වෙබ් ලිපිනය:

Saturday, May 22, 2021

චීනය ලොකු වීම


චීන ආර්ථිකය මේ වන විට ඇමරිකන් ආර්ථිකය තරමටම වගේ ලොකුයි. මෙතෙක් ලෝකයේ ලොකුම ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය වුවත්, ඉදිරියේදී මේ තැන චීනයට ලැබෙන එක පැහැදිලි කරුණක්. ඇමරිකාව පහු කරගෙන චීන ආර්ථිකය මුල් තැනට පැමිණීමේ පසුබිම් කතාව කුමක්ද?

රටක ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද කියන එක මේ වෙද්දී අපි පැහැදිලි කර ගෙන තිබෙනවා. මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි කොබ්-ඩග්ලස් ආකෘතිය යොදා ගත්තා. එම ආකෘතිය අනුව, ආර්ථිකයේ ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන සාධක තුන වන්නේ රටක නිෂ්පාදනය සඳහා යොදවන ප්‍රාග්ධනය (K), නිෂ්පාදනය සඳහා යොදවන ශ්‍රමය (L) හා එම සාධක දෙක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂනයේ ඵලදායිතාවයි (A). 

මෙහි නිෂ්පාදනය සඳහා යොදවන ශ්‍රමය (L) තීරණය වන්නේ රටේ නිෂ්පාදනයට දායක වන ශ්‍රමිකයන් ගණන, එක් ශ්‍රමිකයෙකු විසින් වැඩ කරන පැය ගණන සහ ශ්‍රමිකයෙකු විසින් යොදවන පැයක ගුණාත්මක භාවය මතයි. පුහුණු ශ්‍රමිකයෙකුගේ පැයක ගුණාත්මක භාවය වැඩියි. මේ සියල්ල අපි පෙර ලිපියෙන් විස්තරාත්මකව කතා කළා. මේ ලිපියෙන් අපි ඇමරිකාවේ හා චීනයේ අදාළ සංඛ්‍යාලේඛන පරික්ෂා කර බලමු.


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි චීන ආර්ථිකයේ ප්‍රමාණය ඇමරිකානු ආර්ථිකයේ ප්‍රමාණයට ආසන්න වුවත් චීන ශ්‍රමිකයන් ගණන ඇමරිකන් ශ්‍රමිකයන් ගණන මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. ඒ කියන්නේ ආර්ථිකයන්ගේ ප්‍රමාණ සමාන වුවත්, ඇමරිකන් ශ්‍රමිකයෙකු විසින් චීන ශ්‍රමිකයෙකු උපයන මුදල මෙන් පස් ගුණයක් උපයනවා. මේ සංසන්දනය කර තිබෙන්නේ දෙරටේ ක්‍රය ශක්ති වෙනස්කම් හා ගැලපීමෙන් පසුවයි. ඒ නිසා, මේ මගින් සෘජු ලෙසම දෙරටේ ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වයන් සංසන්දනය කළ හැකියි.

ඊට අමතරව චීන ශ්‍රමිකයෙකු විසින් ඇමරිකානු ශ්‍රමිකයෙකු විසින් වැඩ කරන කාලය මෙන් 23%ක් කාලයක් වැඩිපුර වැඩ කරනවා. ඒ අනුව, චීන ශ්‍රමිකයෙකු විසින් පැයකට උපයන මුදල මෙන් 6.2 ගුණයක මුදලක් ඇමරිකන් ශ්‍රමිකයෙකු විසින් පැයකදී උපයනවා. මේ වෙනසට එක හේතුවක් වන්නේ ඇමරිකන් ශ්‍රමිකයෙකු සතුව චීන ශ්‍රමිකයෙකු සතු මානව ප්‍රාග්ධනය මෙන් 39%කින් වැඩි මානව ප්‍රාග්ධනයක් තිබීමයි. එහෙත්, එක සමාන මට්ටමකට මානව ප්‍රාග්ධනය තිබෙන ඇමරිකානු ශ්‍රමිකයෙකු හා චීන ශ්‍රමිකයෙකු සැලකුවත් ඇමරිකානු ශ්‍රමිකයා විසින් පැයකදී චීන ශ්‍රමිකයා විසින් උපයන මුදල මෙන් 4.5 ගුණයක් උපයනවා. 

ඇමරිකාවේ වගේම චීනයේත් ජාතික ආදායමින් ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස 60%ක් පමණ වුවත් චීනයේ කොටස ඇමරිකාවේදී බෙදී යනවාක් මෙන් පස් ගුණයක පමණ පිරිසක් අතර බෙදී යනවා. ඒ වගේම, ඔවුන් ඇමරිකානුවන්ට වඩා 23%ක කාලයක් වැඩ කරනවා. එක සමාන මානව ප්‍රාග්ධනයක් තිබෙන ඇමරිකානුවෙකු චිනෙකු මෙන් 4.5 ගුණයක් උපයන්නේ කොහොමද? ඇමරිකාව නිෂ්පාදනයේදී චීනයට වඩා ප්‍රාග්ධනය යොදා ගැනීම මීට හේතුවද?

සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ එසේ නොවන බවයි. චීනය සතු ප්‍රාග්ධන සංචිතය ඇමරිකාවේ ප්‍රාග්ධන සංචිතයට වඩා 18%කින් වැඩියි. මේ වන විට ලෝකයේ ලොකුම ප්‍රාග්ධන සංචිතය තිබෙන්නේ චීනයේ. ඒ කියන්නේ ඇමරිකාවේ මෙන් 4.5 ගුණයක ශ්‍රම බලයක් යොදා, ඇමරිකාව යොදවනවාට වඩා 18%ක් වැඩි ප්‍රාග්ධනයක් යොදවා චීනය විසින් නිපදවන අතිරික්තය ඉක්මවන අතිරික්තයක් තවමත් ඇමරිකාව විසින් නිපදවනවා. ඇමරිකාව එය කරන්නේ කොහොමද?

ඇමරිකාවේ සාර්ථකත්වය තනිකරම රඳා පැවතී තියෙන්නේ ඵලදායිතාවය මත. එක සමාන නිෂ්පාදන සාධක ප්‍රමාණයක් යොදවා චීනය විසින් නිපදවන අතිරික්තය මෙන් 2.8 ගුණයක් ඇමරිකාව විසින් නිපදවනවා. එය ඇමරිකානු ව්‍යවසායකත්වයයි. 

කෙසේ වුවත්, මෙය චීනයේ මෑතකාලීන සීඝ්‍ර ආර්ථික වර්ධනය නොසලකා හැරීමක් නෙමෙයි. 1970-2019 අතර කාලයේ දී ඇමරිකන් ආර්ථිකය 3.8 ගුණයකින් වර්ධනය වෙද්දී චීන ආර්ථිකය 18.3 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව, 1970දී ඇමරිකන් ආර්ථිකයෙන් පහෙන් පංගුවක් වූ චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය තරමටම ලොකු වී තිබෙනවා. එය සිදු වුනේ කොහොමද?

පළමුව, මේ කාලය තුළ චීනයේ ජනගහණ වර්ධන වේගය 1.1% වුවත් ඇමරිකාවේ එම වේගය තිබුණේ 0.9% මට්ටමේ. මේ හේතුව නිසා ඇමරිකානු ජනගහණය 57%කින් වර්ධනය වෙද්දී, චීන ජනගහණය 73%කින් වර්ධනය වුනා. දෙවනුව, ඇමරිකාවේ රැකියා නියුක්තිය 19%කින් ඉහළ යද්දී, චීනයේ එය 28%කින් ඉහළ ගියා. තෙවනුව, මේ කාලය තුළ ඇමරිකානුවකු විසින් වසරකට වැඩ කරන පැය ගණන 7%කින් අඩු වෙද්දී චීනයේ එය 10%කින් වැඩි වුනා. සිවුවනුව, ඇමරිකාවේ මානව ප්‍රාග්ධන සංචිත 22%කින් ඉහළ යද්දී චීනයේ 86%ක වැඩි වීමක් සිදු වුනා. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ ශ්‍රම බලය 2.1 ගුණයකින් ඉහළ යද්දී චීනයේ ශ්‍රම බලය 4.5 ගුණයකින් වැඩි වුනා. 

ශ්‍රම බලයේ සිදු වූ වෙනසටත් වඩා ලොකුම වෙනසක් සිදු වුනේ ප්‍රාග්ධන සංචිත වලයි. 1970-2019 අතර කාලයේ දී ඇමරිකාවේ ප්‍රාග්ධන සංචිත 3.2 ගුණයකින් ඉහළ යද්දී, චීනයේ ප්‍රාග්ධන සංචිත 20.1 ගුණයකින් ඉහළ ගියා. නිෂ්පාදන සාධක මේ විදිහට විශාල ලෙස ඉහළ යද්දී චීනයේ ඵලදායිතාවයද වැඩි වේගයකින් ඉහළ ගියා. ඇමරිකාවේ ඵලදායිතා වර්ධනය 25%ක් වෙද්දී  චීනයේ  ඵලදායිතා වර්ධනය 86%ක්.

චීනයේ මේ ප්‍රවණතාව මේ විදිහට දිගටම පවතියිද? චීන ජනගහණය දිගින් දිගටම වර්ධනය වන එකක් නැහැ. පුරෝකථන අනුව චීන ජනගහණය අඩු වීමට නියමිතයි. ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රම බලකාය තවත් වැඩි වෙන්නත් ලොකු ඉඩක් නැහැ. ඒ වගේම වැඩ කරන පැය ගණනත් මීට වඩා වැඩි විය නොහැකියි. එහෙත් මානව ප්‍රාග්ධනය අතින් චීනයට ඇමරිකාවේ මට්ටමට එන්න බැරිකමක් නැහැ. ඒ වගේම චීනයේ භෞතික ප්‍රාග්ධන සංචිතත් තව දුරටත් ඉහළ යා හැකියි. මේ සාධක වලින් චීනයට ඇමරිකාව ඉක්මවා යම් දුරක් යා හැකි වුවත් විශාල දුරක් යා නොහැකියි. එහෙත් ඵලදායීතාවය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනයට ඉතා පහසුවෙන්ම සිය ඵලදායීතාවය දෙගුණ කර ගන්න පුළුවන්. එහි ප්‍රතිඵලය චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් දෙගුණයක් හෝ ඊටත් වඩා විශාල වීමයි. 

ඇමරිකාවට මෙය වලක්වා ගත හැකි ක්‍රමයක් තිබෙනවාද? ඇමරිකාව තුළ ස්වභාවිකව ජනගහණය වර්ධනය වීමේ නැඹුරුවක් නැහැ. ඒ නිසා, ඇමරිකානු ජනගහණය විශාල ලෙස වර්ධනය විය හැක්කේ මහා පරිමාණයෙන් සංක්‍රමණිකයන්ට ඇමරිකාවට පැමිණීමට අවස්ථාව සැලසීමෙන් පමණයි. චීනය නැගී එද්දී ලෝකය තුළ ඇමරිකානු දේශපාලන හා ආර්ථික බලය පවත්වා ගැනීම සඳහා ඇමරිකාවේ ජනගහණය බිලියනයක් දක්වා වර්ධනය කර ගත යුතු බව දැනටමත් ඇතැම් අය යෝජනා කර ඇතත් එවැන්නක් සිදු වීමේ ඉඩක් නැහැ. 

ඇමරිකාවේ ජනගහණය මෙන් 4.4ක ජනගහණයක් සිටින චීනයේ ආර්ථිකයට වඩා ලොකු ඇමරිකන් ආර්ථිකයක් පැවතිය හැක්කේ ඇමරිකාවේ ඵලදායිතාවය චීනයේ මෙන් තුන් හතර ගුණයක් වැඩි මට්ටමක පවත්වා ගත හැකිනම් පමණයි. එයද ප්‍රායෝගිකව කළ නොහැක්කක්. ඇමරිකාවේ ඵලදායිතාවය ඉහළ දමා ගන්නනම් ඇමරිකාවට අලුත්ම ක්‍රමවේද හොයා ගන්න වෙනවා. එහෙත්, ඵලදායීතාව අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනයට කරන්න තිබෙන්නේ ඇමරිකාව දැනටමත් කර ඇති දේ කරන එක පමණයි. 

චීනය මෙය ඉතා හොඳින් කරනවා. ඇමරිකාවේ සරසවි වල ඉගෙනුම ලබන මිලියනයක් පමණ වන විදේශ සිසුන්ගෙන් 35%ක්ම එන්නේ චීනයෙන්. ඔවුන් බොහෝ දෙනෙක් නැවත ආපසු චීනයට යනවා. ඇමරිකාවේ ඉගෙන ගෙන, ජිවත් වී, රැකියා කළ අය ප්‍රතිපත්ති තිරණ ගන්නා මුල් පුටු වලට දමන්න චීන කොමියුනිස්ට් පක්ෂය පැකිලෙන්නේ නැහැ. චීන ආර්ථිකය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වීමට සමාන්තරව දැනට පවතින ධනවාදී-ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික-දේශපාලනික ආකෘතිය අභියෝගයට ලක් වීමේ හැකියාවද හිතා ගන්න අමාරු දෙයක් නෙමෙයි.

Attribution:

Feenstra, Robert C., Robert Inklaar and Marcel P. Timmer (2015), "The Next Generation of the Penn World Table" American Economic Review, 105(10), 3150-3182, available for download at www.ggdc.net/pwt.

24 comments:

  1. කොබ් ඩග්ලස් ආකෘතිය සීග්‍රව වැඩිවන ශ්‍රම වෙලදපොලක් උදේසා යොදා ගැනීමේ ගැටළු තියෙනවා නේද?
    එතකොට චීනය සම්භන්දයෙන් මේ ආකෘතිය යොදා ගෙන අනාවැකි කීමට පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. //කොබ් ඩග්ලස් ආකෘතිය සීග්‍රව වැඩිවන ශ්‍රම වෙලදපොලක් උදේසා යොදා ගැනීමේ ගැටළු තියෙනවා නේද?//

      පොඩ්ඩක් පැහැදිලි කරන්න.

      Delete
    2. අපට මිළදී ගැනීමට ඇත්තේ චීන සහ ඉන්දියන් නිෂ්පාදන නිසා සහ ලොකයම චීනයේ නිශ්පාදන ගැන පමණක් කතාකරන නිසා තිරිඟු හැරුනුවිට ඇමරිකාව ලෝකයට විකුණන්නේ මොනවාද කියා අදහසක්වත් මට නම් නෑ.

      Delete
    3. ඇණයා, ඔබට එම ප්‍රශ්නය මතු වීම ඉතාම සාධාරණයි. ඇමරිකාව කියන්නේ ලෝකයේ රටවල් අතරින් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අඩුම අපනයන ආදායමක් උපයන රටවල් කිහිපයෙන් එකක්. ඇමරිකාවේ නිපදවන දේවල් බොහෝ දුරටම පරිභෝජනය කරන්නේ ඇමරිකානුවන් විසින්මයි. එහෙත්, ඇමරිකාව යම් තරමකින් හෝ අපනයනය නොකරන දෙයක් නැති තරම්. ඇමරිකාව හැම දෙයක්ම වගේ අපනයනය කරනවා වගේම හැම දෙයක්ම වගේ (අපනයනය කරන දේවල්ම) යම් තරමකින් හෝ ආනයනයද කරනවා. ඇමරිකාවේ කාර්යක්ෂමතාවය පවත්වා ගන්නේ ඒ හරහා. ව්‍යතිරේඛ සුළු ප්‍රමාණයක් තිබුණත් බොහෝ නිෂ්පාදන හා අදාළව ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදකයෙකු සමඟ තරඟ කරන්න බැරිනම් ඇමරිකානු නිෂ්පාදකයෙකුට පවතින්න අමාරුයි. ඇමරිකාවේ අපනයන වැඩිම ප්‍රමාණයක් යන්නේ අසල්වැසි කැනඩාවට සහ මෙක්සිකෝවට. එය භූගෝලීය පිහිටීම සම්බන්ධ කරුණක්. ඇතැම් ප්‍රාන්ත ඇමරිකාවේ ඈතින් පිහිටි වෙනත් ප්‍රාන්ත වලට වඩා මේ රටවලට ලඟයි. ඒ නිසා ප්‍රවාහන වියදම් අඩුකමේ වාසිය තිබෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකාව විශාල ලෙස ඉන්ධන ආනයනය කරනවා වගේම අපනයනයද කරනවා. සමස්තයක් ලෙස ගත්තොත් ඇමරිකාව වැඩිපුර අපනයනය කරන්නේ නිෂ්පාදනය සඳහා උසස් තාක්ෂණයක් අවශ්‍ය දේවල්. ඒවා සාමාන්‍යයෙන් යන්නේ ඉහළ ආදායම් මට්ටම් වල සිටින රටවලටයි. උදාහරණයක් විදිහට ගුවන් යානා, හෙලිකොප්ටර්, ගෑස් ටර්බයින්, වෛද්‍ය උපකරණ, ක්ෂුද්‍ර පරිපථ, වාහන, යන්ත්‍රෝපකරණ ආදිය. කෘෂිකාර්මික අංශයේ තිරිඟු වලටත් වඩා සෝයා බෝංචි අපනයනය කෙරෙනවා.

      Delete
  2. ඇමරිකන් ධනවාදය අසාර්ථක වී චීන සමාජවදී ආර්ථිකය ලොව ජය ගනිමින් සිටිනවා. සමාජවාදය දිනේවා.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=bVkLqC3p0Og

      Delete
  3. දැනට ආර්ථික විශේෂන්ඥයන් චීනය ඉදිරි වසර දහය තුල ඇමෙරිකාව අභිබවා යන බවට අනාවැකි පළ කරන්නේ මේ නිසාද? එක්සත් ජනපදය නැවතත් නිෂ්පාදන ආර්ථිකයකට යොමු වුනොත් ඒ කියන්නේ ඔය ඇපල් වැනි ආයතන වල චීනයේ ඇති කර්මාන්තශාලා ආදිය නැවත එක්සත් ජනපදයට ගෙන්වා ගත්තොත් -

    ReplyDelete
    Replies
    1. චීනය ඇමරිකාව අභිබවා යනවා කියන එක පැහැදිලි හා සරල ගණිතමය කරුණක්. අනෙක් සියළු තත්ත්වයන් සමානනම් ඇමරිකාව මෙන් හතර ගුණයක ජනගහණයක් සිටින රටක ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය මෙන් හතර ගුණයක් විශාල විය යුතුයි. මේ පදනම මත චීන ආර්ථිකය වගේම ඉන්දියන් ආර්ථිකයත් ඇමරිකන් ආර්ථිකය මෙන් කිහිප ගුණයක් විශාල විය යුතුයි. අසාමාන්‍ය තත්ත්වය වන්නේ එසේ නොවී ඇමරිකන් ආර්ථිකය ලෝකයේ ලොකුම ආර්ථිකය ලෙස පැවතීමයි. සෝවියට් දේශයේ ජනගහණය ඇමරිකාවට වඩා විශාල වුනේ 20%කින් පමණ. ධනවාදයේ වැඩි කාර්යක්ෂමතාවයේ උදවුවෙන් ඒ වගේ පොඩි පරතරයකින් වඩා විශාල සමාජවාදී රටක් පහසුවෙන් පහු කරන්න පුළුවන්. නමුත්, හතර පස් ගුණයක් ලොකු රටක් කාර්යක්ෂමතා වෙනස මගින් පමණක් පහු කරන්න අමාරුයි. විශේෂයෙන්ම චීනය විසින් ධනවාදයේ කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ලබා ගනිමින් සිටිද්දී. චීනයේ ඇති කර්මාන්තශාලා ආදිය නැවත එක්සත් ජනපදයට ගෙන්වා ගත්තා කියලා මෙහි වෙනසක් වෙන්නේ නැහැ. ඇමරිකන් ශ්‍රමිකයෙකු චීන ශ්‍රමිකයෙකු මෙන් පස් ගුණයක් පමණ උපයනවා. ඇමරිකන් ශ්‍රමිකයන් නිරතව ඉන්නේ සාපේක්ෂව වඩා කාර්යක්ෂම හා ඉහළ තාක්ෂණයක් යොදා ගන්නා කර්මාන්ත වල. චීනයට ගෙනගොස් තිබෙන්නේ සාපේක්ෂව අඩු තාක්ෂනයක් අවශ්‍ය කර්මාන්ත. මේ කර්මාන්ත නැවත ඇමරිකාවට ගේනවා කියන්නේ පිරිවැය කිහිප ගුණයකින් වැඩි වී ඇමරිකාවේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එකයි. ඒ වගේම වැඩි ආන්තික ඵලදායිතාවයක් තිබෙන කර්මාන්තයක නිරතව සිටින ශ්‍රමිකයින් අඩු ආන්තික ඵලදායිතාවයක් තිබෙන කර්මාන්තයක් කරා විතැන් කරනවා කියන එකයි. ඇමරිකාවේ මේ මොහොත වෙද්දීත් විශාල ශ්‍රම හිඟයක් තිබෙනවා. ඒ නිසා කර්මාන්ත නැවත ඇමරිකාවට ගෙන එනවානම් එය කරන්න වෙන්නේ මහා පරිමාණ ස්වයංකරණයක් එක්කයි. එය සිදුවෙමින් පවතින නමුත් ඇමරිකාවේ ස්වයංකරණය වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් චීනය ධනවාදයේ කාර්යක්ෂමතාවය උකහා ගැනීම සිදු වෙනවා. ඒ නිසා ඇමරිකාවට පළමු තැන පවත්වා ගැනීම අසීරු දෙයක්.

      Delete
  4. ඇමරිකාවේ ඉගෙන ගෙන, ජිවත් වී, රැකියා කළ අය ප්‍රතිපත්ති තිරණ ගන්නා මුල් පුටු වලට දැමීමට අමතරව අමෙරිකන් විශ්වවිද්‍යාල සමග හවුලේ කරන පර්යේෂණ (research collaboration) ඔවුන්ට අමෙරිකාවෙ intellectual capital එක ටැප් කරන මාර්ගයක් නෙවෙයිද.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, lotus. මෙහි වාසිය බොහෝ දුරට තිබෙන්නේ අනෙක් පාර්ශ්වයට (මෙහිදී චීනයට) වුවත් සාමාන්‍යයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මේ වගේ දේවල් දිරි ගන්වනවා මිස අධෛර්යමත් කරන්නේ නැහැ. බුද්ධිමය ප්‍රාග්ධනයේ ප්‍රතිඵල කාන්දු වෙන්නට ඉඩ හැරීම (බුද්ධිමය දේපොළ අයිතිය හොරකම් කරන්නට ඉඩ හැරීම නෙමෙයි) ධනවාදය තුළ ප්‍රගතිය කරා යන යාන්ත්‍රණයේම කොටසක්. ඒ නිසා බටහිර රටවල් විසින් මෙය සලකන්නේ සාධනීය දෙයක් ලෙසයි. එය අනෙක් පාර්ශ්වයෙන් ඒ විදිහටම සිදු නොවන විට බටහිර රටවලින් ප්‍රතිරෝධයක් එන්නේත් ඒ නිසයි.

      Delete
  5. //ඇමරිකාවේ සරසවි වල ඉගෙනුම ලබන මිලියනයක් පමණ වන විදේශ සිසුන්ගෙන් 35%ක්ම එන්නේ චීනයෙන්. ඔවුන් බොහෝ දෙනෙක් නැවත ආපසු චීනයට යනවා. ඇමරිකාවේ ඉගෙන ගෙන, ජිවත් වී, රැකියා කළ අය ප්‍රතිපත්ති තිරණ ගන්නා මුල් පුටු වලට දමන්න චීන කොමියුනිස්ට් පක්ෂය පැකිලෙන්නේ නැහැ.//
    මේක ලංකාවට අදාලව ගත්තොත්....?

    ReplyDelete
  6. 1970-2019 අතර කාලයේ දී ඇමරිකාවේ ප්‍රාග්ධන සංචිත 3.2 ගුණයකින් ඉහළ යද්දී, චීනයේ ප්‍රාග්ධන සංචිත 20.1 ගුණයකින් ඉහළ ගියා.
    Can u explain a bit on the term ප්‍රාග්ධන සංචිත?

    ReplyDelete
    Replies
    1. Total stock of physical capital that can be used for production which includes land, other natural resources, machinery, roads, electric power plants, communication infrastructure, computers, airports, buildings, money... whatever you name used for production (not for immediate consumption) but except labor and human capital.

      Delete
  7. මේක මෙතන්ට අදාල නැද්ද දන්නෙ නෑ ඉකොනොමැට්ටා ඒත් සමාජවාදය සාර්ථක වෙලා තියන රටවල් මොනවද?

    මට තියෙන තවත් ගැටලුවක් තමයි 1989 දි ලංකාවේ එවකට බටහිර හිතවාදී බවක් පෙන්නුව බව කියන එජාපයේ ආණ්ඩුවේ හමුදා මර්දනය හමුවේ ජවිපෙ වගේ වාමාංශික දේශපාලනය කරන සමාජවාදී සන්නද්ධ කල්ලියක (ජවිපෙ - දේජාව) නායකයො බහුතරයක් ඇයි එදා සෝවියට් දේශය, මහජන චීනය, යුගෝස්ලෝවියාව, කියුබානු සමූහාණ්ඩුව වගේ සමාජවාදී ජනරජ වෙනුවට ප්‍රංශයේ (සෝමවංශ අමරසිංහ), එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ, සහ ධනවාදී සමාජ ක්‍රමයක් පැවති බටහිර යුරෝපීය රටවල් වල දේශපාලන සරණාගතබව ලබාගත්තෙ ��

    (Note: අපි ඒ කාලේ ගැන හරියටම දන්නෙ නෑ ඉතින් කියවලා හරි වීඩියෝ එකක දැකපු දෙයක් තමයි. පාසල් යන කාලයේ උතුරේ දමිළ සන්නද්ධ අරගලයේ බෝම්බ පිපිරවීම් සහ සිවිල් යුද්ධය ගැන අත්දැකීම් තියෙන නමුත් ජවිපෙ සන්නද්ධ අරගලය ගැන හරියටම දන්නෙ නෑ, මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඒ කාලේ සැබෑවට අත්දැකීම් ඇති කෙනෙක් විදියට?)

    ReplyDelete
    Replies
    1. සමාජවාදය සාර්ථක වෙලා තිබෙන රටවල් මොනවාද කියලා අපට අහන්න පුළුවන් වෙන්නේ සාර්ථක වීම කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. මම ධනවාදය හා සමාජවාදය සංසන්දනය කරන්නේ භෞතික දියුණුව හා මිනිස් නිදහස ලබා ගැනීම සාර්ථකත්වයයැයි කියන පදනමෙන්. හැම දෙනෙකුටම නොවූවත් බොහෝ දෙනෙකුට අවශ්‍ය ඔය දෙක. එහෙත් වෙනත් යමක් සාර්ථකත්වය සේ දකින අය ඉන්න පුළුවන්. තමන්ට අත් කර ගත නොහැකි දේ වෙනත් අය විසින් අත් කර ගැනීම වැළැක්වීම වැනි දෙයක් සාර්ථකත්වය කියා හිතුවොත් සමාජවාදය සාර්ථකයි.

      මම සඳහන් කළ ඉලක්ක සැලකුවොත් සමාජවාදය අසාර්ථක වන්නේ එහි පාදම තුළමයි. සමාජවාදී ක්‍රමයට ගිය රටවල් අසාර්ථක වීම මෙම කරුණ දෘශ්‍යමාන වීමක් පමණයි. චීනය දියුණු වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීම යටතේම ටිකෙන් ටික සමාජවාදය අත ඇරීමට සාපේක්ෂවයි. මේ හේතුව නිසා චීනය ලෝක බලවතා වුවත් ධනවාදය නැති වන්නේ නැහැ. චීනයට ක්‍රමක්‍රමයෙන් ධනවාදී වෙන්න වගේම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නත් සිදු වෙනවා. ඒ වගේම චීනයේ පැවැත්මට බටහිර රටවල් තවදුරටත් අවශ්‍ය වෙනවා.

      අනෙක් අතට මම මෙහි කතා කරන ධනවාදී පරමාදර්ශය කියන එකත් මාක්ස්වාදී පරමාදර්ශය වගේම වියුක්ත අදහසක්. ලෝකයේ කොහේවත් පූර්ණ ධනවාදී රටවල් නැහැ. ඇමරිකාව වුවත් යම් තරමකින් සමාජවාදීයි. මාක්ස්වාදී විකල්පය පැකේජ් එකක් විදිහට අසාර්ථක වුවත් ලෝකයේ හැම සාර්ථක රටකම යම් සමාජවාදී භාවිතාවන් තිබෙනවා.

      කාලයක් ලෝකයේ කොමියුනිස්ට්/සමාජවාදී විප්ලව ලෝක පරිමාණයෙන් සිදු වුනා. එක රටක අය විප්ලව කරන්න තව රටකට ගියා. චීනය සමාජවාදී වන තුරුම වගේ තිබුණේ එක කොමියුනිස්ට් පක්ෂයක්. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නොකියා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙස හැඳින්වුවේ ඒ නිසයි. ලෝක මට්ටමෙන් විවිධ ගුරුකුල තිබුණත් ඒවාත් බොහෝ දුරට ජාත්‍යන්තරවාදී පක්ෂ. එහෙත් පසුව ජවිපෙ පන්නයේ ජාතික සමාජවාදය ජනප්‍රිය වුනා.

      ජවිපෙ කිසිවිටෙක ජාත්‍යන්තර පක්ෂයක ලංකාවේ පුරුක වී සිටියේ නැහැ. පළමු කැරැල්ල වෙලාවෙත් එවකට ප්‍රබල තැනක හිටපු සමාජවාදී රටවල් විසින් ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සභාග ආණ්ඩුවේ පැත්තයි. දෙවන කැරැල්ල අවසන් වන කාලය වෙද්දී කොහොමත් ලෝකයේ සමාජවාදී ව්‍යාපාරය දුර්වල වෙලා. කාටවත් ජවිපෙට උදවු කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ජවිපෙට ඒ තරම් ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණෙත් නැහැ.

      ජවිපෙට කරන ඔය විවේචනය ගොඩක් ජනප්‍රිය වුනත් ඇත්තටම ඔය විදිහට බටහිර රටවලට පැන ගියේ මොනවා හෝ සම්බන්ධතාවයක් තිබුණු සීමිත පිරිසක්. බටහිර රටවල් සාමාන්‍යයෙන් මිනිස්සු සේ සලකා සරණාගතයින්ට උදවු කරනවා. සමහර ජවිපෙ සාමාජිකයින් විසින් එම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා. ඔවුන් ඒ අවස්ථාවේ පණ බේරා ගැනීමේ අරමුණින් මිසක් ඉසුරු සොයා බටහිර රටවලට ගියා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි එහෙම හරි සමාජවාදී රටකට නොගොස් බටහිර රටකට යාමෙන් පෙනෙන්නේ ඔවුන්ට සමාජවාදී රටවලට වඩා බටහිර රටවල් පිළිබඳ විශ්වාසයක් තිබුණු බවයි.

      Delete
  8. මේ පිලිථුඅ ගැන පොඩි අදහස් දෙකක්;
    //හැබැයි එහෙම හරි සමාජවාදී රටකට නොගොස් බටහිර රටකට යාමෙන් පෙනෙන්නේ ඔවුන්ට සමාජවාදී රටවලට වඩා බටහිර රටවල් පිළිබඳ විශ්වාසයක් තිබුණු බවයි.//මම දන්නා විධිහට ඒ ඒ රටවල ලින්ක් එක තියෙන පක්ෂයක් හරහා ආවොත් විතරයි සමාජවාදී රටක ඇසයිලම් දෙන්නේ. එහෙම දීපු අවස්ථා තියනවා. හරිම අඩුවෙන් තමා. ධනවාදී රටවල වගේ wholesale ගන්නේ නැහැ. සංවෘත නිසාම ඔවුන්ට විශ්වාසයක් නැහැ එහෙම එන මිනිස්සු ගැන . නමුත් කොමියුනිස්ට් පක්ෂ සම්බන්ධයක් තියනවා නම දුන්න. ජවිප්ට ඔය එකොන් කීව වගේ තිබ්බේ නැහැ එහම සම්බන්ධකම්.
    ජවිපෙ ඉතා සුළු කාලයක ඉරාකයේ බාත් සමාජවාදී පක්ෂය සමග සම්බන්ධ වුනා. ඒක සිරියාවේ හෙමත් බාත් කියලයි කීවේ. ඔවුන් මුදලින් පවා උදව් දුන්න.

    ReplyDelete
    Replies
    1. ඔවුන් මුදලින් පවා උදව් දුන්න.- සොරි එහම් අහල තියනව.ඔප්පු කරන්න නම් විධිහක් නැහැ.

      Delete
    2. මෙහි මේ ගැන සඳහන්ව තිබෙනවා.

      https://www.jvpsrilanka.com/english/about-us/history-of-1965-1994/

      "By this time the official communist parties of the Socialist movement were affiliated to the Soviet Union. While the Soviet Union had transactions with official communist parties that were loyal to it, China helped communist groups loyal to it. Meanwhile, some other parties were connected to Trotskyite groups of the 4th International. In such an environment, genuine Marxist-Leninist parties that were not connected to any of these schools of thought were confronted with hardships. They had to function in isolation. In Sri Lanka the JVP had difficulty in building international political relations as it did not fall into Stalinism, Maoism or Trotskyism. As such, the affairs in international sphere of the JVP were not adequate despite it being strong and becoming the main left political movement in the country. Initially, international affairs were limited to JVP branch in London and the relations it had with then ruling Arab Socialist Ba’ath Party in Iraq."

      Delete
    3. අජිත් කියන දෙය ගැන කිහිප තැනකම සඳහන්ව තිබෙන බව පේනවා.

      "Iraq’s Baath Socialist Party helped the JVP revive its fortunes in the late seventies after its long incarcerated leaders and senior cadres were released from Sri Lankan prisons by a newly elected United National Party government in 1977."

      https://tamilnet.com/art.html?catid=13&artid=7596

      Delete
    4. මම දන්න විදිහට ඉරාක‍‍ය‍ෙන් ලැබුනු මුදල් පූර්ණකාලිනයන්ට ‍දීමනා ‍ග‍ෙවන්න ය‍ොදාගත්තා,විහිළු සහගත වැරදීමකින් මාවත් පූර්ණකාලිකය‍ෙක් විදිහට බඳවාගන්න හැදුවා,ග‍ෙවිය හැකි මාසික දීමනාව 7000ක් ‍කියා එක් අයකුත් 10000 කියා තවත් අයකුත් කීවා, එ් 1995දී, විහිළුව වුන‍ේ මම න‍ොදැනම මම අභ්‍යන්තර කවයක පිරිසක් සමඟ ගැවසී තිබීම නිසා මමත් එ් කවය‍ේ අයකු ල‍ෙස වරදවා හඳුනා ගැනීමයි.

      Delete
    5. සල්ලි අාවේ හැව්ලොක් ටවුන් හරියේ තිබූ ඉරාක කාපට් - ලංකාෙව් ෙත් බිස්නස් කළ පුංචි සමාගමක් හරහායි.

      Delete
    6. 1987/88දී පමණ මම දන්නා ඇතැම් පූර්ණකාලිකයෝ වැඩ කලේ රුපියල් 1500ක වැටුපකට. එසේ කළේ මරණය අතින් අරගෙන. (ඒ ගොඩක් අය දැන් ජිවතුන් අතර නැහැ) ඊට සාපේක්ෂව බැලුවහම 1995 වෙද්දී රුපියල් 10,000ක් කියා කියන්නේ ඉතාම ඉහළ "ධනපති" වැටුපක්. මේ අනුව පෙනෙන්නේ එක පැත්තකින් "රැකියා වෙළඳපොළේ" ජවිපෙ පූර්ණකාලිකයෙකු සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වීම වුවත් එය පමණක්ම නොවන බව පැහැදිලියි. ඔබ කියන කරුණු නිවැරදි සේ සැලකුවොත් ඉරාක සල්ලි නිසා "රැකියා සැපයුම" විශාල ලෙස ඉහළ යාමද මෙසේ මිල ඉහළ යාමට හේතු වී ඇති බව පැහැදිලියි. මෙහිදී ජවිපෙ පූර්ණකාලිකයන් සියලු දෙනා හෝ බොහෝ දෙනෙකු එය රැකියාවක් සේ කළා කියා මම කියන්නේ නැහැ. නමුත් හමුදා වල රැකියා වලට යාමේදී වගේම මිල සාධකය මෙහිදීත් ආන්තීය බලපෑමක් කරනවා. දීමනාවක් නොලබා වැඩ කිරීමට කැමති වීමට සාපේක්ෂව දීමනාවක් ලබමින් වැඩ කිරීමට කැමති වීමේ සම්භාවිතාව යම් තරමකින් හෝ ඉහළ යනවා. උදාහරණයක් විදිහට කොළඹ ප්‍රමුඛ පාසැල් වල උගත්, ආරක්ෂක අංශ වල සැකයට භාජනය නොවන තරම් ඉහළ සමාජ පසුබිමක් තිබුණු ඇතැම් සිසුන් ඔය වැටුප වෙනුවෙන්ම ජවිපෙ පණිවුඩකරුවන් සේ සේවය කළා. 1987/88දී රුපියල් 1500ක් කියන්නේ සාමාන්‍ය වැටුපක්. හොඳ හෝ නරක වැටුපක් කියා කියන්න බැහැ. ඔය කාලයේ ජනසවි ගුරුපත්විමකට ගෙවුවේ රුපියල් 1000ක් පමණයි. සාමාන්‍ය උපගුරු ආරම්භක වැටුප, මතක හැටියට, රුපියල් 1480ක් වැනි ගණනක්. පසුව ජවිපෙ/දේජව්‍යා බස් වර්ජනය කළේ රුපියල් 2500ක වැටුපක් ඉල්ලලා. මෙයට සාපේක්ෂව 1995දී රුපියල් 10000ක් කියා කියන්නේ ඉන්ජිනේරුවෙකුට හෝ පරිගණක ක්‍රම ලේඛකයෙකුට වුවත් පහසුවෙන් ලබා ගැනීමට අසීරු වූ වැටුපක්. එවැනි වැටුපක් ලැබෙන රැකියාවක් ඒ දවස් වෙද්දී එවැනි වෘත්තිකයෙකුට ඉලක්ක කළ හැකිව තිබුණු හොඳ රැකියාවක්. රුපියල් 7000ක් වුවත් නරක මට්ටමක් නෙමෙයි.

      Delete
    7. ඹය ඉලක්කම් නිවැරදි ලෙසයි මට මතක තියෙන්නේ, මා එකල තාවකාලික රැකියාවෙන් ලත් මුදල ඹය අතරමැද තිබූ නිසා එය නිවැරදි විය යුතුයි. කොහොමත් එතන විපරීතයක් වෙලා තිබුනේ ඹවුන් ගෙන් බහුතරයකට අයිඑන්ජීඹ් වල ඉහල වැටුප් තල ඇති රැකියා ලැබී තිබූ නිසා, එම තත්වය නිසාම ඹවුන් ඉක්මනින්ම බේද බින්නව විසිරව ගියා. තවමත් තොරතුරු කීප දෙනෙතුගේ වර්ථමාන හැසිරීම පංචායුධට දෙවනෙි නෑ. ඹවුන් සියල්ල කැරුල්ල සමයේ අසීරුවෙන් දිවි ගලවා ගත් අය,

      Delete
    8. පඩි ඔච්චර අඩු ය කියා දැන සිටියේ නැහැ

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: