වෙබ් ලිපිනය:

Thursday, June 20, 2024

මැද රටේ ආර්ථිකය


පසුගිය 2023 වර්ෂයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.1ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 17.9ක් පමණ. එම වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 27.4ක්. ඒ කියන්නේ ඇමරිකන් ආර්ථිකය තවමත් චීන ආර්ථිකයට වඩා 53%කින් විශාලයි. යුරෝපීය සංගමයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 18.4ක් පමණ වුවත්, එහි ප්‍රධානම ආර්ථිකය වන ජර්මනිය වගේම, ලෝකයේ විශාලතම ආර්ථික අතර තිබෙන ඉන්දියාව හා ජපානයත් ආර්ථිකයේ ප්‍රමාණය අතින් චීනයට වඩා ගොඩක් පසුපසිනුයි ඉන්නේ. ජර්මනිය, ජපානය හා ඉන්දියාව යන රටවල් තුනේම ආර්ථිකයන් එකතු කළත් චීනයේ ආර්ථිකය තරම් විශාල නැහැ. 

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකයේ සංයුතිය මොන වගේද?

කෘෂිකර්මය - යුවාන් ට්‍රිලියන 9.4 (7.5%)

කර්මාන්ත - යුවාන් ට්‍රිලියන 39.9 (31.7%)

ඉදි කිරීම් - යුවාන් ට්‍රිලියන 8.6 (6.8%)

සේවා - යුවාන් ට්‍රිලියන 68.1 (54.0%)

චීනයේ නිෂ්පාදන ආර්ථිකය ගැන ගොඩක් අය කතා කළත්, චීන ආර්ථිකයේ ලොකුම පංගුව සේවා ආර්ථිකය. ලංකාව, ඇමරිකාව, වියට්නාමය ඇතුළු අනෙක් බොහෝ රටවල වගේම තමයි. 

උදාහරණයක් විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 12.3ක් තොග හා සිල්ලර වෙළඳාම. ඒ වගේම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.0%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 10.1ක් මූල්‍ය අංශයේ අතරමැදි සේවා. තව යුවාන් ට්‍රිලියන 7.4ක් හෙවත් දදේනියෙන් 5.8%ක් නිවාස හා දේපොළ වෙළඳාම්. ඔය කොටස් තුන පමණක් එකතු කළත් චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් පංගුවකට කිට්ටුයි (23.6%).

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු පංගුවක් ඉහත සඳහන් අනු අංශ තුන බව මම පෙර සටහනක සඳහන් කර තිබෙනවා. මේ සියල්ල අතරමැදි සේවාවන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙය විකෘතියක්ද? එහෙමනම්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය ය‍ටතේ තිබෙන චීනයේ ඔය අතරමැදි සේවා වල පංගුවත් ඔය තරම් විශාල වුනේ කොහොමද? 

මම හිතන්නේ අතරමැදියන් නැති කිරීමේ මිථ්‍යාව ගැන කොමියුනිස්ට් චීනය දිහා බලලා වුනත් ඉගෙන ගන්න අමාරු නැහැ. ආර්ථිකයක් ප්‍රසාරණය වීම සඳහා තොග හා සිල්ලර වෙළඳාම, මූල්‍ය අංශයේ අතරමැදි සේවා හා නිවාස හා දේපොළ වෙළඳාම් වැනි අතරමැදි සේවාවන් ඉතාම අවශ්‍යයි. ඒවා නැති කරලා ආර්ථිකයන් ප්‍රසාරණය කරන්න බැහැ. 

චීනය විශාල රාජ්‍ය අංශයක් තිබෙන රටක්. චීන රජය යටිතල පහසුකම් සංවර්ධනය ආදිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. මේ වෙනුවෙන් චීන රජය සල්ලි හොයා ගන්නේ කොහොමද?

අමුතු මැජික් එකක් නැහැ. ඇමරිකාවේ හා ලංකාවේ රජයයන් වගේම චීන රජයත් ආදායම් හොයා ගන්න ප්‍රධාන ක්‍රමය බදු. 2023දී චීනයේ මුළු රාජ්‍ය ආදායම වූ යුවාන් ට්‍රිලියන 21.7ක මුදලින් යුවාන් ට්‍රිලියන 18.1ක්ම, ඒ කියන්නේ 84%ක්ම බදු ආදායම්. චීන රජයට අයිති රාජ්‍ය ව්‍යවසාය වලින් ලැබෙන ආදායම් ඇතුළු අනෙක් සියලු ආදායම් තිබෙන්නේ ඉතිරි 16% ඇතුළේ. 

මේ බදු සියල්ල සෘජු බදුද?

මොන පිස්සුද? ඔය බදු ආදායමෙන් යුවාන් ට්‍රිලියන 6.9ක්ම වැට් බදු. තවත් යුවාන් ට්‍රිලියන 1.6ක් පරිභෝජන බදු. මීට සාපේක්ෂව පුද්ගල ආදායම් බදු යුවාන් ට්‍රිලියන 1.5ක් පමණයි. සමාගම් ආදායම් බදු යුවාන් ට්‍රිලියන 4.1ක්. වක්‍ර බදු අය කළා කියලා සෘජු බදු අය නොකර ඉන්නේ නැහැ.

චීනය ආදායම මත කොයි තරම් බදු ගහනවද?

යුවාන් 3000 දක්වා (මාසික ආදායම) - 3%

යුවාන් 3000-12,000 අතර - 10%

යුවාන් 12,000-25,000 අතර - 20%

යුවාන් 25,000-30,000 අතර - 25%

යුවාන් 35,000-50,000 අතර - 30%

යුවාන් 55,000-80,000 අතර - 35%

යුවාන් 80,000 සිට - 45%

රජයකට බදු අය නොකර වියදම් කරන්න බැහැ. වියදම් කළ හැක්කේ කාගෙන් හෝ බදු ලෙස එකතු කර ගන්නා සල්ලි. චීනය කියලා එහි වෙනසක් නැහැ.

Wednesday, June 19, 2024

මැද රට විත්ති...


ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国).

චොංගුආ කියන්නේ මැද රට. කාලයක් තිස්සේ චීන්නු හිතාගෙන හිටපු විදිහට චීනය කියන්නේ ලෝකයේ මැද. මේ විදිහට හිතාගෙන හිටපු එකම ජාතිය චීන්නු නෙමෙයි. ගොඩක් මිනිස්සු වගේම ජාතීනුත් හිතන්නේ ලෝකය කැරකෙන්නේ තමන් වටේ කියලයි. අනෙක් රටවල් සම්බන්ධව කොහොම වුනත්, චීනය කේන්ද්‍ර කරගත් ලෝකයක් කියන එකනම් නිකම්ම හිතළුවක් නෙමෙයි. 

පසුගිය සති දෙක ගත කළේ මැද රට එහෙමත් නැත්නම් චීනයේ. මීට කලින් අන්තිමට චීනයට ගියේ අවුරුදු දා හතකට කලින්. එහෙම කිවුවත්, එකම ගඟ දෙපාරක් බලන්න බැහැ වගේ එකම රටකට දෙපාරක් යන්නත් බැහැ. අවුරුදු දා හතකට කලින් චීනය සහ අද චීනය කියන්නේ රටවල් දෙකක්. ඒ වගේම, අවුරුදු දා හතකට පස්සේ නැවත චීනයට යන්නේ කලින් ගිය පුද්ගලයාම නෙමෙයි.

කලින් පාර චීනයට යද්දී එරට ආර්ථිකය හෝ දේශපාලනය ගැන මට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. ඒ දවස් වල ආර්ථිකය හා දේශපාලනය ගැන අද හිතන විදිහට හිතුවෙත් නැහැ. ආර්ථිකය හා දේශපාලනය පිළිබඳව කලින් නොදුටු පැති බොහොමයක් පේන්න ගත්තේ ඇමරිකාවේ ජීවත් වීම නිසා ලැබුණු අත්දැකීම් එක්කයි. ඇමරිකන් අත්දැකීම් නොතිබුණානම් ලෝකයෙන් ලොකු කොටසක් මග හැරෙනවා.

ඇමරිකාව කියන්නේ ලෝකයෙන් ලොකු කොටසක් වුනත් ලෝකය නෙමෙයි. චීනය කියා කියන්නේ ඇමරිකාවෙන් බාහිර ලෝකයේ ලොකු කොටසක්. ඒ කොටස නොසලකා හැරියොත් වෙන්නෙත් ලෝකයෙන් ලොකු කොටසක් මග හැරෙන එක. 

චීනය ඇතුළටම ගිහින් චීනය අත් විඳින එක ටික කලක පටන් තිබුණු උවමනාවක්. බටහිර මාධ්‍ය පෙරණයන් වලට අහුවෙලා එළියට එන චීනය දිහා බලලා චීනය ගැන නිගමන වලට එන එකේ අවදානම මග හරින්න තිබුණු හොඳම ක්‍රමය ඒකයි. මම හිතන්නේ මගේ අවශ්‍යතාවය සෑහෙන දුරකට ඉටු වුනා. 

කලින් පාර ගියේ බෙයිජිං අගනුවරට. මේ පාර රට මැද පිහිටි වුහාන් වලටත්, දකුණු චීනයේ ශාමෙන් දූපතටත් ගියා. වුහාන් ගැනනම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නම කියපු ගමන් ගොඩක් අය දන්නවා. නමුත් ශාමෙන් ගැන ගොඩක් අය ඒ තරම්ම දන්නේ නැතිව ඇති. 

ශාමෙන් කියා කියන්නේ දකුණු චීනයේ ෆුජියාන් ප්‍රාන්තයේ තායිවානයට ආසන්නව පිහිටි චීනයට අයිති දූපතක්. තායිවානය පමණක් නෙමෙයි හොංකොං වගේම වියට්නාමය, පිලිපීනය, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් වුනත් බෙයිජිං අගනුවරට වඩා ශාමෙන් දූපතට කිට්ටුයි. 

චීන භාෂාව ලෝකයේ වෙනත් බොහොමයක් භාෂා වගේ අකුරු හෝ ශබ්ද මත පදනම් වූ භාෂාවක් නෙමෙයි. භාෂාව ගොඩ නැගෙන්නේ මූලික වචන එකතු වෙලා. ඒ නිසාම, පුද්ගලයෙකුගේ හෝ නගරයක නමක් ගත්තත් එයට තේරුමක් තිබෙනවා. චීන භාෂාවෙන් ශාමෙන් (厦门) කියන්නේ "මන්දිර ද්වාරය" වැනි තේරුමක් තිබෙන වචනයක්. ශාමෙන්ඩා (厦门岛) නැත්නම් ශාමෙන් දූපත කියා කියන්නේ මන්දිර ද්වාර දූපත. 

ශාමෙන් කියන නම ඉතාම උචිත නමක්. සියවස් ගණනාවක ඉතිහාසය පුරාම ශාමෙන් දූපත පැවතිලා තියෙන්නේ චීනය නම් වූ මන්දිරයට පිවිසිය හැකි හා ඒ මන්දිරයෙන් පිටව යා හැකි ද්වාරයක් ලෙසයි. ඒ නිසාම, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි යාබද රටවල සිටින චීන සම්භවයක් ඇති පිරිස් අතර වගේම චීනයට ඈත රටවල චීන ඩයස්පෝරිකයන් අතර පවා ශාමෙන් සිට සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන්ගේ අනුපාතය ගොඩක් වැඩියි. අනෙක් අතට එතරම් විදේශිකයින් ජීවත් නොවන චීනයේ ශාමෙන් කියන්නේ සාපේක්ෂව වැඩි විදේශිකයින් ප්‍රමාණයක් ජීවත් වන නගරයක්. හැබැයි එහෙම කිවුවත් මේ ගොඩක් අය චීන භාෂාවම කතා කරන, චීන සම්භවයක් තිබෙන අයයි. 


ශාමෙන් වරාය පැරණි සේද මාර්ගයේ පිහිටි ප්‍රධාන වරායක්. නාවික මාර්ග හරහා සියවස් ගණනක් ලංකාව එක්ක සම්බන්ධව පැවති ස්ථානයක්. ඒ වගේම, නූතන සේද මාර්ගයේද වැදගත් සන්ධිස්ථානයක්. 

කාලයක් සමාජවාදී, සංවෘත ආර්ථික ආකෘතියක දැඩි ලෙස හිර කර තිබුණු චීනයේ, 1976දී සිදු වූ මා ඕ සේතුංගේ මරණයෙන් පසුව, ඩෙන් ශියාවෝ පිංගේ නායකත්වය යටතේ වෙළඳපොළ දෙස යොමු වූ  ප්‍රතිසංස්කරණ ක්‍රමිකව සිදු කෙරුණා. "මැද රට" ලෝකයට විවෘත කෙරුණා. චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වලින් පසුවයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේම සිදු කෙරුණු මේ ප්‍රතිසංස්කරණ හරහා සාමූහික ගොවිපොළ ක්‍රමයෙන් ඉවත් වීම, විදේශ ආයෝජන වලට ඉඩ දීම, මිල පාලන ඉවත් කිරීම, රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය, ලෝක වෙළඳ සංවිධානයට එකතු වීම වගේ ගොඩක් දේවල් සිදු වුනා. ඒ එක්කම චීන ආර්ථිකයට දේශීය හා විදේශීය පෞද්ගලික අංශයන් ලැබුණු දායකත්වය වේගයෙන් ඉහළ ගියා. චීන දළ දේශීය නිෂ්පාදිතයේ පෞද්ගලික අංශයේ පංගුවද වේගයෙන් ඉහළ ගියා. වසර ගණනාවක් 10%කට ආසන්න වේගයකින් චීන ආර්ථිකය වර්ධනය වුනා.

ඩෙන් ශියාවෝ පිං විසින් මුලින්ම චීනයට ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිදු කළ ප්‍රධානම කාර්යයක් වුනේ දකුණු චීනයේ විශේෂ ආර්ථික කලාප පහක් ස්ථාපනය කිරීම. ශාමෙන් දූපත ඒ කලාප පහෙන් එකක්. මේ කලාප තුළ චීන මධ්‍යගත සැලසුමෙන් වෙනස් වූ වඩා නිදහස් ආයෝජන-හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුනා. ශාමෙන් ඇතුළු මුල් විශේෂ ආර්ථික කලාප වල සාර්ථකත්වය මත පදනම්ව පසුව තවත් එවැනි "විවෘත ආර්ථික කලාප" ගණනාවක් පිහිටුවනු ලැබුවා. කොහොම වුනත් ශාමෙන් කියා කියන්නේ චීනය තුළ මුලින්ම ප්‍රතිසංස්කරණ සිදු කෙරුණු ප්‍රදේශයක්.

මුලින්ම ශාමෙන් විශේෂ ආර්ථික කලාපය ලෙස නම් කෙරුණේ වර්ග කිලෝ මීටර 2.5ක කොටසක් පමණයි. ඒ 1980දී. වසර හතරකට පසුව 1984දී මෙම කලාපය මුළු දූපතම ආවරණය වන පරිදි පුළුල් කෙරුණා. ඒ අනුව, මේ වන විට වසර 40ක කාලයක් ශාමෙන් දූපත චීනයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස පැවතිලා තිබෙනවා. 1994දී චීන මධ්‍යම රජය විසින් ශාමෙන් විශේෂ ආර්ථික කලාපයට නීති සම්පාදනය කර ගැනීමේ බලයද ලබා දී තිබෙනවා. 

ශාමෙන් ආර්ථිකය පසුගිය දශක කිහිපය තුළ චීනයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයද ඉක්මවමින් 15%ක පමණ වේගයකින් වර්ධනය වී තිබෙනවා. 2020 වසර අවසන් වන විට ලෝකයේ ප්‍රධානම සමාගම් පන්සීයෙන් (Fortune 500) හැට තුනක් ශාමන් විශේෂ ආර්ථික කලාපය තුළ ආයෝජනය කර තිබුණා. 1980 වන විට ඩොලර් මිලියන 141ක් පමණක් වූ ශාමන්හි විදේශ වෙළඳාම 2020 වන විට ඩොලර් බිලියන 109ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය 18%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක්.

චීනයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,720ක් වෙද්දී ශාමන්හි එම අගය ඩොලර් 21,527ක්. විශේෂ ආර්ථික කලාපයක් වන ශාමන් දුපතද ඇතුළත් ශාමන් නාගරික කලාපයේ ජනගහණය මිලියන 5.3ක් පමණ වුවත් එහි දළ දේශීය නිෂ්පාදිතය ලංකාවේ දදේනිය ඉක්මවනවා. එම අගය ඩොලර් බිලියන 114.5ක් පමණ. මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසාහට්, ස්ටාර්බක්ස් වැනි අවන්හල් ශාමන් දූපත තුළ දැකගත හැකියි. 

මේ සියළු කරුණු අනුව පැහැදිලි විය යුත්තේ ශාමෙන් යනු බටහිර රටක කෝණයෙන් බැලූ විට චීනය තුළ පිහිටි වඩාත්ම දියුණු හා වඩාත්ම විවෘත ප්‍රදේශයක් බවයි. එසේ වුවද, ශාමෙන් නගරයේදී පවා "චීනයට ඇතුළු වීමේ" කම්පනයෙන් මිදෙන්න ලැබෙන්නේ නැහැ. ඊට ප්‍රධානම හේතුව ශාමෙන් දූපතද "චීන මහා අග්නි-ප්‍රකාරය" තුළ පිහිටා තිබීමයි. 

"චීන මහා අග්නි-ප්‍රකාරය" තුළට ඇතුළු වූ වහාම නැති වන දේවල් ගණනාවක් තිබෙනවා. ඒ දේවල් කොයි තරම් දුරට "නැතිවම බැරි" දේවල් බවට පත් වී ඇත්ද යන්න හරියටම අවබෝධ වන්නේ ඒවා නැතිව යම් කලක් ජීවත් වන්නට සිදු වූ විටයි. 

මෙම ලිපිය පළ කෙරෙන "බ්ලොගර්" වෙබ් අඩවිය සහ වත්පොත චීනයට ඇතුළු වෙද්දී අහිමි වන දේවල් දෙකක්. ඊටත් වඩා ප්‍රශ්නයක් වුනේ මගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම අහිමි වීමයි. ඊට අමතරව ගූගල් සිතියම්ද සාමාන්‍යයෙන් මා නිතිපතා භාවිතා කරන්නක්. විශේෂයෙන්ම නුපුරුදු රටකදී හෝ ප්‍රදේශයකදී. මේ ප්‍රශ්නය කලින්ම දැනගෙන සිටි නිසා පෙර සූදානමක් ලෙස VPN කිහිපයක්ම දමාගෙන ගියත් ඒ එකකින්වත් ප්‍රයෝජනයක් වුනේ නැහැ. 

හැබැයි මේ කිසිවක් චීන්නුන්ට ප්‍රශ්න නෙමෙයි. ඔය හැම දෙයක් වෙනුවටම චීන විකල්ප තිබෙනවා. "චීන මහා අග්නි-ප්‍රකාරය" ලොකුවටම ප්‍රශ්නයක් වෙන්නේ චීන භාෂාව නොදත් අප වැනි විදේශිකයින්ටයි. 

මගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් වී තිබෙන බ්ලොග් එක, වත්පොත, ඊ-මේල් ගිණුම, ගූගල් සිතියම් ඇතුළු තවත් දේවල් අහිමිව කල් ගෙවද්දී කල්පනා වුනු තවත් දෙයක් වුනේ ගූගල් වැනි සමාගමක් මගේ ජීවිතයෙන් කොපමණ පදාසයක් අත් පත් කරගෙනද කියන එක. අපිව පාලනය කරන්නේ රජයයන් විසින් පමණක් නෙමෙයි. 

ශාමෙන් පාලනාධිකාරය විසින් යටිතල පහසුකම් සංවර්ධනය හා නගරාලංකාරය වෙනුවෙන් විශාල පිරිවැයක් දරන බව පෙනෙන්නට තිබෙනවා. මෙය අඩු වැඩි වශයෙන් වුහාන් නගරයේදීද දැකගත හැකි වූ තත්ත්වයක්. මේ දවස් වල ඇමරිකාවේද විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සිදු වෙනු දැකිය හැකියි. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති. මේවා රජය මුල් වී කරන දේවල් මිසක් පෞද්ගලික අංශය විසින් කරන දේවල් නෙමෙයි. එසේ රජය මුල් නොවුනානම් බොහෝ විට මේ දේවල් පෞද්ගලික ආයෝජන විදිහට සිදු වෙන එකක් නැහැ. 

චීනය මාර්ග සංවර්ධනය වෙනුවෙන් කොපමණ මුදල් වැය කරමින් සිටියත් ඇමරිකාවට සාපේක්ෂව මාර්ග තදබද දැකිය හැකියි. මෙයද ශාමන් වලදී මෙන්ම වුහාන් වලදීද දැකිය හැකි වූ තත්ත්වයක්. එයින් පෙනෙන්නේ මේ අයුරින් චීන රජය මුල් වී මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම කළ යුතුම දෙයක් බවයි. 

හොඳ මට්ටමේ මාර්ග කොපමණ අලුතෙන් ඉදි කර තිබුණද මාර්ග තදබද අඩුවක් නොතිබීමෙන් පෙනෙන්නේ පාරවල් ඉදිවන වේගයට වඩා වැඩි වේගයකින් වාහන භාවිතය ඉහළ යන බවයි. 

ඇමරිකාවට සාපේක්ෂව චීනයේ පොදු ප්‍රවාහනය ඉතා හොඳ මට්ටමක තිබෙනවා වගේම මිල ගණන්ද අඩුයි. ශාමන් නගරයේ හැම අතටම දිවෙන බස් පද්ධතිය භාවිතා කිරීම සඳහා යුවානයක මිලක් ගෙවීම ප්‍රමාණවත් (රුපියල් 42ක් පමණ). මෙය සාපේක්ෂව ගොඩක් අඩු මිලක්. අනිවාර්යයෙන්ම චීන රජය විසින් ප්‍රවාහනය විශාල ලෙස සුබසාධනය කරනවා විය යුතුයි.

ටැක්සි භාවිතයද ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. මෙය සමාන කළ හැක්කේ ලංකාවේ ත්‍රිරෝද රථ භාවිතයටයි. මේවා මීටර් ටැක්සි. අවම මිල යුවාන් දහයක් වන අතර කිලෝ මීටර තුනෙන් පසුව කිලෝමීටරයකට යුවාන් දෙක බැගින් එකතු වෙනවා. රටටම පොදු මිල සූත්‍රයක් නොවුනත් වුහාන් වල තිබුණේද මේ මිල සුත්‍රයයි. 

මෙම ටැක්සි මිල අධිකයැයි කිව නොහැකි වුවත්, යුවානයක් ගෙවා බස් රථයක යා හැකි ගමනක් ටැක්සියකින් යාමට යුවාන් විස්සක් තිහක් පමණ හෝ ඊටත් වඩා වැඩි මුදලක් යනවා. එසේ වුවත්, පහසුවෙන් බස් රථයක යා හැකිව තිබියදී, බොහෝ දෙනෙකු ගමන් කරන්නේ මෙම ටැක්සි වලයි. මා සමඟ කතා කළ බොහෝ දෙනෙක් මෑත කාලයේදී කවදාවත් බස් රථයක ගමන් කර තිබුණේ නැහැ. මම හිතන්නේ මේ මධ්‍යම පාන්තික මානසිකත්වය බවයි. මේ නිසාම හෝ වෙනත් හේතු නිසා බොහෝ විට බස් රථ වල ආසන මගීන්ගෙන් පිරී තිබුණේ නැහැ. 

මීට අමතරව බොහෝ දෙනෙකු විසින් කුඩා ස්කූටර් භාවිතා කරනවා. විශේෂයෙන්ම සරසවි සිසුන් වැනි අය. 

මේ සියළු විකල්ප තිබියදී වුවද සැලකිය යුතු පිරිසක් මෝටර් රථ භාවිතා කරන බව පේනවා. මෙයින් පෙනෙන්නේ පොදු ප්‍රවාහනය කොයි තරම් දියුණු වුනත්, විකල්ප තිබුණත්, මිනිසුන්ගේ තේරීම් වලට සීමා නැති බවයි. ඒ වගේම, පෞද්ගලික වාහනයක් නඩත්තු කළ හැකි චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වන ආකාරයයි.

වාහන භාවිතය ඉහළ යද්දී රජය මුල් වී අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නරක දෙයක් නෙමෙයි. රාජපක්ෂ දශකයේ ලංකාවේ රජය විසින් කළේද මෙයයි. මෙහි තවත් සමානත්වයක් වන්නේ චීනය චීනයේ සල්ලි වලින් පාරවල් හදද්දී ලංකාවද චීනයේ සල්ලි වලින්ම පාරවල් හැදීමයි. චීනය චීනයේ සල්ලි වලින් පාරවල් හදනවානම් ලංකාවත් ඒ වැඩේම කරන එකේ වැරැද්ද මොකක්ද? කොහොම වුනත් තමන්ගේම සල්ලි වලින් යටිතල පහසුකම් සංවර්ධනය කළ චීනයට ලංකාවට මෙන් ණය අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. 

ඇමරිකාවේ රජය විසින්ද මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජන සිදු කළත් චීනය ඇතුළු ආසියානු රටවලට සාපේක්ෂව නගරාලංකාරය වෙනුවෙන් එතරම් මුදල් වැය කරන්නේ නැහැ. පාර අතුගාන හා කුණු එකතු කරන ශ්‍රමිකයින් ශාමන් දූපත පුරාම දැකිය හැකියි. මේ ගොඩක් අය වයස්ගත පුද්ගලයින්. ඔවුන්ගේ මුහුණු වල දැකිය හැක්කේ අසරණකම පමණයි. 

පසුගිය කාලය ඇතැම් අය ලංකාවට චීනයෙන් කොසු ඉදල් ආනයනය කිරීම සඳහා වැය වන පිරිවැය ගැන කතා කර තිබුණා. එහෙත් ලංකාවට කොසු ඉදල් එවන චීනයේ කම්කරුවන් මෙවැනි කොසු ඉදල් භාවිතා කරන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ හැම දෙනෙක්ම වගේ පාර අතුගෑම සඳහා භාවිතා කලේ ගස් වල ඉපල් එකතු කර හදාගත් බෝලතු. මෙය හැම තැනම දැකිය හැකි වූ සාමාන්‍ය තත්ත්වයක්.

එක පැත්තකින් මැක්ඩොනල්ඩ්ස්, KFC ගොස් ආහාර ගන්නා, ටැක්සි වලින් ගමන් බිමන් යන මධ්‍යම පාංතිකයින් විශාල පිරිසක් සිටියද, එම ස්ථරයට පහළින් වෙනම ලෝකයක ජීවත් වන විශාල පිරිසක්ද සිටිනු නිරීක්ෂණය කරන්න අමාරු නැහැ. ඒ අය කරන්නේ ජීවත්වීම සඳහා පාර අතුගාන එක හෝ මූදු වෙරළේ අඹ විකුණන එක වගේ වැඩක්. නගරාලංකාරය වෙනුවෙන් කොයි තරම් මහන්සි වුනත්, අහස උසට නැගුනු සුපිරි හෝටල්, සුපිරි වෙළඳසැල් අතරම සාමාන්‍ය ජනතාව ජීවත්වන මහල් නිවාසද දැකිය හැකියි. නගරාලංකාරය වෙනුවෙන් ඉවත් කළ නොහැකි තරම් විශාල පිරිසක් ඒවායේ ජීවත් වන බවයි පෙනෙන්නට තිබෙන්නේ. 

මේ හැම මහල් නිවාසයකම මෙන් රෙදි වැල් දැකිය හැකියි. එයින් පැහැදිලි වන්නේ රෙදි සෝදන යන්ත්‍රයක් බොහෝ චීන්නුන්ට සුඛෝපභෝගී භාණ්ඩයක් බවයි. දස අත විසිරුණු චීන භෝජන ශාලා ප්‍රධාන වීථි වල පිරී තිබුණත්, මහල් නිවාස පේලි අතර අතුරු පාරවල් වල දැකිය හැක්කේ සාමාන්‍ය ජනතාවට නූඩ්ල්ස් වැනි සරල ආහාර ලාබෙට විකුණන තැන් සහ ඒ තැන් වලින් ආහාර ගන්නා අයයි.

කෙසේ වුවත්, යාචකයින් කිසිවකු දැක ගත හැකි වූයේ නැහැ. ඒ වගේම, බඩු විකුණා ගැනීම පිණිස පස්සෙන් එන හෝ බඩු බලෙන් ඇඟේ ගසන අයද දැකිය හැකි වූයේ නැහැ. ඒ වගේම, ටැක්සි රියදුරන් කිසිම විටක වැඩියෙන් සල්ලි ගත්තේ හෝ දුර පාරවල් වලින් ගමන් කළේ නැහැ. මේ හැම දෙයකින්ම පෙනෙන්නට තිබුණේ නීතිය දැඩිව ක්‍රියාත්මක වන ආකාරයයි. වැඩිම දෙනෙකු විසින් කරනු දැකිය හැකි වූ රැකියාව පාර අතුගාන එකද නැත්නම් පොලිස් සේවයද යන්න හරියටම කිව නොහැකි වුවත් ඔය දෙකෙන් එකක් විය යුතුයි. 

රටක් කෙටි කලක් තුළ වේගයෙන් දියුණු වෙද්දී සිදු වන්නේ අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකු මධ්‍යම පාන්තිකයින් බවට පත් වීමයි. චීනයේ සිදුව තිබෙන්නේද මෙයයි. මගේ පෞද්ගලික මිතුරන් බොහෝ දෙනෙක් මෙවැනි මධ්‍යම පාන්තිකයින්. ඔවුන්ගේ ප්‍රශ්න මධ්‍යම පාන්තිකයින්ගේ ප්‍රශ්න. මේ අය එකතු වූ විට ඔවුනොවුන් කතා කළ දෙයින් පිළිබිඹු වූ ප්‍රධානම දෙයක් වූයේ ඉහළ බදු අනුපාතය පිළිබඳ ඔවුන්ගේ කණස්සලයි.

එහෙත්, මේ මධ්‍යම පාන්තිකයින්ට වඩා පහළ ස්ථරයක විශාල චීන ජාතිකයින් පිරිසක් ජීවත් වන බව පැහැදිලිව දැකිය හැකි වූ කරුණක්. ඔවුන්ගේ ජීවන තත්ත්වය මෙන්ම හැසිරීම් විසින්ද නැවත නැවත මතක් කර දෙන්නේ චීනය යනු තවමත් සංවර්ධනය වෙමින් තිබෙන රටක් බවයි. පාර අයිනේ තාප්පයකට මුත්‍රා කරන පුද්ගලයින් ශාමන් වලදී මෙන්ම වුහාන් වලදීද කිහිප වර දැකිය හැකි වූ දෙයක්. මැක්ඩොනල්ඩ්ස් වැනි තැන් වල වැසිකිලි අගුළු ලා ඇති අතර පොදු වැසිකිලි වලට කිට්ටු වෙන්න අමාරුයි. ලෝකයේ අනෙක් බොහෝ රටවල වගේම චීනයේත් ලෝක දෙකක් දැකිය හැකියි. 

එක් පොදු පිරිමි වැසිකිලියක මුත්‍රා කරන ස්ථානයට ඉහළින් ප්‍රදර්ශනය කර තිබුණු පාඨය මගේ සිත් ඇදගත්තා. එයින් කියවුනේ මෙයයි.

"ඔබ ඉදිරියට තබන එක් කුඩා පියවරක් ශිෂ්ඨත්වය වෙනුවෙන් තබන විශාල පියවරකි."

මෙයින් අදහස් කර තිබුණේ කරුණාකර මුත්‍රා හැම තැනම හලන්නේ නැතිව අඩියක් ඉස්සරහට ගිහින් හරි තැනට මුත්‍රා කරන්න කියන එකයි. මෙවැනි ඉල්ලීමක් කරන්න අවශ්‍ය වී තිබෙන්නේ ඇයි කියන එක හිතාගන්න පුළුවන් විය යුතුයි. 


රටක සමාජ-ආර්ථික ක්‍රමය මත ඒ රටේ මිනිස්සුන්ගේ චර්යාවන් හා රුචිඅරුචිකම් තීරණය වෙනවද? එහෙම නැත්නම් රටේ මිනිස්සුන්ගේ චර්යාවන් හා රුචිඅරුචිකම් මත සමාජ-ආර්ථික ක්‍රමය තීරණය වෙනවද? මට අනුවනම් මේක ඉස්සෙල්ලා ආවේ බිත්තරයද නැත්නම් කිකිළිද වගේ ප්‍රශ්නයක්. 

Sunday, June 16, 2024

ඇන්ටික් කඩයක මරණයක්!

සති දෙකක් පමණ "චීන මහා අග්නි-ප්‍රාකාරය (Great Firewall of China)" ඇතුළේ හිර වෙලා ඉඳලා සමාන්තර ලෝකයට නැවත ආවත් පහු ගිය සති දෙකේ සමාන්තර ලෝකයේ සිදු වුනු දේවල් පිළිබඳව යාවත්කාලීන වෙන්න තවත් දවසක් දෙකක් යයි. මහා අග්නි-ප්‍රාකාරය ඇතුළේ ලෝකය ඇස් දෙකෙන්ම හරියට බලා ගන්න සහ අත් විඳින්න ලැබීමේ වාසිය එක්ක බලන කොට ඒක ලොකු පාඩුවක් නෙමෙයි. 

ආපහු හිටපු ලෝකයට එන කොට ලංකාවට IMF දෙවන වාරිකය ලැබිලා. පළමු කාර්තුවේ හොඳ ආර්ථික වර්ධන වේගයක් සටහන් වෙලා. ඔය අතරේ මිහිර පත්තරයේ අවසන් මුද්‍රිත කලාපයත් නිකුත් වෙලා. 

මිහිර පත්තරේට මට වඩා අවුරුදු හතරක් පහක් පමණ වයසයි. එහෙම බැලුවොත් පවුලේ ලොකු අයියෙක් වගේ. අපේ පවුලේ ලොකු අයියා මම නිසා මට ලොකු අයියෙක් ගැන අත්දැකීම් නැහැ. සමහර විට පවුලේ ලොකු අයියෙක් ගැන කෙනෙකුට දැනෙන විදිහ මිහිර පත්තරේ ගැන මට දැනෙන විදිහට සමාන වෙන්න පුළුවන්. 

මම හිතන්නේ මම මුලින්ම මිහිර පත්තරේ කියවන්න පටන් ගන්න ඇත්තේ එහි හත් වන වෙළුමේ පමණ සිට විය යුතුයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1973 වගේ කාලයක සිට. වයස අවුරුදු හතරක් පමණ වුවත් ඒ වෙද්දී මට හොඳින් කියවන්න පුළුවන්. ඒ වගේම කියවන්න ලොකු කැමැත්තකුත් තිබුණා. මටම ලැබුණු මිහිර පත්තරේට අමතරව "සිළුමිණ" වගේ ලොකු අයගේ ලොකු පත්තරත් කියෙවුවා. මිහිර පත්තරේනම් අකුරක් නෑරම වගේ කියෙවුවා. 

ඒ දවස් වල මිහිර පත්තරයක මිල ශත පණහක් පමණ විය යුතුයි. හැම සඳුදා දවසකම පත්තරේ ලැබුණා. කියවලා ඉවර කරන්න දවසක් ඇති වුනත් ඉතිරි දවස් වල කරන්නත් ප්‍රහේලිකා පුරවන එක වගේ වැඩ තිබුණා. සිත්තර පත්තරේ වෙළඳපොලට එන කාලය වෙන කොට අපේ ගෙදරින් මා වෙනුවෙන් සතිපතා මිහිර පත්තරේ මිල දී ගන්නවා. 

වසර කිහිපයකට පසුව සිත්තර පත්තරේ බලන එක පවා මට ගෙදරින් තහනම් වුනත්, පත්තරේ මුලින්ම එන කොට එහි කුඩා ප්‍රමාණය සහ චිත්‍රකතා පත්තරයක් වීම වගේ හේතු නිසා එහි මුල් කලාප කිහිපයද මා වෙනුවෙන් අපේ ගෙදරින් මිල දී ගත්තා. සති කිහිපයකට පසුව මේ පත්තර දෙක අතරින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව මට ලැබුණා. මගේ තේරීම වුනේ මිහිර. ඒ වෙද්දී මම මේ පත්තරේට වගේම කියවීමටත් ඇබ්බැහි වෙලා හිටපු නිසා රූප පත්තරයකට වඩා මට ආකර්ශනීය වුනේ කියවන්න දේවල් වැඩිපුර තිබුණු මිහිර පත්තරයයි. මෙය මගේ ජීවිතයේ මුලින්ම කරපු වැදගත් තේරීමක් විය යුතුයි.

මිහිර පත්තරේ සම්බන්ධව මුලින්ම ඇති වුනු හැඟීම යාළුවෙක් පිළිබඳ හැඟීමක් වගේ එකක් විය යුතුයි. මේ යාලුවා හැම සතියකටම වරක් අලුත් මුහුණුවරකින් ගෙදරට එනවා. ඒක ටිකක් සම වයසක යාළුවෙක් ගැන තිබෙන හැඟීම වගේ එකක්. 

මිහිර පත්තරේ සම්බන්ධව මුලින්ම ඇති වුනු මේ හැඟීම වෙනස් වුනේ 1978දී පමණ. ඒ වෙද්දී මම හිටියේ හතරේ පන්තියේ. සතිපතා මිහිර පත්තරේ අකුරක් නෑරම වගේ කියෙවුවත් ඒ වැඩේට දවසකට වඩා නොගිය නිසා කියවීමේ පිපාසය සංසිඳවන්න මිහිර පත්තරේ ප්‍රමාණවත් වුනේ නැහැ. ඔය අවුරුද්දේ නිවාඩු කාලය ගත කරන්න මගේ මවගේ මහ ගෙදර ගිගින් නැවතිලා ඉඳිද්දී දවසක් සොල්දරයට නැගලා එය ගවේෂණය කරද්දී ලොකු නිධානයක් හමු වුනා. ඒ තමයි මිහිර පත්තරේ පළමු වෙළුමේ පළමු කලාපයේ ඉඳලා ගොඩ ගසා තිබුණු විශාල පත්තර අට්ටියක්.

මිහිර පත්තරේ සම්බන්ධව තිබුණු සම වයසේ යාළුවෙක් වැනි හැඟීම වෙනස් වෙලා මට වඩා වැඩිමල් ලොකු අයියෙක් වගේ දැනෙන්න පටන් ගත්තේ ඔය නිධානය හමු වීමත් එක්ක. මේ නිධානය පිරික්සද්දී මා දැන සිටි බට කොළ ආච්චිගේ, බූ හා බබාගේ, යෝදයාගේ හා රාළාමිගේ, මම නොදැන හිටපු අතීතයකුත් මට හමු වෙනවා. මුල් කාලයේ පත්තරයක මිල ශත විසිපහක් පමණ විය යුතුයි. ඒ වගේම පත්තරේ නිකුත් කරලා තියෙන්නේ පසු-පෝය දින වල. ඒ දවස් වල සති අන්තය පෝය හා පෙර පෝය දවස්නේ.

මම හිතන්නේ අපි ලෝකය තේරුම් ගන්න හා අවබෝධ කර ගන්න සාමාන්‍ය ආකාරයත් මේ වගේ කියලා. අපට මුලින්ම හා පහසුවෙන්ම ග්‍රහණය වෙන්නේ අප‍ට අත් විඳිය හැකි වර්තමානය. වර්තමානය ගලා යන වේගයට අපිවත් ගහගෙන යනවා. ඔය අතර අපි නොදන්නා අතීතයක් ගැන අපිට වරින් වර අහම්බයෙන් දැන ගන්න ලැබෙනවා. ඒ අතීතය ගවේෂණය කරන්න ආශාවක් ඇති වෙනවා. නමුත් මේ විදිහට තේරුම් ගන්න අතීතය අපිට දැනෙන විදිහ අපේම කල් පසුවූ වර්තමානය අපිට පසුව දැනෙන විදිහට සමාන නැහැ. 

කාලයක් ජීවත් වෙද්දී අපේම වූ අත්දැකීම් වැඩි වැඩියෙන් එකතු වෙනවා. ඒ වගේම අපේම අත්දැකීම් නොවූ අතීතය හාරා අවුස්සා බලන්න අවස්ථාවන්ද වැඩි වැඩියෙන් ලැබෙනවා. ඒ නිසා, වයසට යන තරමට සිද්ධීන් වලින් කම්පනයක් ඇති වෙන්නේ අඩුවෙන්. අලුතෙන් අත් විඳින්න ලැබෙන ගොඩක් දේවල් අමුතු දේවල් නෙමෙයි.

මිහිර පත්තරේ මුද්‍රණය කරන එක නවත්වන බව දැන ගන්න ලැබීම විශාල කම්පනයක් ඇති කරවන දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපේ ජීවිත කාලය තුළ වරින් වර හමු වූ, සමීප වූ, බොහෝ දේවල් වලට තව දුරටත් ඒ තිබුණු පැවැත්ම නැහැ. සමීපව සිටි සමහර අය මිය ගිහින් ගොඩක් කල් වුනත් ඒ බව කල් පසු වී අහම්බෙන් දැන ගන්න තුරු අපේ ලෝක වල තව දුරටත් ජීවත් වෙනවා. තවත් අය මිය ගිය බව වහාම දැන ගන්න ලැබුණත්, යම් කාලයක් එවැනි කෙනෙක් සමීපව ඇසුරු කළ බව මතකයට එන්නෙත් ඒ පුවතත් එක්ක. ඒක අපේ සාපේක්ෂ ලෝක වල ඒ අය කලින්ම මිය යාමකට සමානයි. මගේ ලෝකය ඇතුළේ මිහිර පත්තරේ වැටෙන්නේ දෙවන ගොඩට.

සමහර අය කියන විදිහට පසුකාලීනව මිහිර පත්තරේ ටියුෂන් පත්තරයක් බවට රූපාන්තරණය වී තිබෙනවා. මේ යුගය ගැන මට එතරම් මතකයක් නැහැ. මම හිතන්නේ මෙය සිදු වී තිබෙන්නේ මිහිර පත්තරේ එක්ක තිබුණු මගේ සම්බන්ධය කැඩුනට පස්සේ. 

අසූව දශකයේ මැද භාගය වෙද්දී අපේ වයසේ ගොඩක් අය එක පාරටම "ලොකු වුනා". රටේ හා ලෝකයේ දේශපාලනය ගැන වඩා සංවේදී වෙද්දී මිහිර පත්තරේ වගේ ළමා ලෝකයට අයිති දේවල් එක්ක සම්බන්ධය කැඩුනා. මිහිර පත්තරේ කියා කියන්නේ ඒ වයසේදී මග හැරුණු ලොකු අයියෙක්.

කොහොම වුනත් මම ලියපු දෙයක් මුලින්ම මුද්‍රිත අකුරෙන් පළවුනේ මිහිර පත්තරේ බව මතක් වුනේ වෙනත් අයෙකු විසින්ද ඊට සමාන දෙයක් සටහන් කර තිබෙනු දුටු පසුවයි. ඒ 1981දී. එතකොට හිටියේ හතේ පන්තියේ. ඒ වන විටත් විවිධ තරඟ විභාග ආදිය ජයගෙන පත්තර වල කිහිප වරක්ම නම පළ වී තිබුණත්, ලියපු දෙයක් පත්තරේ පළ වී තිබෙනු දැකීම වෙනස්ම අත්දැකීමක්. පසුකාලීනව දිවයින අටවෙනි පිටුවට හා විශේෂාංග අතිරේකයට මාරු වෙන තුරු වැඩිපුරම ලිවුවේ මිහිර පත්තරේටයි. 

ඒ දවස් වල පත්තරයකට ලියනවා කියන එකත් අමුතුම කට්ටක්. අතින් ලියලා තැපෑලෙන් පත්තරේට යැවුවට පස්සේ එය පළ වුනාද කියා දැනගන්න වෙන්නේ පත්තරය බලලම තමයි. හැබැයි මිහිර පත්තරේ වගේ පත්තර වලට ලියපු අයට හොඳ සම-අවස්ථාවක් ලැබුණා කියලා මම හිතනවා. මේ සමඟ පළ කරන "වෙළඳපොළක්" ලිපිය මම ලියපු එකක් නෙමෙයි. මගේ ලිපියක් පළ වූ නිසා එකතු කර තියාගත් පත්තරයක පළව තිබුණු එවක පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යාවකගේ ලිපියක්. මම දන්නා කෙනෙක් නෙමෙයි. නමුත් දැන් සමහර වැඩිහිටි අය වෙළඳපොළ ගැන කියන දේවල් එක්ක බැලුවහම ඊට වඩා හොඳ රචනාවක්. 

මගේ ඇන්ටික් කඩේ අඩු වශයෙන් මම ලියපු ලිපි පළ වූ පත්තර සියල්ලම හෝ නැහැ. කිහිපයක් පමණයි තියෙන්නේ. මිහිර පත්තරේ කියන්නේ මගේ ඇන්ටික් කඩයේ කොටසක් පමණයි. ඒ නිසාම, මිහිර පත්තරේ මරණය කියන්නෙත් ඇන්ටික් කඩයක මරණයක් පමණයි. හැබැයි මේ වගේ ඇන්ටික් කඩ නඩත්තු කළේ නැත්නම් අපිටත් පැවැත්මක් කියා දෙයක් නැහැ. ජීවත් වෙනවා කියා කියන්නෙම ඇන්ටික් කඩ නඩත්තු කිරීමක්.

Wednesday, May 29, 2024

පොලී අනුපාතික සහ උද්ධමන අපේක්ෂාව


ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වීම හරහා වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන ආකාරය කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ වගේම, අයවැය හිඟය පියවා ගැනීම පිණිස රජය ඔය ණය වෙළඳපොළට ඇතුළු වූ විට වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන ආකාරයත් පෙන්වා දුන්නා.

ඔය ආකාරයට තීරණය වන ලංකාවේ පොලී අනුපාතික, දිගුකාලීනව බැලුවොත්, 10%කට ආසන්න මට්ටමකයි තියෙන්නේ. නමුත් බටහිර රටවල වෙළඳපොළ පොලී අනුපාතික තියෙන්නේ 4%-5% වගේ මට්ටමක. 

ලංකාවේ පොලී අනුපාතික ඉහළ මට්ටමක තියෙන්නේ ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වෙන්නේ ඉහළ පොලී අනුපාතිකයකදී නිසා. මේ වෙනසට හේතුව රජයේ අයවැය හිඟය පමණක් බව කියන්න අමාරු ඇමරිකාව වගේ රටවල් වල රජයයන් විසින්ද වෙළඳපොළෙන් විශාල ලෙස ණය ගන්න නිසා. 

ලංකාවේ ඉතිරි කරන්නෝ, බටහිර රටකට සාපේක්ෂව, වැඩි පොලී අනුපාතිකයක් අපේක්ෂා කරනවා. ඒ වගේම, ණය ගන්නෝ ලොකු විරෝධයක් නැතිව වැඩි පොලියක් ගෙවනවා. ඒ නිසා, වෙළඳපොළ පොලී අනුපාතික තුලනය වන්නේ ඉහළ මට්ටමකදී. ලංකාවේ මිනිස්සු ඒ විදිහට හැසිරෙන්නේ ඇයි?

ඉහත ප්‍රශ්නය ගන්න කලින් තවත් දෙයක් පැහැදිලි කරලා ඉන්නම්. කලින් සටහන් දෙකෙන් පෙන්නුවේ වෙළඳපොළ පොලී අනුපාතිකය පහළ යද්දී සාමාන්‍යයෙන් ඉතිරි කරන කෙනෙක් ණය ගන්න පෙළඹෙන එක ගැන සහ වෙළඳපොළ පොලී අනුපාතිකය ඉහළ යද්දී සාමාන්‍යයෙන් ණය ගන්න පෙළඹෙන කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන එක ගැන. පහසුවට ඒ විදිහට විස්තර කළත්, වෙළඳපොළ පොලී අනුපාතිකය පහළ යද්දී ඕනෑම කෙනෙක් ණය ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම, වෙළඳපොළ පොලී අනුපාතිකය ඉහළ යද්දී ඕනෑම කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ. 

කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි තරමේ ආදායමක් තිබේනම් පමණයි. මොකද ඉතිරි කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම පරිභෝජනය සීමා කිරීමක්. පරිභෝජනය සීමා කළ හැකි සීමාවක් තියෙනවා. බඩට ආහාරයක් නැතිව, ලෙඩකට බේත් නොගෙන, ඉතිරි කරන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඔය මූලික අවශ්‍යතා ටික සපුරා ගත හැකි තරමේ ආදායමක් නැති කෙනෙක් වෙළඳපොළ පොලී අනුපාතික කොයි තරම් ඉහළ ගියත්, සතයක්වත් ඉතිරි නොකරන්න පුළුවන්.

බටහිර රටවලනම් තරුණ වයසේ අය ඉතිරි කරන්නේ අඩුවෙන්. ගොඩක් අය කරන්නේ ණය වෙන එක. ඉතිරි කරන්න පටන් ගන්නේ මැදි වයස වෙද්දී. මම හිතන විදිහට ලංකාවේ ගොඩක් අය ණය වෙන්න පටන් ගන්නේ මැදි වයසේදී. තරුණ වයසේ අයට ණයක් ගන්න අවශ්‍ය වුනත් ණයක් ගන්න අමාරුයි. ණය ගැනීමේ හැකියාව වැඩි වන්නේ මැදි වයසේදී. 

තරුණ වයසේ අයෙකු ණය වීම තාර්කික කරුණක්. ඒ අයගේ අපේක්ෂිත අනාගත ආදායම එක්ක බැලුවහම සල්ලි වල වර්තමාන වටිනාකම වැඩියි. ඒ නිසා, ඒ වගේ අය ණය ගන්න පෙළඹෙන එක තේරුම් ගන්න අමාරු නැහැ. අර කතාවට කියනවනේ තරුණ කාලේ වෙලාව සහ ජවය තිබුණට සල්ලි නැහැ, මැදි වයසේදී ජවය සහ සල්ලි තිබුණට වෙලාව නැහැ, වයස්ගත වුණාම සල්ලි හා වෙලාව තිබුණත් ජවය නැහැ කියලා. ඔය කතාව බොරුවක් නෙමෙයිනේ. ඒ නිසා, වෙලාව හා ජවය තියෙන කාලේ පුළුවන්නම් සල්ලි ටිකක් ණයට අරගෙන තරුණ ජවයෙන් ප්‍රයෝජනයක් ගන්න එක නරක අදහසක්ම නෙමෙයි. කොයි විදිහටද කියන එක පෞද්ගලික කාරණයක්. 

විශ්‍රාමික වයස්වල ගොඩක් අය ඉතිරි කරන්නෝ. ඒ අය කරන්නේ වැඩ කරන කාලයේ ඉතිරි කරගත් මුදලින් ජීවත් වෙන එක. ඉතිරි කරගත් මුදල මිසක් වෙනත් ආදායම් මාර්ග නැත්නම් ණය අරගෙන අනාගතයේ ඒ ණය ආපසු ගෙවිය හැකි ක්‍රමයක් නැහැ. ඒ නිසාම, මේ වගේ අයට ණයක් ගන්නත් අමාරුයි. වෙළඳපොළ පොලී අනුපාතිකය කොයි තරම් පහළ ගියත් මේ වගේ අය තව දුරටත් ඉතිරි කරන්නෝම තමයි.

හැබැයි ඔය කාණ්ඩ දෙකේ අය හිටියා කියලා මම පෙර ලිපියේ පැහැදිලි කළ තුලනය සිදු නොවී තියෙන්නේ නැහැ. රටක යම් නිත්‍ය ණයකරුවෝ සහ නිත්‍ය ඉතිරි කරන්නෝ පිරිසක් ඉන්නවා. ඒ අය වෙළඳපොළ පොලී අනුපාතිකයට සංවේදී නැහැ. නමුත් ඒ කාණ්ඩ දෙක හැර වෙළඳපොළ පොලී අනුපාතිකයට සංවේදී තවත් විශාල පිරිසක් ඉන්නවා. වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය කරන්නේ ඒ පිරිස. හරියට මැතිවරණයකදී ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායකයෝ වගේ. 

දැන් අපි නැවතත් මුල් ප්‍රශ්නයට එමු. ලංකාවේ බොහෝ දෙනෙකුගේ "සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව" ඉහළ මට්ටමක තියෙන්නේ ඇයි?

මෙම ලිපි මාලාවේ දෙවන කොටසෙන් පෙන්වා දුන් පරිදි, සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව කරුණු තුනක් මත තීරණය වෙනවා.

1. උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩුවීම 

2. මුදල් අපේක්ෂිත පරිදි නොලැබීමේ අවදානම 

3. මුදලේ කාල වටිනාකම

එක් එක් පුද්ගලයාගේ සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව වෙනස් වන්නේත්, ඇමරිකානුවෙකුගේ හා ශ්‍රී ලාංකිකයෙකුගේ ඔය අගයයන් වෙනස් වෙන්නේත් මේ කරුණු තුනෙන් එකක් හෝ කිහිපයක් වෙනස් වීම නිසා. 

තරුණ වයසේදී බොහෝ දෙනෙක් ණය ගන්න පෙළඹෙන්නේත්, විශ්‍රාමික වයස් වලදී ඉතිරි කිරීම් රැක ගන්න පෙළඹෙන්නේත් කාල වටිනාකම් වෙනස නිසා. තරුණ වයසේ ඉන්න කෙනෙකුට මුදල් උපයා ගන්න විශාල කාලයක් තියෙන නිසා අනාගතය ගැන ලොකුවට බය වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා අද අතට ලබා ගත හැකි මුදලක් ගොඩක් වටිනවා. විශ්‍රාමික වයසේ කෙනෙකුට එවැනි ආදායම් අපේක්ෂාවක් නැහැ. තියෙන සල්ලි ටික මැරෙනකම් ජීවත් වීම සඳහා රැක ගන්න වෙනවා. ඉතිරි වී තිබෙන අනාගත කාලය සඳහා එම සල්ලි ඉතිරි කරගැනීම ඒ අයට ඉතාම වැදගත්. 

මෙය කාල වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන එක හේතුවක් පමණයි. කුඩා දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න කෙනෙකුට සාපේක්ෂව තනිකඩ කෙනෙකුට අනාගතය ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ අඩුවෙන්. ඔය වගේ විවිධ වෙනස්කම් තියෙනවා. මෙය ලංකාවේ ඉන්න අයට වගේම වෙනත් රටවල ඉන්න අයටත් එක සේ බලපාන සාධකයක්. කාල වටිනාකම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

හැබැයි උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩුවීම හැමෝටම බලපාන්නේ එක විදිහට. නමුත්, ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතිරි කිරීමේ හෝ ණය ගැනීමේ තීරණයකදී අදාළ වෙන්නේ අනාගත උද්ධමනය. පසුගිය කාලයේ උද්ධමනය ගැන අපි දන්නවා වුනත්, අනාගත උද්ධමනය ගැන අපි හරියටම දන්නේ නැහැ. ලංකාවේ උද්ධමනය 73%ට යා හැකි බව අවුරුදු තුන හතරකට කලින් කී දෙනෙක් හිතුවද?

මෙන්න මේ කාරණයේදී බොහොමයක් බටහිර රටවල් හා ලංකාව අතර වෙනසක් තිබෙනවා. බොහොමයක් බටහිර රටවල් මෑත කාලයේදී සාමාන්‍ය අගයක් ලෙස උද්ධමනය 2% ආසන්න මට්ටමක තබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ නිසා, අනාගතයේදීත් එය ඒ විදිහට වෙයි කියන විශ්වාසය බොහෝ දෙනෙකුට තිබෙනවා. ලංකාවේ ඒක නැහැ. ඒ නිසා, උද්ධමන අපේක්ෂාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට විචලනය වන පරාසය බටහිර රටකට සාපේක්ෂව වැඩියි. ඊට අමතරව සාමාන්‍ය අගයක් ලෙස උද්ධමන අපේක්ෂාවම වුනත් වැඩියි. මෙය ලංකාවේ ගොඩක් අයගේ "සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව" ඉහළ මට්ටමක තියෙන්න ප්‍රධාන හේතුවක්. 

"අපි හිතමු අවුරුදු පහකින් ඔබට රුපියල් ලක්ෂය ලැබෙන්නේ උද්ධමනය එක්ක ගැලපීමෙන් පසුව කියලා. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙන ප්‍රමාණයට ඔය රුපියල් ලක්ෂයත් වැඩි වෙනවා. එහෙමනම්, ඔබ මේ අනාගත මුදල වෙනුවට අද ඉල්ලන අවම මුදල කීයද?"

මේ ප්‍රශ්නයට ලැබී තිබුණේ පිළිතුරු කිහිපයක් පමණයි. 

වරුණගේ පිළිතුර මුල් පිළිතුර මෙන් දෙගුණයක්. එයින් අදහස් වන්නේ වසර 5කින් මිල මට්ටම දෙගුණ වන බව ඔහු උපකල්පනය කරන බවයි. ඒ කියන්නේ 14.7%ක උද්ධමනයක්.

බුද්ධිකගේ පිළිතුර 66.7%කින් වැඩියි. එයින් අදහස් වන්නේ 10.8%ක උද්ධමනයක්. 

ශවීන් උද්ධමනය 5% කියලා කෙළින්ම උපකල්පනය කරලා තිබුණා. අංජන උපකල්පනය කරලා තිබුනෙත් 5% ලෙසයි. 

මෙහි ශවීන් සහ අංජන විසින් උපකල්පනය කර තිබෙන 5% කියන්නේ මහ බැංකුව විසින් "පොරොන්දු වී" තිබෙන උද්ධමනය. වරුණ හා බුද්ධික ඒ පොරොන්දුව විශ්වාස කරන බව පෙනෙන්නේ නැහැ. මම හිතන්නේ රටේ සාමාන්‍ය ජනමතය සැලකුවත් සාමාන්‍ය උද්ධමන අපේක්ෂාව 5%ට වඩා වැඩි වෙන්න පුළුවන්.

මහ බැංකුවේ පොරොන්දු උද්ධමනය සහ සාමාන්‍ය උද්ධමන අපේක්ෂාව සමාන වෙන්නනම් මහ බැංකුව විසින් එක දිගට විශාල කාලයක් පොරොන්දුව ඉටු කර පෙන්විය යුතුයි. බටහිර රටවල එහෙම වෙලා තිබුනත් ලංකාවේ එහෙම වෙලා නැහැ. ලංකාවේ තරමටම නැතත් බටහිර රටවල වුනත් ඔය පොරොන්දුව ඉටු කිරීමේ ප්‍රශ්න තිබෙනවා. 

මහ බැංකුව ඉදිරි වසර පහක කාලය තුළ ඇත්තටම උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්නවා කියලා හිතමු. නමුත් වෙළඳපොළ පොලී අනුපාතිකය හැදෙද්දී අදාළ වෙන්නේ ඒ සම්බන්ධව මිනිස්සු විශ්වාස කරන අගය මිසක් ඇත්ත අගය නෙමෙයි. ඒ විශ්වාස කරන අගය වැඩිනම් එවැනි පුද්ගලයින්ගේ "සැඟවුණු පොලී අනුපාතික අපේක්ෂාව" වැඩියි. එහි ප්‍රතිඵලය වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතිකයද ඉහළ මට්ටමක රැඳීමයි. මහ බැංකුව පිලිබඳ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වැදගත් වන්නේ මේ නිසා. 

උඩ වගුවේ තිබෙන්නේ අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ පොලී අනුපාතික. ලිපියට සෘජු සම්බන්ධයක් නැහැ. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික රාමුව ඇතුළට පැමිණ තිබෙනවා.

Tuesday, May 28, 2024

වෙළඳපොළ පොලී අනුපාතිකය හැදෙන හැටි


"ඔබට තව අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් නිකම් දෙනවා කියලා හිතන්න. කැමතිනම් ඒ වෙනුවට අද ඊට වඩා අඩු මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉල්ලන මුදල ඕනෑවට වඩා වැඩි නැති සාධාරණ මුදලක්නම් පමණයි. ඔබ ඉල්ලන අවම මුදල කීයද?"

මේ ප්‍රශ්නයට කිහිප දෙනෙකු විසින් ලබා දුන් පිළිතුරු ඇසුරෙන් මම ඒ අයගේ "සැඟවුණු පොලී අනුපාතිකය" ඔබට ඉදිරිපත් කළා. 

වරුණ - 38.0%

සසංක - 32.0%

ඇනෝ - 23.4%

ලංකා - 14.9%

බුද්ධික - 10.8%

ශවින් - 10.8%

සිරිල් - 10.8%

අංජන - 9.0%

ඉවාන් - 7.4%

මේ සැඟවුණු පොලී අනුපාතිකය තමයි තීරණය කරන්නේ කිසියම් පුද්ගලයෙක් ඉතිරි කරන්නෙක් වෙනවද නැත්නම් ණයකාරයෙක් වෙනවද කියන එක. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පුද්ගලයෙක් පුළුවන් තරම් ඉතිරි කරන්න පෙළඹෙනවා. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා අඩුනම් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ පුළුවන් තරම් ණය ගන්න පෙළඹෙන එක.

වෙළඳපොළ පොලී අනුපාතිකය 15%නම්, ලංකා, බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් කියන හය දෙනාම ඉතිරි කරන්නෝ වෙනවා. වරුණ, සසංක හා ඇනෝ පමණක් ණය ගන්න පෙළඹෙනවා. පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත්, මුදල් ඉතිරි කරන්නේ අංජන හා ඉවාන් පමණයි. ඉතිරි හත් දෙනාම කරන්නේ ණය ගන්න එක.

"ඒ කියන්නේ ණය පොලිය 7-8% මට්ටමකට ආවොත් ජනතාවගෙන් වැඩි % එකක් ණය ගනී කියලාද?"

බුද්ධික අහල තියෙන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි හිතමු වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනා කියලා. එහෙම වෙද්දී ඉහත කිසිවකුගේ සැඟවුණු පොලී අනුපාතිකය, එහෙමත් නැත්නම් "තීරක පොලී අනුපාතිකය" වෙනස් නොවී ඒ විදිහටම තිබුණා කියලා හිතමු. 

මේක පහසුවට, දැනට කරන උපකල්පනයක් පමණයි. ඔය සැඟවුණු, එහෙම නැත්නම් තීරක පොලී අනුපාතිකය නියතයක් නෙමෙයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම එකම පුද්ගලයෙක් හා අදාළව වුනත් විවිධ සාධක මත වෙනස් වෙනවා. ඒ ගැන කතා කරන එක පසුවට තියලා දැනට අපි මේ අනුපාතික නොවෙනස්ව තිබුණා කියා හිතමු. 

වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනොත් ඉහත ලැයිස්තුවේ ඉන්න කිසිම කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ. ලැයිස්තුවේ අන්තිමටම ඉන්න ඉවාන් වුනත් 7.4%කට වඩා අඩු පොලියක් සලකන්නේ ණය ගන්න හොඳ පොලියක් ලෙස මිසක් ඉතිරි කරන්න පොළඹවන පොලී අනුපාතිකයක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ මේ හැමෝම පෙළඹෙන්නේ ණය ගන්න.

හැබැයි දැන් මෙතැන තියෙන ප්‍රශ්නය මේකයි. ඔය හැමෝම ණය ගන්න කැමති වුනත්, ඒ අයට ණය දෙන්නේ කවුද? ණය ගන්නනම් ඒ ප්‍රමාණය දෙන්නත් කවුරු හෝ සිටිය යුතුයි. ඒ කියන්නේ ඉතිරි කරන්නෝ සිටිය යුතුයි. වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනොත් එහෙම කවුරුවත්ම නැහැ. ඒ කියන්නේ 7% පොලී අනුපාතිකයට ණය ගන්න වැඩේ කෙරෙන දෙයක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත්, ඔය තත්ත්වය යටතේ, වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වෙන්න විදිහක් නැහැ. 

ඔය උඩ ලැයිස්තුවේ ඉන්න හැමෝම තමන්ගේ තීරක පොලී අනුපාතිකයට වඩා අඩු පොලියකට ණය ගන්න කැමතියි. හැබැයි එහෙම කැමති වුනු පලියටම ණය ලැබෙන්නේ නැහැ. ඒ තරම් අඩු පොලියකට ණය දෙන්න කැමති අයත් සිටිය යුතුයි. අනෙක් අතට ඔය හැමෝම තමන්ගේ තීරක පොලී අනුපාතිකයට වඩා වැඩි පොලියකට ණය දෙන්න, එහෙමත් නැත්නම් ඉතිරි කරන්න කැමතියි. හැබැයි ඒ තරම් ඉහළ පොලියකට ණය ගන්න කැමති අය නැත්නම් ඔය වැඩේ වෙන්නේ නැහැ.

වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය වෙන්නේ ණය ගන්න කැමති අය සහ ණය දෙන්න කැමති අය අතර තුලනයක් ඇති වෙන ආකාරයටයි. ඉහත උදාහරණයේ වෙළඳපොළ පොලී අනුපාතිකය 15%ක් වුනා කියමු. දැන් වරුණ, සසංක හා ඇනෝ ඒ පොලිය ගෙවා ණය ගන්නවා. ඔවුන් දකින විදිහට එය ඔවුන්ට ලාබයි. ඔවුන් ගෙවන්න කැමති උපරිම පොලී අනුපාතිකය 15%ට වඩා වැඩියි. ඉතිරි හය දෙනා 15% පොලියට ණය දෙනවා. එය ඔවුන් බලාපොරොත්තු වන අවම පොලියට වඩා වැඩි පොලියක්. 

දැන් මේ පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත් ලංකා, බුද්ධික, ශවීන් හා සිරිල් තව දුරටත් සල්ලි ඉතුරු කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ ණය ගන්න එක. දැන් ණය ගන්න හත් දෙනෙක් ඉන්නවා. ඒ හත්දෙනාටම ණය ගන්න ප්‍රමාණවත් මුදලක් අංජනට හා ඉවාන්ට ඉතිරි කරන්න පුලුවන්ද? එහෙම පුළුවන්නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, එහෙම බැරිනම් වෙළඳපොළ පොලී අනුපාතිකය 10% දක්වා අඩු වෙන්නේ නැහැ.

අපි හිතමු එක් අයෙක් රුපියල් ලක්ෂය බැගින් ඉතිරි කරනවා හෝ ණය ගන්නවා කියලා. මේකත් සරල උපකල්පනයක් පමණයි. දැන් ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් රුපියල් ලක්ෂය බැගින් ඉතිරි කරනවා. වරුණ, සසංක, ඇනෝ සහ ලංකා ණය ගන්නවා. ඒ අනුව, වෙළඳපොළ පොලී අනුපාතිකය 10.8% ලෙස තීරණය වෙනවා. මොකද ඉතිරි කරන්නෝ සහ ණය ගන්නෝ සමානව දෙපැත්තට බෙදෙන්නේ ඒ පොලී අනුපාතිකයේදී. ඔය විදිහට තමයි වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය වෙන්නේ.

හැබැයි ඔහොම වෙන්නේ රජය අයවැය තුලනය කර ගත්තොත් පමණයි. රජයේ වියදම ආදායමට වඩා වැඩිනම් ඒ අඩුව පුරවා ගන්න රජයටත් ඔය ණය වෙළඳපොළට එන්න වෙනවා. අපි හිතමු රජයේ අයවැය හිඟය රුපියල් ලක්ෂ දෙකක් කියලා. දැන් මොකද වෙන්නේ?

ඉවාන් සහ අංජන ලක්ෂය බැගින් ඉතිරි කරන මුදල රජය විසින් ණය විදිහට වෙළඳපොළෙන් ඉවත් කර ගන්නවා. දැන් ඉතිරි පිරිසට තම තමන්ගේ ණය ඉල්ලුම් හා සැපයුම් තුලනය කරගන්න සිදු වෙනවා. පොලී අනුපාතිකය 10.8% මට්ටමේ තියෙද්දී මේ වැඩේ වෙන්නේ නැහැ. ණය ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්නනම් වෙළඳපොළ පොලී අනුපාතිකය 14.9% දක්වා ඉහළ යා යුතුයි. 

වෙළඳපොළ පොලී අනුපාතිකය 14.9% දක්වා ඉහළ ගියාට පස්සේ ණය ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා. බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ පහක් ඉතිරි කරනවා. එයින් ලක්ෂ තුනක් වරුණ, සසංක හා ඇනෝ විසින් ණයට ගන්නවා. ඉතිරි ලක්ෂ දෙක රජය විසින් ණයට ගන්නවා. 

රජය අයවැය තුලනය කර ගත්තානම් පොලී අනුපාතික 14.9% මට්ටමට නොගොස් 10.8% මට්ටමේ නවතිනවා. අයවැය හිඟය ඉහළ යන තරමට වෙළඳපොළ පොලී අනුපාතිකය ඉහළ යන එකයි වෙන්නේ. ඔය විදිහට පොලී අනුපාතික ඉහළ ගියාම එයත් රජයේ වියදම් වලට එකතු වෙනවා. ඊට අනුපාතිකව බදු ආදායම් වැඩි කර ගත්තේ නැත්නම්, අයවැය හිඟය තවත් ඉහළ යනවා. එය පියවන්න කලින් ගත්ත රුපියල් ලක්ෂ දෙක මදි වෙනවා. තව වැඩියෙන් ණය ගන්න සිද්ධ වෙනවා. එවිට පොලී අනුපාතික තවත් ඉහළ යනවා. විෂම චක්‍රයක් හැදෙනවා. 

රජයේ වියදම් වැඩි වීම -> අයවැය හිඟය ඉහළ යාම -> රජයේ ණය ඉල්ලුම ඉහළ යාම -> වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යාම -> රජයේ වියදම් වැඩි වීම 

Friday, May 24, 2024

පොලී මුදලාලිලා සහ ණයකාරයෝ



ලංකාව ගත්ත ණය ගෙවාගන්න බැරුව ණය පැහැර  හරින තත්ත්වයට පත් වුනා.  දැන් මේක පරණ කතාවක්.  ලංකාව වගේ සමහර රටවල් ලෝකයට ණයයි. ලෝකයේ ණයකාර රටවල් තියෙනවානම් ඒ රටවල් වලට ණය දෙන රටවලුත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

මිනිස්සු ගත්තත් ඔය කතාවේ වෙනසක් නැහැ. සමහර අය ණයකාරයෝ. හැබැයි රටක එහෙම ණයකාරයෝ ඉන්නනම් ඒ අයට ණය දෙන පිරිසකුත් සිටිය යුතුයි. මේ විදිහට සමහර අය ණයකාරයෝ වෙලා තවත් අය ණය දෙන්නෝ වෙන්නේ කොහොමද? 

පසුගිය සටහන අවසානයේ මම ප්‍රශ්නයක් ඇහුවා.

"ඔබට තව අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් නිකම් දෙනවා කියලා හිතන්න. කැමතිනම් ඒ වෙනුවට අද ඊට වඩා අඩු මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉල්ලන මුදල ඕනෑවට වඩා වැඩි නැති සාධාරණ මුදලක්නම් පමණයි. ඔබ ඉල්ලන අවම මුදල කීයද?"

මේ ප්‍රශ්නයට කිහිප දෙනෙක්ම පිළිතුරු දී තිබුණා. ඒ සියල්ලන්ටම ස්තුතියි! පහත තිබෙන්නේ වියුණුව හා වත්පොත හරහාත්, විද්‍යුත් තැපෑල මගිනුත් ලබා දී තිබුණු පිළිතුරු කිහිපයක්. සියල්ල රුපියල් වලින්.

වරුණ - 20,000

සසංක - 25,000

ඇනෝ - 35,000

ලංකා - 50,000

බුද්ධික - 60,000

ශවින් - 60,000

සිරිල් - 60,000

අංජන - 64,993

ඉවාන් - 70,000

මේ පිළිතුරු ඇසුරෙන් කරුණු දෙකක් පැහැදිලි ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

පළමුවන කරුණ - මේ හැමෝම අවුරුදු පහකට පස්සේ ලැබෙන රුපියල් ලක්ෂයක අද වටිනාකම තක්සේරු කරන්නේ ඊට වඩා අඩුවෙන්. මෙය සාමාන්‍ය තත්ත්වයක්. ඊට කරුණු තුනක් හේතු වෙනවා.

1. උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩුවීම 

2. මුදල් අපේක්ෂිත පරිදි නොලැබීමේ අවදානම 

3. මුදලේ කාල වටිනාකම

දැනට මම මේ කරුණු වල බලපෑම වෙන් වෙන්ව කතා කරන්න යන්නේ නැහැ. අනාගතයේ ලැබෙන්නට නියමිත රුපියල් ලක්ෂයක මුදල සහ ඉහත ලබා දී තිබෙන එක් එක් පිළිතුර අතර වෙනසින් ඔය කරුණු තුනම පිළිබිඹු වෙනවා.

දෙවන කරුණ - අවුරුදු පහකට පසුව ලැබෙන රුපියල් ලක්ෂයක අද වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එය නියතයක් නෙමෙයි.

මෙයද සාමාන්‍ය තත්ත්වයක්. ඉහත පිළිතුරු නවය අතර වෙනස් පිළිතුරු හතක් තිබෙනවා. මේ එක පිළිතුරක්වත් වැරදි පිළිතුරු නෙමෙයි. වටිනාකමක් කියන්නේ පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. අනාගතයේ ලැබෙන්න තිබෙන මුදලක වටිනාකමටත් ඔය කතාව අදාළයි. 

දැන් මේ පිළිතුරු මම දීපු පිළිතුරු නෙමෙයිනේ. ඔය පිළිතුරු වලින් මම කියපු කාරණා දෙක තහවුරු වෙනවා. දැන් අපි ඊළඟ පැහැදිලි කිරීමට යමු. 

ඉහත පිළිතුර කුමක් වුවත්, ඒ පිළිතුර ඇතුළේ "සැඟවුණු" පොලී අනුපාතිකයක් තිබෙනවා. පිළිතුර වෙනස් වෙද්දී මේ සැඟවුණු පොලී අනුපාතිකයත් වෙනස් වෙනවා.

අපි රුපියල් 64,999 කියන පිළිතුර ගනිමු. මේ මුදල අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් වෙන්නනම් පොලී අනුපාතිකය කීයක් විය යුතුද?

රුපියල් 64,993*(1+9%)^5 = 100,000.  

රුපියල් 64,993ක මුදලකට අවුරුදු පහක් එක දිගට 9% බැගින් වැල් පොලිය එකතු වුනොත් ඒ මුදල රුපියල් ලක්ෂයක් වෙනවා. ඒ කියන්නේ අංජන තමන්ගේ පිළිතුර විදිහට රුපියල් 64,993 ඉදිරිපත් කරද්දී එහි සැඟවුණු අදහස වන්නේ 9%ක පොලී අනුපාතිකයක් අපේක්ෂා කරනවා කියන එකයි. අනෙක් හැම පිළිතුරකමත් ඔය විදිහේ සැඟවුණු පොලී අනුපාතිකයක් තියෙනවා.

වරුණ - 38.0%

සසංක - 32.0%

ඇනෝ - 23.4%

ලංකා - 14.9%

බුද්ධික - 10.8%

ශවින් - 10.8%

සිරිල් - 10.8%

අංජන - 9.0%

ඉවාන් - 7.4%

පේනවනේ. පිළිතුර වෙනස් වෙද්දී එහි සැඟවුණු පොලී අනුපාතිකයත් සෑහෙන්න වෙනස් වෙලා. මේ සැඟවුණු පොලී අනුපාතිකයේ බලපෑම කුමක්ද? 

මේ සැඟවුණු පොලී අනුපාතිකය තමයි තීරණය කරන්නේ කිසියම් පුද්ගලයෙක් ඉතිරි කරන්නෙක් වෙනවද නැත්නම් ණයකාරයෙක් වෙනවද කියන එක. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පුද්ගලයෙක් පුළුවන් තරම් ඉතිරි කරන්න පෙළඹෙනවා. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා අඩුනම් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ පුළුවන් තරම් ණය ගන්න පෙළඹෙන එක.

උදාහරණයක් විදිහට අපි හිතමු වෙළඳපොළ පොලී අනුපාතිකය 15%ක් කියලා. මේ තත්ත්වය යටතේ සංසක ණය ගන්නයි පෙළඹෙන්නේ. මොකද අද රුපියල් 25,000ක් ඉතිරි කළොත් ඕක 15% බැගින් අවුරුදු පහක් වැල් පොලී වෙලා ලැබෙන්නේ රුපියල් 50,284ක් පමණයි. නමුත් සසංකට අවුරුදු පහකින් පස්සේ ලැබෙන රුපියල් 50,284කට වඩා අද අතේ තිබෙන රුපියල් 25,000 වටිනවා. ඒ නිසා, පොලිය 15%නම්, ඉතිරි කරන එක තේරුමක් ඇති වැඩක් කියලා සසංකට පේන්නේ නැහැ. 

හැබැයි සසංකට අනුව ණය ගන්න එක වාසිදායකයි. අද රුපියල් 25,000ක් ණයට ගත්තොත් අවුරුදු පහකට පස්සේ ගෙවන්න වෙන්නේ රුපියල් 50,284ක් පමණයි. අවුරුදු පහකින් ගෙවන රුපියල් 50,284ට වඩා අද අතට ලැබෙන රුපියල් 25,000 සසංකට වටිනවා. 

මේකම ඉවාන්ට දැනෙන්නේ කොහොමද? 

අද ඉවාන් රුපියල් 70,000ක් ඉතිරි කළොත් 15% බැගින් වැල් පොලී වෙලා අවුරුදු පහකින් රුපියල් 140,795ක් අතට ලැබෙනවා. මේ මුදල ඉවාන්ට අද වියදම් කරන රුපියල් 70,000කට වඩා වටිනවා. ඒ නිසා, ඉවාන් පෙළඹෙන්නේ පුළුවන් තරම් ඉතිරි කරන්න. 15% පොලියට ණය ගන්න එක ගැන ඉවාන් හිතන්නේ නැහැ. 

මේ අනුව, කෙනෙක් ණයකරුවෙක් වෙනවද නැත්නම් ඉතිරි කරන්නෙක් වෙනවද කියන එක සාධක දෙකක් මත තීරණය වෙනවා. පළමු සාධකය අනාගතයේ ලැබෙන මුදල් සහ අද අතේ තිබෙන මුදල් වල වටිනාකම් තමන් විසින් සංසන්දනය කරන අනුපාතය සහ ඒ අනුව තීරණය වන තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකය. දෙවන සාධකය වෙළඳපොළ පොලී අනුපාතිකය.

වෙළඳපොළ පොලී අනුපාතිකය 15%නම්, ලංකා, බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් කියන හය දෙනාම ඉතිරි කරන්නෝ වෙනවා. වරුණ, සසංක හා ඇනෝ පමණක් ණය ගන්න පෙළඹෙනවා. පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත්, මුදල් ඉතිරි කරන්නේ අංජන හා ඉවාන් පමණයි. ඉතිරි හත් දෙනාම කරන්නේ ණය ගන්න එක.

අදට ඇති. 

Thursday, May 16, 2024

පොලිය හැදෙන්නේ කොහොමද?


මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ඔවුන්ගේ තැන්පතු වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන මෙන් ඉල්ලමින් සිටිනවා.

පොලී අනුපාතික තීරණය වෙන්නේ කොහොමද?

පොලී සංකල්පයේ ඉතිහාසය මිනිසා විසින් ප්‍රාග්ධනය එක් රැස් කරගන්න පටන් ගැනීමේ ඉතිහාසය දක්වාම පැරණියි කියා කියන්න පුළුවන්. නමුත් අද අර්ථයෙන්ම නෙමෙයි.

මිනිසා විසින් ප්‍රාග්ධනය එක් රැස් කරගන්න පටන් ගැනීමේ ඉතිහාසය කියා කියන්නේ වර්තමාන පරිභෝජනය සීමා කර වර්තමානයේ පරිභෝජනය කළ හැකි දේවල් වලින් කොටසක් අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කර ගැනීමේ ඉතිහාසය. ඒ අනුව, මුල්ම ඉතිරි කිරීම් වෙන්නේ පරිභෝජන භාණ්ඩ. දඩයම් කරගත් සතෙක්ගේ මස් හෝ හාරා එකතු කරගත් අල වර්ගයක් වෙන්න පුළුවන්.

දඩයම් කරගත් සතෙක්ගේ මස් හෝ හාරා එකතු කරගත් අල වර්ගයක් සම්පූර්ණයෙන්ම පරිභෝජනය කර අවසන් නොකර අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කරගන්න පෙළඹවීමක් ඇති වීමෙන් අදහස් වන්නේ කුමක්ද? 

මෙයින් පිළිබිඹු වන්නේ කිසියම් භාණ්ඩයක වටිනාකමේ සාපේක්ෂ බව මිනිසා විසින් තේරුම් ගැනීමේ ඉතිහාසය. එකම මස් කෑල්ල හෝ එකම අලය වුනත් ගොඩක් බඩගිණි වෙලාවට එහි වටිනාකම වැඩියි. හොඳට බඩ පිරුණු වෙලාවට වටිනාකම අඩුයි. 

බඩගිණි වෙන එක කිසියම් ඒකාකාරී රටාවකට නැවත නැවත වෙන දෙයක්. වෙනත් විදිහකට කිවුවොත් බඩ ආහාර ඉල්ලන රටාව සුමට එකක්. නමුත්, බඩ පුරවාගත හැකි ආහාර ඒ විදිහට ඒකාකාරී, සුමට රටාවකට ලැබෙන්නේ නැහැ. හරියට බඩගිණි වෙන වෙලාවටම හාවෙක්, මීමින්නෙක් ලඟට ඇවිදගෙන එන්නේ නැහැ. ඉල්ලුම සුමට වුනත් ආහාර සැපයුම විචල්‍ය එකක්. 

ලැබෙන ආහාර සියල්ල ඒ වෙලාවේම පරිභෝජනය කර අවසන් නොකර කොටසක් අනාගතයට ඉතිරි කර ගැනීමෙන් පරිභෝජනය සුමට කර ගන්න පුළුවන්. පරිභෝජනය සුමට කර ගන්නවා කියන්නේ එකම ආහාර ටිකේ වුනත් වටිනාකම වැඩි කර ගත හැකි ක්‍රමයක්. බඩ පිරුණු වෙලාවට නොකා වඩා බඩගිණි වෙලාවට කන එකෙන් වෙන්නේ වාස්තවික ලෙස එකම ආහාර ද්‍රව්‍යයේ තමන්ට සාපේක්ෂ වටිනාකම වැඩි වෙන එක. 

මේක කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ගේම අනාගතය එක්ක කරන ගනුදෙනුවක්. අද මම මගේ ආහාර වලින් කොටසක් නොකා පැත්තකට කරනවා. හෙට ඒ ටික ආහාරයට ගන්නවා. අද පාඩුව පොඩි බඩගින්නක්. හෙට ලාබය ලොකු බඩගින්නක් නැතිවීම. අද දරන පොඩි බඩගින්නක පාඩුවකින් හෙට ලොකු බඩගින්නක් නැති කරගන්නවා කියන්නේ කරපු ආයෝජනයට පොලියක් ලැබිලා. 

ඔය ගනුදෙනුවම වෙනත් කෙනෙක් එක්ක කරන්නත් පුළුවන්. අද ආහාර වැඩියෙන් තියෙන වෙලාවේ එයින් කොටසක් වෙනත් කෙනෙකුට දෙනවා. එහි හිලවුවට අනාගතයේ දවසක ආහාර ලැබෙනවා. 

ස්වභාවයේ තිබෙන ආහාර එකතු කර ගැනීමේ ඉඳලා තමන් සැලසුම් කර ආහාර නිෂ්පාදනය කර ගැනීම දක්වා මානව සංස්කෘතිය දියුණු වෙද්දී පොලිය පිළිබඳ අදහස ක්‍රියාත්මක වන ආකාරය තවදුරටත් පරිණාමය වෙනවා. එක්කෝ කැලෙන් අල්ලා ගෙන එන වල් කිකිළියෙක් එදාම මරාගෙන කාලා බඩගින්න සන්තර්පණය කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලා ගෙන ආපු කිකිළිය වාසස්ථානය අසල රඳවාගෙන දවසකට බිත්තරය බැගින් කන්න පුළුවන්. කවදා හරි අනාගතයේ දවසක කිකිළියව මරාගෙන කන්නත් පුළුවන්. 

වෙනත් විදිහකින් කිවුවොත්, අද දවසේ පරිභෝජනය කැප කර නිෂ්පාදන ක්‍රියාවලියක ආයෝජනය කිරීම මගින් අනාගතයේදී එම ආයෝජනය වෙනුවෙන් අමතර ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ අමතර ප්‍රතිලාභය තමයි ලැබෙන පොලිය. මේ වගේ දෙයක් කරන්න කිසියම් ආකාරයක සැලසුම් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනෑ. 

ආයෝජනයක අවදානම් තිබෙනවා. එදා රෑම නරියෙක් කිකිළියව අල්ලාගෙන කෑවොත් අන්තිමට බිත්තරත් නැහැ. කිකිළිත් නැහැ. අදම කිකිළියව මරාගෙන කෑවානම් ඔය අවදානම නැහැ. ඒ නිසා, අද පරිභෝජනය කැප කර ආයෝජනයක් කරද්දී එහි තිබෙන අවදානම ගැනත් හිතන්න වෙනවා. අපේක්ෂා කළ හැකි අමතර ප්‍රතිලාභය ගන්නා අවදානමට ප්‍රමාණවත්ද?

මගේ ප්‍රාග්ධනය මා ලඟම තියා ගෙන ආයෝජනය කිරීමෙන් පොලියක් ලබාගන්න පුළුවන්නම්, එම ප්‍රාග්ධනය වෙනත් කෙනෙකුට දීලා ඒ විදිහටම ආපහු ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ. අද මට පරිභෝජනය කළ හැකි කිකිළිය අද පරිභෝජනය නොකර හදාගත්තොත් අනාගතයේදී ආපසු ලැබෙන්නේ අද අහිමි වූ කිකිළිය පරිභෝජනය කිරීමේ අවස්ථාව පමණක් නෙමෙයි. තව බිත්තර ගොඩක් කාලයක් තිස්සේ පරිභෝජනය කිරීමේ අවස්ථාවත් ලැබෙනවා. එහෙමනම්, කිකිළිය වෙනත් කෙනෙකුට ණයට දීලා අනාගතයේදී ඒ කිකිළිය පමණක් ආපසු ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ. පොලියකුත් අවශ්‍ය වෙනවා. 

අද මා සතු කිකිළිය වෙනත් කෙනෙකුට "ණයට" දී පොලිය ලෙස දවසකට බිත්තරය බැගින් ඉල්ලන්න බැහැ. කිකිළිය විසින් දමන බිත්තර සියල්ලම මට දුන්නොත් ණයකරුට ලැබෙන කිසිවක් නැහැ. නමුත් දින දෙකකට වරක් බිත්තරයක් ඉල්ලුවොත් සමහර වෙලාවට කවුරු හෝ කෙනෙක් කැමති වෙන්න පුළුවන්. 

ඒ වගේ ගනුදෙනුවක් නරක නැහැ. කිකිළිය ළඟ තියාගෙන දිනපතා බිත්තර ලබා ගන්න පුළුවන් වුනත් ඒ සඳහා කිකිළිය නරින්ගෙන් පරිස්සම් කරන්න මහන්සි වෙන්න වෙනවා. කිකිළිය වෙනත් කෙනෙකුට දීමෙන් ඒ මහන්සිය නැතුවම දවස් දෙකකට වරක් බිත්තරයක් ලබා ගන්න පුළුවන්. එය ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභය. 

අනෙක් පැත්තෙන් ණයට කිකිළිය ලබා ගන්නා පුද්ගලයාට බිත්තර ලැබෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ සඳහා කිකිළිය නරින්ගෙන් පරිස්සම් කරන්න මහන්සි වෙන්න වෙනවා. ඒ වෙනුවෙන් දවස් දෙකකට වරක් බිත්තරයක් ලබා ගන්න පුළුවන්. එය ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභය. ඒ වුනත්, ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ වෙනත් කෙනෙකුගේ ප්‍රාග්ධන ආයෝජනයක උදවුවෙන්. ප්‍රාග්ධන ආයෝජනය නැත්නම් නරින්ගෙන් පරිස්සම් කරන්න කිකිළියෙක් නැහැ. ඒ නිසා බිත්තරත් නැහැ.

මුදල් ගනුදෙනු ප්‍රචලිත වී ප්‍රාග්ධනය මුදල් ලෙස හුවමාරු වෙද්දීත් වෙන්නේ ඔය කතාවම තමයි. ප්‍රාග්ධනය එකතු කරගන්නනම් පරිභෝජනය කැප කරන්න වෙනවා. වත්මන් පරිභෝජනය කැප කර ප්‍රාග්ධනය එක්රැස් කරගත්තට පස්සේ එම ප්‍රාග්ධනය මා ලඟම තියා ගත්තොත් එය කිසියම් නිෂ්පාදන කාර්යයක ආයෝජනය කර අනාගතයේදී යම් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. එසේ නැතිව එම ප්‍රාග්ධනය වෙනත් අයෙකුට ණයට දුන්නොත් ඒ වෙනුවෙන් මුල් මුදලට අමතරව අමතර ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. ඒක තමයි පොලිය. 

කවුරු හෝ කෙනෙක් වෙනත් අයෙකුගෙන් ණයට සල්ලි ගන්නේ ඇයි?

සල්ලි ණයට ගන්නවා කියන්නේ අනාගතයේ දවසක පොලියත් එක්ක ඒ සල්ලි ආපහු ගෙවන්න වෙනවා කියන එක. සමහර විට ණය ගෙවන තුරු එක දිගටම පොලී ගෙවන්න වෙනවා. මේක වාසියක් වෙන්නේ කොහොමද?

ණයට ගන්න සල්ලි ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය ගෙවිය යුතු පොලියට වඩා වැඩිනම් සල්ලි ණයට ගන්න එක වාසියි. මේක පැහැදිලි කරන්න සල්ලිම අවශ්‍යත් නැහැ. 

අපි හිතමු කිකිළියෙක් රැක බලාගෙන දවසකට බිත්තරය බැගින් ලබා ගන්නා කෙනෙක් ගැන. ඔය කිකිළිය නරින්ගෙන් පරිස්සම් කරන්න කොහොමත් මහන්සි වෙන එකේ තවත් කිකිළියෙක්ව පරිස්සම් කරන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. ඔය වැඩේට ලොකු ශ්‍රමයක් අමුතුවෙන් යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, තවත් කිකිළියෙක් ණයට අරගෙන ඒ වෙනුවෙන් පොලී ගෙවලා දවසක් ඇර දවසක් බිත්තරයක් ලබාගත්තත් ඒක අමතර වාසියක්.

දැන් ඔය වගේ ගනුදෙනුවකදී කිකිළිය ණයට දෙන කිකිළියගේ හිමිකරුට මහන්සියක් නැතුව දවස් දෙකකට වරක් බිත්තරයක් ලැබෙනවා. කිකිළියව ණයට ගන්න තැනැත්තාටත් අමතර මහන්සියක් නැතුව දවස් දෙකකට වරක් වැඩිපුර බිත්තරයක් ලැබෙනවා. ප්‍රාග්ධනය හිමිකරු විසින් වෙනත් අයෙකුට ප්‍රාග්ධනය ණයට ලබා දී ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගනිද්දී අනෙක් පුද්ගලයාගේ ශ්‍රමයේ වටිනාකමත් නිකම්ම ඉහළ ගිහින් ශ්‍රමයේ ප්‍රතිලාභ ඉහළ යනවා. මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකරන්නෙත් ඔය විදිහටම තමයි.

හැමෝම ණය ගන්නේ ඔය විදිහට නිෂ්පාදන ක්‍රියාවලියක ආයෝජනය කරන්න නෙමෙයිනේ. පරිභෝජනය සඳහා ණය ගන්න අයත් ඉන්නවා. එය වාසියක් වෙන්නේ කොහොමද?

මේක වෙන්නේ වටිනාකම් වල සාපේක්ෂ ස්වභාවය එක්ක. අද මැරෙන්න තරම් බඩගිණිනම්, කන්න දෙයක් ගේ හරියේ නැත්නම්, මොනවා හෝ කෑමක වටිනාකම ඉතාම වැඩියි. ඔය වගේ වෙලාවක මාසයකින් කොස් ගෙඩියක් ආපහු දෙන පොරොන්දුවට ගොස් ගෙඩි බාගයක් ණයට ගන්න එක පාඩුවක් නෙමෙයි. ගසේ පිරිලා තියෙන පොළොස් ගැට ටික කොහොමටත් මාසයක් යද්දී මෝරනවා. ඔය ඔක්කොම එක පාර කාල ඉවර කරන්න බැහැ. ඒ නිසා අද ලැබෙන කොස් බාගය වෙනුවෙන් මාසයකට පස්සේ වැල වෙලා ගහ යට වැටිලා යන ගොස් ගෙඩියක් දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. 

දැන් ගහේ තියෙන පොළොස් ගැටය අනාගතයේ අනිවාර්යයෙන්ම කොස් ගෙඩියක් විය යුතු බව පෙනෙන්නට තිබුණත් ඒක තවමත් කොස් ගෙඩියක් නෙමෙයි. පොළොස් ගැටය කොස් ගෙඩියක් වෙන්න යම් කාලයක් යනවා. අද පොළොස් ගැටයේ අනාගත වටිනාකම තමයි කොස් ගෙඩිය.

අනෙක් අතට මාසයකට පස්සේ කොස් ගෙඩියක් කියන්නේ අද පොළොස් ගැටයක්. ඒ නිසා අද කොස් ගෙඩියක වටිනාකම සහ මාසයකට පස්සේ පැහෙන්න නියමිත කොස් ගෙඩියක අද වටිනාකම් සමාන නැහැ. අද කොස් ගෙඩියේ අද වටිනාකම කොස් ගෙඩියක වටිනාකම වුනත් අනාගතයේ හැදෙන කොස් ගෙඩියේ අද වටිනාකම පොළොස් ගෙඩියක වටිනාකම පමණයි. පොළොස් ගෙඩියක වටිනාකම කියන්නේ අනාගතයේ ලැබෙන්න නියමිත දෙයක අද වටිනාකම.

මුදලේ කාල වටිනාකම කියන සංකල්පයත් ඕකම තමයි. තව අවුරුද්දකින් ලැබෙන්න නියමිත රුපියල් ලක්ෂයකට වඩා අද ලැබෙන රුපියල් ලක්ෂයක වටිනාකම වැඩියි. උද්ධමනය නිසා සල්ලි බාල්දු වීමත් මේකට හේතුවක් වුනත් මේ කියන්නේ ඒ ගැන නෙමෙයි. කිසියම් නිෂ්පාදන කාර්යයක ආයෝජනය කරලා අද අතේ තිබෙන මුදලක වටිනාකම වැඩි කරගන්න පුළුවන් වීම නිසා වටිනාකම වැඩි වීම ගැනයි මෙයින් අදහස් කරන්නේ. 

නිෂ්පාදන කාර්යයක ආයෝජනය කරන්නේ නැතුව වුනත් මේ වැඩේ වෙන්න පුළුවන්. තමන්ගේ පරිභෝජනය අවශ්‍යතා හා ගැලපෙන පරිදි සුමට කර ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ණයට දෙන එක උදාහරණයක්. අද බඩගින්නේ ඉන්න කෙනෙකුට ගහේ තියෙන මෝරපු නැති පොඩි පොළොස් ගැට හතරක් පහක් තම්බාගෙන කාලා බඩ පුරවගන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ අනාගතයේ කොස් ගෙඩි හතරක් පහක් කන්න තිබෙන අවස්ථාව නැති වෙන එක. අනාගතයේ ගෙඩි දෙකක් ආපසු දෙන පොරොන්දුවට අද කොස් ගෙඩියක් ණයට ගන්න එක ගනුදෙනුවේ පාර්ශ්ව දෙකටම වාසිදායකයි. 

උද්ධමනයක් නැති ලෝකයක වුනත් අනාගතය එක්ක සිදු වන ගනුදෙනුවක් ඇති විටෙක පොලියක් කියා දෙයක් තිබෙනවා. ණයට දෙන කෙනෙක් පොලියක් බලාපොරොත්තු වන මූලික හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න මුදලේ කාල වටිනාකම සමඟ අනාගත ප්‍රතිලාභ ගලපා ගැනීම. දෙවැන්න අවදානම සමඟ ගලපා ගැනීම.

මුදලේ කාල වටිනාකම කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන සාපේක්ෂ දෙයක්. අවදානම වෙනස් වෙන්නේ ආයෝජනය මත වුනත්, අවදානම පිළිබඳ තක්සේරුව පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒ නිසා, කිසියම් කෙනෙක් තමන් සතු මුදලක් ණයට දී ලබා ගන්න අපේක්ෂා කරන අවම පොලිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. 

මේ කතා කරන්නේ මුදලක් ණයට දී ලබා ගන්න අපේක්ෂා කරන අවම පොලිය පොලිය ගැන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඊට වඩා වැඩි පොලියක් ලබා ගන්න ඕනෑම කෙනෙක් කැමති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ණය සැපයුම හා අදාළව වැදගත්ම දෙය මේ අවම පොලිය. ඊට අඩු පොලියකට කවුරුවත්ම ණය දෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් ණය ලබා ගන්නා කෙනෙක් ඒ වෙනුවෙන් ගෙවන්න සූදානම් උපරිම පොලියක් තිබෙනවා. එයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. කිසියම් නිෂ්පාදන කාර්යයක ආයෝජනය කරලා ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිලාභයට වඩා සාමාන්‍යයෙන් මේ පොලිය වැඩි වෙන්නේ නැහැ. කවුරු හෝ කෙනෙක් ඊට වඩා වැඩි පොලියට ණය ගන්නවානම් ඒ ගැන දෙවරක් හිතන එක හොඳයි. එහෙම වැඩි පොලී ගෙවන්නේ පොන්සි ක්‍රම (පිරමිඩ් ක්‍රම) ක්‍රියාත්මක කරන කෙනෙක් වෙන්න පුළුවන්. 

පරිභෝජන ණය හා අදාළවනම් මෙය තීරණය වෙන්නේ කිසියම් පුද්ගලයෙකුගේ කාල වටිනාකම අනුවයි. සාමාන්‍ය මූලධර්මයක් විදිහට අනාගතයේ ලැබෙන මුදල් සහ අද ලැබෙන සමාන මුදලක් අතර ලොකු වෙනසක් නොදකින අය ඉතිරි කරන්නෝ වෙනවා. විශාල වෙනසක් දකින අය ණයගන්නෝ වෙනවා.

කාල වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියල මම කලින්ම කිවුවනේ. ඔබට සාපේක්ෂ කාල වටිනාකම් අනුපාතය කීයද?

මම සරල ප්‍රශ්නයක් අහන්නම්. ඔබට තව අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් නිකම් දෙනවා කියලා හිතන්න. කැමතිනම් ඒ වෙනුවට අද ඊට වඩා අඩු මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉල්ලන මුදල ඕනෑවට වඩා වැඩි නැති සාධාරණ මුදලක්නම් පමණයි. ඔබ ඉල්ලන අවම මුදල කීයද?

දෙවන ප්‍රශ්නය. ඉහත පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන විට අනිවාර්යයෙන්ම උද්ධමනය ඔබට මතක් වෙන්න ඇති. දැන් අපි හිතමු අවුරුදු පහකින් ඔබට රුපියල් ලක්ෂය ලැබෙන්නේ උද්ධමනය එක්ක ගැලපීමෙන් පසුව කියලා. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙන ප්‍රමාණයට ඔය රුපියල් ලක්ෂයත් වැඩි වෙනවා. එහෙමනම්, ඔබ මේ අනාගත මුදල වෙනුවට අද ඉල්ලන අවම මුදල කීයද? 

කරුණාකර ප්‍රතිචාර කොටසේ ඔබේ පිළිතුරු සටහන් කරන්න. එය මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට උදවුවක්.

වෙබ් ලිපිනය: