වෙබ් ලිපිනය:

Friday, July 19, 2019

සිරිසා පරාජය


පසුගිය සතියේ පැවති ග්‍රීක මැතිවරණයෙන් බලයේ සිටි වාමාංශික සිරිසා සන්ධානය ගෙදර යවමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ඨ ජයක් වාර්තා කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියා කියන්නේ 2015දී වාමාංශික සිරිසා සන්ධානය ග්‍රීසියේ බලයට පත් වන තුරු කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට ග්‍රීසිය පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. අනෙක් ප්‍රධාන පක්ෂය ලෙස පැවතුණේ මේ වන විට නැත්තටම නැති වී තිබෙන පැසොක් (පෑන්හෙලනික් සමාජවාදී) පක්ෂයයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීසියේ එජාපය ලෙසත්, පැසොක් පක්ෂය එහි ශ්‍රීලනිපය ලෙසත් හඳුන්වන්න පුළුවන්. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත්, පැසොක් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙසත් සැලකෙනවා. කාලයක් තිස්සේම මාරුවෙන් මාරුවට බලයේ සිටියේ මේ පක්ෂ දෙක වුවත්, ලංකාවේ වගේම ග්‍රීසියේත් වාමාංශික පක්ෂ වලට විශාල බලපෑමක් කළ හැකිව තිබීම ඇතුළු තවත් හේතු නිසා මේ පක්ෂ දෙක විසින්ම මාරුවෙන් මාරුවට කළේ රජයේ ආදායමට වඩා වියදම් කරමින් සුබසාධන ආර්ථිකයක් පවත්වා ගෙන යන එකයි.

රාජ්‍ය බලය හිමි පක්ෂය බදු වැඩි කිරීම, සුබසාධන වියදම් කපා හැරීම වැනි දේ කරන්න උත්සාහ කළ හැම විටකම සිදු වුනේ පැවති ආණ්ඩුවට ගෙදර යන්න වෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පක්ෂ දෙකේම ආණ්ඩු යටතේ විශාල අයවැය හිඟයක් නඩත්තු වුනා. රටේ ණය බර එන්න එන්නම ඉහළ ගියා. හරියට ලංකාවේ වගේමයි.

යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව, විශේෂයෙන්ම 2000-2007 කාලයේදී ග්‍රීසිය විසින් යුරෝ කලාපයේ දැකිය හැකි වූ ඉහළම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2000දී ඇමරිකන් ඩොලර් 12,043ක් වූ ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2008 වෙද්දී ඇමරිකන් ඩොලර් 31,997 දක්වා ඉහළ ගියා.

කෙසේ වුවත් මෙය ණයට ගත් සංවර්ධනයක්. ග්‍රීසිය යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුවත් ග්‍රීක රජයේ ආදායම් ඉක්මවා වියදම් කිරීමේ පිළිවෙත වෙනස් වුනේ නැහැ. තමන්ගේම ජාතික මුදල් ඒකකයක් තිබුණු කාලයේ කළ හැකි වූ සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමත් යුරෝපීය සංගමයට එකතු වීමෙන් පසුව තව දුරටත් කළ හැකි වූයේ නැහැ. මේ කාලයේදී ග්‍රීසියේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළින් පැවතුණා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට 2009දී සමස්ත යුරෝපීය සංගමයම මුහුණ දුන් ආර්ථික අවපාතය ග්‍රීසියට දරුණුවටම දැනුණා. 2010 වෙද්දී එතෙක් ගැසූ රෝල තව දුරටත් ගසා ගත නොහැකිව ග්‍රීක රජය හිරවුනා. මේ වෙද්දී බලයේ සිටියේ පැසොක් පක්ෂයයි. එක පැත්තකින් ආර්ථික අවපාතයේ බලපෑමත්, අනෙක් පැත්තෙන් අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කරන්නට සිදු වීමත් නිසා පැසොක් පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහී ගොස් 2012 මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නැවත බලයට පත් වුණා. මේ මැතිවරණයේදී අලුතින් හදාගත් වාමාංශික සිරිසා සන්ධානය පැසොක් පක්ෂය තෙවන තැනට තල්ලු කරමින් දෙවන තැනට එන්න සමත් වුණා. ඒ වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 24,916 දක්වා පහත වැටිලා.

පැසොක් පක්ෂය වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් කර ගත්තත් අලුත් ආණ්ඩුවට කළ හැකිව තිබුණේත් කලින් ආණ්ඩුව කළාක් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, යුරෝපීය මහ බැංකුවෙන් හා යුරෝපීය සංගමයෙන් ණය ඉල්ලා සිටීම පමණයි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ විය යුතුව තිබුණා. බදු ඉහළ දැමීම, විශ්‍රාම වැටුප් ඇතුළු සුබසාධන වියදම් කපා හැරීම ආදී මේ කොන්දේසි ඉටු කරමින් රජයකට ජනප්‍රියතාව පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

අයවැය හිඟය අඩු කර ගැනීමට රාජ්‍ය වියදම් කැපෙද්දී, ආර්ථිකය වසරින් වසර හැකිලෙන්න පටන් ගත්තා. 2015 වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 18,167 දක්වා 2008 මට්ටමේ සිට 40%කින් පමණ පහත වැටුණා. විරැකියා අනුපාතය පොදුවේ 27% මට්ටමටත්, තරුණයන් අතර 58% මට්ටමටත් ඉහළ ගියා. ඉතා ඉක්මණින්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් මිනිස්සුන්ට එපා වුණා.

වාමාංශික සිරිසා සන්ධානය 2015දී බලයට ආවේ මේ වගේ පසුබිමකයි. දිගින් දිගටම තට්ටු මාරුවට බලය ලබා ගත් ප්‍රධාන පක්ෂ දෙකටම කළ හැකි වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ පදයට නටන එක පමණයි. නමුත්, ඒ පක්ෂ දෙකෙන් එකකටවත් ණය වලින් පුම්බා තිබුණු ග්‍රීසියේ ආර්ථික සමෘද්ධියේ හුළං බහින එක වළක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සිදු වෙමින් තිබුණේ සිදුව යුතුව තිබුණු නිවැරදි වීමක්. යුරෝපීය සංගමයට එකතු වීමේ අභිලාෂයෙන් කලක සිට ග්‍රීසිය විසින් රාජ්‍ය ආදායම්, වියදම් හා ණය පිළිබඳව බොරු සංඛ්‍යාලේඛණ පෙන්වා තිබුණු බවත් මේ වෙද්දී හෙළි වී තිබුණා.

උනුත් එකයි මුනුත් එකයි කියා ජනතාව තේරුම් ගනිද්දී සිරිසා සන්ධානය තෙවන විකල්පයක් ලෙස මතු වුණා. ඔවුන් පෙනී සිටියේ සුබසාධන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිවයි. පවතින ක්‍රමයට විරුද්ධ වෙමින් ජනතාව මුලා කරනු හැර සිරිසා සන්ධානය සතු අමුතු සමාජවාදී  විකල්පයක් නැති බව ග්‍රීක ජනතාව ඒ වෙලාවේ තේරුම් ගත්තේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳව සිරිසා සන්ධානයේ විවේචන ඇත්ත වුවත්, සිරිසා සන්ධානයට බලයට පැමිණ ක්‍රියාත්මක කළ හැකිව තිබුණු වෙනත් විකල්ප වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ.

සිරිසා සන්ධානය බලයට පත් වීමෙන් පසුව බොහෝ සමාජවාදීන් උද්දාමයට පත් වුණා. ලංකාවේ හා ලංකාවෙන් පිටත සිට ලංකාවේ දේශපාලනය කරන ඇතැම් අය මෙය විග්‍රහ කළේ යුරෝපයෙන් පටන් ගත් ධනවාදයේ කඩාවැටීමේ ආරම්භය ලෙසයි. වසර හතරකට පසුව ඉතිහාසය විසින් මේ සිරිසා නමාමි විශ්ලේෂකයන්ගේ විග්‍රහ වල නිරවද්‍යතාවය නිරාවරණය කර තිබෙනවා.

බලයට පත් වීමෙන් පසුව සිරිසා සන්ධානය උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ කොන්දේසි වලට එකඟ නොවී කෙසේ හෝ ඔවුන්ගෙන් ණය ගන්නයි. රාජ්‍ය වියදම් කප්පාදුවට ජනතා කැමැත්තක් නැති බව පෙන්වන්න ජනමත විචාරණයක්ද පැවැත්වුනා. සිරිසා සන්ධානය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිව 61%ක ජනමතයක් ප්‍රකාශ වුනා. ඒත්, ප්‍රශ්නය එයින් විසඳුනේ නැහැ.

ග්‍රීක රජය අයවැය හිඟය පියැවෙන පරිදි විශාල ලෙස රාජ්‍ය වියදම් සීමා කෙරෙන ප්‍රතිසංස්කරණ කරා නොයන්නේනම් ඔවුන්ට දිගින් දිගටම ණය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාව කිසිසේත්ම සූදානම්ව සිටියේ නැහැ. ඒ තත්ත්වය යටතේ සිරිසා සන්ධානය විසින් බලය ලබා ගැනීම පිණිස ජනතාවට පොරොන්දු වූ පරිදි මේ කොන්දේසි වලට දිගින් දිගටම විරුද්ධ සිටින්නේනම් ඔවුන් විසින් ණය නොගෙවා පැහැර හැරීම හා අවසාන වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්වීම වැනි ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබුණා. බලයට පත් වෙන්න කලින් මොනවා කිවුවත්, ග්‍රීක ජනතාවගේ වාසනාවට සිරිසා සන්ධානය එවැනි මෝඩ වැඩක් කරන්න පෙළඹුනේ නැහැ. ඔවුන් එවැනි ක්‍රියා මාර්ගයක් ගත්තේනම් එය රටක් ලෙස ග්‍රීසිය විනාශය කරා තල්ලු කරමින් තම පක්ෂයේ වලද තමන් විසින්ම කපා ගැනීමක් වෙනවා.

රැඩිකල් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනු වෙනුවට ජනමතවිචාරණයෙන් පසුව සිරිසා සන්ධානය කළේ තමන් සතියකට පෙර විරුද්ධව සිටි කොන්දේසි සියල්ලට එකඟ වෙමින් ට්‍රොයිකාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමයි. ගිවිසුම අත්සන් කිරීමෙන් නොනැවතුණු සිරිසා සන්ධානය පසුගිය සිවු වසර තුළ නැවත නැවතත් විශාල ලෙස රාජ්‍ය වියදම් කපා හරිමින් හා බදු ඉහළ දමමින් දශක ගණනක් එක දිගට පැවති ග්‍රීසියේ විශාල අයවැය හිඟය අතිරික්තයක් බවට හරවන්නට සමත් වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ග්‍රීසියේ ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව ස්ථාවර වී තිබෙන අතර විරැකියා අනුපාතය ක්‍රමයෙන් පහත බසිමින් තිබෙනවා.


විපක්ෂයේ සිටියදී මොනවා කිවුවත් වාමාංශික පක්ෂයකට බලය ගෙන ක්‍රියාත්මක කළ හැකි වඩා හොඳ විකල්පයක් නැති බව සිරිසා සන්ධානය විසින් නැවත වරක් තහවුරු කර තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසාන වශයෙන් සිදු වී තිබෙන්නේ වාමාංශික බලවේග වල ප්‍රතිරෝධය හමුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හෝ පැසොක් පක්ෂයට ක්‍රියාත්මක කළ නොහැකිව තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ට්‍රොයිකාවේ අමාරු හා ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ යෝජනා සිරිසා සන්ධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමයි.

පක්ෂයක ඉතිහාසයට හෝ කරනවායැයි කියන දෙයට වඩා වැදගත් වන්නේ ඇත්තටම කරන දෙයයි. ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගන්නට සිදුවීම හේතුවෙන් සිරිසා සන්ධානය සතු වූ ආණ්ඩු බලය දැන් නැවතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙත මාරු වී තිබුණත්, පැසොක් පක්ෂය මේ වන විට දිය වී ගොස් ඇති පසුබිමක ග්‍රීක දේශපාලනයේ එම පක්ෂය සතු වූ තැන ඉදිරියේදී සිරිසා සන්ධානය සතු විය හැකියි. ඒ එක්කම, සිරිසා සන්ධානය වඩා මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ක්‍රමයෙන් රූපාන්තරණය වන්නට ඉඩ තිබෙනවා.

(Image: https://www.thenation.com/article/syriza-rising/)

8 comments:

  1. මහත්තයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ දැන් ඔය රස්සාවෙන් අස් කරලා කියලා. ටික දවසකට කලින් එහෙම කමෙන්ට් එකක් දමලා තිබුණේ වෙන ඇනෝ කෙනෙක් වෙන්න ඇති එහෙනම්.

      Delete
  2. "නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීසියේ එජාපය ලෙසත්,"

    ස්වාමීන් වහන්සේ ග්‍රීසිය සමඟ වන සේක්වා ! ආමේන් !

    ReplyDelete
  3. //නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීසියේ එජාපය ලෙසත්, පැසොක් පක්ෂය එහි ශ්‍රීලනිපය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

    ඒ කියන්නේ ග්‍රීසියේ ඉන්න ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි කාරයෝ චන්දෙ දෙන්නේ පැසොක් පක්‍ෂයට. කල්ලතෝනි චන්දෙ දෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට.

    ReplyDelete
    Replies
    1. ග්‍රීසියේ ඉන්න 90-95%ක්ම ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි.

      Delete
  4. හොරකමේ නැත අඩුවක්
    රටේ මුළු ණයබර
    නොදනී විගණකාධිපතිවත්

    වක්‍ර බදු බරින්
    බේරිලා නැත
    හාල්මැස්සෙක් වත්

    ඉහළ මැදි අදායමත්
    පසුකර
    ඉහළ අදායමට නැග්ගත්
    දිළිඳු සහනයද තර වේ නම්

    දිනුවත් ගිරීසිය
    නොදිනයි පාරාදීසය

    ReplyDelete
  5. වන්නට දියුණුවක්;
    උතුරුකුරු දිවයිනක්
    හැකි වෙන්නේ තිබුනොතින්
    ඒ රටට පිළිවෙතක්!

    තියෙනවා වැදගත්ම
    තව කාරණාවක්.
    ඒ රටේ බහුදනන්
    විය යුතුය බුද්ධිමත්!

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත් බව යනු
      අකුරු කියවන ලියන බව නොව
      බඩ ගැනම නොහිතා
      හෙට ගැනත් හිතීමය....

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: