහා වැය කරන වියදම්ද ඉහළ දමන නමුත් ලැබෙන අමතර රුපියලකින් ආහාර සඳහා වැය කරන මුදල එන්න එන්නම අඩු කරනවා. ඒ නිසා, ආදායම ඉහළ යද්දී ආහාර පරිභෝජනය සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වෙනවා.

මේ විදිහට ආදායම් ඉහළ යද්දී ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වන අතර ආහාර නොවන පරිභෝජන වියදම් එන්න එන්න වැඩි වෙනවා. හැබැයි යම් ආදායම් මට්ටමකින් පසුව මේකත් නවතිනවා. එවැනි ඉහළ ආදායම් මට්ටමකදී මිනිස්සු පරිභෝජනය තවත් වැඩි නොකර ආයෝජන වැඩි කරනවා. පහත රූප සටහනෙන් මෙය පැහැදිලිව දැකිය හැකියි.

ලංකාවේ පහළම ආදායම් ස්ථරය තමන්ගේ ආදායමෙන් 76.2%ක්ම ආහාර සඳහා වැය කරනවා. අනෙකුත් වියදම් 48.6%ක්. මේ දෙකේ එකතුව 124.8%ක්. ඒ කියන්නේ 24.8%ක් ණය වෙලා හෝ වෙනත් ක්‍රමයකින් ලැබෙන්න ඕනෑ. නමුත්, රටේ ඉහළම ආදායම් ස්ථරය ආහාර වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 12.7%ක් පමණයි. අනෙකුත් පරිභෝජන වියදම් වෙනුවෙන් 58.9%ක් වැය කරනවා.එකතුව 71.6%යි. ඒ කියන්නේ ඉතිරි කොටස ආයෝජනය කරනවා කියන එකයි.

පසුගිය මාසයේ උද්ධමනය 39.1% වුවත් ආහාර උද්ධමනය 57.4% තරම් ඉහළ මට්ටමක තිබුණා. මෙහි බලපෑම පහළම ආදායම් කාණ්ඩයට ඉතා දරුණුවට දැනෙන බව පැහැදිලි විය යුතුයි. නමුත්, ඉහළම ආදායම් කාණ්ඩයට මෙය ලොකුවට දැනෙන්නේ නැහැ. ආහාර හා අනෙකුත් භාණ්ඩ හා සේවා පරිභෝජනය ක‍රන අනුපාතයේ වෙනස්කම් අනුව විවිධ ආදායම් කාණ්ඩ වලට උද්ධමනය බලපාන්නේ වෙනස් ආකාර වලින්. රටේ ජනගහණයෙන් 80%කටම උද්ධමනය 39.1%ට වඩා වැඩියෙන් දැනෙනවා. ඉහළම ආදායම් ලබන 20%ට උද්ධමනය දැනෙන්නේ එම ගාණට වඩා අඩුවෙන්.

උද්ධමනය දුප්පතාට වැඩියෙන් බලපානවා කියන එක මෙයින් පැහැදිලි විය යුතුයි. සෘජු බදු මෙන් නොව වක්‍ර බදු රටේ හැමෝටම ගෙවන්න වෙනවා. එහෙත් පහළම සමාජ තීරු වලට වුවත් වක්‍ර බදු නිසා සිදුවන හානිය උද්ධමනයේ හානියට වඩා අඩුයි.



4 comments:

  1. මේ දැනුම හා විශ්ලේෂණාත්මක හැකියාව රටේ ආර්ථිකය මෙහෙයවන අයට ඇත්දැයි සැකයි .

    ReplyDelete
    Replies
    1. @ 3.32 මිතුර, කරුණාකර ඉකොනොමැට්ටා වෙහෙස මහන්සි වෙලා ලියන ලිපි වලට ඔහොම සමච්චල් සහගත විදිහට විහිලු කරන්න එපා රටේ ආර්ථිකය මෙහෙයවන අයට මීට වඩා දැනුම සෑහෙන්න තියෙන අතරම හැකියව නම් මීටත් වඩා ඕනේ තරම් තියෙන බවත් මහ බැංකුව ඇතුළු ආයතන හරහා රටේ ආර්ථිකය මෙහෙයවමින් ඉතාමත්ම අසීරු තත්වයන් යටතේත් ප්‍රශ්න වලට විසඳුම් සොයාගත් බවත් කොටින්ම මේ ලිපිය ලිවීමට ඔහු මූලාශ්‍ර කර ගත්තේ රටේ ආර්ථිකය මෙහෙයවන මහබැංකුව මෙන්ම ඊට අවශ්‍ය තොරතුරු ඉන්ෆොමේශන් ලබා දෙන DCS - Department of Census and Statistics (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - collection and dissemination of statistical data requirements of the government. Apart from that collecting and supplying data on the various sectors of the socioeconomic conditions of the country, to recruit, train and place professional staff to all Government Agencies requiring statistical services. In addition, providing statistical consultancy services to the agencies that require assistance on statistical matters.) වැනි ආයතන වල අයගේ කැපවීම දැනුම සහ පුහුණුව නිසා බවත් පාඨකයන් හැමෝම පාහේ දැනුවත්, ඒ නිසා කරුණාකර විහිළු නොකර ඊට අටුවාවක් මෙන් විස්තර කරමින් ඉකොනොමැට්ටා මහන්සි වෙලා ලියන ලේඛන කියවා මෙයින් යමක් ඉගෙන ගන්න බලන්න.

      ඉකොනොමැට්ටා මේව ගණන් ගන්න එපා දිගටම මේ ලිපි ලියන්න අපි කියවනවා.

      Delete
  2. රජය මගින් මුදල් අච්චු ගැසීම ගැන මෙහි ලියා ඇති කරුණු ගැන වැඩින් විස්තර ඉදිරිපත් කළ හැකිද?

    https://www.aithiya.lk/16091/the-real-story-about-money-printing/

    මෙම අයිතිය වෙබ් අඩවිය කොපි රයිට්ස් ලබාගෙන මෙම විශේෂාංග පළ කර ඇති බව ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. මෙහි පළ කරන ලිපි මූලාශ්‍රය සහිතව නැවත පළ කිරීම සඳහා අවසර ලබා ගත යුතු නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: