වෙබ් ලිපිනය:

Monday, October 9, 2023

නිල විදේශ සංචිත - සැප්තැම්බර් 2023

 


අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට ඩොලර් මිලියන 3,600 දක්වා පහත වැටුණු නිල විදේශ සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ඩොලර් මිලියන 3,530 දක්වා තව දුරටත් පහත වැටී තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි, ඩොලර් මිලියන 200ක බංග්ලාදේශ ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුව විසින් කලින් මාස වලදී එකතු කරගත් සංචිත යොදාගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් වෙළඳපොළෙන් අලුතෙන් සංචිත මිල දී ගැනීමක් සිදු වී නැහැ. ඒ වෙනුවට සිදුව ඇත්තේ ශුද්ධ වශයෙන් යම් සංචිත ප්‍රමාණයක් විකුණා දැමීමයි.

ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය ශුද්ධ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) නෙමෙයි. එය පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (managed float). පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී විණිමය අනුපාත වල ස්ථිර වෙනස්වීම් පාලනය නොකෙරෙන නමුත් කෙටිකාලීන විචලනයන් මහ බැංකුව මැදිහත් වී පාලනය කරනවා. නමුත් මෙහිදී මතු වන ප්‍රශ්නය ස්ථිර වෙනස්වීම් හා කෙටිකාලීන විචලනයන් පහසුවෙන් වෙන් කර හඳුනා ගත නොහැකි වීමයි. ඒ නිසා, මෙහිදී මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට තමන්ගේ වෛෂයික රුචිකත්වයන් (subjective preferences) මත පදනම්ව මැදිහත්වීම් කිරීමට (හෝ නොකිරීමට) ඉඩ සැලසෙනවා. ලංකාවේ සන්දර්භයේදී බොහෝ විට ප්‍රතිපත්ති වැරදි සිදුව තිබෙන්නේ මෙම සන්දර්භය තුළයි.


අගෝස්තු මාසය අවසන් වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 330 සීමාව ආසන්නයට ගියා. ඉන් පසුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම වෙනුවට කලින් මිල දී ගත් ඩොලර් විකුණමින් ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ඇති බව මේ වන විට පැහැදිලියි. පසුගිය දෙමස තුළ ඩොලරයක මිල රුපියල් 320-330 සීමාව තුළ පවත්වා ගැනීමේ උත්සාහයක් පැවති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. මහ බැංකුවට මෙය දිගටම කළ හැකිද?

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතුයි. ඒ අනුව, ඩොලර් මිලියන 333ක් පමණ වන අරමුදලේ දෙවන වාරිකය ලබා ගත හැකි වුවද, වසරේ අවසන් මාස තුන තුළ වෙළඳපොළෙන් තවත් ඩොලර් මිලියන 568ක විදේශ විණිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගත යුතුව තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ නොදී එම ඉලක්කයට යාම පහසු කටයුත්තක් නෙමෙයි. පොලී අනුපාතික පහත වැටෙමින් ඇති පසුබිමක කෙටිකාලීන ආයෝජන පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක්ද නැහැ. යම් හෙයකින් අරමුදලේ දෙවන වාරිකය වසර තුළ නොලැබුනහොත් මෙම ඉලක්කය යා නොහැකි තරම් දුරස්ථ ඉලක්කයක්. 

දැනට පවතින උද්ධමන මට්ටම අනුව, ඩොලරයක මිල යම් තරමකින් ඉහළ ගියද උද්ධමනය විශාල ප්‍රශ්නයක් වන්නේ නැහැ. එහෙත්, ඉන්ධන, විදුලි ගාස්තු ඇතුළු රාජ්‍ය ඒකාධිකාරය තුළ තීරණය වන මිල ගණන් ඉහළ යාම ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වෙනවා. ආණ්ඩුව මැතිවරණ ඉලක්කයක සිටින බව පෙනෙන පසුබිමක ආණ්ඩුවේ කැමැත්ත වනු ඇත්තේ ඩොලරයක මිල හැකි තාක් කාලයක් පහළින් තබා ගැනීමයි. 

ඩොලරයක මිල දැනට පවතින මට්ටමේ තියෙන්නේ ආනයන සීමාවන්ද සමඟයි. එමෙන්ම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගතහොත් එතැන් සිට දැනට නොගෙවන විදේශ ණය යම් ප්‍රමාණයක්ද ගෙවන්නට සිදු වෙනවා. මේ තත්ත්වයන් හමුවේ ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගැනීමටනම් කවර හෝ ආකාරයකින් ඩොලර් ආදායම් ඉහළ යා යුතුයි. ස්ථායීකරණ වැඩ පිළිවෙළේ අනාගතය හා අදාළව තිබෙන ප්‍රධාන අවිනිශ්චිතතා දෙකෙන් එකක් වන්නේ රටේ ඩොලර් ආදායම් ඉහළ යා හැකි ආකාරයන් පැහැදිලිව පෙනෙන්නට නොතිබීමයි.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: