Tuesday, March 14, 2017

ඇමරිකාවේ පෞද්ගලික පාසැල්


ඇමරිකාවේ මූලික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන්ගෙන් සුළු, එහෙත් සැලකිය යුතු හා වර්ධනය වන, ප්‍රතිශතයක් ගෘහ පාසැල් අධ්‍යාපනය කරා යොමු වී ඇතත්, සිසුගහණයෙන් 96% ඉක්මවන අති මහත් බහුතරය සිය මූලික අධ්‍යාපනය ලබන්නේ රටේ පාසැල් පද්ධතිය හරහාය.

ඇමරිකාවේ පාසැල් වලින් 25%ක් පමණ පෞද්ගලික පාසැල් වන අතර සිසුහු මිලියන 5.40ක් පමණ (2013/14 සංඛ්‍යාලේඛණ) මේ පෞද්ගලික පාසැල් වල ඉගෙනුම ලබති. ප්‍රතිශතයක් ලෙස මේ සිසුන් ගණන සමස්ත සිසුගහණයෙන් 9.8%කි.

පෞද්ගලික පාසැල් ප්‍රතිශතය හා සිසු ප්‍රතිශතය දෙස බැලූ විට පෙනෙන පරිදි බොහොමයක් පෞද්ගලික පාසැල් වල ඉගෙන ගන්නේ සුළු සිසු පිරිසකි. ඇමරිකාවේ පෞද්ගලික පාසැල් වලින් 87%කම සිටින්නේ සිසුන් 300කට වඩා අඩුවෙනි.

ඇමරිකාවේ පෞද්ගලික පාසැල් වලින් බහුතරය ආගමික පාසැල්ය. එයින්ද වැඩි ප්‍රමාණය කතෝලික පාසැල්ය. පෞද්ගලික පාසැල් සිසුන් අතරෙන් අනාගමික පෞද්ගලික පාසැල් වල ඉගෙන ගන්නා සිසු ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර 2013/14 අධ්‍යයන වර්ෂයේදී 21.3%ක් විය.

පෞද්ගලික පාසැල් වල උගත් සිසුන්ගෙන් 41%ක් කතෝලික පාසැල් වලද, 5.1%ක් යුදෙවු ආගමික පාසැල් වලද. 0.9%ක් ඉස්ලාම් ආගමික පාසැල් වලද උගත් අතර ඉතිරි
සිසුහු විවිධ ක්‍රිස්තියානි නිකායන්ට අයත් පාසැල් වල අධ්‍යාපනය ලැබූහ.

ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතිය තුළ ආගමික අධ්‍යාපනයක් ලබා නොදේ. බොහෝ දෙමවුපියන් විසින් පෞද්ගලික පාසැල් තෝරාගන්නේ සිය දරුවන්ට ආගමික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙනි. එහෙත්, විනය පුහුණු කිරීම හා වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීම වැනි අරමුණුද දෙමවුපියන්ගේ ප්‍රමුඛ අරමුණු අතර වේ.

සමීක්ෂණ වලින් පෙනෙන පරිදි අධ්‍යාපන කුසලතාවන් අතින් මෙන්ම විනය අතින්ද, සමාජයීය කුසලතාවන් අතින්ද පෞද්ගලික පාසැල් අධ්‍යාපනය ලබන සිසුන් පොදු පාසැල් අධ්‍යාපනය ලබන සිසුන්ට වඩා ඉදිරියෙන් සිටිති. ඇමරිකාවේ පොදු පාසැල් වල ඉගෙන ගන්නා සිසුන් දහදෙනෙකුගෙන් තිදෙනෙකු පමණ ප්‍රථම උපාධි හිමිකර ගනිද්දී පෞද්ගලික පාසැල් වල ඉගෙනුම ලබන සිසුන් දහදෙනෙකුගෙන් හයදෙනෙකු පමණ ප්‍රථම උපාධි ලබා ගනිති.


(Image: https://www.theadvocates.org/surprising-facts-private-schools/)

12 comments:

  1. ඒ කියන්නේ පොදු පාසල් වලට වඩා ඉදිරියෙන් පෞද්ගලික පාසැල් තියෙනවා කියන එක නේද ?මේ පෞද්ගලික පාසැල් වල ගාස්තු සාමාන්‍ය දෙමව්පියන්ට දරා ගන්න පුළුවන් මට්ටමේද තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තරමක් මිල අධිකයි. අඩු ආදායම් ලාභියෙකුට මෙවැනි වියදමක් දරා ගැනීම අපහසුයි.

      Delete
  2. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ නම් රජයේ පාසල් තමයි විශ්වවිද්‍යාල පිවිසුමෙන් මුල් තැන් ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ පෞද්ගලික පාසැල් වලට යන්නේ සාපේක්ෂව වැඩි අධ්‍යාපනයක් ලබා ඇති හා වැඩි ආදායම් ලබන පවුල් වල දරුවන්. මේ පෙනෙන වෙනසෙන් සැලකිය යුතු කොටසකට හේතුව සමාජ ආර්ථික පදනමේ ඇති ඒ වෙනස්කම්.

      Delete
  3. ඉකොනො, සිලබස් එකක් නැත්නම් කොහොමද විශ්ව විද්‍යාල වලට සිසුන් ‍තෝරගන්න කඩ ඉම් විභාග තියන්නේ.. විශ්ව විද්‍යාලත්, තම්න්ට ආවේනික ක්‍රමයකට සිසුන් ‍තෝරගන්න වෙන වෙනම යන ආයතන ද?

    අනිත් එක ඔහෙ රජයේ පාසල් වල හැමදේම නොමිලේ ද ?

    ReplyDelete
    Replies
    1. //විශ්ව විද්‍යාලත්, තම්න්ට ආවේනික ක්‍රමයකට සිසුන් ‍තෝරගන්න වෙන වෙනම යන ආයතන ද?//
      ඔවු. ලංකාව ඇතුළු තවත් රටවල මෙන් මධ්‍යගත ක්‍රමයක් නැහැ. තමන් කැමති සරසවි වලට වෙන වෙනම අයදුම්කර ඔවුන් තෝරා ගත්තොත් ඒ අතරින් තමන් කැමති එකකට යන්න පුළුවන්. බොහෝ සරසවි වලින් අධ්‍යයන හැකියාවන්ට අමතරව වෙනත් බාහිර දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ක්‍රීඩා, සෞන්දර්ය හැකියාවන් හා සමාජ කටයුතු වැනි. අනෙත් එක, යම් හෙයකින් ඔබ නොදන්නවානම්, ඇමරිකාවේ සරසවියකට ඇතුළු වන සිසුවෙකු තමන්ගේ විෂය ක්ෂේත්‍රය මුලින්ම තෝරා ගත යුතු නැහැ.

      //අනිත් එක ඔහෙ රජයේ පාසල් වල හැමදේම නොමිලේ ද ?//
      රජයේ කියන එකට වඩා පොදු පාසැල් කියන එකයි වඩා ගැලපෙන්නේ. ලංකාවේ මෙන් මධ්‍යගත ක්‍රමයක් නැති නිසා. පොදු පාසැල් පාලනය වෙන්නේත් තරමක් දුරට වෙන වෙනම සහ බොහෝ දුරට පාසැල් කිහිපයක් අයත් පාසැල් දිස්ත්‍රික්ක ලෙස. හැමදේම කියන එක කෙසේ වෙතත් බොහෝ දේවල් 'නොමිලේ'. නොමිලේ කියන එකත් නොගැලපෙන්නේ මේ පිරිවැය වැඩි කොටසක් දරන්නේ අදාළ පාසැල් දිස්ත්‍රික්කයේ ජීවත්වන අය විසින්ම පොදුවේ නිසයි. ඇමරිකාවේ පොදු පාසැල් පරිපාලනය හා නඩත්තුවත් එක් එක් ප්‍රදේශයේ ජීවත් වන අයගේ සාමූහික ක්‍රියාවක්. ඉදිරි ලිපියෙන් වැඩි විස්තර ලියන්නම්. පොදු පාසැල් වලට එන්න තමයි මුලින් ඉතිරි වර්ග දෙක ගැන ලිවුවේ.

      Delete
    2. Medical colleges වලටත් එහෙමද? නැතිනම් ඩොකෙක් වෙන්න මුල ඉඳලම වෙනම ක්‍රමේකට යන්න ඕනද?

      Delete
    3. ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු විය හැක්කේ වසර හතරක ප්‍රථම උපාධියක් සම්පූර්ණ කර ඇති අයටයි. (කැනඩාවේත් එහෙමයි.) ලබා දෙන උපාධිය MD (Doctor of Medicine) ප්‍රථම උපාධියක් නොව ද්වීතියික උපාධියක්. නීති විද්‍යාල ප්‍රවේශය හා අදාළ තත්ත්වයත් එවැනියි . ඔවුන් ලබා ගන්නා උපාධියද Juris Doctor (JD) ලෙස හැඳින්වෙන ද්වීතියික උපාධියක්. MD උපාධිය ද්වීතියික උපාධියක් වුණත් සාමාන්‍ය වෛද්‍ය උපාධියක් මිස කිසියම් අනු ක්ෂේත්‍රයක විශේෂිත පුහුණුවක් ලබා දෙන උපාධියක් නෙමෙයි. ඒ සඳහා තවත් වසර කිහිපයක් ඉගෙන ගත යුතුයි. බහුතරයක් වෛද්‍ය උපාධිය ලබාගැනීමෙන් හා අවශ්‍ය සායනික පුහුණුව ලැබීමෙන් පසු මෙවැනි විශේෂිත පුහුණුවකුත් ලබනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව වසර 10-11 පමණ ඉගෙනුමකින්/ පුහුණුවකින් පසුවයි වෘත්තීය කටයුතු ආරම්භ කරන්නේ. වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කර ගැනීම ඒ ඒ වෛද්‍ය විද්‍යාලය විසින් තමතමන්ගේ නිර්ණායක අනුව කරන දෙයක්. ප්‍රථම උපාධිය සඳහා ඕනෑම විෂයයක් ප්‍රධාන විෂය (Major) ලෙස හදාරා ඇති අයෙකුට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය බාධාවක් නොවූවත්, සාමාන්‍යයෙන් පූර්ව-වෛද්‍ය (Premed) ලෙස හැඳින්වෙන පාඨමාලා හදාරා තිබිය යුතුයි. මෙයට අඩුම වශයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ඉංග්‍රීසි විෂයයන්ගේ වසරකට නොඅඩු ප්‍රථම උපාධි මට්ටමේ පුහුණුවක් අවශ්‍යයි. ඇතැම් වෛද්‍ය විද්‍යාල වල ගණිතය/කලනය පිළිබඳ වසරක පුහුණුවකුත් අවශ්‍යයි. තරඟ විභාගයකටත් මුහුණ දෙන්න සිදුවිය හැකියි. එමෙන්ම, වෛද්‍ය වෘත්තියට අදාළ හා අදාළ නොවන විෂය බාහිර ක්‍රියාකාරකම් ගැනත් විශේෂයෙන් සලකා බලනවා. උදාහරණයක් ලෙස රෝහලක ස්වේච්ඡා සේවයේ යෙදී තිබීම වැනි දේ. ඇමරිකාවෙන් හෝ කැනඩාවෙන් ප්‍රථම උපාධියක් ලබාගෙන නොමැති අයෙකුට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම ඉතාමත්ම අසීරුයි. එවැනි අයෙකු වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට පෙර ඇමරිකාවේ හෝ කැනඩාවේ සරසවියක ප්‍රථම උපාධි පාඨමාලා අඩුවශයෙන් වසරක්වත් හදාරන මෙන් ඇතැම් වෛද්‍ය විද්‍යාල ඉල්ලා සිටිනවා. අවශ්‍ය මූලික සුදුසුකම් මෙසේ නිසා මෙය එතරම් අපහසු නොවන බව පෙනෙනවා විය හැකි වුවත් තරඟය ඉතාම වැඩියි. ප්‍රථම උපාධි පාඨමාලාව හැදෑරීමේදී කිසියම් එක් විෂයකට A සාමාර්ථයක් නොගැනීම පවා විශාල බලපෑමක් කළ හැකියි.

      Delete
    4. ehe doctor kenek wenna koitharam amaruda.lankawata enna kiyannako.lesiyenma doctor kenek wenna.

      Delete
  4. මා පාසැල් යන කාලයේත් දැන් මගේ අයියලාගේ දරුවන් පාසැල් යන කාලයේදීත් ඔවුන් ඉගෙනැගනීමට කැමැත්තෙන් පාසැල් යන වගක් පේන්නේ නෑ,.ඔවුන්ට ඇති ලෝඩ් එකත් වැඩියි.. නමුත් ස්විට්සර්ලන්තයේ එහෙම ලමයි හරි කැමැත්තෙන් පාසැල් යනවාය...එහේදි මෙහේ වගේ දරුවන්ට බල කරන්න ඕන නැහැය කියල මට යාලුවෙක් කිව්වා..මම ඉන් පස්සේ ඒ වල්ඩෝෆ් කියන අජ්ජාපන ක්‍රමය ගැන ලිපියකුත් ලිව්වා..
    අපි බොහෝවිට ඉගෙනගන්නේම බාහිර බලයක් නිසා..එක්කෝ එක්සෑම් පාස් වෙන්න.රස්සාවක් ගන්න.. මම හිතන්නේ දියුනු රටවල ඊට වඩා පුලුල් ලෙස විනෝදයෙන් ඉගෙනගන්නා පිරිස අපේ අයට වඩා වැඩි ඇති..

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව හෝ වෙනත් සංවර්ධිත රටක් සමඟ සසඳලා මෙය ලංකාවේ වැරැද්දක්ම කියා කියන්න බැහැ, අමිල. ලංකාවේ දරුවන් බොහෝ දෙනෙක්ට 'ගොඩ යන්න' තියෙන එකම මාර්ගය මේ විභාග තරඟය කෙසේ හෝ ජය ගැනීමයි. මෙය වෙනස්වනු ඇත්තේ රැකියා සොයන්නන්ට සාපේක්ෂව රැකියා උත්පාදකයින් සැලකිය යුතු ලෙස වැඩි වූ දවසකයි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රැකියා උත්පාදකයින් යනු අනෙක් අයව 'සූරා කන්න බලාසිටින' පිරිසක් නොව රටේ ඉදිරි ගමනට විශාල දායකත්වයක් සපයන සුවිශේෂී සම්පතක් ලෙස හඳුනා ගැනීමට සමාජය පුරුදු විය යුතුයි.

      Delete
    2. ඇත්තෙන්ම දරුවන්ට තියන ලෝඩ් එක අපේ කාලයට සාපේක්ෂව සෑහෙන වැඩියි.. ඒක ඔවුන්ට දරන්න බැරි තරම් කියලා හිතෙන තරම්...ඒ මදිවට සබ්ජෙක්ට් තියනව 12ක් හරි 13ක් හරි...පුංචි ඔළු වලට කොහොම ඔබන්නද ඔය ඔක්කොම විකාර....? ළමයි කිසිම කැමැත්තකින් නෙමේ ඉගන ගන්නේ.. බලකරන නිසාමයි...

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.