වෙබ් ලිපිනය:

Thursday, June 5, 2025

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද?


කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී වෙනත් අරමුණක් වුනත් අවසාන වශයෙන් ඒ වෙනත් අරමුණ හෝ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. අරමුණ කුමක් වුනත් එය ඉටු කරගත හැක්කේ ආයතනය පවතිනවානම් පමණයි. 

ලංවිම වැනි එක දිගට පාඩු ලබපු රාජ්‍ය ආයතන වැහිලා ගිහින් නැහැ. එහෙම වැහිලා ගිහින් නැත්තේ වරින් වර බදු මුදල් යොදවා එම ආයතන බේරාගැනීම නිසා. ඒ විදිහට පාඩු ලබන රාජ්‍ය ආයතන බදු මුදල් වලින් නඩත්තු කළ යුතුයිද කියන එක සරල තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි. එයින් එහාට ගිය දේශපාලනික ප්‍රශ්නයක්. ඒ නිසා, විවිධ දේශපාලන ධාරා ඇතුළේ ප්‍රශ්නයට දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්. 

දේශපාලනික හේතු මත ලංවිම වැනි ආයතනයක් බදු මුදල් යොදවා සුබසාධනය කළ යුතුයි කියන තැනට ආවත්, ලංකාවේ සිදු වුනේ එය සිදු විය යුතු නිවැරදි ක්‍රමයට නෙමෙයි. මූල්‍ය අරමුදල ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යන එකට විරුද්ධ වෙන්නේ එය කරන ක්‍රමයේ වැරැද්ද නිසා මිසක් ලංවිම සුබසාධනය කිරීමට විරුද්ධ වෙන පදනමකින් නෙමෙයි. සුබසාධනය කියන්නේ මූල්‍ය අරමුදලේ වැඩ සටහනේම තිබෙන ප්‍රධාන අංගයක්. 

ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරනවානම් ඒ වෙනුවෙන් කලින්ම බදු මුදල් වෙන් කළ යුතුයි. එසේ නොකර ආයතනය පවත්වා ගෙන යන්න බැරි වෙන තුරු ඉඳලා බදු මුදල් වෙන් කරන්න බලාගෙන ඉන්නවා කියන්නේ රජය විසින් අනාගත බැරකම් ගොඩ ගසා ගැනීමක්. ණය එකතු වීමක් වගේම තමයි. ඒ නිසා, එසේ කිරීම ණය තිරසාරත්වය ඇති කිරීම සඳහා හදා තිබෙන වැඩ පිළිවෙලකට බාධාවක්. එය නොකළ යුතු දෙයක් බව තේරුම් ගන්න අමාරු නැහැ. ඒ වගේම එය දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති කරුණක්.

දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති වුනත් වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. සුබසාධනය කරන ක්‍රමය අදාළ වෙන්නේ සුබසාධනය කරන නිසා. සුබසාධනය කිරීම හෝ නොකිරීම දේශපාලනික කරුණක්. මේ ලිපියෙන් ඒ ගැනත් ටිකක් කතා කරමු.

විදුලි ගාස්තු සුබසාධනය කිරීම වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටින අය එසේ කරන ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව ජීවන වියදම අඩු කිරීම. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ. දෙවන හේතුව නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මගින් අපනයන තරඟකාරිත්වය ඇති කිරීම. මෙහිදී පහසුවෙන්ම අමතක කරන සරල කාරණය වන්නේ ඔය විදිහට විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි පිරිවැය කාට හෝ දරන්න වෙනවා කියන එක. 

අඩු ආදායම්ලාභීන් සුබසාධනය කරද්දී එහි පිරිවැය ඉහළ ආදායම්ලාභීන්ට දරන්න වෙනවා. මෙය දේශපාලනිකයි තමයි. අරමුණ ආදායම් විෂමතා අඩු කිරීම. නමුත් දේශපාලනිකව ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමින් අඩු ආදායම්ලාභීන්ව සුබසාධනය කළ යුතුයි කියන ස්ථාවරයට ආවත් ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යාම අදාළ අරමුණට යා හැකි නරකම ආකාරයක්.

විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි වාසිය යන්නේ වැඩිපුරම විදුලිය පරිභෝජනය කරන අයට මිසක් අඩු ආදායම්ලාභීන්ට නෙමෙයි. පරිභෝජනය වැඩි වෙද්දී ඉහළ යන ඒකක ගාස්තු ක්‍රමය නිසා මේ තත්ත්වය පාලනය වන නමුත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැකි හොඳම ක්‍රමය එසේ සුබසාධනය කළ යුතු අයට කෙළින්ම සල්ලි දෙන එකයි. මූල්‍ය අරමුදල විසින් ඉන්ධන, විදුලි ගාස්තු ආදිය සුබසාධනය නොකළ යුතුයි කියා යෝජනා කරන අතරම අස්වැසුම වැනි වැඩ පිළිවෙලවල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා.

ඉන්ධන, විදුලිය ආදිය සුබසාධනය කරද්දී වෙන්නේ ඒවා වැඩියෙන් පරිභෝජනය කරන්න පෙළඹීමක් ඇති වෙන එක. නමුත් අතට සල්ලි ලැබෙද්දී වැඩියෙන් පරිභෝජනය කරන්නේ තමන්ට වඩාත්ම අවශ්‍ය දේවල්. ඒ දේවල් මොනවාද කියන එක එක් එක් පවුල් ඒකකය අනුව වෙනස් වෙනවා. බදු මුදල් වලින් එකම මුදල ලැබෙද්දී ඒ මුදල් වියදම් කරන විදිහ පවුල් ඒකකයකට තීරණය කළ හැකි වූ විට ඔවුන් ඔවුන්ට හොඳම, අවශ්‍යම දේවල් මිල දී ගන්නවා. නමුත් ඒ වෙනුවට ඒ මුදල් යොදවා ඉන්ධන, විදුලි ගාස්තු ආදී රජය විසින් තීරණය කරන නිශ්චිත දේවල් සුබසාධනය කළ විට තමන්ට වඩා අවශ්‍ය දේවල් පරිභෝජනය කිරීමේ අවස්ථාව නැති වෙනවා. ඒ නිසා, සුබසාධනය වඩාත්ම කාර්යක්ෂම ලෙස සිදු වෙන්නේ කෙලින්ම අතට සල්ලි දුන් විටයි.

විදුලි ගාස්තු අඩු කිරීමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කළ හැකිද?

විදුලි ගාස්තු කියන්නේ නිෂ්පාදන පිරිවැයෙහි කොටසක්. ඒ නිසා, යම් පිරිවැය අඩු වීමක් සිදු වෙනවා. නමුත් ප්‍රශ්නය ඒ පිරිවැය ආවරණය කරන්න බදු එකතු කරද්දී නැවත පිරිවැය ඉහළ යන එක. අවසාන වශයෙන් දෙපැත්ත කැපිලා ගියාට පස්සේ සමස්ත පිරිවැයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය වැඩේ බොරු වැඩක්.

මොන විදිහකින් හෝ නිෂ්පාදන පිරිවැය අඩු කරලා, බදු මුදල් යොදවා සුබසාධනය නොකර, ඉන්ධන, විදුලි ගාස්තු ආදිය අඩු කළ හැකිනම් ඒක වෙනම කතාවක්. එහි වාසියක් තිබෙන බව ඉතාම පැහැදිලියි. නමුත් ප්‍රායෝගිකව ඔය වැඩේ කියන තරම් ලේසි නැහැ. අදාළ රාජ්‍ය ව්‍යවසාය වල කොපමණ අකාර්යක්ෂමතා තිබෙනවා වුනත්, ඒ අකාර්යක්ෂමතා මුළුමනින්ම නැති කළත්. ලංකාවට විදුලි ගාස්තු වලින් අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අමාරුයි. මෙය ලංකාවට විශේෂ වාසියක් නැති ක්ෂේත්‍රයක්.

අපනයන නිෂ්පාදන වල පිරිවැය කෙරෙහි විදුලි ගාස්තු බලපානවා තමයි. නමුත් එය පිරිවැයෙහි එක් කොටසක් පමණයි. ඒ කොටස නිසා ලංකාවට ආයෝජකයෝ එන්නේ නැත්නම් අදාළ කර්මාන්ත ලංකාවට හරියන කර්මාන්ත නෙමෙයි. කළ යුත්තේ විශාල ලෙස විදුලිය අවශ්‍ය කර්මාන්ත තරඟකාරී ලෙස විදුලිය නිපදවිය හැකි රටවලට කරගන්න ඇරලා ලංකාවට අඩු පිරිවැයකින් සැපයිය හැකි කවර හෝ නිෂ්පාදන යෙදවුම් වැඩියෙන් අවශ්‍ය වන කර්මාන්ත වලට වැඩි අවධානයක් යොමු කරන එකයි.

3 comments:

  1. පොස්ට් එකට කෙලිම අදාල නොවුණත්, මේ ප්‍රශ්ණය විසඳා ගත හැකිවන්නේ විදුලිය නිෂ්පාදනය සහ බෙදාහැරීම සමාගම්/හෝ මණ්ඩල දෙකකින් කිරීමයි. නිෂ්පාදනයත් තාප සහ පුනර්ජනනීය ලෙස සමාගම් දෙකක් විය යුතුයි. පුනර්ජනනීය සමාගමට නිපදවියයුතු ඉලක්ක ලබා දුන්නානම් ඔවුන්ට පුද්ගලික අංශය යොදාගෙන එම ඉලක්ක ලන්ගා කරගත හැකියි. බෙදා හැරීමේ සමාගමට පුනර්ජනනීය සමාගමෙන් මිලදී ගැනීම ලාභදායක වෙනවා. එකම සමාගමක් ලෙස තිබීමෙන් පුනර්ජනනීය අංශය දුර්වල කිරීමට අවිධිමත් දේවල් සිදුවීමේ හැකියාව වැඩියි. මෙවන් සැලැස්මක් කලින් ආණ්ඩුවට තිබුණා.

    ReplyDelete
  2. @ ඉකොනොමැට්ටා

    විදුලිබල මණ්ඩලයේ සැබෑ අර්බුදය මීට වඩා ඉතාමත්ම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න වෙනවා, බලශක්ති විශේෂඥ අසෝක අබේගුණවර්ධන වගේ අය මේ ගැන ලියපු ලිපි එහෙම කියවලා බලන්න

    අනෙක ලංකාවේ විදුලිබල මණ්ඩලය (CEB) කියන්නේ නිකම්ම නිකං රාජ්‍ය ආයතනයක් නෙවෙයි. ඒක දශක ගණනාවක් තිස්සේ දේශපාලන බලපෑම්, වෘත්තීය සමිති දේශපාලනය, සහ දැවැන්ත දූෂණ ජාලයකට හසු වෙලා දූෂිත මාෆියාවක තෝතැන්නක් වෙලා. මේ නිසාමයි CEB හැමදාම පාඩු ලබන්නේ, ඒ පාඩුව පියවන්න හැමදාම අසරණ ජනතාවට විදුලි බිල වැඩි කරන්නේ.ප්‍රතිව්‍යුහගතකරණය නොව, පවත්නා දූෂණය පවත්වාගෙන යාමයි මෙතන ලොකුම ප්‍රශ්නය

    මේ වන විට බලයට පත්ව සිටින ජාතික ජන බලවේගය (NPP) විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන බවට කතා කළත්, ඔවුන්ගේ අතීත ක්‍රියා කලාපය සහ වර්තමාන උපාය මාර්ග දෙස බලන විට, මේක තවත් එක් NPP දේශපාලන ගොබ්බ කතාව වලින් තව එකක් පමණක් විය හැකියි.

    ඔවුන් අතීතයේදී, විදුලිබල මණ්ඩලය කොටස් කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම "රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමක්", "පෞද්ගලීකරණයක්" ලෙස හඳුන්වමින් දැඩිව විරුද්ධ වුණා. ඔවුන්ගේ වෘත්තීය සමිති, එවකට බලයේ සිටි රජයන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කළා. ඒත් දැන්, තමන් බලයට පත්වෙලා ඉන්න වෙලාවක, ඔවුන්ම ඒ හා සමාන "ප්‍රතිව්‍යුහගතකරණ" යෝජනා ගැන කතා කරනවා. මේකෙන් පේනවා, ඔවුන්ගේ අරමුණ CEB එක ගොඩගැනීම නෙවෙයි, තමන්ට අවශ්‍ය විදිහට මේ ආයතනය පාලනය කරගෙන, ඒ තුළ පවතින දූෂිත ජාවාරම් සහ මාෆියාවලට නිදහස දීමයි.

    වර්තමාන NPP ට ඇත්තටම CEB ගොඩගන්න ඕන නම්, ඔවුන් අතීතයේදී චම්පික රණවක, කාංචන විජේසේකර, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් ගත් සාධනීය පියවරවලට සහාය දිය යුතුව තිබුණා. නමුත් ඔවුන් කළේ, එම උත්සාහයන්ට විරුද්ධ වෙමින්, විදුලිබල අර්බුදය තව තවත් උග්‍ර කිරීමයි. ඔවුන් බලයට පත්වීමෙන් පසු විදුලි ගාස්තු ඉහළ නැංවීමට තීරණය කිරීම, CEB හි පාඩු පියවීමට නොව, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සහ දූෂිත ජාලයන් පවත්වාගෙන යාමට බවට සැක පහළ වෙනවා.
    විදුලිබල ක්ෂේත්‍රය ගොඩනැගීමට දායක වූ කැපී පෙනෙන නායකයෝ
    ශ්‍රී ලංකාවේ විදුලිබල අර්බුදය විසඳීමට පක්ෂ භේදයෙන් තොරව කැපවූ නායකයන් කිහිප දෙනෙක්ම සිටියා. ඔවුන්ගේ ප්‍රයත්න අගය කළ යුතුයි: 2005 න් පසු බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජය විදුලිබල අර්බුදයට ස්ථාවර විසඳුමක් ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට පුරෝගාමී වුණා. එවකට අධික මිල ඩීසල් බලාගාරවලින් විදුලිය නිපදවීම නිසා CEB දැවැන්ත පාඩු ලැබුවා. ගල් අඟුරු බලාගාරය, අඩු මිලට විදුලිය ජනනය කිරීමට හැකිවීම නිසා, CEB හි පාඩු අවම කිරීමටත්, ජනතාවට සාපේක්ෂව අඩු මිලට විදුලිය ලබා දීමටත් විශාල පිටිවහලක් වුණා. බුද්ධිමත්ව සහ කඩිනමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ එය සාර්ථකව අවසන් කිරීම, රටේ බලශක්ති අනාගතය වෙනුවෙන් ගත් අතිශය වැදගත් තීරණයක්.

    පාඨලී චම්පික රණවකගේ සාධනීය වැඩපිළිවෙළ: රාජපක්ෂ රජය යටතේ විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක, CEB එක ලාභ ලබන ආයතනයක් කරන්නට සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඔහු ප්‍රමුඛව ඉරාන ආධාර මත සිදුකළ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය වැනි ජල විදුලි ව්‍යාපෘති සඳහා දැඩි අවධානයක් යොමු කළා. පුනර්ජනනීය බලශක්තිය දිරිමත් කරමින්, නව බලාගාර ඉදිකිරීමට පියවර ගත්තා. ඔහුගේ කාලයේදී CEB පාඩු අවම කරගෙන, යම් තරමකට ලාභ ලබන තත්ත්වයට පත් කරන්නට හැකි වුණා.

    කාංචන විජේසේකරගේ ප්‍රයත්නයන්: පොදුජන පෙරමුණ රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාංචන විජේසේකර ද විදුලිබල අර්බුදය විසඳීමට කැපී පෙනෙන උත්සාහයක් ගත්තා. රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියදී, ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදු මධ්‍යයේ ඔහු විදුලි සැපයුම පවත්වා ගැනීමට විශාල වෙහෙසක් ගත්තා. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු වේගවත් කර, විදුලි උත්පාදනය ස්ථාවර කිරීමට පියවර ගත්තා. විශේෂයෙන්ම, CEB හි පාඩු පියවා ගැනීමට අත්‍යවශ්‍ය වූ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ඔහු දේශපාලන අවදානමක් ගෙන පියවර ගත්තා. මේ සඳහා ඔහුට විශාල දේශපාලන පීඩනයකට මුහුණ දෙන්න සිදු වුණත්, රටේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ඔහු එම තීරණය ක්‍රියාත්මක කළා.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැපවීම: රටේ ආර්ථිකය කඩා වැටී තිබූ මොහොතක ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කළා. ඔහු CEB හි පාඩු අවම කර ගැනීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහාය දුන්නා. ඔහුගේ නායකත්වය යටතේ, CEB හි මූල්‍ය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම සඳහා ගාස්තු සංශෝධන වැනි unpopular තීරණ ගැනීමට රජය ධෛර්යවත් වුණා.

    ReplyDelete
    Replies
    1. මේ වගේම විදුලි බල මණ්ඩලයට අරක් ගෙන සිටින
      දූෂිත කණ්ඩායම් සහ වෘත්තීය සමිති නායකයන්ගේ භූමිකාව
      CEB හි ප්‍රධාන අර්බුදයට හේතුව වන්නේ එහි පවතින දූෂිත මාෆියාවන් සහ ඔවුන්ට සහාය දක්වන වෘත්තීය සමිති නායකයන්ගේ ක්‍රියා කලාපයයි.

      තාප බලාගාර ජාවාරම: ලංකාවට ඉතාමත්ම ලාභදායී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (ජල, සූර්ය, සුළං) ඕනෑ තරම් තිබියදීත්, තාප බලාගාරවලින් (විශේෂයෙන්ම ඩීසල් වැනි, ඛනිජ තෙල් මත හෙවි ෆුඑල්) විදුලිය මිලදී ගැනීමට අනිසි බලපෑම් එල්ල වෙනවා. මේ තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී විශාල කොමිස් මුදල් අත යටින් හුවමාරු වන බවට චෝදනා තිබෙනවා. මේ කොමිස් මුදල්, CEB නිලධාරීන්, දේශපාලඥයන් සහ සමහර වෘත්තීය සමිති නායකයන් අතර බෙදී යන බවටයි චෝදනා නැගෙන්නේ.

      පුනර්ජනනීය බලශක්තියට බාධා කිරීම: පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවසර ලබා දීම, ඒවා ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම වැනි කටයුතු හිතාමාතාම ප්‍රමාද කරනවා. ඒ ඇයි? පුනර්ජනනීය බලශක්තිය දියුණු වුණොත්, මිල අධික තාප බලාගාරවල අවශ්‍යතාවය අඩු වෙනවා. එතකොට කොමිස් මුදල් ජාවාරම නැතිවෙලා යනවා. මේ නිසා, වසර ගණනාවක් තිස්සේ පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්න නොදී, රටට සහ ජනතාවට ඉහළ විදුලි බිලක් ගෙවීමට සිදුව තිබෙනවා.

      අකාර්යක්ෂමතාව සහ අලාභය: වෘත්තීය සමිති නායකයන්, දේශපාලන අනුග්‍රහය මත CEB තුළ අකාර්යක්ෂමතාවන් පවත්වාගෙන යනවා. අනවශ්‍ය සේවක බඳවා ගැනීම්, අකාර්යක්ෂම මෙහෙයුම් සහ දුර්වල කළමනාකරණය හේතුවෙන් CEB හි පාඩු දිගින් දිගටම ඉහළ යනවා. මීට අමතරව NPP විසින් සිදු කරන ලද "විනාශය"
      ජාතික ජන බලවේගය (NPP) අතීතයේ සිටම මේ දූෂිත මාෆියාවට තිරය පිටුපසින් සහාය දුන් බවට බරපතළ චෝදනා තිබෙනවා. ඔවුන් හැමදාම CEB ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ දූෂණය පිටුදැකීමට ගත් සාධනීය උත්සාහයන්ට විරුද්ධ වුණේ:පෞද්ගලීකරණ භීතිකාව මුවාවෙන්: "රටේ සම්පත් විකිණීම" වැනි සටන් පාඨ යොදා ගනිමින් ජනතාව නොමග යැවූ ඔවුන්, ඇත්තටම කළේ තමන්ට හිතවත් දූෂිත වෘත්තීය සමිති නායකයන්ගේ සහ බලශක්ති මාෆියාවේ අවශ්‍යතා ආරක්ෂා කිරීමයි. රාජ්‍ය ආයතන බිඳ දැමීම: ඔවුන්ගේ විරෝධතා නිසා, CEB වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතනයක් ලාභ ලබන තැනකට ගේන්න බැරි වුණා විතරක් නෙවෙයි, අවසානයේදී ඒ ආයතනය තවත් අර්බුදයකට ඇද දමනු ලැබුවා.වර්තමාන "විනාශය": දැන් බලයට පත්වෙලා ඉන්න NPP, අතීතයේ තමන් විරුද්ධ වුණු දේම කරන්න හදන බවක් පෙනුනත්, ඔවුන්ගේ සැබෑ අරමුණ වන්නේ මේ දූෂිත ක්‍රමය තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යාම බවට චෝදනා තිබෙනවා.

      මේ නිසා ලංකාවේ විදුලිබල අර්බුදයේ මූලික හේතුව තාක්ෂණික හෝ ආර්ථික ගැටලුවක් නොව, දේශපාලන දූෂණය සහ මාෆියා සබඳතායි. ජාතික ජන බලවේගය ඇතුළු කිසිදු පක්ෂයකට මේ දූෂිත ජාලය බිඳ දැමීමට සැබෑ අවශ්‍යතාවයක් නැති බවක් පෙනී යනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ මේ දූෂිත පද්ධතිය තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමයි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත්, ශ්‍රී ලංකාවට අඳුරෙන් එළියට එන්නට ලැබෙන්නේ නැහැ. ජනතාව හැමදාම මේ දේශපාලන මාෆියාවට ගොදුරු වී විදුලි බිලෙන් බැට කෑමට සිදුවේවි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: