වෙබ් ලිපිනය:

Saturday, June 11, 2022

නන්දලාල්ට තව සති තුනයි!


රටේ ආර්ථික අර්බුදය පෙර නොවූ විරූ මට්ටමකට උග්‍ර වී ඒ තුළින් දේශපාලන හා සමාජ අර්බුදයක්ද මතු වීමෙන් පසුව මහ බැංකු අධිපති ධුරයේද වෙනසක් සිදු වුනා. අධිපති ධුරය භාරගත්තේ සැලකිය යුතු කාලයක් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති දක්වා තනතුරු හොබවා විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට වී සිටි, ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරියෙක්ද වන, නන්දලාල් වීරසිංහයි. 

ආර්ථිකයේ ප්‍රශ්න තවමත් විසඳී නැහැ. වසර දහයක් පමණවත් යන තුරු ප්‍රශ්න සියල්ල විසඳෙන එකකුත් නැහැ. අවුරුදු 74ක ප්‍රශ්න ඊට වඩා අඩු කාලයකින් විසඳිය නොහැකියි. එහෙත් නිවැරදි මාර්ගෝපදේශනයක් ඇත්නම් ආර්ථිකය තවතවත් අගාධයට යාම වලක්වා ගත හැකියි. එය සිදු නොවන්නේනම් විනාශයේ කෙළවර කුමක් වේදැයි කාටවත් කියන්න බැහැ.

නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමෙන් පසුව ඉතා ඉක්මණින් සාධනීය වෙනස්කම් රැසක් කිරීමට පියවර ගත්තා. මේවා වරින් වර ලියා තිබෙන නිසා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඒ කර තිබෙන දේවල් වුවත් පැලැස්තර තමයි. නමුත් මේ වෙලාවේ පැලැස්තර දමනවාට වඩා දෙයක් ක්ෂණිකව කළ නොහැකියි. නන්දලාල් වීරසිංහ විසින් ක්ෂණික ප්‍රශ්න වලට පැලැස්තර දමන අතරම වරින් වර ඔහුගේ දිගුකාලීන දැක්ම ගැන අදහස් ප්‍රකාශ කිරීමටද පැකිලී නැහැ.

අඩුපාඩු තිබිය හැකි වුවත්, තවමත් නන්දලාල්ගේ ක්ෂණික පිළියම් කිසිවක් අතේ පත්තු වී නැහැ. ඒ වගේම, දිගුකාලීන වෙනසක් වෙනුවෙන් යමක් කිරීමට ඔහුට තවමත් අවස්ථාවක් ලැබීත් නැහැ. එවැනි වෙනස්කම් කළ හැකි වාතාවරණයක් තවමත් රටේ නැහැ. නන්දලාල්ගේ අනාගත සාර්ථකත්වය ගලේ කෙටී නැතත්, ඔහු තවමත් අසාර්ථක වී නැහැ. 

කෙසේ වුවත්, නන්දලාල් වීරසිංහගේ අධිපති පත්වීම වලංගු වන්නේ ජූනි 30 දක්වා පමණයි. මීට පෙර වරක් මාධ්‍ය ඉදිරියේ පැවසූ පරිදි ඔහු ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් නොවුනත්, එසේම දේශපාලන අධිකාරිය විසින් ඉල්ලා අස්වෙන සේ බල කරනු නොලැබුවත්, ඔහුගේ අධිපති ධුරය තව තෙසතියකින් ඉබේටම අහෝසි වී යනවා.

මුදල් නීති පණත අනුව මහ බැංකු අධිපති වරයෙකු හෝ වෙනත් මුදල් මණ්ඩල සාමාජිකයෙකු පත් කිරීමෙන් අනතුරුව වසර හයක කාලයක් යන තුරු එම පත්වීම වලංගුයි. එම කාලය නිම වන තුරු මුදල් මණ්ඩල සාමාජිකයින් ඉවත් කළ නොහැකියි. මෙය නීතියෙන් මහ බැංකු ස්වාධීනත්වය ස්ථාපිත කර ඇති ආකාරයයි. එහෙමනම්, නන්දලාල් වීරසිංහගේ පත්වීම මේ තරම් ඉක්මනින් කල් ඉකුත් වන්නේ ඇයි?

මහ බැංකු අධිපති ධුරය පිළිබඳ මෑත ඉතිහාසයට එබී බැලුවොත්, 2004 ජූනි 1 වෙනිදා එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් හේලීස් සභාපති වූ සුනිල් මෙන්ඩිස්ව වසර හයක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කළා. එය මහ බැංකු අධිපති ධුරයට පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු පත් කරනු ලැබූ මුල්ම අවස්ථාවයි. ඊට පෙර, එක් අවස්ථාවක හැර, දිගින් දිගටම මහ බැංකු අධිපති සේ පත් කරනු ලැබුවේ මහ බැංකුවේම කාලයක් සේවය කර පළපුරුද්දක් තිබුණු නිලධාරීන්වයි.

සුනිල් මෙන්ඩිස්ගේ ධුර කාලය 2010 ජූනි 30 දක්වා වලංගුව තිබුණත්, දෙවසරක් ධුරයේ කටයුතු කිරීමෙන් පසුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. මෙවැනි අවස්ථාවක කරන්නේ ඔහුගේ ඉතිරි වී ඇති ධුර කාලය තුළ අධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා වෙනත් අයෙකු පත් කිරීමයි. ඒ අනුව, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සුනිල් මෙන්ඩිස්ගේ ඉතිරිව ඇති වසර හතරක කාලය සඳහා අජිත් නිවාඩ් කබ්රාල්ව පත් කළා. 

ඉන් පසුව, 2010 ජූනි 30 දින එම ධුර කාලය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපපක්ෂ විසින් නැවතත් වසර 6කට අජිත් නිවාඩ් කබ්රාල්වම එම ධුරයට පත් කළා. මේ අනුව, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ධුර කාලය 2016 ජූනි 30 දින දක්වා වලංගුව පැවතුණා. එතෙක් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.

කෙසේ වුවද, 2015 ආණ්ඩු මාරුවෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් ස්ව කැමැත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කෙරුනේ කබ්රාල්ගේ පුරප්පාඩුව පිරවීමටයි. ඒ අනුව, කබ්රාල්ගේ දෙවන ධුර කාලය අවසාන වීමට නියමිතව තිබුණු 2016 ජූනි 30 දින අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වුනා. ඒ දින වල ඇතැම් තැන් වල වාර්තා වී තිබුණු පරිදි බැඳුම්කර වංචා චෝදනා එල්ල වීමෙන් පසුව ඔහු ධුරයෙන් ඉල්ලා අස් වුනේ හෝ ඉවත් කරනු ලැබුවේ නැහැ. 

අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව වසර 6ක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. මේ අනුව, ඔහුගේ ධුර කාලය අවසන් විය යුතුව තිබුණේ 2022 ජූනි 30 දිනයි. එසේ වුවත්, කබ්රාල් විසින්ද දුන් වැරදි පූර්වාදර්ශයම අනුගමනය කරමින්, 2019 ආණ්ඩු මාරුවෙන් පසුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා.

මේ වන තුරුද ගෙවී යන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ඉතිරිව ඇති ධුර කාලයයි. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ තවත් අධිපතිවරුන් තිදෙනෙකු එම ධුරයේ කටයුතු කර තිබෙනවා. ඉතිරිව ඇති ධුර කාලය සඳහා පත් කරනු ලැබූ ඩබ්ලියු ඩී ලක්ෂමන් මෙන්ම අජිත් නිවාඩ් කබ්රාල්ද කලින්ම ඉල්ලා අස්වීම (හෝ එසේ කිරීමට බල කරනු ලැබීම) නිසා නන්දලාල් වීරසිංහට ධුරය භාර ගැනීමට සිදු වුනේ මාස තුනකටත් අඩු කාලයක් සඳහා පමණයි. ඔහුගේ පත්වීම ජූනි 30 දින කල් ඉකුත් වෙනවා. 

මීළඟට මහ බැංකු අධිපති සේ පත් කරනු ලබන කවර හෝ පුද්ගලයෙකුට 2028 ජූනි 30 දක්වා වසර හයක් ධුරයේ කටයුතු කළ හැකියි. මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහවම නැවත පත් කරයිද එසේ නැත්නම් වෙනත් අයෙකුව පත් කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි. මෙම අවිනිශ්චිතතාව නන්දලාල් වීරසිංහට මෙන්ම මහ බැංකුවේ නිලධාරීන්ටද ප්‍රශ්නයක්ව නොතිබෙන්නට හේතුවක් නැහැ. පසුගිය කාලයේ රටේ ආර්ථිකය සම්බන්ධව ගනු ලැබූ බොහෝ තීරණ වලට මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ පුද්ගලයාගේ පෞද්ගලික රුචි අරුචිකම් බලපෑ බව රහසක් නෙමෙයි.

11 comments:

  1. කඩුවක් වගෙයි නීතිය දෙපිටම කැපෙන
    උගුලක් වගෙයි ඕනෑ විට හිර කෙරෙන
    උගුලෙන් හරි, හබකෙන් හරි වැඩ කෙරෙන-
    වා නම් හොඳයි රටටම ජය ගෙනෙන

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මේ දවස් වල තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව වන්නේ අවශ්‍ය තරමට විදේශ විනිමය එහෙම නැත්නම් රට සල්ලි ඇමරිකානු ඩොලර් නැතිවීම නිසා මෙහිදී ඉතාමත් නිර්මාණාත්මක චින්තනය යටතේ ක්‍රියාත්මක වුණොත් ලංකාවට ආදායම් වැඩි කර ගැනීමට බොහෝ ක්‍රම තිබෙනවා නිදි. එකක් තමයි අපේ මවු රට වුණ ලංකාවේ මිනිසුන් තුල ස්වභාවිකවම , බෙහෙවින්ම පිරී ඉතිරී තිබෙන , අතිරික්ත වශයෙන් තිබෙන බහුලවම පැතිරී තිබෙන ඉරිසියාව, කුහකකම එක්ස්ට්‍රැක්ට් කරලා ඒවා පැකට් කරලා හෝ ටින් කරලා පිටරටට විකුණන එක. ලාංකික ඉරිසියා-කුහක කිලෝ එකක් ලෝක වෙලඳ පොලේ මාකටින් කරමින් පැකට් එකක් ඩොලර් 1 ක් පමණ මුදලක් සොයාගන්න පුළුවන් වුණොත් ලංකාවේ මිනිසුන් තුල ටොන් ගනන් තිබෙන මේවා එක්ස්පෝට් කලොත් වසරක් ඇතුලත අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන කීපයක් වෙනකම් ඉහල නංවා ගැනීමට පුළුවන් වේවි නේද?

      Delete
    2. Brilliant proposal isn't it? That seems too good for SL.

      Delete
  2. රට හෙට දිනන අද ජනතා සටන:

    ගුණාත්මක තත්ත්වයෙන් ඉහලම තිරිඟු නිශ්පාදකයා සහ ලොව අංක 1 තිරිඟු අපනයනකරුවා රුසියාවය.බොර තෙල් සහ ස්වභාවික ගෑස් නිශ්පාදනයේද අංක 1 ස්ථානය රුසියාවට හිමිය.එහී අනෙක් විශේෂත්වය නම් රුසියන් තෙල්, ගෑස් සහ තිරිඟු පිටි සාපේක්ෂව මිලෙන් අඩු වීමය. ඩොලර් නැතිකම අප දෙරට අතර වෙළදාමට බාදාවක් නොවේ. රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩ ලංකාවේ තේ සහ කුළුබඩු සමග හුවමාරුවට ඇති හැකියාව නව ප්‍රවනතාවයකි.ලොව ප්‍රධාන පොහොර නිශ්පාදකයෙක් සහ ලොව අංක 1 පොහොර අපනයනකරුවා වන රුසියාව අපේ වී ගොවිතැන, තේ, එළවළු සහ අනෙකුත් භෝග වගාවන්ට උර දෙනු ඇත. මෙතෙක් පැවැති ලංකාවට අවාසිදායක වෙළෙඳ ගිවිසුම් සහ ඒකාධිකාරීන් බිඳ රුසියාවෙන් තෙල්, ගෑස්, තිරිඟු පිටි සහ පොහොර ලාංකික ජනතාවට ලාබෙට සහ අඛන්ඩව ලබා දීමට පොලිට්බියුරෝව (Politburo) සහ මහනුවර මිත්‍රත්ව සාමූහිකය අරඹා ඇති සටන හා එක්වන්න

    – PB

    ReplyDelete
  3. ඉකොනො,

    ලංකාවේ අගමැති රනිල් හරිම අසරණයි මේ වෙලාවේ මේ බලන්න;

    https://www.reuters.com/world/asia-pacific/sri-lanka-will-need-5-bln-next-six-months-essentials-prime-minister-2022-06-07/

    ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂවල නායකයන් වන රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පවුල යන දෙකම ඇමරිකානු සහ ඉන්දියානු ප්ලෑන් එකක ඉත්තන් බවට පත්විම නිසා චීනය ලංකාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා මේ දවස්වල ගිනිකොණ දිග ආසියානු රටවල් සහ අප්‍රිකානු සහ මධ්‍යම ආසියානු රටවල් වලට මුදල් පොම්ප කරමින් ඒ රටවල් වල බලය තහවුරු කර ගැනීමේ අරමුණින් කටයුතු කරන බැවින් මේ දවස්වල ඉන්දියාවේ නිල නොවන කොලනියක අයුරින් ඇමරිකානු රූකඩ පාලකයන් විසින් නටවන ලංකාවට ආධාර කරන්න ඇවිත් ඔවුන් මුදල් නාස්ති කරන එකක් නෑ නේද?

    පහුගිය කාලෙ චීනයේ ඉහළම බලධාරීන් කලින් මහින්ද රාජපක්ෂට චීනය සමග සබඳතා ඇතිකරගන්න 2008 - 2014 කාලයේ අවශ්‍ය ක්‍රියාමාර්ග සෙට් කරන්න කටයුතු කළ චීන සමූහාණ්ඩුවේ අදාල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ටත් තදින් දෙහි කපලා කියල තමයි ආරංචිය ඔවුන්ගේ මුදල් නාස්ති කරා කියලා.

    චීනය හා රුසියාව සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන සහ ජවිපෙ ජාතික බලවේගයේ වගේ පක්ෂ හා සබඳතා ඇතිකරගන්න උත්සාහ කලත් ඒ පක්ෂ වලට කරන්න පුළුවන් දෙයක් නෑ ආයේ බලයට එන්න වත් ඒ ඇවිත් පණ ඇතුව තීන්දු තීරණ ගැනීමට එම පිරිස් වලට හැකියාව නැති බවත් චීන එම් එස් එස් බුද්ධි නිලධාරීන් වාර්තා කර ඇති බව කියන්නේ ඒ නිසා ඔවුන් බොහෝ දුරට ලංකාවේ ආර්ථිකය නැවතත් යථා තත්වයට පත් වෙන තෙක් ලංකාවට ආධාර උපකාර කරන එක ඉතාමත්ම සැක සහිත දෙයක්.

    ඒ වගේම තමයි රනිල් ඇමරිකානු සහ බටහිර යුරෝපයේ දැඩි විරෝධය සහ බාධා හමුවේ ඒ වගේ දේවල් කියන එක බොහෝ දුරට භයානක දෙයක් නේද?

    https://abcnews.go.com/amp/International/wireStory/sri-lanka-compelled-buy-russian-oil-fuel-runs-85338381

    මේකෙන් ලංකාවට එරෙහිව එම රටවල් එදිරිවාදිකම් කරන්න පුළුවන් ද දැන්?

    ReplyDelete
  4. . ඊට පෙර, එක් අවස්ථාවක හැර, දිගින් දිගටම මහ බැංකු අධිපති සේ පත් කරනු ලැබුවේ මහ බැංකුවේම කාලයක් සේවය කර පළපුරුද්දක් තිබුණු නිලධාරීන්වයි.
    ඔබ සඳහන් කරන මේ එක්අ වස්ථාවේ මහ බැංකු අධිපති ලෙස පත්කලේ කවුද?

    ReplyDelete
    Replies
    1. හීන් බණ්ඩා දිසානායක (1992-1995) - ඔහු මහ බැංකුවේ සේවය කර නැතත් ඔහුව පත් කළේ ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන්. ඒ වගේම මහ බැංකු අධිපති වීමට පෙර ඔහු භාණ්ඩාගාර ලේකම් ලෙස (නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙක් ලෙස) කටයුතු කර තිබුණා. (වරායේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ලෙස හා ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබුණා)

      Delete
    2. ඔහු රේගු ප්‍රධානියා ලෙස සේවය කලා.

      Delete
  5. ෆොරියෙර් සංකීර්ණය

    ලුඩ්විග් වොන් මීසෙස් කියන ආර්ථික විද්‍යාඥයා කතා කරනවා ෆොරියෙර් කම්ප්ලෙක්ස් කියල ලෙඩක් ගැන. ඒක මානසික රෝගයක්. මේකෙ ප්‍රධාන ලක්ෂණයක් ‍ වෙන්නෙ දරුණු ඉරිසියාවකින් පෙලීම. ඒ වගේම නිදහස් වෙළඳපොල තත්වයන් ගැන බියපත් වීම. රජය මැදිහත් වෙලා ධනවතුන්ගේ දේවල් දුප්පතුන් අතර බෙදා දිය යුතු යැයි සිතීම. ධනවතුන්ට හානි කළ හැකි නීති පැනවීමට ඇති උනන්දුව වගේ දේවල් හරහා මේ රෝග ලක්ෂණ ප්‍රකට වෙනවා.

    මීසෙස් මේ රෝගය නම් කරන්නෙ 1927දි. චාර්ල්ස් ෆෝරියෙර් කියන ප්‍රංශ යුතෝපියානු සමාජවාදියාගේ සිතීම පදනම් කරගෙන. මේ රෝගය බෙදාගන්න අය සමානාත්මතාවය මගින් සියල්ලන් බඩගින්නෙ සිටීම හොඳයි කියල හිතනවා විෂමතා සහිත වුනත් බොහෝ දෙනෙකුට ප්‍රතිලාභ හිමිවන සමාජයකට වඩා. මේ ෆොරියෙර් සංකීර්ණයෙන් පෙලෙන කෙනෙකුට හොඳ උදාහරණයක් තමයි සුනිල් හඳුන්නෙත්ති.

    කිසිම ගැඹුරු ආර්තික දැනීමකින් තොරව සියල්ල බෙදාහැරිය යුතු යැයි යෝජනා කරන අය මේ රෝග ලක්ෂණ පළකරන අයයි. කවුරු හෝ විසින් යම් ධනයක්, දේපොලක් අත්පත් කරගෙන ඇත්නම් එය සොරාකෑමක් වශයෙන් හඳුන්වමින් එය ජනතාකරණයට යෝජනා කරන්නේ මේ මානසිකත්වය ඇති අයයි.

    මේ අය සමග ආර්තිකය ගැන කතා කිරීමෙන් පලක් නැති බවයි මීසෙස් කියන්නෙ. මේක මානසික වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසු වන තත්වයක්. කෙනෙක් තමන්ගේ තරුණ වයසෙ සිහින අත්පත් කරගැනීමට අසමත් වීමෙන් එම දුර්වලතාවය තමන්ගේ එකකට වඩා සමාජ‍ය විසින් පනවන ලද සීමාවක් හැටියට දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ සිහිනය අත්පත් කරගත් අය ගැන අතාර්කික ඉරිසියාවකින් පෙලෙන්න පටන් ගන්නවා. මේක නියුරෝසික තත්වයක්. තමන්ගේ අසමත්කම තමන්ට බාරගැනීමට ඇති නොහැකියාව නිසා එය සමාජය මතට ප්‍රක්ෂේපනය කිරීමක් හැටියටයි මීසෙස් විස්තර කරන්නෙ.

    පැවරුම- ඔබ දන්නා ෆොරියෙර් සංකීර්ණයෙන් පෙළෙන ලකුණු ඇති අය නම් කරන්න 😃

    ReplyDelete
    Replies
    1. චාර්ල්ස් ෆුරියේ ගැන ලියා ඇති ලිපි කිහිපයක්

      ෆුරියේගේ සුරංගනා කතා
      http://economatta.blogspot.com/2021/03/blog-post_6.html

      අන්තවාද හා භක්තිවාද
      http://economatta.blogspot.com/2021/03/blog-post_5.html

      මනෝරාජික සමාජවාදය
      http://economatta.blogspot.com/2021/03/blog-post_2.html

      දරුවන් සමඟ ඉගෙන ගැනීම
      http://economatta.blogspot.com/2021/03/blog-post_9.html

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: