වෙබ් ලිපිනය:

Saturday, June 4, 2022

ලංකාවේ අධි උද්ධමන භීතිකාව ඉවරද?

අධි උද්ධමනය ලෙස හඳුන්වන්නේ උද්ධමනය මනින දර්ශකයක අගය මාසයක් තුළ 50%කින් ඉහළ ගිය විටයි. සාමාන්‍යයෙන් උද්ධමනය සේ හඳුන්වන්නේ දර්ශකයක අගයේ වසරක් තුළ සිදුවන වෙනස් වීම. මාසයකට 50%ක වැඩි වීමක් කියන්නේ වසරකට 12,875%ක වැඩි වීමක්. එහෙමත් නැත්නම් 12,875%ක උද්ධමනයක්.

ලංකාවේ උද්ධමනය මේ වන විට ඉතිහාසයේ කවදාවත් නොතිබුණු තරමකට වැඩි වෙලා. ඉදිරි මාස වල තවත් වැඩි වෙයි. මෙය බිය විය යුතු හා සැලකිලිමත් විය යුතු කරුණක්. නමුත් අවශ්‍ය පමණට මිස අනවශ්‍ය පමණට බිය විය යුතු නැහැ. දැනටනම් ලංකාවේ ඉහළ මට්ටමක උද්ධමනයක් මිසක් අධි උද්ධමන තත්ත්වයක් නැහැ. 

හැම විටම වගේ පවතින තත්ත්වය එලෙස නොදැක අතිශයෝක්තියට නැංවීමෙන් වෙන්නේ ඇත්තටම අවධානය අවශ්‍ය දෙය අවධානයෙන් ගිලිගෙන එකයි. හොඳම උදාහරණය හොරකම් හා දූෂණ. මිලියනයක හොරකම බිලියන දහයක් කළාම එහෙම හොරකමක් වුනේ නැහැ කියන එක පෙන්වන්න ඉතාම පහසුයි. අන්තිමට වෙන්නේ අර මිලියනයේ හොරකම යට යන එක. අධි උද්ධමන කතාවෙන් වෙන්නෙත් ඔය වගේ වැඩක්. 

ලංකාවේ උද්ධමනය මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) හෝ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) යන දෙකෙන් එකක්වත් තවම මාසයකට 50%කින් ඉහළ ගොස් නැහැ. එහෙත්, මහ බැංකුවේ දත්ත අනුව 2022 මාර්තු මාසයේදී ඩොලරයක මිල රුපියල් 201.06 සිට 306.08 දක්වා 52.2%කින් ඉහළ ගියා. මේ සමඟම ලංකාව ඇමරිකානු මහාචාර්යවරයෙකු වන ස්ටීව් හැන්කිගේ අවධානයට යොමු වුනා. ඔහු ලෝකයේ කඩා වැටෙන මුදල් ඒකක ගැන විශේෂඥයෙක්.

ස්ටීව් හැන්කි විසින් රටක උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන විකල්ප දර්ශකයක් තිබෙනවා. ඒ අනුව, උද්ධමනය සේ සලකන්නේ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වෙනස් වීමේ හා ඩොලරයක මිල වෙනස් වීමේ එකතුවයි.  ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ වෙනස් වන්නේ ඉතා සුළුවෙන් නිසා ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ ඩොලරයක මිල වෙනස් වීමයි. ,ඒ පදනම මත බැලුවොත් නිල විණිමය අනුපාතයේ වෙනස්වීම අනුව 2022 මාර්තු මාසයේදී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් පැවතී තිබිය යුතුයි. 

කෙසේ වුවත් හැන්කි ඔහුගේ දර්ශකය ගණනය කිරීම සඳහා මහ බැංකුවේ නිල විනිමය අනුපාතය යොදා ගන්නේ නැහැ. ඔහු  ඒ සඳහා දත්ත ලබා ගන්නේ වෙනත් තැනකින්. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ ඩොලරයක නිල මිල හා හැන්කිගේ මූලාශ්‍රය අනුව කළුකඩ මිල පසුගිය කාලය තුළ වෙනස් වී ඇති ආකාරයයි.

මේ අනුව පෙනෙන පරිදි හැන්කිගේ උද්ධමන දර්ශකය කිසිදු මාසයක 50%කින් වැඩි වී නැහැ. එහෙත්, 2022 පෙබරවාරි හා මාර්තු මාස වලදී එම දර්ශකය 25% ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. කිසියම් රටක උද්ධමන දර්ශකය (ඔහුගේ මිනුම අනුව) මාසයක් තුළ 25%කින් වැඩි වී ඇත්නම් හැන්කි එය නිරන්තරව පරීක්ෂාවට ලක් කරන්න පටන් ගන්නවා. 

පහත දෙවන වගුවේ පෙන්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ  (CCPI), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ  (NCPI), ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකයේ (US CPI) හා ක්‍රය ශක්ති සාම්‍යය (PPP) මත පදනම් වූ හැන්කිගේ උද්ධමන දර්ශකයේ මාසික වෙනස් වීමයි. මේ අනුව පෙනෙන්නේ අධි උද්ධමන තත්ත්වයක් පෙන්වන්නේ නැතත් ලංකාවේ නිල උද්ධමන දර්ශක අනුව මාසික මිල වෙනස් වීම මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. 


මැයි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය හා ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම දෙස බලා  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම ගැන අදහසක් ගන්න පුළුවන්.

හැන්කිගේ ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම් වූ දර්ශකය (PPP I) නිල උද්ධමන දර්ශක දෙකටම වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. විකල්පයක් ලෙස නරක නැතත්, මෙහි නිල උද්ධමන දර්ශක හා කිට්ටුවෙන් තැබිය හැකි නිරවද්‍යතාවයක් නැහැ. නිල දර්ශක පදනම් වන්නේ අයිතමයන් සිය ගණනක මිල ගණන් වෙනස් වීමේ සාමාන්‍ය අගය මතයි. එහෙත්, හැන්කිගේ දර්ශකය පදනම් වන්නේ එක් වෙබ් අඩවියකින් ලබා ගන්න ඩොලරයක කළුකඩ මිල මතයි.

ගෙවුණු මැයි මාසයේදී ඩොලරයක කළුකඩ මිල 3.3%කින් පහත වැටී තිබෙනවා. තවම සංඛ්‍යාලේඛණ ඇවිත් නැතත් ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ කීයටවත් 3.3%කින් වැඩි වන්නේ නැහැ. ඒ කියන්නේ හැන්කිගේ දර්ශකය නිවැරදිනම් මැයි මාසයේදී ලංකාවේ මිල මට්ටම් අඩු වී තිබිය යුතුයි. මැයි මාසයේදී ඒ විදිහට ලංකාවේ බඩු මිල කලින් තිබුණාට වඩා පහළ ගිහින්ද? 

හැන්කිගේ දර්ශකය මහ පොළොවේ පවතින සැබෑ තත්ත්වය වඩා හොඳින් නිරූපණය කරන බව හිතන අයට මෙය හිතන්න කාරණයක්. සම්මත ක්‍රම තිබියදී තමන්ගේ රුචිකත්වයට ගැලපෙන මිනුම් තෝරා ගත් විට ඔය වගේ අවුල් ඇති වෙනවා. ඩොලරයක කළුකඩ මිල පහළ යද්දී හැන්කිගේ දර්ශකය තවත් පහළ යයි. හැබැයි ලංකාවේ බඩු මිල පහළ යන එකක් නැහැ.

5 comments:

  1. ලෙඩා මළත් බඩ සුද්දය හිතාගෙන
    ඉකොනෝ ඔබෙ ලිපි දිගටම කියෝගෙන
    එනවා ඉතිං, මක් කරමුද 'නිලාගෙන-
    බකං' ඉන්නව විරෝගෙන!

    ReplyDelete
    Replies
    1. නිදී ඔහොම බකන් නිලාගෙන ඉඳල හරියන්නේ නැහැ මම ලංකාවේ හිටියා නම් මේ දවස්වල මොකක් හරි පාලුවට ගිය කැලේ වැවී ඇති මුඩු ඉඩම් වගේ දෙයක් වත් හොයාගෙන පෝර නැතුව වවන්න පුළුවන් බතල මයියොක්කා වගේ දේවල් හරි වවනවා අඩුම තරමින් ලංකාවේ මගේ අගනුවර තියෙන පර්චස් විස්සේ ඉඩමේ පිටුපස ඇති කොටස මට ඕනෑ හැටියට හොඳට ගෙවතු වගාව කරලා සෑහෙන අස්වැන්නක් ගත්තා කාලයක් තිස්සේ පෝර දැම්මේ ගෙදර බයෝ ගෑස් සිස්ටම් එකේ දියර පොහොර මම 2011 ගැහුවේ ඒ බයෝ ගෑස් සිස්ටම් එක, මම ලංකාවේ මාස හයක් පමණ හිටපු 2018 වසරේදී මම සොලාර් නෙට් මීටරින් එකක් සමග ඕෆ් ග්‍රිඩ් බැටරි සිස්ටම් එකක් සහිත හයිබ්රිඩ් සෙටප් එකක් හදලා bore well එකක් ගහලා drip irrigation system එකක් දාල තියෙන්නෙ මේ දවස්වල ලංකාවේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දීමට අපේ වයසක දෙමාපියන්ට වෙන්නේ හරිම අඩුවෙන්. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. නිවාඩුවට අවම පොඩි පොඩි ගමන් බිමන් වලට ගත්ත ගෙදර තියෙන පුංචි electric bike scooter එක මාර වටිනවා මේ දවස්වල ඒ කාලේ ගත්තා වගේ කීප ගුණයකින් දැන් second hand ගන්න කට්ටියම ඉල්ලනවා.

      එකම අවුල මේ දවස්වල බෙහෙත් නැති එක hospital වල. කඩෙන් ගන්නේ ගොඩක් වෙලාවට තුනපහ සීනි තේ කොළ වගේ දේවල් ටිකක් විතරයි. අපේ ගමේ කුඹුරු වලින් වී මලු කීපයක් ගෙනත් ගෙදර ස්ටොක් කරලා තියෙනවා ටික ටික කොටාගෙන කෑමට ගන්න පුළුවන්. කිට්ටුව පොඩි වී මෝලක් තියෙනවා.

      ඒ වගේම මේ වෙලාවේ කරන්න පුළුවන් දේවල් ඕනතරම් තියෙනවා. මම සමාජවාදියෙක් නෙවෙයි ඒත් මේ වෙලාවේ මම අනුර කුමාර දිසානායක නම් ගිහින් රනිල් හම්බ වෙලා ඉන්න තුන්දෙනාටම ඇමතිකම් තුනක් ඉල්ලනවා. අමාරුම ඇමතිකම් තුනක්. බොහෝ විට මුදල්, බලශක්ති, කෘෂිකර්මාන්ත කියන අමාත්‍යාංශ 3. ඒවා බැරිනම් දෙන ඕනීම එකක්. අරගෙන කරන්න පුළුවන් හොදටම කරනවා. ආදර්ශමත් විදිහට, විනිවිද භාවයකින් කරලා පෙන්නනවා. දෙන නොදෙන එක මට අදාල නෑ. ගිහින් ඉල්ලා බලනවා. කොන්දේසි මොකුත්ම නෑ.

      එකම දේ මගේ වැඩ පිළිවෙලට ඇගිලි ගහන්නයි, කකුලෙන් අදින්නයි එපා කියනවා. දුන්නොත් කරන්න පුළුවන් දේවල් හැම දෙයක්ම කරනවා. මේ රට අද වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න කරන්න පුළුවන් සේරම කරනවා. රටේම ඉන්න සාමාජිකයන්ට කියලා වවන්න පුළුවන් හැම තැනම වගා කරනවා. සමාජවාදී රටවල් වලට කතා කරලා තෙල්, ගෑස් ටිකක් ඉල්ලනවා. හොද මූල්‍ය පාලනයක් ඇති කරලා උද්ධමනය අඩු කරනවා.

      මිනිස්සු පාරවල් වල අව්වේ , වැස්සේ දවස් ගනන් පෝලිම් වල දුක් විඳිනවා. හරි නායකයෙක්ට නම් මේවා පේන්න ඕනී. දුක හිතෙන්න ඕනී.

      උද්ඝෝෂණය කරලා, වැඩ වර්ජනය කරලා තවත් ආර්ථිකය දුර්වල කරන්න ඕනීම කෙනෙකුට පුළුවන්. ඒත් නායකත්වය අරගෙන වගකීම් ගන්න හැමෝටම බෑ. ඒ නිසාම තමයි ඇමතිකම් ඉල්ලන්නේ.

      ඇමතිකම් අරගෙන හොරකම් කරන, වැඩ කරන්න බෑ කියලා අඩන උන්ට පේන්න වැඩ කරලා පෙන්නනවා. නාස්තිය , අවභාවිතය අඩු කරනවා. අළුත් දේශපාලන දැක්මක් හදනවා. අනිවාර්යයෙන්ම කරලා පෙන්නනවා ඉලක්කම් වලින්. අනිත් පක්ෂ වල නායකයෝ වගේ නොකරන්න හේතූ කියලා අඩන දේශපාලනය අයින් කරනවා. උපදෙස් දෙන එක විවේචනය කරන එක නතර කරලා වැඩ කරනවා.

      ඒ විතරක් නෙවෙයි සරත් ෆොන්සේකටත් කියනවා සජිත්ගෙන් අයින් වෙලා ඇමතිකමක් ඉල්ලන්න කියලා. ඊට පස්සේ ගෝටයි, රනිලුයි කැබිනට් එකේ ගන්න වැරදි අත්තෝනීමතික තීරණ වලට විරුද්ධ වෙනවා, බලපෑම් කරනවා. හොද ඒවට අත්දෙක උස්සලා සහයෝගය දෙනවා.

      රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ අපිට පුළුවන් උද්ඝෝෂණය කරන්නයි, වැඩ වර්ජනය කරන්නයි කියන අදහස වෙනස් කරලා වැඩ කරන්නත් පුළුවන් කියලා පෙන්නනවා.

      දැන් නිදී හරි වෙන කවුරු හරි කවුරුත් ඕවා නොකෙරෙන හැටි කියලා මාත් එක්ක තර්ක/වාද කරන්න එපා. මම කිව්වේ මම අනුර නම් කරන දේ විතරයි. ඒ එක්කම හොද වෙලාවට මම අනුර උනේ නැත්තෙත් කියලා හිතෙනවා.😁

      මොකද මම නම් අඩුම ගානේ දුන්නා හෝ නොදුන්නා ගිහින් ඉල්ලලා හරි බලනවා.😁👍🙏

      Delete
    2. No mouth answer

      Delete
    3. මම ඉන්න ඉඩම පර්චස් 10ටත් අඩුයි. ඒත් දවස් හතට කන්න කොළ ජාති, අවුරුද්දම කන්න තරම් පලදාව තියෙන හීන් නාරන් හැකි විදිහට වවාගෙන තියෙනවා. දිරන දේවල් විතරක් දමන පොඩි කුණු ගොඩකුත් තියාගෙන ඉන්න නිසා පොහොර එතැනින් ලැබෙනවා. අල වැල් කිහිපෙකුත්, කිරි අල පඳුරු දෙක තුනකුත් තියෙනවා. එහෙමයි මම බකං නිලන් ඉන්නේ.

      Delete
    4. එහෙම කියන්න එපැයි නීදී

      නමුත් ලංකාවේ ගොඩක් හාල්පාරුවෝ හැමදේම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින කම්මැලියන් පිරිසක් නොමිලේ සෞඛ්‍ය පහසුකම් නොමිලේ අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය රජය මගින් රැකියා දීල ළමයින්ට උගන්වන්න පාසල් සහ හැම දෙයක්ම නිකන් නැත්නම් ලෝක වෙළඳ පොළේ මොන තරම් ඉහළ ගියත් රජයෙන් සහන දීල අඩු මිලට දීපියව් කියලා විලාප ගහන අමන මිනිස්සු ඒකයි අවුල තියෙන්නෙ නේද?

      හැබැයි උද්ඝෝෂණ ව්‍යාපාර කරන්න නම් දෙයියො ඒත් නිර්මාණශීලී විදියට ව්‍යාපාර වල ආයෝජනය කරන්න අලුත් ව්‍යවසායයන් කර්මාන්ත ආරම්භ කරන්න ඉන්නේ ටික දෙනෙක් විතරයි ඒකට තමයි අපේ සහය දෙන්න ඕන ඒ නිසා සාමූහිකව අපි උත්සාහ කරමු මමත් ලංකාවේ රජයේ Treasury Bill's වල ආයෝජනය කලා පහුගිය අප්රේල් වල. ගෙදර අයගේ මගේ මව සහ පියාගේ නම් වලින් 21% ක පොළියට බැංකු වල භාණ්ඩාගාර බිල්පත් වල දාල තියෙන්නෙ

      මෙතන මම රජය කියලා කියන්නේ ආණ්ඩු පක්ෂයේ කට්ටිය එහෙම නෙවෙයි Government of Sri Lanka කියන එක දේසපාලුවන් ගැන නම් කිසිම විදිහකින් විස්වාසයක් තියන්න නම් බැහැ සේරම එකම ජාතියේ අවස්ථා වාදී කපටි සෙට් එකක් ඒ නිසා ලංකාවේ පුළුවන් තරම් රජය කුඩා කරලා මිනිස්සුන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් බලශක්තිය නිපදවීමට අවශ්‍ය සහය දෙන්න රජය විසින් ඉතා පුළුල් ලෙස කල්පනා කරලා කටයුතු කළ යුතුයි නැතුව හැමදේම නිකන් බලාපොරොත්තු වෙන නිකමුන් බෝ කරන්න ඉඩ දෙන්න බෑ නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: