වෙබ් ලිපිනය:

Friday, August 8, 2025

රුපියල් ට්‍රිලියනයේ සංචිතය කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක රුපියල් ට්‍රිලියනයක සංචිතයක් ගැන කිවුවනේ. මේ සංචිතය කුමක්ද?

සංචිතය කියා කියද්දී ගොඩක් අයට එකවර මතක් වෙන්නේ රටේ නිල විදේශ සංචිතයනේ. නමුත් මේ කියන්නේ විදේශ සංචිතය ගැන නෙමෙයි. විදේශ සංචිතය රුපියල් වලින් ගණන් හැදුවොත් ට්‍රිලියන 1.8කටත් වඩා වැඩියි. 

සංචිතයක් කියන එකෙන් අදහස් වෙන්නේ කිසියම් ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා එකතු කර තබා ගන්නා දෙයක් කියන එක. එවැන්නක් තෙල් සංචිතයක් හෝ හාල් සංචිතයක් වැනි භාණ්ඩ සංචිතයක් වෙන්න පුළුවන්. එසේ නැත්නම් අරමුදල් සංචිතයක් වෙන්න පුළුවන්. 

අරමුදල් සංචිතයක් රුපියල් වලින් හෝ විදේශ මුදල් වලින් තියා ගන්න පුළුවන්. රටේ නිල විදේශ සංචිතය විදේශ මුදල් වලින් තබා ගන්නා සංචිතයක්. නිල විදේශ සංචිතයට අමතරව වාණිජ බැංකු සහ වෙනත් ආයතන හා පුද්ගලයින් සතුවත් විදේශ මුදල් වලින් සංචිත තිබෙනවා. රුපියල් සංචිතනම් රටේ බොහොමයක් ආයතන හා පුද්ගලයින් සතුව තිබෙනවා. සරලව කිවුවොත් ඔබේ බැංකු ගිණුමේ ශේෂය ඔබ විසින් පවත්වාගෙන යන රුපියල් සංචිතයක්. 

ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අරමුදල් සංචිතයක් පවත්වා ගැනීම ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් කළ යුතු දෙයක්. තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් ආපතික සංචිතයක් ලෙස පවත්වා ගත යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ පවා කියලා තියෙන දෙයක්නේ.

"චතුත්ථං ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති"

නමුත් පසුගිය දශක ගණනාවක් පුරාම ශ්‍රී ලංකා රජය සතුව ඔය විදිහේ ආපතික සංචිත අරමුදලක් තිබුණේ නැහැ. ඒ නිසාම, අපිට මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් වී තිබුණත්, ඇත්තටම මේ තත්ත්වය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඕනෑම රජයක් හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපතික සංචිතයක් නඩත්තු කරනවා. ණය නැති රටක් සේ සැලකිය හැකි සිංගප්පූරුව වැනි රටක් සැලකුවත්, ලෝකයට හා රටට විශාල ලෙස ණය ඇමරිකාව වැනි රටක් සැලකුවත්, එම රටවල් සතුව විශාල ආපතික සංචිත තිබෙනවා.

නිදහස ලැබෙන තුරු වගේම නිදහස ලැබී යම් කාලයක් යන තුරුත් ශ්‍රී ලංකා රජය සතුව මෙවැනි ආපතික සංචිත තිබුණා. නමුත් කල් යද්දී ඒ ආපතික සංචිත නඩත්තු කිරීම නැවතිලා හදිසියකට පවා මහ බැංකුවෙන් ණය ගන්නා තත්ත්වයකට ශ්‍රී ලංකා රජය පත් වුනා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේ ඔය තත්ත්වය නැවත වෙනස් කරන තුරු ශ්‍රී ලංකා රජය සතුව ආපතික සංචිතයක් කියා එකක් තිබුණේම නැහැ.

රජයක් ණය ගන්න සාමාන්‍යම ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන එකනේ. නමුත් භාණ්ඩාගාර බිල්පත් විකිණීම හා මිල දී ගැනීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වෙන ගනුදෙනුවක්. රජයට ණය ගන්න අවශ්‍යයි වගේම ඔය භාණ්ඩාගාර බිල්පත් ආයෝජන සිදු කරන අයට ඒ ආයෝජන අවස්ථාවත් අවශ්‍යයි. සාමාන්‍ය මූලධර්මයක් විදිහට ණය දීම සඳහා රජයක් තරම් සුරක්ෂිත වෙනත් ආයතනයක් නැහැ. ලංකාවේ රජය විසින් සිදු කළාක් මෙන් ණය පැහැර හැරීම්ද සිදු වුවත්, එවැනි දේ වෙන්නේ කලාතුරකින්. 

ඉහත හේතුව නිසා සාමාන්‍යයෙන් රජයකට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ඉතා අඩු පොලියකට අරමුදල් සපයා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකන් රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න ඇමරිකාවේ වගේම ලෝකය පුරාම ඉන්න ආයෝජකයෝ පොර කනවා. ඒ නිසා ඇමරිකන් රජයට ඉතා අඩු පොලියකට ණය ලැබෙනවා. 

කිසියම් රටක පොලී අනුපාතික ආකෘතියම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මත පදනම්වයි. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තියාගන්න පුළුවන්නම් අනෙක් පොලී අනුපාතික සියල්ලද පහළ යනවා. එය පොදුවේ ආයෝජන හා ව්‍යවසායකත්වය දිරිමත් කරනවා. ආර්ථික වර්ධනයට හේතු වෙනවා. 

ඇමරිකන් ෆෙඩරල් රජය ආදායමට වඩා වියදම් කරන නිසා කොහොමටත් ණය ගන්න වෙනවා. නමුත් සිංගප්පූරු රජය සැලකුවොත් එසේ ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වුනත්, සිංගප්පූරු රජය පවා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. ඒ කියන්නේ ණය ගන්නවා. මීට හේතුව සිංගප්පූරු රජයට ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ විභවයක් තිබීමයි. මේ විදිහට එකතු කර ගන්නා අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කරලා ගෙවිය යුතු පොලිය ඉක්මවා යන ප්‍රතිලාභයක් ලබා ගන්නවා. ඊට අමතරව, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තිබෙන නිසා, සිංගප්පූරුවේ අනෙක් පොලී අනුපාතිකත් පහළ මට්ටමක නඩත්තු වෙනවා. 

ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වලට රටෙන් පිටත ඉල්ලුමක් නැති තරම්. ඉල්ලුමක් තිබුණත් එය ඉතාම කුඩා ඉල්ලුමක්. මේ වන විට නිකුත් කර තිබෙන බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය සැලකුවොත්, 99.4%ක්ම විකිණිලා තියෙන්නේ රට ඇතුළේ. ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. 

රට ඇතුළේ කියා කිවුවත්, බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන්නේ රටේ සීමිත පිරිසක්. මෑතක් වන තුරුම ගොඩක් අය මේ ආයෝජන අවස්ථා ගැන දැනගෙන හිටියේම නැති තරම්. බැංකු සාමාන්‍යයෙන් බිල්පත් හා බැඳුම්කර ගැන පාරිභෝගිකයින් දැනුවත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ අඩු පොලියකට තැන්පතු එකතු කරගෙන ලාබයක් තියාගෙන බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. ගොඩක් වෙලාවට රජය නිකුත් කරන බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නේ සීමිත පාරිභෝගිකයින් පිරිසක් විසින්. 

ඉහත තත්ත්වය තුළ ලංකාවේ බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින්ට කාටලයක් සේ ක්‍රියාකිරීමේ යම් හැකියාවක් තියෙනවා. ඒ හරහා පොලී අනුපාතික වැඩි කරගන්න පුළුවන්. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස ණය පොලී අනුපාතික ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ වගේම, බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබීම කොටස් වෙළඳපොළ වර්ධනයටද බාධාවක්. අවදානම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙද්දී අවදානම වැඩි ආයෝජන කරන්න තිබෙන පෙළඹවීම අඩුයි.

ශ්‍රී ලංකා රජය සතුව කාලයක් තිස්සේම කිසිදු ආපතික සංචිතයක් නොතිබීම මේ තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා. අතේ සතයක් නැතුව වෙන්දේසියට යනවා කියන්නේ, රෑට කන්න හාල් ගන්න සල්ලි නැතුව කරාබු දෙක උගස් කරන්න පොලී මුදලාලි ළඟට යනවා වගේ වැඩක්. හෙට්ටු කර කර ඉන්න පුළුවන්කමක් නැහැ. අතේ කිසියම් සංචිත මුදලක් තිබෙනවානම්, සල්ලි තියාගන්න කියලා ආපහු හැරිලා එන්න පුළුවන්. ශ්‍රී ලංකා රජයට පහුගිය කාලය මුළුල්ලේම ඔය ක්‍රමයට බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පිලා පොලී අනුපාතික අඩු කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

නමුත් ශ්‍රී ලංකා රජය සතුව බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පෙන්න පුළුවන් වෙනත් ආයුධයක් තිබුණු නිසා මේක ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ තමයි මහ බැංකුවට බිල්පත් විකිණීම. බිල්පත් ආයෝජකයින් විසින් ඕනෑවට වඩා වැඩි පොලියක් ඉල්ලන සේ පෙනුණු විට රජය කළේ බිල්පත් ඔවුන්ට නොවිකුණා මහ බැංකුවට විකුණන එක. මේ විදිහට මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ සල්ලි අච්චු ගැහීම බව අපි දන්නවනේ. 

ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගත්, ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමට හේතු වුනු, එකම ආකාරය මහ බැංකුවට බිල්පත් විකිණීම නෙමෙයි. කාලයක් තිස්සේම මහ බැංකුවේ තිබුණු ශ්‍රී ලංකා රජයේ ගිණුම තිබුණේ අයිරා (overdraft) තත්ත්වයේ. ආර්ථික අර්බුදයට ආසන්න කාලයේදී ඔය විදිහට ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගැනීම උපරිමයකට ගියා. එහි ප්‍රතිඵලය අපි දන්නවනේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කරන්න අවශ්‍ය වුනේ ඔය තත්ත්වයන් එක්කයි. පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි, එයින් මූලික වශයෙන් අදහස් කරන්නේ මහ බැංකුවට හිතේ හැටියට වැටුප් වැඩි කරගැනීමට හැකි වීම හෝ රටට වග කියන්නේ නැතුව හිතුමතේට කටයුතු කරන්න බලපත්‍රයක් දුන්නා කියන එක නෙමෙයි. ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට හැර රජයේ අයවැය හිඟය පියවීමට හෝ රජයට අඩු පොලියට ණය ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමට සල්ලි අච්චු ගැසීමට බල කිරීමක් තවදුරටත් සිදු නොවන බවයි. 

රටේ ආර්ථිකය අර්බුදයට යද්දී ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවට රුපියල් බිලියන 2,368.4ක බිල්පත් විකුණා තිබුණා. බැංකු අයිරාව රුපියල් බිලියන 344.7ක් වෙලා තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ඒ වෙද්දී රුපියල් ට්‍රිලියන 2.7ක් අච්චු ගහලා රජයට ලබා දී තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී මෙම ණය වලින් වැඩි කොටසක් (රුපියල් බිලියන 2,492ක්) භාණ්ඩාගාර බැඳුම්කර බවටත්, ඉතිරිය (රුපියල් බිලියන 220.8ක්) භාණ්ඩාගාර බිල්පත් බවටත් පර්වර්තනය කෙරුණා. රජය විසින් මහ බැංකුවෙන් ලබාගත් ණය බැඳුම්කර බවට පරිවර්තනය කිරීම නිසා රජයට එම ණය ආපසු ගෙවීම සඳහා 2038 වසර දක්වා වන දීර්ඝ කාලයක් ලැබුණා. නමුත් ණය එලෙසම තිබෙනවා. 

ඔය විදිහට මහ බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමාන්තරව මහ බැංකුව ස්වාධීන වීමත් සිදු වුනානේ. දැන් මහ බැංකුවට බිල්පත් වෙන්දේසියට මැදිහත් වෙන්න බැහැ. ඒ නිසාම, කලින් විස්තර කළ බිල්පත් ආයෝජකයින් එක්ක හෙට්ටු කිරීමේ බලය රජයට නැති වුණා. තිබුණු ආයුධය සල්ලි අච්චු ගැසීමේ හැකියාවනේ. ඔය තත්ත්වයත් එක්ක බිල්පත් ආයෝජකයින්ට වැඩි පොලියක් ඉල්ලා සිටීමේ ඉඩකඩක් ඇති වුණා. 

මේ තත්ත්වයට මුහුණ දෙන්නනම් නැති වුනු ආයුධය වෙනුවට අලුත් ආයුධයක් හොයා ගන්න අවශ්‍ය වුණා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේදී නැවත ගොඩ නගා ගත්ත රුපියල් සංචිතය කියන්නේ මේ ආයුධය. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී රුපියල් බිලියන 650ක සංචිතයක් හදලා මේ ආණ්ඩුවට භාර දීලයි කලින් ආණ්ඩුව ගෙදර ගිහින් තියෙන්නේ. අනුර කුමාර දිසානායක ඔහුගේ කතාවේදී කලින් ආණ්ඩුවට මේ වෙනුවෙන් ස්තුති කරනවා.

රනිල් ගෙදර ගියත් මහින්ද සිරිවර්ධන තවත් කාලයක් මේ ආණ්ඩුව එක්ක වැඩ කළානේ. ඒ කාලයේදී මේ සංචිතය තවත් වැඩි වෙන්න ඇති. අනුර කුමාරගේ කතාව අනුව මේ වෙද්දී සංචිතය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

මේ විදිහේ සංචිතයක් හදා ගත්තට පස්සේ එය පවත්වා ගෙන යන එක සහ වැඩි කර ගන්න එක සාපේක්ෂව පහසුයි. නමුත් මුලින්ම එවැන්නක් ගොඩ නගා ගන්න එක ඉතාම අසීරු වැඩක්. සංචිතය හදන්න වෙන්නෙම ණය අරගෙන. ඒ සඳහා වියදමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ගන්න සිදු වෙනවා. ණය වැඩියෙන් ගන්න උත්සාහ කරද්දී හෙට්ටු කිරීමේ හැකියාව අඩු වෙන නිසා වැඩි පොලියක් ගෙවන්න වෙනවා. නමුත් කොහොම හරි අමාරුවෙන් සංචිතය හදා ගත්තට පස්සේ හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. ඒ නිසා මේ වැඩේ කාගේ අදහසක් වුනත් ඉතාම දූරදර්ශී වැඩක්.  

ඔය සංචිතය ගොඩ නගන කාලයේම තමයි ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් බවට පත් කරගනු ලැබුවේ. එවැන්නක් සිදු නොවුනානම් මේ වගේ සංචිතයක් හදාගන්න එක හීනයක් වෙන්න තිබුණා. නමුත් ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වීම නිසා මෙය කළ හැක්කක් බවට පත් වුනා. ඒ මෙහෙමයි.

රජයේ පැත්තෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා වගේම ආයෝජකයින්ගේ පැත්තෙන් රජයට ණය දීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා මම කලින්ම කිවුවනේ. රජයට බිල්පත් විකිණිය හැක්කේ රට ඇතුළේම බව ඇත්ත. ඒ වගේම අනෙක් පැත්තෙන් ඔය බිල්පත් ආයෝජකයින්ටත් වෙන විකල්ප නැහැ. බිල්පත් ගන්නම වෙනවා. 

උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හෝ බිල්පත් ආයෝජකයෙක් සතුව රුපියල් බිලියන 100ක් තියෙනවා කියලා. දැන් මේ සල්ලි 10% පොලියට බිල්පත් වල ආයෝජනය කරනවා. වසරකට පසුව, රජයෙන් රුපියල් බිලියන 110ක් ලැබෙනවා. ඔය රුපියල් බිලියන 110ම නැවත බිල්පත් වල ආයෝජනය කළේ නැත්නම් ඒ සල්ලි ආයෝජනය කරන්න වඩා හොඳ විකල්පයක් නැහැ. ඒ නිසා, රජයට පහසුවෙන්ම ඔය රුපියල් බිලියන 110 ණය විදිහට ලබා ගන්න පුළුවන්. 

අපි හිතමු රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වුනා කියලා. දැන් රජයේ ආදායම් සහ පොලී ගෙවීම් හැර අනෙක් වියදම් හරියටම ගැලපිලා. අලුතෙන් ණය ගන්න අවශ්‍ය වෙන්නේ පරණ ණය හා පොලී ගෙවන්න පමණයි. කලින් උදාහරණය ගත්තොත් රුපියල් බිලියන 100ක ණය සහ ඒ වෙනුවෙන් පොලිය ලෙස රුපියල් බිලියන 10ක් ගෙවන්න රුපියල් බිලියන 110ක් අලුතෙන් ණයට ගන්න අවශ්‍යයි. මොකද ආදායමෙන් වියදම් අඩු වුනාට පස්සේ ණය හෝ පොලී ගෙවන්න ඉතිරියක් නැහැ. ඒ වගේම, ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලා නිසා ඔය රුපියල් බිලියන 110ට වඩා වැඩියෙන් ණය අවශ්‍ය වෙන්නෙත් නැහැ. 

අපි හිතමු කිසියම් සතියක රජයට ගන්න අවශ්‍ය මුළු ණය ප්‍රමාණය ඔය රුපියල් බිලියන 110 පමණක් කියලා. දැන් රජය වෙන්දේසියට යන්නේ හරියටම ඔය රුපියල් බිලියන 110 වෙළඳපොළෙන් එකතු කර ගන්නයි. ඒ සල්ලි අවශ්‍ය වන්නේ කල් පිරෙන බිල්පත් වල මුල් මුදල සහ පොලිය පියවන්න. නමුත් ඒ සල්ලි ලබාගන්නා ආයෝජකයින්ට සල්ලි ගෙදර අරන් යන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලැබෙන මුළු මුදලම නැවත ආයෝජනය කරන්නයි. හරියට ස්ථිර තැන්පතුවක් අලුත් කරනවා වගේ. ඒ නිසා ඔවුන් වෙන්දේසියට එන්නේත් මොන විදිහෙන් හරි රජයට රුපියල් බිලියන 110ක් ණයට දෙන්නම බලාගෙනයි. 

ඉහත පැහැදිලි කළ පරිදි, රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලානම්, බිල්පත් වෙන්දේසියේ විකිණුම්කරු වන රජය සහ ගැනුම්කරුවන් අතර තුලනයක් තිබෙනවා. එක් පාර්ශ්වයකට වැඩිපුර හෙට්ටු කිරීමේ බලයක් නැහැ. නමුත් ප්‍රාථමික අයවැය තුලනය වෙලා නැත්නම් තත්ත්වය වෙනස්.

අපි හිතමු ඔය රුපියල් බිලියන 110ට අමතරව ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට තවත් රුපියල් බිලියන 20ක් අවශ්‍යයි කියලා. දැන් රජය වෙන්දේසියට එන්නේ රුපියල් බිලියන 130ක් එකතු කරගන්න බලාගෙන. නමුත් ගැනුම්කරුවන්ට කෙසේ හෝ ආයෝජනය කරන්න අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 110ක් පමණයි. ඉතිරි රුපියල් බිලියන 20 ලබා ගන්නනම් ඒ සඳහා ඔවුන් පොළඹවා ගත හැකි තරමේ ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ ගැනුම්කරුවන් අතේ. 

ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වූ ගමන් ඔය තත්ත්වය කණපිට හැරෙනවා. අපි හිතමු අතිරික්තය රුපියල් බිලියන 20ක් කියලා. දැන් රජයට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 90ක් පමණයි. නමුත් ආයෝජකයින්ට රජයට රුපියල් බිලියන 110ක් ණය දෙන්න අවශ්‍යයි. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රජය අතේ. රුපියල් සංචිතය ගොඩ නගා ගන්න පුළුවන් වුනේ ඔන්න ඔය තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙනයි. 

රුපියල් සංචිතය හදා ගත්තට පස්සේ රජය සතු හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. මේ අතින් මෙය රජයට මහ බැංකුවට බිල්පත් විකුණන්න පුළුවන් වූ කාලයේදී පැවති තත්ත්වයට සමානයි. අපි හිතමු මේ අතිරික්ත අරමුදල් තියෙන්නේ මහ බැංකුවේම ගිණුමක කියලා. මම හිතන විදිහට ඇත්තම තත්ත්වයත් ඒකයි. දැන් කිසියම් වෙන්දේසියක් සඳහා ඉදිරිපත්ව තිබෙන ලංසු ඕනෑවට වඩා වැඩියි වගේ පේනවානම් මහ බැංකුවට පුළුවන් ඉස්සර වගේම බිල්පත් මිල දී ගන්න. හැබැයි ඒ විදිහට බිල්පත් මිල දී ගන්නේ මහ බැංකුවේ සල්ලි වලින් නෙමෙයි. ඒ කියන්නේ අච්චු ගහපු සල්ලි වලින් නෙමෙයි. රජයේම සල්ලි වලින්. 

මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. මෑතකාලීන වෙන්දේසි වලදී පොලී අනුපාතික ස්ථාවරව තබාගෙන යාමට හැකි වී තිබෙන්නේ ඔය රුපියල් සංචිතයේ උදවුවෙන්. රනිල් හෝ මහින්ද සිරිවර්ධන මේ ගැන කවදාවත් හොඳ සන්නිවේදනයක් කළේ නැහැ. මහින්ද සිරිවර්ධන විසින් යම් සන්නිවේදනයක් කළත් එය හොඳ සන්නිවේදනයක් කියා කියන්න බැහැ. 

මේ වෙද්දී අනුර කුමාර දිසානායක කුප්පිය දාගෙන තියෙනවා වගේම මේ වැඩේ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම තේරුම් අරගෙන තියෙනවා. ඊට අමතරව පොදුවේ ස්ථායිකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ වැදගත්කමත් හොඳින් අවබෝධ කරගෙන ඇති බව පේනවා. රනිල්ට සාපේක්ෂව හොඳ සන්නිවේදකයෙක් වන ඔහුට මේ වගේ දේවල් තේරුම් ගන්න යම් කාලයක් අවශ්‍ය වුනත්, තේරුම් ගැනීමෙන් පසුව තේරුම් ගත් දෙය හොඳින් සන්නිවේදනය කළ හැකියි.

රටේ ණය බර සැලකිය යුතු තරම් අඩු වන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ හෝ ඊට වඩා ඉහළින් තබා ගැනීමේ වැදගත්කම ඔහු විසින් පැහැදිලිව අවධාරණය කර තිබෙනවා වගේම ඒ සඳහා වන කැපවීම ප්‍රකාශිතව ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනට රුපියල් ට්‍රිලියනයක් වී ඇති මහා භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය තවත් වැඩි කර ගැනීමේ හැකියාවක් ඇති බවයි. 

මෙම රුපියල් සංචිතය ඉහළ යන තරමට පොලී අනුපාතික ස්ථාවර, පහළ මට්ටමකට තබා ගැනීමේ හැකියාවද ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට උදවුවක්. මේ මොහොතේ දුරස්ථ ඉලක්කයක් වුවත්, කාලයක් එක දිගට මෙම රුපියල් සංචිතය ගොඩ නගා ගත හැකිනම්, එයින් කොටසක් විදේශ මුදල් බවට හරවා ගන්න වුනත් පුළුවන්. සිංගප්පූරුව කළේ එයයි. 

දැනටනම් විදේශ සංචිත ගොඩ නගා ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. එහෙත්, ඉතා දුරස්ථ ඉලක්කයක් වුවත්, යම් සීමාවකින් පසුව මහ බැංකුවට තව දුරටත් විදේශ සංචිත වැඩි කරගැනීමට නොහැකි මට්ටමක් එනවා. ඊට හේතුව විදේශ සංචිත වැඩිවීම කියන්නේද මහ බැංකුවේ සංචිත මුදල් වැඩිවීම වීමයි. රජය විසින් විදේශ සංචිත පවත්වා ගැනීම එවැනි තත්ත්වයක් යටතේ වුවද කළ හැකි දෙයක්. ප්‍රමාණවත් රුපියල් සංචිත ගොඩ නගා ගැනීම ඒ සඳහා අවශ්‍ය වන මූලික පියවරක්.


5 comments:

  1. !
    ජනාගේ අන්තිම වාක්‍යය ඇහුණාම සිහිවුණේ ==> අපි වෙනුවෙන් අපි

    ReplyDelete
  2. @ Economatta

    ඇත්තටම ඔයා ජනපතිගේ කතාවේ එක කෑල්ලක් විතරයි නේද කියන්නේ?

    නමුත් සම්පූර්ණ කතාව අහපු කෙනෙක් කියන මේ කියන කතාව ඇත්තද? මේක ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච සහ බොහෝ දෙනක් එකඟ වුණ ලියවිල්ලක්

    //ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් හෝ ජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් හෝ නොවන පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කල පුරවැසියෙක් ලෙස කිව යුතු කතාවක් තියෙනවා. ඒ කතාව තමයි මේ...

    ජනාධිපතිවරයා පත්වෙලා අවුරුද්දකට ආසන්නයි. ආණ්ඩුවට මාස 10 විතර වෙනවා. මේ කාලය තුළ දැකපු දෙයක් තමයි ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිගින් දිගටම අඩු වෙලා ආණ්ඩුවට විරුද්ධව මොකක් හරි බරපතල විවේචනයක් සමාජයේ ඇති වෙනකොට හරි ඇමතියෙක් මොකක්හරි හද්ද ගොන් වැඩක් කරල හරි කියල හරි නා ගන්නකොට, ආණ්ඩුව කුජීත වී පච වෙනකොට ජනාධිපතිවරයා සිරසට හරි , පාර්ලිමේන්තුවට හරි ඇවිත් මොනවා හරි කයිවාරු ටිකක් කතා කරල අවධානය වෙනතකට යොමුකිරීමට උත්සාහ කිරීම..

    ආසන්නතම සිදුවීම පෙරේදා පාර්ලිමේන්තුවේ දී හරිනි අගමැතිනිය SupremeSAT චන්ද්‍රිකාව ගැන කරපු ප්‍රකාශය. ඇත්තටම අගමැතිනියගෙ පිළිතුර ආණ්ඩුවටම මහා පාරාවළල්ලක් වුණා. මාලිමාවට බැහැලා වැඩ කරපු සහ ඡන්දය දීපු අය මේකෙන් දැඩි ලෙස කළකිරුණා. ඒකෙන් පොහොට්ටුවට සැලකිය යුතු දේශපාලන වාසියක් ආවා. ඊයෙ ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් කතා කලේ පෙරේදා සිදුවීම යටපත් කරන්න හා එහි අවාසිය මඟ හරවාගන්න කියල දේශපාලනය ගැන සරල අවබෝධයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න එක එච්චර අමාරු නෑ..

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිත් හැමදාම කියන්නෙ එකම කතාව සහ එකම කයිවාරු ටික, දැන් අපට ඒක කටපාඩම්. ජනාධිපතිවරයා නිතරම පාර්ලිමේන්තු ඇවිත් හැමදාම එකම කතාව කියන්න ගියාම වෙන්නෙ ඔහු ඔය වගේ සත පහකට ගණන් ගන්නෙ නැති වෙන එක. ඇත්තෙන්ම එයින් හෑල්ලුවට ලක් වෙන්නෙ අනුර කුමාර දිසානායක ජනාධිපති පමණක් නෙවෙයි එම තනතුරත් සම්පූර්ණයෙන්ම හෑල්ලුවට ලක් වෙනවා..

    අපි පෙර ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට පැමිණ කතා කරනවා දැකල තියෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ජනාධිපති කතා කරනකොට කවුරුවත් බාධා කරන්නෙ නෑ. ඒ වගෙම ජනාධිපතිවරයා තමන්ගෙ කතාව ඍජුව කරනවා මිසක් ඉදිරියේ ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු සමඟ සංවාද ස්වරූපයෙන් කතා කරේ නෑ. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදි ඉදිරිපස ඉන්න විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙ නම් කියමින් ඔවුන් සමග සංවාදයේ යෙදෙමින් ඔවුන්ට චෝදනා සහ මඩ ප්‍රහාර අවලාද එල්ල කරමින්, ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් ඒ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් , කෑගැසීම් මැද්දෙ හරිම බොළඳ අසාර්ථක ලෙස තමයි කතා කරන්නෙ. ඇත්තටම එවැනි පරිචයක් නැති අපරිණත බොළඳ හැසිදීමක් ජනාධිපති තනතුරට ගැලපෙන්නෙ නෑ.

    ජනපතිවරයා ජනතාව අතර ඉන්න වෙලාවට පොළොවේ පය ගහල ඉන්න බව පෙන්වීමට උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒත් තනතුරට ලැබිය යුතු ගෞරවය අභිමානය ආරක්ෂා විය යුතුයි. එහෙම නැති උනොත් ඔය දැන් අනුරට වෙලා තියෙනව වගේ ජනාධිපතිවරයාව හැම එකාම ජෝක් එකට අරගෙන සත පහකට ගණන් ගන්නෙ නැති ජෝක්කාරයෙක් වෙනවා. තනතුරේ ගෞරවය අභිමානය ඉබේම ආරක්ෂා වෙන්නෙ නෑ. ඒක ආරක්ෂා වෙන්නෙ අදාළ තැනැත්තාගේ ක්‍රියාකාරිත්වය අනුව.. බලන්න සමාජ මාධ්‍යවල ඔහුගේ කතාවට වැඩිපුරම හහා රිඇක්ට් දාලා ඒකේ කමෙන්ට් වල ඔහුට අතිශය හිරිකිත ලෙස අපහාස කරන හැටි කෙබර පචයා, පච හරකා, කොට මී හරකා වගේ මහා කැත විදිහට අපහාසාත්මකව බොහෝ අය කමෙන්ට්ස් දමලා තියෙනව මේකට හේතුව එය විය හැකියි//

    ReplyDelete
    Replies
    1. //ඊයෙ ජනාධිපතිවරයා කිව්වා රාජ්‍යය වැට්ටීමට කුමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවා කියල. නමුත් රාජ්‍යය හා ආණ්ඩුව කියන්නෙ දෙකක්. රාජ්‍යය වට්ටන්න කටයුතු කරනවා කියන්නෙ ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකට එරෙහිව ගන්න ඕනි තරම් නෛතික ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන පනතේ හා මහජන ආරක්ෂක ආඥා පනතේ ඕන තරමට තියෙනවා. මුළු රාජ්‍යය යාන්ත්‍රණයම තමන් යටතේ තියෙන්නෙ. ජනාධිපති , ආරක්ෂක ඇමති , සන්නද්ධ සේවාවන්හි අණදෙන නිලධාරී අනුර. ඒ හින්දා රාජ්‍යයට එරෙහිව මොනම හෝ ක්‍රියාවක් කරනවනම් ඒක වේදිකාවල බොරුවට කිය කියා , මතක් කර කර , සද්දේ දාගෙන කට්ටිය බය කර කර ඉන්නෙ නැතුව කෙලින්ම නීතිය ක්‍රියාත්මක කර වීමයි කල යුත්තෙ..

      තව එකක්, ඒ වගේම ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා ආණ්ඩුව වට්ටන්න ඕනෑම ක්‍රියාවක් කරන්න පුලුවන්. ආණ්ඩුව කියන්නෙ රාජ්‍ය නෙවෙයි දේශපාලන පක්ෂ කණ්ඩායමක්. ඒක මාරු කරන්නට ඒ පක්‍ෂ වල අය වගේභ පොදුවේ ගත්කල ජනතාවට ව්‍යවස්ථාව අනුව ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ලංකා ඉතිහාසයේ ඕන තරම් ඒවට උදාහරණ තියෙනවා. 2022 අරගලයත් රාජ්‍ය විරෝධී එකක් වුණත් අන්තිමට ඒක ආණ්ඩු විරෝධී එකක් කරගෙන විපක්ෂයට ඡන්දයකින් තොරව පාලන බලය ගන්න පුළුවන් විදියට රනිල් ඒක වෙනසක් කළා. ඒ හැර පහුගිය 1931 සිට වසර 95 කට වඩා ලංකාව දිගටම ප්‍රජාතන්ත්‍රවාදියි. ඒ හින්දා ආණ්ඩුව කල යුත්තේ විපක්ෂයේ ආණ්ඩු පෙරළීමේ වෑයම විවේචනය කිරීම හෝ තර්ජනය කිරීම නෙවෙයි , එවැනි අවස්ථාවන් උදා නොකිරීමට වගබලා ගැනීම..

      ජනාධිපතිවරයා ලැජ්ජාවක් නැතුව සියවෙනි පාරට ද මන්දා ඕන්න ඊයෙත් කිව්වා හමුදා කදවුරකින් T 56 හැත්තෑ පහක් පාතාලයට යාම ගැන. මම විතරක් ඕක ජනාධිපතිවරයගෙන් විවිධ අවස්ථා විසි වතාවකට වඩා අහල තියෙනවා. අහලම එපා වෙලා. කියව කියව ඉන්නෙ නැතුව ඒවා හොයගන්න එකයි බලයේ සිටීන ජනපතිවරයෙක් කළ යුතු. ඔයාලගෙ ආණ්ඩුවක් තියෙන්නෙ. ඕක තවදුරටත් කීමෙන් ප්‍රදර්ශනය වෙන්නෙ නොහැකියාව..

      ඔය ගිනි අවි වගෙම ආර්ථිකයෙ , දේශපාලනයෙ ප්‍රගමනයට ඇති සම්ප්‍රදායික බාධා ගැන කලින් වගෙම ඊයෙත් හැමදාම කියන කතන්දර මාෆියා බයිලාව කිව්වා. විධායක ජනාධිපතිකම , 2/3 පාර්ලිමේන්තුව , පළාත් පාලන ආයතනවල වැඩි බලයක් දුන්නෙ තමන්ට ඕනි නිලධාරීන් පත් කරල , ඕන නැති අය අයින් කරල ඒ ඒ ක්ෂේත්‍රවල වෙනස්කම් ඇති කරන්න මිසක් ඔය වගේ විලාප ලතෝනි දාගෙන කෙඳිරි ගාන්න නෙවෙයි.. ඒක කරන්නට විපක්ෂයේ හිටපු කාලේ ඕන තරම් වෙලාව තිබුණට ආණ්ඩුවට ආවම ඒක සම්පූර්ණයෙන්ම වෙනස් බව දැන්වත් තේරුම්ගත යුතුයි.////

      Delete
    2. //ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දශක ගණනාවක් මිනිසුන්ට කතා කලා විපක්ෂෙ ඉන්නකොට. දැන් ඔයාල ආණ්ඩු කරන්නෙ. ආණ්ඩු කිරීම කියන්නෙ බොරුවට කයිය ගැසීම නෙවෙයි වැඩ කිරීම. කයිය ගැසීම අයිති විපක්ෂයට. මොකද විපක්ෂයට වෙන කරන්න වැඩක් නෑනෙ. ආණ්ඩුවට කයිය ගහන්න ඕනිම නම් වැඩ කරල ඉවර වෙලා කයිය ගහන්න..

      ආණ්ඩුවේ ඉන්න බහුතරයක් මැති ඇමතිවරු කතා නොකර කට පියාගෙන ඉන්නවනම් ජනාධිපතිවරයාට සිරසට හා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථා සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. මෑතදී සුනිල් හඳුන්නෙත්ති , ලාල් කාන්ත , වසන්ත සමරසිංහ , නාමල් කරුණාරත්න , නලින් හේවගේ , නිලන්ති කොට්ටහච්චි , ලක්මාලි හේමචන්ද්‍ර, රූවන් රණසිංහ වගෙ ඇමතිවරු මන්ත්‍රීවරුන් බොහෝ අය කතා නොකර ඉන්න තරමට ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා වෙනවා..

      ආණ්ඩුවේ ඇතැම් වැඩ ජනතාව වෙත සන්නිවේදනය කිරීම ඉතාමත් දුර්වලයි. ඒ දුර්වලකම හින්දා සමාජගත වෙන්නෙ විපක්ෂය කියන කතා හා සමාජ මාධ්‍ය වල තියෙන දේවල් සහ ඇතැම්විට ගොතන ලද , විකෘති කරන ලද තොරතුරු. ආසන්නතම උදාහරණය තමයි අගමැතිනිය ඉදිරිපත් කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. තම අමාත්‍යාංශයේ වැඩපිළිවෙළවත් හරියකට සන්නිවේදනය කිරීමේ නොහැකියාවෙන් අංක එක අගමැතිනිය.. අනිත් අය ඊටත් හපන්, තමන්ගේම අමාත්‍යාංශය කරන්නේ මොකක්ද කියල බෝහෝ ඇමතිවරුන්ට කිසිම අවබෝධයක් නෑ මාධ්‍යවල හාන්නේ ඒකනේ

      ලංකාව කියන්නෙ පසුගිය දශක ගණනාවක අපරාධ රැසක් සිදුවූ රාජ්‍යයක්. දේශපාලන කාරණා උදෙසා මිනිමැරීම් , පැහැරගෙන යාම් , අතුරුදහන් කිරීම් , කප්පම් ගැනීම් , දේපොළ මංකොල්ලකෑම් , සොරකම් , රාජ්‍ය දේපළ සොරකම් , වංචා කිරීම් , සාවද්‍ය පරිහරණය කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුවයි..

      ඔය සියලු ආකාරයේ අපරාධ සඳහා ලංකාවේ දැනට පවතින නීතිය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. ගැටලුව තියෙන්නෙ නීතියේ නෙවෙයි නීතිය ක්‍රියාත්මක නොවීමේ. පෙර පැවති ආණ්ඩු සමයන්හි කල අපරාධ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමේ අරමුණකින් තොරව විය යුත්තක්..

      දේශපාලන විරුද්ධවාදියටත් තම පක්ෂයේම අයටත්, දරුණුම අපරාධකාරයටත් සාමාන්‍ය මිනිසාටත් නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක විය යුත්තෙ සමානව.. දඬුවම නියම කිරීම ස්වාධීන අධිකරණයෙන් කරයි නමුත් හැමෝටම සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම

      ජනාධිපතිවරය ඊයෙත් ඉන් පෙරත් දිගින් දිගටම කිව්වා පසුගිය රජයන් සමයේ කරපු අපරාධ සඳහා පවතින නීති මදිනම් අලුතෙන් නීති හදල හරි දඬුවම් කරනවා කියල. බොහෝ බුද්ධිමත් මැදහත් ජනතාව සහ රටේ බුද්ධිමතුන් නීති විශාරදයන් ඒක දකින්නේ පළිගැනීමේ අදහසින් ද්වේෂයෙන් කරපු කතාවක් පමණක් විදිහට..

      මම එහෙම කියන්නෙ කරුණු දෙකක් මත. එකක් ඒ සියලු වැරදිවලට දඩුවම් කරන්න පුලුවන් නෛතික ප්‍රතිපාදන දැනටමත් රටේ නීති පද්ධතිය තුල තියෙනවා..

      දෙවෙනි කාරණය අතීතයට බලපාන දණ්ඩන නීති පනවන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (6) ව්‍යවස්ථාවේ ඒ බව සඳහන් වෙනවා. එහි අතුරු විධානය අනුව ඉතාමත් සීමිත අවස්ථාවක් තිබෙනවා අතීතයට බලපාන දණ්ඩන නීති පනවන්න. හැබැයි ඒක හරියට කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි..

      මේ ගැන ජනාධිපතිවරයාට අතීතයට බලපාන දණ්ඩන නීති ගැන නෛතික තත්ත්වය කියන්න හර්ෂණ නානායක්කාර ගරු අධිකරණ ඇමැතිතුමා ඔබතුමා දීර්ඝ කාලයක් අපරාධ අධිකරණවල කටයුතු කල ජ්‍යේෂ්ඨ නීතිඥයෙක්. ඔබතුමාට ජනාධිපතිතුමාට එකී නෛතික තත්ත්වය ඒත්තු ගැන්වීම සැණකින් කරන්න පුලුවන්. මම එහෙම කරන්න කියල කියන්නෙ ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට යාමක් විද්‍යාමාන වෙන නිසා..

      දේශපාලන බලය භාවිතා කර කල අපරාධ සඳහා නඩු පවරල තියෙන්නෙ කොළඹ. කොළඹ මහාධිකරණවලට තිබෙන නඩු ප්‍රමාණය අනුව නඩු දින දෙකක් අතර අඩුම මාස 4 ට වඩා වැඩි දිනයක් යනවා. එවැනි අපරාධ සඳහා දඬුවම් පැමිණවීමට අවංක උවමනාවක් තියෙනවනම් කරන්න ඕනි කොළඹ මහාධිකරණ ප්‍රමාණය වැඩි කිරීමට පහසුකම් සැලසීමයි..

      අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැන මම මේ විවේචනාත්මක සටහන ලිව්වෙ එකම එක හේතුවක් නිසා. ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව අතර අතිමහත් බහුතරය 95% කට වඩා විශ්වාස කළේ ජනාධිපතිවරයා පමණයි. ඔවුන්ට ආණ්ඩුවේ මැති ඇමතිවරු ගැන කිසිම විශ්වාසයක් නෑ. ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් ඇතැම් විපක්ෂ අය අතර පවා අනුර කුමාර ජනාධිපතිවරයා ගැන යම් විශ්වාසයකින් සිටි අය හිටියා. අන්න ඒ විශ්වාසය ජනාධිපතිවරයාගේ මේ වගේ මෝඩ වැඩ සහ අපරිණත ක්‍රියා හේතුවෙන් බිඳ වැටුනොත් එදාට මිනිස්සු බලාපොරොත්තු දහසක් පෙරදැරිව ගොඩ නගාගත් ජාජබ ආණ්ඩුව ස්ථීර ලෙසම බිඳ වැටීම ආරම්භ වෙනවා. මේ විපක්ෂයට ආණ්ඩුව වට්ටන්න බැරිවුණත් ආණ්ඩුවට පුළුවන් තමන් කියන කරන මේ මරි මෝඩ තකතිරු අමු ගොබ්බ වැඩ නිසාම ආණ්ඩුව වට්ටගන්න..///

      මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
  3. ඇත්තටම ඉකොනෝ ඔය කියන ආපතික සංචිතය හදාගෙන තියෙන්නෙත් අධික පිරිවැයක් දරාගෙන නේද? ඇත්තටම අධික පොලියකට ණය අරගෙන හදාගෙන තියෙන සංචිතයක් ඕකේ ණය බර විතරක් වර්ෂයකට 34-35% ක් විතර අධික පොලියකට 2022, 23 කාලේ ගත්ත ණය බර සංචිතයක්

    වත්මන් ජනාධිපති අනුර කුමාර ඔය කතාවේදී රුපියල් ට්‍රිලියනයක ප්‍රාථමික ශේෂයක් ඇති බවත්, එය දේශීය ණය කළමනාකරණයට සහ පොලී අනුපාත අඩු කිරීමට උපකාර වන බවත් ප්‍රකාශ කරන්නේ ඔය කතාවේ, එතකොට ඒක ආපතික සංචිතය ද නැත්නම් ඔහු කිව්වේ ප්‍රාථමික ශේෂය එකතුව හරහා හදාගත් වෙනත් සංචිතයක් තිබෙන බව ද?

    කොහොම හරි අපි ඒකම කියලා ඒක හරි කියල උපකල්පනය කළොත්;

    මෙය ආර්ථිකයේ ස්ථාවරත්වයට වැදගත් සාධකයක් බව ඔබ පිළිගන්නවාද?

    ​a) මෙම ප්‍රාථමික ශේෂය පවත්වාගෙන යාමේ දී ආණ්ඩුවට ඇති ප්‍රධාන ආර්ථික සහ දේශපාලන අභියෝග මොනවාද?

    ​b) ප්‍රාථමික ශේෂයක් තිබීම පමණක්, දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වයක් සහ පොලී අනුපාත අඩු කිරීමක් සහතික කරන්නේ නැත. මෙම ප්‍රකාශය විචාරාත්මකව විග්‍රහ කරමින්, රජයේ ණය කළමනාකරණය සඳහා ප්‍රාථමික ශේෂයට අමතරව තවත් මොනවාද වැදගත් වන්නේ යන්න උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

    ​ප්‍රශ්නය 2:

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආයෝජක විශ්වාසය
    ​ශ්‍රී ලංකාව IMF වැඩසටහනක් යටතේ සිටියද, විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් සම්පූර්ණ වී නොමැත.

    ​a) ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වීම, රටේ ආර්ථිකය කෙරෙහි සහ විශේෂයෙන්ම විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය කෙරෙහි බලපාන්නේ කෙසේද? උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

    ​b) රජය ප්‍රකාශ කරන ආර්ථික වර්ධනය සහ විදේශ විනිමය සංචිතවල වර්ධනය, දිගුකාලීන ණය අර්බුදයට ස්ථිර විසඳුමක් නොවන බවට වන මතය විචාරාත්මකව විමර්ශනය කරන්න.

    ​ප්‍රශ්නය 3:

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ පුද්ගලීකරණය
    ​ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය උත්සාහ කරයි.

    ​a) මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමට හේතු වී ඇති ආර්ථික, දේශපාලන සහ සමාජීය සාධක මොනවාද?

    ​b) මෙම ආයතන පුද්ගලීකරණය කිරීමෙන් හෝ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිලාභ මොනවාද? ඒ සඳහා ඇති ප්‍රධාන අභියෝග සහ ඒවාට විසඳුම් යෝජනා කරන්න.

    ​ප්‍රශ්නය 4:

    ආර්ථික ප්‍රතිසංස්කරණවල සමාජීය බලපෑම සහ සන්නිවේදන අභියෝග
    ​වත්මන් රජය විසින් සිදුකරන ලද බදු වැඩි කිරීම් සහ රාජ්‍ය වියදම් පාලනය වැනි ප්‍රතිසංස්කරණවල සමාජීය බලපෑම ඉහළ මට්ටමක පවතී.

    ​a) මෙම ප්‍රතිසංස්කරණවල ආර්ථික සාධාරණත්වය ඔබ දකින්නේ කෙසේද? ජීවන වියදම ඉහළ යාම සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම පාලනය කිරීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවාද?

    ​b) රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජනතාවට නිසි ලෙස සන්නිවේදනය නොකිරීම ආර්ථිකය කෙරෙහි බලපාන්නේ කෙසේද? රටේ දේශපාලන නායකයා ලෙස, ජනතාව අතර විශ්වාසය ගොඩනැගීමට සහ ප්‍රතිසංස්කරණවලට සහයෝගය ලබා ගැනීමට රජය ගත යුතු සන්නිවේදන උපාය මාර්ග මොනවාද? මේ කතාවෙන් පසුවත් ජනාධිපතිවරයා රට පුරාම හාස්‍යයට ලක්වීම නිසා මේ සංචිත කතාව පවා තවත් එක් "පචයක්" ලෙස විපක්ෂ කණ්ඩායම් සමාජ ගත කරපු එකෙන් ඇත්තටම මේ වැඩේ වටිනාකම බාල්දු වී ඇත. මේක නැවත සමාජගත කිරීමට සුදුසුම ක්‍රමයක් සහ ඒකට වැඩපිළිවෙලක් ඔබට යෝජනා කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: