වෙබ් ලිපිනය:

Wednesday, December 25, 2024

ඝානා රජය ණයහිමියන්ට දුන් විකල්ප දෙක

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී තාක්ෂනික ලෙස සිදු වන්නේ දැනට නිකුත් කර තිබෙන ණය උපකරණ හෝ වෙනත් ණය වෙනුවට අලුත් ණය උපකරණ එකක් හෝ කිහිපයක් නිකුත් කරන එක. මේ ක්‍රියාවලිය සංකීර්ණ එකක්. "ණය කපා හැරීම" වගේ වචනයක් භාවිතා කරන්න වෙන්නේ අදාළ මූලික දැනුම නැති පිරිසකට මේ සංකීර්ණ ක්‍රියාවලිය ඒ විදිහටම විස්තර කරන එක අමාරු කාර්යයක් නිසා. නමුත්, අප විසින්ද කර තිබෙන, මේ ඕනෑවට වඩා සරල කිරීම නිසා ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වන සමහර දේවල් මග හැරෙනවා. එහෙම නැත්නම් වැරදි අවබෝධ ඇති වෙනවා.

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ ආකෘතිය අනුව ඉතාම සංකීර්ණයි. බැඳුම්කර ගැන මූලික දැනුමක් තිබෙන කෙනෙකුට වුනත් මේ ණය උපකරණ හරියට තේරුම් ගන්න යම් ආයාසයක් දරන්න වෙනවා. 

ලංකාවට සාපේක්ෂව බැලූ විට ඝානා රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ සරල ණය උපකරණ. ඒ නිසා, ඒවා තේරුම් ගන්න එක වඩා පහසුයි. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වූ දෙය වඩා නිවැරදිව තේරුම් ගන්න උනන්දුවක් දක්වන අයෙකු විසින් පළමු පියවරක් ලෙස ඝානාවේ සිදු වූ දෙය තේරුම් ගන්න එක හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.

මේ සමඟ පළ කරන පළමු වගුවේ තිබෙන්නේ ඝානා රජය විසින් හුවමාරුව සඳහා ඉදිරිපත් කළ, ස්වෛරිත්ව බැඳුම්කර 15ක විස්තර. මේ සියල්ලෙහි මුහුණත අගයන්හි වටිනාකම ඩොලර් මිලියන 13,104ක්. විශාලතම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 1,250ක් වන අතර කුඩාම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 149ක් පමණයි. කූපන් පොලී අනුපාතික වල බරිත සාමාන්‍ය අගය 7.92%ක්. මෙම අගය ලංකාවේ එම අගයට වඩා වැඩි අගයක්. ඒ වගේම දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර සඳහා ගෙවිය යුතු වූ කූපන් පොලී අනුපාතික මීටත් වඩා වැඩියි. 

ඝානාව විසින් ණය පැහැර හැරීම නිවේදනය කළේ 2022 දෙසැම්බර් 19 දිනයි. 2024 ඔක්තෝබර් මාසයේදී ඝානාව විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය සියල්ල ප්‍රතිව්‍යුහගත කර අවසන් කළා. මෙම කාලය අතරවාරයේදී කල් පිරුණේ ඩොලර් මිලියන 149ක එක් බැඳුම්කරයක් පමණයි. එම බැඳුම්කරය කල් පිරුණේද 2023 අගෝස්තු 7 දිනයි. ඒ වෙද්දී ඝානාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සෑහෙන දුරක් ගිහින්. 

ඒ වගේම, ඝානාවේ විදේශ සංචිත කිසිදු විටෙක ඩොලර් මිලියන 149ක් ගෙවා ගත නොහැකි මට්ටමකට පහත වැටුණේ නැහැ. ඝානා රජයට එම මුදල පහසුවෙන්ම නියමිත දිනයේදී ගෙවිය හැකිව තිබුණා. ණය පැහැර හැරීම නිසා ප්‍රධාන වශයෙන්ම සිදු වුණේ අදාළ කාලය තුළ ගෙවිය යුතු වූ කූපන් පොලී මුදල් ගෙවීම නැවතීමයි. මෙම මුදල වසරකට ඩොලර් මිලියන 1,038ක් පමණ වූ මුදලක්. 

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඝානා රජය විසින් ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත්තේනම් ණයහිමියන්ට ලැබෙන්නේ හුවමාරු කරගන්නා බැඳුම්කර වල මුහුණත අගයෙන් 63%කට සමාන මුහුණත අගයක් ඇති බැඳුම්කර ප්‍රමාණයක්. ඒ කියන්නේ 37%ක අඩුවීමක්. එහෙත්, දෙවන විකල්පය (PAR option) තෝරා ගත්තේනම් එවැනි මුහුණත අගය කප්පාදුවක් සිදු වන්නේ නැහැ. 

සියලුම ණයහිමියන්ට මේ විකල්ප දෙකම විවෘතව තිබුණා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත් සියලුම ණයහිමියන්ට එම විකල්පය ලැබුනා. පළමු විකල්පය (DISCO option) තෝරා නොගත් ණයහිමියන්ට දෙවන විකල්පය (PAR option) හිමි වුනා. යම් හෙයකින් අවම වශයෙන් මුහුණත අගයෙන් 87.8%ක ප්‍රමාණයක් සඳහා පළමු විකල්පය තෝරා නොගැනුනේනම්, එම විකල්පය තෝරාගත් යම් පිරිසකට දෙවන විකල්පය භාර ගන්නට සිදු වෙනවා. එහෙත්, එවැන්නක් සිදු වුනේ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමෙන් පසුව, ණයහිමියන්ගෙන් 91.0%ක්ම ඉල්ලා සිටියේ පළමු විකල්පයයි. දෙවන විකල්පය ඉල්ලා සිටියේ 7.6%ක් පමණයි. ඉතිරි 1.4% ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුමැතිය දුන්නේ නැහැ. 

මේ අනුව පෙනී යන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් භාරගන්නා විකල්පයට එවැනි කප්පාදුවක් නොමැති විකල්පයට වඩා ඉල්ලුමක් පැවතුණු බවයි. මෙම ලිපියෙන් අවධාරණය කරන්නට අදහස් කරන කරුණ වන්නේද මෙයයි.

ණයහිමියෙකුට විකල්ප දෙකක් ලබා දුන් විට ඔවුන් විසින් තෝරා ගන්නේ එම විකල්ප දෙක අතරින් තමන්ට වඩා වාසිදායක විකල්පයයි. මේ අවස්ථාවේදී වැඩි පිරිසක් විසින් වඩා වාසිදායක විකල්පය ලෙස සලකා තිබෙන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත විකල්පයයි. ඒ ඇයි? 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි මෙම විකල්ප දෙක පිළිබඳව වැඩි විස්තර කරා යමු.

මුහුණත අගය කප්පාදුවක් නැති දෙවන විකල්පය (PAR option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර දෙකක් ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයෙන් ඩොලර් 96ක මුහුණත අගයක්.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්.

නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයේ මුහුණත අගය 2036දී වාරික දෙකක් සහ 2037දී එක් වාරිකයක් ලෙස සමාන වාරික තුනකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර වසරකට 1.5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2024දී ලැබෙන්නේ එක් කූපන් ගෙවීමක් පමණයි (0.75%). ඉන් පසුව, කල් පිරෙන තුරු, වසරකට ගෙවීම් දෙක බැගින් ලැබෙනවා. 

මුහුණත අගය 37%කින් අඩුවන පළමු විකල්පය (DISCO option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර තුනක්  ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- කෙටිකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 24.2ක මුහුණත අගයක්.

- දිගුකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 34.8ක මුහුණත අගයක්.

මෙම අගයන්හි එකතුව ඩොලර් 63ක්. මුහුණත අගය 37%කින් අඩු වීම යන්නෙන් අදහස් වන්නේ මෙයයි.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්. (එනම් මෙය දෙවන විකල්පයේදී ලැබෙන ක්ෂණික මුදල් බැඳුම්කරයමයි.)

කෙටිකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2026-2029 කාලයේදී වසරකට වාරික දෙක බැගින් සමාන වාරික අටකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

දිගුකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2030-2034 කාලයේදී මුහුණත අගයෙන් 7.8%කට සමාන වාරික දහයකින් (වසරකට දෙක බැගින්) සහ ඉන් පසුව 2035දී මුහුණත අගයෙන් 11%කට සමාන වාරික දෙකකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

ඔය විස්තර කළේ ඇත්තටම සිදු වූ දෙයයි. ලංකාවේ සිදු වූ දෙයට සාපේක්ෂව බෙහෙවින්ම සරල වුවත්, මෙය තේරුම් ගන්නටත් යම් ආයාසයක් දරන්න අවශ්‍ය වෙනවා. මෙහිදී සිදු වූ දෙයෙහි බලපෑම මම පසුව වඩා සරලව ඉදිරිපත් කරන්නම්. 

අපට තේරුම් ගන්නට තිබෙන පළමු මූලික ගැටලුව වන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත පළමු විකල්පය එවැනි කප්පාදුවක් නොමැති දෙවන විකල්පයට වඩා ආකර්ශනීය වූයේ මන්ද යන්නයි. එතරම් තාක්ෂනික නොවන සරල පිළිතුරක් ලෙස අනුමානයෙන් කිව හැක්කේ මීට හේතුව පළමු විකල්පය සඳහා ලැබෙන කූපන් පොලිය 5% හෝ 6% වෙද්දී, දෙවන විකල්පයේ කූපන් පොලිය 1.5%ක් පමණක් වීම විය හැකි බවයි. 

එහෙත්, මතු පෙන්වන පරිදි, මෙම කූපන් පොලී වෙනස සැලකුවද, දෙවන විකල්පයේදී අවසාන වශයෙන් අතට ලැබෙන මුදල පළමු විකල්පයේදී අතට ලැබෙන්නේ නැහැ. එබැවින්, මේ අනුමාන පිළිතුර නිවැරදි පිළිතුරක් සේ සැලකිය නොහැකියි. මේ වෙනසට හේතුව මුදලේ කාල වටිනාකම් වෙනසයි. එනම් කලින් අතට ලැබෙන මුදලක වටිනාකම පසුව ලැබෙන මුදලක වටිනාකමට වඩා වැඩි වීමයි. 

මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා, ඩොලර් 1000ක මුහුණත අගයක් හුවමාරු කරගන්නා ණයහිමියෙකුට එක් එක් විකල්පය යටතේ මුදල් ආපසු ලැබෙන ආකාරය විමසා බලමු. මෙහිදී මුහුණත අගය ආපසු ගෙවීම් හෝ කූපන් පොලී ගෙවීම් ලෙස ලැබෙන සියලුම මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගෙන තිබෙනවා. 

මේ සමඟ පළ කරන දෙවන වගුවේ දෙවන හා තුන්වන තීරු වල පෙන්වා ඇති පරිදි, දෙවන විකල්පය යටතේ ඩොලර් 1000ක මුහුණත අගයක් වෙනුවෙන් ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන අතර පළමු විකල්පය යටතේ එසේ ආපසු ලැබෙන්නේ ඩොලර් 846.21ක මුදලක් පමණයි. එසේනම්, පළමු විකල්පය වඩා ආකර්ශනීය වූයේ ඇයි?

ඝානාව විසින් අලුතෙන් නිකුත් කර ඇති, ඉහත විස්තර කර තිබෙන, බැඳුම්කර සඳහා ෆිච් රේටිං ආයතනය විසින් ලබා දී තිබෙන්නේ CCC+ අවදානම් ශ්‍රේණියයි. එම ශ්‍රේණිය විස්තර කෙරෙන්නේ මෙලෙසයි.

"A CCC+ credit rating indicates a slightly lower risk of default than a CCC rating, but still carries a high degree of credit risk."

"ඝානාව විසින් ණය පැහැර හරිනු ලැබීමේ අවදානම CCC ශ්‍රේණියට වඩා යාන්තමින් අඩු වුවත්, එම අවදානම තව දුරටත් ඉහළ මට්ටමක පවතී."

ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී තිබෙන්නේද මෙම CCC+ ශ්‍රේණියයි. මෙය "ආයෝජනය සඳහා අයෝග්‍ය" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතරද පහළම ශ්‍රේණියක්. ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව, "ආයෝජනය සඳහා යෝග්‍ය (Investment grade)" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතර පහළම ශ්‍රේණිය BBB- ශ්‍රේණියයි. ඊට පහළ ශ්‍රේණිගත කිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීම හැඳින්විය හැක්කේ සමපේක්ෂකයින්ගේ සූදුවක් ලෙසයි. CCC+ මට්ටම සමපේක්ෂකයෙකු වුවද කර ගහන්නට පැකිළෙන අවදානම් මට්ටමක්. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ණය පැහැර හරිනු ලැබීමේ අවදානම ඉහළ යන තරමට ගෙවන්නට සිදු වන (සහ ණයහිමියන් විසින් අපේක්ෂා කරන) පොලී අනුපාතිකයද ඉහළ යනවා. CCC+ ශ්‍රේණිය හා අදාළව මෙම පොලී අනුපාතිකය 11%ක් පමණ වෙනවා. මේ අනුව, ණය පැහැර හැරීමේ අවදානම සලකා බලමින්, CCC+ ආයෝජනයක් වෙනුවෙන් අනාගතයේදී ලැබීමට නියමිත ප්‍රතිලාභ ආයෝජකයෙකු විසින් සලකා බලන්නේ 11%ක ප්‍රතිලාභයක් ලැබිය හැකි ආයෝජනයකට සාපේක්ෂවයි. 

ඒ අනුව, ආයෝජකයෙකු විසින් කිසියම් දිනක අතට ලැබෙන ඩොලර් 100ක මුදලක් සමාන කරන්නේ එදින සිට වසරකට පසුව ලැබෙන ඩොලර් 111ක මුදලකටයි. මෙයම වෙනස් අයුරකින් කිවහොත්, වසරකට පසුව ලැබෙන ඩොලර් 100ක මුදලක අද වටිනාකම ලෙස සලකන්නේ ඩොලර් 90.09ක මුදලකුයි. මීට හේතුව, ඩොලර් 90.09ක මුදලක් CCC+ අවදානම් කාණ්ඩයේ බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසුව ඩොලර් 100ක මුදලක් ලබා ගත හැකි වීමයි. 

මුදල අතට ලැබෙන්නට ගත වන කාලය වසරකින් වැඩි වන සෑම විටම එහි අද වටිනාකම මෙම අනුපාතයට අඩු වෙනවා. ඒ නිසා, දෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 81.16 දක්වාත්, තෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 73.12 දක්වාත් පහත වැටෙනවා.

මෙම පදනම මත, අපට ඉහත විස්තර කළ පළමු (DISCO) හා දෙවන (PAR) විකල්ප යටතේ අපේක්ෂා කළ හැකි අනාගත මුදල් ප්‍රවාහ වල අද වටිනාකම ගණනය කළ හැකියි. එම ගණනයන් දෙවන වගුවේ හතරවන සහ පස්වන තීරු වල පෙන්වා තිබෙනවා. 

මේ අනුව පෙනී යන්නේ, අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහ 11% වට්ටම් අනුපාතයට වට්ටම් කළ විට, ඩොලර් 1000ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට ලැබෙන බැඳුම්කර සඳහා ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්මන් වටිනාකම පළමු (DISCO) විකල්පයේදී ඩොලර් 492.58ක් සහ දෙවන (PAR) විකල්පයේදී ඩොලර් 400.68ක් ලෙස පහත වැටෙන බවයි. එබැවින්, 11% අනුපාතයෙන් වට්ටම් කළ පසු, වඩා ආකර්ශනීය වන්නේ පළමු විකල්පයයි.

පළමු විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට ලැබෙන්නේ ඩොලර් 1000ක් සඳහා ඩොලර් 846.21ක මුදලක් වුවත් 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 492.58ක් දක්වා පහත වැටෙනවා. දෙවන විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට, මීට වඩා වැඩි, ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන නමුත්, 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 400.68ක් පමණයි. ඒ අනුව, 11% වට්ටම් අනුපාතය යොදා ගෙන වට්ටම් කරන ණයහිමියෙකුගේ පැහැදිලි තේරීම වන්නේ පළමු විකල්පයයි.

එසේනම්, අඩු පිරිසක් වුවත්, ණයහිමියන්ගේන් 7.6%ක් දෙවන විකල්පයට කැමති වුනේ ඇයි?

දැන් CCC+ මට්ටම දක්වා පහත වැටී සිටියත්, ඝානාව මෙන්ම ලංකාවද කලකට පෙර සිටියේ B+ අවදානම් ශ්‍රේණියේයි. එම කාණ්ඩයේ ශ්‍රේණිගත වී ඇති බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ 7% ආසන්න මට්ටමකයි. ඒ වගේම, දැන් පොලී අනුපාතික තිබෙන්නේ දිගුකාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමකයි. මේ සියල්ල සලකා බලා, 11% වට්ටම් අනුපාතය වෙනුවට 6.5% වැනි වට්ටම් අනුපාතයක් යොදා ගෙන ඉහත වට්ටම් කිරීම සිදු කළහොත් තත්ත්වය කුමක්ද?

දෙවන වගුවේ හයවන සහ හත්වන තීරු වල පෙන්වා තිබෙන්නේ එම තත්ත්වයයි. එහිදී විකල්ප දෙකේ මුදල් ප්‍රවාහ වල වත්මන් අගය ආසන්න ලෙස සමාන වෙනවා. ඒ නිසා, 6.5% වට්ටම් අනුපාතය යොදාගෙන වත්මන් අගය ගණනය කරන ණයහිමියෙකුට විකල්ප දෙක අතර වැඩි වෙනසක් නැහැ. 

කිසියම් ආයෝජනයක අවදානම ගණනය කිරීමේදී ආයෝජකයෙකු විසින් ශ්‍රේණිගත කිරීමේ ආයතන වල නිර්දේශ සලකා බලන නමුත් මුළුමනින්ම ඒවා මත පදනම්ව තීරණ ගන්නේ නැහැ. ඒ නිසා, ඇතැම් ණයහිමියන් විසින් ඝානාව විසින් නිකුත් කළ අලුත් බැඳුම්කර සඳහා මුදල් නොගෙවා පැහැර හරිනු ලැබීමේ අවදානම මේ මොහොතේ ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පෙන්වන තරම්ම වැඩි නැති සේ සලකන්න පුළුවන්. ඒ අනුව, 6.5% නොක්මවන වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන ණයහිමියෙකු විසින් තෝරා ගැනීමට ඉඩ තිබෙන්නේ දෙවන විකල්පයයි. 

මෙහිදී අප විසින් සලකා බලනු ලැබුවේ ණයහිමියෙකු විසින් ඝානා රජය විසින් ලබා දුන් විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ තිබුණු ආකාරයයි. මෙය ඔවුන්ගේ පැත්තෙන් අඩු අවාසිය තෝරා ගැනීමක්. විකල්ප දෙකෙන් කවර එකක් තෝරා ගත්තද, එහි වාසිය තිබෙන්නේ ඝානා රජයටයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඝානා රජයට ලැබුණු වාසිය කොපමණද? මෙය ගණනය කිරීම සඳහා අප‍ට ණය පැහැර හැරීමේ තීරණය ගත් මොහොත දක්වා ආපසු යන්නට සිදු වෙනවා. එසේ ගොස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පසු අපේක්ෂිත මුදල් ප්‍රවාහ කිසියම් වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන්නට සිදු වෙනවා. 

එවැනි විශ්ලේෂණයක් සිදු නොකර, 37%කින් මුහුණත අගය අඩු කිරීම දෙස පමණක් බලා අපට මේ පිළිබඳ නිගමන වලට පැමිණිය නොහැකියි. ඉහත උදාහරණ දෙස බැලුවද, 6.5% ඉක්මවන වට්ටම් අනුපාතිකයකදී ඝානා රජයට වඩා වාසිදායක වන්නේ මුහුණත අගය අඩු නොකර මුළුමනින්ම ආපසු ගෙවන දෙවන විකල්පයයි. ණයහිමියන්ගෙන් 91%ක්ම එම පළමු විකල්පය තෝරා නොගෙන මුහුණත අගය 37%කින්  කප්පාදු කෙරෙන පළමු විකල්පය තෝරාගත්තේ ඒ නිසායි.

ඝානා රජයට ලැබුණු වාසිය මෙන්ම ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකා රජයට ලැබුණු වාසිය නිවැරදිව ගණන් බැලිය හැක්කේද මීට සමාන්තරව මේ ආකාරයේ ගණනය කිරීමක් කිරීමෙන් පසුව පමණයි. ලංකාව විසින් අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වල සංකීර්ණ ස්වභාවය නිසා මෙවැන්නක් කිරීම වඩා අසීරුයි. 

2 comments:

  1. මේවා ගැන හිතන්නේ නැතුව නත්තලට බෝතලයක් ගහලා හාන්සි වෙන්න ඉකොනො

    ReplyDelete
  2. හරි දුකයි ඉකොනො අප්පච්චි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: