වෙබ් ලිපිනය:

Wednesday, January 13, 2021

සංඛ්‍යානය, ගණිතය හා දේශපාලනය


සංඛ්‍යාන විද්‍යාව හා ගණිතය අතර තිබෙන වෙනස කුමක්ද? එක් පාඨකයෙකු විසින් අපෙන් මෙම ප්‍රශ්නය අසා තිබුණා. ඇත්තටම මෙම ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ප්‍රශ්නයේ වැදගත්කමට, විශේෂයෙන්ම ලංකාවේ පසුබිමේදී, දේශපාලන මානයක් තිබෙනවා. ලෝක මට්ටමේදී වෙනත් දේශපාලන මාන ගණනාවක්ද තිබෙනවා.

සංඛ්‍යාන විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේ බොහෝ දුරට ගණිත ආකෘති මතයි. ඒ වගේම, මෙම විෂය ගණිතයෙන් බාහිර වෙනත් දේ එකතු කර ගනිමින් ගණිතයෙන් බිඳී ගිය විෂයයක් ලෙසද හඳුන්වන්න පුළුවන්. එහෙත්, අද වන විට පොදු පිළිගැනීම අනුව සංඛ්‍යාන විද්‍යාව කියන්නේ ස්වාධීන ගණිතමය විද්‍යාවක් මිසක් ගණිත විද්‍යාවේ තවත් එක් උප ශාඛාවක් ලෙස හඳුන්වන්න බැහැ.

සංඛ්‍යාන විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේම අවිනිශ්චිතතාවය මතයි. සංඛ්‍යාන විද්‍යාව තුළට අවිනිශ්චිතතාවය එකතු වන්නේ සම්භාවිතාව කියන සංකල්පය හරහා. එම සංකල්පය ගණිත සංකල්පයක්. ගණිත විද්‍යාවේ කොටසක්. එහෙත්, එතැන් සිට සංඛ්‍යාන විද්‍යාව වෙනම තනි ගමනක් යනවා. එක වගේ පෙනෙන්නට තිබුණත් දාර්ශනික ලෙස මේ දෙන්නා වෙනස්ම දෙන්නෙක්.

ගණිතයේ එන දැනුම නිර්මාණය කිරීමේ ප්‍රවේශය එක් ආකාරයක බුද්ධිවාදී ප්‍රවේශයක්. මෙහිදී එක තැනකින් පටන් ගෙන සාධනයන් හරහා අපෝහනය මගින් අලුත් දැනුමක් නිර්මාණය කරනවා. සාධාරණ වශයෙන් ගත් විට භෞතික විද්‍යාව තුළ දැනුම නිර්මාණය වන්නේද මේ ආකාරයෙන්. අලුත් සත්‍යයක් දැන ගන්නටනම් දැනට දන්නා සත්‍යයන්ගෙන් පටන් ගන්න වෙනවා. එක් සත්‍යයකින් තවත් සත්‍යයක් අපෝහනය කර ගැනීම සඳහා යොදාගත හැකි රීති උපයෝගී කරගනිමින් දිගින් දිගටම අලුත් දැනුම නිර්මාණය කළ හැකියි. නමුත්, මේ සමස්ත ක්‍රියාවලියම ආරම්භ කළ හැක්කේ කිසියම් ආරම්භක සත්‍යයකින්. එම ආරම්භක සත්‍යය හෝ එක් සත්‍යයකින් තවත් සත්‍යයක් අපෝහනය කර ගැනීම සඳහා යොදාගත හැකි රීති සත්‍ය බව සාධනය කිරීමේ හැකියාවක් ගණිතය තුළ නැහැ. ඒ සත්‍යයන් සාධනය වනවානම් සාධනය වන්නේ දර්ශනය තුළ.

ආරම්භක සත්‍යය හෝ සත්‍යයකින් තවත් සත්‍යයක් අපෝහනය කර ගැනීම සඳහා යොදාගන්නා රීති සත්‍ය බව සාධනය කළ නොහැකි තත්ත්වයක් යටතේ අලුත් දැනුමක් සත්‍යද යන ප්‍රශ්නය ඉතිරි වෙනවා. මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස අලුත් දැනුම් පරීක්ෂාවට ලක් කරන්න වෙනවා. මේ පරීක්ෂණ වලින් කිසියම් අලුත් දැනුමක් අසමත් වුවහොත් එය සත්‍යයක් සේ පිළිගැනෙන්නේ නැහැ. එසේ අසමත් වන තුරු අලුත් දැනුම සත්‍යයක් ලෙස පවතිනවා. මුලදී සමත් වන අලුත් දැනුමක් පසුව කිසියම් පරීක්ෂණයකින් අසමත් වූ විට එය ප්‍රතික්ෂේප කෙරෙන අතර එම දැනුම නිර්මාණය කර ගැනීම සඳහා යොදා ගැනුණු හෝ නොගැනුනු එතෙක් අසමත්ව නැති දැනුම් යොදා ගෙන වෙනත් අලුත් දැනුම් නිර්මාණය කෙරෙනවා. මේ ක්‍රමයට ගණිතය, භෞතික විද්‍යාව හා ඒ මත ගොඩ නැගුණු ඉංජිනේරු විද්‍යාව වැනි තාක්ෂනික විෂයයන් බොහෝ දුර ගමන් කර තිබෙනවා. 

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුමක් හා පුහුණුවක් තිබෙන අයෙකු විසින් සැලසුම් කර හදන ගොඩනැගිල්ලක් හෝ පාලමක් එවැනි දැනුමක් හා පුහුණුවක් නැති අයෙකු හදන ගොඩනැගිල්ලක් හෝ පාලමක් මෙන් කඩා වැටෙන්නේ නැහැ. මෙය අදාළ ගොඩනැගිල්ල හෝ පාලම සැලසුම් කිරීම සඳහා යොදා ගත් මූලධර්ම නිවැරදිද යන්න පිළිබඳ වක්‍ර පරීක්ෂණයක්. එවැනි ගොඩනැගිලි හෝ පාලම් කඩා නොවැටෙන තාක් අදාළ මූලධර්ම නිවැරදි සේ සැලකෙනවා. 

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුමක් හා පුහුණුවක් නැති අයෙකු විසින් සැලසුම් කරන ගොඩනැගිල්ලක් හෝ පාලමක් අනිවාර්යයෙන්ම කඩා වැටෙන්නේ නැති වුනත්, එසේ කඩා වැටෙන විට එය සැලකෙන්නේ අදාළ මූලධර්ම නොසලකා හැරීම හේතුව බවයි. එවැන්නක් කඩා නොවැටුණහොත්, එය සැලකෙන්නේ අහම්බයක් ලෙසයි.

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුමක් හා පුහුණුවක් තිබෙන අයෙකු විසින් සැලසුම් කරන ගොඩනැගිල්ලක් හෝ පාලමක් කඩා වැටුණු විටෙක එය සාමාන්‍යයෙන් අදාළ මූලධර්ම වල වැරැද්දක් ලෙස සැලකෙන්නේ නැහැ. මූලධර්ම නිවැරදි බව තව දුරටත් පිළිගැනෙන අතර මූලධර්ම යොදාගෙන සිදු කළ ඉංජිනේරුමය සැලසුමේ හෝ වෙනත් පසු පියවරක වැරැද්දක් ලෙස මෙය සැලකෙනවා. ඒ අනුව එම වැරැද්ද නිවැරදි කිරීම හා/හෝ එවැනි වැරදි නැවත සිදු වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිදු වනවා. අදාළ සැලසුම් මූලධර්ම තව දුරටත් සත්‍ය සේ සැලකෙනවා.

මේ මූලධර්ම යොදාගෙන සැලසුම් කරන ගොඩනැගිලි හෝ පාලම් දිගින් දිගටම කඩා වැටෙනවානම් එම මූලධර්ම පිළිබඳවද සැකයක් ඇති වෙනවා. තවදුරටත් එම මූලධර්ම සත්‍ය සේ පිළිගන්න අමාරුයි. ඒ නිසා, එම මූලධර්ම වෙනුවට "නිවැරදි" මූලධර්ම ආදේශ කරන්න වෙනවා. මෙය කරන්නේ එම පැරණි මූලධර්ම සකස් කිරීමට යොදාගත් න්‍යාය හෝ පාදක මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සලකමින් අලුත් මූලධර්ම හදා ගැනීම මගිනුයි.

මේ විදිහට අලුතින් හදා ගන්නා මූලධර්ම යොදාගෙන සැලසුම් කරන ගොඩනැගිලි හෝ පාලම්ද දිගින් දිගටම කඩා වැටෙනවානම් මොකද කරන්නේ? එම මූලධර්ම හා පැරණි මූලධර්ම සකස් කිරීමට යොදාගත් න්‍යාය හෝ පාදක මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සලකමින් නැවතත් අලුත් මූලධර්ම හදා ගැනීමයි. පාදක මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සැලකෙනවා. මා හිතන විදිහට නලින් ද සිල්වා විසින් බටහිර විද්‍යාවේ පරිධියේ දැනුම ලෙස හඳුන්වන්නේ මේ ආකාරයට පිරමිඩයේ පහළ මට්ටමේ තිබෙන දැනුමක් වෙනස් කිරීමයි. නලින් ද සිල්වා විසින් කියන දෙයම නොවිය හැකි වුවත්, ඉහත උදාහරණයේ සඳහන් පාදක මූලධර්ම පිළිබඳව සැක කිරීමට වැඩි ඉඩක් නොතිබීම දැනුමේ ආධිපත්‍ය ස්වභාවය පිළිබිඹු කරනවා කියා කියන්න පුළුවන්.

විද්‍යාව තුළම ඉහත කී පාදක මූලධර්මද සත්‍ය නොවන සේ සැලකී වෙනස් විය හැකියි. එය සිදු වන්නේ එම පාදක මූලධර්ම යොදාගෙන හදාගත් මූලධර්ම අසත්‍ය බව දිගින් දිගටම වෙනස් වන්නේනම් පමණයි. එවැන්නක් වෙන්න විශාල කාලයක් යා හැකියි. මේ වගේ දෙයක් සුසමාදර්ශීය වෙනසක් වෙන්න පුළුවන්. එවැනි වෙනස් වීමකදීද ඒ පාදක මූලධර්ම සකස් කර ගැනීමේදී සත්‍ය සේ සැලකුණු මූලධර්ම තවදුරටත් සත්‍ය සේ සැලකෙනවා. මෙහිදී එම සත්‍ය මූලධර්ම තිබෙන්නේ භෞතික විද්‍යාවේ විෂය පථයේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ, ඉංජිනේරු විද්‍යාව කියන විෂයේ පාදමම කඩා වැටිලා යාමෙන් පසුවත්, භෞතික විද්‍යාව සත්‍යයක් ලෙස ඉතිරි වෙන්න පුළුවන්. ඔය විදිහටම භෞතික විද්‍යාවේ පාදම කඩා වැටෙද්දී ගණිතය සත්‍යයක් ලෙස ඉතිරි වෙන්න පුළුවන්.

බටහිර විද්‍යාවේ මේ ආකාරයේ ලොකු කඩා වැටීම් සාමාන්‍යයෙන් ලේසියකට වෙන්නේ නැහැ. එය අවශ්‍යනම් කෙනෙකුට බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත්, අඩු වශයෙන් සෛද්ධාන්තික ලෙස පරිධියේ සිට සෑහෙන තරම් ඇතුළට ගිහින් එතැන සිට පරිධිය දක්වා නැවත ප්‍රතිසංස්කරණය කරගෙන එන්න පුළුවන්. කේන්ද්‍රය සුරක්ෂිතව පවතින තුරු පරිධිය සුරක්ෂිතයි.

දැන් පරිධිය පුරා විසිරී තිබෙන හා පරිධිය හා කේන්ද්‍රය අතර තිබෙන හැම දෙයක්ම සත්‍ය වෙන්නේ කොහොමද? එය වෙන්නේ කේන්ද්‍රයේ සත්‍යය තිබීම මත. නැත්නම් මේ සමස්ත ගොඩ නැගීමේම කිසිම තේරුමක් නැති වෙනවා. ඒ නිසා, මිනිස් දැනුමෙන් ප්‍රශ්න කළ නොහැකි සත්‍යයක් වන දෙවියන් වහන්සේව කේන්ද්‍රයෙන් තියලා මේ ගොඩ නැගීම කරගෙන යන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ පැවැත්ම හෝ නොපැවැත්ම ගැන දැන ගන්න හෝ දැනගත නොහැකි බව දැනගන්න වෙන්නේ දර්ශනයෙන්. තට්ටු ගණනාවක උස ගොඩනැගිල්ලක් විදිහට බටහිර විද්‍යාව ගොඩ නැගෙන්නේ මේ අත්තිවාරම උඩ. දැන් සත්‍යය සොයා යාම කියා කියන්නේ මේ ගොඩ නැගීමේ පරිධියේ සිට කේන්ද්‍රය දෙසට යාම. උස ගොඩනැගිල්ලේනම් උඩම තට්ටුවේ සිට අත්තිවාරම දක්වා පැමිණීම. 

මේ වෙද්දී මේ ගොඩනැගිල්ල ගොඩක් උසයි. ඇත්තටම කියනවානම් මෙය උඩු අතට හැරවූ පිරමිඩයක් වැනි ගොඩනැගිල්ලක්. මුළු ගොඩනැගිල්ලම තියෙන්නේ තනි ගඩොලක් මත. හැබැයි අපූරුම දෙය කියන්නේ ගොඩනැගිල්ල කඩා නොවැටී ඔය පහළම තියෙන ගඩොල මාරු කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ අත්තිවාරම වෙන එක ප්‍රශ්නයක්නම් දෙවියන් වහන්සේ අයින් කරලා වෙනත් ඕනෑම පරම සත්‍යයක් එතැනින් තියන්න පුළුවන්. ඒ මොකක් හෝ දෙය පරම සත්‍යයක් නම් ඒක මොකක් වුනත් කමක් නැහැ. ඒ මොකක් හෝ දෙය සත්‍යනම් ගණිතය, භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේම හදපු පාලම කඩා වැටෙන්නේ නැහැ කියන එකත් පරම සත්‍යයන්. සැකයකට ඉඩක් තියා ගන්න අවශ්‍ය නැහැ.

මාක්ස්වාදය කියා කියන්නේ ඉහත කී දැනුම් ගොඩනැගුම සමාජ විද්‍යාවන්ට ව්‍යාප්ත කිරීමක්. මාක්ස්වාදය හා මාක්ස්වාදී සමාජ විද්‍යා හදලා තිබෙන්නේත් පෙර කී උඩු යටිකුරු කළ පිරමිඩය උඩ. මාක්ස්වාදයටත් ගණිතයට හා භෞතික විද්‍යාවට වගේම පරම සත්‍යයක් වන ආරම්භයක් අවශ්‍යයි.

සුවිශේෂී කාරණයක් වන්නේ සංඛ්‍යාන විද්‍යාව සහ වෙනත් බටහිර විද්‍යාවන් ගණනාවක්ම හදා තිබෙන්නේ මේ ගඩොල මත නොවීමයි. ගණිතය හා සංඛ්‍යාන විද්‍යාව සංසන්දනය කළහොත් මේ විෂයයන් දෙක අතර තිබෙන දාර්ශනික හා දේශපාලනික වෙනස එයයි. සංඛ්‍යාන විද්‍යාව ගණිතය මෙන් මූලික සත්‍යයකින් හෝ වාස්තවික යථාර්තයකින් ආරම්භ වෙන්නේ නැහැ. එහි ආරම්භය නිරීක්ෂණ හා ප්‍රත්‍යක්ෂයයි. ගණිතයේදී මෙන් මේ නිරීක්ෂණ වලට නිශ්චිත හේතුවක් අපි දන්නේ නැහැ. හේතුව ඕනෑම එකක් වෙන්න පුළුවන්. එහි තිබෙන්නේ නොදැනුමක්. අවිනිශ්චිත භාවයක්.

ගණිතයේදී හා පෙර සඳහන් කළ අනෙකුත් විෂයයන්හිදී දැනුම ගොඩ නැගෙන්නේ කේන්ද්‍රයේ සිට පරිධිය දෙසට වුවත් සංඛ්‍යාන විද්‍යාවේදී දැනුම ගොඩ නැගීම ආරම්භ වන්නේ පරිධියේ සිටයි. වඩා වැදගත් පරිධිය මිස කේන්ද්‍රය නෙමෙයි. ගණිතයේ දැනුම අපෝහක දැනුමක් වුවත්, සංඛ්‍යාන විද්‍යාවේ දැනුම අනුභූතික දැනුමක්. 

ඇත්තටම කියනවානම් සංඛ්‍යාන විද්‍යාවේ පරිධිය කියා කියන්නේ ගණිතයේ කේන්ද්‍රය. සංඛ්‍යාන විද්‍යාවේ කේන්ද්‍රය කියා කියන්නේ ගණිතයේ පරිධිය. ඒ කියන්නේ එක පරම සත්‍යයක් වෙනුවට සත්‍යයන් අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. ඔය ඕනෑම එකක් වෙන්න පුළුවන්. එක දෙවියෙක් වෙනුවට අනන්තයක් දෙවිවරු!

ඔය අනන්තයක් වූ සත්‍ය අතරින් සත්‍යය කුමක්ද? අපි දන්නේ නැහැ. ගණිතය විසින් කරන්නේ දන්නා සත්‍යය උපයෝගී කරගෙන නොදන්නා සත්‍ය නිරාවරණය කරන එකනම්, සංඛ්‍යාන විද්‍යාවේදී කරන්නේ නිරීක්ෂණය කළ හැකි කරුණු වලින් පටන්ගෙන වියහැකියාවක් ලෙස පවතින සත්‍යයන් සත්‍ය වීමේ හැකියාව අනුමාන කරන එකයි. මේ ක්‍රියාවලිය තුළ සෛද්ධාන්තික ලෙසම පරම සත්‍යයක් හමු වන්නේ නැහැ. 

පොඩි උදාහරණයක් දෙන්නම්. ආවරණය වූ භාජනයක පාට වෙනස හැරුණු විට එක සමාන රතු බෝල 50ක් හා නිල් බෝල 50ක් තිබෙනවා. මේ භාජනයට අත දමා බෝල දෙකක් ගත්තොත් ඒ දෙක නිල් බෝලයක් හා රතු බෝලයක් වීමේ සම්භාවිතාව කොපමණද?

මෙය සංඛ්‍යාන විද්‍යාවේ මායිමේ, එහෙත් ගණිතයේ වපසරිය තුළ තිබෙන ප්‍රශ්නයක්. මෙහි එක සමාන බෝල කියන එක වියුක්ත අදහසක්. ඒ නිසා, මුළු ගොඩනැගුමම වියුක්ත ගොඩනැගුමක්. ප්‍රශ්නයට විසඳුම අපට බුද්ධිවාදී ලෙස හොයා ගන්න පුළුවන්. එය ගණිතයේ ක්‍රමයයි. 

මේ බුද්ධිවාදී පිළිතුර නිවැරදිද? අපට මෙය පරීක්ෂාවට ලක් කළ හැකියි. ඒ සඳහා අපට අපේ ප්‍රායෝගික සීමාවන් තුළ සමාන සේ සැලකිය හැකි බෝල 100ක් හදා ගන්න වෙනවා. ඉන් පසු, එයින් බෝල 50ක් රතු පාටින් හා තවත් බෝල 50ක් නිල් පාටින් පාට කර භාජනයට දමා ආවරණය කර, හොඳින් හොලවා බෝල මිශ්‍ර කිරීමෙන් පසුව අත දමා බෝල දෙකක් ගන්න වෙනවා. ඒ බෝල දෙක මොන පාට වෙයිද? විසඳුම නිවැරදිද කියා පරීක්ෂා කරන්නනම් අපට මේ පරීක්ෂණය විශාල වාර ගණනක් කරන්න වෙනවා.

මෙහිදී අප විසින් මේ පරීක්ෂණය කරන්නේ ගැටළුවට විසඳුමක් හොයාගන්න නෙමෙයි. විසඳුම හොයාගෙන ඉවරයි. එය පරම සත්‍යයක්. එය පරම සත්‍යයක් වන්නේ විසඳුම හොයාගත්තේ අප විශ්වාස කරන පරම සත්‍යයකින් පටන් ගෙන නිසා. පරීක්ෂණ ප්‍රතිඵලය විසින් කරන්නේ විසඳුම වගේම ආරම්භක පරම සත්‍යයද සත්‍ය බව තහවුරු කරන එකයි.

දැන් අපි සංඛ්‍යාන විද්‍යාවේ වපසරියට එමු. ඔබ වසා තිබෙන භාජනයකට අත දමා බෝල දෙකක් ගන්නවා. එක බෝලයක් නිල් පාටයි. අනෙක් බෝලය රතු පාටයි. ඒ හැරුණු විට බෝල දෙකම එක වගේ බව පෙනෙනවා. පොඩි වෙනස්කම් තියෙන්නත් පුළුවන්. ඔබ දන්නේ මේ අතේ තිබෙන බෝල දෙක ගැන පමණයි. ඒ බෝල දෙක පරීක්ෂා කර ලබා ගන්නා අනුභූතික තොරතුරු මත ඔබට භාජනයේ තිබෙන්නේ මොනවාද කියන ප්‍රශ්නයට විසඳුමක් හොයන්න වෙනවා. 

