ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව විදේශ අංශයේ යම් ආතති තත්ත්වයක් පවතින බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම ආතතිය මුදා හැරෙන අයුරින්, මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ සලසා තිබෙනවා. කෙසේ වුවද, යුද්ධය ආරම්භ වීමට පෙර, පසුගිය පෙබරවාරි මාසය තෙක්, විදේශ අංශය පැවතුණේ ශක්තිමත් තැනකයි.
ජනවාරි හා පෙබරවාරි දෙමස තුළ මහ බැංකුව විසින් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි මාසය අවසානයේදී දළ නිල සංචිත ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් තිබුණා. කෙසේ වුවද, මහ බැංකුව විසින් ආර්ථික අර්බුදයට ආසන්න කාලයේදී ලබාගත් විදේශ ණය නිසා ශුද්ධ විදේශ සංචිත තිබුණේ මීට වඩා සැලකිය යුතු තරමකින් අඩු මට්ටමකයි.
පසු ගිය වසර තුළද මහ බැංකුව විසින් ඩොලර් බිලියනය ඉක්මවන විදේශ ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇතත්, වසර අවසන් වන විට මහ බැංකුව විසින් තවත් සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුව තිබුනා. මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,854ක්. (2022 ජූනි මාසය අවසන් වන විට මෙම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 6,364ක්ව පැවතුණා.)
පසුගිය වසර අවසන් වන විට චීනයට, ඉන්දියාවට සහ මූල්‍ය අරමුදලට මහ බැංකුව විසින් පහත සඳහන් මුදල් ආපසු ගෙවිය යුතුව තිබුණා.
චීනයට - ඩොලර් මිලියන 1,416ක්
ඉන්දියාවට - ඩොලර් මිලියන 655ක්
මූල්‍ය අරමුදලට - ඩොලර් මිලියන 1,783ක්
ඉහත විදේශ ණය නිසා, මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත දළ විදේශ සංචිත වලට වඩා ඩොලර් මිලියන 3,854කින් අඩු වුවත්, දළ නිල සංචිත ඉහළ යද්දී ශුද්ධ විදේශ සංචිතද ඉහළ යනවා. පෙබරවාරි මාසය අවසන් වන විට ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 979.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පසුව, පසුගිය මාර්තු මාසයේදී විදේශ අංශය හා සංචිත කෙරෙහි ඇති වූ බලපෑම දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුයි.