Sunday, March 19, 2017

අහසේ රිද්මය හා පොළොවේ රිද්මය


හෙට දිනය (මාර්තු 20) අහසේ ලෝකයටත්, පොළොවේ ලෝකයටත් සුවිශේෂී දවසකි. හෙට දින ලෝකයේ උත්තරාර්ධගෝලයේ බොහෝ තැන් වල වසන්ත විෂුවය සිදුවෙද්දී, දක්ෂිණාර්ධගෝලයේ බොහෝ තැන්වල හේමන්ත විෂුවය සිදුවේ. සමකය ආසන්නයේ පිහිටි රටවලට මෙන්ම සමකයෙන් ඈත්ව, සමකය දෙපැත්තේම පිහිටි රටවලටද මේ දවස් වල ගෙවෙන්නේ ආසන්න වශයෙන් සමාන දිවා හා රෑ කාලයන්ය.

දෙසැම්බර් 21 දින සිට ජූනි 21 දින දක්වා උත්තරායනයෙහි යෙදෙන හිරු මේ වන විට සිය ගමනින් අඩක් නිමවා තිබේ. සූර්ය උත්තරායනයේ දෙවන අර්ධය තුළ ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ රටවල දිවාකාලය ක්‍රමයෙන් දිගුවෙමින් රාත්‍රී කාලය කෙටි වෙද්දී, දකුණු අර්ධ ගෝලයේ රටවල එහි අනිත් පැත්ත සිදුවේ. උතුරු අර්ධ ගෝලයේ රටවල් ක්‍රමයෙන් උණුසුම් වෙද්දී දකුණු අර්ධ ගෝලයේ රටවල් ක්‍රමයෙන් ශීතල වේ. උතුරේ රටවල වසන්තය උදාවී තුරු ලතා දළු හා මලින් කෝටු සිරුරු වසා ගනිද්දී,  දකුණේ රටවල තුරු ලතා සිය පත් හලා දමමින් නිරුවත් වෙන්නට පටන් ගනී.

ලංකාව වැනි සමකය ආසන්න රටක වෙසෙන්නෙකුට සෘතු විපර්යාස එතරම් ලොකුවට නොදැනේ. එහෙත්, ලංකාව වැනි රටකින් කිසිදා බැහැර නොවී සිය ජීවිත කාලයම ගෙවා ඇති අයෙකුට වුවත් වාර්ෂික රටාවකට සිදුවන වර්ෂා හා වියලි කාලගුණයන් හොඳින් පුරුදුය. මේ පොළොවේ රිද්මයයි.

මේ පොළොවේ රිද්මය සමඟ සම්පාත වන අහසේ රිද්මයක්ද තිබේ. ඒ අහසේ රිද්මය, විවිධ, වෙනස් ආකෘති හරහා තේරුම් ගන්නට පුළුවන. සහස්වස් ගණනක් බොහෝ දෙනෙක් මේ රිද්මය තේරුම් ගත්තේ පෘථිවි කේන්ද්‍ර ආකෘතියක් යොදා ගනිමිනි. සියවස් කිහිපයකට පෙර මේ පෘථිවි කේන්ද්‍ර ආකෘතිය විස්ථාපනය කරමින් සූර්ය කේන්ද්‍ර ආකෘතියක් ජනප්‍රිය ආකෘතිය ලෙස මතු විය. සූර්යයාගේත්, අනෙකුත් ග්‍රහයන්ගේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය කේන්ද්‍ර කරගත් ආකෘතියක් මේ වන විට ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එහෙත්, තවමත් වැඩි දෙනෙකු පිළිගන්නට කැමති සූර්ය කේන්ද්‍ර ආකෘතියයි. තවත් කලකදී, වෙනස්ම ආකෘතියකින් අද අප යොදාගන්නා සියළු ආකෘති විස්ථාපනය වී යන්නට පුළුවන.

අනාගත ආකෘතියක පදනම වෙනස්ම එකක් විය හැකි වුවත්, දැනට මිනිසුන් අතර වඩාම ජනප්‍රියව ඇති හා පැවතී ඇති සූර්ය කේන්ද්‍ර ආකෘතියේ මෙන්ම පෘථිවි කේන්ද්‍ර ආකෘතියේත් පදනම සාපේක්ෂ චලිතයයි. සූර්ය කේන්ද්‍ර ආකෘතියෙහි සූර්යයා නිසලව ඇති ලෙස සලකමින් සූර්යයාට සාපේක්ෂවද, පෘථිවි කේන්ද්‍ර ආකෘතියෙහි පෘථිවිය නිසලව ඇති ලෙස සලකමින් පෘථිවියට සාපේක්ෂවද, අනෙකුත් ආකාශ වස්තුන්ගේ පිහිටීම් විස්තර කෙරේ.

පෘථිවි කේන්ද්‍ර ආකෘතිය අනුව,
-සූර්යයා පොළොව වටා කැරකේ.
-ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා සූර්යයාට වඩා මඳක් වැඩි වේගයකින් පොළොව වටා කැරකේ.
-හඳ පොළොව වටා කැරකේ.
-බුධ හා සිකුරු වරෙක සූර්යයාගෙන් ඈත් වෙමින් හා වරෙක ලං වෙමින් සූර්යයා සමඟ පොළොව වටා කැරකේ.
-අඟහරු, බෘහස්පති, සෙනසුරු ඇතුළු අනෙකුත් ග්‍රහයෝ සූර්යයාගෙන් ස්වායත්තව පොළොව වටා කැරකේ.

සූර්ය කේන්ද්‍ර ආකෘතිය අනුව,
-පොළොව සිය අක්ෂය වටා කැරකේ.
-පොළොව සූර්යයා වටා කැරකේ.
-හඳ පොළොව වටා කැරකේ.
-බුධ හා සිකුරු පොළොවට වඩා සූර්යයාට කිට්ටුවෙන් සූර්යයා වටා කැරකේ.
-අඟහරු, බෘහස්පති, සෙනසුරු ඇතුළු අනෙකුත් ග්‍රහයෝ පොළොවට වඩා සූර්යයාට ඈතින් සූර්යයා වටා කැරකේ.

මේ ආකෘති දෙකෙන් ඕනෑම එකක් යොදාගනිමින් දිවා රෑ ඇතිවීම, "දවස" යන සංකල්පය මෙන්ම "වර්ෂය" යන සංකල්පයද (යම් වෙනස්කම් සහිතව) පැහැදිලි කළ හැකිය. ඊට අමතරව පොළොවේ රිද්මය, පොළොවේ සෘතු විපර්යාස සිදුවන රටාව, හඳුනා ගැනීමට හා පැහැදිලි කිරීමටම මේ ආකෘති දෙකෙන් ඕනෑම එකක් යොදාගත හැකිය.


අප යොදාගන්නේ පෘථිවි කේන්ද්‍ර ආකෘතිය වුවත්, සූර්ය කේන්ද්‍ර ආකෘතිය වුවත්, "දවස" හා "වර්ෂය" යන සංකල්ප පැහැදිලි කිරීමට සරල ද්විමාන ආකෘතියක් යොදාගත හැකිය. එහෙත්, දවසේ දිවා රෑ පැය ගණන් වෙනස් වීම හා සෘතු විපර්යාස පැහැදිලි කිරීමට ද්විමාන ආකෘතියක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා, ත්‍රිමාන ආකෘතියක් යොදාගන්නට සිදුවේ.


සූර්ය කේන්ද්‍ර ආකෘතියෙන් මෙය පැහැදිලි කරන්නේ ඉර වටා පොළොව කැරකෙන තලයත්, පොළොව සිය අක්ෂය වටා කැරකෙන තලයත් අතර ඇති ආනතිය ඇසුරෙනි. පොළොව ඉර වටා ගමන් කරන (ආකෘතිය අනුව) තලයට හරියටම ලම්බකව පොළොව තමන් වටා භ්‍රමණය වන අක්ෂය පැවතියේනම් පොළොවේ ඕනෑම තැනක, වසරේ ඕනෑම දිනක දිවා රෑ පැය ගණන් සමානව පැවතිය හැකිව තිබුණි. එහෙත්, එය එසේ නොවන බැවින් වසරේ විවිධ කාල වල පොළොවේ විවිධ තැන් වලට ඉර එළිය ලැබෙන පැය ගණන වෙනස් වේ.



සමකය ආසන්න පෙදෙස් වල වසර පුරාම ආසන්න ලෙස සමාන දිවා හා රෑ කාල පවතී. එහෙත්, සමකයෙන් ඈත් වෙද්දී මේ තත්ත්වය වෙනස් වේ. උත්තරාර්ධගෝලයේ රටවල දිවා කාලය දෙසැම්බර් 21 සිට ජූනි 21 දක්වා කාලය තුළ ක්‍රමයෙන් දිගුවේ. රාත්‍රී කාලය ඒ අනුරූපව කෙටි වේ. උත්තර ධ්‍රැවයට ආසන්නවම පිහිටි ආක්ටික් වලයට අයත් වන පෙදෙස් වලට මේ මාස හයම එක් දිගු දිවා කාලයකි. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වලට මාස හයක දීර්ඝ රාත්‍රියකි. මේ කාලය තුළ දක්ෂිණාර්ධගෝලයේ රටවල රෑ කල දිගු වේ. දිවා කල කෙටි වේ. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වලට මේ කාලය මාස හයක දීර්ඝ රාත්‍රියකි.

ඉතිරි වර්ෂාර්ධය තුළ මෙහි විලෝමය සිදුවේ. ඒ මාස හය තුළ, උත්තර ධ්‍රැවය ආසන්න පෙදෙස් වල මාස හයක දිගු රාත්‍රියකි. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වල මාස හයක දිගු දවාලකි. දිගු දිවා කල් සමඟ දක්ෂිණ අර්ධගෝලයේ රටවල් රත් වෙද්දී, උතුරු අර්ධ ගෝලයේ රටවල රාත්‍රිය දිගු වී කාලගුණය සිසිල් වේ.

ඉහත සංසිද්ධිය පෘථිවි කේන්ද්‍රීය ආකෘතියෙන්ද, වෙනස් ලෙසකින්, එහෙත් නිවැරදිව විස්තර කෙරුණේය.  පෘථිවි කේන්ද්‍රීය ද්විමාන ආකෘතියක ඉර, හඳ හා තාරකා පොළොව වටා යන්නේ නැගෙනහිර, ඉහළ, බටහිර, පහළ දිශා සම්බන්ධ කෙරෙන තලයකය. සෘතු විපර්යාස පැහැදිලි කිරීමට මේ තලයට ලම්බකව ඇති උතුරු දකුණු අක්ෂයද ආකෘතියට එකතු කර එය ත්‍රිමාන ආකෘතියක් ලෙස පුළුල් කළ යුතුය. මේ ආකෘතිය අනුව, ඉර පොළොව වටා නැගෙනහිර, ඉහළ, බටහිර, පහළ ලෙස කැරකෙන අතරම උතුරු දකුණු අක්ෂයේද චලනය වේ. මෙය හරියටම මාරක ලිඳක මෝටර් සයිකලයක් පදවන්නෙකු ලිඳේ බිත්තිය වටේ රවුමට ගමන් කරන අතරම ඉහළට හෝ පහළටද ගමන් කර ආකාරයට සමානය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේෂරවි හා තුලාරවි මාස වල ආරම්භයේදී ඉර පොළොව වටා කැරකෙන්නේ සමකයට ආසන්නවය. සූර්ය කැලැන්ඩරය අනුව, මාස නම් කෙරෙන්නේ මේෂරවි, වෘෂභරවි ආදී වශයෙන් අදාළ මාසය තුළ ඉර උදාවන විට නැගෙනහිර ක්ෂිතිජය එල්ලේ පැවති තාරකා රාශිය අනුවය. මේෂරවි මාසයේ සිට මාස තුනක් ඉර (පොළොව වටා කැරකෙන අතරම) පොළොවේ උතුරු දෙසට ගමන් කරයි. මාස තුනකට පසු, කටකරවි මාසය ඇරඹෙන විට ඉර පොළොව වටා කැරකෙන්නේ සමකයට උතුරෙන් පිහිටි කටක නිවර්තනය (Tropic of Cancer) හරහාය.

කටකරවි මාසයේදී ඉර සිය උතුරු ගමන හෙවත් උත්තරායනය අවසන් කර දකුණු ගමන හෙවත් දක්ෂිණායානය අරඹයි. තවත් මාස තුනකට පසු තුලාරවි මාසය ඇරඹෙන විට ඉර නැවතත් පොළොව වටා කැරකෙන්නේ සමකය වටාය.

එතැන් සිට මකරරවි මාසයේ ආරම්භය තෙක් ගතවන මාස තුන තුළ ඉර තවත් දකුණට ගොස් අවසානයේදී මකර නිවර්තනය
(Tropic of Capricorn) හරහා පොළොව වටා කැරකේ. ඉන්පසු නැවතත් උත්තරායනය අරඹයි.

ඉර පොළොව වටා කැරකෙන්නේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි සමකය හා කටක නිවර්තනය අතර අක්ෂාංශයක් හරහානම් උතුරු අර්ධගෝලයේ රටවල දිවාකාලය රාත්‍රී කාලයට වඩා දිගුය. ඉර පොළොව වටා කැරකෙන්නේ දකුණු අර්ධ ගෝලයේ පිහිටි සමකය හා මකර නිවර්තනය අතර අක්ෂාංශයක් හරහානම් දකුණු අර්ධගෝලයේ රටවල දිවාකාලය රාත්‍රී කාලයට වඩා දිගුය.


පෘථිවි කේන්ද්‍රීය පැරණි ආකෘතිය හා සූර්ය කේන්ද්‍රීය අළුත් ආකෘතිය වෙනස් වන එක් තැනක් තිබේ. සූර්ය කේන්ද්‍ර ආකෘතිය හා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව, දැනට උත්තරාර්ධගෝලයේ වසන්ත විෂුවය, ගිම්හාන සූර්ය නිවෘත්තිය, හේමන්ත විෂුවය හා ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවන්නේ පිළිවෙලින් මාර්තු 20, ජූනි 21, සැප්තැම්බර් 22, දෙසැම්බර් 21 ආසන්න දින වලය. එහෙත්, ලංකාව ඇතුළු ඇතැම් පෙරදිග රටවල භාවිතා කෙරෙන පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව මේ සිදුවීම් වලට අනුරූප මේෂ සංක්‍රාන්තිය, කටක සංක්‍රාන්තිය, තුලා සංක්‍රාන්තිය හා මකර සංක්‍රාන්තිය මේ කාලයේ සිදුවන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 14, ජූලි 16, ඔක්තෝබර් 17 හා ජනවාරි 14 ආසන්නව දින 25කට පමණ පසුවය. ඒ ගැන අපි වෙනත් ලිපියකින් කතා කරමු.

(Image: http://scijinks.gov/solstice/, http://www.bolton.govoffice.com)

6 comments:

  1. භ්‍රමණය වන පෘථිවියක් සහිත පෘථිවි කේන්ද්‍ර ආකෘතියක් හැදුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එවැනි (පැරණි) ආකෘතියක් ගැන මම දන්නේ නැහැ, ජගත්.

      Delete
  2. ඇත්තටම පෘතුවිය ඇතුලු අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වට ගමන්කරණවා කියන්නේ කල්පිතයක් විතර ද ? ඇත්තටම සිද්ධ වෙන බවට තහවුරු කර නොගත් සංසිද්ධියක් ද ?

    ReplyDelete
    Replies
    1. කල්පිත කියන්නේ සිද්ධවන බව පෙනෙන දේවල් පැහැදිලි කිරීමට ගොතන කතන්දර. මෙවැනි ඇතැම් කල්පිත පහසුවෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. තවත් ඒවා දිගු කාලයක් එසේ ප්‍රතික්ෂේප නොවී පවතිනවා. "තහවුරු වෙනවා" කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ කාලයක් තිස්සේ ප්‍රතික්ෂේප නොවී තිබෙන බව. මේ ප්‍රවාදය නරක එකක් නෙමෙයි. එයින් බොහෝ දේ පැහැදිලි කළ හැකියි. ඇතැම් සංසිද්ධි වෙනස් ප්‍රවාද කිහිපයකින් වුවත් පැහැදිලි කළ හැකියි. එයින් හැමවිටම අදහස් වෙන්නේ දෙකෙන් එකක් බොරු කියන එක නෙමෙයි. උදාහරණයක් ලෙස ඔබ රවුම් ධාවන පථයක දුවන විට තවත් අයෙක් ධාවන පථයේ අනිත් පැත්තේ ඔබට සමාන වේගයකින් දුවනවනම් ඔබ ඔහු පසුපස දුවන බව හෝ එහි අනිත් පැත්ත යන දෙකෙන් ඕනෑම එකක් කියන්න පුළුවන්.

      Delete
  3. අපූරුයි, මම බොහෝම ප්‍රිය කරන මාතෘකාවක්.
    නොවැටහෙන කෙනෙකුටත් වටහා ගත හැකි ලෙස හොඳින් කරුනු පෙලගස්වා තියෙනවා. තව දුරටත් මේ ගැන ලියනවානම් හොඳයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.