අනිවාර්යයෙන්ම ඔබට නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ. සංඛ්‍යාන විද්‍යාව එවැනි නිශ්චිත පිළිතුරු සපයන්නේ නැහැ. එහෙත්, පිළිතුරු සපයනවා. අද වෙද්දී බටහිර විද්‍යාවේ විෂයයන් විශාල ප්‍රමාණයක් තියෙන්නේ සංඛ්‍යාන විද්‍යාව තිබෙන ගොඩේ මිසක් ගණිතය තිබෙන ගොඩේ නෙමෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව, වසංගත විද්‍යාව ආදිය තිබෙන්නේ මේ දෙවන ගොඩේ. 


12 comments:

  1. ඇත්තටම කියනවානම් සංඛ්‍යාන විද්‍යාවේ පරිධිය කියා කියන්නේ ගණිතයේ කේන්ද්‍රය. සංඛ්‍යාන විද්‍යාවේ කේන්ද්‍රය කියා කියන්නේ ගණිතයේ පරිධිය.
    I have a doubt on this statement as in mathematics the centre is perceived to be absolute truth but in statistics what is in periphery set of probabilities which is not absolute truth. Can u explain pls.

    ReplyDelete
    Replies
    1. Well, the reason why you missed the point here is that you continue to analyze the realm of statistics within the realm of mathematics. As you correctly understood, in mathematics the center is perceived to be absolute truth. Then you keep on branching off until you reach the periphery which has a finite or infinite number of nodes, each can occur with some probability. This is the set of probabilities that you mean. This entire description is correct within the realm of mathematics.
      However, the realm of statistics is different. You are just at one of these finite or infinite number of nodes and that’s all what you know. The problem is simple and straight forward if the only path towards this node starts at the center you already defined within the realm of mathematics which is unique. However, an infinite or finite number of paths starting from an infinite or finite number of centers can lead to this single node. So, tracing back to the origin is not a simple task. You start with an observation and it is not guaranteed to be an absolute truth since what we sense is not guaranteed to be the truth. The perceived potential truth is at the center but now, unlike the previous case, we have infinitely many centers, so infinitely many possible truths. It is rarely possible to pick one of those possible truths, so we pick the perceived truth which is the most likely. That is the subject area of statistics. However, unlike in the realm of mathematics, we know this is not guaranteed to be the truth. It just has a high probability to be.

      Delete
  2. ඉකොනෝ,
    ඇමරිකන් ජනාධිපතිතුමා තෝරා ගන්න බැරුව එහෙ මිනිස්සු වෙඩි පත්තු කර ගන්න එක ගැන, ට්‍රම්ට්ට ගෙනාපු විරුද්ධ යෝජනාව ගැන, ට්‍රම්ප් ගේ ගිණුම් අවහිර කිරීම ගැන විශ්ලේෂණාත්මක ලිපියක් ලියන්නකෝ. අපි දන්නේ ලංකාවේ මාධ්‍ය වල යන ඒවා විතරනි. අනික අපිට ඉංග්‍රීසිත් බෑනි ඉන්ටනෙට් එකෙන් හොයලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය වල යන තොරතුරු වල වැරැද්දක්නම් දැක්කේ නැහැ. ඉතිරි දවස් පහ ඇතුළත මේ ක්‍රියාවලිය අවසන් වෙයි කියා හිතන්න අමාරු නිසා ජනවාරි 20 දක්වා අමුතු දෙයක් වෙයි කියා මම හිතන්නේ නැහැ. අපි ඔය දවස් පහත් බලමු. ඔබ දන්නා පරිදි මා ඉංග්‍රීසියෙන් කියවන දේවල් වලින් මට වැදගත්යයි සිතන ඇතැම් දේ පිළිබඳව සිංහලෙන් පැහැදිලි කිරීම් කරන නමුත් බොහෝ විට ලිපියක් ලියන්නේ මටත් අලුතෙන් දෙයක් කියන්න අවශ්‍ය වූ විටයි. ඉංග්‍රීසියෙන් ඇති දේ සිංහලෙන් ලියන එක මාධ්‍ය වලට පහසුවෙන් කළ හැකි දෙයක්. ඇතැම් විට කරුණු තේරුම් නොගැනීම නිසාද කරුණු විකෘති වනවා වගේම හිතාමතා කරුණු විකෘති කරන අවස්ථාද තිබෙනවා වුවත් මාධ්‍ය වල පළ වන දේ බොහෝ විට නිවැරදියි. මේ හා අදාළව මට කියන්නට තිබෙන දේ ඉඩ ලැබෙන පරිදි ඉදිරියේදී පළ වෙයි.

      Delete
  3. High time you publish at least few books on few areas, in Sinhala.

    ReplyDelete
    Replies
    1. That's not a bad suggestion, Ian. You have proposed this a few years ago, if I remember. However, I still think what I will gain by doing so. While I do not expect printed media to survive in future, still printed books are the dominant mode of knowledge transmission in Sinhala medium and it will continue to be so for many years. But, first, I don't want to publish books in Sinhala for money. I know, that's not a reason for not publishing. Many others do not publish books for money. Second, and most importantly, I have no greed for reputation. I may be wrong, but I think many people publish for reputation when the objective is not money. I kind of dislike and hate the idea of being a celebrity. The only exception is that if it helps a purpose. The third and probable reason why I should publish is for change. By nature, this objective is political. However, my political ideologies do not align exactly with any political groups in Sri Lanka and has elements that criticize each group. So, either no person will care about my views and book will not serve its purpose, or I will have to face the criticisms of every group. If that happens at this blog platform, I can handle, though it is still hard to find time. If I publish for change I have to be ready to spend more time for the cause rather than being an armchair social activist. I have no plan to return to Sri Lanka for that purpose. On that basis, I will just become a hypocrite if I publish for a broader audience in Sri Lanka and advocate change. On the supply side, if I have to allocate my time on a Sinhala book, that time can also be allocated to write in a language which reaches a broader audience and personally it's easier for me to interact with an international publisher. I have, however, have no plan to do so for at least three more years.

      Delete
  4. සංඛ්‍යානයෙන්ම ගොඩ නැගෙන ස්වාධීන විශයන් ද ඔය දත්ත විද්‍යාව (data science ), ආයුගනන විද්‍යාව , ව්‍යාපාර විශ්ලේෂණය වගේ විශයන්.

    ReplyDelete
    Replies
    1. සරල හා කෙටි පිළිතුරක් ලෙස ඔව් කියන්න පුළුවන්. නමුත්, ඇත්තටම මේ විදිහට අලුත් විෂයයන් ගොඩ නැගෙන එක ටිකක් සංකීර්ණ දෙයක්. මගේ මේ ලිපිය කියෙවුවහම සංඛ්‍යාන විද්‍යාව කියන්නේ ගණිතයේ ශාඛාවක් ලෙස බිහි වී පසුව ස්වාධීන විෂයයක් වූවක් කියා හිතෙනවා ඇති. මම පෙන්වා දෙන කරුණ තේරුම් ගැනීම සඳහා එසේ සිතීමේ වැරැද්දක් නැහැ. අපි ඇතැම් විට ආකෘති ඇතුළේ සිට හිතනවා. එහි වැරැද්දක් නැතත් අප ඒ බව අමතක නොකළ යුතුයි.

      සංඛ්‍යාන විද්‍යාව ගණිත විද්‍යාවේ ශාඛාවක් ලෙස හැදී, වැඩී වෙන් වී ගියා කියා සැලකුවොත් ඒ එය සිදු වන්නේ පසුගිය අවුරුදු දෙසීයක පමණ කාලය ඇතුළත. එහෙත් සංඛ්‍යාන විද්‍යාවේ මුල් වසර දහස් ගණනක් ඈතට යනවා. ඉංග්‍රීසි භාෂාවේ Statistics කියන වචනය බිහි වන්නේ State කියන වචනය ඇසුරෙන්. මෙහි මූලාරම්භය වන්නේ රාජ්‍යයේ අවශ්‍යතා සඳහා ක්‍රමානුකූල ලෙස දත්ත එකතු කරන්න පටන් ගැනීම. රටක ජනගහණය, පුද්ගලයින්ගේ ආදායම් වැනි දේ. මෙහි අරමුණ බදු එකතු කර ගැනීම, යුද්ධ හා රාජ්‍ය සේවය සඳහා පිරිස් බඳවා ගැනීම ආදියයි. මහා වංශය කියෙවුවොත් අනුරාධපුර යුගයේ සිටම ලංකාවේ සංඛ්‍යාන දත්ත හොයා ගන්න පුළුවන්. මේ අනුව, සංඛ්‍යාන විද්‍යාව ලෝකයේ රාජ්‍ය ගොඩ නැගීමේ ආරම්භය දක්වා ඈතට යනවා. එපමණක්ද නෙමෙයි. ඔය වචනය බිහි වෙන්නත් පෙර සිටම ඒකීය පුද්ගලයින් විසින් තමන්ගේ වත්කම් පිළිබඳ ක්‍රමානුකූල දත්ත පවත්වා ගත්තා. ඒ නිසා, සංඛ්‍යාන විද්‍යාවේ මුල් මිනිසුන් විසින් ක්‍රමානුකූල ලෙස ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීම ආරම්භ කිරීම දක්වා ඈතට යනවා. තමන්ට අයිති හෝ අයිතිව සිටි ගවයින් ගණන වගේ. කෙසේ වුවත් නූතන අර්ථයෙන් සංඛ්‍යාන විද්‍යාව විද්‍යාවක් ලෙස බිහි වන්නේ ගණිත විද්‍යාවේ ශාඛාවක් ලෙස කියා කියන්න පුළුවන්.

      මේ ආකාරයෙන්ම ව්‍යාපාර විශ්ලේෂණය කියන්නෙත් වසර දහස් ගණනක් පැරණි විෂයයක්. ගැල් සාත්තුවක් උදේනි නුවරට යවද්දී ව්‍යාපාර විශ්ලේෂණය යොදා ගන්න වෙනවා. එහෙත්, නූතන අර්ථයකින් ව්‍යාපාර විශ්ලේෂණය බිහි වන්නේ සංඛ්‍යාන විද්‍යාව (හා වෙනත් විෂයයන් ගණනාවක්) ආශ්‍රයෙන් කියන්න පුළුවන්. විශේෂයෙන්ම ව්‍යාපාර විශ්ලේෂණයේ කොටසක් සේ සැලකිය හැකි ව්‍යාපාර සංඛ්‍යාන විද්‍යාව (Business statistics) බොහෝ දුරටම සංඛ්‍යාන විද්‍යාව ආශ්‍රිතව ගොඩ නැගෙන විෂයයක්. නූතන අර්ථයෙන් ගත්තොත් ආයුගණක විද්‍යාවත් බොහෝ දුරට සංඛ්‍යාන විද්‍යාව ආශ්‍රිතව ගොඩ නැගෙන විෂයයක්. ඊට අමතරව එය ජනවිකාශ විද්‍යාවටද සම්බන්ධයි. දත්ත විද්‍යාවනම් බොහෝ දුරට අලුත්ම විෂයයක්. එය අලුත් විෂයයක් වන්නේ එය බිහි වන්නේ පරිගණක ආශ්‍රිතව නිසා. මෙය පරිගණක විද්‍යාවේ හා සංඛ්‍යාන විද්‍යාවේ දෙමුහුමක් කියා කියන්න පුළුවන්.

      Delete
  5. සිඳිත මඩිත එක ලෙස විහිදන සුවඳ
    සඳුන් කඩකි මේ හරවත් ලිපිය හොඳ
    කොච්චර දේ හිතන්නට තව තියෙනවද
    කියලත් නියමෙටම ලියැවී තියෙයි අද

    ReplyDelete
  6. සංඛ්‍යානය සහ ඉකොනොමෙට්‍රික්ස්(econometrics) අතර සම්බන්ධධයක් තීනව ද? ඉකොනොමෙට්‍රික්ස් කියන්නේ සංඛ්‍යානයේ දිගුවක් ද ? පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?


    ලගදී දවසක් යූ ටියුබයේ දැක්කේ, පස්සේ මේ පරණ සටහන මතක් උන නිසා, මෙතන සටහන් කලේ !

    ReplyDelete
    Replies
    1. 1. ඔව්.
      2. ඔව්.
      3. ආර්ථිකමිතියේදී යොදාගන්නේ සංඛ්‍යානයේදී යොදා ගන්නා මූලධර්මමයි. එහෙත්, මෙහිදී සංඛ්‍යාන මූලධර්ම ආර්ථික න්‍යාය හා/හෝ ප්‍රායෝගික තත්ත්වයන් සමඟ ගැලපීමක් කරනවා. ඒ නිසා, තාක්ෂණික ලෙස පමණක් සංඛ්‍යාන ආකෘති යොදා ගන්න බැහැ. Psychometrics වැනි වෙනත් විෂයයන් වලදී වෙන්නෙත් මේ වගේ දෙයක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: