ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ සටහන් වූ වසරක්.
රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට සමාන්තරව දේශපාලන අර්බුදයක්ද ඇති වුනා. එමෙන්ම, අර්බුදය හමුවේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල සැලකිය යුතු වෙනසක් සිදු වෙද්දී, ඊට සමාන්තරව දේශපාලන පර්වර්තනයක්ද සිදු වුනා.
මේ ලිපියෙන් අප දේශපාලනික කරුණු පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. එමෙන්ම ආර්ථික අර්බුදයට හෝ එයින් ගොඩයාමට දායක වූ පුද්ගලයන් කවුද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රමුඛතාවය දෙන්නේද නැහැ. මෙය ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ආ මග පිළිබඳ පසු විපරමක් සහ යා යුතු ඉදිරි මග පිළිබඳ විමසුමක්.
ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කරනු ලැබ, අදාළ ණය මුදල අනුමත වූයේ 2023 මාර්තු මාසයේදීයි. මෙම ලියැවිල්ල සඳහා පාදක කර ගනුයේ ශ්‍රී ලංකාවේ සාර්ව-ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඒ වෙද්දී පිළියෙළ කර තිබුණු සැලසුම මත පදනම්ව ඔවුන් විසින් පිළියෙල කර තිබුණු ඇස්තමේන්තු සහ ලබා දී තිබුණු ඉලක්ක සහ ඊට සාපේක්ෂව සැබෑවටම සිදු වූ දෙයයි.
අදාළ කාලයේදී අප විසින් පෞද්ගලිකව මෙම ඉලක්ක කරා යාමේ ශක්‍යතාව සහ ඇස්තමේන්තු දෙස බැලුවේ තරමක් නිශේධනාත්මක ලෙස බවද කිව යුතුයි. හේතු සහගතව එවැනි දැක්මක සිටියේ මීට පෙර අරමුදල සමඟ එකඟතා ඇති කරගත් හැම විටකම මෙන් සිදුව තිබුණේ එවැන්නක් වීම නිසායි. එහෙත්, මතු විස්තර කරන පරිදි, මෙවර සිදු වූයේ ශ්‍රී ලංකාව අරමුදල විසින් ලබා දුන් කාර්ය සාධන ඉලක්ක බොහොමයක්ම ඉක්මවා යාමයි.
වර්ෂාවසාන උද්ධමනය පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - 57.2%
2023- 15.2%
2024 - 6.7%
2025 - 5.6%
2026 - 5.2%
2027 - 5.1%
2028 - 5.0%
සාර්ව ආර්ථික වැඩ සටහන යටතේ උද්ධමනය ඉලක්ක මට්ටම වන 5.0% කරා අඩු කර ගැනීමට සැලසුම් කෙරුණේ 2028 වන විටයි. එහෙත්, 2023 වසර අවසන් වන විටම උද්ධමනය 4.0% ලෙස සටහන් වුනා. මෙම (2024) වසර අවසන් වනු ඇත්තේ අවධමනයක් වාර්තා කරමිනුයි.
රාජ්‍යමූල්‍ය කළමණාකරණය විධිමත් කෙරෙන සහ රාජ්‍ය අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් ණය ගැනීම (සල්ලි අච්චු ගැසීම) වැළැක්වෙන අණපනත් රටේ නීතිය බවට පත්ව ඇති තත්ත්වයක් යටතේ උද්ධමනය 5% ඉලක්කයෙහි පවත්වා ගැනීම සාපේක්ෂව පහසු කාර්යයක්. ඒ නිසා, ඉදිරි මග සම්බන්ධව අවදානමක් නැහැ.
ආර්ථික වර්ධන වේගය පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - (-8.7)%
2023- (-3.0)%
2024 - 1.5%
2025 - 2.6%
2026 - 3.0%
2027 - 3.1%
2028 - 3.1%
සාර්ව ආර්ථික වැඩ සටහන යටතේ ඉලක්ක කළේ ආර්ථික වර්ධන වේගය 2027 වන විට 3.1% මට්ටම දක්වා ඉහළ නංවාගෙන එම මට්ටමෙහි දිගටම පවත්වා ගෙන යාමයි. මෙම (2024) වසරේ මුල් කාර්තු තුන ඇතුළත රටේ ආර්ථිකය 5.2%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. වසර අවසාන වෙද්දී 5.0% ඉක්මවන හෝ ඊට ආසන්න ආර්ථික වර්ධනයක් වාර්තා වීමට නියමිතයි. ඉදිරි කාලයේදී කළ යුත්තේ මෙම වර්ධන වේගය පවත්වාගෙන යාමයි.
රාජ්‍ය ආදායම (දදේනි % ලෙස) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - 8.5%
2023- 11.0%
2024 - 13.3%
2025 - 14.9%
2026 - 15.0%
2027 - 15.1%
2028 - 15.3%
ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි % ලෙස) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - (-3.8)%
2023- (-0.7)%
2024 - 0.8%
2025 - 2.3%
2026 - 2.3%
2027 - 2.3%
2028 - 2.3%
ප්‍රාථමික අයවැය ශේෂය (රුපියල් බිලියන) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - (-895)
2023- (-209)
2024 - 268
2025 - 835
2026 - 905
2027 - 981
2028 - 1,062
සාර්ව ආර්ථික වැඩ සටහන යටතේ ඉලක්ක කළේ රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය 2025 වන විට දදේනියෙන් 2.3% දක්වා ඉහළ නංවා ගෙන එම මට්ටමෙහි දිගටම පවත්වා ගෙන යාමටයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් විශාල ලෙස වැඩි කරගත යුතුව තිබුණා. මෙය විශාල දේශපාලන අභියෝගයක්ව තිබුණු කාර්යයයක්.
අදාළ සැලසුම අනුව, 2024 ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 268 දක්වා ඉහළ යා යුතුව තිබුණා. කෙසේ වුවද, පළමු මාස දහයක කාලය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 831ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේ අනුව, මෙම වසරේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි % ලෙස) වසර සඳහා ඉලක්කය වූ 0.8% පමණක් නොව දිගුකාලීන ඉලක්කය වූ 2.3% මට්ටමද ඉක්මවා යාමට නියමිතයි. පළමු කාර්තු තුනේ තත්ත්වය අනුව මෙම අගය 3.5% ආසන්න මට්ටමක තිබෙනවා.
දැනටමත් රජය විසින් බදු සහන ලබා දීමේ ප්‍රවේශයකට පිවිස තිබීමෙන් පෙනී යන්නේ ඉදිරි වසර වලදී ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි % ලෙස) 2.3% මට්ටමේ හෝ ඊට වඩා ඉහළින් පවත්වා ගැනීම ආණ්ඩුව විසින් අභියෝගයක් සේ නොසලකන බවයි. මේ දක්වා තත්ත්වය ඉලක්ක ඉක්මවන යහපත් මට්ටමක පැවතියේ වුවද, ඉදිරි වසර වලදී ඉලක්ක මග නොහැර පවත්වා ගැනීම ඉතාම වැදගත්.
විදේශ සංචිත (ඩොලර් මිලියන) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - 1,898
2023- 4,431
2024 - 6,128
2025 - 8,520
2026 - 10,888
2027 - 14,208
2028 - 15,875
මේ හා අදාළවද කිව හැක්කේ 2023 හා 2024 වසර වලදී ශ්‍රී ලංකාව විසින් ඉහත ඉලක්ක ලඟා කර ගෙන ඇති බවයි. එබැවින්, ඉදිරි වසර වලදීද අවශ්‍ය සංචිත ඉලක්ක වලට යාම කළ නොහැක්කක් නෙමෙයි. මෑතකදී ජනාධිපති දිසානායක විසින් 2028දී ඩොලර් බිලියන 15ක සංචිත ඉලක්කයක් කරා යාම ගැන කියද්දී අදහස් කළේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2023දී පිළියෙල කළ ඉහත වැඩපිළිවෙළෙහි ඇති සංචිත ඉලක්ක පිළිබඳවයි. "ණය ගෙවන්නට සිදු වීම" හෝ "වාහන ආනයනය විවෘත කිරීම" ආදිය ඉහත සංචිත ඉලක්ක වලට යාමට බාධාවක් නොවන්නේ සාර්ව ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙල තුළ ඉහත සංචිත ඉලක්ක පිළියෙල කර තිබෙන්නේ එම උපකල්පනද සමඟ වීම නිසායි.
කෙසේ වුවද, අප මෙහිදී අමතක නොකළ යුත්තේ 2023 හා 2024 වසර වලදී ශ්‍රී ලංකාව විසින් සංචිත ඉලක්ක ලඟා කරගෙන තිබෙන්නේ මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කළ මට්ටම් වලට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක ඩොලරයක අගය පවත්වා ගනිමින් බවයි. එබැවින්, 2028දී ඉහත සංචිත ඉලක්කය කරා ලඟා වීම විශාල අභියෝගයක් නොවෙතත්, සැබෑ අභියෝගය වන්නේ එම ඉලක්ක වලට යන අතරම ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ගැනීමයි. මෙය දේශපාලනික ඉලක්කයක් මිස ආර්ථික ඉලක්කයක් නොවන බවද මෙහිදී මතක් කළ යුතුයි.
ඩොලරයක මිල (රුපියල්) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - 315
2023- 397
2024 - 441
2025 - 463
2026 - 483
2027 - 502
2028 - 513
මේ වන විට ඩොලරයක මිල පවතින්නේ ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසාම, අරමුදල විසින් ඇස්තමේන්තු කළ ආකාරයේ අපනයන ආදායම් වර්ධනයක්ද සිදු වී නැහැ.
අපනයන ආදායම් (ඩොලර් මිලියන) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:
2022 - 13,106
2023- 13,666
2024 - 14,517
2025 - 15,270
2026 - 16,065
2027 - 16,869
2028 - 17,717
අනෙක් නිර්ණායක වල පැහැදිලි ප්‍රගතියක් දැකිය හැකි වෙතත්, 2022දී ඩොලර් මිලියන 13,106ක් වූ අපනයන ආදායම 2023 වන විට ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටුණා. මෙම (2024) වසරේ මුල් මාස දහයේ ප්‍රගතිය අනුව ඇස්තමේන්තු කළ හැක්කේ 2024 අපනයන ආදායම ඩොලර් මිලියන 12,830කට ආසන්න මට්ටමක පවතිනු ඇති බවයි. එසේනම්, 2028 වන විට මෙම අගය ඩොලර් මිලියන 17,717 තෙක් ඉහළ නංවා ගත හැකිද?
අපනයන ආදායම් ඉහළ නොගියද, ඩොලරයක මිල පහත වැටුනේ ආනයන සීමා වී තිබුණු නිසායි. එබැවින් නැවත ආනයන විවෘත වෙද්දී ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ගැනීමටනම් අපනයන ආදායම් වර්ධනය විය යුතුයි.
අනෙක් කරුණු හා අදාළව කෙසේ වුවත්, අපනයන වර්ධනය හා අදාළ ප්‍රතිපත්ති අනුව, පැවති ආණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි. අපනයන වර්ධනය පැවති ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද ආර්ථික උපාය මාර්ගයන්හි කොටසක් වුවත්, ඒ සඳහා අනුගමනය කරන බව පෙනෙන ප්‍රවේශ දෙක සහමුලින්ම වෙනස් ප්‍රවේශ දෙකක්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටේ අපනයන ප්‍රවර්ධනය පිණිස අනුගමනය කළ ප්‍රවේශය ලෙස පෙනෙන්නට තිබුණේ පෞද්ගලික අංශය මත පදනම් වූ ප්‍රවේශයක්. එහෙත්, පසුගිය දෙවසරක කාලය තුළ ප්‍රායෝගික වශයෙන් සිදු වූයේ ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටීම පමණයි. වඩා හදිසි කෙටිකාලීන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු වැර යොදන්නට සිදු වී තිබීම හා රටේ ජනමතය ඔහුගේ ප්‍රවේශයට එරෙහිව පැවතීම ඇතුළු හේතු නිසා පසුගිය කාලයේදී අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක් ඇති වීම මිස එයින් එහාට ලොකු දෙයක් සිදු වුනේ නැහැ.
මෙයින් වෙනස්ව මාලිමාව පෙනී සිටියේ අපනයන ප්‍රවර්ධනය සඳහා වූ රාජ්‍යමූලික ප්‍රවේශයක් වෙනුවෙනුයි. බළලා හදා තියෙන්නේ ඉටියෙන් වුවත්, මැටියෙන් වුවත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ මීයන් ඇල්ලීම බැවින්, අපනයන ආදායම් ඉලක්ක වලට යා හැකිනම් ක්‍රමවේදය කුමක් වුවත් එහි ප්‍රශ්නයක් නැහැ. ඉදිරි වසර කිහිපය මාලිමාවේ අපනයන ප්‍රවර්ධන ක්‍රමවේදය පරීක්ෂාවට ලක් වන කාලයක්. රනිල් ගිය පාරේම යන්නේ නැත්නම් වෙන පාරකින් හෝ අවශ්‍ය ඉලක්ක වලට ගිහින් පෙන්වන්න වෙනවා.
කණගාටුවෙන් වුවත් කිව හැක්කේ මේ මොහොතේදී 2028දී අපනයන ඉලක්ක ලඟා කර ගැනීමේ ශක්‍යතාව පිළිබඳ අපගේ පෞද්ගලික පෙර දැක්ම නිශේධනාත්මක එකක් බවයි. මෙම ඉලක්ක කරා යා හැකි ආකාරයක් දැනටනම් පෙනෙන්නට නැහැ. අපගේ ප්‍රාර්ථනය වනුයේ රනිල් විසින් ආණ්ඩුව ගත් අවස්ථාවේදී මෙන්ම මේ අවස්ථාවේදීද අපට පෙනෙන දෙයට වඩා වැඩි දෙයක් සිදු වනු දැකීමයි.
අපනයන ඉලක්ක වලට නොගියද, ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම අපහසු දෙයක් නෙමෙයි. පෙර සඳහන් සංචිත ඉලක්ක ලඟා කරගැනීමේ අරමුණින් හැර විණිමය අනුපාතය කෙරෙහි බලපෑම් නොකරන්නේනම්, අපනයන ආදායම් හා ගැලපෙන පරිදි ආනයන වියදම් ගැලපීම වෙළඳපොළ යාන්ත්‍රනය හරහා ස්වයංක්‍රීය ලෙසම සිදු වීමට නියමිතයි. ආර්ථිකය නැවත අස්ථාවර විය හැක්කේ, වසර කිහිපයකට පෙර කළ පරිදි, විණිමය අනුපාතය පාලනය කිරීමට ගියහොත් පමණයි.
ඉදිරි වසර කිහිපය තුළ ඩොලරයක මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදු වුවහොත් (යම් සීමාවක් දක්වා) එය කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහිදී දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයද පහළ යන බැවින් අපේක්ෂිත ණය සහනය එලෙසම ලබා ගැනීමේ අවස්ථාව ලංකාවට හිමි වෙනවා. ඩොලරයේ මිල ප්‍රමාණවත් තරමින් ඉහළ නොගියහොත් සිදු වන්නේ අමාරුවෙන් එකතු කරගන්නා විදේශ විනිමය වලින් සැලකිය යුතු කොටසක් ණයහිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස වෙන් කිරීමටයි.
ඩොලරයක මිල දේශපාලනිකව සංවේදී කාරණයක්. හැම විටම මෙන් ඩොලරයක මිල ඉහළ යාම පවතින ආණ්ඩුවට අවාසිදායකයි. ඒ නිසා, රටේ ආර්ථික ස්ථාවරත්වය අනතුරේ නොහෙලමින් ඩොලරයක මිලද පහළින් තියා ගැනීමටනම්, ඉදිරි වසර තුන හතරක කාලය තුළ අපනයන ආදායම් වැඩි කර පෙන්වන්නට සිදු වෙනවා.
මේ ආණ්ඩුව බලයට පත් වූයේද අපනයන ආදායම් වර්ධනය කිරීම පිළිබඳව පොරොන්දු වෙමින් නිසා ආණ්ඩුවේ අනාගතය තීරණය කරන සහ රාජ්‍යමූලික සංවර්ධන උපාය මාර්ගය නැවත වරක් පරීක්ෂාවට ලක් කෙරෙන ප්‍රධාන නිර්ණායකයක් වන්නේ ඉදිරි වසර කිහිපය ඇතුළත ලංකාවේ අපනයන ආදායම් වර්ධනය වන ආකාරයයි. අනෙක් ඉලක්ක බොහොමයක්ම දැනටමත් ලඟා කරගෙන අවසන්. මෙය සිදු වන ආකාරය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.
ඔබ සැමට සුබ නව වසරක් සමඟ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්!
උදා වන්නා වූ 2025 සකල ලෝකවාසීනටම
ReplyDeleteසතුට, සොම්නස සපිරි - නිදුක්, නිරෝගී
වාසනාවන්ත වසරක් වේවා!
මේ ලෙඩ කපුටා ඉස්සෙල්ලම කොමෙන්ට් දාලා තියෙන්නේ. ඉකොනොට වැලේ වැල් නැති වෙයි මේ කුහක කොලුකාරයන්ගේ සුබ පැතුම් ලැබිලා
Delete2025 වසරේ ලප කොටා සහ හොර උපාධිකාරයෝ ටික ගෙදර යවන්න ලැබේවා
ReplyDeleteS&P එක ලන්කාවෙ රේටින්ග්ස් උඩට දාන්න බෑ කියල නේද?
ReplyDeleteආයතන 3න් එකක් හරි තවම බන්කොලොත් කියල සලකනකොට ණය ගන්න පුකුවන්ද රටකට?
කොහොමත් ඔය CCC+ රේටිං එකෙන් ණය ගන්න අමාරුයි. ණය ගන්න පුළුවන් මට්ටමකට යන්න යම් කාලයක් යයි.
Deleteඒක ඇත්ත. රාජ්‍ය ව්‍යාපාර ප්‍යරතිව්‍යුහගතකරනය නොකර මීට උඩ එකකට යන්න අමාරුඉ වගෙ නේද . අලුත් කෝනෙකින් බලනව මහිතෙ අත පුච්චගත්තට පස්සෙ ණය හිමියොත්.
Deleteඔබටත් සුබ නව වසරක් වේවා...!
ReplyDelete