වෙබ් ලිපිනය:

Wednesday, December 31, 2025

උද්ධමනය හා ජංගම ගිණුම


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද, උද්ධමනය තවමත් මහ බැංකුවේ ඉලක්ක පරාසයේ අවම සීමාව වන 3%ට වඩා අඩු අගයක්. 

සුළි කුණාටුවේ බලපෑම නිසා ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, උද්ධමනයෙහි වෙනසක් නොවීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ආහාර මිල ගණන් දෙසැම්බර් මාසය තුළ 3.9%කින් ඉහළ ගොස් තිබුණද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වල මිල මාසය තුළ සමස්තයක් ලෙස නොවෙනස්ව තිබීමයි. දෙවන හේතුව වන්නේ පසුගිය 2024 දෙසැම්බර් මාසයේදීද ආහාර මිල ගණන් 3.9%කින් ඉහළ යාමයි. උද්ධමනය ගණනය කරන්නේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව බැවින්, මෙම දෙසැම්බර් මාසය තුළ ආහාර මිල ඉහළ යාමේ බලපෑමද නිශේධනය වී තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති මට්ටමේම නැවතී තිබෙනවා.

මේ අනුව පෙනී යන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව වුවද උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. කෙටිකාලීනව එවැනි ප්‍රශ්නයක් නැතත්, මුදල් සැපයුම ප්‍රසාරණය වෙමින් පවතින ආකාරය අනුව, මහ බැංකුවට උද්ධමන අවදානම ගැනද සැලකිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මේ ගැන පසුව වෙනම ලිපියක කතා කරමු. 

තවත් යහපත් ප්‍රවණතාවක් වන්නේ මාස දෙකක් එක දිගටම සෘණ අතට හැරී තිබුණු ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරී තිබීමයි. නොවැම්බර් මාසය තුල ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 82ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, ජංගම ගිණුමේ නොවැම්බර් දක්වා මාස එකොළහක ශේෂය ඩොලර් මිලියන 1,677.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාහන ආනයන වෙනුවෙන් නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 281ක් වැය වී ඇති අතර, වසරේ පළමු මාස එකොළහක කාලය ඇතුළත ඩොලර් මිලියන 1,746ක් වැය වී තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන දෙක ඉක්මවා යා හැකි බවයි. මුලින් ඇස්තමේන්තු කර තිබුණේ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.

විදේශ අංශය, විශේෂයෙන්ම විදේශ සංචිත, මුලින් අපේක්ෂා කළ ඉලක්ක වලට සාපේක්ෂව අයහපත් මට්ටමක තිබීමටත්, රාජ්‍ය ආදායම් මුලින් සිදු කළ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස ඉක්මවා යාමටත් හේතු වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඉදිරි වසර තුළ වාහන ආනයන සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වෙද්දී රාජ්‍ය ආදායම් කෙරෙහි වූ සාධනීය බලපෑම මෙන්ම විදේශ අංශය කෙරෙහි වූ නිශේධනීය බලපෑමද ආපසු හැරීමට නියමිතයි. 

වසර අවසාන වීමට තවත් දින දෙකක් තිබියදී සංචාරක පැමිණීම් ප්‍රමාණය 2,344,978ක් ලෙස වාර්තා වෙනවා. මෙම ගණන මෙතෙක් වසරකදී වාර්තා වී ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. නොවැම්බර් මාසය තුල සංචාරකයින් 212,906 දෙනෙකු රටට පැමිණ ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 184,158 දෙනෙකු පමණයි. සංචාරකයින් ප්‍රමාණයේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි වුවද, එමගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 272.9ක මුදලට සාපේක්ෂව, පසුගිය නොවැම්බර් මාසය තුළ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 251.6ක් පමණයි. දෙසැම්බර් මාසයේ තත්ත්වයද බොහෝ විට මෙවැන්නක් විය හැකියි.

සංචාරක ආදායම් වල පමණක් නොව මුහුදු හා ගුවන් ප්‍රවාහන සේවා සහ පරිගණක සේවා සැපයීම් වැනි අනෙකුත් සේවා ආදායම් වලද පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවක් දකින්නට පුළුවන්. එසේ තිබියදී වුවද, ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාම සහ භාණ්ඩ අපනයන ආදායම් ඉහළ යාම ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරවීමට උදවු කර තිබෙනවා.

පසු ගිය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දැනට සිදුවන ප්‍රධානම සහ වැදගත්ම වෙනස වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයක මිල ඉහළ යාමට බාධා නොකරමින් ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීමයි. එය දිගටම එලෙස සිදු වන්නේනම් විදේශ අංශයේ අර්බුදයක් ඇති වීමට හේතුවක් නැහැ. 

ඉදිරි වසරේදී නැවත හමු වෙමු. අප හා රැඳී සිටින ඔබ සැමට සුබ නව වසරක්!

Tuesday, December 30, 2025

ඉහළ මැදි ආදායම් කාණ්ඩයට නැවතත් යා හැකි වෙයිද?


පසු ගිය (2024) අවුරුදේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 99.0 දක්වා ඉහළ ගියා. තවත් ඩොලර් බිලියනයකින් ඉහළ ගියානම්, අතිශය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 සීමාව පන්නනවා. මේ (2025) අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 පන්නයිද?

ගිය අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 සීමාව කිට්ටුවට පැමිණ තිබුණු නිසාම මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඔය සීමාව පන්නනවා කියලා කියන්න බැහැ. 2018දී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 94.7 දක්වා ඉහළ ගොස් තිබුණත්, 2022 වන විට ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණා. ඒ නිසාම, 2018දී ලංකාව විසින් ලඟා වූ ඉහළ මැදි ආදායම් තත්ත්වය දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ.

ආර්ථිකයේ ප්‍රමාණයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ රටේ ආර්ථික වර්ධන වේගය මත පමණක් පදනම්ව නෙමෙයි. උද්ධමනය හා විණිමය අනුපාතය කියන සාධකත් ඒ කෙරෙහි බලපානවා. ඒ නිසාම, රටකට ආර්ථික වර්ධනය වගේම ආර්ථික ස්ථාවරත්වයත් ඉතාම වැදගත්. එසේ වුවත්, ඔය සාධක තුනම සලකා බැලීමෙන් පසුව, මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය, හරියටම කිවුවොත් නාමික දළ දේශීය නිෂ්පාදිතය, අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 100 සීමාව පන්නා තිබිය යුතු බව කියන්න පුළුවන්.

මූර්ත ආර්ථික වර්ධන වේගයෙන් පටන් ගත්තොත්, පළමු කාර්තු තුනේ ආර්ථික වර්ධන වේග අපි දැනටමත් දන්නවා. නොදන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය පමණයි. සුළි කුණාටුවේ බලපෑම නිසා මෙම වර්ධන වේගය බාල විය හැකි බව පැහැදිලි කරුණක්. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව පෙන්නේ ඔවුන් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ සේ සලකා ඇති බවයි. ඒ අනුව වසරේ මූර්ත ආර්ථික වර්ධන වේගය 4.2%ක් වනු ඇති බව ඔවුන් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. හතරවන කාර්තුවේ වර්ධන වේගය 3%ක් වුවහොත්, වසරේ වර්ධන වේගය 4.5% මට්ටම දක්වා ඉහළ යනවා. එය විය නොහැකි දෙයක් නෙමෙයි. 

ආර්ථිකයේ ඩොලර් වටිනාකම කෙරෙහි බලපාන්නේ නාමික ආර්ථික වර්ධන වේගයයි. නාමික ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ මූර්ත වර්ධනය නිසා මෙන්ම උද්ධමනය නිසාද සිදු වන වටිනාකම් වෙනස් වීම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයයි. පසුගිය (2025) තුන් වන කාර්තුවේ නාමික ආර්ථික වර්ධන වේගය 12.6%ක්. ඊට හේතුව මූර්ත ආර්ථිකය 5.6%කින් වර්ධනය වෙද්දී මිල මට්ටමද 6.8%ක වේගයකින් වර්ධනය වී තිබීමයි. 

හතර වන කාර්තුවේදී සුළි කුණාටුව නිසා මිල ගණන් ඉහළ යාමක් සිදු වුනා. ඩොලරයක මිලද වැඩි වුනා. ඒ නිසා, මිල ඉහළ යාම තුන් වන කාර්තුවේ වේගයට වඩා වැඩි මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. එය අවම වශයෙන් 7%ක් පමණවත් විය යුතුයි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% ලෙසත්, මිල ඉහළ යාමේ බලපෑම 7% ලෙසත් සැලකුවොත්, පැවති විනිමය අනුපාත අනුව, 2025 ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 108.4ක් දක්වා ඉහළ යනවා. එසේ වුවහොත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,982 දක්වා ඉහළ යනවා. මෙය අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% නොවී 3% පමණ වෙන්න පුළුවන්. ඒ වගේම, මිල වැඩි වීම පහසුවෙන්ම 8% ඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත්, මේ අවුරුද්දේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතිශය ප්‍රථම වතාවට ඩොලර් 5000 සීමාව ඉක්මවා යන්න වුනත් බැරිකමක් නැහැ.

ආදායම් මට්ටම අනුව රටවල් වර්ග කිරීමේදී බලන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දෙස නොව ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය දෙසයි. සාමාන්‍යයෙන් ලංකාවේ එහි අගය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඩොලර් සීයකින් පමණ අඩුයි. එය එසේ වුවත්, ඉදිරි වසරේදී නැවතත් ඉහළ මැදි ආදායම් මට්ටමට යාම පිළිබඳව ලංකාවට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 

Sunday, December 28, 2025

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද?


මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත් අප‍ට මේ අවුරුද්දේ රාජ්‍යමූල්‍ය තත්ත්වය ගැන හරියටම කතා කරන්න බැහැ. එය කළ හැක්කේ වසර අවසන් වී අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසුවයි. එහෙත් නොවැම්බර් අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙන බැවින්, ඒ අනුසාරයෙන් අප‍ට සෑහෙන තරමක අදහසක් ගන්න පුළුවන්. 

රාජ්‍ය අයවැය ඇස්තමේන්තු හා අදාළව සත්‍ය සංඛ්‍යාලේඛණ සංසන්දනය කළ යුත්තේ වසර මුල සකස් කළ අයවැය ඇස්තමේන්තු සමඟයි. අයවැය ඇස්තමේන්තු හදන්නේ මුළු අවුරුද්දටමයි. පළමු මාස එකොළහට වෙනම අයවැය ඇස්තමේන්තු හදන්නේ නැහැ. යම් හෙයකින් හැදුවත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා, වසර මුල ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තු වලින් අපේ විග්‍රහය පටන් ගනිමු. 

අපේක්ෂිත ලැබීම් (රුපියල් බිලියන)

බදු ආදායම් - 4,590

බදු නොවන ආදායම් හා ලැබීම් - 400

ණය ගැනීම් (අයවැය හිඟය) - 2,200

එකතුව - 7,190


අපේක්ෂිත වියදම් (රුපියල් බිලියන)

පොලී වියදම - 2,950

අනෙකුත් පුනරාවර්තන වියදම් - 2,936

ප්‍රාග්ධන වියදම් - 1,304

එකතුව - 7,190

දැන් අපට ඉහත ගණන් සමඟ නොවැම්බර් අවසානයේ ප්‍රගතිය සංසන්දනය කළ හැකියි.

බදු ආදායම: නොවැම්බර් අවසානය වන විට එකතු කරගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 4,612ක්. ඒ කියන්නේ, නිල සංඛ්‍යාලේඛණ අනුව, මාස එකොළහක් යද්දී අවුරුද්දේ අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය ලඟා කරගෙන ඉවරයි. මේ අනුව, තවමත් වසර අවසන්ව නැතත්, වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා ඇති බව දැනටමත් කියන්න පුළුවන්. 

බදු නොවන ආදායම් හා ලැබීම්: නොවැම්බර් මාසය අවසාන වෙද්දී ලැබී තිබුණේ රුපියල් බිලියන 350ක් පමණයි. ඒ කියන්නේ ඉලක්කයට යන්න තවත් රුපියල් බිලියන 50ක් අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක් ලැබී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 31ක් පමණ. ලැබුණු අනෙකුත් ආධාර සියල්ල එකතු කළොත් එකතුව රුපියල් බිලියන 40ක්වත් නොවෙන්න හේතුවක් නැහැ. ඒ වගේම, දෙසැම්බර් මාසය කියන්නේ රාජ්‍ය ආයතන වන ලාභාංශ ආදිය එකතු වන මාසයක්. ඒ නිසා, රුපියල් බිලියන 400 ඉලක්කය ලඟා කර ගැනීම ගැන වුනත් ලොකු සැකයක් නැහැ.

නිල සංඛ්‍යාලේඛණයක් නොවුනත්, ජනාධිපති දිසානායකගේ දෙසැම්බර් 19 කතාවට අනුව, දෙසැම්බර් 15 වන විට එකතු වී තිබුණු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5,125ක්. ඒ කියන්නේ අයවැයේ අපේක්ෂිත ලැබීම් මෙන් 102.7%ක්. රුපියල් බිලියන 5,125 කියන්නේ ලැබී ඇති රාජ්‍ය ආදායම පමණයි. මෙම ගණනට ප්‍රදාන ඇතුළත් නැහැ. ප්‍රදාන එකතු කළ විට ලැබීම් ප්‍රමාණය මීටත් වඩා වැඩි විය යුතුයි.

පොලී වියදම: අයවැයෙන් යෝජිත පුනරාවර්තන වියදම රුපියල් බිලියන 5,886ක්. එයින් රුපියල් බිලියන 2,950ක් පොලී වියදම්. නොවැම්බර් මාසය අවසන් වන විට සත්‍ය පොලී වියදම රුපියල් බිලියන 2,268ක් පමණයි. ඒ කියන්නේ ඉහත ගණනින් 76.9%ක් පමණයි. මේ අනුව පෙනෙන්නේ වසරේ පොලී වියදම බොහෝ විට ඇස්තමේන්තු මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවයි.

අනෙකුත් පුනරාවර්තන වියදම්: නොවැම්බර් මාසය අවසන් වන විට මෙම වියදම රුපියල් බිලියන 2,374ක්. ඒ කියන්නේ සත්‍ය වියදමෙන් 80.9%ක් පමණයි. මේ අනුව, ඉලක්කය තුළම රැඳී සිටිමින් දෙසැම්බර් මාසය තුළ වැඩි මුදලක් වියදම් කිරීමේ ඉඩක් තිබෙනවා.

ප්‍රාග්ධන වියදම: නොවැම්බර් මාසය අවසන් වන විට වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 646ක් පමණයි. මෙය ඇස්තමේන්තු කළ මුදලෙන් 49.5%ක් පමණයි. 

මේ අනුව පෙනී යන්නේ ඉතා පැහැදිලි ලෙස රජයේ ආදායම් ඉහළ යාමක් සහ වියදම් සීමා වීමක් දැකිය හැකි බවයි. ආදායම් ඉහළ යාමට ප්‍රධානම හේතුව වාහන ආනයන ඉලක්ක ඉක්මවා යාමයි. කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය තත්ත්වය හා අදාළව වැදගත් වන්නේ රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබීම මිස ඊට ප්‍රධාන හේතුව කුමක්ද කියන එක නෙමෙයි. වියදම් සීමා වීම ගැන කියන්න තියෙන්නේත් එයමයි.

අයවැය හිඟය: අයවැය ඇස්තමේන්තු අනුව හිඟය රුපියල් බිලියන 2,200ක් වුවත්, නොවැම්බර් අවසානයේදී සත්‍ය හිඟය රුපියල් බිලියන 326ක් පමණයි. මේ අනුව, නොවැම්බර් වන විට, රුපියල් බිලියන 1,874ක ඉතිරියක් තිබෙනවා. දෙසැම්බර් මාසයේ මෙහි සැලකිය යුතු අඩු වීමක් සිදු වුවත්, තව දුරටත් විශාල ඉතිරියක් පවතිනු ඇති බව ඉතාම පැහැදිලියි.

ඉදිරි වසරේ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව මෙන්ම රටේ ණය තිරසාරත්වය පිලිබඳව විමසා බැලීමට සිදු වන්නේ මේ පසුබිම මත පදනම්වයි. ඒ අනුව කිව හැක්කේ ඉදිරි වසරේ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව හෝ ඒ තුළින් පැන නගින ණය තිරසාරත්වය පිලිබඳ ගැටළුවක් කිසිසේත්ම දකින්නට නොමැති බවයි. එහෙත්, විදේශ අංශය අස්ථාවර වීම තුළින් ඇති වීමට ඉඩ තිබෙන ගැටළු පිළිබඳව වඩා පුළුල් ලෙස විමසා බලන්නට සිදු වෙනවා. 

ලංකාවේ ණය තිරසාරත්වය හා අදාළ ප්‍රකාශයකට ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් සහ ආර්ථික විද්‍යාඥයින් සේ හැඳින්විය නොහැකි වෙනත් විද්‍යාර්ථීන් ඇතුළු 121 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. මේ හා අදාළව සටහනක් දකුණු ඉවුර කණ්ඩායම විසින් "ඉකොනොමැට්ටා Fan Club" පිටුවේ පළ කර තිබෙනවා. එම පිටුවේ පළ කෙරෙන්නේ අපගේ පාඨකයින් විසින් ලියන දේවල්. ඇතැම් අය අදාළ සටහන "ඉකොනොමැට්ටා" විසින් පළ කළ සටහනක් ලෙස වරදවා තේරුම් ගෙන තිබෙනවා. 

අදාළ සටහනෙහි කියා ඇති ප්‍රධාන කරුණ, කෙටියෙන් කිවුවොත්, මෙම ලිපියට අත්සන් තබා තිබෙන්නේ වාමාංශික අදහස් ඇති අය බවයි. සාමාන්‍යයෙන් අප‍ගේ සටහන් වල අප විසින් පුද්ගලයින් ලේබල් කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට අප විසින් කරන්නේ ඕනෑම අයෙකුගේ ප්‍රකාශයක් එහි ඇති කරුණු මත පදනම්ව විග්‍රහ කිරීමයි. එහෙත් වෙනත් අය විසින් වාමාංශික (හා දක්ෂිණාංශික), ජාතිකවාදී (හා විජාතිකවාදී) ආදී ලෙස පුද්ගලයින් ලේබල් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. වෙනත් අය විසින් එසේ කිරීම අප විසින් ප්‍රශ්නයක් කරගන්නේ හෝ ප්‍රශ්නයක් සේ දකින්නේද නැහැ. 

ඉහත ලිපිය ඉකොනොමැට්ටා විසින් ලියූවක් නොවන බව අපගේ නිත්‍ය පාඨකයින් බොහෝ දෙනෙකු විසින් පහසුවෙන්ම හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා, ඇතැම් අයට සිදුව ඇති අත්වැරැද්ද පස්සේ පන්නන්නට අප‍ට අවශ්‍ය නැහැ. 

ඉකොනොමැට්ටා කිසිදු අවස්ථාවක දකුණු ඉවුර කණ්ඩායමේ සාමාජිකයෙකුව සිට නැහැ. ඔවුන්ගේ අදහස් සමඟ ඉකොනොමැට්ටා පොදුවේ එකඟ වන්නේද නැහැ. ඔවුන් හා තිබී ඇති එකම සම්බන්ධය අවස්ථා කිහිපකදී ඔවුන්ගේ ආරාධනයෙන් සම්පත්දායකයෙකු ලෙස කටයුතු කිරීම පමණයි. කෙසේ වුවත්, ඔවුන්ගේ අදාළ සටහනෙහි අප‍ට පෙනෙන විශේෂයෙන් නිවැරදි කළ යුතු දෙයක් ඇත්තේද නැහැ. 

ඇත්තටම අදාළ ප්‍රකාශය ජෝසප් ස්ටිග්ලිට්ස් මුල් වී කර ඇති ප්‍රකාශයක් නෙමෙයි. එම ප්‍රකාශය සකස් කර තිබෙන්නේ එක්සත් රාජධානියේ රාජ්‍ය නොවන සංවිධානයක් වන "Debt Justice" සංවිධානයයි. එම සංවිධානය ගෝලීය දකුණේ රටවල රාජ්‍ය ණය සහ පොදුවේ අඩු ආදායම්ලාභීන්ගේ ණය කපා දමන මෙන් ඉල්ලා උද්දේශනය කරන සංවිධානයක්. ලංකාව ඇතුළු දකුණු ආසියාවේ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ද ඔවුන් හා එක්ව කටයුතු කරනවා. ප්‍රස්තුත ප්‍රකාශයට ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ අත්සන ලබා ගැනීම මගින් ඔවුන් ඒ සඳහා බටහිර මාධ්‍ය වල වැඩි අවධානයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙය මේ සංවිධානය විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාව නෙමෙයි. මීට පෙර, ලංකාව මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කරද්දීත් ඔවුන් මෙවැනිම ප්‍රකාශයක් කළා. මට මතක හැටියට දැන් මේ ප්‍රකාශයට අත්සන් තබා තිබෙන ගොඩක් අය ඒ අවස්ථාවේදීත් එම ප්‍රකාශයට අත්සන් තබා තිබෙන අය. මෙවර ප්‍රධාන වෙනස දිත්වා ආපදාව එක්ක ණය ප්‍රශ්නය ගෝලීය උණුසුම පිළිබඳ ප්‍රශ්නයත් එක්ක ගැට ගැසීම මගින් පාරිසරික ප්‍රශ්න ගැන උනන්දු අයව මෙයට සම්බන්ධ කර ගැනීමට මෙම සංවිධානය විසින් සමත් වී තිබීමයි.

මේ වෙද්දී පාරිසරික ප්‍රශ්න හා අදාළව ලෝකයේ යම් මතවාදී බෙදීමක් තිබෙනවා. ඇතැම් අය පාරිසරික ප්‍රශ්න පොදුවේ ප්‍රතික්ෂේප කරනවා. එවැනි අය ඉන්නේ දක්ෂිණාංශික කඳවුරේ. ඒ අයට අනුව, පාරිසරික ප්‍රශ්න කියන්නේ වාමාංශික අදහසක්. අනෙක් පැත්තෙන් පාරිසරික ප්‍රශ්න ගැන කතා කරන ඇතැම් අය තමන්ගේ කතිකාව ඉතාම අන්තවාදී තැනකට තල්ලු කරන අවස්ථා දකින්න පුළුවන්. ලංකාවම සැලකුවත්, පණු කරඳ ප්‍රශ්නය උදාහරණයක්. 

මම පොදුවේ පාරිසරික ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් දිත්වා ආපදාව ගෝලීය පරිසර ප්‍රශ්නයකට බැර කළ හැකි එකක් කියා මම හිතන්නේ නැහැ. අවම වශයෙන් ලන්දේසි කාලයේ සිට ඉතිරිව තිබෙන විවිධ ඓතිහාසික මූලාශ්‍ර අනුව, වරින් වර නායයෑම්, ගංවතුර ආදිය ඇති වෙන එක ලංකාවට අමුතු දෙයක් නෙමෙයි. අද තිබෙන මට්ටමේ සංවර්ධනයක් නැති කාල වකවානු වලත් එවැනි ස්වභාවික ආපදා සැලකිය යුතු සංඛ්‍යාතයකින් ඇති වී තිබෙනවා.

කවර හෝ සංවිධානයක් විසින් කවර හෝ හේතුවක් නිසා ලංකාවේ ණය කපා හරින ලෙස ඉල්ලමින් උද්දේශනය කරනවානම් ඒ ගැන වරදක් කියන්න බැහැ. නමුත් එහෙම උද්දේශනය කළ පමණින් ණයහිමියෝ ණය කපා දමන්නේ නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ණය කපා හරින ලෙස කරන ඉල්ලීමේ නෙමෙයි. එහි පදනම ලෙස ඉදිරිපත් කරන ලංකාව නැවතත් බංකොලොත් වීමට නියමිතයි කියන තර්කයේ. 

වරක් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වූ ලංකාව නැවතත් බංකොලොත් වීමේ අවදානමක් තිබෙනවා. දිත්වා සුළි කුණාටුව නිසා ඒ අවදානම වැඩි වෙලත් තිබෙනවා. නමුත් වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ ඒ අවදානම ලංකාවට කළමණාකරණය කර ගත නොහැකි අවදානමක්ද කියන එකයි.

ඇමරිකාව,ජපානය වගේ ඕනෑම රටක් ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වීමේ අවදානමක් තිබෙනවා. අවදානමක් තියෙනවා කියන්නේ එවැන්නක් අනිවාර්යයෙන් වෙනවා කියන එක නෙමෙයි. එසේ වීමේ යම් හැකියාවක් තිබෙනවා කියන එකයි. ලංකාව හා අදාලව මේ අවදානම සාපේක්ෂව වැඩියි. නමුත් ලංකාවට අවදානම කළමනාකරණය කරගන්න බැරිකමක් නැහැ. 

ලංකාව නැවත බංකොලොත් වෙන්න යනවා කියන අදහස ප්‍රචලිත කිරීම මගින්ම ලංකාවේ ණය අවදානම ඉහළ ගිහින් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ අවාසිය එක්ක බලද්දී ඔය වගේ උද්දේශනයන් නිසා ණයහිමියන්ගෙන් ලංකාවට ලැබෙන්න තිබෙන සහනයක් ඇත්නම් එය නොසලකා හැරිය හැකි තරම්. 

ලිපිය ආරම්භයේ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ අනුව නොවැම්බර් මාසය අවසන් වෙද්දී රාජ්‍ය ආදායම ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබීම සහ රාජ්‍ය වියදම් සැලකිය යුතු අඩු මට්ටමක තිබීම තුළ ඒ වෙනසින් කොටසක් උපයෝගී කර ගැනීමෙන්ම පමණක් වුවත් රජය විසින් අමතරව වැය කරන්න සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 700 වියදම් කරන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ අවදානම, දිත්වා සුළි කුණාටුවෙන් පසුව වුනත්, පසුගිය ආර්ථික අර්බුදයෙන් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකයි තියෙන්නේ. 

ලෝක බැංකු ඇස්තමේන්තුව අනුව දිත්වා සුළි කුණාටුවේ හානිය ඩොලර් බිලියන 4.1ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 1,270ක් පමණ. නමුත්, රටේ ණය තිරසාරත්වය කෙරෙහි බලපාන්නේ හානිය ප්‍රතිපූරණය කිරීම සඳහා රජය විසින් වියදම් කරන මුදල කොපමණද කියන එකයි. එම මුදල රුපියල් බිලියන 700 ඉක්මවන්නේ නැහැ. රුපියල් බිලියන 700ක අමතර මුදලක් මේ අවුරුද්දේ ඉතිරියෙන් පහසුවෙන්ම සපයා ගන්න පුළුවන්. ඒ සඳහා අඩු වශයෙන් එක රුපියලක් හෝ සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නොවැම්බර් වන විට දැකිය හැකි, අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂ රුපියල් බිලියන 1,874ක ඉතිරිය අනුව, රුපියල් බිලියන 1,270ක මුළු හානියම රජය මගින් ප්‍රතිපූරණය කළත්, රජයට රුපියල් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

රුපියල් ප්‍රශ්නයට සාපේක්ෂව ඩොලර් ප්‍රශ්නය සංකීර්ණයි. රජය සතුව රුපියල් තිබුණත් රටේ ඩොලර් නැත්නම් විදේශ ණය ගෙවා ගන්න බැරි වෙනවා. 

ලෝක බැංකු ඇස්තමේන්තු අනුව, යටිතල පහසුකම් හානිය ඩොලර් මිලියන 1,735ක්. මේ හානිය ප්‍රතිපූරණය කරන්න ඔය ප්‍රමාණයටම ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. ගල්, වැලි, මිනිස් ශ්‍රමය ආනයනය කරන්නේ නැහැ. නමුත් මේ වියදමෙන් යම් කොටසක් ආනයන. ඒ සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. 

ඩොලර් මිලියන 814ක් කෘෂි භෝග වලට සිදුව ඇති හානිය. නමුත් මේ විදිහට හානි වුනේ වී, එළවළු වගේ දේවල්. තේ වැනි අපනයන බෝග වලට හානියක් සිදු වුනානම්, ඒ ඉතා අඩුවෙන් කියලයි මම හිතන්නේ. ඒ නිසා, මේ හානිය වැඩි වශයෙන්ම රුපියල් හානියක්. අපනයන ආදායමේ ඉතා සුළු අඩු වීමක් සහ සහල් වැනි ආනයන වල යම් වැඩි වීමක් වෙන්න පුළුවන්. නමුත් විදේශ විණිමය කෙරෙහි විශාල බලපෑමක් වෙන්න හේතුවක් නැහැ.

වාණිජ හා වාණිජ නොවන ගොඩනැගිලි වලට සිදු වූ හානිය ඩොලර් මිලියන 1,547ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ ගැන කියන්න තියන්නෙත් යටිතල පහසුකම් හානිය ගැන කියපු කතාවමයි. ආනයන වල යම් ඉහළ යාමක් සිදු වෙයි. නමුත් ගල්, වැලි, මිනිස් ශ්‍රමය ආදිය රුපියල් වියදම්. 

කෘෂි භෝග වලට හා ගොඩනැගිලි වලට සිදු වූ හානිය හා අදාළව රාජ්‍ය මැදිහත් වීම රුපියල් මැදිහත් වීමක්. වන්දි ලෙස දෙන්නේ රුපියල්. ඒ රුපියල් නිසා, ඩොලර් ඉල්ලුම තරමක් ඉහළ යන්න පුළුවන් වුනත්, එය රජයේ ප්‍රශ්නයක් නෙමෙයි. රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය සෘජු ආනයන ඇත්නම් ඒවාටයි. 

නැවත රාජ්‍යමූල්‍ය කළමනාකරණය වෙත හැරුනොත්, මේ අවුරුද්දේ කලින් සැලසුම් කළ ප්‍රාග්ධන වියදම් ඒ විදිහටම සිදු නොවෙන්න එක් ප්‍රධාන හේතුවක් වුනේ අපේක්ෂා කළ විදේශ ණය ප්‍රමාද වීම. රජය සතුව රුපියල් තිබුණත් ඩොලර් වලින් ලැබෙන්න තිබුණු ණය නොලැබුණු නිසා අවශ්‍ය වැඩේ කරගන්න බැරි වුනා. දැන් ආපදාවෙන් පසුව මේ ණය වලින් සැලකිය යුතු කොටසක් ආපදාවෙන් ගොඩ යාම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ කියන්නේ ඒ සල්ලි රජයට ලැබෙන්නේ කෙළින්ම ඩොලර් වලින්.

වෙනත් විදිහකට කිවුවොත්, මේ අවුරුද්දේ අයවැය ඉතිරිය ගැන ගණන් හිලවු රුපියල් වලින් ඉදිරිපත් කර ඇතත්, එයින් කොටසක් ඩොලර් වලින්ම "ඉතිරි වූ" අරමුදල්. මේ වසරේ ලැබෙන්න තිබුණු විදේශ ණයක් ඉදිරි වසරේ ලැබීම ඩොලර් ඉතිරි වීමකට සමානයි. ඒ නිසා, රුපියල් ප්‍රශ්නය වගේම ඩොලර් ප්‍රශ්නයත් විසඳෙනවා. ඊට අමතරව, මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක් ලැබී තිබෙනවා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක් ණය හා ප්‍රදාන ලෙස ලැබී තිබෙනවා. ඩොලර් බිලියන 6 ඉක්මවන විදේශ සංචිතයකුත් මේ වෙද්දී රටේ තිබෙනවා. අවශ්‍යනම් එයින් ඩොලර් මිලියන තුන් හාරසීයක් ගත්තා කියලා රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ. 

මූල්‍ය අරමුදලට අනුව, අමතර ඩොලර් අවශ්‍යතාවය මිලියන 700ක් පමණයි. මේ රටේම අමතර ඩොලර් අවශ්‍යතාවය. ඉන්දියාවෙන් සහ මූල්‍ය අරමුදලෙන් ලැබුණු අරමුදල් පමණක් සැලකුවත් එහි ඩොලර් මිලියන 656ක් තිබෙනවා. කලින් වෙනත් ව්‍යාපෘති සඳහා ලැබෙන්න තිබුණු අරමුදල්, අනෙකුත් ආධාර ආදිය බැලුවහම ඩොලර් බිලියනයක පමණ අමතර බරක් දරා ගැනීමේ හැකියාවක් විදේශ අංශයට වුනත් තිබෙනවා. ඉදිකිරීම් වල ආනයන කොටස ඊට වඩා ගොඩක් වැඩි වෙන එකක් නැහැ. ඒ නිසා, රුපියල් ප්‍රශ්නය විසඳා ගන්න තරම්ම පහසුවෙන් නොවුනත්, ඩොලර් ප්‍රශ්නයත් විසඳා ගන්න පුළුවන්.

අවදානම් කියන ඒවානම් කවදාවත් නැති වෙන්නේ නැහැ. දැන් පවතින තත්ත්වය තුළ රුපියල් අවදානම රජයට පහසුවෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් ඩොලර් අවදානම බාහිර සාධක මත තීරණය වන දෙයක්. උදාහරණයක් විදිහට දැනට ලෝක තෙල් මිල තිබෙන්නේ ඉතාම පහළින්. ඉදිරි වසරේ තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියොත් එය විදේශ අංශයට බලපානවා. කවර හෝ හේතුවක් නිසා සංචාරකයින් පැමිණීම අඩු වුනොත් එය බලපානවා. යම් හෙයකින් තවත් ස්වභාවික ආපදාවක් ආවොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ අමතර ප්‍රශ්න ඇති වුනොත්, ඒ ගැන ඒ වෙලාවට බලලා තීරණයක් ගන්න වෙනවා. ඒ හැර, මූද ගත් ගවුවක් තියෙද්දී දැන්ම අමුඩ ගහන්න අවශ්‍ය නැහැ. 

බැලූ බැල්මට පෙනෙන්නේ "ලංකාවට ණය සහනයක් දෙන්න" කියන එක සද්භාවයෙන් කරන ඉල්ලීමක් විදිහටයි. නමුත් ඔය ඉල්ලීම හරහා ඇත්තටම වෙන්නේ "ලංකාව නැවතත් බංකොලොත් වෙන්න යනවා" කියන සංඥාව ලෝකයට ලබා දෙන එකයි. ඒ වගේ සංඥාවක් හේතුවෙන් ලංකාවට එන කෙටිකාලීන ආයෝජන ඇතුළු ප්‍රාග්ධන ආයෝජන නොලැබී යන්න පුළුවන්. ඒ හේතුවෙන් ඩොලර් එක කෙටිකාලීනව වේගයෙන් ඉහළ ගියොත්, 2022දී මෙන්, ප්‍රේෂණ ලැබීම් සීමා වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ තත්ත්වයක් යටතේ විදේශ අංශය ඇත්තටම අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙලාවේ මේ ඉල්ලීම කිසිසේත්ම ලංකාවට උදවුවක් නෙමෙයි. 

Friday, December 26, 2025

ආර්ථිකය ගැන දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම


අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් "ඇත්ත" හා "බොරු" ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. 

ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. "ඇත්ත" හා "බොරු" පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්‍රහ වලට නොගියොත්, සම්මුතිය තුළ ඇත්ත කියා දෙයක් තිබෙනවා. පොල් ගහක් පොල් ගහක් මිසක් පුවක් ගහක් වෙන්නේ නැහැ. පොල් ගහකට පුවක් ගහක් කිවුවොත් එය බොරුවක්. 

රටින් රටට, සමාජයෙන් සමාජයට සම්මුති වෙනස් වෙනවා. ඒ වගේම එකම රටක එකම සමාජයක වුවත් කාලයෙන් කාලයට සම්මුති වෙනස් වෙනවා. එසේ වෙද්දී ඇත්ත කියන දෙයත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් කිසියම් සමාජයක කිසියම් අවස්ථාවකදී  සම්මුතිය තුළ ඇත්ත සේ පිළිගැනෙන දේවල් තිබෙනවා. ඒ නිසාම එවැනි සම්මුතීන්ට සාපේක්ෂව බොරු කියා දේවලුත් තිබෙනවා.

පොදුවේ කියපු මේ දේවල් ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු ආදියටත් අදාළයි. ඒ නිසා, ආර්ථිකය හා අදාළ දත්ත, සංඛ්‍යාලේඛණ, ප්‍රකාශ හා තොරතුරු අපට "ඇත්ත" හා "බොරු" ලෙස වැඩි අපහසුවක් නොමැතිව වර්ග කරන්න පුළුවන්. 

මේ ප්‍රවර්ග දෙකට අමතරව "ඇත්ත" හා "බොරු" අතර "දුස් තොරතුරු" කියා දෙයකුත් තිබෙනවා. ඇතැම් විට මෙවැනි දුස් තොරතුරක් පැහැදිලි බොරුවක් වෙන්නත් පුළුවන්. නමුත් හැම දුස් තොරතුරක්ම පැහැදිලි බොරුවක් වෙන්නේ නැහැ. ඊට හේතුව, මුලින් කී පරිදි, බොරුව අර්ථ දැක්විය හැක්කේ ඇත්තට සාපේක්ෂව නිසා. ඒ නිසා, ඇත්ත පැහැදිලි නැත්නම්, දුස් තොරතුරක් බොරුවක් කියා තහවුරු කරන්න අමාරුයි. මේ නිසාම, පැහැදිලි බොරු වලට සාපේක්ෂව එසේ නොවන දුස් තොරතුරු වලට පවතින්න පහසුයි. 

ආර්ථිකය හා අදාළව විවිධ පාර්ශ්ව විසින් දුස් තොරතුරු පැතිරවීම විරල දෙයක් නෙමෙයි. මෙසේ කරන්නන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, ප්‍රධාන මාධ්‍ය, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පාර්ශ්ව ඉන්නවා. මෙම සටහනෙහි අරමුණ වන්නේ ආර්ථිකය හා අදාළ වන එවැනි දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම කිහිපයක් පිළිබඳව නිදර්ශන සහිතව පැහැදිලි කිරීමක් කිරීමයි.

ඒ එක්කම තවත් දෙයක් විශේෂයෙන් කිව යුතුයි. විවිධ පාර්ශ්වයන් විසින් අනාගතය සම්බන්ධව පුරෝකථන සිදු කරනවා. එවැනි පුරෝකථන හරියන්න හෝ වැරදෙන්න පුළුවන්. වැරදෙන පුරෝකථන කියන්නේ බොරු හෝ දුස් තොරතුරු නෙමෙයි. ඒ වගේම, කවුරු හෝ කෙනෙක් තමන් විසින් අනාගතයේදී කරන්නට හෝ නොකරන්නට අදහස් කරන දේවල් පිළිබඳව කලින් කියන දේවල් බොරු හෝ දුස් තොරතුරු සේ වර්ග කරන්න බැහැ. ඒවා වර්ග කරන්නට සිදු වන්නේ "වැරදුනු පුරෝකථන" හෝ "කඩ කළ පොරොන්දු" ලෙසයි.

මෙහි සඳහන් ප්‍රවර්ග සඳහා නිදර්ශන සපයා ගැනීම පිණිස මා විසින් උපයෝගී කර ගන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දෙසැම්බර් 19 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවයි. මෙය රටේ ආර්ථිකය හා අදාළව තීන්දු තීරණ ගන්නා මුදල් ඇමති ධුරයද දරන රාජ්‍ය නායකයෙකු විසින් පාර්ලිමේන්තුවේදී කළ නිල ප්‍රකාශයක් වීම ඊට හේතුවයි. මෙමගින්, අදාළ කතාවේ ඇති දුස් තොරතුරු නිරාවරණය කිරීමක්ද සිදු කෙරෙන නමුත් සටහනේ මූලික අරමුණ එය නෙමෙයි. සම්පූර්ණ කතාව අවශ්‍ය අයෙකු සිටීනම්, එය ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ තිබෙනවා. 

1. "ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ මේ වසරේ ලැබෙනවා."

මෙම ප්‍රකාශය කරන අවස්ථාව වන විට මෙම වසර අවසන් වී නැහැ. ඒ වන විට දන්නා තොරතුරු අනුව, වසරේ පළමු මාස 11 ඇතුළත ඩොලර් මිලියන 7,197.1ක ප්‍රේෂණ රටට ලැබී තිබෙනවා. තවමත් මෙම වසර අවසන්ව නොමැති නිසා මේ වසරේ ලංකාවට ලැබෙන්නට නියමිත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳව මේ මොහොත වන තුරුද අප දන්නේ නැහැ. 

මීට පෙර 2016 වසරේදී ඩොලර් මිලියන 7,241.5ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. යම් හෙයකින් පළමු මාස 11 අවසන් වන විට ඊට වඩා වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණේනම්, ඉහත ප්‍රකාශය නිශ්චිත ප්‍රකාශයක් ලෙස සිදු කළ හැකියි. ඒ කියන්නේ, එසේ වීනම්, ඉහත ප්‍රකාශය ඇත්තක් වෙනවා. නමුත්, එසේ වී නැති බැවින් ඉහත ප්‍රකාශය ඇත්තක් නෙමෙයි.

ඇත්තක් නොවූ පමණින් ඉහත ප්‍රකාශය බොරුවක් වන්නේ නැහැ. එය බොරුවක් කියා අපට කිව හැක්කේ ඇත්ත දන්නේනම් පමණයි. නමුත් ඒ ඇත්ත අප‍ට දැනගන්නට ලැබෙන්නේ අනාගතයේදීයි. ඒ ඇත්ත දැනගන්නා තුරු ඉහත ප්‍රකාශය සලකන්නට සිදු වන්නේ අනාවැකියක් ලෙසයි. 

ඉහත ප්‍රකාශය අනාවැකියක් සේ සැලකුවහොත්, එම අනාවැකිය ඇත්තක් වීම සඳහා දෙසැම්බර් මාසය තුළ ලැබිය යුතු වන්නේ තවත් ඩොලර් මිලියන 44.4ක් පමණයි. දෙසැම්බර් මාසය තුළ එමෙන් කිහිප ගුණයක ප්‍රේෂණ ලැබිය යුතු බව පැහැදිලිව පෙනෙන කරුණක් නිසා, ඉහත අනාවැකිය ඇත්තක් වීමට සියයට සීයකට ආසන්න ඉඩක් තිබෙන අනාවැකියක්. එය තවදුරටත් අනාවැකියක් මිස ඇත්තක් නොවුනත්, කිසිසේත්ම බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි.

2. "සංචාරක ඉපැයීම් 2018 බිලියන 3.8ක වගේ ඉපැයීමක් සිදු වුණේ. එය අභිබවා යයි කියලා අපි අපේක්ෂා කරනවා."

මේ ප්‍රකාශයේ පළමු කොටස සෘජු බොරුවක්. ඒ  නිසාම දුස් තොරතුරක්. මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2018 වසරේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 4,380.6ක්. එය රවුම් කළහොත් ඩොලර් බිලියන 4.4ක්. එම ආදායම කිසිසේත්ම ඩොලර් බිලියන 3.8ක් නෙමෙයි. මෙය අත්වැරදීමක්නම්, ඉතාම බරපතල අත්වැරදීමක්. 

ප්‍රකාශයේ දෙවැනි කොටසෙහි තිබෙන්නේ අනාවැකියක්. "අපේක්ෂා කරනවා" කියා තිබෙන නිසා බලාපොරොත්තුවක් කියා කියන්නත් පුළුවන්. අනාවැකියක් හෝ බලාපොරොත්තුවක් බොරුවක් කියා කියන්න බැහැ.

ඉහත අනාවැකියේ හෝ බලාපොරොත්තුවේ පදනම අත්වැරදීමක් නිසා 2018 සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 සේ සැලකීම කියා අපි හිතමු. නොවැම්බර් මාසය අවසන් වන විට ලැබී තිබුණු සංචාරක ආදායම ඩොලර් මිලියන 2,910.6ක් පමණයි. ඒ නිසා, ඩොලර් බිලියන 3.8 මට්ටම දක්වා යාමට වුවද, දෙසැම්බර් මාසය තුළ තවත් ඩොලර් මිලියන 900ක පමණ සංචාරක ආදායමක් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා දෙසැම්බර් මාසය තුළ සංචාරයකින් ලක්ෂ හත හමාරක් පමණ රටට පැමිණිය යුතුයි.

ඉහත ප්‍රකාශය සිදු කරන විට මාසයෙන් බාගයකටත් වඩා අවසන්ව තිබුණු අතර, ඒ වන විට මාසය තුළ රටට පැමිණ තිබුණේ සංචාරකයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පමණයි (දෙසැම්බර් 21 දින වන විටද මෙම ප්‍රමාණය 154,609ක්). ඒ අනුව, ඉහත අනාවැකිය හෝ බලාපොරොත්තුව ඇත්තක් වීමටනම් වසරේ අවසන් දෙසතිය තුල සංචාරකයින් ලක්ෂ හය හමාරක් පමණ රටට පැමිණිය යුතුව තිබුණා. 

පශ්චාත් ආපදා තත්ත්වය තුළ නොව සාමාන්‍ය තත්ත්වයක් යටතේ වුවද දෙසතියක් තුළ මෙවැනි විශාල සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණීම සිදු විය නොහැකිව තිබුණු දෙයක් පමණක් නොව එවැනි ප්‍රමාණයක් කියන්නේ රටට දරා ගත හැකි සංචාරකයින් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉක්මවා යන ප්‍රමාණයක්. ඒ නිසා, මේ ආකාරයේ අනාවැකියක් ඉදිරිපත් කළ හැක්කේ හෝ අපේක්ෂාවක් තබා ගත හැක්කේ සාමාන්‍ය බුද්ධියක්වත් නොමැති අයෙකුට පමණයි. සෛද්ධාන්තිකව මෙවැන්නක් සිදු විය හැකි වුවත්, එසේ සිදු වීමේ සම්භාවිතාව ශුන්‍යයට ඉතා ආසන්නයි. සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේනම්, එය සෘජු බොරුවක් නොවුනත්, දුස් තොරතුරක් සේ සැලකිය හැකියි.

3. "ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා 06ක පමණයි. ඒ අවස්ථා 06ම 1%ට වඩා අඩුයි. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මේ වසරේ 3.8%ක් ලෙස වාර්තා කරනවා."

1950න් පසු වසර හතකදී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙනවා. ඒ, 1954, 1955, 1992, 2017, 2018, 2023 හා 2024 වසර වලදී. ඉහත වසර හතෙන් තුනකදීම 1% ඉක්මවන ප්‍රාථමික අතිරික්තයක් තිබුණා. 1954 හා 1955 කියන්නේ ප්‍රාථමික අතිරික්තයක් පමණක් නොව සමස්ත අයවැය අතිරික්ත වාර්තා කළ වසර දෙකක්. කාටත් මතක 2024 වසර සැලකුවත් ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.2%ක්. මෙහි තිබෙන්නේ පැහැදිලි බොරුවක් හා දුස් තොරතුරක්. 

අවසාන වාක්‍යයේ තිබෙන්නේ ඇත්තක් නොවුනත්, එය පුරෝකථනයක් බැවින් බොරුවක් හෝ දුස් තොරතුරක් නෙමෙයි. 

4. "2018 බැංකු අයිරාව බිලියන 180යි. 2019 එය බිලියන 274යි. 2020 බිලියන 575ක් සහ 2021 බිලියන 821ක් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ බැංකු ගිණුම බිලියන 821 අයිරාවක් වී තිබුණා. හැබැයි 2025 නොවැම්බර් වන විට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202යි. ඒ කියන්නේ 2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්."

මෙහි තිබෙන්නේ බොරුවක් නෙමෙයි. ඒ වගේම මෙහි දුස් තොරතුරක් තිබෙනවා කියා කියන්නත් බැහැ. නමුත් 2018 සිට මෙහි සිදු කරන සංසන්දනය තුළ 2022, 2023 හා 2024 යන වසර තුන හිතාමතාම මග හරිනවා. කරුණක් ලෙස ගත්තොත් "2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්" කියන එක නිවැරදියි. එහෙත්, මේ ට්‍රිලියන දෙකෙන් ට්‍රිලියන 1.4ක් පමණම ඉහළ ගොස් තිබෙන්නේ 2022 හා 2023 වසර දෙකේදී කියන වැදගත් තොරතුර මේ ප්‍රකාශයේ නැහැ. ඒ නිසා, දුස් තොරතුරුම නොවුනත්, මෙවැනි ප්‍රකාශද සැලකිල්ලෙන් කියවා ගත යුතුයි.

සාරාංශයක් ලෙස, ආර්ථිකය හා අදාළ දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම මේවායි.

1. කරුණුමය සත්‍යයන් හා අදාළව සෘජු බොරු කීම - මෙහිදී උපකල්පනය වන්නේ ග්‍රාහකයා විසින් ඉදිරිපත් කරන කරුණු පරීක්ෂාවට ලක් නොකරනු ඇති බවයි. මේ ක්‍රමයෙන් පහසුවෙන් රවටා ගත හැක්කේ තමන් කෙරෙහි විශ්වාසය තබන අයවයි. 

2. අනාගතය හා අදාළ අනාවැකි හා පුරෝකථන තහවුරු වූ ඇත්ත සේ ඉදිරිපත් කිරීම - මෙහිදී මෙසේ ඉදිරිපත් කරන කරුණු පිළිනොගන්නා අයෙකුට වුවද ඉදිරිපත් කරන්නේ දුස් තොරතුරක් බව තහවුරු කළ නොහැකියි. ඊට හේතුව, ඒ වන විට ඇත්ත එළිදරවු වී නොතිබීමයි. 

3. හිතාමතාම තෝරාගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම - මෙය කිසිසේත්ම දුස් තොරතුරු ප්‍රචාරය කිරීමක් නෙමෙයි. එහෙත් මෙහිදීද ඇතැම් විට ග්‍රාහකයා වෙත වැරදි අදහසක් සන්නිවේදනය කිරීමේ අරමුණ දැකිය හැකියි. එමෙන්ම, දුස් තොරතුරක් නොවන මුල් තොරතුර මත පදනම්ව පසුව දුස් තොරතුරු ප්‍රචාරය වීම බොහෝ විට දකින්න පුළුවන්. 

Thursday, December 25, 2025

ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය


මෙම සටහන අවසානයේ තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. විශේෂයෙන් සලකුණු කර නැති ප්‍රාන්ත වල මෙම ඇස්තමේන්තු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වන 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන අතර * සලකුණ ඇති ප්‍රාන්ත වල ඇස්තමේන්තු 2023/24 මූල්‍ය වර්ෂය සඳහායි. ගුජරාට් ප්‍රාන්තයේ අගය 2022/23 ඇස්තමේන්තුවයි. සංසන්දනය සඳහා ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ පළාත් වල 2024 වර්ෂයේ ඇස්තමේන්තුද ඉදිරිපත් කර තිබෙනවා.

බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් සියලු පළාත් එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,642ක් පමණයි. ලංකාවට යාබදව පිහිටි දකුණු ඉන්දීය ප්‍රාන්ත වන කේරළ, තමිල්නාඩු, කර්ණාටක, ගෝව, ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත හය එක්ව ගත් විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,130ක්. 

ඉහත දත්ත අනුසාරයෙන් බැලුවහොත් ලංකාව හා සංසන්දනය කළ හැකි ඉන්දියානු භූගෝලීය කලාපය සහ ලංකාව අතර මේ වන විටද ආර්ථික තත්ත්වයෙහි විශාල වෙනසක් නොමැති බව පැහැදිලිව පේනවා. මෙම සටහනෙහි විශේෂයෙන් පෙන්වා නොදෙන නමුත් පකිස්ථානය සහ බංග්ලා දේශය සමඟ සංසන්දනය කළ හැකි උතුරු ඉන්දියානු භූගෝලීය කලාපය සහ එම රටවල් දෙක අතරද එවැනිම ආසන්න සමානකමක් දැකිය හැකියි. 

මේ නිරීක්ෂණ අහම්බ නෙමෙයි. ආර්ථිකයන් වර්ධනය වන්නේ කලාප ලෙසයි. පහත තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අදාළ දත්ත.


සීකිම්* - ඇමරිකන් ඩොලර් 7,116

ගෝව* - ඇමරිකන් ඩොලර් 7,094

බස්නාහිර පළාත - ඇමරිකන් ඩොලර් 6,852


දිල්ලිය - ඇමරිකන් ඩොලර් 5,890

චන්දිගර්* - ඇමරිකන් ඩොලර් 5,490

තෙලන්ගානා - ඇමරිකන් ඩොලර් 4,631

කර්ණාටක - ඇමරිකන් ඩොලර් 4,551

ශ්‍රී ලංකාව - ඇමරිකන් ඩොලර් 4,543

වයඹ පළාත - ඇමරිකන් ඩොලර් 4,411


තමිල්නාඩු - ඇමරිකන් ඩොලර් 4,320

හර්යානා - ඇමරිකන් ඩොලර් 4,220

දකුණු ඉන්දීය ප්‍රාන්ත - ඇමරිකන් ඩොලර් 4,130

මධ්‍යම පළාත - ඇමරිකන් ඩොලර් 3,906

උතුරු පළාත - ඇමරිකන් ඩොලර් 3,806

සබරගමුව පළාත - ඇමරිකන් ඩොලර් 3,757


මහාරාෂ්ට්‍ර -  ඇමරිකන් ඩොලර් 3,696

කේරළය - ඇමරිකන් ඩොලර් 3,684

බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙකුත් පළාත් - ඇමරිකන් ඩොලර් 3,642

ඌව පළාත - ඇමරිකන් ඩොලර් 3,404

දකුණු පළාත - ඇමරිකන් ඩොලර් 3,393


පුදුච්චේරි - ඇමරිකන් ඩොලර් 3,363

අන්දමන් සහ නිකොබාර් දූපත්* - ඇමරිකන් ඩොලර් 3,341

ගුජරාට්** - ඇමරිකන් ඩොලර් 3,310

උත්ත්රඛන්ඩ් - ඇමරිකන් ඩොලර් 3,274

උතුරු මැද පළාත - ඇමරිකන් ඩොලර් 3,216


ආන්ද්‍රා ප්‍රදේශ්  - ඇමරිකන් ඩොලර් 3,181

හිමාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 3,060

අරුණාචල් ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 2,949

ලදාඛ්* - ඇමරිකන් ඩොලර් 2,934

මිසෝරාම්* - ඇමරිකන් ඩොලර් 2,845


නැගෙනහිර පළාත - ඇමරිකන් ඩොලර් 2,777

පන්ජාබ් - ඇමරිකන් ඩොලර් 2,643

ත්‍රීපුර - ඇමරිකන් ඩොලර් 2,304

රාජස්ථාන් - ඇමරිකන් ඩොලර් 2,221

ඔදිෂා - ඇමරිකන් ඩොලර් 2,019

බටහිර බෙංගාලය - ඇමරිකන් ඩොලර් 1,953

චටිශ්ගර් - ඇමරිකන් ඩොලර් 1,946

ඇසෑම් - ඇමරිකන් ඩොලර් 1,902

මෙඝාලයා - ඇමරිකන් ඩොලර් 1,877

නාගලන්ඩ්* - ඇමරිකන් ඩොලර් 1,874

ජම්මු සහ කාශ්මීර් - ඇමරිකන් ඩොලර් 1,850

මධ්‍ය ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,823

මනිපූර් - ඇමරිකන් ඩොලර් 1,452

ජාර්ඛාන්ඩ්- ඇමරිකන් ඩොලර් 1,394

උත්තර ප්‍රදේශ් - ඇමරිකන් ඩොලර් 1,297

බිහාර් - ඇමරිකන් ඩොලර් 828


* 2023/24 මූල්‍ය වර්ෂය; **2022/23 මූල්‍ය වර්ෂය; අනෙකුත් ඉන්දියන් ප්‍රාන්ත 2024/25 මූල්‍ය වර්ෂය.

Wednesday, December 24, 2025

ඒක පුද්ගල ආදායම පළාත් අනුව වෙනස් වන හැටි...


ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව වෙනස් වෙන්නේ කොහොමද? 2024 දළ දේශීය නිෂ්පාදිතය සහ පසුගිය සංගණනයේ ජනගහණ දත්ත අනුව, ලංකාවේ එක් එක් පළාතේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ආකාරය මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙනවා.

බස්නාහිර පළාත හැරුණු විට අනෙකුත් සෑම පළාතකම ඒක පුද්ගල දදේනිය ලංකාවේ සාමාන්‍ය අගයට වඩා අඩුයි. එහෙත්, බස්නාහිර පළාත හැරුණු විට වැඩිම ඒක පුද්ගල දදේනියක් වාර්තා කරන්නේත්, ලංකාවේ සාමාන්‍ය අගයට වඩාත්ම ආසන්නව සිටින්නේත් වයඹ පළාතයි. 

ශ්‍රී ලංකාව - ඇමරිකන් ඩොලර් 4,543

බස්නාහිර පළාත - ඇමරිකන් ඩොලර් 6,852

වයඹ පළාත - ඇමරිකන් ඩොලර් 4,411

මධ්‍යම පළාත - ඇමරිකන් ඩොලර් 3,906

උතුරු පළාත - ඇමරිකන් ඩොලර් 3,806

සබරගමුව පළාත - ඇමරිකන් ඩොලර් 3,757

ඌව පළාත - ඇමරිකන් ඩොලර් 3,404

දකුණු පළාත - ඇමරිකන් ඩොලර් 3,393

උතුරු මැද පළාත - ඇමරිකන් ඩොලර් 3,216

නැගෙනහිර පළාත - ඇමරිකන් ඩොලර් 2,777

Monday, December 22, 2025

පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය


මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන පරාසයක කරුණු තිබෙනවා. නමුත් මෙම සටහනෙහි අවධානය යොමු කරන්නේ පශ්චාත්-ආපදා සන්දර්භය තුළ මේ ආණ්ඩුවේ සාර්ව ආර්ථික කළමනාකරණය කියන තනි කාරණයට පමණයි. 

සාර්ව ආර්ථික කළමනාකරණය කියද්දී එයින් රටේ මූර්ත අංශය, විදේශ අංශය, බැංකු හා මුදල් අංශය සහ රාජ්‍යමූල්‍ය අංශය කියන අංශ හතර අදහස් වෙනවා. මේ අංශ හතරෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයකට සෘජුව කළමනාකරණය කළ හැක්කේ රාජ්‍යමූල්‍ය අංශය පමණයි. එහෙත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා අනෙක් අංශ තුනට බලපෑම් කළ හැකියි. එවැන්නක් හිතාමතාම නොකළේ වුවද, රාජ්‍යමූල්‍ය කළමනාකරණය කරන ආකාරය ආර්ථිකයේ අනෙකුත් අංශ වලට බලපෑමක් කරනවා.

බැංකු හා මුදල් අංශය කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්නේ මහ බැංකුවටයි. ස්වාධීන මහ බැංකුවක් තිබෙන රටක ආණ්ඩුවට මහ බැංකුවේ තීරණ වලට සෘජු මැදිහත්වීමක් කරන්න බැහැ. ඒ නිසා, බැංකු හා මුදල් අංශය හොඳින් ක්‍රියාත්මක වේනම් එහි ගෞරවය ලැබිය යුත්තේත්, හොඳින් හොඳින් ක්‍රියාත්මක නොවේනම් එයට වගකිව යුත්තේත් මහ බැංකුව මිස ආණ්ඩුව නෙමෙයි. එය එසේ නොවන්නේ මහ බැංකුව සතුව අවශ්‍ය පමණ ස්වාධීනත්වයක් නොමැති විටෙක පමණයි. 

විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රාජ්‍යයක විදේශ අංශය කෙරෙහි රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ ඉතා සීමිත බලපෑමක් පමණයි. ගොඩක් දේවල් තීරණය වෙන්නේ රටෙන් බාහිරව. අනෙක් අතට, මූර්ත අංශයේ ක්‍රියාකාරිත්වය රටේ හැම දෙනෙකුගේම ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් විදිහට තීරණය වන දෙයක්. මහ බැංකුවට සහ රජයට ඒ මත කළ හැකි බලපෑමද සීමිතයි. 

මූර්ත අංශයේ වඩාත්ම වැදගත් සාර්ව ආර්ථික විචල්‍යය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය සහ එහි වර්ධන වේගය. එහෙමත් නැත්නම් ආර්ථික වර්ධන වේගය. රටක ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ආණ්ඩුවකට සෘජුව පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, මෑතකදී මේ ආණ්ඩුව විසින් 7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන කතාවක් කිවුවා. ඒ වගේ කතා එක්කෝ හිතාමතාම ගැලරිය චූන් කරන්න කියන කතා. එහෙම නැත්නම් වැරදි අවබෝධ වල ප්‍රතිඵල. වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන රටක ආණ්ඩුවකට ඒ විදිහට ආර්ථික වර්ධන වේගය තමන්ට අවශ්‍ය මට්ටමකට ගන්න බැහැ. 

ආර්ථික වර්ධන වේගය ඉලක්ක කරන අදහස එන්නේ පැරණි සමාජවාදී ක්‍රමයෙන්. වඩාත් නිවැරදිව කිවුවොත්, රටේ සමස්ත නිෂ්පාදනයම මධ්‍යගත ලෙස සැලසුම් කළ සෝවියට් සමාජවාදී ක්‍රමයෙන්. ඒ ක්‍රමය තුළ පෞද්ගලික අංශයක් නැහැ. නිෂ්පාදනය සිදු වන්නේ විවිධ රාජ්‍ය ආයතන තුළයි. ඒ නිසා රජයට තමන්ගේ සෘජු පාලනය යටතේ තිබෙන එක් එක් ආයතනයට නිෂ්පාදන ඉලක්ක ලබා දෙන්න පුළුවන්. එහෙම ඉලක්ක ලබා දුන්නත්, අදාළ ආයතන වලට ඒ ඉලක්ක ලඟා කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අඩු වශයෙන් යම් නිෂ්පාදන මට්ටමක් ඉලක්ක කරන්න පුළුවන්. ඒ අනුව, සමස්ත ආර්ථික වර්ධන වේගයද ඉලක්ක කරන්න පුළුවන්. 

නූතන වෙළඳපොළ ආර්ථිකයක් තුළ, රජයකට ඔය වැඩේ කරන්න බැහැ. චීනය වැනි, නිෂ්පාදන ආර්ථිකය තුළ සැලකිය යුතු රාජ්‍ය භාගයක් තිබෙන රටක රජයකට වුවද, සැලසුම් කර තමන්ට අවශ්‍ය වර්ධන වේගයක් ලබා ගන්න බැහැ. රටේ නිෂ්පාදනය තීරණය කරන්නේ තනි තනි ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් විසිනුයි. මේ එක් එක් ආයතනයට වගේම ඇතැම් විට තනි පුද්ගලයින්ට පවා වර්ධන ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් ඒ වර්ධන ඉලක්ක අතර පූර්ණ සම්බන්ධීකරණයක් නැහැ. 

මධ්‍යගත සැලසුමක් තුළ වර්ධන වේගය සැලසුම් කළේ වුවද රටක සැබෑ වර්ධන වේගය විවිධ භෞතික කරුණු මත තීරණය වන්නක්. ඒ කරුණු සියල්ල රජයට පාලනය කළ නොහැකියි. ඒ නිසා, ඉලක්කයක් ලඟා කර ගැනීමේ හැකියාව එවැනි ඉලක්කයක් කොයි තරම් ප්‍රායෝගිකද කියන එක මත තීරණය වෙනවා. තනි පුද්ගලයින්ගේ හා ආයතන වල ඉලක්ක සැලකුවත් එය එහෙමයි. 

රටක පවතින ප්‍රායෝගික භෞතික තත්ත්වයන් මත කෙනෙකුට රටේ ආර්ථික වර්ධනය පුරෝකථනය කළ හැකියි. මෙවැනි පුරෝකථන ආසන්නව නිවැරදියි. නමුත් ආර්ථික වර්ධනය හරියටම පුරෝකථනය කරන්න අමාරුයි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කරද්දී ආර්ථික වර්ධනය වැනි විචල්‍ය පිළිබඳ යම් පුරෝකථන අවශ්‍ය වෙනවා. ඒ පුරෝකථන සියයට සියයක්ම නිවැරදි විය යුතු නැහැ. මේවා පුරෝකථන මිසක් ඉලක්ක නෙමෙයි. 

පසුගිය වසර 74 තුළ, ඒ කියන්නේ 1951-2024 අතර, ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.1%ක් පමණයි. 1977න් පසු කාලය සැලකුවොත්, මෙම වේගය 4.4%ක්. ඒ කියන්නේ ඉතිහාසය දිහා බැලුවොත් ලංකාවේ දිගුකාලීන වර්ධන විභවය තියෙන්නේ ඔය ආසන්න මට්ටමක. ඊට වඩා වැඩි වර්ධන ඉලක්කයක් නිකම්ම ඉලක්කයක් පමණයි. 

නමුත් ඔය වර්ධන වේගය පවත්වාගෙන ගිහින් තියෙන්නේත් දිගින් දිගටම විශාල වශයෙන් විදේශ ණය අරගන්නා අතරයි. ඒ විදේශ ණය වලින් ලැබුණු තල්ලුව මේ වර්ධන වේග ඇතුළේ තිබෙනවා. රටේ ආර්ථිකය විශාල අර්බුදයකට ගියේ මේ ණය චක්‍රය දිගින් දිගටම පවත්වා ගත නොහැකි නිසා. ආර්ථික අර්බුදයෙන් පසුව, මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු දිගුකාලීන වර්ධන වේග විභවය 3.1%ක් පමණයි. ඔවුන් එම ඇස්තමේන්තුව තවමත් වෙනස් කර නැහැ. 

පසුගිය (2024) වසරේදී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වුනා. මේ (2025) අවුරුද්දේ පළමු මාස නවය තුළද 5.0%ක වර්ධනයක් දකින්න තිබෙනවා. නමුත් මේ සාපේක්ෂව ඉහළ වර්ධන වේගයෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වසර වලදී සංකෝචනය වූ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටමට පැමිණීම මිසක් සැබෑ වර්ධනයක් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය 2018 පැවති මට්ටමට නැවත පැමිණෙනු ඇත්තේ ඉදිරි (2026) වසරේදී හෝ ඇතැම් විට ඊටත් පසු (2027) වසරේදීයි. සැබෑ ආර්ථික ප්‍රසාරණයක් දකිනු හැකි වනු ඇත්තේ ඉන් පසුවයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, ඉන් පසුව ලඟා කරගත හැක්කේ 3.1%ක වර්ධන වේගයක් පමණයි. 

අනෙක් අතට මේ 3.1% වර්ධන වේගය නෛසර්ගික වර්ධන වේගයක්. ඒ වර්ධන වේගය ලඟා කරගැනීම සඳහා රජය විසින් කිසිවක් කළ යුතු නැහැ. රාජ්‍ය මැදිහත්වීම් නිසා කෙටිකාලීනව වර්ධන වේගය ඉහළ යන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. නමුත් එවැනි මැදිහත්වීම් වලින් දිගුකාලීනව වෙනසක් සිදු වන්නේ නැහැ.

ඉහත හේතුව නිසාම, දිත්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයකින් ආර්ථික වර්ධනය කෙරෙහි ඇති වන බලපෑමද තාවකාලික එකක්. වැඩිම වුනොත් මාස නවයකින් පමණ එම බලපෑම අවසන් වෙයි. රාජ්‍ය මැදිහත්වීම් වල උදවුවෙන් මේ කාලය තවත් කෙටි වෙන්න පුළුවන්. එසේ වුවද, මාස හයක් පමණ යන තුරුවත් සුළි කුණාටුව නිසා සිදු වූ හානියේ බලපෑම තිබෙනවා. 

සුළි කුණාටුව පැමිණීමට පෙර රජය විසින් ගත් හෝ නොගත් ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. ඒ විවේචන පිළිබඳව විචාරයක් කිරීමට තරම් තොරතුරු මා සතුව නැහැ. කෙසේ වුවද, ආපදාවෙන් පසුව සාර්ව ආර්ථික කළමනාකරණය සැලකුවහොත්නම් ආණ්ඩුවට වරදක් කියන්න අමාරුයි. මේ කාරණයේදී ආණ්ඩුව වේගවත්ව කටයුතු කර තිබෙනවා.

හානිය හා අදාළ නිවැරදි හා පරිපූර්ණ තක්සේරුවක් තවමත් සිදු කර නැතත්, මීට පෙර සිදු වූ මෙවැනි ආපදා වල හානිය මත පදනම්ව මෙහි හානිය දදේනියෙන් 2.5%-5.0% අතර විය හැකි බව මූල්‍ය අරමුදල විසින් සලකා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2.5-5.0 අතර හානියක්. මෙය ඇතැම් අය සඳහන් කරන ඩොලර් බිලියන 6-7ක හානියට වඩා අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, හානිය පිළිබඳ ලෝක බැංකු තක්සේරුව ඩොලර් බිලියන 4.1%ක් වන අතර එයින් ඩොලර් බිලියන 1.735ක් පමණ යටිතල පහසුකම් වලට සිදු වී ඇති හානියයි. 

ආපදාව වැඩිපුර බලපාන්නේ කෘෂිකාර්මික හා සංචාරක කර්මාන්ත වලටයි. එහෙත් මේ අංශ දෙකටම මාස හයක් ඇතුළත නැවත හිස එසැවිය හැකියි. ඒ අතරවාරයේ ආර්ථික වර්ධන වේගයේ අඩුවක් විය හැකියි. ඉදි කිරීම් කටයුතු ඉහළ යාම නිසා එම අඩුවෙන් කොටසක් නිශේධනය විය හැකියි. රටේ ආර්ථිකය නැවතත් දිගුකාලීන වර්ධන පථයට ලඟා වුවත්, එය සිදු වන අතරවාරයේ පහත යන නිෂ්පාදනය නිසා මම වසරේ අවසන් කාර්තුවේ සහ ඉදිරි වසරේ මුල් කාර්තු දෙකේ වර්ධන වේගයන් සීමා වීම පැහැදිලිව පෙනෙන්න තිබෙන දෙයක්. එහෙත් ඉදිරි වසරේ දෙවන භාගය තුළ නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙයි. ඒ නිසා, 2027හා ඉන් පසුව රටේ වර්ධන විභවයට මෙම සුළි කුණාටුවේ බලපෑම ඉතිරි වන්නේ නැහැ.

රජය සතුව ප්‍රමාණවත් ද්‍රවශීල රුපියල් සංචිතයක් ඇති බැවින් රුපියල් බිලියන 700ක පමණ රාජ්‍ය මැදිහත්වීම මුදල් වෙළඳපොළ අස්ථාවර කිරීමට හේතුවක් නැහැ. ඉදිරි වසරේ මුල් භාගය තුළ උද්ධමනය ඉහළ යාමක් සිදු විය හැකි වුවත් එම තත්ත්වය දිගුකාලීනව පවතින එකක් නැහැ. ඒ නිසා, මහ බැංකුවට විශේෂ මැදිහත් කිරීම් කිරීමට අවශ්‍ය වන්නේද නැහැ. කෙසේ වුවත්, රටේ විදේශ අංශයට දැනෙන බලපෑමක් තිබෙනවා. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව දිත්වා හානියේ ප්‍රතිඵලයක් ලෙස ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 720කින් හෙවත් දදේනියෙන් 0.7%කින් පමණ ඉහළ යාමට නියමිතයි. ඒ මේ විදිහටයි.

සංචාරක ආදායම් පහත වැටීම - ඩොලර් මිලියන (-350)

ආනයන වියදම් වැඩි වීම - ඩොලර් මිලියන (-420)

ප්‍රේෂණ ඉහළ යාම - ඩොලර් මිලියන 50

එකතුව - ඩොලර් මිලියන (-720)

මේ අනුව, පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය තුළ වඩාත් අසීරුම කාර්යය ඉහත ඩොලර් මිලියන 720ක මුදල සොයා ගැනීමයි. එය සිදු වන්නේ මේ ආකාරයටයි.

මූල්‍ය අරමුදලෙන් - ඩොලර් මිලියන 205

අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් - ඩොලර් මිලියන 400

විදේශ සංචිත වලින් - ඩොලර් මිලියන 115

එකතුව - ඩොලර් මිලියන 720

මේ අනුව, ඉහත විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් ආපදාවෙන් පසුව විදේශ අංශයද ස්ථාවරව තියාගන්න පුළුවන්. යම් හෙයකින් විදේශ අංශය අස්ථාවර වුවහොත් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයද ඉහළ යනවා. ඉතා ඉක්මණින් මූල්‍ය අරමුදලේ සහාය පැතීම මගින් මෙම ආපදාවෙන් පසුව නැවත ආර්ථිකය අස්ථාවර වීමේ විභවය රජය විසින් වළක්වාගෙන තිබෙනවා. 

මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක වාසිය ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියේ පිරිවැය මත පමණක් පදනම්ව විනිශ්චය කිරීම නිවැරදි නැහැ. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති සහතිකය සමඟ ලැබෙන ස්ථාවරත්වයයි. දෙවනුව, අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන මුදල් ලැබෙනු ඇත්තේද එකම පැකේජයක කොටසක් ලෙසයි. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර සඳහා දැනට මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති විදේශ සංචිත ඉලක්ක ඒ අයුරින්ම ලඟා කරගැනීමට හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. එම ඇස්තමේන්තු බොහෝ විට ඉදිරි විමර්ශනයේදී යාවත්කාලීන වෙයි. මේ අතර නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් විසින් ආපදාව හමුවේ ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දිය යුතුයැයි යෝජනා කර තිබෙනවා. මගේ අදහස වනුයේ එවැනි ණය සහනයකින් දිගුකාලීනව රටේ ණය තිරසාරත්වය මත ඇති විය හැකි බලපෑම අනුව එවැනි සහනයක් සැබෑ සහනයක් නොවිය හැකි බවයි.

ඉහත විස්තර කළ සැලසුම අනුව ඉදිරි වසරේ ජංගම ගිණුම තුලනය කර ගත හැකිනම් රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ අවදානමක් නැහැ. යම් හෙයකින් විදේශ සංචිත වල සුළු අඩු වීමක් සිදු වුවද එමගින් 2022 ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ. එම අවස්ථාවේදී ප්‍රශ්නය ඔඩු දිවීමට හේතු වූයේ අවශ්‍ය අවස්ථාවේදී මූල්‍ය අරමුදලේ සහාය නොපැතීම, විණිමය අනුපාතය නිදහස් නොකිරීම, පොලී අනුපාතික වැඩි නොකිරීම වැනි සාධකයි.

Saturday, December 20, 2025

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද?


මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් සම්මත කරගෙන තිබෙනවා. මේ විදිහට අතුරු අයවැයක් සම්මත කර ගැනෙන්නේ ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගෙන ආපහු හැරෙන්නත් කලින්. නමුත් එම අයවැය සම්මත කර ගන්නා අවස්ථාවේදී දිත්වා සුළි කුණාටුව ඇවිත් තිබුණේ නැහැ. එම සුළි කුණාටුවෙන් අනපේක්ෂිත සහ සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වුනා.

ලංකාවේ රාජ්‍ය මූල්‍යනය ඔය මට්ටමේ අනපේක්ෂිත ආපදාවකට මුහුණ දිය හැකි පරිදි කලින් සැලසුම් කරලා නැහැ. ඒ නිසා, ඔය වගේ සිද්ධියකින් පසුව අතුරු අයවැයක් ඉදිරිපත් කරන්නට සිදු වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. දැන් එය සිදු වී තිබෙනවා.

රජය විසින් තවමත් ආපදාවේ හානිය පිළිබඳ නිල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා නැහැ. අතුරු අයවැය සම්මත කරගෙන තියෙන්නේ එවැන්නක් කරන්න කලින්. නමුත් හානියේ ආසන්න අගය පිළිබඳ අදහසක් ආණ්ඩුවට ඇති. අතුරු අයවැයක් හදන්න හානිය හරියටම තක්සේරු කරනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. 

ආපදාව වෙනුවෙන් වෙන් කර තිබෙන රුපියල් බිලියන 500ක මුදල ඕනෑවට වඩා වැඩි මුදලක්ද? එසේ නැත්නම් මේ මුදලත් මදිද? 

මේ වගේ ප්‍රශ්නයකට දිය හැක්කේ දේශපාලනික පිළිතුරක් පමණයි. මෙම නිශ්චිත මුදල දේශපාලනික තීරණයක ප්‍රතිඵලයක්. එසේ කීමෙන් අදහස් කරන්නේ එය හොඳ හෝ නරක බව නෙමෙයි. කෙසේ වුවත්, මෙම අතුරු අයවැය කෙටි කාලයක් ඇතුළත සකස් කර සම්මත කර ගැනීමනම් හොඳ දෙයක්. ආර්ථික ක්‍රියාකාරකම් හා අදාළව නරකම දෙය මෙවැනි තීරණ ප්‍රමාද වීම නිසා ඇති වන අවිනිශ්චිතතාවයයි. ආර්ථික බලපෑම කුමක් වුවත් දැන් මේ හා අදාළ අවිනිශ්චිතතාවයෙන් සැලකිය යුතු කොටසක් ඉවත් වෙලා.

රුපියල් බිලියන 500ක මුදල තීරණය කරද්දී ආණ්ඩුව විසින් යොදාගත් නිර්ණායකය කුමක්ද කියන එකනම් සෑහෙන තරමකට පැහැදිලියි. මෙහිදී ආණ්ඩුව විසින් කර තිබෙන්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළ රැඳී සිටින අතරම එයින් තාවකාලිකව දුරස් විය හැකි උපරිම සීමාව දක්වාම දුරස් වීමයි. එහිදී පසුගිය වසර තුළ මෙම ආණ්ඩුව විසින් මෙන්ම ඊට පෙර වසර වලදී පෙර ආණ්ඩුව විසින්ද වාර්තා කළ අතිරික්ත කාර්ය සාධනයේ වාසිය මේ වෙලාවේ ආණ්ඩුව විසින් උපරිම වශයෙන්ම ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. 

අතුරු අයවැය යෝජනා හේතුවෙන් ඉදිරි වසරේ රාජ්‍ය වියදම දදේනියෙන් 20.5% සිට 21.9% දක්වා 1.4%කින් ඉහළ යනවා. ඒ අතර, සුළි කුණාටුවෙන් පසුවද අපේක්ෂිත රාජ්‍ය ආදායම් එලෙසම ලැබෙනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා. මේ අනුව, ඉදිරි වසරේ රාජ්‍ය අයවැය හිඟය දදේනියෙන් 5.1% සිට 6.5% දක්වා 1.4%කින් ඉහළ යනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය කලින් සැලසුම් කළ 2.5% සිට දදේනියෙන් 1.0% දක්වා පහත වැටෙනවා. රජයේ ප්‍රාථමික වියදම් ව්‍යවස්ථාපිත උපරිම සීමාව වන 13.0% ඉක්මවා 14.3% දක්වා ඉහළ යනවා. 

මෙම අතුරු අයවැය යෝජනා සම්මත වීම මගින් පැහැදිලි වන පරිදි, රජයේ ප්‍රාථමික වියදම් හා අදාළ ව්‍යවස්ථාපිත උපරිම සීමාව වන 13.0% සුවිශේෂී තත්ත්වයක් යටතේ සීමාකාරී සාධකයක් වන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී සීමාව ඉක්මවා යාම සඳහා අදාළ පණතෙහි ප්‍රතිපාදන සපයා තිබෙනවා. මේ අවස්ථාවේදී දදේනියෙන් 14.3% දක්වා ප්‍රාථමික වියදම් වැඩි කිරීමට පණත වෙනස් කළ යුතු නොවූයේ ඒ නිසා. 

රජය විසින් මෙලෙස ඉදිරි වර්ෂයේ වියදම් වැඩි කරන්නේ ආපදාව හමුවේ ගන්නා තාවකාලික පියවරක් ලෙසයි. ඉන් පසු වර්ෂ වලදී ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.6% මට්ටමේ පවත්වා ගැනීම මගින් අදාළ "පාඩුව පියවා ගැනීම" සැලසුමයි. 

රුපියල් බිලියන 500ක මුදල වැය කරන්නේ මේ විදිහටයි.

කැඩුණු නිවාස පිළිසකර කිරීමට - රුපියල් බිලියන 100

කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට - රුපියල් බිලියන 250

අනෙකුත් සෘජු සහනාධාර - රුපියල් බිලියන 150

මෙම වියදම් වලින් මුල් ප්‍රවර්ග දෙක ප්‍රාග්ධන වියදම් ලෙසත්, අවසන් ප්‍රවර්ගය පුනරාවර්තන වියදමක් ලෙසත් සලකා තිබෙනවා. ඒ අනුව, පුනරාවර්තන වියදම් දදේනියෙන් 0.4%කින් වැඩි වෙද්දී ප්‍රාග්ධන වියදම් දදේනියෙන් 1.0%කින් ඉහළ යනවා. 

එසේ වුවත්, ආර්ථික අර්ථයකින්, අනෙකුත් සෘජු සහනාධාර මෙන්ම කැඩුණු නිවාස පිළිසකර කිරීමද සැලකිය හැක්කේ පරිභෝජන වියදමක් ලෙසයි. ආයෝජන වියදමක් සේ සැලකිය හැක්කේ කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙන් කෙරෙන මුදල පමණයි. ඒ නිසා මෙහිදී අවම වශයෙන් දදේනියෙන් 0.7%කින් පරිභෝජන වියදම් සෘජුව ඉහළ යනවා. මෙම වියදම් මගින් උද්ධමනකාරී බලපෑමක් මිස ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු කෙරෙන්නේ නැහැ. 

කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම ආයෝජන වියදමක් වුවත් එමගින් රටේ ප්‍රාග්ධන සංචිතය ආපදාවට පෙර පැවති මට්ටම ඉක්මවා ඉහළ නැංවෙන්නේ නැහැ. මෙම වියදම් මගින් සිදු කෙරෙන්නේ පහත වැටී ඇති ප්‍රාග්ධන සංචිතය නැවත ප්‍රතිපූරණය කිරීමයි. ඒ නිසා, මෙයින්ද ආර්ථිකය ප්‍රසාරණය වීමක් සිදු වන්නේ නැහැ. එහෙත් ආර්ථිකය සංකෝචනය වීමේ විභවය සීමා කෙරෙනවා. 

රාජ්‍ය වියදම් මේ අයුරින් වැඩි කිරීමේදී එම වියදම් රටේ කිසියම් පිරිසකගේ ආදායම් බවට පත් වීම නිසා දෙවන වටයකින්ද පරිභෝජන ඉල්ලුම ඉහළ යාමක් සිදු වෙනවා. මීට අනුරූපව නිෂ්පාදනයද ඉහළ යාමට හේතු වන යාන්ත්‍රණයක් නොමැති නිසා පරිභෝජන ඉල්ලුම ඉහළ යාම බොහෝ දුරට ආනයන ඉල්ලුම ඉහළ යාමක් බවට පත් වෙනවා. ආයෝජන වියදම් වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙසද ආනයන ඉල්ලුම ඉහළ යනවා. මේ සියල්ලේ ප්‍රතිඵලය ජංගම ගිණුමේ හිඟය ඉහළ යාමයි.

ජංගම ගිණුමේ හිඟය ඉහළ යද්දී විණිමය අනුපාතය මත ඇති වන පීඩනය සීමා කර ගැනීම සඳහා අමතර විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා. මේ සඳහා අවම වශයෙන් අමතර ඩොලර් මිලියන 500ක් අවශ්‍යයැයි රජය විසින් තක්සේරු කර ඇති බව පේනවා. ඒ කියන්නේ දදේනියෙන් 0.5%ක පමණ අමතර ආනයන වියදමක් සිදු වනු ඇතැයි රජය විසින් සලකා ඇති බවයි. රුපියල් වලින් බිලියන 150ක් පමණ. අවම අගයක් ලෙස මෙය නරක ඇස්තමේන්තුවක් නොවුනත් මෙම අවශ්‍යතාවය මීට වඩා වැඩි විය හැකියි. 

මේ තත්ත්වය හමුවේ රජයට තිබෙන ලොකුම වාසිය රජය සතු රුපියල් සංචිතයයි. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී එකතු කර තිබුණු රුපියල් බිලියන 650ක පමණ රුපියල් සංචිතයට මේ ආණ්ඩුව විසින් තවත් රුපියල් බිලියන 600ක පමණ මුදලක් එකතු කර තිබෙනවා. මේ රුපියල් සංචිතයේ තිබෙන්නේත් ණයම තමයි. නමුත් මේ විදිහට කලින්ම ණය අරගෙන තිබෙන නිසා රුපියල් බිලියන 500ක අමතර වියදම පියවා ගන්න තවත් වැඩිපුර ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් රුපියල් සංචිතය යොදා ගන්න පුළුවන්.

ඔය විදිහට රුපියල් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වුනත් එයින් ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ආනයන සඳහා අවශ්‍ය වන්නේ ඩොලර්. රුපියල් තිබුණු පලියටම ඩොලර් මිල දී ගන්න බැහැ. ඒ ඩොලර් රටට කොහෙන් හෝ පැමිණිය යුතුයි. මූල්‍ය අරමුදලෙන් අමතර ණයක් ගන්න අවශ්‍ය වී තිබෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. නමුත් ඒ ණය සහ වෙනත් ණය වලින් පසුවත් විණිමය අනුපාතය මත යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එය ඉන්ධන, විදුලි ගාස්තු ආදිය කෙරෙහි බලපෑමක් කරන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, ඉදිරි මාස වලදී එළවලු වැනි දේවල් වල මිල ගණන් ඉහළ යාමකුත් අපේක්ෂා කළ හැකියි. මේ කරුණු නිසා ඉදිරි මාස වලදී උද්ධමනයේ යම් වැඩිවීමකුත් වෙන්න පුළුවන්.

Friday, December 19, 2025

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්!


"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි."

-ජනාධිපති අනුර කුමාර දිසානායක 

මෙය මේ විදිහටම දමන්නේ රුපියල් බිලියන 500කින් රාජ්‍ය වියදම් වැඩි කළ විට එයින් විදේශ අංශයට ඇති වන බලපෑම මෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම කෙටියෙන් පැහැදිලි කර තිබෙන නිසා. 

මේ වන විට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි ණයක් අනුමත කර තිබෙනවා. එහෙත්, ජනාධිපති දිසානායකටම අනුව, උද්ධමනය සහ විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා, අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 300ක් පමණවත් අවශ්‍ය වෙනවා. ඒ කලින් අපේක්ෂා කළ විදේශ විණිමය ලැබීම් වලට අමතරවයි.

මූල්‍ය අරමුදල විසින් ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුරෝකථනය 2.9% දක්වා පහත හෙළා ඇති අතර වර්ෂාවසාන විදේශ සංචිත අපේක්ෂාව ඩොලර් මිලියන 6,550 දක්වා පහත හෙළා තිබෙනවා. එයට අද අනුමත වූ ඩොලර් මිලියන 206ක ණය මුදලද ඇතුළත්. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවට ඉතා අසීරු විදේශ සංචිත ඉලක්කයක් ලඟා කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ අනුව, 2026දී ඩොලර් බිලියන 3.7කින්ද, 2027දී ඩොලර් බිලියන 4.5කින්ද විදේශ සංචිත වැඩි කර ගැනීමට සිදු වෙනවා. ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ඉදිරි දෙවසර තුළ මහ බැංකුව විසින් ඩොලර් බිලියන 8.2 ඉක්මවන අමතර විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුයි. 

Thursday, December 18, 2025

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය


මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. 

වසරේ අවසාන දෙසතිය තුළ සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි නිසා මෙම වසර, යාන්තමින් වුවත්, වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණි වසර ලෙස වාර්තා වීමට ඉඩ තිබෙනවා. එසේ වුවද, මෙම සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ශුභවාදී ඇස්තමේන්තුව වූ මිලියන 3 තබා අවම ඇස්තමේන්තුව වූ 2,415,000 මට්ටමට හෝ නොයන බව දැන් ඉතාම පැහැදිලියි.

නොවැම්බර් මාසය අවසානය දක්වා ඩොලර් මිලියන 7,197.1ක මුදලක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා. සාමාන්‍ය ප්‍රවණතාවය අනුව මෙන්ම, ආපදාව නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයේ බලපෑම නිසාද, දෙසැම්බර් මාසය තුළ සැලකිය යුතු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් මෙම වසර තුළ පළමු වරට ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා.  

මෙවැනි තත්ත්වයක් පැවතියද, විණිමය අනුපාතික වල මෑතකාලීන හැසිරීම අනුව පෙනී යන්නේ විණිමය වෙළඳපොළ තුළ යම් ආතති තත්ත්වයක් ගොඩ නැගී ඇති බවයි. මෙයට හේතුව ආපදා තත්ත්වය මෙන්ම ඉදිරි වසර තුළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර රුපියල් බිලියන 500ක අමතර මුදලක් වැය කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන්ද ඇති වූ අවිනිශ්චිතතාවය විය හැකියි. කෙසේ වුවද, මෙම මුදල වැය කිරීමේදී එයින් වැඩි කොටසක් සඳහා දැනටමත් වෙනත් කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් යෙදවීමට රජය විසින් අදහස් කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ වන විට රජය විසින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති අතර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය හෙට (දෙසැම්බර් 19 දින) රැස් වෙනවා. එම රැස්වීමෙන් පසුව අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

ඉහත ණය මුදල ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා වාරික වශයෙන් ලැබෙන ණය වලට සම්බන්ධයක් නැති, රජය විසින් අලුතෙන් ඉල්ලා තිබෙන, අමතර ණය මුදලක්. මෙම ණය මුදල ලබා දීමේදී සාමාන්‍ය "කොන්දේසි" අදාළ වන්නේ නැහැ. හදිසි ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලබා දෙන මෙම ප්‍රවර්ගයේ ණය වසර 3.5 සිට 5 දක්වා කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු අතර, ලංකාවේ වත්මන් ණය අවදානම් තත්ත්වය අනුව, 5.4%ක් පමණ වන වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකියි.

හෙට දිනයේ ඉහත සඳහන් ඩොලර් මිලියන 200ක ණය මුදල ලැබුණහොත් රටේ නිල විදේශ සංචිත වල එපමණක වැඩි වීමක් සිදු විය හැකියි. කෙසේ වුවද, මේ අයුරින් මූල්‍ය අරමුදලේ ණය හේතුවෙන් රටේ දළ නිල විදේශ සංචිත ඉහළ යද්දී ශුද්ධ විදේශ සංචිත වල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව මහ බැංකුවේ විදේශ වත්කම් වැඩි වීමට සමානව විදේශ බැරකම් ඉහළ යාමක්ද සිදු වීමයි.

Monday, December 15, 2025

ආර්ථික වර්ධනය 5.4% මට්ටමට!



තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2017දී 6.0%ක වර්ධන වේගයක් වාර්තා වීමෙන් පසුව තුන්වන කාර්තුවකදී වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි. 

වසරේ පළමු හා දෙවන කාර්තු වල ආර්ථික වර්ධන වේගයන් පැවතුණේ පිළිවෙලින් 4.8% හා 4.9% මට්ටම් වලයි. මේ අනුව, සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5.0%ක් ලෙස වාර්තා වෙනවා.

ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් හතරවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වීමට ඉඩ ඇතත්, පළමු කාර්තු තුනේ ප්‍රතිඵල අනුව, මෙම වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 4.0%-4.5% සීමාවෙන් පහතට වැටීමේ ඉඩක් නැහැ. ආර්ථික වර්ධනය කෙරෙහි ස්වභාවික ආපදා හේතුවෙන් ඇති වන බලපෑම තාවකාලික බැවින් එමගින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ. 

Monday, December 8, 2025

ඉන්දියාවේ 8.2%ක ආර්ථික වර්ධනයක්!


මෙම වසරේ දෙවන කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 8.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු 3.5%කින් වර්ධනය වෙද්දී ඉදිකිරීම් අංශය 7.2%කින්ද නිෂ්පාදන අංශ 9.2%කින්ද වර්ධනය වී ඇති අතර සේවා අංශ (මූල්‍ය, නිවාස හා දේපොළ සහ වෘත්තීය සේවා) 10.2%කින් වර්ධනය වී තිබෙනවා. පළමු කාර්තුවේ 7.8%ක වර්ධන වේගය හා එක්ව ගත් විට වසරේ පළමු අර්ධයේ වර්ධන වේගය 8.0%ක් ලෙස වාර්තා වෙනවා. 

Sunday, December 7, 2025

ආපදා කළමණාකරණය

ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්‍රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ කරුණු නෙමෙයි. පොදුවේ ආපදා කළමනාකරණ මූලධර්ම පිළිබඳ කරුණු ගැන.

පසුගිය ආපදාව පිළිබඳව බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් ඇති වී තිබෙන මේ මොහොතේ මෙම ස‍ටහන තුළද එම ආපදාව ගැන කතා කළත්, එසේ කරන්නේ පොදුවේ ආපදා කළමනාකරණය පිලිබඳව කතා කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස පමණයි. ඒ හැර, මෙම ආපදාව හමුවේ විවිධ පාර්ශ්වයන් විසින් ගත් හෝ නොගත් ක්‍රියා මාර්ග ගැන කතා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ නෙමෙයි. 

මෙම ආපදාවෙන් පසුව රජයට එල්ල වූ ප්‍රධාන විවේචනයක් වුනේ ආපදාව පිළිබඳ තොරතුරු ඉදිරිපත්ව තිබියදී අවශ්‍ය ක්‍රියා මාර්ග නොගත්තේය යන්නයි. එයට රජයේ හෝ රජය ආරක්ෂා කරන පාර්ශ්ව වල ප්‍රතිචාරයක් වී තිබෙන්නේ එවැනි නිශ්චිත තොරතුරු නොතිබුණු බව පෙන්වා දීමයි. අනෙක් පැත්තෙන්, විවේචකයින් විසින් එවැනි තොරතුරු තිබුණු බවට කරුණු ඉදිරිපත් කරමින් තර්ක කරනවා. අප‍ට පෙන්වා දෙන්නට අවශ්‍ය වන්නේ මේ තර්ක දෙවර්ගයම එකම කාසියක දෙපැත්ත බවයි. 

මෙවැනි සුළි කුණාටුවක් පිළිබඳව සති ගණනකට පෙර නිශ්චිතව පුරෝකථනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එවැනි නිශ්චිත පුරෝකථනයක් සිදු වී තිබුණාද නැද්ද යන්න පිළිබඳව තර්ක කිරීම තේරුමක් නැති දෙයක්. පුරෝකථන මූලධර්ම අනුව කළ හැක්කේ සුළි කුණාටුවක විභවය පිළිබඳව කලින් පුරෝකථනය කිරීම පමණයි. එම සුළි කුණාටුව ඇති වෙන්න හෝ නොවෙන්න පුළුවන්. හොඳ ආපදා කළමණාකරණයක් තුළ සිදු විය යුත්තේ එම විභවය පිළිබඳව විනිශ්චය කර හානි අවම කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි. 

සුළි කුණාටුවක් පිළිබඳව සති ගණනකට පෙර නිශ්චිතව දැනගත හැකිනම් ඒ සඳහා සූදානම් වීම යාන්ත්‍රිකව වුවද කළ හැකි දෙයක්. ඒ සඳහා කළමනාකරණ විනිශ්චයක් ලොකුවට අවශ්‍ය වන්නේ නැහැ. තනි තනි පුද්ගලයින්ට වුවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන හානිය අවම කරගන්න පුළුවන්. මෙවැනි අවස්ථා වලදී පූර්ව මැදිහත්වීම් අවශ්‍ය වන්නේම අදාළ ආපදාවට මුහුණ දෙන්නට සිදු වීම හෝ නොවීම හා අදාළව අවිනිශ්චිතතාවයක් තිබෙන නිසා. එවැනි පූර්ව මැදිහත්වීමකදී හැම විටම යම් අවදානමක් ගන්න වෙනවා. ආපදා කළමණාකරණය කියන්නේ යම් මිලක් ගෙවිය යුතු දෙයක්. ඒ මිල නොගෙවා, ආපදාවක් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගත නොහැකියි.

අනෙක් පැත්තෙන් මෙම ආපදාවේ හානිය වෙනත් රටවල හා වෙනත් කාලවකවානු වල සිදු වූ ආපදා වල හානි හා සංසන්දනය කිරීමක් දකින්න පුළුවන්. රජයට පක්ෂපාතී පිරිස් වගේම රජය විවේචනය කරන පිරිස් විසින්ද මේ වැඩේ කරනවා. එහෙත්, මේ සංසන්දන ඒ තරම් තේරුමක් තිබෙන සංසන්දන නෙමෙයි. 

ඇත්තටම සිදු කළ යුත්තේ කිසියම් ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක් හා සංසන්දනය කිරීමයි. මෙම ආපදාවට පෙර කිසියම් පූර්ව ක්‍රියා මාර්ග ගත්තේනම් හානිය කොපමණ දුරකට අඩු කර ගත හැකිව තිබුණේද? කෙසේ වුවද, මෙවැනි විශ්ලේෂණයක් සිදු කළ යුත්තේ ආපදාවට පෙර පැවති තත්වයන් මත පදනම්ව මිස ආපදාව සිදු වීමෙන් පසුව දැන් අප දන්නා කරුණු මත පදනම්ව නෙමෙයි. 

ආපදාවේ හානිය ඩොලර් බිලියන 6-7ක් පමණ බව ඇතැම් අය විසින් ඇස්තමේන්තු කර තිබෙනු දැක්කා. අප විසින් එවැනි ඇස්තමේන්තුවක් සිදු කර නැහැ. එමෙන්ම මේ පිළිබඳ පිළිගත හැකි විස්තරාත්මක ඇස්තමේන්තුවක් දකින්න ලැබුණේත් නැහැ. නමුත් අප‍ට අවශ්‍ය පැහැදිලි කිරීම සඳහා මෙම ගණන හරියටම නිවැරදි විය යුතු නැහැ. 

යම් හෙයකින් නිවැරදි පූර්ව ක්‍රියාමාර්ග ගත්තේනම් මේ හානිය මුළුමනින්ම වලක්වා ගත හැකිව තිබුණේද? කිසිසේත්ම නැහැ. නමුත් යම් පූර්ව ක්‍රියාමාර්ග ගත්තේනම් මේ හානිය මීට වඩා අඩු කරගත හැකිව තිබුණේය යන්න අපට බැහැර කළ නොහැකි තර්කයක්. මෙම කරුණ හා අදාළව ඉදිරිපත් කෙරෙන ශක්තිමත්ම තර්කය වන්නේ ආපදාවට පෙර ජලාශ හිස් කළේනම් හානිය විශාල ලෙස අඩු වන බවයි. මෙය කරුණක් ලෙස සත්‍යයක්.


පහත තිබෙන්නේ ජල විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නා ලංකාවේ ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව ඝන මීටර මිලියන වලින්.

සමනලවැව - 278.00

කාසල්රී -  48.30

මාඋස්සාකැලේ - 123.30

කොත්මලේ - 170.90

පොල්ගොල්ල - 4.11

වික්ටෝරියා - 723.20

රන්දෙණිගල - 801.50

රන්ටැඹේ - 7.00

බෝවතැන්න - 23.50

එකතුව 2,179.61

අවශ්‍යනම් අපි මෙයට කුඩා ජලවිදුලි බලාගාර සඳහා ජලය සපයන ජලාශ ටිකත් එකතු කරමු.

උඩවලව - 279.20

චන්ද්‍රිකාවැව - 27.71

මාදුරුඔය - 596.60

දඹුළුඔය - 11.70

මොරගහකන්ද - 557.90

කළුගඟ - 248.00

එකතුව - 1,720.11

මුළු එකතුව - 3,899.72

ජල විදුලිය නිපදවීම සඳහා යොදා නොගන්නා ජලාශ හා වාර්මාර්ග පද්ධති වල ධාරිතාවන්ද එකතු කළහොත් මෙම අගය ඝන මීටර මිලියන 5,538.35 දක්වා ඉහළ යනවා. නමුත් අපි ඒ කොටස නොසලකා හරිමු. ඒ ජලාශ හිස් කරනවා කියන එක ප්‍රායෝගිකව වඩා අසීරු කාර්යයක්. 

ඇත්තටම කියනවානම් ඉහත දෙවන ලැයිස්තුවේ ජලාශ හිස් කරන එක වුවත් ප්‍රායෝගිකව ගන්න අමාරු තීරණයක්. ඊට හේතුව එම ජලය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහාද අවශ්‍ය වීම සහ එම කෘෂිකාර්මික ජල අවශ්‍යතාව සඳහා වෙනත් විකල්ප නොමැති වීම. ප්‍රායෝගිකව වඩා පහසුවෙන් හිස් කළ හැක්කේ පළමු ලැයිස්තුවේ තිබෙන ජලාශ නවයයි.

පළමු ලැයිස්තුවේ ජලාශ නවය හිස් කිරීම සෛද්ධාන්තිකව කළ නොහැක්කක් නෙමෙයි. මෝසම් වැසි එන්න කලින් සැලසුම්සහගත ලෙස ඔය ජලාශ හිස් කිරීම කාලයක් තිස්සේම සාමාන්‍යයෙන් කරන දෙයක්. හිස් කරනවා කියන්නේ අඩියටම හින්දනවා කියන එක නෙමෙයි. ප්‍රායෝගික සීමාවක් දක්වා ජල මට්ටම අඩු කරනවා කියන එක. එහෙම කරන එකේ කිසිම ආවස්ථික පිරිවැයක් නැහැ. ඒ ඇයි?

ඉහත ජලාශ වල ජලය කියන්නේ විභව ශක්තිය ලෙස ගබඩා කරගෙන තිබෙන විද්‍යුත් ශක්තිය. සැලසුම්සහගත ලෙස ජලාශ හිස් කරද්දී ඒ විභව ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙලා එම විද්‍යුත් ශක්තිය රුපියල් බවට පරිවර්තනය වෙනවා. මෝසම් වැසි වසිද්දී නැවත ජලාශ පුරවා ගන්න පුළුවන්. කලින් ජලාශ හිස් කර තියාගත්තේ නැත්නම් මෝසම් වැසි එක්ක ලැබෙන වතුර නිකම්ම මුහුදට ගලාගෙන යනවා. 

ඉහත පරිදි සැලසුම්සහගත ලෙස ජලාශ හිස් කිරීමේ ප්‍රධාන අරමුණ ප්‍රශස්ත ජල කළමනාකරණය මිසක් ආපදා කළමනාකරණය නෙමෙයි. අහසින් වැටී එම එම ජලාශ වල එකතු වන එක් වතුර බිඳුවක් හෝ ජල විදුලිය හැදීම සඳහා ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවීම අරමුණ කියා කියන්න පුළුවන්. 

යම් හෙයකින් අපේක්ෂිත පරිදි මෝසම් වැසි නොලැබුණොත් වෙන්නේ කුමක්ද? එහෙම වුනොත් ජල විදුලිය හදන එක සීමා වෙනවා. විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන දහනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන් වැඩි පිරිවැයක් වැය වෙනවා. නමුත් කලින් සැලසුම් කර ජලාශ හිස් කරද්දී හදන සෑම ජල විදුලි ඒකකයකින්ම ඉන්ධන විදුලිය ඒකකයක් ඉතිරි වී තිබෙන නිසා මෝසම් වැසි ආවේ නැතත් කලින් ගත් තීරණයේ ආවස්ථික පිරිවැයක් නැහැ.

ආපදා කළමනාකරණ අරමුණ පෙරදැරිව අන්තිම මොහොතේ හදිසියේ ජලාශ හිස් කරන්න වුනොත් මේ වාසිය ගන්න බැහැ. හිස් කරන වතුර වලින් ජල විදුලිය හදලා ඒ මගින් ඉන්ධන විදුලිය හැදීම සීමා කර ගත හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාව පැන්නුවොත් වතුර ජල විදුලිය සෑදීම සඳහා ප්‍රයෝජනයට නොගෙන නිකම්ම මූදට යවන්න වෙනවා. ඒ වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න වෙනවා. එය ආපදා කළමනාකරණය වෙනුවෙන් ගෙවන්න සිදු වෙන මිලක්. ඒ මිල ගෙවීම මගින් දැන් සිදු වී තිබෙන ආකාරයේ ව්‍යසනයක හානිය අඩු කරගන්න පුළුවන්. නමුත් එය නොමිලේ ලැබෙන දෙයක් නෙමෙයි. ඒ නිසාම, මෙවැන්නක කවුරු හෝ විසින් චේතනාන්විතව ගත යුතු තීරණයක් තිබෙනවා.

වැසි වැටීම තීරණය කරන්නේ ස්වභාව ධර්මය විසින්. එහි හඳුනාගත හැකි රටා තිබෙනවා. නමුත් වැසි වැටෙන ආකාරය පිළිබඳව අපට තිබෙන්නේ අසම්පූර්ණ දැනුමක් නිසා අවිනිශ්චිතතාවය වැඩියි. මේ අවිනිශ්චිතතාවයට සමාන්තරව ජල විදුලි සැපයුමද විචලනය වන නමුත් ඊට අනුරූපව විදුලි ඉල්ලුම විචලනය වන්නේ නැහැ. මේ ඉල්ලුම් සැපයුම් නොගැලපීම තුලනය කරගන්නේ අභිමත පරිදි ඉන්ධන විදුලි ජනනය වෙනස් කිරීම මගින්.

නමුත් ඉහත තත්ත්වය පසුගිය වසර කිහිපය ඇතුළත විශාල ලෙස වෙනස් වී තිබෙනවා. ඒ සූර්ය බල විදුලි ජනනය විශාල ලෙස ඉහළ යාම නිසා. ජල විදුලි ජනනය වගේම සූර්ය බල විදුලි ජනනය තීරණය කරන්නෙත් ස්වභාව ධර්මය විසින්. ඒ නිසා, විදුලි ඉල්ලුම හා සැපයුම තුලනය කිරීම සඳහා කවුරු හෝ පරිපාලකයෙකුට කලින් තිබුණු හැකියාව දැන් ඒ විදිහටම නැහැ. ඒ නිසාම, ආපදා කළමනාකරණ අරමුණ පෙරදැරිව ජලාශ හිස් කරන්න සිදු වුනොත් එහි ආවස්ථික පිරිවැය පෙර කාලයට වඩා වැඩියි.

කලින් තත්ත්වය තුළ වැඩියෙන් ජල විදුලි ඒකකයක් හදද්දී ඉන්ධන විදිහට රුපියල් ඉතිරි වෙනවා. නමුත් සූර්ය බල විදුලිය රුපියල් විදිහට ඉතිරි කරගන්න බැහැ. ඒ නිසා එක්කෝ ජලය නිකම්ම නාස්ති වෙනවා. එහෙම නැත්නම් සූර්ය බලය නිකම්ම නාස්ති වෙනවා. ඔය දෙකෙන් කොයි එක වුනත් එහි ආවස්ථික පිරිවැයක් තිබෙනවා. එතකොට ඉතිරි වෙන ප්‍රශ්නය වන්නේ ආපදා හානියේ අපේක්ෂිත හානිය මගින් ඒ ආවස්ථික පිරිවැය ආවරණය වෙනවාද නැද්ද කියන එකයි. හොඳ ආපදා කළමණාකරණයක් කියා කියන්නේ ඔන්න ඔය තීරණය නිවැරදිව ගන්න එකට. 


දැන් අපි පසුගිය සුළි කුණාටුව එක්ක වැටුණු වැස්ස දෙස බලමු. කුණාටුවේ බලපෑම වැඩිපුරම දැකිය හැකි වූයේ නොවැම්බර් 26, 27 හා 28 යන දවස් තුන තුළයි. දකුණු පළාත හැර අනෙකුත් සෑම පළාතකටම මෙන් එම දින තුනෙන් කිසියම් දින දෙකක් තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. දළ ඇස්තමේන්තුවක් විදිහට දින තුනක කාලය ඇතුළත දිවයිනට වැටුණු සමස්ත වර්ෂා ජල ප්‍රමාණය ඝන මීටර මිලියන දස දහසක් පමණ වෙන්න පුළුවන්. 

රටේ ඕනෑම තැනක එකතු වන වර්ෂා ජලය ඉහත කී ජලාශ වල රඳවා ගන්න බැහැ. එසේ රඳවා ගත හැක්කේ එම ජලාශ වල ජලපෝෂක ප්‍රදේශ වලට වැටෙන වර්ෂා ජලය පමණයි. පහත තිබෙන්නේ ඉහත ප්‍රධාන ජලාශ නවයේ ජල පෝෂක කලාපය පිළිබඳ දළ ඇස්තමේන්තුවක්.

මහවැලි සංකීර්ණයේ ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 3,118

කාසල්රී (කැළණි) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 115

මාඋස්සාකැලේ (මස්කෙළිඔය) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 130

සමනලවැව (වලවේ) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 342

එකතුව - වර්ග කිලෝමීටර 3,705

වර්ෂාපතන දත්ත දෙස බැලූ විට ඉහත ජලපෝෂක ප්‍රදේශ වලට අදාළ දින තුනක කාලය තුළ, ප්‍රධාන වශයෙන්ම නොවැම්බර් 26 හා 27 දින වල, මිලි මීටර 500ක පමණවත් වර්ෂාපතනයක් ලැබී ඇති බව පේනවා. මේ අනුව, එම ජලාශ වලට එකතු වූ (පිටාර ගිය ජලයද ඇතුළුව) මුළු ජල ප්‍රමාණය ඝන මීටර මිලියන 1,852ක් පමණ සේ සැලකිය හැකියි. එය එම ජලාශ වල මුළු ධාරිතාව වන ඝන මීටර මිලියන 2,179.61ට ආසන්න අගයක්. මෙම ජලාශ මුළුමනින්ම හිස් කිරීම අපහසු බැවින් ඉහත ජල ප්‍රමාණය රඳවා ගැනීම සඳහා අදාළ ජලාශ හැකි උපරිම මට්ටමින් හිස් කර තබා ගන්නට සිදු වෙනවා. එසේ කළේනම් හානියෙන් සැලකිය යුතු කොටසක් අඩු කර ගත හැකිව තිබුණා.

කෙසේ වුවද, රටේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65,610ක් බැවින්, රටට වැටුණු සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර 150ක් සේ සැලකුවහොත්, සුළි කුණාටු දින වල වැටුණු මුළු ජල ප්‍රමාණය ඝන මීටර මිලියන 9,842ක් පමණ වෙනවා. ඒ අනුව, උපරිම වශයෙන් ඉහත ජලාශ වල එක්රැස් කර ගත හැකි වන්නේ එම ප්‍රමාණයෙන් 19%ක් පමණයි. එයින් ඔබ්බට පාලනයක් කර ගත හැකි වනුයේ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා පවත්වාගෙන යනු ලබන ජල සංචිතද හිස් කළේනම් පමණයි. මේ අනුව පෙනී යන්නේ ප්‍රශස්තම ක්‍රියාමාර්ග ගනු ලැබුවද මෙම සුළි කුණාටුවෙන් විශාල හානියක් සිදු විය හැකිව තිබුණු බවයි.

කෙසේ වුවද, මෙවැනි ස්වභාවික ආපදාවක හානිය ඉහළ යන්නේ ආපදාවේ පරිමාණය සමඟ රේඛීයව නොව ඝාතීය ලෙස බව අප‍ට අමතක කළ නොහැකියි. සරලව කිවුවොත්, අඩි දහයක ගංවතුරක හානිය අඩි පහක ගංවතුරක හානිය මෙන් දෙගුණයකට වඩා බොහෝ වැඩියි. ඒ නිසා, වැසි වැටෙන්නට පෙර ජලාශ හිස් කර ගංවතුර යම් තරමකින් හෝ අඩු කර ගත්තේනම් එයින් ආපදාවේ විනාශය අනුපාතිකව කිහිප ගුණයකින් අඩු වෙනවා. 

පෙර සූදානම්ව, යම් මට්ටමක් දක්වා ජලාශ හිස් කිරීම මගින් වැටුණු ජල ප්‍රමාණයෙන් 10% පමණ, එනම් ජලය ඝන මීටර මිලියන 1000ක් පමණ රඳවා ගත්තේයැයි අපි හිතමු. මෙලෙස එක්රැස් වනුයේ අහසින් වැටුණු වැහි වතුර වලින් වැඩිම විභව ශක්තියක් ඇති, ඒ නිසාම වැඩිම හානියක් කිරීමේ විභවයක් ඇති ජලයයි. ඒ නිසා, වැටුණු ජලයෙන් 10%ක් පමණ රඳවා ගත්තේනම් වුවද, ඩොලර් බිලියන 6-7ක් ලෙස සඳහන් කරන හානියෙන් 30%-35%ක් පමණවත් අඩු කරගත හැකිව තිබුණු බව මගේ අදහසයි. අපි මෙම ගණන ඩොලර් බිලියන 2ක් සේ සලකමු. ඒ කියන්නේ ආසන්නව රුපියල් බිලියන 600ක පමණ ඉතිරියක්. 

නමුත් මෙවැනි තීරණයක් ගැනීමේ ආවස්ථික පිරිවැයක් තිබෙනවා. ඒ විදුලි බලය නොනිපදවා නිකම්ම මුහුදට යවන්නට සිදු වන වතුර ප්‍රමාණයයි. ඇත්ත වශයෙන්ම අපේක්ෂිත පරිදි වැස්ස ලැබුනේනම්, එවැනි ආවස්ථික පිරිවැයක් නැහැ. ආවස්ථික පිරිවැයක් තිබෙන්නේ යම් හෙයකින් අනාවැකිය වැරදී වැස්ස නොලැබුණේනම් පමණයි. එම ආවස්ථික පිරිවැය කොපමණද? 

දළ ඇස්තමේන්තුවක් ලෙස ජලය ඝන මීටර මිලියන 1000ක් නිකම්ම මුහුදට යැවීම නිසා ජල විදුලිය ගිගාවොට් පැය 500ක් නිපදවීමේ අවස්ථාව අහිමි වූයේයැයි සිතමු. මෙම අහිමි වූ ජල විදුලි ඒකක ප්‍රමාණය ඉන්ධන දවා නිපදවීම සඳහා ඒකකයකට රුපියල් 30ක අමතර මුදලක් වැය වේයැයි සිතමු. එසේනම්, මෙම තීරණයේ ආවස්ථික පිරිවැය උපරිම වශයෙන් රුපියල් බිලියන 15ක් පමණ විය හැකියි. 

දැන් මෙහි තිබෙන්නේ රුපියල් බිලියන 600ක් බේරා ගැනීම සඳහා රුපියල් බිලියන 15ක් වැය කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ රුපියල් බිලියන 600 බේරෙන්නේ ඇත්තටම හානිය සිදු වුවහොත් පමණක් වීමයි. නමුත් රුපියල් බිලියන 15ක පාඩුව අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ නිසා, තීරණය ගන්නා අයෙකුට ඒ පිළිබඳ වගකීම ගන්නට සිදු වෙනවා. 

කාලගුණ අනාවැකිය මත පදනම්ව සිදු විය හැකි ආපදාවේ හානිය පිලිබඳව නිවැරදි විනිශ්චයක් කළ යුත්තේ මේ නිසායි. ඒ සඳහා, සුළි කුණාටුවක් ඇති වන බව නිශ්චිතව දැන ගන්න අවශ්‍ය නැහැ. සුළි කුණාටුවක් ඇති වීමේ විභවයක් සහිත අඩු පීඩන තත්ත්වයක් ඇත්තටම සුළි කුණාටුවක් බවට පත් වීමේ සම්භාවිතාව කුමක්ද?

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත් වීමේ අවදානම අවම වශයෙන් 2.5%ක්නම්, ඒ කියන්නේ හතළිහෙන් එකක්නම්, මෙම පැහැදිලි කිරීම සඳහා යොදාගත් සංඛ්‍යා අනුව, හොඳම තීරණය වනුයේ ජලාශ හිස් කිරීමයි. එයින් අනිවාර්යයෙන්ම මූල්‍යමය පාඩුවක් සිදු වෙනවා වගේම බොහෝ විට සුළි කුණාටුව ඇත්තටම එන්නේ නැහැ. නමුත් මේ තීරණය ගැනීමේ වාසිය තේරෙන්නේ කවදා හෝ සුළි කුණාටුවක් ඇත්තටම ආපු දවසටයි. ආපදා කළමණාකරණය කියන්නේ එයටයි. 

දැන් ලියන්නට තියෙන්නේ මෙතෙක් ලියූ කොටස කැමැත්තෙන් කියවූ සැලකිය යුතු පිරිසක් කියවන්න අකැමැති විය හැකි කොටසක්. නමුත් ඒ කොටසේ මම පෙන්වා දෙන්නේ පෙන්වා දිය යුතු වැදගත්ම දෙයක්. 

වෛද්‍ය විද්‍යාවේ හෝ ඉංජිනේරු විද්‍යාවේ සිට ආර්ථික විද්‍යාව දක්වා විවිධ විෂය පථයන්ට අයත් ආපදා කළමණාකරණ ක්‍රියාවලීන්ට මෙහි සඳහන් මූලධර්ම අදාළයි. අති මූලික කරුණක් ලෙස, ආපදා කළමණාකරණය වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ මිල නොගෙවා හානිය ප්‍රශස්ත මට්ටමකට අඩු කරගන්න බැහැ. රුපියල් බිලියන 600ක පාඩුවක් වලක්වා ගැනීම සඳහා කටයුතු කරද්දී අවස්ථා 40කින් 39කදීම සිදු වන්නේ රුපියල් බිලියන 15ක පාඩුවක් සිදු වීමයි. වාසියක් සිදු වන්නේ එක් අවස්ථාවකදී පමණයි. අවදානමේ ස්වභාවය අනුව මේ සම්භාවිතා වෙනස් වෙන්න පුළුවන්.

පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ හෙජිං ගනුදෙනුව වගේම ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවද ප්‍රශස්ත ලෙස අවදානම් කළමනාකරණය කිරීම සඳහා ගත් උත්සාහයන් දෙකක්. හෙජිං ගනුදෙනුව මගින් උත්සාහ ගත්තේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමට මුහුණ දීමටයි. ඉන්ධන මිල පහළ යාම නිසා සිදු වූ අලාභයද එහිම ප්‍රතිඵලයක්. ඒ වගේම, ග්‍රීක බැඳුම්කර ආයෝජනයෙන් සිදු වූ පාඩුව සිදු වුනේ සමස්තයක් ලෙස ආයෝජන ප්‍රතිලාභ වැඩි කර ගැනීමේ උත්සාහයක් තුළයි. පාඩු විදින්නට සිදු වීමේ අවදානම නොගෙන ලාබ ලබන්නට හෝ අවදානම් අඩු කරගන්නට බැහැ.

මෙම සුළි කුණාටුවට පෙර,  සුළි කුණාටුව ඇති වීමේ සම්භාවිතාව අඩු මට්ටමක පැවතියද, ජලාශ වල වතුර නිදහස් කළේනම් බොහෝ විට එය ප්‍රශස්ත තීරණයක්. නමුත් එසේ කිරීමෙන් පසුව සුළි කුණාටුව පැමිණියේ නැත්නම්, එයින් පාඩුවක් සිදු වෙනවා. වත්මන් සන්දර්භය තුළ එවැනි ක්‍රියාමාර්ගයක් අර්ථදැක්වෙන්නේ වතුර ටික නිකම්ම මුහුදට යවා වැඩි මිලට ඉන්ධන විදුලිය නිපදවීම මගින් අයථා ලෙස මුදල් ඉපැයීමක් ලෙසයි. එවැනි චෝදනාවකට ලක් වීමට අකැමැති නිසා, මේ වගේ අවස්ථාවක ගත යුතු හොඳම තීරණය ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙය හොඳ තත්ත්වයක් නෙමෙයි.

මේ ලිපියේ සඳහන් දළ ඇස්තමේන්තු පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් පෙන්වා දෙන්න අවශ්‍ය වන්නේ එම සංඛ්‍යා නෙමෙයි. සංඛ්‍යා වෙනස් වුනා කියා මෙහි පැහැදිලි කරන කරුණු වෙනස් වෙන්නේ නැහැ.

Saturday, December 6, 2025

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය


ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ තොරතුරු කිහිපයක්. 

1. රටවල් 33ක විදේශගත ශ්‍රී ලාංකිකයින් 30,470 දෙනෙකුගෙන් මුල් දින කිහිපය තුළ "රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලට ලැබී ඇති මුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වලට ලැබී ඇති මුදල - රුපියල් මිලියන 696ක් පමණ (ඇමරිකන් ඩොලර් මිලියන 2.2ක් පමණ)

2. ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබී ඇති මුදල - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5 (ඇමරිකන් ඩොලර් මිලියන 2.3ක්  පමණ)

3. ඇමරිකන් රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.0ක් 

4. එක්සත් රාජධානියේ රජයෙන් - පවුම් මිලියනයක් (ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක් පමණ)

5. චීන රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 1.1ක් පමණ

6. මාල දිවයින් රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.4ක් පමණ 

7. නේපාල රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 0.2ක්. 

ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් මෙවැනි ආපදාවකට මුහුණ දීමෙන් පසුව රටට හා රජයට ලැබෙන හැම ඩොලරයකටම වටිනාකමක් තිබෙනවා. ළූණු බිකත් බඩට කියා කියනවනේ. නමුත් ඉහත අයිතමයින් කිසිවක් රුපියල් බිලියනය ඉක්මවන ලැබීම් නෙමෙයි. ඉහත ලැබීම් සියල්ලේ එකතුව ඩොලර් මිලියන 11.5ක් පමණයි. ධනවත් රටවලින් මෙවැනි අවස්ථා වලදී විශාල ලෙස ආධාර කරනු ලැබූ යුගය දැන් අවසන්. අද තිබෙන්නේ 1957දී පැවති ලෝකය නෙමෙයි. 

ඉහත ලැයිස්තුව රජයට ලැබී ඇති අරමුදල් පිළිබඳ සවිස්තර හෝ නිල වාර්තාවක් නෙමෙයි. ඒ වගේම, තවත් යම් කාලයක් යන තුරු රජයට මෙවැනි මූල්‍යමය ආධාර ලැබෙයි. නමුත් ඉහත ලැයිස්තුව ඇසුරෙන් දැනට ලැබී ඇති හා ඉදිරි කාලයේදී ලැබෙන්නට ඉඩ තිබෙන මූල්‍යමය ආධාර වල පරිමාණය ගැන පහසුවෙන්ම අදහසක් ගන්න පුළුවන්. ද්‍රව්‍යමය ආධාර ලැබීම් සහ වෙනත් පාර්ශ්ව හරහා ලැබෙන මූල්‍යමය ආධාර ප්‍රස්තුත කරුණට අදාළ නැහැ. මෙහි අවධානය යොමු කෙරෙන රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන්නේ රජයට අභිමත පරිදි වැය කළ හැකි මූල්‍යමය ආධාර පමණයි.

රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන අපේක්ෂිත මුළු ලැබීම් ප්‍රමාණය ඉහත එකතුව මෙන් තෙගුණයක් පමණ සේ සැලකුවත් එය ඩොලර් මිලියන 34ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක පමණ මුදලක්. එම මුදල සහ ආපදාව වෙනුවෙන් රජය විසින් වැය කරන්නට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 572ක මුදල සසඳද්දී මතක් කර ගත හැක්කේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් යාමේ කතාවයි. ඒ අනුව, රජයේ ආපදා වියදම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හැර අනෙක් සියලුම වියදම් වල බර පැටවෙන්නේ රටේ බදු ගෙවන ජනතාව මත බව පැහැදිලියි. 

ජනාධිපති දිසානායකගේ කතාව අනුව, මෙම වසරේ අවසන් දින 25 තුළ රජය විසින් ආපදා වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 72.2ක මුදලක් වෙන් කර තිබෙනවා. එම මුදලෙන් රුපියල් බිලියන 22.2ක් අයවැයෙන් කලින්ම වෙන් කර තිබෙන මුදල් වන අතර ඉතිරි රුපියල් බිලියන 50 අලුතෙන් වැය කෙරෙන මුදලක්. ඒ අනුව, මෙම වසරේ රාජ්‍ය වියදම් කලින් ඇස්තමේන්තු කලාට වඩා රුපියල් බිලියන 50කින් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ මෙම වසරේ ප්‍රාථමික අතිරික්තය කලින් ඇස්තමේන්තු කළාට වඩා එපමණකින් අඩු වන බවයි.

පසුගිය අයවැය ඇස්තමේන්තු සකස් කරද්දී රුපියල් බිලියන 1,202ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇස්තමේන්තු කර තිබුණා. එම මුදල දදේනියෙන් 3.8%ක්. මෙම අතිරික්තය රුපියල් බිලියන 50කින් අඩු වුවද අවම වශයෙන් දදේනියෙන් 3.6%ක ප්‍රාථමික අතිරික්තයක් ඉතිරි වෙනවා. මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා අනුව අවශ්‍ය වන්නේ දදේනියෙන් 2.3%කට නොඅඩු ප්‍රාථමික අතිරික්තයක් බැවින් මෙය ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. පරිපූරක ඇස්තමේන්තුවෙන් පසුවද තව දුරටත් දදේනියෙන් 1.3%ක පමණ වාසියක් ඉතිරි වෙනවා. එහි වටිනාකම තේරෙන්නේ ඉදිරි (2026) වසරේ රාජ්‍ය මූල්‍යනයේදීයි. 

මෙම වසරේ තත්ත්වයට සාපේක්ෂව බලද්දී ඉදිරි වසර හා අදාළව දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. අයවැයෙන් සැලසුම් කර තිබුණේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් පමණක් බැවින් දැනට සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක වියදම අමතර වියදමක් ලෙස එකතු වුවහොත්, ප්‍රාථමික අතිරික්තය 2.3% මට්ටමෙන් පහතට වැටෙනවා. මෙම අමතර වියදම දදේනියෙන් 1.5%කට ආසන්න වියදමක්. ඒ අනුව, ඉදිරි වසරේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 1.0%කට නොඅඩු මට්ටමක් දක්වා පහත වැටීමේ විභවයක් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මට්ටමට වඩා 1.3%කින් අඩු මට්ටමක්. කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේ වුවත්, මේ වසරේ 1.3%ක අමතර ඉතිරිය නිසා, දිගුකාලීනව රටේ ණය තිරසාරත්ව ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නැහැ. එකම ප්‍රශ්නය යම් හෙයකින් නැවතත් මෙවැනි කම්පනයක් ඇති වුවහොත් එයට ඔරොත්තු දීම අසීරු වීම පමණයි.

රුපියල් බිලියන 500ක අමතර මුදල සොයා ගන්නා ආකාරය හරියටම දැනගන්නට ලැබෙන්නේ රජය විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළියෙළ කර ඉදිරිපත් කිරීමෙන් පසුවයි. දැනටම අයවැයෙන් වෙන් කර තිබෙන වියදම් නවත්වා එම අරමුදල් මේ වෙනුවෙන් යෙදවීම මගින් අවශ්‍ය වන රුපියල් බිලියන 500ක මුදලින් යම් ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස අලුත් මාර්ග හෝ ගොඩනැගිලි වෙනුවෙන් වෙන් කර ඇති මුදල් කැඩී ගිය මාර්ග හා ගොඩනැගිලි වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ නිසා, ඉදිරි වසරේ ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 1.0% මට්ටම දක්වාම පහත වැටෙන එකක් නැහැ. එහෙත් මේ ක්‍රමයට රුපියල් බිලියන 500ක් වැනි විශාල මුදලක් සොයා ගන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැනි බොහෝ වියදම් වෙනස් කළ නොහැකි වියදම්. 

මෙවැනි ආපදාවකින් පසුව රාජ්‍ය ආදායම් යම් තරමකින් හෝ අඩු වනු මිස වැඩි වන්නේ නැහැ. ඒ නිසා, ඒ පැත්තෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. මේ අනුව, ප්‍රායෝගිකව බොහෝ විට ඉදිරි වර්ෂයේ ප්‍රාථමික අයවැය හිඟය 2.3% මට්ටමට වඩා අඩු, දදේනියෙන් 1.5%-1.8% ආසන්න මට්ටමක් වෙන්න පුළුවන්. රජය විසින් පරිපූරක අයවැය සකස් කිරීමෙන් පසුව මේ ගැන හරියටම දැනගන්න පුළුවන්.

රජයේ ප්‍රාථමික වියදම් හා අදාළව ව්‍යවස්ථාපිත සීමාවක් තිබෙනවා. එම වියදම් දදේනියෙන් 13.0% ඉක්මවා යා නොහැකියි. එහෙත් මෙවැනි විශේෂ තත්ත්වයන් යටතේ සීමාව ඉක්මවා වියදම් කිරීම සඳහා ප්‍රතිපාදන තිබෙන නිසා එම නීතිය මේ අවස්ථාවේදී සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. මූල්‍ය අරමුදලේ 2.3% ඉලක්කය හා අදාළව කියන්නට තියෙන්නේත් මේ කතාවමයි. මගේ තක්සේරුව අනුව පවතින තත්ත්වය සුවිශේෂී තත්ත්වයක් බව මූල්‍ය අරමුදල විසින් හඳුනා ගන්නා බවට සැකයක් නැහැ. 

ආපදා තත්ත්වයක් යටතේ කෙටිකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ආකෘතිමය වෙනස්කම් හරහා දිගුකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම කරුණු දෙකක්. පළමුවැන්නෙහි තිබෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ බව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, එක් වසරක වියදම් වුවද සැලකිය යුතු ලෙස වැඩි වුවහොත් එයින් ණය තිරසාරත්වය විශ්ලේෂණයට බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා, ස්ථායීකරණ වැඩපිළිවෙළේ පරාමිතීන්ද වෙනස් කරන්නට සිදු වෙනවා. 

දැනට රජයේ ප්‍රවේශය බව පෙනෙන්නේ ආපදා තත්ත්වය හමුවේ ස්ථායීකරණ වැඩ සටහනෙහි පරාමිතීන් සීරුමාරු කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලබා ගැනීමයි. ඒ සඳහා මාස කිහිපයක් ගත විය හැකි නමුත් එම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලැබීම පිළිබඳව සැකයක් නැහැ. කෙසේ වුවද, මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනුයේ රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ගත වන කාලය ආපදාවට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ප්‍රමාද වීමයි. 

මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින රැස් වී ශ්‍රී ලංකාවේ මීළඟ ණය වාරිකය ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත්, මේ වන විට එම රැස්වීම අවලංගු කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා රජය විසින් කලින් අනුමත කරනු ලැබ වාරික වශයෙන් ලැබෙමින් තිබුණු ණය මුදලට අමතරව, ඩොලර් මිලියන 200ක හදිසි අවශ්‍යතා ණයක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා. 

මෙම ඩොලර් මිලියන 200ක ණය මුදල අනුමත වුවහොත් එම මුදල සහ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු ඩොලර් මිලියන 350ක මුදල පෙබරවාරි මාසයේදී පමණ එකවර ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 500ක අමතර මුදලක් වියදම් කිරීම සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම අතුරු අයවැය වුවද සකස් කෙරෙනු ඇත්තේ මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට යටත්වයි. වෙනත් විදිහකින් කිවුවොත්, ආපදාවෙන් පසුවද රජය විසින් කරමින් සිටින්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළම සිටිමින් විසඳුම් සෙවීමයි. 

මෙම ආපදා තත්ත්වය හමුවේ පසුගිය වසර කිහිපය තුළ යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීමේ වාසිය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා, පවතින ආතති තත්ත්වය හමුවේ වුවද රජයට රුපියල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී නැහැ. එහෙත්, රුපියල් හා අදාළව තිබෙන එම වාසිදායක තත්ත්වය ඩොලර් හා අදාළව නැහැ. ඊට හේතුව තවමත් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නැගී නොතිබීමයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රජයට මූල්‍ය අරමුදලෙන් ලැබිය හැකි සුළු හෝ අමතර මුදලක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන සිටීමට සිදු වී තිබෙනවා. 

Friday, December 5, 2025

විදේශ සංචිත පහළට!


නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙනවා.

පෙර ලිපියෙහි විස්තර කළ පරිදි, වසරේ පළමු මාස අටක කාලය තුළ අතිරික්තයක්ව පැවති ජංගම ගිණුම් ශේෂය ඉන් පසුව සෘණ අතට හැරී තිබෙනවා. එයින් අදහස් වන්නේ උපයා ඇති ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වැය කර ඇති බවයි. 

ජංගම ගිණුමෙහි හිඟයක් ඇති විට, එම හිඟය පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ ආයෝජන රටට නොපැමිණේනම්, ඒ වෙනුවෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම්, එම හිඟය පියවෙද්දී රටේ විදේශ සංචිත පහත වැටෙනවා. නොවැම්බර් මාසය අවසානයේදී රටට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවත්, එම මාසය තුළද සංචාරක පැමිණීම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිව තිබුණු බැවින්, සංචිත අඩු වීමට හේතුව එම ආපදා තත්ත්වය සේ සලකන්න අසීරුයි. ආපදා තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු වනු ඇත්තේ දෙසැම්බර් මාසය තුළයි.

පසුගිය මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය අවසානයේදී මහ බැංකු අධිපතිවරයා විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියේ මෙම වසර අවසන් වෙද්දී ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ වැඩිම විදේශ සංචිත ප්‍රමාණය වාර්තා වනු ඇති බවයි. ආර්ථික අර්බුදයෙන් පසුව දැනට වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා වී ඇති පසුගිය මාර්තු මාසය අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,531 දක්වා ඉහළ ගොස් තිබුණු අතර දැන් මට්ටමේ සිට එම මට්ටම දක්වා යාම සඳහා වුවද දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 498ක් එකතු කර ගැනීමට සිදු වෙනවා. එවැන්නක් සිදු වීමේ විභවයක් මේ වෙද්දී පෙනෙන්නට නැහැ.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ පදනම වූයේ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදලයි. එහෙත්, දැන් පවතින තත්ත්වය අනුව, එම වාරිකය මේ වසර තුළ ලැබීමේ ඉඩක් නැහැ. 

ආපදා තත්ත්වය හමුවේ මේ වන විට රජය විසින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කරමින් මෙම වසරේදී යම් ප්‍රමාණයකින් හා ඉදිරි වසර තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය වියදම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙය එම රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනයක් නොවෙතත්, මේ තීරණය හේතුවෙන් මූල්‍ය අරමුදල සමඟ පසුගිය විමර්ශන අවස්ථාවේදී රජය විසින් ඇති කරගත් එකඟතා බිඳී යන බැවින්, රජයට නැවතත් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට සිදු කර අවසන්ව තිබෙන විමර්ශනය නැවතත් මුල සිටම සිදු කරන්නට වෙනවා. අරමුදලේ ඊළඟ වාරිකය ලැබෙනු ඇත්තේ එම සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කර ගැනීමෙන් පසුවයි. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකියි.

මෙම ආපදාව සිදු වූයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අවපාතයකින් ගොඩ එමින් සිටින අතරයි. එය සිදු වන විටද, ලංකාවට ආර්ථිකය පෙර (2018දී) පැවති මට්ටම දක්වා ප්‍රසාරණය කර ගැනීමට අවම වශයෙන් තවත් වසරක් පමණවත් බලා සිටින්නට සිදු වී තිබුණා. ආපදාව හේතුවෙන් මේ සඳහා වඩා වැඩි කාලයක් ගත විය හැකි අතර, ඒ සඳහා විනාශ වූ ප්‍රාග්ධන සම්පත් නැවත ගොඩ නගා ගත යුතුව තිබෙනවා. ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට නැවත එසැවීම තීරණය වනු ඇත්තේ මෙසේ විනාශ වූ සම්පත් නැවත ගොඩ නැගෙන වේගය අනුවයි. ඒ අතරතුර, ආර්ථික වර්ධනයෙහි කෙටිකාලීන පසුබෑමක් සිදු වන බව පැහැදිලියි.

ආර්ථිකයෙහි සිදු විය හැකි කෙටිකාලීන පසුබෑම රාජ්‍ය ආදායම් කෙරෙහිද යම් හෝ බලපෑමක් කරනවා. නැවත සිදු කෙරෙන විමර්ශනයකදී මෙය මූල්‍ය අරමුදලේ අවධානයට ලක්වන බව පැහැදිලියි. එක් පසෙකින් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී, අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාම තුළ ස්ථායිකරණ වැඩපිළිවෙලේ පරාමිතීන් අවශ්‍ය පරිදි සීරුමාරු කර ගැනීම තරමක අභියෝගයක්.

ආපදාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම දේශපාලනිකව හා සමාජයීයව නිවැරදි ප්‍රවේශයක් වුවත්, එහි ආර්ථික බලපෑම වනුයේ සැපයුමෙහි වෙනසක් නොමැතිව ඉල්ලුම ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ එක්කෝ මිල ඉහළ යාම (උද්ධමනය) හරහා මෙම සහන වල මිල සහන නොලබන අය මත පැටවෙනවා. එසේ නැත්නම්, ආනයන ඉහළ යාම හරහා ඉල්ලුම් සැපයුම් වෙනස තුලනය වෙද්දී විදේශ අංශය මත පීඩනය ඉහළ යනවා. බොහෝ විට සිදු විය හැක්කේ මේ දෙකෙහි මිශ්‍රණයක්.

මෙවැනි වියහැකියාවන් දෙකක් තිබුණත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දේ සඳහා දේශීය ආදේශක නොමැති බැවින් සහන සැලසීමෙහි බලපෑම වැඩිපුරම දැනෙනු ඇත්තේ විදේශ අංශයටයි. සහන ලෙස ලබා දෙන රුපියල් හේතුවෙන් ආනයන ඉල්ලුම ඉහළ යද්දී දැනට පවතින විදේශ අංශයේ තුලනයද වෙනස් වෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්වී තිබෙනවා. 

Thursday, December 4, 2025

ආපදාවෙන් පසු විදේශ අංශය

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත් මරණ සිය ගණනක් එකතු විය හැකියි. 

අහිමි වූ ජීවිත ගණන පිළිබඳව සලකන්නේනම් සුනාමියේ හානියේ මෙම සුළි කුණාටුවේ හානිය හා කිසිසේත්ම සැසඳිය නොහැකි වුවත්, ජීවිත හානිය දෙස නොබලා දේපොළ හානිය දෙස පමණක් බලන්නේනම්, සුළි කුණාටුවේ හානිය සුනාමියෙන් සිදු වූ දේපොළ හානියටද වඩා වැඩි හානියක් විය හැකියි. මෙම දේපොළ හානිය ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි දැනෙන බලපෑමක් කරන බව පැහැදිලියි. 

සුළි කුණාටුව අතර මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේ විදේශ අංශයේ තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංඛ්‍යාලේඛණ අනුව එම මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 200ක හිඟයක් වාර්තා වී තිබුණා. ඊට පෙර සැප්තැම්බර් මාසය තුළද ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා වුනා. ඒ වසරේ පළමු මාස අට තුළ එක දිගටම ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වීමෙන් පසුවයි. 

අගෝස්තු මාසය අවසන් වන විට ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක සමුච්ඡිත අතිරික්තයක් දැකිය හැකිව තිබුණත්, පිට පිටම දෙමසක් හිඟයන් වාර්තා වීමෙන් පසුව, ඔක්තෝබර් අවසානය වන විට එම අතිරික්තය ඩොලර් මිලියන 1,657.4 දක්වා පහත වැටී තිබුණා. පැවති ප්‍රවණතා අනුව, නොවැම්බර් මාසය තුළ මෙම අතිරික්තය තව දුරටත් අඩු වී තිබෙන්නට ඉඩ තිබෙනවා. සුළි කුණාටුවේ බලපෑම නිසා යම් වෙනසක් සිදු විය හැකි වුවත්, එතෙක් අපේක්ෂා කළ හැකිව තිබුණේ දෙසැම්බර් මාසය තුළද මෙම ප්‍රවණතාවය තව දුරටත් එලෙසම පැවතීමයි. 

නොවැම්බර් මාසය අවසන් වන විට ලංකාවට සංචාරකයින් 2,103,593 දෙනෙකු පැමිණ තිබුණා. මීට පෙර ලංකාවට සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් පැමිණියේ 2018 වසරේදීයි. එම ප්‍රමාණය 2,333,796ක්. ආපදා බලපෑම හමුවේ වුවද, මෙම වසර අවසන් වන විට වසරක් තුළ ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වාර්තා විය හැකියි. එම ප්‍රමාණය රජයේ ඉලක්ක හා ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු විය හැකි බව වෙනම කරුණක්. 

ආර්ථිකය හා අදාළව වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයයි. 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් ඩොලර් මිලියන 4,380.6ක විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබුණා. එහෙත් මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබී තිබුණේ ඩොලර් මිලියන 2,659.0ක මුදලක් පමණක් බැවින් වසර අවසානයේදී මෙම ආදායම 2018 මට්ටම ආසන්නයට යාමේ ඉඩක් නැහැ. ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ආදායම කෙරෙහි තව දුරටත් නිශේධනීය බලපෑමක් සිදු විය හැකියි.

සංචාරක ආදායම් පිළිබඳ තත්ත්වය එසේ වුවද, මෙම වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ආපදා තත්ත්වය හමුවේ දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බැවින් එමගින් සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම පහසුවෙන්ම නිශේධනය විය හැකියි. කෙසේ වුවද, සංචාරක කර්මාන්තයේ බලපෑම තිබෙන්නේ විදේශ අංශයට පමණක් නෙමෙයි. මූර්ත අංශයටද, එනම් ආර්ථික වර්ධනයටද, එහි බලපෑමක් තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි වූ අතර, තවමත් ඇස්තමේන්තු පිළියෙල කර නැතත්, තෙවන කාර්තුව තුළද සාපේක්ෂව හොඳ ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි ලකුණු පෙනෙන්නට තිබුණා. එහෙත්, ආපදා තත්ත්වයට පෙර වුවද, සිවුවන කාර්තුව තුල ආර්ථික වර්ධන වේගය අඩු වන ලකුණු දැකිය හැකිව තිබුණා. ආපදා බලපෑම හේතුවෙන් සිවුවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය තව දුරටත් අඩු විය හැකියි.

සුළි කුණාටුවේ බලපෑම පැවතුණේ සතියක පමණක කාලයක් වුවද, එහි ආර්ථික බලපෑම මාස හයක පමණ කාලයක් පැවතිය හැකියි. ඒ අනුව, මෙම වසරේ අවසන් කාර්තුවේ සහ ලබන වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේග කලින් හිතුවාට වඩා අඩු වෙන්න පුළුවන්. 

කෙසේ වුවත්, මෙවැනි ස්වභාවික ආපදාවකින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය ලොකුවට වෙනස් වෙන එකක් නැහැ. 2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවත්, 2025 අවසන් කාර්තුවේ වර්ධන වේගය අඩු වීම යථා තත්ත්වයට පත් වෙද්දී 2026 අවසන් කාර්තුවේ වර්ධන වේගය ඊට අනුරූපව ඉහළ ගොස් එහි බලපෑම නිශේධනය වෙයි. ඒ නිසා, මෙම වසරේදී 4.0%ක පමණ ආර්ථික වර්ධන වේගයක් සහ ඉදිරි වසරේදී 3.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තව දුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. 

ආපදාව හේතුවෙන් ධීවර ඇතුළු කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදිතය විශාල ලෙස අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව කර්මාන්ත හා සේවා අංශ වලටද බලපෑමක් සිදු වෙන බව පැහැදිලියි. කෙසේ වුවත්, පෙර සඳහන් කළ පරිදි, මේ බලපෑම් සියල්ල කෙටිකාලීනයි. 

නොවැම්බර් මාසයේ උද්ධමන ප්‍රවණතාව දෙස බැලූ විට පෙනී යන්නේ ආපදාවට පෙරද ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වෙමින් පැවති බවයි. මෙයට ආපදාවේ බලපෑම එකතු වූ විට, විදේශ අංශය හා අදාළ ආනයන හා අපනයන ආදියේද තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ජංගම ගිණුම් ශේෂය සෘණ අතට හැරී ඇති තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ක්‍රියාකාරකම් සමස්තයක් ලෙස අඩු වෙද්දී එයින් සිදු වන්නේ ජංගම ගිණුම් හිඟයද අඩු වීමයි. ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීම සමස්තයක් ලෙස නරක තත්ත්වයක් වුවත්, විදේශ අංශය හා අදාළව එහි බලපෑම නරක එකක් නෙමෙයි. මෙම තත්ත්වය තුළ රටට ලැබෙන ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බැවින් ඇතැම් විට පැවති ප්‍රවණතාව වෙනස් වී දෙසැම්බර් මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙන්න වුනත් ඉඩ තිබෙනවා. 

මේ ආණ්ඩුවට හා ආණ්ඩු පක්ෂයට හිතවත් බොහෝ දෙනෙකු මෙම ස්වභාවික විපත රටේ (හා බලයේ සිටින පක්ෂයේ) වාසියට හරවා ගත හැකි තත්ත්වයක් සේ දකින බවක්ද පෙනී යනවා. එහි පදනම සුනාමියෙන් පසුව රටට ලැබුණු විශාල විදේශාධාර ප්‍රමාණයයි. 

විදේශාධාර එකතු කරගැනීමේ අරමුණ පෙරදැරිව ආණ්ඩු පක්ෂය විසින් ලෝකය පුරාම සංවිධානාත්මක මෙහෙයුමක් සිදු කරමින් සිටින බවක්ද පෙනෙනවා. මේ ආණ්ඩුවේ ඉන්නේ, අනෙක් දේවල් කෙසේ වුවත්, කැට හෙල්ලීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයයක් ඇති පිරිසක්. කෙසේ වුවද, අපට කිව හැක්කේ, මෙවැනි සංවිධානාත්මක මෙහෙයුමකින් පසුව වුවද, සුනාමියේදී ලැබුණු මට්ටමේ විදේශාධාර රටට ලැබෙන්නේ නැති බවයි. 

සුනාමි ආධාර ගලා ඒමට හේතු වූයේ එම ස්වභාවික ආපදාව නිසා අහිමි වූ විශාල ජීවිත ප්‍රමාණයයි. මරණ ප්‍රමාණය තවත් එක් සංඛ්‍යාලේඛණයක් සේ සැලකීම බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක් විය හැකි වුවත්, මෙම ආපදාව හා අදාළ තිත්ත ඇත්ත වන්නේ සිය ගණනින් ගැනෙන මරණ ප්‍රමාණයක කම්පනය මරණ දස දහස් ගණනක කම්පනයකට වඩා බෙහෙවින්ම අඩු බවයි. එමෙන්ම, මෙම මරණ වලක්වා ගත හැකිව තිබුණු මරණ බවට ආණ්ඩුවට එල්ල වූ චෝදනාව හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ හිතවතුන් විසින් හානිය අවතක්සේරු කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් සිදු වූයේද ආපදාව නිසා ඇති විය හැකිව තිබුණු කම්පනය තව දුරටත් අඩු වීමයි. 

ආපදා තත්ත්වයක් හමුවේ ලෝකයෙන් ආධාර ඉල්ලීම සෑම රටක් විසින්ම කරන දෙයක් නෙමෙයි. ඇතැම් රටවල් මෙවැන්නක් සලකන්නේ රටේ ජාතික අභිමානයට බලපාන කරුණක් ලෙසයි. ඒ වගේම, රජය විසින් රටක ආපදාවක් හා ආපදා ආධාර ලෙස ලැබෙන අරමුදල් හොඳින් කළමනාකරණය කිරීම හේතුවෙන් එම රටට ලැබෙන ආධාර ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. කිසියම් රටක රජයෙන් එම කටයුතු නිසියාකාරව සිදු නොවෙද්දී එම රටේ ජනතාව කෙරෙහි වෙනත් රටවල මිනිසුන් තුළ ඇති වන සහකම්පනය ඉහළ යනවා. මේ සියලු හේතු නිසා මෙම ආපදාව පෙන්වා විදේශාධාර ලබා ගැනීමට උත්සාහ කිරීමේ ආණ්ඩුවේ හා ආණ්ඩු පක්ෂයේ අභිප්‍රාය සහ ඒ සඳහා යොදා ගන්නා ක්‍රමෝපායයන් අතර පැහැදිලි ප්‍රති විරෝධයක් තිබෙනවා.

ලෝකය පුරා සිදු කරන සංවිධානාත්මක මෙහෙයුමක් මගින් වැඩි පිරිසකගෙන් කීය කීය හෝ එකතු කර ගන්න පුළුවන්. එහෙත් සතෙන් සතෙන් එකතු කර ධනවතෙකු වීම වෙළඳ දැන්වීම් වලින් පිට ප්‍රායෝගික ලෝකය තුළ කිරීමට අසීරු දෙයක්. මෙම ආපදාව හමුවේ ඩොලර් බිලියන් ගණන් වලින් විදේශාධාර ලංකාවට ලැබෙන එකක් නැහැ. දැනට ලැබෙන ආධාර ගැන බොහෝ විට කියැවෙන්නේ වැඩිම වුනොත් ඩොලර් මිලියනයකට තරමක් වැඩි ගණන් වලිනුයි. ඒ නිසා, බොහෝ විට මෙම ආපදාව හමුවේ රටට අමතරව ලැබෙනු ඇත්තේ ඩොලර් මිලියන සිය ගණන් වලින් කියැවෙන ගණනක්. මාසයකට ඩොලර් මිලියන දෙසීයක ජංගම ගිණුම් හිඟයක් ඇති රටක ආර්ථිකයට එයින් විශාල බලපෑමක් වෙන්නේ නැහැ.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිතය පිළිබඳ තොරතුරු මහ බැංකුව විසින් මේ වන විටද ප්‍රසිද්ධ කර නැහැ. එම ප්‍රමාණය බොහෝ විට ඔක්තෝබර් මාසය අවසානයේදී පැවති ඩොලර් බිලියන 6.2 ආසන්නයේම තිබෙනවා විය හැකියි. කෙසේ වුවද, තවත් දෙසතියකින් ලංකාවට මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමට නියමිතව ඇති අතර මෙම මාසය තුළ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද යම් ණය ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බැඳුම්කර විකුණා දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ලැබීම් වලට, ආපදාව හමුවේ ලැබෙන යම් විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එකතු වීම නිසා දෙසැම්බර් මාසය තුළ රටේ දළ නිල සංචිත වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්. 

පහත වගුවේ තිබෙන්නේ ඩොලර් බැඳුම්කර වෙන්දේසිය හා අදාළ සංඛ්‍යාලේඛණයි. ණය පැහැර හැරීමෙන් පසු මුල් වරට ඩොලර් වලින් කීයක් හෝ ණයට ගැනීමට හැකි වීම නරක තත්ත්වයක් නොවෙතත්, ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව සොච්චම් මුදලක් දේශීය වෙළඳපොළෙන් ණයට ගැනීමට හැකි වී තිබෙන්නේද සැලකිය යුතු පොලියක් යටතේයි. එක් වසර ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රජයට 5.7%ක පොලියක් ගෙවන්නට සිදු වන අතර, දෙවසරක ඩොලර් බැඳුම්කර වෙනුවෙන් 6.1%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජයට එක් වසර රුපියල් බැඳුම්කර වෙනුවෙන් 8%කට ආසන්න පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව පෙනී යන්නේ රජය විසින් ඉදිරි වසරක කාලය තුළ ඩොලරයක මිල 2.3%කින් පමණ ඉහළ යා හැකි බව උපකල්පනය කර ඇති බවයි. 

වෙබ් ලිපිනය: