වෙබ් ලිපිනය:

Friday, December 13, 2024

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ!


ශ්‍රී ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය ඊයේ (දෙසැම්බර් 12) දිනයෙන් අවසන් වුනා. දැනට පෙනී යන පරිදි මෙම හුවමාරුව සඳහා විශාල ඉල්ලුමක් පැවතී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ස්වෛරිත්ව බැඳුම්කර වලින් 98%ක් පමණම හුවමාරු වීමට නියමිතයි. 

මේ අනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියම අවසානයකට පැමිණෙමින් තිබෙනවා. ලැබී ඇති අයදුම්පත් විමර්ශනය කිරීමෙන් පසුව, බැඳුම්කර හුවමාරුව පිළිබඳ අවසන් තීරණ දෙසැම්බර් 16 වන දින දැනුම් දෙනු ලැබීමට නියමිතව ඇති අතර, පැරණි බැඳුම්කර අවලංගු කර ඒ වෙනුවට අලුත් බැඳුම්කර නිකුත් කිරීම දෙසැම්බර් 20 දින සිදු වෙනවා.

මෙසේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් සතියක් ඇතුළත අවසන් වීමෙන් පසුව, ඉදිරි වසර එළැඹෙද්දී ශ්‍රී ලංකාවට තව දුරටත් ණය පැහැර හැර ඇති රටක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට සිදු වන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්ද ඉතා ඉක්මණින් ඉහළ යාමට නියමිතයි. 

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉදිරි වසර දක්වා කල් යාමේ අවදානම සලකා බලමින්, අතුරු අයවැයෙන් ඒ සඳහා රුපියල් ට්‍රිලියන තුනක ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කළා. දැන් එම ප්‍රතිපාදනය ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ අනුව, ඉදිරි වසරේ පළමු මාස හතර ඇතුළත රජයට අලුතෙන් ණය ලෙස ලබා ගන්නට සිදු වෙන්නේ රුපියල් ට්‍රිලියනය නොඉක්මවන මුදලක් පමණයි.

ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරා ඇති හැමිල්ටන් රිසර්ව් බැංකුව මෙම බැඳුම්කර හුවමාරුවට කෙසේ ප්‍රතිචාර දක්වා ඇත්දැයි පැහැදිලි නැහැ. ඇතැම් විට හුවමාරුව සඳහා අයදුම්කර නොමැති 2% කොටස තුළ සිටින්නේ එම බැංකුව විය හැකියි. 

3 comments:

  1. වෙනවා නං රටට සෙතක්
    ඇති වෙනවා ලොකු සතුටක්
    ගතවුනෙ මාසයක කලක්
    ඒ ටිකටත් fight ගොඩක්!

    ReplyDelete
  2. කතානායක සීන් එකත් එක්ක අහන්න ප්‍රශ්නයක් තියෙනව.
    ආන්ඩුවෙන් විප්ක්ශයට හෝ විපක්ශ නායකට එරෙහිව විශ්වාසභංග ගේන්න පුලුවන්ද? නැතිනම් විශ්වාසභංග කියන්නෙ ආන්ඩුවට එරෙහිව ගේන එකක්ද?

    ReplyDelete
    Replies
    1. විපක්ෂ නායක තනතුර විධායක හෝ වෙනත් එවැනි බලයක් තිබෙන තනතුරක් නොවන නිසා එවැන්නක් කිරීමේ පදනමක් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: