වෙබ් ලිපිනය:

Wednesday, December 18, 2024

රාජ්‍ය ආදායම සහ බදු සහන


අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද?

අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ දිගුකාලීන ඉලක්කය වනුයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3% මට්ටම දක්වා වැඩි කර ගෙන, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.0% මට්ටම නොඉක්මවීම මගින් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. 

රාජ්‍ය ආදායම් 15.3% මට්ටම දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබුණේ පහත ආකාරයෙනුයි.

2025 - 15.0%

2026 - 15.1%

2027 - 15.2%

2028 සිට ඉදිරියට - 15.3%


මේ වන විට අප 2024 පළමු කාර්තු තුනේ රාජ්‍යමූල්‍ය ප්‍රවණතා ගැන හරියටම දන්නවා.

2024 පළමු කාර්තුව:

බදු ආදායම - 10.52%

බදු නොවන ආදායම - 0.98%

රාජ්‍ය ආදායම - 11.50%

ප්‍රාථමික වියදම් - 7.53%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.97%


2024 දෙවන කාර්තුව:

බදු ආදායම - 12.93%

බදු නොවන ආදායම - 1.09%

රාජ්‍ය ආදායම - 14.02%

ප්‍රාථමික වියදම් - 10.65%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.37%


2024 තෙවන කාර්තුව: 

බදු ආදායම - 13.10%

බදු නොවන ආදායම - 1.05%

රාජ්‍ය ආදායම - 14.15%

ප්‍රාථමික වියදම් - 10.92%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.23%


මේ අනුව පෙනී යන්නේ 2024 තෙවන කාර්තුව වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.15% දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම අගය සිවු වන කාර්තුවේදී තවත් වැඩි වීමට මිස අඩු වීමට හේතුවක් නැහැ. තවත් ඉහළ නොගියද, 2025 ඉලක්කය වන 15.0% මට්ටමට යාමට තවත් අවශ්‍ය වන්නේ දදේනියෙන් 0.85%ක වැඩි වීමක් පමණයි.

දෙවන විමර්ශනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි, වාහන ආනයනය විවෘත වෙද්දී මෙම අගයට 0.80%ක් එකතු වන අතර, වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.30%ක් එකතු වීමට නියමිතයි. එමෙන්ම, "ආරෝපිත ගෙවල් කුලී" බද්ද හඳුන්වා දීමෙන් පසුව තවත් 0.15%ක් එකතු වෙනවා. මේ සියල්ල එකතු වීමෙන් පසුව, 2025 රාජ්‍ය ආදායම දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය ඉලක්කය වන 15.3% මට්ටමද ඉක්මවා යනවා.

මෙම තත්ත්වය හමුවේ රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. පළමුවැන්න "සමාජ ප්‍රජාතන්ත්‍රවාදී" ප්‍රවේශය ලෙස හැඳින්විය හැකි, බදු ආදායම් වැඩි කරගෙන වියදම්ද වැඩි කිරීමේ ප්‍රවේශයයි. මැතිවරණ වලට පෙර ආණ්ඩු පක්ෂ කණ්ඩායම ප්‍රදර්ශනය කළේ මෙවැනි ප්‍රවේශයක් ඔවුන් විසින් අනුගමනය කරන්නට යන බවයි. දෙවන ප්‍රවේශය වනුයේ "නව ලිබරල් ප්‍රවේශය" ලෙස හැඳින්වෙන වියදම් වැඩි නොකර, බදු අඩු කිරීමේ ප්‍රවේශයයි. 

ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගන්නේනම්, මේ ප්‍රවේශ දෙකෙන් කුමක් අනුගමනය කළද එය ආර්ථික ස්ථායීතාවය අවදානමේ හෙළන්නේ නැහැ. මේ මොහොතේදී ආණ්ඩුව විසින් දෙවන ප්‍රවේශය තෝරා ගෙන ඇති බවක් පෙනී යනවා. 

පෞද්ගලික ආදායම් බදු හා අදාළ සහනයක් ලබා දීම සඳහා පැවති ආණ්ඩුව විසින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගෙන තිබුණා. එහෙත් දැන් ලබා දෙන්නට යන සහනය එම සහනය ඉක්මවා යන්නක්. එමෙන්ම, මගේ මතකය නිවැරදිනම්, මැතිවරණ වලට පෙර පොරොන්දු වූ සහනයට වඩා අඩු මට්ටමක සහනයක්. අරමුදල සමඟ සාකච්ඡා වලදී පෙනී ගිය පරිදි, ආර්ථික ස්ථායීතාවය අවදානමේ නොහෙළමින් ලබා දිය හැකි උපරිම සහනය මෙය විය හැකියි. 

ඩොලරයක මිල පහත වැටී තිබුණද, ආනයන වල විශාල වර්ධනයක් සිදු නොවීමට එක් හේතුවක් වනුයේ මධ්‍යම පන්තියේ මිල දී ගැනීමේ හැකියාව පහත වැටී තිබීමයි. ඊට හේතුව වැඩි කළ බදු නිසා ඔවුන්ගේ රුපියල් ආදායම් පහත වැටී තිබීමයි. බදු සහන නිසා ආනයන ඉල්ලුමෙහි යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි අතර එය ඩොලරයක මිල යම් තරමකින් ඉහළ දැමීමටද හේතුවක් විය හැකියි. ඒ වාහන ආනයනය විවෘත වීම සහ පොලී ගෙවීම් ආරම්භ වීම නිසා සිදු විය හැකි බලපෑමට අමතරවයි. කෙසේ වුවත්, මේ මොහොතේ ඩොලරයක මිල තරමක් ඉහළ යාම ප්‍රශ්නකාරී දෙයක් නෙමෙයි. 

7 comments:

  1. රනිල් සැප් 19 dsa එක සයින් කලාට පස්සෙ ආපහු කොහොමද මේ ආන්ඩුව ගිවිසුම වෙනස් කලේ බදු සහන දෙන්න පුලුවන් විදියට?

    ReplyDelete
    Replies
    1. DSA කියන්නේ Debt Sustainability Analysis - ණය තිරසාරත්ව විශ්ලේෂණය කියන එක. එය කිසියම් ක්‍රමයකට කරන විශ්ලේෂණයක්. ඒක කවුරුවත් අත්සන් කරන ගිවිසුමක් වැනි දෙයක් නෙමෙයි. විශ්ලේෂණයක් පමණයි. රනිල් අත්සන් කළේ ණයහිමියන් සමඟ එකඟතාවයකට (Agreement in Principle). ඒ මත පදනම්ව තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස සිදු කළේ. බදු සහන ඔය දෙකෙන් එකකටවත් (සෘජුව) සම්බන්ධ නැහැ. එය අදාළ වෙන්නේ IMF එකත් එක්ක තිබෙන ගිවිසුමට.

      Delete
    2. එතකොට රනිල් අත්සන් කරපු නිසා මේ ඈන්ඩුවට වෙනස් කරන්න බැරි මොන කොටසද? පසුගිය දින කීපයේම පාර්ලිමේන්තුවෙ ඔය කතාව ඇහුන. ලක්මාලි හේමචන්ද්‍ර එහෙම කියනව

      Delete
    3. මම ඔය කතා අහගෙන හිටියේනම් නැහැ. නමුත් ඔය කියන්නේ Agreement in Principle ගැන විය යුතුයි (මේ ආණ්ඩුවට සම්බන්ධ සමහර අය මැතිවරණ වලට පෙර DSA කියන වචනය භාවිතා කළා. මම හිතන්නේ තේරුමක් නැතිව). DSA වෙනස් කරන්න බැරි වුනත් (තත්ත්වයන් වෙනස් වෙද්දී එය ඉබේම වෙනස් වෙනවා. එය වෙනස් කිරීමක් නෙමෙයි.) Agreement in Principle එක වෙනස් කරන්න බැහැ කියන එක බොරු කතාවක්. එය එකඟතාවයක් පමණයි. අවශ්‍යනම් වෙනස් කරන්න තිබුණා. මේ ආණ්ඩුව ඒ අවදානම ගන්න බය වුනා. අවදානම ගත්තානම් වඩා වාසිදායක ඩීල් එකක් දමා ගැනීමේ යම් හැකියාවක් තිබුනා කියලා මම හිතනවා. නමුත් සිදු නොවූ දෙයක් ගැන හරියටම කියන්න බැහැ. දැන් ඔය බදු අඩු කිරීම සම්බන්ධවත් කලින් ආණ්ඩුව යම් නිශ්චිත එකඟතාවයකට ඇවිත් තිබුණේ. මැතිවරණය ඉතා ආසන්නව. මේ ආණ්ඩුව මැතිවරණයෙන් පසුව සාකච්ඡා කර එය වෙනස් කර තිබෙනවා. Agreement in Principle සම්බන්ධව එසේ කළේ නැහැ. වඩා වාසිදායක ඩීල් එකක් දමා ගැනීමේ යම් හැකියාවක් තිබුණා වුනත් සාකච්ඡා දිගට ඇදෙන එකේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව ඒ අවදානම ගත්තේ නැහැ.

      Delete
    4. ඉකොනො මේ ක්ලිප් එකේ ජාතික ජන බලවේගයේ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පහුගිය රනිල් වික්‍රමසිංහ පාලනය වගේම ඊට පෙර යහපාලන ආණ්ඩුව සහ ඊටත් පෙර එජාප ආණ්ඩු සිදුකරන ලද ආර්ථික ඝාතන පිළිබඳව කෙටියෙන් විස්තර කරනවා මේක බලන්න

      https://www.facebook.com/reel/495659140201039/

      ඔබට පුළුවන් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර දිගටම ෆලෝ කරන්න ඇයගේ කතා අහල බලන්න ලංකාවේ ආර්ථිකය එක්සත් ජාතික පක්ෂය විසින් දැඩි ලෙස අර්බුදයකට තල්ලු කළ ආකාරය සහ රනිල් වික්‍රමසිංහ නමැති ආර්ථික ඝාතකයා ලංකා ආර්ථිකය උග්‍ර ලෙස බංකොලොත්බාවයට ඇද දැමූ ආකාරය ගැන ඇය මනාවට පැහැදිලි කරනවා, ඉතාම දක්ෂ තරුණ කාන්තාවක්, මම හිතන්නේ ඇයට ඉතාමත්ම පැහැබර අනාගතයක් ඇති බව, හරිනි අමරසූරිය අගමැතිතුමියගෙන් පසුව අගමැතිකම වුණත් ඇයට දරන්නට සුදුසු ඉතාම දක්ෂ කෙනෙක්.

      Delete
    5. ඇත්තටම ඇය කියන එක හරි. රනිල් වික්‍රමසිංහ තමයි 1979 ඉඳන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එකට විරුද්ධ වෙලා රාගම පුද්ගලික විශව විද්‍යාල වැස්සෙව්වෙ. ඒකෙන් අවුරුදු පතා ඩොලර් බිලියනයක් විතර පිටරට ඉගෙන ගන්න අයට ලංකාව වියදම් කරන්නේ රනිල්ගෙ මෝඩ වැඩ නිසා. රනිල් නොවෙන්න ඒ ගාන ඉතුරුවුනානම් ඩොලර් බිලියන 45 ඉතුරුයි. රටේ මුළු විදේශ ණය ඩොලර් බිලියන 55 (ලඟදි කොටසක් කපා හරින්න පෙර ). ඒකයි රනිල් වගේ අය මේ මුලු ආර්ථික පරිහානියටම වග කියන්න ඕන.

      Delete
  2. ලංකාවේ ටිකක් ඉහල වැටුප් ගන්න අයට සෘජු බදු කණ පැලෙන්න ගහලා, සාමාන්‍ය අයට වක්‍ර බදු ඉහටත් උඩින්. ඒ වුණාට රජයේ කුණු ට්‍රැක්ටර් එක එන්නෙත් උන්ට මාසෙට පාරක් විතර ලාවට වගේ මතක් උනාම.

    රජයේ නිලධාරීන් අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ගොබ්බ RAMIS එක, Tax file කරන්න ගියාම tax ගෙවන එකත් එපා වෙනව. TIN එකට bank information හරියට sync වෙලා නැත්තන් WHT ඔක්කොම වෙන වෙනම දාන්න ඕනෙ. Response එක පට්ට slow. Panel එකෙන් panel එක navigate කරද්දි පට්ට වාතයි.

    එහෙම වෙලත් මම අද වෙනකම් සතයක් වත් අඩු නැතුව tax ගෙවනවා. හැබැයි මේ මොක නාස්තියක්ද කියන හැඟීම ටික ටික වැඩි වෙන එකයි වෙන්නෙ. ඇත්තටම දැන් tax අඩුවෙන්ම ගෙවන්නෙ කොහොමද කියල කල්පනා කරන්නෙ. හේතුව තමා අපිට ලැබෙන දෙයක් නැතිකම. මොනවා හරි දැනෙන benefits තිබ්බනම් මිනිස්සු කැමැත්තෙන් බදු ගෙවයි.

    ජාතික ජන බලවේගය මාලිමාව බදු අඩු කරලා රජයේ ආයතන කාර්යක්ෂම කළොත් ලොකු දෙයක් නේද?

    මේ නිව්ස් එක දැක්කම මොකද හිතෙන්නේ ඉකොනෝ? කතාව නම් සහතික ඇත්ත නේද?

    //පසුගිය 2015 - 2019 යුගයේ දූෂිත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් අධික පොලියට කෙටිකාලීන බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.55 ක් අරන් රටේ ණය බර අධික ලෙස වැඩි කරද්දි ඒ ආණ්ඩුවට වෙලා නිහඬව හිටපු අයගෙ ආර්ථික උපදෙස් දැන් අපිට වැඩක් නෑ.

    ඒ අය ඔය උපදෙස් ඒ කාලෙ තමුන් හිටිය ආණ්ඩුවටම දුන්න නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ ඇයි ඒ කාලේ ඔය කයිවාරු ගහන දේවල් නොකළේ?

    ඊළඟට ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන 2029 දීවත් මේ රටේ සජිත් ප්‍රේමදාසලට රනිල් වික්‍රමසිංහලට නාමල් රාජපක්ෂලට ආයෙ ආණ්ඩු හදන්න කිසිසේත් ඉඩක් දෙන්න නෙමෙයි අපි ආන්ඩු බලය ගත්තෙ ඒ නිසා 2029 න් පස්සෙත් මේ රටේ තියෙන්නෙත් ජාතික ජන බලවේගයෙ අපේ ආණ්ඩුවක්ම බව හොඳින්ම මතක තියා ගන්න!

    - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී.

    ( මව්බිම )//

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: