කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්රශ්නය ඉදිරිපත් කළ හැකියි.
මේ ප්රශ්නය යම් පදනමක් තිබෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියා යම් විවේචනයක් තිබෙනවා. ඒ විවේචනය සාධාරණ විවේචනයක්ද?
පෙර සටහන් වල ඉතාම සරල ලෙස පැහැදිලි කළත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. මෙහිදී තාක්ෂණිකව සිදු වන්නේ දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර 11ක් වෙනුවට අලුත් බැඳුම්කර වර්ග පහක් නිකුත් කරන එකයි. දැනට ගෙවා නැති කූපන් පොලී වෙනුවෙන් තවත් බැඳුම්කරයක් නිකුත් කරනවා. මේ බැඳුම්කර හය නිකුත් කරන්නේ විදේශිකයින් සඳහා වූ විකල්පය යටතේ.
දේශීය විකල්පය යටතේ තවත් ඩොලර් බැඳුම්කර හා රුපියල් බැඳුම්කර ගණනාවක් නිකුත් කෙරෙනවා.
ඉහත සඳහන් ඩොලර් බැඳුම්කර සියල්ලේම කූපන් පොලී ගෙවීම් අඩු මට්ටමකින් පටන් ගෙන ක්‍රමයෙන් වැඩි වන ආකාරයටයි සැලසුම් කර තිබෙන්නේ. ඇතැම් බැඳුම්කර වල කූපන් පොලී අනුපාතිකය 9.75% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ වීදිහට සැලසුම් කර තිබෙන්නේ ඇයි කියා මම පැහැදිලි කරන්නම්.
පළමුව, මුල් බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික දෙස බැලුවොත් ඒවා 5.875% සිට 7.85% දක්වා විචලනය වෙනවා. සියල්ලම කලවමේ ගත්තොත් බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය 6.711%ක් පමණ වෙනවා. ඉදිරි කාලයේදී කල් පිරෙන බැඳුම්කර පමණක් සලකා ගණන් බලද්දී මෙම බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය එන්න එන්නම වැඩි වෙනවා. ඒ මේ ආකාරයටයි.
2025 - 6.947%
2026 - 7.049%
2027 - 7.089%
2028 - 7.410%
2029 - 7.695%
2030 - 7.550%
මෙයින් අදහස් වන්නේ දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් නියම විදිහට පොලී සහ මුල් මුදල ගෙවාගෙන ගියේනම් ඩොලර් 100ක ආයෝජනයක් සඳහා 2025දී ඩොලර් 6.95ක්, 2026දී ඩොලර් 7.05ක් ආදී ලෙස කූපන් පොලී ගෙවන්නට සිදු වන බවයි.
දැනට සිදුවන හුවමාරුවේදී ඩොලර් 100ක් ආයෝජනය කර ඇති අයෙකුට ලැබෙන්නේ ඩොලර් 72.972ක බැඳුම්කර ප්‍රමාණයක් පමණයි. ඒ නිසා, ඉහත සඳහන් කූපන් පොලී මුදල් එලෙසම ලැබෙන්නනම් කූපන් පොලී අනුපාතිකය කොපමණ විය යුතුද?
එක් එක් කූපන් පොලී අනුපාතිකය 0.72972න් බෙදීමෙන් අපට මෙම කූපන් පොලී අනුපාතික සොයාගන්න පුළුවන්.
2025 - 9.520%
2026 - 9.660%
2027 - 9.715%
2028 - 10.155%
2029 - 10.545%
2030 - 10.346%
දැන් අපට මෙම කූපන් පොලී අනුපාතික අලුතින් නිකුත් කරන කූපන් පොලී අනුපාතික සඳහා ගෙවිය යුතු බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතික එක්ක සංසන්දනය කරන්න පුළුවන්.
විදේශීය විකල්පය
2025 - 3.459%
2026 - 3.459%
2027 - 3.459%
2028 - 3.944%
2029 - 3.990%
2030 - 4.043%
2031 - 4.087%
2032 - 4.165%
2033 - 9.532%
2034 - 9.586%
2035 - 9.667%
2036 - 9.750%
2037 - 9.750%
2038 - 9.750%
දේශීය විකල්පය
2025 - 1.00%
2026 - 1.50%
2027 - 1.75%
2028 - 2.00%
2029 - 2.25%
2030 - 2.25%
2031 - 2.75%
2032 - 2.75%
2033 - 3.00%
2034 - 3.00%
2035 - 3.00%
2036 - 3.50%
2037 - 3.50%
2038 - 3.50%
දේශීය විකල්පය සඳහා ගෙවන කූපන් පොලී අනුපාතික පැහැදිලි ලෙසම අඩුයි. විදේශ විකල්පය සඳහා ගෙවන කූපන් පොලී 2033 සිට සාපේක්ෂව ඉහළ මට්ටමයි තියෙන්නේ. උපරිමය 9.75%ක් දක්වා යනවා. නමුත් මෙහිදී අමතක නොකළ යුත්තේ මේ විදිහට 9.75%ක කූපන් පොලියක් ලැබෙන්නේ ඩොලර් 100ක් ආයෝජනය කළ අයෙකුගේ ඩොලර් 72.97ක් සඳහා පමණයි කියන එක.
ඒ කියන්නේ ඩොලර් 100ක ආයෝජනයකට කූපන් පොලිය ලෙස ලැබෙන මුදල ඩොලර් 7.11ක්. මෙය සමාන කළ හැක්කේ 7.11%ක කූපන් පොලියකටයි. 2028-2030 අතර කල් පිරෙන බැඳුම්කර සඳහා දැනට ගෙවන කූපන් පොලිය ඊට වඩා වැඩියි.
ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ 2033 වන විට තව දුරටත් ගෙවන්න ඉතිරි වී තිබෙන්නේ මුල් මුදලින් 42%ක් පමණයි කියන එක. ලොකු මුදලක් ගෙවන්න ඉතිරිව තිබියදී ලංකාව ගෙවන්නේ අඩු කූපන් පොලියක්. වැඩි කූපන් පොලියක් ගෙවන්නේ ණයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා ඉවර කළාට පස්සේ ඉතිරි වී තිබෙන කොටසට පමණයි.
පහත තිබෙන්නේ ඩොලර් 100,000ක ආයෝජනයක් සඳහා විදේශ විකල්පය යටතේ ගෙවිය යුතු කූපන් පොලී මුදල් පිළිබඳ දළ ඇස්තමේන්තුවක්.
2025 - $ 2524.40
2026 - $ 2524.40
2027 - $ 2524.40
2028 - $ 2878.33
2029 - $ 2704.82
2030 - $ 2531.30
2031 - $ 2287.48
2032 - $ 2043.65
2033 - $ 4031.26
2034 - $ 3396.71
2035 - $ 2762.16
2036 - $ 1857.57
2037 - $ 928.79
මෙහි සඳහන් ගණන් සියල්ලම සියයට සියයක්ම නිවැරදි නැහැ. මේවා ආසන්න දළ ඇස්තමේන්තු පමණයි. නමුත් විශාල වැරැද්දක් නැහැ. හෙට (දෙසැම්බර් 16) විස්තර හරියටම ප්‍රකාශයට පත් කළ පසුව හරියටම ගණන් දැනගන්න පුළුවන්. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වන ආකාරය අනුව මෙම ගෙවීම් අඩු හෝ වැඩි විය හැකියි. ඒ පිළිබඳව මේ සටහනෙහි කතා කර නැහැ.
ස්තුතියි ඉකොන් මේ ක්ලිප් එකේකියන කතාව ඇත්ත ද?
ReplyDeletehttps://www.facebook.com/tharusha.weerasinghe.161/videos/1110654184071627/?idorvanity=809486713267038&mibextid=rS40aB7S9Ucbxw6v
මීට වඩා පැහැදිලි වෙන්න තිබුන මොකක් හරි දැනට නිකුත් කරල තියෙන බැඳුම්කරයක් උදාහරනෙට අරගෙන ප්රතිව්යුහගත්කරනය කිරීමට පෙර හා පසු ලැබෙන ගනන් සැසඳුවන්ම්.
ReplyDeleteදැනට නිකුත් කර තිබෙන සියලුම බැඳුම්කර එකට පූල් කර කරන වැඩක් නිසා එකක් අරගෙන එවැනි සංසන්දනයක් කළොත් නියම තත්ත්වය පේන්නේ නැහැ. තෝරාගන්නා බැඳුම්කරය අනුව එකිනෙකට වෙනස් දෙයකුයි පේන්නේ.
Deleteඔව්. නමුත් මේක ටෙක්නිකල් වැඩියි අපි වගෙ ලේමන්ලට.
Delete'කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?'
ReplyDeleteඅපි නං අහලා තිබ්බේ නෑ