වෙබ් ලිපිනය:

Wednesday, January 31, 2024

2023 වෙළඳ ගිණුම


පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම් 2010 වසරෙන් පසුව, දැකිය හැකි වූ කුඩාම වෙළඳ ශේෂ හිඟය වාර්තා කරමිනුයි.

ආනයන සීමා කිරීම් මධ්‍යයේ සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 4,900කට සීමා වී තිබෙනවා. වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ලෙස මීට වඩා වැඩි, එනම් ඩොලර් මිලියන 5,970ක, මුදලක් ලැබී තිබීම විශේෂත්වයක්. මීට අමතරව සේවා ගිණුමේද සැලකිය යුතු අතිරික්තයක් වාර්තා වී තිබිය යුතුයි. පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළ ගියා. 

යහපාලන කාලයේ ණය වැඩි වීම


මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙන්නේ 2015-2019 අතර එක් එක් වසර වලදී සහ සමස්තයක් ලෙස රාජ්‍ය අයවැය තුලනය වූ ආකාරය. මැතිවරණ වසරක් වූ 2015දී රජයේ ආදායම් අඩු වී වියදම් ඉහළ ගියා. රජය එම වසරේ වියදම් වෙනුවෙන් (පැරණි ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් හැර) එම වසරේ රාජ්‍ය ආදායමට වඩා රුපියල් බිලියන 319.8ක් වැය කළා. එනම්, එපමණ ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගත්තා. 

ප්‍රාථමික අයවැය හිඟයක් ඇති විට එම හිඟය පියවා ගැනීම සඳහා ණය ගන්නට සිදු වෙනවා. ඊට අමතරව, පැරණි ණය හා පොලී ගෙවීම සඳහාත් ණය ගන්නට සිදු වෙනවා. 2015 වසරේදී ප්‍රාථමික අයවැය හිඟය වූ රුපියල් බිලියන 319.8ක මුදල පියවා ගැනීමට අමතරව, පැරණි ණය සඳහා පොලී ගෙවීම පිණිස රුපියල් බිලියන 509.7ක මුදලක්ද, පැරණි ණය වල එම වසර තුළ ආපසු ගෙවිය යුතු කොටස සඳහා තවත් රුපියල් බිලියන 808.1ක මුදලක්ද අවශ්‍ය වුනා. ඒ අනුව, වසර තුළ රුපියල් බිලියන 1,637.7ක මුදලක් ණය ලෙස ලබා ගත යුතු වුනා.

ඉහත ණය අවශ්‍යතාවයෙන් රුපියල් බිලියන 1,116.5ක මුදලක් දේශීය මූලාශ්‍ර වලින්ද, ඉතිරි රුපියල් බිලියන 521.1ක මුදල විදේශ මූලාශ්‍ර වලින් ලබා ගැනුනා. මෙයින් රුපියල් බිලියන 304.7ක මුදලක් ලබා ගත්තේ ස්වෛරිත්ව බැඳුම්කර විකිණීම මගින්. 

කෙසේ වුවද, 2016 වසර මැදදී ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹීමෙන් පසුව එම වැඩ සටහනේ එකඟතා අනුව රාජ්‍ය වියදම් පාලනය කෙරුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 29.4 දක්වා පහත වැටුණා. ඒ අනුව, එම වසරේ මුළු ණය අවශ්‍යතාවයද රුපියල් බිලියන 1,381.9 දක්වා පහත වැටුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව සිටි 2017 හා 2018 වසර තුළදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තව දුරටත් වැඩි දියුණු වී ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති වුනා. ඒ කියන්නේ, එම එක් එක් වසර තුළ රජය විසින් වියදම් කළේ ආදායමට වඩා අඩුවෙන්. එහෙත්, පැරණි ණය වල වාරික හා පොලී ගෙවීම සඳහා එම වසර වලදීද අලුතෙන් ණය ලබා ගත යුතු වුණා.

සාමාන්‍යයෙන් සිදු වන පරිදි, මැතිවරණ වසරක් වූ 2019දී ඉහත තත්ත්වය නැවතත් ආපසු හැරවුනා. එම වසරේදී රාජ්‍ය වියදම රුපියල් බිලියන 537.7කින් රාජ්‍ය ආදායම ඉක්මවූවා. මෙම ප්‍රාථමික අයවැය හිඟයට ණය වාරික හා පොලී එකතු වීමෙන් පසුව, 2019 වසරේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 2,560.2 දක්වා ඉහළ ගියා. එම මුදලෙන් රුපියල් බිලියන 781.4ක් ලබා ගත්තේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින්. 

යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 කාලය තුළ ඩොලර් මිලියන 12,050ක මුහුණත වටිනාකමැති ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර එකොළහක් නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් එකතු කරගත් මුළු මුදල රුපියල් බිලියන 1,923.1ක්. ණය ආපසු ගෙවීම සඳහා ලබාගත් ණයද ඇතුළුව එම කාලය තුළ රජය විසින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 9.177.8ක්. මේ අනුව, එම කාලයේ මුළු ණය අවශ්‍යතාවයෙන් 21.0%ක් ලබා ගෙන තිබෙන්නේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගිනුයි.

රජය විසින් ව්‍යාපෘති ණය ලබා ගත් විට, එසේ ලබා ගන්නා අරමුදල් නිශ්චිත ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ යුතුයි. එහෙත්, ස්වෛරිත්ව බැඳුම්කර ලබා ගැනීමේදී මෙවැනි කොන්දේසියක් නැති නිසා ඒ හරහා ලබා ගන්නා අරමුදල් රජයට කැමති පරිදි වැය කළ හැකියි. පළමු ස්වෛරිත්ව බැඳුම්කරය නිකුත් කළ අවස්ථාවේදී සිටම මෙන් ශ්‍රී ලංකා රජය විසින් බොහෝ විට කර තිබෙන්නේ මෙසේ ලබා ගන්නා අරමුදල් වලින් ඒ වන විට ලබා ගෙන තිබුණු ණය වලින් කොටසක් ආපසු ගෙවීමයි.

පෙර ලිපියේ විස්තර කළ ඇති පරිදි ශ්‍රී ලංකා රජය විසින් මුලින්ම ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කළේ 2007 වසරේදීයි. එසේ නිකුත් කළ ඩොලර් මිලියන 500ක බැඳුම්කරය රුපියල් කළ විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 56ක පමණ මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබුණා. එම මුදල වැය කළේ පහත ආකාරයටයි.

තාවකාලිකව ලබාගත් බැංකු ණය පියවීමට- රුපියල් බිලියන 20ක්
භාණ්ඩාගාර බිල්පත් ණය පියවීමට - රුපියල් බිලියන 28ක් 
ව්‍යාපෘති ණය වල වාරික ගෙවීමට - රුපියල් බිලියන 8ක්

කෙටියෙන් කිවුවොත්, මෙහිදී සිදු වුනේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ණය වී එම මුදල් පසුව වියදම් කිරීම නෙමෙයි. ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන්නට කලින්ම ණය වී පසුව එම ණය ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් පියැවීමයි. 

ඉහත අවස්ථාවේදී ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් අරමුදල් රුපියල් කර එම රුපියල් වලින් රුපියල් ණය පියැවීමක් සිදු වුනා. මෙහිදී ක්ෂණිකව රජයේ ණය වැඩි වීමක් සිදු වුනේ නැහැ. එහෙත්, රුපියල් ණය වෙනුවට ඩොලර් ණය ආදේශ වීමක් සිදු වුනා. මෙය පසු වසර වලදීද දිගින් දිගටම සිදු වුනා.

ඩොලර් මිලියන 500ක මුදලක් රුපියල් වෙද්දී එක පැත්තකින් ඩොලරයක මිල පහළ ගොස් රුපියල අධිප්‍රමාණය වෙනවා. එසේ වූ විට රජයේ ඩොලර් ණය වල රුපියල් අගය පහත වැටෙනවා. අනෙක් පැත්තෙන් එසේ ලබා ගන්නා රුපියල් වලින් දේශීය ණය පියවද්දී දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාව ඉහළ ගොස් පොලී අනුපාතික පහළ යනවා. ඒ හේතුවෙන් රජයේ දේශීය ණය වල පොලී පිරිවැය පහළ යනවා. රුපියල් ණය වෙනුවට ස්වෛරිත්ව බැඳුම්කර ණය ආදේශ කිරීම මගින් රජය ඉලක්ක කළේ මේ වාසි දෙකයි. 

කෙසේ වුවත්, ඉහත වාසි දෙකම ලබාගත හැක්කේ කෙටිකාලීනව පමණයි. ස්වෛරිත්ව බැඳුම්කර ලෙස ලබා ගන්නා ණය ආපසු ගෙවන්නට සිදු වූ විට ඉහත වාසි දෙකම ආපසු හැරී අවාසි බවට පත් වෙනවා. එය වලක්වා ගත හැක්කේ තව තවත් ස්වෛරිත්ව බැඳුම්කර ලබා ගැනීමෙන් පමණයි. ලංකාව හිර වුනු ණය උගුල මෙයයි.

මෙහිදී ඇත්තටම ප්‍රශ්නය ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ණය ලබා ගැනීම නෙමෙයි. එම ණය යොදා ගෙන ඩොලරයක මිල හා පොලී අනුපාතික පහළින් තියා ගැනීම මගින් ලබා ගත් තාවකාලික වාසියයි. 2022 වසරේදී අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමට නොහැකි වීමෙන් පසුව ඩොලරයක මිල හා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වූ මිලයි. එසේ ගෙවුවේද එම මිලෙන් සුළු කොටසක් පමණයි. 

ශ්‍රී ලංකා රජය තවමත් මේ උගුලෙන් නිදහස් වී නැතුවාක් මෙන්ම තවත් කාලයකට එසේ නිදහස් වීමේ හැකියාවක්ද නැහැ. ඒ නිසා, ඩොලරයක මිල හා පොලී අනුපාතික දරාගත හැකි මට්ටමක පවත්වා ගැනීම සඳහා වුවත් දිගින් දිගටම අලුතෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. ඒ අතර, දිගුකාලීනව ප්‍රශ්නයෙන් ගොඩයාම සඳහා ප්‍රාථමික අයවැය ගිණුමේ හා ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නට සිදු වෙනවා. 2016-2019 කාලය තුළ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 16වන වැඩ සටහනේදී මෙන්ම නැවත 17වන වැඩ සටහනේදීද ඉලක්ක කළේ මෙම තුලනයන් දිගටම පවත්වා ගැනීමයි.

ඉහත විස්තර කළ හේතු නිසා, ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ශ්‍රී ලංකා රජය විසින් ලබා ගත් අරමුදල් වැය කළ ආකාරය ගැන සමස්තයක් ලෙස රජයේ ණය වැය කළ ආකාරයේ කොටසක් ලෙස මිස වෙනම කතා කිරීම අසීරුයි. 2015-2019 කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් දේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 5,676.4ක මුදලක් හා විදේශ මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 3,501.5ක් ලෙස රුපියල් බිලියන 9,177.8ක මුදලක් ණය ලෙස ලබා ගත්තා. එයින් 21.0%ක් ස්වෛරිත්ව බැඳුම්කර ණයයි.

ඉහත සඳහන් රුපියල් බිලියන 9,177.8ක මුදල වැය කර තිබෙන්නේ පහත පරිදියි.

දේශීය ණය ආපසු ගෙවීම සඳහා - රුපියල් බිලියන 3,207.3 (34.9%)
විදේශ ණය ආපසු ගෙවීම සඳහා - රුපියල් බිලියන 1,567.3 (17.1%)
දේශීය ණය වල පොලී ගෙවීම සඳහා - රුපියල් බිලියන 2,756.0 (30.0)
විදේශ ණය වල පොලී ගෙවීම සඳහා - රුපියල් බිලියන 853.7 (9.3%)
ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහා - රුපියල් බිලියන 793.5 (8.6%)

මේ අනුව, එම කාලයේදී ලබාගත් ණය ප්‍රමාණයෙන් 91.4%ක්ම වැය කර තිබෙන්නේ ණය වාරික හා පොලී ගෙවීම සඳහායි. ඒ වගේම, ණය ප්‍රමාණයෙන් 26.4%ක් වැය කර තිබෙන්නේ විදේශ ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් සඳහා. 

විදේශ ණය වල ප්‍රධානම කොටස් දෙක වන්නේ ව්‍යාපෘති ණය හා ස්වෛරිත්ව බැඳුම්කර ණයයි. අලුතෙන් ව්‍යාපෘති ණය ලබා ගත්තත් එම අරමුදල් යොදාගෙන පැරණි ව්‍යාපෘති ණය වල වාරික හෝ පොලී ගෙවීමේ හැකියාවක් නැහැ. ව්‍යාපෘති ණය අදාළ එකඟතා අනුව නිශ්චිත ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ යුතුයි. ඒ නිසා පැරණි ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය හා කූපන් පොලී මෙන්ම පැරණි ව්‍යාපෘති ණය වල වාරික හා පොලී ගෙවීම සඳහාද අලුතෙන් ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගන්නට සිදු වෙනවා. 

දේශීය මූලාශ්‍ර වලින් විදේශ විණිමය ණය ලබා ගැනීමේ හැකියාව ඉතා සීමිතයි. එම තත්ත්වය තුළ මුළු ණය ප්‍රමාණයෙන් 26.4%ක් වූ විදේශ ණය වාරික හා පොලී ගෙවීම සඳහා එම ණය ප්‍රමාණයෙන් 21.0%කට සමාන ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කරන්නට සිදු වීම තේරුම් ගැනීමට අපහසු නැහැ.

Monday, January 29, 2024

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර


මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ප්‍රමාණය දහ අටක් වන අතර එම බැඳුම්කර වල මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර් මිලියන 17,550ක්. 

ඉහත බැඳුම්කර දහ අටෙන් හතක් මේ මේ වන විට කල් පිරී අවසන්ව ඇති අතර එම බැඳුම්කර වල කූපන් පොලී හා මුහුණත අගය නියමිත දිනයන්හිදී නිසි පරිදි ගෙවා තිබෙනවා. තවත් බැඳුම්කර දෙකක් මේ වන විට කල් පිරී අවසන්ව ඇතත්, ඊට පෙර ශ්‍රී ලංකා රජය විසින් මෙම ණය ආපසු ගෙවීම අත් හිටවූ බැවින් ඒවායේ මුහුණත අගය හා කූපන් පොලී ගෙවීම් වලින් කොටසක් නියමිත දිනට ගෙවා නැහැ. 

ඉතිරි බැඳුම්කර නවය තවමත් කල් පිරී නැතත්, එම බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු කූපන් පොලී වලින් කොටසක්ද නියමිත දිනට ගෙවා නැහැ. මේ අනුව, කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් සහ තවමත් කල් නොපිරුණු බැඳුම්කර හතක් වෙනුවෙන් නිසි පරිදි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්ව තිබෙනවා. 

තවමත් කල් නොපිරුණු බැඳුම්කර හතෙන් තවත් එකක කල් පිරීමේ දිනය මෙම (2024) මාර්තු මාසයේදී බැවින් ඉතා ඉක්මණින්ම නියමිත දිනට මුහුණත අගය ආපසු ගෙවනු නොලැබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගණන තුනක් දක්වා ඉහළ යනවා. මෙම බැඳුම්කර තුන ඇතුළු දැනට මුදල් ගෙවා අවසන් නැති බැඳුම්කර එකොළහ ඉදිරි කාලයේදී ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමට නියමිතයි. 

ඉහත සඳහන්, දැනට මුදල් ගෙවන්නට ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර එකොළහේ මුහුණත අගයන්හි මුළු වටිනාකම ඩොලර් මිලියන 12,550ක්. ඊට අමතරව ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගෙවීම අත් හිටවීමෙන් පසුව නියමිත දිනයේදී නොගෙවූ කූපන් පොලී මුදල්ද ඇතුළුව මෙම බැඳුම්කර වල නොගෙවූ කූපන් පොලී මුදල්ද ගෙවිය යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් මුලින්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කළේ 2007 වසරේදීයි. ඉන් පසුව, 2014 වසර දක්වා කාලය තුළ තවත් ස්වෛරීත්ව බැඳුම්කර හයක් නිකුත් කළා. මේවායේ මුහුණත අගයන්හි මුළු වටිනාකම ඩොලර් මිලියන 5,500ක්. ඩොලර් මිලියන 12,050ක මුහුණත වටිනාකමැති ඉතිරි බැඳුම්කර එකොළහ නිකුත් කරනු ලැබුවේ 2015-2019 අතර කාලයේදීයි.

දැනට ගෙවන්නට ඉතිරිව ඇති බැඳුම්කර වලින් එකක් හැර ඉතිරි සියල්ල 2015-2019 අතර කාලයේ නිකුත් කළ බැඳුම්කරයි. 2015ට පෙර නිකුත් කළ බැඳුම්කර වලින් පළමුවැන්න 2012දීත්, ඉතිරි බැඳුම්කර ඉන් පසුවත් කල් පිරුණා. ඒවා අතරින් අවසානයට කල් පිරුණු ඩොලර් බිලියනයක බැඳුම්කරය වෙනුවෙන් පමණක් තවමත් මුදල් ආපසු ගෙවා නැහැ. 2015-2019 අතර කාලයේදී නිකුත් කළ බැඳුම්කර වලින් මේ වන විට මුදල් ගෙවා අවසන්ව තිබෙන්නේ ඩොලර් මිලියන 500ක එක් බැඳුම්කරයක් සඳහා පමණයි. 

දැනට මුදල් ගෙවා අවසන් බැඳුම්කර අතරින් ඩොලර් බිලියන 2.5ක වටිනාකමැති බැඳුම්කර තුනක මුදල් පියවා අවසන් කළේ 2020-2022 අතර කාලයේදීයි. එම කාලය තුළ අලුතෙන් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමක් සිදු වුනේ නැහැ. 2015-2019 කාලය තුළ මුදල් පියවා අවසන් කෙරුණු බැදුම්කර ප්‍රමාණය තුනක් වන අතර ඒවායේ මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර් බිලියන දෙකක්. 

මේ අනුව, යහපාලන ආණ්ඩුව බලයේ සිටි, 2015-2019 අතර කාලය ඇතුළත ඩොලර් මිලියන 12,050ක මුහුණත වටිනාකමැති බැඳුම්කර එකොළහක් අලුතෙන් නිකුත් කර, ඩොලර් මිලියන 2,000ක මුහුණත වටිනාකමැති බැඳුම්කර තුනක මුදල් පියවා තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, එම කාලය ඇතුළත ශ්‍රී ලංකා රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ණය වල මුහුණත අගය ඩොලර් මිලියන 5,000 සිට ඩොලර් මිලියන 15,050 දක්වා ඩොලර් මිලියන 10,050කින් ඉහළ ගියා. 

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමට පෙර, 2014 අවසානයේදී ශ්‍රී ලංකා රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 24,132ක් වූ අතර 2019 අවසාන වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 34,249 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය ඩොලර් මිලියන 10,117ක වැඩි වීමක්. මෙම වැඩිවීම එම කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ස්වෛරීත්ව බැඳුම්කර ණය වල මුහුණත අගයෙහි ඉහළ යාමට ආසන්නව සමානයි. 

කෙසේ වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර සියල්ල විදේශ ණය නෙමෙයි. 2019 අවසාන වන විට ගෙවිය යුතු වූ මුහුණත අගය 15,050ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,113ක් අයිති වූයේ ශ්‍රී ලාංකික ආයතන වලට හා පුද්ගලයින්ටයි. මෙම බැඳුම්කර වල රුපියල් වටිනාකම මිලියන 202,099ක් වූ අතර විදේශිකයින් සතු වූ බැඳුම්කර වල රුපියල් වටිනාකම මිලියන 2,343,777ක්. මුළු එකතුව රුපියල් මිලියන 2,546,876ක්. 

ඉහත ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රමාණය 2019 වසර අවසන් වන විට ශ්‍රී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය වූ රුපියල් මිලියන 13,031,543ක ප්‍රමාණයෙන් 19.53%. 2014 වසර අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් 7,486,862ක් වූ අතර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රමාණය එයින් 8.75%ක් හෙවත් රුපියල් මිලියන 655,243ක්. 2015-2019 කාලය අතර තුර ශ්‍රී ලංකා රජයේ ණය වල ස්වෛරිත්ව බැඳුම්කර සංයුතිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව මේ අනුව පෙනී යන දෙයක්.

කෙසේ වුවත්, මෙය 2015ට පෙර සිදු වෙමින් තිබූ දෙයක දිගුවක් සේ සැලකිය හැකියි. 2007දී ශ්‍රී ලංකාව විසින් මුලින්ම ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කරන්නට පෙර රජයේ ණය වල ස්වෛරිත්ව බැඳුම්කර සංයුතිය 0%යි. 2007-2014 කාලය තුළ මෙම සංයුතිය 8.75% දක්වා ඉහළ යන අතර 2019 වන විට 19.53% දක්වා ඉහළ යනවා.   

වැඩි විස්තර ඉදිරි ලිපියකට.

Thursday, January 25, 2024

පරිසරය, සංවර්ධනය හා සනත් නිශාන්තගේ මරණය


රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ චරිතයක් ලෙස වුවත් මා ඔහු ගැන දැන ගත්තේ වසර කිහිපයකට පෙර සිදු වූ කවුරුත් දන්න සිදුවීම එක්ක. ඒ සිදුවීම ගැන නැවත කතා කරන්නට අවශ්‍ය නොවෙතත්, මේ මරණය පාදක කර ගෙන කතා කළ හැකි වැදගත් දේවල් තිබෙනවා කියා මම හිතනවා. 

සනත් නිශාන්තගේ දේශපාලනය හා ප්‍රසිද්ධ හැසිරීම් සම්බන්ධව විවිධ පුද්ගලයින්ට ප්‍රශ්න තිබිය හැකි වුවත් පවුලේ අයට ඔහු පියෙක්, පුතෙක් හා සැමියෙක් පමණයි. හදිසි මරණයක් ඔවුන්ට දරා ගන්න අමාරු ඇති. මම ඔවුන්ට කණගාටුව පළ කරනවා. ඒ වගේම මේ රිය අනතුරෙන් මිය ගොස් ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ අයටත් කණගාටුව පළ කරමින් එහිදී තුවාල ලැබූ රියැදුරාට ඉක්මන් සුවය පතනවා. කොහොම වුවත් පවුලේ අයට ශෝකජනක අවස්ථාවක් වන මේ වගේ වෙලාවක සනත් නිශාන්තලාගේ දේශපාලනය ගැන කතා කිරීමේ වරදක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. 

සනත් නිශාන්තගෙන් පිළිබිඹු වුනේ පසුව පොහොට්ටුව වූ රාජපක්ෂ කඳවුරේ දේශපාලනය කියා කිවුවොත් එහි ලොකු වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ. අධිවේගී මාර්ග කියන්නෙත් එම දේශපාලනයේම කොටසක්. ඒ අනුව, අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සනත් නිශාන්ත මිය යාම එක්තරා අතකින් දෛවයේ සරදමක්. 

රාජපක්ෂ දේශපාලනය විදේශ ණය වැය කර සිදු කරන රාජ්‍ය ආයෝජන මූලික වූ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටියා. අධිවේගී මාර්ග එහි ප්‍රධාන අංගයක්. පසුගිය කාලයේ හැදූ අධිවේගී මාර්ග වල පිරිවැය හා එම මාර්ග සැලසුම් කිරීමේදී දැක්වූ ප්‍රමුඛතාවන් පිළිබඳව ප්‍රශ්න තිබිය හැකි වුවත් ලංකාව වැනි රටක ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී යම් අවස්ථාවක රටට අධිවේගී මාර්ග අවශ්‍ය වෙනවා. රටේ දේශපාලනික ඉතිහාසය වෙනත් මගක ගමන් කළේ වුවද යම් අවස්ථාවක මේ අධිවේගී මාර්ග හැදෙනවා. ඇතැම් විට මීට කලින් විය හැකියි. ඇතැම් විට මීට පසුව විය හැකියි.

දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය පිළිබඳ යෝජනාව මුලින්ම ඉදිරිපත් වෙන්නේ අසූව දශකය තරම් ඈත කාලයකදී වුවත් ප්‍රායෝගිකව අදහස ක්‍රියාත්මක වන්නේ දශක දෙකකට පසුවයි. ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපානයේ අරමුදල් යොදා ගෙන මෙහි ඉදි කිරීම් මුලින්ම ආරම්භ වන්නේ රාජපක්ෂ දශකයට පෙර වුවත්, ඉදි කිරීම් වැඩි වශයෙන්ම සිදු වන්නේත් මුල් අදියරේ වැඩ අවසන් වන්නේත් රාජපක්ෂ දශකය තුළයි. පසුව මෙම අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දිගු කිරීම සඳහා චීන අරමුදල් යොදා ගැනෙනවා. 

මුලින්ම ගාල්ල දක්වා ඉදි කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගය ශ්‍රී ලාංකිකයින්ට අලුත්ම අත්දැකීමක් වෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වූ සංවර්ධනය බොහෝ දෙනෙකු දකින්නේ මේ හරහා. පසුව, චීන අරමුදල් වලින්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයද ඉදි කරනු ලබනවා. රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජීවිතය අහිමි කරවන මාරාන්තික රිය අනතුර සිදු වන්නේ මෙම අධිවේගී මාර්ගයේදීයි. 

දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය හා ජපානය වැනි රටවලින් ලබාගත් ණය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන වලින් ලබාගත් ණය ගෙවීමද මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් අත් හිටුවා තිබෙනවා. විදේශ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවද කෙදිනක හෝ මේ ණය ආපසු ගෙවන්නට සිදු වෙනවා. 

විදේශ ණය යොදා ගෙන අධිවේගී මාර්ග ඉදි කරද්දී එසේ ලබා ගන්නා ණය වලින් යම් කොටසක් ඉදි කිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම හරහා රටින් පිටට යනවා. ඉතිරි කොටස වියදම් කෙරෙන්නේ රුපියල් වලින්. ඒ සඳහා ණයට ගන්නා විදේශ විණිමය රුපියල් කරන්නට සිදු වෙනවා. මෙසේ කරද්දී රටේ විදේශ විණිමය සැපයුම ඉහළ ගොස් රුපියල අධිප්‍රමාණය වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ලාබ වී ලංකාවේ අපනයන විදේශිකයින්ට මිල අධික වෙනවා. මෙහි ප්‍රතිඵලය ආනයන අපනයන පරතරය පුළුල් වීමයි.

අවසාන වශයෙන් රුපියල් ලෙස ආර්ථිකයට එකතු වන මුදල් නැවත විදේශ විණිමය වී ආනයන ලෙස රටෙන් එළියට යනවා. මේ ආනයන අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘතියකට සෘජුව අවශ්‍ය අමුද්‍රව්‍ය නෙමෙයි. සනත් නිශාන්ත ගමන් ගත් වාහනය වැනි වෙනත් විවිධ පරිභෝජන භාණ්ඩ. කොහොම වුනත් අන්තිමට ණයට ගත් විදේශ විණිමය රටේ නැහැ. 

අධිවේගී මාර්ග සඳහා කළ ආයෝජන වල ප්‍රතිලාභ අනුපාතය කොපමණ වීදැයි මා දන්නේ නැහැ. යම් හෙයකින් එම අගය ප්‍රමාණවත් මට්ටමක තිබුණේ වුවද මෙම අධිවේගී මාර්ග වලින් ලැබෙන ආදායම් බොහෝ දුරට රුපියල් ආදායම්. එහෙත් ගත් ණය වල වාරික හා පොලී ගෙවිය යුතු වන්නේ විදේශ ව්‍යවහාර මුදල් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. මෙය කර ගත නොහැකිව ලංකාවට ණය පැහැර හරින්නට සිදු වූ බව අමුතුවෙන් මතක් කළ යුතු දෙයක් නෙමෙයි.

අධිවේගී මාර්ග ඉදි කරද්දී උප කොන්ත්‍රාත්, උප කොන්ත්‍රාත් වල උප කොන්ත්‍රාත් ආදී ලෙස එම අරමුදල් පහළට ගලා ගියා. උදාහරණයක් ලෙස ගල් වැලි ආදිය සැපයීම. අධිවේගී මාර්ග වලට අමතරව මේ කාලයේදී අනෙකුත් මාර්ගද සෑහෙන තරමකින් සංවර්ධනය වුනා. මෙවැනි ඉදි කිරීම් සිදු වෙද්දී ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් බොහෝ විට ඒවාට සම්බන්ධ වුනා. එසේ නැත්නම් මෙවැනි ඉදි කිරීම් වලට සම්බන්ධ වූ උප කොන්ත්‍රාත්කරුවන් පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් බවට පත් වුනා.

සනත් නිශාන්තගේ ඉතිහාසය ගැන මම වැඩි දෙයක් දන්නේ නැහැ. කෙසේ වුවත් ඔහු බිම් මට්ටමෙන් මතු වූ අයෙක්. දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග ඉදි කෙරුණු රාජපක්ෂ දශකයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් නෙමෙයි. ප්‍රාදේශීය සභා හා පළාත් සභා හරහා උඩට මතු වන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු වන්නේ ඉන් පසුවයි. 

සනත් නිශාන්තගෙන් පිළිබිඹු වන්නේ රාජපක්ෂ මාදිලියේ වේගවත් සංවර්ධනයයි. වේගවත් සංවර්ධනය කිසිසේත්ම නරක දෙයක් නොවුනත් මෙහි ප්‍රශ්නය වූයේ එම සංවර්ධනය තිරසාර නොවීමයි. සංවර්ධනය තිරසාර වීනම් ණය ගෙවන්නට නොහැකි වී රටේ ආර්ථිකය කඩා වැටෙන තැනකින් එය කෙළවර වන්නේ නැහැ. 

ලංකාවේ සංවර්ධන ආකෘතිය තිරසාර නොවූයේ ආයෝජන ආකෘතිය තුළමයි. එහෙත්, ආයෝජන ආකෘතිය තිරසාරව ඇති විටෙක පවා වෙනත් හේතු මත සංවර්ධන ආකෘතියක් තිරසාර නොවිය හැකියි. පාරිසරික බලපෑම් යනු එසේ විය හැකි එක් ආකාරයක්. සනත් නිශාන්තගෙන් නිරූපණය වූයේ පාරිසරික සාධක තුට්ටුවකට මායිම් නොකරන සංවර්ධනයක්.

මෙය සනත් නිශාන්තගේ පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස මා හඳුනා ගන්නේ නැහැ. මගේ අදහසනම් ඔහුගේ ප්‍රකාශ හරහා ඔහු නියෝජනය කළේ ලංකාවේ බහුතරය බවයි. වේගවත් සංවර්ධනය ලංකාවේ බහුතරයකට අවශ්‍ය දෙයක්. එය තිරසාරද නැද්ද යන්න තකන්නේ සුළු පිරිසක් පමණයි.

සංවර්ධනය හා පරිසරය අතර අනවරත ගැටුමක් තිබෙනවා. පරිසරය වෙනස් නොකර රටක් සංවර්ධනය කළ නොහැකියි. එහෙත් එය රටක් සංවර්ධනය කිරීමට බාධාවක් විය යුතු නැහැ. සනත් නිශාන්ත වැන්නන් විසින් පාරිසරික සාධක තුට්ටුවකට මායිම් නොකරන වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටිද්දී ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය තුළ අත්‍යවශ්‍ය සංවර්ධනයට බාධා කරන තරමේ දැඩි පරිසරවාදීන් දැකිය හැකි වුනා. ඔවුන් ලංකාවේ සුළුතරයක් පමණක් වුවත්, ඇතැම් අවස්ථා වලදී දැනෙන බලපෑමක් ඇති දේ කරන්නට සමත්ව සිටින පිරිසක්.

සංවර්ධනය හා පරිසරය අතර හැම විටම මෙන් තිබෙන්නේ තෝරා ගැනීමක්. මෙහිදී මේ දෙක අතර යම් තැනක ඉරක් අඳින්නට වෙනවා. මේ ඉර ඇඳිය යුතු නිවැරදි ආකාරය ගැන පෙර ලිපි වල විස්තර කර ඇති. 

කරුණක් ලෙස ගත්තොත් රාජපක්ෂ දශකය තුළ රටේ වේගවත් භෞතික සංවර්ධනයක් වුනා. එම සංවර්ධනය තිරසාර නොවීම වෙනම කරුණක්. රටක් සංවර්ධනය වෙද්දී පරිසරය වෙනස් වෙනවා. එය වලක්වන්න බැහැ. මෙය ප්‍රශ්නයක් වීම හෝ නොවීම තීරණය වන්නේ රට සංවර්ධනය වන වේගය සහ එය සිදු කෙරෙන ආකෘතිය මතයි. සංවර්ධනය පරිසරයට දරාගත හැකිනම් එහි ගැටලුවක් නැහැ. 

රටක් සංවර්ධනය වෙද්දී පාරිසරික සාධක ගැන සලකා බැලිය යුතු පරිදිම භෞතික සංවර්ධනයට අනුරූපව රටේ ආකල්ප සංවර්ධනය වීමද වැදගත්. මහාමාර්ග අධිවේගී මාර්ග වෙද්දී විශාල ලෙස වේගය වැඩි වීමක් සිදු වෙනවා. ඊට අනුරූපව මාර්ග විනයද වැඩි දියුණු විය යුතුයි. ලංකාවේ එවැනි වැඩි දියුණු වීමක් නැතැයි මා කියන්නේ නැහැ. පසුගිය කාලය තුළ මාර්ග විනයේ යම් වැඩි දියුණු වීමක් සිදු වී තිබෙනවා. එහෙත්, ලංකාවේ මාර්ග විනය තවමත් තිබෙන්නේ බටහිර රටවලට සාපේක්ෂව බොහෝ පිටුපසින්.

රිය අනතුරු නිසා සිදු වන මරණ කියා කියන්නේ නූතන සංවර්ධනයේ අහිතකර ප්‍රතිඵලයක්. රිය අනතුරු යනු කිසිසේත්ම නූතන සංවර්ධනය මග හැර යාම සඳහා හේතුවක් නොවුනත්, සංවර්ධන ඉලක්ක කරා යද්දී රිය අනතුරු ආදී අහිතකර අතුරු ප්රතිඵල අවම කෙරෙන ආකල්ප සංවර්ධනයක් හා ප්‍රතිපත්ති ප්‍රවේශයක් අවශ්‍යයි. පාරිසරික ගැටළු, ආදායම් විෂමතා අවම කිරීම වැනි ඉලක්ක ගැන කියන්නට තිබෙන්නේද මේ කතාවමයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවකට අනුව, 2021 වසරේදී රිය අනතුරු හේතුවෙන් මිලියන 1.19ක මරණ ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. මේවා නූතන සංවර්ධනයේ අතුරුපල කියා කියන්න පුළුවන්. එහෙත්, මෙම මරණ ගණන 2010දී සිදු වූ රිය අනතුරු මරණ ගණන වන මිලියන 1.25ට වඩා 5%කින් අඩුයි. ඒ, වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබියදීයි. මෙයින් පෙනෙන්නේ සංවර්ධනයේ නරක අතුරුපල වලක්වා ගනිමින් එහි යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න බැරිකමක් නැති බවයි.

ලෝකයම ගත් විට වැඩිම මරණ ප්‍රමාණයකට හේතු වෙන්නේ හෘදයබාධ. රිය අනතුරු තිබෙන්නේ ලැයිස්තුවේ 12 වන තැනයි. එහෙත්, 5-29 වයස් කාණ්ඩය සැලකුවොත් වැඩිම මරණ ප්‍රමාණයකට හේතු වෙන්නේ රිය අනතුරු. අඩු වයසෙන් සිදුවන මරණයකදී අපේක්ෂිත ආයුකාලය වඩා වැඩියෙන් අඩු වෙන නිසා හානිය වැඩියි. 

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ දත්ත අනුව පසුගිය වසර වලදී ලංකාවේ රිය අනතුරු වලින් සිදු වූ මරණ ප්‍රමාණ පහත තිබෙනවා.

2019- 3,097

2020- 2,829

2021- 2,513

2022- 2,515

ඇතැම් විට කොවිඩ් නිසාත්, තෙල් මිල ඉහළ යාම නිසාත් රිය අනතුරු මරණ වල යම් අඩුවීමක් සිදු වුනා වෙන්න පුළුවන්.

ලෝකයේ වගේම ලංකාවෙත් වැඩිම මරණ ප්‍රමාණයකට හේතුව හෘදයාබාධ. 2019 වසරේදී සිදු වූ මරණ 146,397කින් 17,347ක්ම හෘදයාබාධ. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත සියලුම රෝග නිසා සිදු වූ මරණ ප්‍රමාණය 35,534ක්. එහෙම බැලුවහම රිය අනතුරු මරණ තිබෙන්නේ ලැයිස්තුවේ ගොඩක් පහළින්. නමුත් 5-39 වයස් කාණ්ඩයේ මරණ වලින් 14.5%ක්ම සිදු වී තිබෙන්නේ රිය අනතුරු වලින්. ඒ වගේම, 20-24 වැනි වයස් කාණ්ඩයක පිරිමින්ගේ මරණ සැලකුවහොත්, එම මරණ වලින් 28.5%ක්ම සිදු වී තිබෙන්නේ රිය අනතුරු වලින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2019 ලෝක ජනගහණයෙන් ලක්ෂයකට 16.7ක් රිය අනතුරු වලින් මියගොස් තිබෙනවා. ලංකාවේ එම අනුපාතය 19.7ක්. ලංකාවට වඩා වාහන භාවිතය වැඩි සංවර්ධිත රටවල් සියල්ලකම වගේ මේ අනුපාතය මීට වඩා අඩුයි. ඇමරිකාව හා නවසීලන්තය හැර අනෙකුත් සංවර්ධිත රටවල ගොඩක්ම අඩුයි.

ඕස්ට්‍රේලියාව - 4.9

කැනඩාව - 5.3

ඩෙන්මාර්කය - 3.7

ෆින්ලන්තය - 3.9

ප්‍රංශය - 5.1

ජර්මනිය - 3.8

අයිස්ලන්තය - 2.0

ඊශ්‍රායලය - 3.9

ඉතාලිය - 5.3

ජපානය - 3.6

නෙදර්ලන්තය - 4.0

නවසීලන්තය - 9.6

නොර්වේ - 2.1

සිංගප්පූරුව - 2.1

ස්වීඩනය - 3.1

ස්විට්සර්ලන්තය - 2.2

එක්සත් රාජධානිය - 3.2

ඇමරිකාව - 12.7


අපේ අසල්වැසියන් වන දකුණු ආසියානු රටවල් දිහා බැලුවත් ලංකාවේ තත්ත්වය හොඳ තත්ත්වයක් නෙමෙයි.

බංග්ලා දේශය - 15.3

ඉන්දියාව - 15.6

මාල දිවයින - 1.6

නේපාලය - 16.3

පකිස්ථානය - 13.0


නමුත් මැලේසියාව හා තායිලන්තය වැනි වෙනත් ඇතැම් ආසියාතික රටවල තත්ත්වය ලංකාවටත් වඩා නරකයි.

ඉන්දුනීසියාව - 11.3 

මැලේසියාව - 22.5

පිලිපීනය - 12.0

තායිලන්තය - 32.2

වියට්නාමය - 30.6

චීනය - 17.4

මේ වෙනස්කම් වලට එකම හේතුව මාර්ග විනය කියා කියන්න බැහැ. සංවර්ධිත රටවල් අතරින් ඇමරිකාවේ මාර්ග අනතුරු මරණ වැඩි වීමෙන් පෙනී යන්නේ පොදු ප්‍රවාහනය කොයි තරම් දියුණුද කියන එක මාර්ග අනතුරු මරණ අනුපාතය කෙරෙහි බලපෑමක් කරනවා විය හැකි බවයි. නමුත් ලංකාවේ මාර්ග විනය පිළිබඳ ගැටළු ඇති බව කිසිවෙකුට රහසක් නෙමෙයි.

ලංකාවේ වාහන එළවද්දී වාහන වල ධුරාවලියක් තිබෙනවා. මෙය වාහනයේ වටිනාකම මෙන්ම ප්‍රමාණය මතද තීරණය වන දෙයක්. මෝටර් සයිකල් හා ත්‍රිරෝද තිබෙන්නේ ධුරාවලියේ පහළින්. ලොරි, බස් වගේ ලොකු වාහන මෙන්ම මිල අධික SUV ආදිය උඩින්. බයිසිකල්කරුවන් හා පදිකයින් මේ සියල්ලන්ටම පහළින්. ලංකාවේ රිය අනතුරු මරණ සංයුතිය දෙස බැලූ විටද මේ තත්ත්වය පැහැදිලි වෙනවා. පහත තිබෙන්නේ 2022දී ලංකාවේ සිදු වූ රිය අනතුරු මරණ.

පදිකයින් - 792

පාපැදිකරුවන් - 226

මෝටර් සයිකල්කරුවන් - 820

පසුපස අසුනේ වාඩි වී ගිය අය - 189

රියැදුරන් - 189

මගින් - 314

වෙනත් - 06

කෙටියෙන් කිවුවොත් සනත් නිශාන්ත ගමන් කළ ආකාරයේ "ලොකු" වාහන වල යන අය ලේසියෙන් රිය අනතුරකින් මිය යන්නේ නැහැ. බොහෝ විට වෙන්නේ එවැනි වාහනයක හැපී පදිකයින්, පාපැදිකරුවන් හා මෝටර් සයිකල්කරුවන් වැනි අය මිය යන එකයි. එවැනි අය වාහන ධාවනය කරන්නේ මාර්ගය තමන්ට ලියා දී ඇති සේ සලකමිනුයි. එවැන්නෙකු දුටු වාහන පාරෙන් පැත්තකට කර ගැනීම පොඩි වාහනකරුවන්ගේ කාර්යයක්. 

මෙහිදී මම "එවැන්නන්" යන්නේ අදහස් කළේ සනත් නිශාන්ත වැනි දේශපාලනඥයින් පමණක් නෙමෙයි. බස් හා ලොරි වැනි ප්‍රමාණයෙන් විශාල වාහනද මේ කුලකයට ඇතුළත්. මේ වගේ වාහනයකට සාමාන්‍යයෙන් මාර්ගයේදී තමන්ට වඩා ලොකු ප්‍රතිවාදීන් හමු වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට සනත් නිශාන්තගේ වාහනය ගැටී තිබෙන්නේ එවැනි ලොකු ප්‍රතිවාදියෙක් එක්ක. 

Tuesday, January 23, 2024

අපනයන කළ යුත්තේ ඇයි?


කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ ඇයි?

දේශ සීමා බාධක ඉතා අඩු හෝ නැති, ජාත්‍යන්තරයට විවෘත, ලිබරල් ආර්ථික ක්‍රමයක් ගැන පෙනී සිටින අය අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින එක තේරුම් ගන්න අපහසු නැහැ. නමුත්, සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින අයත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි?

මෙහි සඳහන් දෙවන කණ්ඩායම අපනයන ප්‍රවර්ධනය අවශ්‍ය බව හිතන්නේ පළමු කණ්ඩායම එසේ හිතන හේතුව මත පදනම්ව නෙමෙයි. ඉතාම සරලව කිවුවොත් රටට විදේශ විණිමය හොයා ගන්න. රටක් අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයා ගන්න කියන එක ජනප්‍රිය, ප්‍රචලිත, එහෙත් වැරදි අදහසක්. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්.

ඔය අදහස එන්නේ සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ අදහස් පද්ධතියේ කොටසක් විදිහටයි. මේ ක්‍රමයේදී කිසියම් රටක් විසින් උත්සාහ කරන්නේ රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න. එහිදී පිරිවැය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය වගේ දේවල් වලට ලොකු අවධානයක් යෙදවෙන්නේ නැහැ. 

මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තුළ රටක නිෂ්පාදන ප්‍රතිපත්තිය මේ වගේ තැනකට තල්ලු වීම තේරුම් ගන්න අපහසු නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුමක් බලාත්මක කළ හැක්කේ කිසියම් රටක දේශ සීමා ඇතුළේ පමණයි. ඒ නිසා, ඒ වගේ සැලසුමක් ආනයන මත පාදක වෙන එකක්නම් ඒ හේතුවෙන්ම එම සැලසුම අවුලට යාමේ ඉඩකඩ ඉහළ යනවා. මොකද රටේ දේශ සීමා වලින් එහා සිදු වන නිෂ්පාදන පිළිබඳව මධ්‍යගත සැලසුම හරහා බලපෑම් කරන්න බැහැ. රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම රට තුළම නිපදවා ගත් තරමට මධ්‍යගත සැලසුමේ ඉලක්ක සම්බන්ධව රටේ බලාධිකාරියට වැඩි බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසාම, එය සාර්ථක කර ගැනීම වඩා පහසුයි.

හැබැයි රටකට අත්‍යාවශ්‍ය සමහර දේවල් කිසියම් රටක මොන විදිහකින්වත් නිපදවන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස තෙල් නිධි නැති රටක තෙල් නිපදවන්න බැහැ. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න වෙනවා. ඒ සඳහා විදේශ විණිමය අවශ්‍ය වෙනවා. එම විදේශ විණිමය ප්‍රමාණය හොයා ගන්න රටේ නිපදවිය හැකි භාණ්ඩ හා සේවා වලින් කොටසක් අපනයනය කරන්න වෙනවා. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න කියන අදහස එන්නේ ඔය චින්තනය ඇතුළේ. 

ඉහත කී ආර්ථික චින්තනය ඇතුළේ ඉන්න රටකට ප්‍රමාණවත් අපනයන ආදායමක් නොමැති වූ විට ආනයන සීමා කරන්න පෙළඹෙනවා. අනෙක් අතට විදේශ විණිමය වැඩියෙන් එකතු වෙද්දී එම විදේශ විණිමය ආනයන වෙනුවෙන් වැය නොකර ගොඩ ගසා ගැනීමේ පෙළඹුමක් තිබෙනවා. 

රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරනවා කියන අදහසේම ලොකු අවුලක් තිබෙනවා. ඒ අවුල ලොකුවටම තියෙන්නේ ලංකාව වගේ පොඩි රට වලට. දැන් මම ඒ අවුල විස්තර කරන්නම්. 

අපි හිතමු ලෝකයේ හැම රටකම ආර්ථික ප්‍රතිපත්තිය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරන එක කියලා. පැරණි සෝවියට් දේශය ඇතුළු කොමිකොන් සංවිධානයේ සාමාජික රටවල ආර්ථික ප්‍රතිපත්තිය වුනේ මෙවැන්නක්. ඔය ක්‍රමය ඇතුළේ පොඩි රටවල් අවුලට යන්නේ මේ විදිහටයි.

පැරණි සෝවියට් දේශය වගේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු, විශාල ජනගහණයක් සිටින සහ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකට අවශ්‍ය දේවල් බොහොමයක් එරට තුළම නිපදවා ගන්න පුළුවන්. ඇතැම් විට හැම දෙයක්ම වගේ. නමුත්, සෝවියට් දේශයට සාපේක්ෂව කුඩා රටවල් වන වියට්නාමයට හෝ කියුබාවට එහෙම කරන්න බැහැ. එක්කෝ අවශ්‍ය ස්වභාවික සම්පතක් රටේ නැහැ. එහෙම නැත්නම් දේශගුණය බාධාවක්. තවත් හේතු ගණනාවක් නිසා මෙවැන්නක් විය හැකියි.

දැන් මේ වගේ කුඩා රටවල් වලට තමන්ගේ රටේ නිපදවා ගත නොහැකි යම් යම් දේවල් ආනයනය කරන්නම වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන විදේශ විණිමය හොයා ගන්න මොනවා හෝ දේවල් ටිකක් අපනයනය කරන්නත් වෙනවා. නමුත් ප්‍රශ්නය සෝවියට් දේශය වගේ ලොකු රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියක සිටිද්දී, කියුබාව වගේ රටකට සෝවියට් දේශයට මොනවා හෝ අපනයනය කර විදේශ විණිමය හොයා ගැනීමේ අවස්ථාව නැති වී යන එක. මොකද කියුබාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් සෝවියට් දේශයේත් හදන්න පුළුවන්. (මෙය උදාහරණයක් පමණයි). 

ඉහත හේතුව නිසා රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිඵලය වන්නේ කුඩා ආර්ථිකයන් ඇති රටවලට හැමදාම දිගින් දිගටම විදේශ විණිමය අර්බුද වලට මුහුණ දෙන්න වෙන එක. ප්‍රායෝගිකව වුනත් වුනේ මේකයි. සමාජවාදී කඳවුරේ හිටපු පොඩි රටවලට හැම විටම මෙන් තමන්ගේ ආර්ථිකයන් තුලනය කරගන්න පුළුවන් වුනේ ලොකු රටවල අනුකම්පාව මත පදනම්වයි. නිශ්චිත ලෙස කිවුවොත් සෝවියට් ආධාර වල උදවුවෙන්. වියට්නාමය වගේ රටවලට ඒ කාලයේදී සෝවියට් දේශයෙන් වාර්ෂිකව ආධාර මුදල් ලැබුණා.

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ලිබරල් ප්‍රවේශයේදී මේ වගේ අවුලක් වෙන්නේ නැහැ. මොකද කිසියම් රටක් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කරන්නේ එය රට තුළ නිපදවා ගත නොහැකි නිසා නෙමෙයි. "සංසන්දනාත්මක වාසිය" නිසා. (මේ ගැන පෙර ලියූ ලිපි මාලාවක් තිබෙනවා. අවශ්‍යනම් කියවන්න.) උදාහරණයක් විදිහට ලංකාවේ මහලා ඇමරිකාවට යවන ඇඟලුම් ඇමරිකාව ඇතුළේම මහගන්න කිසිම බැරිකමක් නැහැ. 

අනෙක් අතට මතක තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ඔය ලිබරල් ප්‍රවේශය තුළ අපනයන වර්ධනය වූ පමණින් රටක විදේශ විණිමය සමුච්ඡනය වෙන්නේ නැහැ. රටට එන විදේශ විණිමය අනෙක් අතට ආනයන ලෙස හෝ වෙනත් ක්‍රමයකින් රටෙන් එළියට යනවා. පසුගිය ලිපි හයකම අපි හිටියේ වියට්නාමය ඇතුළේ නිසා අපි නැවතත් වියට්නාමය වෙතම යමු. 

වියට්නාමය කියන්නේ විශාල අපනයන ආර්ථිකයක් තිබෙන රටක් බව ඔබ දැනටමත් දන්නවා. 2022 වසරේදී වියට්නාමය භාණ්ඩ අපනයනයෙන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 371,304ක්. මීට සාපේක්ෂව ලංකාව ඉපැයුවේ ඩොලර් මිලියන 13,106.4ක් පමණයි. ඒ කියන්නේ 2022 වසරේ වියට්නාමයේ භාණ්ඩ අපනයන ආදායම ලංකාවේ එම ආදායම මෙන් 28 ගුණයක්.

ලංකාවට වඩා විශාල ජනගහණයක් සිටින ලොකු රටක් වන වියට්නාමය ලංකාව සමඟ සංසන්දනය කිරීම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් බව මෙම ලිපි මාලාවේ මුල් ලිපි වල පැහැදිලි කළානේ. ඒ කරුණ අපට අමතක කරන්න බැහැ. නමුත් වියට්නාමයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් 28 ගුණයක් විශාල නැහැ. එය ඩොලර් බිලියන 408.8ක ආර්ථිකයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 74.4ක් වූ ලංකාවේ ආර්ථිකය මෙන් පස් හය ගුණයක් පමණ ලොකු ආර්ථිකයක්. ඩොලර් බිලියන 371.3ක අපනයන ආදායමක් කියා කියන්නේ ඊට සාපේක්ෂව වුවත් ඉතාම විශාල අගයක්. එරට දදේනියෙන් 90.8%ක්.

ඒ කියන්නේ වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතයෙන් 90.8%ක්ම අපනයනය කරනවාද? මෙම අගය භාණ්ඩ අපනයන පමණයි. මීට අමතරව වියට්නාමය විසින් යම් තරමක සේවා අපනයනද කරනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 12,900ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා අපනයනය රටේ දදේනියෙන් 94.0%ක්.

රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙන් 94.0%ක්ම අපනයනය කළොත් එරට සමස්ත පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් මෙන්ම රාජ්‍ය අංශයේ පරිභෝජනය වෙනුවෙන්ද ඉතිරි වන්නේ දදේනියෙන් 6.0%ක කොටසක් පමණයි. නමුත්, 2022 වසරේදී වියට්නාමයේ පරිභෝජනය හා ආයෝජනය එරට දදේනියෙන් 96.29%ක්. මෙහෙම වුනේ කොහොමද?

පිළිතුර සරලයි. මේ වෙනස වියට්නාමයේ ආනයන. 2022 වසර තුළ වියට්නාමය විසින් ඩොලර් මිලියන 345,587ක භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ඊට අමතරව ඩොලර් මිලියන 25,524ක සේවා ආනයනය කර තිබෙනවා. එකතුව එරට දදේනියෙන් 90.8%කට සමානයි. මේ අනුව පැහැදිලි වන්නේ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වත්මන් වියට්නාමය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්නා ප්‍රතිපත්තියක නැති බවයි. ඒ වෙනුවට වියට්නාමය විසින් අනුගමනය කරන්නේ තමන්ට සංසන්දනාත්මක වාසියක් ඇති දේ අපනයනය කරන අතර එවැනි වාසියක් නැති දේ ආනයනය කිරීමේ ලිබරල් ප්‍රවේශයයි.

වියට්නාමය විසින් අපනයනය කරන දේවල් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලද එරට තුළම නිපදවීමට උත්සාහ කළේනම් වියට්නාමයට මෙම අපනයන ඉලක්කයට යා හැකි වන්නේ නැහැ. නමුත්, ඒ හැම දෙයක්ම රට තුළ නිපදවීමෙහි සංසන්දනාත්මක වාසියක් නොමැති බව වියට්නාමය විසින් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා. වියට්නාමය විසින් කරන්නේ රට තුළ තරඟකාරී ලෙස නිපදවිය නොහැකි දේ ආනයනය කරමින් රට තුළ තරඟකාරී ලෙස කළ හැකි අගය එකතු කිරීම් කරන එක පමණයි.

ඉහත හේතුව නිසා වියට්නාමය විසින් අපනයන වෙළඳපොළ ඉලක්ක කරමින් කොයි තරම් විශාල නිෂ්පාදනයක් රට තුළ සිදු කළත්, ඒ මගින් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රට තුළට අද්දා ගත්තත්, එම විදේශ විණිමය ප්‍රමාණයෙන් වැඩි කොටසක් නැවත රටෙන් එළියට යනවා. රට තුළ මහා පරිමාණයෙන් විදේශ විණිමය සමුච්ඡය වීමක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවත්, භාණ්ඩ වෙළඳාම පමණක් සැලකුවහොත් වියට්නාමයේ විදේශ විණිමය අතිරික්තයක් දැකිය හැකියි.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 371,304

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 345,587

වෙළද ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 25,717


මෙයට සාපේක්ෂව ලංකාවේ වෙළද ගිණුමේ දැකිය හැක්කේ හිඟයක්.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 13,106.4

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 18,291.0

වෙළද ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 5,184.6

ලංකාවේ මෙම වෙළඳ හිඟයට හේතුවම ලංකාව ප්‍රමාණවත් තරමින් ලෝකයට විවෘත නොවීමයි. කෙසේ වුවත් කරුණක් සේ ගත්තොත්, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් පවතිද්දී වියට්නාමය විසින් අතිරික්තයක් පවත්වා ගන්නවා. ඒ නිසා, වියට්නාමයේ විශාල ලෙස විදේශ විණිමය ගොඩ ගැසෙනවාද?

වියට්නාමය භාණ්ඩ නිෂ්පාදනයේදී ලංකාවට වඩා තරඟකාරී වුවත්, සේවා නිෂ්පාදනයේදී ලංකාව වඩා තරඟකාරීයි. ලිපිය දිගු වන නිසා ඒ ඇයි කියා මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් පහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මේ කරුණ පැහැදිලි විය යුතුයි.

වියට්නාමයේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 12,900

සේවා ආනයනය - ඩොලර් මිලියන 25,524

සේවා ගිණුමේ හිඟය - 12,624

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල අතිරික්තය  - ඩොලර් මිලියන 13,093


ලංකාවේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 3,062.3

සේවා ආනයනය - ඩොලර් මිලියන 952.7

සේවා ගිණුමේ අතිරික්තය - 2,109.6

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 3,075.0

වියට්නාමය තරඟකාරී ලෙස රට තුළ භාණ්ඩ නිපදවා වෙළඳ අතිරික්තයක් පවත්වා ගත්තත්, සේවා නිෂ්පාදනයේදී ඒ තරඟකාරිත්වය නැති නිසා සේවා ගිණුමේ තියෙන්නේ හිඟයක්. වෙළඳ ගිණුමේ අතිරික්තයෙන් බාගයක් පමණ ඒ හිඟය පියවීම සඳහා වැය වෙනවා. මෙයින් වෙනස්ව, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයෙන් කොටසක් සේවා ගිණුමේ අතිරික්තය නිසා පියැවෙනවා.

රටකට ඩොලර් (විදේශ විණිමය) ලැබෙන්නෙත්, රටකින් විදේශ විණිමය පිට වන්නේත් භාණ්ඩ හා සේවා වෙළඳාම හරහා පමණක් නෙමෙයි.

රටකට විදේශ ආයෝජන පැමිණීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුනත් විදේශ ආයෝජකයින් මී කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඔවුන් වාර්ෂිකව රටෙන් එළියට අරගෙන යනවා. සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් තිබෙන වියට්නාමයෙන් වසරකට මේ විදිහට එළියට යන විදේශ විණිමය ප්‍රමාණය ඉතාම විශාලයි.

ඉහත කී පරිදි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවිය යුතු පොලී හා ලාභාංශ ලෙස රටින් පිටවන මුදල් හා එලෙසම රටට එන මුදල් සටහන් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. 2022 වසරේදී වියට්නාමයේ ප්‍රාථමික ආදායම් ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 22,049ක්. ලංකාවේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,123.6ක් පමණයි. 

මෙහිදී සිදු වන්නේ ආයෝජකයින් විසින් වියට්නාමයේ අඩු ශ්‍රමයේ වාසිය ලබා ගනිමින් එරට තුළ භාණ්ඩ නිපදවා ලැබෙන ලාබය රටෙන් රැගෙන යාමක්. ලංකාවේද සිදු වන්නේ මෙයම වුවත් එසේ සිදු වන්නේ අඩු පරිමාණයකින්. 

මේ දෙරටේම රටින් පිටත ඇති ආයෝජන එතරම් විශාල නොවන නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් ප්‍රමාණ එම ගෙවීම් වලට සාපේක්ෂව ඉතාම අඩුයි. වියට්නාමයේ එම ප්‍රමාණය ඩොලර් මිලියන 2,321ක්. ලංකාවේ ඩොලර් මිලියන 249.4ක් පමණයි. කොහොම වුනත් මේ කාරණයේදී පවා වියට්නාමය ලංකාවට සාපේක්ෂව විවෘත බව කැපී පෙනෙනවා. වියට්නාමයේ විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම ලංකාවේ එම ආදායම මෙන් දහ ගුණයකට ආසන්නයි.

ලංකාවේ වගේම වියට්නාමයේත් ප්‍රාථමික ආදායම් ගිණුම් වල දැකිය හැක්කේ හිඟයක්. එම හිඟය පියවීමෙන් පසුව මේ එක් එක් රටේ විදේශ විණිමය ප්‍රවාහ තුලනය වන්නේ කොහොමද?

සමස්තයක් ලෙස වියට්නාමයේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 6,635

සමස්තයක් ලෙස ලංකාවේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 4,949.1

පේනවානේ තත්ත්වය. වියට්නාමය විශාල නිෂ්පාදන ආර්ථිකයක් එක්ක විශාල වෙළඳ අතිරික්තයකින් පටන් ගත්තත්, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල ශේෂ එකතු කළාට පස්සේ රටේ විදේශ විණිමය හිඟය ලංකාවේ එම හිඟයටත් වඩා වැඩියි. වැඩියෙන් අපනයනය කළ පමණින්ම රටේ වැඩියෙන් ඩොලර් ඉතිරි නොවන බව මෙයින් පැහැදිලිව පේනවා ඇති.

රටකට විදේශ විණිමය එන්නේ ඔය ක්‍රම තුනට පමණක් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ ගැන කවුරුත් දන්නවනේ. ඒවා සටහන් වෙන්නේ ද්වීතියික ආදායම් ගිණුමේ. ලංකාවට වගේම වියට්නාමයටත් ශ්‍රමික ප්‍රේෂණ එනවා. ඒ වගේම, ඊට වඩා අඩු ප්‍රමාණයක් වුවත්, යම් විදේශ විණිමය ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටින් එළියටත් යනවා. ද්වීතියික ආදායම් ගිණුම ඉහත ගිණුම් තුනට එකතු කළාට පස්සේ තත්ත්වය කුමක්ද?

වියට්නාමයේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 12,213

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 6,652

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 5,561

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,074


ලංකාවේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 3,792.8

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 296.4

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 3,496.4

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,452.7


දැන් කතාව පැහැදිලි ඇතිනේ! 

සියලුම ඩොලර් ආදායම් හා ඩොලර් වියදම් තුලනය වුනාට පස්සේ ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,452.7ක හිඟයක් ඇති වෙලා. එම මුදල ආයෝජනයක් ලෙස හෝ ණයක් ලෙස රටට පැමිණිය යුතුයි. භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 371ක් උපයලා, ඩොලර් බිලියන 25.7ක වෙළඳ ගිණුම් අතිරික්තයක් එක්ක පටන් ගත්ත වියට්නාමයේ එහෙම වෙලා නැද්ද?

අවසාන ප්‍රතිඵලය දිහා බැලුවහම වියට්නාමයේ කියලත් වෙනසක් නැහැ. වියට්නාමය 2022 අවුරුද්ද අවසන් කරන්නේත් ඩොලර් බිලියනය ඉක්මවන ජංගම ගිණුම් හිඟයක් එක්ක. ඒ කියන්නේ උපයපු විදේශ විණිමය ප්‍රමාණය කොපමණ වුනත් ඊට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වියදම් වෙලා. 

කොයි තරම් අපනයන කළත් රටක විදේශ විණිමය ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා, මොන විදිහකින් හෝ විදේශ විණිමය හොයන්න මහන්සි වෙන එක විදේශ විණිමය ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඒ වගේම, විදේශ විණිමය ප්‍රවාහ තුලනය කරගන්න ලොකුවට දඟලන්න අවශ්‍යත් නැහැ. විණිමය අනුපාතය නියම තැන තියෙනවානම් ඔය වැඩේ නිකම්ම වෙනවා.

අවදානමකට මුහුණ දීම සඳහා යම් විදේශ සංචිත ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, විදේශ විණිමය උපයලා ගොඩ ගහගෙන ඉන්න එකේත් තේරුමක් නැහැ. රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ උපයන විදේශ විණිමය වැය කරන විටයි. ඒ වගේම, විදේශ විණිමය රටට එනවානම් ඒ එන්නේ මොන විදිහටද කියන එකේ ලොකු වෙනසක් නැහැ. භාණ්ඩ අපනයනය කළත්, සේවා අපනයන කළත්, ප්‍රාග්ධනය "අපනයනය" කරලා ලාභ එකතු කළත්, ශ්‍රමය "අපනයනය" කරලා ශ්‍රමික ප්‍රේෂණ එකතු කළත් එන්නේ එකම ඩොලර්. රටකට වඩා පහසුවෙන් ඩොලර් උපයන්න පුළුවන් දේ කරනවා මිසක් මේ එක ක්‍රමයක් වෙනුවට වෙන ක්‍රමයක් යොදා ගන්න අවශ්‍ය නැහැ.

හරි. එතකොට වියට්නාමයේ මහ ලොකු නිෂ්පාදන ආර්ථිකය හෝ අපනයන ආර්ථිකය නිසා රටේ විදේශ විණිමය එකතු වෙන්නේ නැත්නම්, ඔය තරම් ලේසියෙන් විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගන්නත් පුළුවන්නම්, අපනයන කරන්න ඔය තරම් මහන්සි විය යුත්තේ ඇයි?

ඒක වෙනම කතාවක්. ඒ වගේම වැදගත් කතාවක්. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න නෙමෙයි. විදේශ වෙළඳපොළ ඉලක්ක කර රටක නිෂ්පාදනය සිදු කරනවා කියන්නේ ගනුදෙනු හරහා ලෝකයම එක්ක සම්බන්ධ වෙනවා කියන එක. මෙහිදී විශාල අගය එකතු වීමක් වෙනවා. මෙය මුල් කොටසක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ලෝකයට විවෘත නොවී ඒ වගේ මට්ටමක අගය එකතු කිරීමක් කවදාවත් කරන්න බැහැ. 

රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්නේ මේ අගය එකතු වීමත්එක්ක. රටක ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. ලංකාව හා වියට්නාමය වැනි රට වලට කවදා හෝ සංවර්ධිත රටක් විය හැක්කේ මෙවැනි අගය එකතු වීම් වේගයෙන් සිදු වීමත් එක්ක.

විදේශ විණිමය ප්‍රශ්නය කියන්නේ ලොකු අමාරුවක් නැතිව පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක්. ඒ සඳහා අපනයන පරිමාව විශාල ලෙස වැඩි කරගන්න අවශ්‍ය නැහැ. නමුත්, රට ඉදිරියට යන්නනම්, එහෙම ගිහින් කවදා හෝ සංවර්ධිත රටක් වෙන්නනම් අපනයන අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ආනයන වැඩි නොකර අපනයන විතරක් වැඩි කරන්න බැහැ. ඔය දෙකම යන්නේ එකට. මේ පාරේ යද්දී රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම රටේ හදන්න උත්සාහ කළ යුතු නැහැ. වඩා තරඟකාරී ලෙස හැදිය හැකි, සංසන්දනාත්මක වාසියක් තියෙන දේවල් වෙත අවධානය යොමු කිරීම ප්‍රමාණවත්. ඒ වගේම රටට ඩොලර් එනවානම් ඒ එන ක්‍රමය එතරම් වැදගත් නැහැ.

Friday, January 19, 2024

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා "කොටස්කරණය"


වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු.

පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වුනා. ඒ කියන්නේ 1986 වන තුරු වියට්නාමයේ ව්‍යවසාය කියන්නේ රාජ්‍ය ව්‍යවසායම තමයි.

සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ මෙන්ම ඊට පෙර ඇතැම් වකවානු වලදීද ලංකාව මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් වෙත ටිකෙන් ටික විතැන් වුනත් ලංකාවේ වියට්නාමයේ මෙන් පූර්ණ මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ පැත්තට ටිකෙන් ටික යද්දී රටේ මිනිස්සු ආණ්ඩුව මාරු කළා. 

"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලට පෙර වියට්නාමයේ රාජ්‍ය අංශය ලංකාවේ රාජ්‍ය අංශය හා සම කළ හැකි මට්ට්මක තිබුණු එකක් නෙමෙයි. ඒ වගේ තැනක ඉඳන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ පටන් ගෙන දශක ගණනක් ගියාට පසුවත් රටක සැලකිය යුතු රාජ්‍ය අංශයක් ඉතිරි වෙනවා. වියට්නාමයේ තරම් විශාල රාජ්‍ය අංශයක් කෙදිනක හෝ නොතිබුණු ලංකාවේ පවා තවමත් සැලකිය යුතු තරමේ විශාල රාජ්‍ය අංශයක් තියෙද්දී කලකට පෙර පූර්ණ රාජ්‍ය අංශයක් පැවති වියට්නාමයේ එය එසේ නොවෙන්න හේතුවක් නැහැනේ.

වැදගත් කරුණ වන්නේ කාලයක සිටම වියට්නාමය විසින් එරට රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරමින් සිටිනවා කියන එකයි. හැබැයි ඔවුන් එසේ කිරීමේදී "පෞද්ගලීකරණය" යන වචනය හැම විටම භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට වියට්නාමය වැඩිපුර භාවිතා කරන්නේ "කොටස්කරණය (equitisation)" යන වචනයයි. ඒක ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී "ප්‍රසස්තකරණය" යන වචනය භාවිතා කළා වගේ දෙයක්. "Equitisation" (වියට්නාම් භාෂාවෙන් Cổ phần hóa) යන වචනය "වියට්නාම් ඉංග්‍රීසි" වචනයක් සේ සැලකෙනවා.

අවශ්‍යනම් කෙනෙකුට කොටස්කරණය කියන්නේ පෞද්ගලීකරණය නෙමෙයි කියා තර්ක කරන්න පුළුවන්. එවැනි තර්ක වලට පිළිතුරු දීම සඳහා කාලය නාස්ති කරන්න අදහසක් නැහැ. නම මොකක් වුනත් වියට්නාමයේ වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය වල අයිතිය කොටස් කර එම කොටස් දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට විකුණන එකයි. 

වියට්නාමයේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය පටන් ගත්තේ කෘෂිකාර්මික අංශයෙන්. එහිදී සමූහ ගොවිපොළ ක්‍රමය වෙනුවට පෞද්ගලික ඉඩම් අයිතිය ආදේශ වුනා. එම ප්‍රතිසංස්කරණය පමණක්ම වුනත් රටේ ආහාර ප්‍රශ්නය හා දරිද්‍රතා ප්‍රශ්නය බොහෝ දුරට විසඳුවා.

පෙර ලිපියේ සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, වියට්නාමයේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විශාල වෙනස්කම් තිබෙනවා. 2009දී පළ කළ එක්තරා පර්යේෂණ පත්‍රිකාවකට අනුව [1], කිසියම් පළාතක ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණයේ ඝනත්වය වැඩි වන තරමට එම ප්‍රදේශයේ ඒක පුද්ගල ආදායම අඩුයි. එය සිදු වන යාන්ත්‍රනයද එම පර්යේෂණ පත්‍රිකාවේ විස්තර කරනවා.

[1] Van ThangN., and N. Freeman, 2009, “State-Owned Enterprises in Vietnam: Are They ‘Crowing Out’ the Private Sector?” Post-Communist Economies, Vol. 21, pp. 227247.

කිසියම් පළාතක රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය වැඩි තරමට එම රාජ්‍ය ව්‍යවසාය සඳහා රජයෙන් ලැබෙන වැඩි ප්‍රමුඛතාවය නිසා පෞද්ගලික ව්‍යවසාය වලට කුඩම්මාගේ සැලකිලි ලැබීමේ ප්‍රවණතාවද වැඩියි. උදාහරණයක් ලෙස එවැනි පළාත් වල පෞද්ගලික ආයෝජකයෙකුට බැංකු ණයක් ලබා ගැනීම වඩා අසීරුයි. ඒ නිසා, එවැනි පළාත් වල පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාකාරිත්වය අඩුයි. පෞද්ගලික ව්‍යවසාය වල දායකත්වය අඩු නිසා ආර්ථික ක්‍රියාකාරකම් වල කාර්යක්ෂමතාවයද අඩුයි. ඒ නිසා, ඒක පුද්ගල ආදායමද අඩුයි. 

කෙසේ වුවත්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වියට්නාමය පවා මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පෞද්ගලික අංශය වෙත විතැන් කරමින් සිටිනවා. පහත සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව දැකිය හැකි පරිදි වියට්නාම් දදේනිය තුළ ඇති රාජ්‍ය භාගය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වෙනවා.

Year

State share of GDP (%)

2005

37.62

2006

36.69

2007

35.35

2008

35.07

2009

34.72

2010

24.18

2011

23.59

2012

23.56

2013

23.30

2014

23.08

2015

22.84

2016

22.78

2017

22.31

2018

21.34

2019

20.59

2020

20.67

2021

20.81

2022

20.53

පහත තිබෙන්නේ 2000 වසර සිට ගත වූ කාලය තුළ වියට්නාමයේ ව්‍යවසාය හිමිකාරිත්වයේ සංයුතිය වෙනස් වූ ආකාරයයි.

රාජ්‍ය අංශය:
2000- 5,759 (13.62%)
2021- 1,906 (0.27%)

රාජ්‍ය නොවන දේශීය:
2000- 35,004 (82.77%)
2021- 694,121 (96.59%)

විදේශීය:
2000- 1,525 (3.61%)
2021- 22,610 (3.15%)

මෙම කාලය තුළ රාජ්‍ය නොවන දේශීය ව්‍යවසාය ප්‍රමාණය විසි ගුණයකින්ද, විදේශ සමාගම් ප්‍රමාණය පහළොස් ගුණයකින්ද වැඩි වෙද්දී රාජ්‍ය ව්‍යවසාය ගණන තුනෙන් එකක් දක්වා අඩු වී තිබෙනවා. මීටත් වඩා කැපී පෙනෙන්නේ මෙම කාලය තුළ සේවා නියුක්ති සංයුතියේ සිදු වූ වෙනස් වීමයි.

රාජ්‍ය අංශය:
2000- 2,088,531 (59.05%)
2021- 978,200 (6.61%)

රාජ්‍ය නොවන දේශීය:
2000- 1,040,902 (29.43%)
2021- 8,604,400 (58.14%)

විදේශීය:
2000- 407,565 (11.52%)
2021- 1,044,851 (18.11%)

දැනටත් වියට්නාම් රජය සතුව ව්‍යවසාය සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. 2021 වන විට මෙම ප්‍රමාණය 1,906ක්. එහෙත්, එම රාජ්‍ය ව්‍යවසාය වලින්ද වියට්නාම් රජයට පූර්ණ අයිතියක් තිබෙන්නේ ව්‍යවසාය 877ක පමණයි. ඉතිරි ව්‍යවසාය 1,029හිද 50% නොඉක්මවන කොටස් යම් ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින්ට විකුණා අවසන්. 

වියට්නාම් රජය ඉතිරි රාජ්‍ය ව්‍යවසාය සියල්ල හැකි ඉක්මනින් මොන විදිහකින් හෝ විකුණා දැමීමේ ඉලක්කයක නැහැ. උපාය මාර්ගිකව වැදගත් සේ හඳුනා ගන්නා ක්ෂේත්‍ර වල රාජ්‍ය ව්‍යවසාය වල කළමනාකරණ අයිතිය ඉක්මනින් අත නොහැර 50%ක කොටස් අයිතිය දිගටම තබා ගැනීමේ උත්සාහයක වියට්නාම් රජය නිරතව සිටිනවා. එහෙත්, මෙම ප්‍රවේශය ආයෝජකයින්ට ආකර්ශනීය නැහැ. ප්‍රායෝගිකව මේ වන විට පවතින තත්ත්වය වනුයේ ඉතිරි වී තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල කොටස් පහසුවෙන් විකිණිය නොහැකි වීමයි. 

පහත තිබෙන්නේ පසුගිය කාලයේදී වියට්නාම් රජය විසින් "කොටස්කරණය" කළ, එහෙත් තවමත් රජය සතුව වැඩි හෝ සැලකිය යුතු කොටස් අයිතියක් තිබෙන, රාජ්‍ය ව්‍යවසාය දහයක්.

වියට්කොම් බැංකුව (Vietcombank): ඩොලර් බිලියන 15 ඉක්මවන වටිනාකමක් ඇති, විසි දහසකට වැඩි පිරිසක් සේවය කරන බැංකුවක්.  2008 වසරේදී රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙම බැංකුවේ කොටස් සාර්ථක ලෙස වෙන්දේසි කරනු ලැබුවා.

වියටින් බැංකුව (Vietinbank): ඩොලර් බිලියන 75 ඉක්මවන වත්කම් ඇති වියට්නාමයේ දෙවන විශාලතම බැංකුවයි. තවමත් මෙහි වැඩි කොටස් අයිතිය වියට්නාමයේ මහ බැංකුවට වුවත් මෙම බැංකුවද 2009දී කොටස්කරණය කරනු ලැබුවා. සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ජපානයේ මිට්සුබිෂි සමාගම සතුයි.

බාඕ වියට් (Bao Viet): වියට්නාමයේ ලොකුම රක්ෂණ සමාගමයි. 2007දී "කොටස්කරණය" කළ මෙම සමාගමේ කොටස් HSBC සහ ජපානයේ සුමිටෝමෝ රක්ෂණ සමාගම සතුයි.

වියට්නාම් වානේ සංස්ථාව: වියට්නාමයේ විශාලතම වානේ නිෂ්පාදකයා වන මෙම ආයතනය 2010 වසරේදී කොටස්කරණය කරනු ලැබුවා.

වියට්නාම් ඖෂධ සංස්ථාව (විනාපාර්ම්): වියට්නාමයේ විශාලතම ඖෂධ සමාගමයි. 1971දී ආරම්භ කළ මෙම ආයතනයේ කොටස් 2016දී වෙන්දේසි කෙරුණා.

වියට්නාම් එයාර්ලයින්ස්: වැඩි අයිතිය තවමත් රජයට වුවත් 2014 වසරේදී කොටස්කරණය කළා. 

පෙට්‍රොලිමෙක්ස් (Petrolimex) සමාගම: වියට්නාමයේ ප්‍රධානම ගෑස් හා තෙල් නිෂ්පාදන සමාගමයි. මුලින්ම 2011 වසරේදී කොටස්කරණය කරනු ලැබූ අතර පසුව තවත් කොටස් විකුණා දමනු ලැබුවා.

විනාමිල්ක්: කලකට පෙර 1976 වසරේදී මධ්‍යගත සැලසුම් ආර්ථික ප්‍රතිපත්ති යටතේ නෙස්ලේ සමාගම ඇතුළු පෞද්ගලික කිරි නිෂ්පාදන සමාගම් තුනක් රජයට පවරාගෙන වියට්නාමයේ ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය බවට පත් වුනා. මේ වන විට මෙම සමාගමේ වැඩි කොටස් අයිතිය විදේශ සමාගම් සතුයි. රජය සතුව ඇති කොටස් ප්‍රමාණය 36%ක් පමණයි. 

සැබෙකෝ (Sabeco): වියට්නාමයේ ප්‍රධාන බීර නිෂ්පාදන සමාගමයි. 2008 වසරේදී කොටස්කරණය කළ මෙම සමාගමේ කොටස් වලින් 36%ක් තවමත් රජය සතුයි. වැඩි කොටස් අයිතිය තායි සමාගමකටයි. 

හබෙකෝ (Habeco): මෙය වියට්නාමයේ තෙවන විශාලතම බීර නිෂ්පාදන සමාගමයි. තවමත් වැඩි කොටස් අයිතිය රජයට වුවත් කාල්ස්බර්ග් සමාගමට සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් විකුණා දමා තිබෙනවා.

වියට්නාමය ඒක පුද්ගල ආදායම අනුව ලංකාව සිටින මට්ටමට පැමිණ තිබෙන්නේ ලිපියේ ඉහත විස්තර කර ඇති මට්ටමේ පෞද්ගලීකරණයක් කරමිනුයි. කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් මෙම පෞද්ගලීකරණ ක්‍රියාවලිය දිගටම සිදු වෙමින් පවතින්නක්. වියට්නාමයට දැන් සිටින තැනින්, ඒ කියන්නේ ලංකාව සිටින තැනින්, ඉදිරියට යද්දී රාජ්‍ය අංශය තව දුරටත් දිය වෙන බව ඉතාම පැහැදිලියි. ඉගෙනගන්නවානම් "රතු වියට්නාමයෙන්" වුනත් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. 

Wednesday, January 17, 2024

වියට්නාමයේ ආදායම් විෂමතා හා ඉදිරි සැලසුම්

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ධනවාදී ප්‍රවේශය වන්නේ ධනය උත්පාදනය කළ හැකි අයට ඒ සඳහා හැකි පමණින් පහසුකම් සැලසීම මගින් පොදුවේ රටක ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමයි. ධනය උත්පාදනය කළ හැකි අයට එසේ කිරීමේදී ඇති වන බාධක හැකි පමණින් ඉවත් කර දීමයි. මෙයින් වෙනස්ව, සමාජවාදී ප්‍රවේශයේදී ආදායම් විෂමතා අවම කිරීම ප්‍රමුඛතාවයක් ලෙස සලකනවා.

පසු ගිය ලිපි කිහිපයකින්ම අපි වියට්නාමය ගැන කතා කළා. සමාජවාදී පාරේ ගිය කියුබාව, වෙනිසියුලාව වැනි රටවල් ගැන දැන් කවුරුවත් කතා නොකරන තරම්. නමුත් චීනය, වියට්නාමය වැනි රටවල් ගැන යම් සාකච්ඡාවක් සිදු වෙනවා. ඉන්දියාව හා චීනය වැනි විශාල රටක ආර්ථික ප්‍රතිපත්ති ලංකාව සමඟ සංසන්දනය කරන්න අමාරුයි. ඊට සාපේක්ෂව වියට්නාමය කියන්නේ ලංකාව සමඟ සංසන්දනය කළ හැකි ආර්ථිකයක් තිබෙන, එහෙත් කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති රටක්. 

අවසාන වශයෙන් වියට්නාමය විසින් ලබා තිබෙන ජයග්‍රහණය වියට්නාම් ජාතිකයින්ගේ ජීවන තතත්ත්වය ලංකාවේ මට්ටමට ඔසොවා තැබීම වුවත්, එය එරට ආර්ථික ප්‍රතිපත්ති වල සාර්ථකත්වය පිළිබඳ පිළිබිඹුවක් ලෙස අර්ථකථනය කළ හැකියි. මෙය සිදු වන්නේ වෙනස් දේශපාලන ආකෘතියක් ඇතුළතයි. එහි අමතර වාසි තිබේද? එසේ තිබේනම් ඒ මොනවාද?

අප දන්නා පරිදි ලංකාවේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විෂමතා තිබෙනවා. ඇතැම් අය මෙය නිවැරදි කළ යුතු වරදක් සේ දකිනවා. අපගේ අදහස වන්නේ ආදායම් විෂමතා අවම කිරීම ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉලක්කයක් නොවිය යුතුය යන්න නොවෙයි. පැහැදිලි ලෙසම අප ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ඉලක්කය තුළ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ තිබෙන වියට්නාමය ලංකාවට වඩා කොයි තරම් සාර්ථක වී තිබේද?

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ වියට්නාමයේ එක් එක් පළාතේ ඒක පුද්ගල ආදායම. Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායම ඩොන් මිලියන 357ක්. ඒ කියන්නේ ඩොලර් 15,500ක් පමණ. Ha Giang පළාතට යද්දී මෙය ඩොන් මිලියන 33ක් පමණ දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ ඩොලර් 1,450ක් පමණ. මෙය Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායමෙන් 9.4%ක් පමණයි. සුළු පටු විෂමතාවයක් නෙමෙයි.

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ධනය උත්පාදනය වන තැන ධනය උත්පාදනය වීමට ඉඩ සලසන්න මිසක් රටේ හැම පළාතක්ම එක සමානව දියුණු කරන්න නෙමෙයි. වියට්නාමයේ ආර්ථික ජයග්‍රහණ වල රහස එහි විදේශ ආයෝජන. මේ ආයෝජන සිදු කරන ආයෝජකයින් විසින් එසේ ආයෝජන කරන්නේ ඒ සඳහා වඩාත්ම යෝග්‍ය ප්‍රදේශ වල මිසක් වියට්නාම් රජයට අවශ්‍ය තැන් වල නෙමෙයි. වියට්නාමයේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඒ බව නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා.

වියට්නාමයේ ආයෝජකයින් එරටට ආකර්ශනය වී තිබෙන්නේ ලාබ ශ්‍රමය නිසා. වියට්නාම් රජය විසින් කරන්නේ ඔවුන්ට තම රටෙන් ලාබ ශ්‍රමය ලබා ගැනීමට පහසුකම් සලසන එකයි. දේශපාලනිකව හරි වුනත්, වැරදි වුනත් කරුණු සහගතව පෙන්වා දිය හැකි පරිදි වියට්නාමයේ සිදු වන්නේ මෙයයි. එම ආයෝජන නිසා වියට්නාමයට විදේශ විණිමය ලැබෙනවා වගේම එසේ ලැබෙන විදේශ විණිමය වලින් සැලකිය යුතු පංගුවක් එම ආයෝජකයින්ගේ ලාබ ලෙස වාර්ෂිකව රටෙන් එළියට යනවා. මේ හා අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛණ ඉදිරි ලිපියක ඉදිරිපත් කෙරෙනු ඇති. 

වියට්නාමයේ සෘජු ආයෝජන හරහා ඉහළ ගොස් ඇති නිෂ්පාදිතයෙන් රටේ ඉතිරි වන්නේ ශ්‍රමිකයින්ගේ පංගුවයි. එම පංගුවෙන් ඔවුන් ඉතිරි කර ගන්නා කොටස දේශීය ආයෝජන බවට පත් වෙනවා. ඒ හරහා රට තුළ ප්‍රාග්ධනය ගොඩනැගීමක්ද වෙනවා. ඊට අමතරව, වියට්නාමයට වෙනත් ආකාරයකින් පහසුවෙන් ලබා ගත නොහැකි තාක්ෂනය මේ විදේශ ආයෝජන හරහා ඉක්මණින් ලැබෙනවා.

ආයෝජන කලාප ආදිය හරහා රටක රජයකට කිසියම් ආකාරයකින් රට තුළ ආයෝජන සිදු කෙරෙන ආකාරය පාලනය කළ හැකි වුවත්, කවර පහසුකම් ලබා දුන්නත් ඒ හේතුව නිසාම ආයෝජකයින් රටේ ඕනෑම තැනකට එන්නේ නැහැ. ආයෝජකයින් හොයන්නේ ඔවුන්ට සාපේක්ෂව ප්‍රසස්තම තැනක්.  Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායම ඉහල මට්ටමක තිබෙන්නේ එම පළාත වියට්නාමයේ ඉන්ධන හා විදුලිබල නිෂ්පාදන කර්මාන්ත වල කේන්ද්‍රය වීම නිසා වගේම සෘජු විදේශ ආයෝජන වල හා සංචාරක කර්මාන්තයේද දායකත්වය නිසා. මේවා ඉල්ලුම මත තීරණය වන දේ මිසක් රජයට කැමති විදිහට සැලසුම් කළ හැකි දේ නෙමෙයි. මෙයින් වෙනස්ව චීනයට මායිම්ව පිහිටි කඳුකර, කැලෑබද, පළාතක් වන  Ha Giang තවමත් කෘෂිකාර්මික ප්‍රදේශයක්. 

මේ වෙනස්කම් වගේම ඓතිහාසික තත්ත්වයන්ද පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විෂමතා වලට හේතු වෙනවා. උතුරු වියට්නාමය හා දකුණු වියට්නාමය එකතු වෙන්න කලින් Ha Giang පළාත උතුරු වියට්නාමයේ කොටසක්. නමුත්,  Ba Ria - Vung Tau පළාත ඒ කාලයේ බටහිර කඳවුර සමඟ සිටි දකුණු වියට්නාමයේ කොටසක්. මේ වගේ ඓතිහාසික වෙනස්කම් මිනිසුන්ගේ ආකල්ප කෙරෙහිද බලපානවා.

කොහොම වුනත් වැදගත්ම කරුණ වන්නේ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය විසින් මේ වන විට උත්සාහ කරන්නේ ආදායම් ඉපැයිය හැකි තැන් වලින් හැකි තරමින් ආදායම් උපයන්න මිසක්, රටේ ආදායම් විෂමතා අවම වන පරිදි එය කරන්න නෙමෙයි. 2045දී වියට්නාමය සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය ඔවුන් සාක්ෂාත් කර ගන්න යන්නේ පෞද්ගලික අංශය මුල් වූ ආර්ථික ක්‍රියාකාරකම් හරහා මිසක් රජය සෘජුව ආර්ථික ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම මගින් නෙමෙයි.

පහත කොටස් උපුටා පළ කරන්නේ ඉතා මෑතකදී (2023 ඔක්තෝබර් 10) වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් සම්මත කළ වියට්නාම් ව්‍යවසායකයින් බලගැන්වීම ඉලක්ක කර ඇති ප්‍රතිපත්ති තීරණයකින්.

"Over the past 37 years of free-market reforms, the Vietnamese business community has not only expanded in numbers but has also demonstrated remarkable qualitative advancements. With over 1.3 million newly registered enterprises from 2011 to 2022, constituting 69.11% of total establishments since the introduction of the enterprise law, the current landscape boasts over 900,000 businesses, more than 5 million business households..."

මතක තියාගන්න මෙහි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් කියන්නේ නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ ගැන මිසක් වෙළඳපොළ වෙත රජය මැදිගත්වීමක් ගැන නෙමෙයි. වියට්නාමය යන්නේ ලංකාව සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ ගිය පාරේම තමයි. හැබැයි ඒ ගිය පැත්තට නෙමෙයි. ප්‍රතිවිරුද්ධ පැත්තට!

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන්නේ පෙර නිකුත් කර තිබුණු ප්‍රතිපත්ති ප්‍රකාශයක් අවලංගු කරමිනුයි. එහි අනාගත වියට්නාමය තුළ පෞද්ගලික අංශයේ භූමිකාව ගැන කියවෙන්නේ මෙවැනි දෙයක්.

"The government’s recent resolutions on economic development aimed to foster economic groups, with a particular emphasis on nurturing formidable private economic entities. As Vietnam sets its sights on achieving 1.5 million enterprises by 2025, including 60,000 to 70,000 medium and large-scale enterprises, the goal for 2030 is to establish at least 2 million businesses. The aim is to develop robust private economic groups with the potential for competitiveness in both domestic and international markets."

"In pursuit of creating leading enterprises with global competitiveness, adept at mastering domestic value chains and integrating into the global value chain,... involves fostering a unified awareness and ideology regarding private economic development, acknowledging its pivotal role in driving economic progress. An essential aspect of this initiative involves refining the legal framework for economic group development, including clearly defining the legal nature and model of economic groups, refining the nomenclature for private economic groups, and enhancing legal solutions for capital mobilization, accumulation, and concentration for private economic corporations."

මෙහි කතා කරන්නේ ලෝකය සමඟ තරඟ කළ හැකි පෞද්ගලික සමාගම් ගැනයි. සමාජවාදී පාරේ ගොස් ආපසු එමින් සිටින වියට්නාමය දැන් උත්සාහ කරන්නේ හැකි තරම් ඉක්මණින් එරට ආර්ථික ක්‍රියාකාරකම් පෞද්ගලික අංශය වෙත විතැන් කිරීමටයි. මෙහි පසුබිම විස්තර කරමින් ඔවුන් විස්තර කරන්නේ "රටේ දියුණුව වෙනුවෙන් පෞද්ගලික අංශය මුල් වූ ආර්ථික ක්‍රියාකාරකම් කොයි තරම් වැදගත්ද කියන එක මේ වෙද්දී පක්ෂයේ සාමාජිකයින් හා නායකයින් තේරුම් අරගෙනයි ඉන්නේ" කියන එකයි.

"It recognizes that the Party committees, Party organizations, and political and social systems have improved their awareness of the importance of enterprise and entrepreneur development."

ඇතැම් අය වියට්නාමය විසින් අතහැර දමා ඇති අතීත ප්‍රතිපත්ති වැළඳ ගැනීමේ අනුරාගයකින් පෙළෙද්දී, වියට්නාමය විසින් කරන්නේ තමන්ගේ පරණ ප්‍රතිපත්ති වලින් ටිකෙන් ටික බැහැර වෙමින් වෙළඳපොළ වෙතත්, පෞද්ගලික අංශය මුල් වූ ආර්ථිකයක් වෙතත්, වඩ වඩා නැඹුරු වෙමින් ආර්ථිකය මත රාජ්‍ය අංශයේ බලපෑම් ක්‍රමයෙන් ඉවත් කරන එකයි.

Tuesday, January 16, 2024

ලෝකයට විවෘත වූ වියට්නාමය

වියට්නාම් සමාජවාදී ජනරජය හෙවත් කෙටියෙන් වියට්නාමය කියා කියන්නේ, එරට විසින් කාලයක් තිස්සේ අනුගමනය කළ මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් විදිහට, අර එක්තරා දේශපාලනඥයෙකුගේ වචන වලින් කිවුවොත්, "කුල්ල කුජීත වී" සිටි රටක්. රටේ ජනතාවගෙන් 60%ක් දරිද්‍රතාවයෙන් පෙළුණු, උද්ධමනය 400% ඉක්මවා තිබුණු, විදුලි බලය නැතිව නිරන්තරයෙන් අඳුරේ සිටින්නට සිදුව තිබුණු, සලාක ක්‍රමයට පමණක් හාල් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි වූ, එවකට ලෝකයේ දිළිඳුතම රටක් වූ වියට්නාමය චීනයේ ආර්ථික වර්ධන වේගයට පමණක් දෙවෙනි වූ වේගයකින් වර්ධනය වී ලංකාවේ තරමටම ඒක පුද්ගල ආදායමක් උපයන රටක් බවට පත් වුනේ කොහොමද? 

මේ වෙනසේ ආරම්භය 1986දී සිදු වූ "ඩොයි මූයි" ලෙස හැඳින්වෙන ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටේ ඇති වූ වෙනසයි. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ හයවෙනි ජාතික කොන්ග්‍රසය තුළ අනුමත වී ක්‍රියාත්මක කෙරුණු මෙම ප්‍රතිසංස්කරණ වල නිල අරමුණ වූයේ වියට්නාමය "සමාජවාදය වෙත නැඹුරු වූ වෙළඳපොළ ආර්ථිකයක්" බවට ක්‍රමයෙන් පරිවර්තනය කිරීමයි. 

අද වන තුරුද වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ තිබෙන වියට්නාම් සමාජවාදී ජනරජය දේශපාලනික වශයෙන් තව දුරටත් සමාජවාදී රටක්. එහෙත්, ඉහත සඳහන් "ඩොයි මූයි" ලෙස හැඳින්වෙන ප්‍රතිසංස්කරණ වලින් පසුව, එරට ආර්ථිකය ක්‍රමයෙන් ලෝකයට විවෘත, වෙළඳපොළ ආර්ථිකයක් කරා පරිවර්තනය වී තිබෙනවා.

සෝවියට් සමාජවාදී ක්‍රමයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ආනයන සම්බන්ධ ප්‍රතිපත්තිය වූයේ රටේ හදා ගත හැකි දේ රට තුළ හදා ගන්නා අතර රටේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කිරීම ලෙස දළ වශයෙන් විස්තර කළ හැකියි. "ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලට පෙර වියට්නාමයේ ක්‍රියාත්මක වූයේද, සමගි පෙරමුණු යුගයේ ලංකාවේ ක්‍රියාත්මක වූයේද, මෙම ප්‍රතිපත්තියයි. 

විශාල රටක් වූ සෝවියට් දේශයට ඉහත ප්‍රතිපත්තිය නිසා විශාල හානියක් වූයේ නැහැ. ආර්ථිකය විවෘතව පැවතියේ වුවද එවැනි විශාල රටකට අවශ්‍ය බොහෝ දේ එරට තුළම නිපදවා ගැනීම සාමාන්‍ය තත්ත්වය විය හැකිව තිබුණා. වත්මන් ඇමරිකාව දෙස බැලූ විට මෙය පැහැදිලි වෙනවා. නමුත්, මේ විදිහේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියකින් වියට්නාමය ඇතුළු වෙනත් ගොඩක් රටවල ආර්ථිකයන් එක තැන පල් වෙමින් අර්බුදයට යන එකයි වුනේ. එවැනි රටවල් "පණ බේරා ගත්තේ" සෝවියට් දේශයෙන් එක දිගටම ලැබුණු ආධාර වලින්. වියට්නාමය "ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලින් පටන් අරගෙන රට ලෝකයට සම්බන්ධ කරන්නේ ඔය වගේ පසුබිමකයි. 

රටක ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරද්දී වැදගත් වෙන්නේ ඒ රටේ නමට "සමාජවාදී" කෑල්ලක් තියෙනවද, පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන්ද වගේ දේවල් වලට වඩා ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඇත්තටම වෙන්නේ කුමක්ද කියන එකයි. රටේ නමේ "සමාජවාදී" කෑල්ල තිබුණත්, කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ තිබුණත්, වියට්නාමය මධ්‍යගත සැලසුම් ක්‍රමයේ සිට, වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරමින් සෑහෙන දුරක් ඇවිත් තිබෙනවා. රට අද තිබෙන තැනට ඇවිත් තියෙන්නේ මේ විදිහට කරපු ප්‍රතිසංස්කරණ නිසා.

"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලින් අවුරුදු කීපයක් යද්දී රටට රූපවාහිණී, රෙදි සෝදන යන්ත්‍ර ආදිය එනවා. පෞද්ගලික ව්‍යාපාර ආරම්භ වෙනවා. ඒ එක්කම රටට සෘජු විදේශ ආයෝජන ගලා ගෙන එනවා. 

"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වල පළමු ඉලක්කය රටේ සාර්ව ආර්ථිකය ස්ථායී කරන එක. හරියට ලංකාවේ දැන් සිද්ධ වෙනවා වගේ. මේ දේවල් වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතුවයි. ඒ අනුව, මිල පාලනයන් ටිකෙන් ටික ඉවත් වෙනවා. පොලී අනුපාතික ඉහළ දැමෙනවා. අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය වලට ලබා දුන් සහනාධාර ඉවත් කෙරෙනවා. වියට්නාම් මුදල් ඒකකය වන ඩොං එක සැලකිය යුතු ලෙස අවප්‍රමාණය කෙරෙනවා. 

ඔව්. මේක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාන්‍ය ප්‍රතිකාර වට්ටෝරුව. මේ වට්ටෝරුව ක්‍රියාත්මක වෙන්නේ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ. ඒ කරපු දේවල් වල යහපත් ප්‍රතිඵල තමයි වියට්නාමය අද අත් විඳින්නේ. මේ කරපු දේවල් නිසා 300%-400% වගේ මට්ටමක තිබුණු උද්ධමනය 8% මට්ටම දක්වා පහත වැටෙනවා. එය අලුත් පටන් ගැන්මක්.

මුලින්ම කෘෂිකාර්මික අංශයේ ප්‍රතිසංස්කරණ වලට වැඩි අවධානයක් යොමු කෙරෙනවා. සමූහ ගොවිපොළ විසුරුවා හැරලා ඉඩම් ප්‍රතිසංස්කරණ හරහා පෞද්ගලික අයිතිය මත පදනම් වූ ක්‍රමයක් වෙත විතැන් වෙනවා. රාජ්‍ය ව්‍යවසාය වලට මධ්‍යගත සැලසුමෙන් නිදහස් වී නිෂ්පාදනය, මිල හා බඳවා ගැනීම් ගැන තීරණය කරන්න ඉඩ ලැබෙනවා. ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙද්දී නිෂ්පාදනය දිරිමත් වී කෘෂිකාර්මික අංශය පණ ගසා නැගිටිනවා.

කෘෂිකාර්මික අංශය ඔලුව උස්සාගෙන එද්දී රටේ ආහාර ප්‍රශ්නය විසඳෙනවා. ඊට පස්සේ දෙවන ඉලක්කය වන්නේ වියට්නාමය ලෝකය එක්ක ඒකාබද්ධ කරන එක. මෙය ඉලක්ක කර ගනිමින් වියට්නාමය විසින් වෙළඳ ගිවිසුම් ගණනාවක් අත්සන් කරනවා. රටට සෘජු විදේශ ආයෝජන ගලා ගෙන එනවා. ඒ වගේම රටේ ඇතැම් ව්‍යාපාර රටෙන් එළියටත් යනවා. අද වන විට වියට්නාමය ලෝකයේ විවෘතම රටවල් වලින් එකක්.

රටක අපනයන වැඩි කර ගන්නනම් ආනයන ප්‍රමාණයද ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා. ආනයන වලට වැට බඳිමින් අපනයන දියුණු කරන්න බැහැ. 1988දී වියට්නාමයේ භාණ්ඩ හා සේවා ආනයන වියදම එරට දදේනියෙන් 15.0%ක් පමණයි. 2022 වන විට මෙය දදේනියෙන් 91.7%ක් වෙලා. ආනයන වියදම මේ තරම් ඉහළ යද්දී, රටකට විදේශ විණිමය ප්‍රශ්න එන්නේ නැද්ද?

කිසිසේත්ම නැහැ. 1988දී වියට්නාමයේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම එරට දදේනියෙන් 3.9%ක් පමණයි. 2022 වන විට මෙම අගය දදේනියෙන් 94.0%ක් වෙලා. ඒ කියන්නේ, 1988දී දදේනියෙන් 11.1%ක් වූ විදේශ අංශයේ සම්පත් හිඟය, 2022 වන විට දදේනියෙන් 2.3%ක සම්පත් අතිරික්තයක් බවට පත් වෙලා. වියට්නාම් නිදර්ශනයෙන් පැහැදිලිව පෙනෙන්නේ රටක විදේශ අංශය ශක්තිමත් කර ගත හැක්කේ ආනයන පාලනය කිරීමෙන් නොව වඩ වඩා විවෘත වීමෙන් බවයි. 

වියට්නාමය හෝ ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක කවර තත්ත්වයක් යටතේ වුවත් හදාගත නොහැකි දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. ඉන්ධන නැති රටකට අනිවාර්යයෙන්ම ඉන්ධන ආනයනය කරන්න වෙනවා. මේ වගේ අනිවාර්ය ආනයන සඳහා විදේශ විණිමය අවශ්‍යයි. නමුත් ලංකාව වගේ කුඩා රටකින් වෙනත් රටකට අනිවාර්යයෙන්ම ආනයනය කළ යුතු දේවල් නැති තරම්. ඒ නිසා, "පුළුවන් හැම දෙයක්ම හදා ගෙන බැරි දේවල් පමණක් ආනයනය කිරීමේ" ක්‍රමයෙන් අත් වෙන ප්‍රතිඵලය දිගින් දිගටම පවතින විදේශ සම්පත් හිඟයක්.

ලංකාවට ආනයනය කරන දේවල් වලට ලංකාවෙන් අපනයනය කරන යෙදවුම් අවශ්‍ය වන්නේ නැති තරම්. ඒ කියන්නේ ලංකාවේ ආනයන වල අගය එකතු කිරීමෙන් 100%ක්ම වගේ සිදු වන්නේ රටින් පිටතයි. නමුත් ලංකාවේ අපනයන නිෂ්පාදන කොයි එකක් ගත්තත් යම් ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. 100%ක දේශීය අගය එකතු කිරීමක් සිදු වන අපනයන මේ වෙද්දී නැති තරම්. ඒ නිසා අපනයන වලින් අවශ්‍ය පමණ ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැක්කේ ආනයන මෙන්ම අපනයනද ගොඩක් විශාල මට්ටමකට ඉහළ ගියහොත් පමණයි. 

පෙර සටහනේ පෙන්වා දුන් පරිදි වියට්නාමයේ ආයෝජනය හා පරිභෝජනය දදේනියෙන් 96.3%ක් පමණ. අනෙක් පැත්තෙන් රටේ ආනයන දදේනියෙන් 91.7%ක්. ඒ කියන්නේ, රටේ ආයෝජනය හා පරිභෝජනය තනිකරම ආනයන වගේ තත්ත්වයක්. හැබැයි අනෙක් අතට අපනයන රටේ දදේනියෙන් 94.0%ක්. මෙයින් පැහැදිලි වන පරිදි වියට්නාමය විසින් කරන්නේ රටට අවශ්‍ය දේ පිටින් ගේන අතර වෙනත් අයට අවශ්‍ය දේ රටේ හදනවා වගේ වැඩක්. එහෙම නැතුව රටට අවශ්‍ය දේ රටේ හදන එක නෙමෙයි.

සමහර අය නිෂ්පාදන ආර්ථිකයක් කියන එකෙන් අදහස් කරන්නේ රටේ හැදිය හැකි හැම දෙයක්ම රටේම හදා ගන්නා ක්‍රමයක්. ඒ කියන්නේ වියට්නාමය විසින් කාලයකට පෙර අත හැර දමපු ක්‍රමය. වියට්නාමය අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. තරඟකාරීත්වය පවත්වා ගැනීම මගින්.

Sunday, January 14, 2024

වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකය


පෙර ලිපි දෙක වගේම මේ ලිපියත් වියට්නාමයේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය අතර සංසන්දනාත්මක විග්‍රහයක්. අද ලිපියෙන් අපි පහත ප්‍රශ්න තුන මුල් කරගෙන කරුණු විමසා බලමු. 

1. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්ද? එයින් වෙනස්ව, ලංකාවේ ආර්ථිකය සේවා ආර්ථිකයක්ද?

2. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්නම්, එහි හොඳ හා නරක මොනවාද?

3. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්නම් සහ ලංකාවේ ආර්ථිකය සේවා ආර්ථිකයක්නම් එය එසේ වී තිබෙන්නේ ඇයි? මේ වෙනසට හේතුව රාජ්‍ය ප්‍රතිපත්තිද?

පළමු ප්‍රශ්නය ගැන අපි පෙර ලිපි වලින්ද සාකච්ඡා කළා. එහෙත්, වඩා හොඳ පිළිතුරක් හොයා ගැනීම සඳහා අපි තවත් ටිකක් ගැඹුරට අදාළ දත්ත දෙස බලමු.

පහත තිබෙන්නේ වියට්නාමයේ 2022 දදේනිය සඳහා විවිධ ආර්ථික ක්‍රියාකාරකම් වල දායකත්වය. උපුටා ගන්නේ කෙළින්ම වියට්නාමයේ නිල සංඛ්‍යාලේඛණ වලින්.

කෘෂිකර්මය, වනවගා සහ ධීවර කර්මාන්තය - 11.88%

කැණීම් සහ ගල් කැඩීම් - 2.82%

නිෂ්පාදන කර්මාන්ත - 24.76%

විදුලිය, ගෑස්, වායු සමීකරණ ආදිය - 4.00%

ජලය හා අපජලය බැහැර කිරීම - 0.49%

ඉදි කිරීම් - 6.20%

තොග සහ සිල්ලර වෙළඳාම - 9.62%

ප්‍රවාහනය හා ගබඩා පහසුකම් - 4.65%

නවාතැන් හා ආහාරපාන සේවා - 2.27%

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ සේවා - 3.51%

මූල්‍ය හා රක්ෂණ - 4.76%

නිවාස හා දේපොළ - 3.46%

වෘත්තීය සේවාවන් - 2.15%

රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව - 3.15%

අධ්‍යාපනය - 3.74%

සෞඛ්‍යය - 2.69%

අනෙකුත් පෞද්ගලික සේවාවන් - 1.33%

ශුද්ධ බදු - 8.53%


දැන් අපි ලංකාවේ 2022 දදේනියද මේ කාණ්ඩ යටතේම වර්ග කර සංසන්දනය කරමු. 

කෘෂිකර්මය, වනවගා සහ ධීවර කර්මාන්තය - 8.75%

කැණීම් සහ ගල් කැඩීම් - 1.87%

නිෂ්පාදන කර්මාන්ත - 19.59%

විදුලිය, ගෑස්, වායු සමීකරණ ආදිය -0.62%

ජලය හා අපජලය බැහැර කිරීම - 0.22%

ඉදි කිරීම් - 7.96%

තොග සහ සිල්ලර වෙළඳාම - 13.83%

ප්‍රවාහනය හා ගබඩා පහසුකම් - 10.55%

නවාතැන් හා ආහාරපාන සේවා - 1.45%

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ සේවා - 2.17%

මූල්‍ය හා රක්ෂණ - 6.78%

නිවාස හා දේපොළ - 4.11%

වෘත්තීය සේවාවන් - 1.79%

රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව - 4.24%

අධ්‍යාපනය - 1.89%

සෞඛ්‍යය - 1.94%

අනෙකුත් පෞද්ගලික සේවාවන් - 7.09%

ශුද්ධ බදු - 4.87%

මගේ නිරීක්ෂණයනම් මෙම සංයුතීන් අතර අසමානකම් වලට වඩා සමානකම් වැඩි බවයි. ලංකාවේ මෙන්ම වියට්නාම් ආර්ථිකයේද ලොකුම කොටස සේවා ආර්ථිකයයි. එහෙත් ලංකාවේ ආර්ථිකයේ සේවා අංශ වල පංගුව වඩා විශාලයි. විශේෂයෙන්ම බැංකු, රක්ෂණ, තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය ආදී අතරමැදි සේවා වල පංගුවේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබෙනවා.

වියට්නාම් රජය විසින් එහි නිෂ්පාදන ආර්ථිකයේ පංගුව ලෙස හඳුනා ගන්නා කොටස දදේනියෙන් 24.76%ක්. ලංකාවේ එම පංගුව ඊට වඩා තරමක් අඩුයි. එය දදේනියෙන් 19.59%ක් පමණයි. මෙම වෙනස මත පදනම්ව, ඔය සංඛ්‍යා දෙක අතර ඉරක් ඇඳ, වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් ලෙසත්, ලංකාවේ ආර්ථිකය එසේ නොවන සේවා ආර්ථිකයක් ලෙසත් වර්ග කිරීම නිවැරදියි කියා මා සිතන්නේ නැහැ. එහෙත්, ලංකාවේ ආර්ථිකයට සාපේක්ෂව බැලුවොත් වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බව කරුණක් ලෙස ඇත්තක්.

මෙවැනි වෙනසක හොඳ හෝ නරක මොනවාද? 

ඒකීය පුද්ගල මට්ටමෙන් බැලුවොත් වඩා වැදගත් වන්නේ මොන විදිහකින් හෝ ලැබෙන ආදායමයි. පුද්ගල ශුභ සිද්ධිය ඉහළ යන්නේ ලැබෙන ආදායම ඉහළ යන තරමටයි. ආදායම ඉහළ යන තරමට පරිභෝජනය වැඩි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, අනාගත පරිභෝජනය වෙනුවෙන් වැඩියෙන් ආයෝජනය කිරීමටද ඉඩ ලැබෙනවා. පුද්ගල ආදායම ඔය කොටස් දෙක අතර බෙදී යද්දී, රටේ විදේශ අංශය තුලිතනම්, රටේ දදේනියද ආයෝජනය හා පරිභෝජනය අතර බෙදී යනවා. 

මොන විදිහකින් හෝ වියට්නාමය මෙන්ම ලංකාවද ආසන්නව සමාන ඒකීය පුද්ගල ආදායම් මට්ටමක් කරා පැමිණ තිබෙනවා. ඒ තුළ, වියට්නාමයේදී නිෂ්පාදන ආර්ථිකයේ පංගුව තරමක් වැඩියි. එහෙත්, ලංකාව සේවා ආර්ථිකයේ පංගුව වැඩි කර ගැනීම මගින් එම අඩුව පුරවාගෙන තිබෙනවාක් මෙන්ම ඒක පුද්ගල ආදායම අනුව පසුගිය වසර දක්වාම වියට්නාමයට් වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ අනුව, පසුගිය වසරේදී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම පැත්තකින් තිබ්බොත්, ලංකාවේ ප්‍රවේශය වියට්නාමයේ ප්‍රවේශයට වඩා සාර්ථක වී තිබෙනවා. පූසා මීයන් අල්ලනවානම් ඇඟේ පාට කළු වැඩිද සුදු වැඩිද කියන එක එතරම් වැදගත් නැහැ.

කොහොම වුනත්, 2022 වසරේදී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණා. වියට්නාමයේ එවැන්නක් සිදු වුනේ නැහැ. නියම පාරේ යාම මගින් ලංකාවට වැටුණු වලෙන් ගොඩ පැමිණ නැවතත් වියට්නාමය සමඟ කරට කර ඒක පුද්ගල ආදායම් මට්ටමකට ඉතා ඉක්මණින් ලඟා වීමේ ශක්‍යතාවයක් තිබෙනවා. එහෙත්, වියට්නාම් ආර්ථිකය දිගටම වර්ධනය වෙද්දී ලංකාවේ ආර්ථිකය එසේ වර්ධනය නොවී කඩා වැටුණේ ඇයි කියා විමසා බැලිය යුතුයි.  

සමස්තයක් ලෙස දදේනිය හා ඒක පුද්ගල ආදායම දෙස නොබලා, ආර්ථිකයේ විදේශ අංශය දෙස වැඩි අවධානයක් යොමු කර බැලූ විට, දෙරට ආර්ථිකයන්හි වෙනස්කම් හා අදාළ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි. ලංකාවට සාපේක්ෂව, වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකය අපනයන ඉලක්ක කළ එකක්. 

පළමුව අපි ලංකාවේ ගා වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතය පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී ගොස් තිබුණු ආකාරය පරීක්ෂාවට ලක් කරමු.

වියට්නාමය (2022):

පරිභෝජනය - 63.72%

ආයෝජනය - 32.57%

එකතුව (දේශීය ඉල්ලුම) - 96.29%


ලංකාව (2022):

පරිභෝජනය - 69.16%

ආයෝජනය - 34.39%

එකතුව (දේශීය ඉල්ලුම) - 103.55%

ලංකාවේ දදේනියෙන් පරිභෝජනය කරන කොටස වියට්නාමයේ එම කොටසට වඩා 5.44%කින් වැඩියි. එයින් අදහස් වන්නේ, සමාන ඒක පුද්ගල ආදායමක් ඇති අවස්ථාවක, ලාංකිකයෙකු විසින් වියට්නාම් ජාතිකයෙකුට වඩා හොඳ පරිභෝජන මට්ටමක් පවත්වා ගන්නා බවයි. එනම් සාපේක්ෂව වඩා හොඳ ජීවිතයක් ගෙවන බවයි.

මේ ආකාරයෙන් රටක දදේනියෙන් පරිභෝජනය සඳහා වෙන් වන පංගුව ඉහළ යන විට ජනතාවගේ ශුභ සිද්ධිය ඉහළ යන නමුත් එහිදී ආයෝජන සඳහා වෙන් කරන්නට වන කොටස අඩු වන නිසා ඔවුන්ගේ අනාගත පරිභෝජනය එලෙසම පවත්වා ගැනීම අභියෝගයට ලක් වෙනවා. කෙසේ වුවත්, ඉහත සංසන්දනය අනුව ලංකාව ආයෝජනය වෙනුවෙන්ද වියට්නාමයට වඩා වැඩි ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. මෙවැන්නක් සිදු වුනේ කොහොමද?

ලංකාවේ 2022 දේශීය ඉල්ලුම, එනම් පරිභෝජන ඉල්ලුමේ හා ආයෝජන ඉල්ලුමේ එකතුව දදේනියෙන් 103.55%ක්. ඒ කියන්නේ ඔය අවශ්‍යතා දෙක වෙනුවෙන් දදේනියට වඩා 3.55%ක් අවශ්‍ය වී තිබෙනවා. එයින් වෙනස්ව වියට්නාමයේ දැකිය හැක්කේ පරිභෝජන ඉල්ලුමේ හා ආයෝජන ඉල්ලුමේ එකතුව ඉවත් වූ පසු 3.71%ක අතිරික්තයක්.

මෙය 2022 වසරේදී පැවති සුවිශේෂී තත්ත්වයක් පමණක්ද? 

පහත තිබෙන්නේ 2021 පැවති තත්ත්වයයි.

වියට්නාමය (2021):

පරිභෝජනය - 65.10%

ආයෝජනය - 32.90%

එකතුව (දේශීය ඉල්ලුම) - 98.00%


ලංකාව (2021):

පරිභෝජනය - 70.65%

ආයෝජනය - 36.74%

එකතුව (දේශීය ඉල්ලුම) - 107.39%


ඊටත් පෙර වසර, 2020, දෙස බැලුවත් මේ තත්ත්වය දැකිය හැකියි.

වියට්නාමය (2020):

පරිභෝජනය - 65.45%

ආයෝජනය - 31.92%

එකතුව (දේශීය ඉල්ලුම) - 97.37%


ලංකාව (2020):

පරිභෝජනය - 73.19%

ආයෝජනය - 32.98%

එකතුව (දේශීය ඉල්ලුම) - 106.16%

නැවත මතක් කර දීමක් ලෙස, මෙහි අප කතා කරන්නේ දදේනිහි පංගු ගැනයි. දදේනි යනු රටේ සමස්ත නිෂ්පාදිතයයි. මෙය මුදලින් මැන්නත්, ඇත්තටම මෙහිදී මනින්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිස මුදල් නෙමෙයි. 

කිසියම් රටකට එම රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉක්මවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් යෙදවිය හැක්කේ කෙසේද? මෙය කළ හැකි එකම ක්‍රමය රටෙන් පිටතට යන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉක්මවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමයි. එනම් අපනයන වලට වඩා වැඩියෙන් ආනයනය කිරීමයි. 

ඉහත සඳහන් කර තිබෙන්නේ සාර්ව ආර්ථික සාම්‍යයක්. කිසියම් රටක භාණ්ඩ හා සේවා සඳහා වන දේශීය ඉල්ලුම එම රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉක්මවා යන්නේනම් ඊට සමාන ආනයන හා අපනයන අතර ඊට සමාන පරතරයක් ඇති වීම, එනම් වෙළඳ හිඟයක් ඇති වීම, සාමාන්‍ය තත්ත්වයක් පමණක් නොව අනිවාර්ය තත්ත්වයක්. මෙයින් වෙනස්ව, දේශීය ඉල්ලුම රටේ දදේනියට වඩා අඩුනම් එම අඩුවට සමාන වෙළඳ අතිරික්තයක් ඇති වෙනවා.

ලංකාව දිගින් දිගටම සිය දදේනිය ඉක්මවා ආයෝජන හා පරිභෝජන වෙනුවෙන් වෙන් කළ රටක්. එහි අනිවාර්ය ප්‍රතිඵලය දිගින් දිගටම නඩත්තු වන වෙළඳ ශේෂ හිඟයයි (ජංගම ගිණුමේ අනෙක් උප ගිණුම් වල බලපෑම නිසා මෙය මීට වඩා තරමක් සංකීර්ණ වුවත් දැනට මෙසේ සලකමු.) මෙයින් වෙනස්ව වියට්නාමයේ දදේනියෙන් ආයෝජන හා පරිභෝජන වෙනුවෙන් වෙන් වූ කොටස එරට දදේනියට වඩා අඩු නිසා වියට්නාමයේ දිගින් දිගටම පවතින වෙළඳ අතිරික්තයක් හැකියි. දෙරට ආර්ථිකයන් අතර දැකිය හැකි නිෂ්පාදන හා සේවා අංශ වල පංගු වල වෙනස්කම් වලට වඩා වැඩි අවධානයක් යොමු විය යුත්තේ මෙම කරුණ වෙතයි.

කිසියම් රටක් විසින් දිගින් දිගටම එරට දදේනිය ඉක්මවන දේශීය ඉල්ලුමක් පවත්වා ගනීනම් එම අඩුව පිරවිය හැකි තරමේ විදේශ ප්‍රාග්ධනයක් දිගින් දිගටම රට තුළට ගලා ආ යුතුයි. මෙම විදේශ ප්‍රාග්ධනය සෘජු විදේශ ආයෝජන ලෙස මෙන්ම ණය ලෙසද පැමිණිය හැකියි. අනෙක් අතට රටේ දේශීය ඉල්ලුම දදේනියට වඩා අඩුනම්, එහිදී රටේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යාමක් සිදු වෙනවා. 

වෙනත් කවර අඩුපාඩු තිබුණත්, සාමාන්‍යයෙන් සමාජවාදී රටවල් විදේශ වලට ණය වෙමින් දේශීය ඉල්ලුම ඉහළ මට්ටමක පවත්වා ගන්නේ නැහැ. සමාජවාදී රටවල බොහෝ විට සිදු වන්නේ කිසියම් ක්‍රමයකින් දේශීය පරිභෝජන ඉල්ලුම පාලනය කිරීමයි. දිගින් දිගටම ණය ගනිමින් පරිභෝජන ඉල්ලුම පවත්වා ගැනීම සිදු වන්නේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති තුළයි. මේ තත්ත්වයන් දෙකේදීම සිදු වන්නේ රජය ආර්ථිකයට මැදිහත්වීම වුනත් එය සිදු වන්නේ එකම ආකාරයකින් නෙමෙයි.

සෝවියට් පන්නයේ මධ්‍යගත සැලසුම් වෙනුවෙන් මේ වන විට කලාතුරකින් හැර කෙනෙකු පෙනී සිටින්නේ නැහැ. එම ක්‍රමය පැහැදිලි ලෙසම අසාර්ථක වූ ක්‍රමයක්. එහෙත්, මේ වන විට සමාජවාදී දේශපාලන ආකෘතියක් නඩත්තු කරන චීනය, වියට්නාමය වැනි රටවල් අනුගමනය කරන ආර්ථික ක්‍රමය එලෙස පැහැදිලි ලෙසම අසාර්ථක වී ඇති ක්‍රමයක් නෙමෙයි. මෙම ක්‍රමය හරහා ඇතැම් රටවල් පැහැදිලිව පෙනෙන ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. 

ඇතැම් අය මේ ක්‍රමය හඳුන්වන්නේ රාජ්‍ය ධනවාදය ලෙසයි. මෙම ක්‍රමයේ මූලික ලක්ෂණයක් වන්නේ රාජ්‍ය මැදිහත්වීම් හරහා වෙළඳපොළ හැසිරවීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් ලෙස පවත්වා ගැනීමයි. චීනය මෙන්ම වියට්නාමය මේ කාර්යය සාර්ථක ලෙස කරන රටවල් දෙකක්. මේ ක්‍රමය කේන්සියානු ක්‍රමයේ රාජ්‍ය මැදිහත්වීම් වලට වඩා බොහෝ සෙයින් වෙනස් ක්‍රමයක්.

වියට්නාම් ක්‍රමය තුළ දදේනියේ පරිභෝජන පංගුව සාපේක්ෂව පොඩියි. එයින් අදහස් වන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස සාපේක්ෂව කුඩා බවයි. ශ්‍රමය සාපේක්ෂව ලාබ බවයි. ඒ නිසා, එවැනි රටක අඩු පිරිවැයකින් නිෂ්පාදන සිදු කර අපනයන වර්ධනය කර ගත හැකියි. එමෙන්ම, රාජ්‍ය මැදිහත්වීම් හරහා රජය විසින් හඳුනාගත් අංශ වෙත සම්පත් විතැන් කළ හැකියි. මෙය සාර්ථක ප්‍රවේශයක්ද නැද්ද යන්න වෙනම කතා කළ යුතු කරුණක් වුවත්, මේ ආකාරයේ මැදිහත්වීම් හරහා නිෂ්පාදන ආර්ථිකයේ පංගුව වැඩි කරගත හැකියි. 

අනෙක් අතට කේන්සියානු මූලධර්ම මත පදනම් වූ රාජ්‍ය මැදිහත් වීම් වලදී ඉලක්ක කරන්නේ නිෂ්පාදනය නොව ඉල්ලුමයි. මෙහිදී සිදු වන්නේ පරිභෝජනය ඉහළ යාමක්. එසේ පරිභෝජනය ඉහළ යාම දදේනිය තුළ තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වැනි අතරමැදි සේවාවන් වල පංගුව ඉහළ යාමෙහි පිළිබිඹු වෙනවා. ලංකාවේ දැකිය හැක්කේ මෙම තත්ත්වයයි. 

මුලින් කී පරිදි, අවසාන වශයෙන් වැදගත් වන්නේ ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වීම හෝ නොවීම මිස එහි එක් එක් අංශයේ පංගුව නොවන නිසා ඔය ප්‍රවේශ දෙකෙන් එකක් අනෙකට වඩා හොඳ හෝ නරක බව කියන්නට අසීරුයි. කෙසේ වුවද, දිගුකාලීනව ආර්ථිකය වර්ධනය කරගන්නා අතරම කෙටිකාලීනව ආර්ථිකය ස්ථායී ලෙස පවත්වා ගැනීමද අවශ්‍ය වෙනවා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පිළිබිමු වූයේ ලංකාව එසේ කරන්නට අසමත්ව ඇති බවයි. ඒ නිසා, ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රමයේ අවුලක් තිබෙන බවද පැහැදිලියි. 

ඉහත අවුල නිවැරදි කර ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමේදී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම් මොනවාද? මේ ගැන කතා කිරීම පසුවට තබමු.

වෙබ් ලිපිනය: