Saturday, March 11, 2017

රසදිය විෂද?

අප හැම මොහොතකම විවිධ බාහිර දේවල් අපේ සිරුර තුළට ඇතුළු කර ගනිමින් සිටිමු. මුඛය, නාසය, සම ආදිය හරහා මෙසේ සිරුර තුළට අප විසින් ඇතුළු කර ගන්නා බාහිර ද්‍රව්‍ය අතර ආහාර, ජලය, ඖෂධ හා මත්ද්‍රව්‍ය වැනි හිතාමතාම ඇතුළු කරගන්නා දේ මෙන්ම එවැනි අනුදැනුමකින් තොරව ඇතුළු කර ගන්නා ඇසට පෙනෙන හා නොපෙනෙන බොහෝ දේ තිබේ. ඇතැම් විටෙක අපි ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ශිරාවකට හෝ මාංශ පේශියකට එන්නත් කර ගැනීම මඟින්ද ඇතුළු කර ගන්නෙමු.

සිරුර තුළට දැනුවත්ව හෝ නොදැනුවත්ව අප විසින් ඇතුළු කරගන්නා දේ අතර සිරුරේ පැවැත්මට අවශ්‍ය දේ, අනවශ්‍ය දේ මෙන්ම හානිකර දේවල්ද තිබේ. සිරුරට අවශ්‍ය දේ බොහොමයක්ද අවශ්‍ය වන ප්‍රමාණයක් තිබේ.

අපේ සිරුරට ඇතුළු වන අනවශ්‍ය දේවල් වලින් සිරුරේ පැවැත්ම සඳහා ප්‍රයෝජනයට නොගැනෙන දේවල් සිරුරෙන් ඉවත් කෙරෙන ස්වභාවික ක්‍රමවේදයක් තිබේ. ඇතැම් දේවල් කිවිසුම්, වමනය ආදී ක්‍රම වලින් ක්ෂණිකව ඉවත් කෙරේ. තවත් දේවල් වෙනත් සිරුරු කොටස් හරහා යාමෙන් පසුව මළ, මුත්‍රා, දහඩිය ආදිය සමඟ ඉවත් වේ.

ඇතුළු වූ ද්‍රව්‍යයේ ස්වභාවය අනුව සිරුරට ඇතුළු වන බාහිර ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් වන වේගය වෙනස් වේ. සාමාන්‍යයෙන් මේ වේගය මනින්නේ අර්ධ ජීව කාලය නම් මිනුම උපයෝගී කර ගනිමිනි. උදාහරණයක් ලෙස දුම් බොන්නෙකු සිරුර තුළට ඇතුළු කර ගන්නා නිකොටින් වලින් 70-80% පමණ මුලින්ම (පොඩි අකුරු මාරුවක් වී) කොටිනින් බවට පත් වේ. දුම් බොන්නන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂාවක් ලෙස ලේ හෝ මුත්‍රා වල ඇති කොටිනින් ප්‍රමාණය පරීක්ෂා කෙරේ.

මේ කොටිනින් සිරුරෙන් ඉවත් කෙරෙන ක්‍රියාවලියේ අර්ධ ජීව කාලය පැය 20ක් පමණ වේ. සිගරැට්ටුවක නිකොටින් මිලි ග්‍රෑම් 12ක් පමණ ඇති අතර එම නිකොටින් වලින් කොටිනින් මිලි ග්‍රෑම් 9ක් පමණ හදයි. අර්ධ ජීව කාලය පැය 20ක් යන්නෙන් අදහස් වන්නේ සිරුරේ ඇති කොටිනින් ප්‍රමාණයෙන් අඩක් පැය 20ක් ඇතුළත සිරුරෙන් ඉවත් කෙරෙන බවයි. 

මේ අනුව, සිගරැට්ටුවක් ඉරීමෙන් පැය 20කට පසුව සිරුරේ කොටිනින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 4.5ක් දක්වාත්, පැය 40කට පසුව මිලි ග්‍රෑම් 2.25ක් දක්වාත්, පැය 60කට පසුව මිලි ග්‍රෑම් 1.13ක් දක්වාත්, පැය 80කට පසුව මයික්‍රෝ ග්‍රෑම් 563ක් දක්වාත් අඩු වේ. සතියකට පසු සිරුරේ ඉතිරි වන්නේ මයික්‍රෝ ග්‍රෑම් 35ක් හෙවත් මුල් ප්‍රමාණයෙන් 0.4%කට ප්‍රමාණයක් පමණි. තවත් සතියක් යන විට ඉතිරි වන්නේ මයික්‍රෝ ග්‍රෑම් එකකටත් අඩු ප්‍රමාණයකි.

ඉහත පැහැදිලි කළ අයුරින් සිරුරට අහිතකර කොටිනින් සිරුරෙන් ක්‍රමයෙන් ඉවත් වන්නේ සිගරැට්ටුව උරන්නා දිගින් දිගටම නැවත සිගරැට් නොඋරන්නේනම් පමණි. මේ පුද්ගලයා පැය 20කට පසුව තවත් සිගරැට්ටුවක් ඉරුවොත් ඒ වන විට සිරුරේ ඇති කොටිනින් මිලි ග්‍රෑම් 4.5ට තවත් මිලි ග්‍රෑම් 9ක් එකතු වේ. ඊළඟ පැය 20 තුළ මේ මිලි ග්‍රෑම් 13.5ක එකතුවෙන් මිලි ග්‍රෑම් 6.75ක් සිරුරෙන් ඉවත් වුවත් තවත් සිගරැට්ටුවක් ඉරූ වහාම කොටිනින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 15.75ක් දක්වා ඉහළ යයි. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස දිනපතා දුම් බොන්නෙකුගේ සිරුරේ ඇති කොටිනින් ප්‍රමාණය හැමදාමත් කිසියම් මට්ටමක පවතී. ඒ ප්‍රමාණය තීරණය වන්නේ කොටිනින් වල අර්ධ ජීව කාලය හා දුම්වැටි දෙකක් අතර ගතවන සාමාන්‍ය කාලය මතය.

සක්‍රිය දුම්පානය කරන්නන්ගේ මෙන්ම නිතර සිගරැට් දුමට නිරාවරණය වන අක්‍රිය දුම්පානය කරන්නෙකුගේ සිරුරේද මේ අයුරින්ම කිසියම් කොටිනින් ප්‍රමාණයක් ස්ථාවරව පවතී. ඒ, අඩු කොටිනින් මට්ටමක් සිරුරේ ඇති විට පැය 20ක් ඇතුළත සිරුරෙන් ඉවත් වන්නේද අඩු ප්‍රමාණයක් බැවිනි. සිරුරේ කොටිනින් ප්‍රමාණය දිගුකාලයක් එක දිගටම ඉහළ මට්ටමක ස්ථාවරව පැවතීම විවිධ රෝගාබාධයන්ට හේතු විය හැකිය. සිරුරට අනවශ්‍ය හෝ අහිතකර දේ පමණක් නොව අවශ්‍ය දේ වුවද ඕනෑවට වඩා නිතර නිතර ඇතුළු කරගන්නා විට සිරුරට මේ අනවශ්‍ය ප්‍රමාණයන් ඇතුළු වන වේගයෙන් ඉවත් කරන්නට නොහැකි නිසා සිරුර තුළ දිගින් දිගටම රැඳී තිබෙන්නට පුළුවන.

රසදිය ඉහළ මාත්‍රාවන්ට කෙටිකාලයක් තුළ නිරාවරණය වීම සිරුරට, විශේෂයෙන්ම මොළයට, මධ්‍යම ස්නායු පද්ධතියට හා වකුගඩු වලට, අහිතකරය. සිරුරට රසදිය ඇතුළු වන ආකාර කිහිපයකි. එයින් ප්‍රධාන ප්‍රභවය අප ආහාරයට ගන්නා මාළු වර්ගයි. මාළු වර්ග හරහා ආහාරයට එකතු වන රසදිය සංයෝගය වන මෙතිල් මර්කරි වල අර්ධ ජීව කාලය දින 50-65 ක් පමණ වන නිසා මේ රසදිය සිරුරෙන් ඉවත් කෙරෙන්නේ ඉතා සෙමිනි.

ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය විසින් වසර ගණනාවක් තිස්සේ විවිධ මාළු වර්ග වල ඇති රසදිය ප්‍රතිශතය පරීක්ෂා කරයි. පසුගිය වසර 25ක පමණ කාලය තුළ මේ ආකාරයෙන් පරීක්ෂා කර ඇති මාළු නියැදි ප්‍රමාණය පන්දහසකට අධිකය. මේ ඇතැම් මාළු නියැදි වල කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑම් 4.5ක් පමණ දක්වා මෙතිල් මර්කරි අඩංගුව තිබී ඇත. සාමාන්‍යයෙන් මෝර වැනි ලොකු මාළු වර්ග වල කිලෝ ග්‍රෑමයක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණය මිලි ග්‍රෑමයකට වඩා වැඩිය. වෙනත් බොහෝ මාළු වර්ග වල තත්ත්වයද එසේය. වැඩි විස්තර මෙහි තිබේ.

කිසියම් මාළු වර්ගයක ඇති රසදිය (මෙතිල් මර්කරි) ප්‍රමාණය අදාළ මාළුන්ගේ ජීවිත කාලය, ආහාරයට ගන්නා දේ ආදිය අනුව වෙනස් වේ. පොඩි මාළුන් ආහාරයට ගන්නා ලොකු මාළුන්ගේ සිරුරේ තැන්පත් වී ඇති රසදිය ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩිය. කෙසේ වුවද, මේ දත්ත පදනම් වෙන්නේ ඇමරිකාවෙන් ලබා ගන්නා මාළු නියැදි මත නිසා ලංකාවේ බහුලව ආහාරයට ගන්නා මීට ආසන්නව සමාන මාළු වර්ග වල ඇති රසදිය ප්‍රමාණ මීට වඩා අඩු හෝ වැඩි විය හැකිය. කෙසේ වුවද ලංකාව හා අදාළව සිදු කර ඇති මෑතකාලීන පර්යේෂණ වලින් පෙනෙන පරිදි ලංකාවේ වැඩිපුර ආහාරයට ගන්නා ඇතැම් මාළු වර්ග වලද කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑමයකට ආසන්න මෙතිල් මර්කරි ප්‍රමාණයක් අඩංගුය.

නිතර මාළු ආහාරයට ගන්නා අයෙකුගේ සිරුරේ එකතු වන මෙතිල් මර්කරි සිරුරෙන් ඉවත් වෙන්නේ ඉතා සෙමින් නිසා සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රණය ක්‍රමයෙන් ඉහළ ගොස් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණේ. රුධිර පරීක්ෂාවකින් මේ ප්‍රමාණය මැන ගන්නට පුළුවන. සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රණය කෙටි කාලයක් තුළ විශාල ලෙස ඉහළ යාම මොළයට හා මධ්‍යම ස්නායු පද්ධතියට හානිකර ලෙස බලපාන්නට පුළුවන. අනෙක් අතට, දිගුකාලීනව සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රනය විශාල ලෙස අඩු වීම හා හෘද රෝග වැළඳීමේ අවදානම අතරද සහසම්බන්ධයක් තිබෙන බව (හේතුඵල සම්බන්ධයක් තහවුරු කර නැතත්) ඇතැම් පර්යේෂණ ප්‍රතිඵල අනුව පෙනී යයි.

එසේනම් ප්‍රශ්නය වන්නේ අප විසින් මාළු ආහාරයට ගැනීම නැවැත්විය යුතුද යන්නයි.

මාළු ආහාරයට ගැනීමේ ඉහත අහිතකර ප්‍රතිඵලය තිබුණත් මාළු වල සෞඛ්‍යමය ප්‍රතිලාභ ඊට වඩා බොහෝ වැඩිය. මොළයේ හා සිරුරේ වර්ධනයට නැතුවම බැරි ඔමේගා-3 මේද අම්ල ප්‍රභවයක් ලෙසත්, ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙසත් මාළු වල වටිනාකම ඉතා විශාලය. ඒ නිසා, මාළු ආහාරයට ගත යුතුද යන තීරණය මේ යහපත් හා අයහපත් ප්‍රතිඵල කිරා මැන බලා ගත යුතු තීරණයකි. සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥයින් විසින් කරන්නේ මෙවැනි කිරා මැන බැලීම්ය.

සමස්තයක් ලෙස මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය වර්ධනයට හේතු වන නමුත් ඇතැම් මාළු වර්ග සතියකට කිහිප වරකට වඩා ආහාරයට ගැනීම නුසුදුසු බවත්, ගර්භණී හා කිරිදෙන මවුවරුන් විසින් වෙනත් අයෙකු ආහාරයට ගන්නා ප්‍රමාණය වුවද ආහාරයට ගැනීම නුසුදුසු බවත් ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය විසින් නිර්දේශ කරන්නේ මේ හිතකර හා අහිතකර ප්‍රතිඵල සසඳා බලමිනි. ඇතැම් මාළු වර්ග හා අදාළව කැනඩාව විසින්ද මෙවැනි සුරක්ෂිතතා සීමාවන් ඉදිරිපත් කරයි. ස්වීඩනය මෙවැනි අවවාදයක් කරන තවත් රටකි. එහෙත්, මේ කිසිදු රටක් ඇතැම් මාළු වර්ග ආහාරයට ගැනීම සීමා කරන්නට මිස අත් හරින්නට උපදෙස් නොදෙන්නේ මාළු ආහාරයට ගැනීමේ යහපත් සෞඛ්‍යමය ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල වලට වඩා වැඩි බැවිනි. 


මෑතකාලීන අධ්‍යයනයකට අනුව ලාංකිකයින් 55.8%කගේ හිසකෙස් වල තැන්පත් වී ඇති රසදිය ප්‍රමාණය අනුමත ප්‍රමාණයට වඩා වැඩිය. මේ අනුව පෙනෙන පරිදි ලංකාවේ නාරිවේද හා ප්‍රසව වෛද්‍යවරයකු ගර්භණී කාන්තාවකට ඇතැම් මාළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීමේ අවදානම ගැන දැනුවත් කිරීම යෝග්‍ය වුවත්, එය කළ යුත්තේ ඒ හේතුවෙන් සිදුවිය හැකි ප්‍රෝටීන් ඌණතා ආදියේ අහිතකර ප්‍රතිඵල ගැනද සලකමිනි.

මිනිස් සිරුරට රසදිය එකතු කරන ප්‍රධාන ප්‍රභවය ආහාරයට ගන්නා මාළු හා වෙනත් මුහුදු ආහාර බව හඳුනාගෙන ඇතත් එය එකම හේතුව නොවේ. වාතයේ ඇති රසදිය වාෂ්ප ආශ්වාස වාතය සමඟ සිරුරට ඇතුළුවීම තවත් ආකාරයකි. අප භාවිතා කරන උෂ්ණත්වමානයක් වැනි උපකරණයක් බිඳුණු විට එහි අඩංගු ලෝහ රසදිය වායු ගෝලයට එකතු වන අතර ආශ්වාස වාතය හරහා සිරුරට එකතු විය හැකිය. කෙසේ වුවද, මේ අවදානම එවැනි උපකරණ භාවිතය අත් හරින්නට තරම් විශාල බව පෙනී ගොස් නැත.

වසර ගණනාවක් තිස්සේ දත් පිරවීම සඳහා යොදාගත් ඇමල්ගම් වලද රසදිය අඩංගුය. මේ රසදිය වාෂ්ප බවට පත්වී පෙනහළු හරහා සිරුරට ඇතුළු වේ. එහෙත් එසේ ඇතුළු වන රසදිය ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයකි. මේ හේතුවෙන් හානියක් සිදු වන බව තහවුරු වී නැත. ඒ නිසා, ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය වයස අවුරුදු 6 ඉක්මවූ දරුවන් හා වැඩිහිටියන්ගේ දත් පිරවීම සඳහා ඇමල්ගම් යොදාගැනීම අහිතකර ලෙස නොසලකයි. කෙසේවුවද, මේ සඳහා දැන් වෙනත් විකල්පයක් ඇති බැවින් ඇමරිකාවේ දන්ත වෛද්‍යවරු දත් පිරවීම සඳහා මේ වන විට ඇමල්ගම් යොදාගන්නේ ඉතා සීමිතවය.

මගේ දතක වසර විස්සකට පමණ පෙර කළ ඇමල්ගම් පිරවුමක් තිබේ. එය කළේ, එවකට පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය සිසුවෙකුව සිටි අයෙකි. ඔහු මේ පිරවුම සහතික කළේ වසර පහක කාලයකට වුවත් එය වසර විස්සකට පසුව තවමත් ඉතා හොඳින් පවතී. මේ ඇමල්ගම් පිරවුම ඉවත්කර අළුත් පිරවුමක් දමා ගන්නා මෙන් ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරුන් හතර පස් දෙනෙක්ම මට යෝජනා කර ඇතත් මා ඒ සඳහා යොමු නොවූයේ වැඩි හොඳට හොඳින් තියෙන දත් වලට අත ගැහීමේ අතුරු ආබාධ ගැන මට අත්දැකීම් ඇති බැවිනි.

මෙහිදී තවත් දෙයක් පැහැදිලි කළ යුතුය. කිසියම් පර්යේෂකයෙකු කිසියම් ඔසුවක හෝ වෛද්‍ය ක්‍රියාදාමයක යම් නිශ්චිත අතුරු ආබාධයක් ඇති බවට සාධක නැති බව කියනවානම් එයින් අදහස් වන්නේ ඒ කියන දෙය මිස වෙනත් දෙයක් නොවේ. යම් අතුරු ආබාධයක් ඇත්දැයි පිරික්සන පරීක්ෂණයකින් එවැනි අතුරු ආබාධ ඇති බවක් තහවුරු නොවන බව මිස අතුරු ආබාධ නැති බවක් තහවුරු නොකෙරේ. ඒ නිසා, පර්යේෂකයෙකුගෙන් කිසියම් ඔසුවක අතුරු ආබාධ ඇත්දැයි විමසුවහොත් එසේ ඇත්නම් කියන්නට පුළුවන් වුවත්, එසේ නැත්නම් අතුරු ආබාධ නොමැති බව ස්ථිරව කියන්නට නුපුළුවන. විද්‍යාත්මක ක්‍රමය ගැන දැනුමක් ඇති පර්යේෂකයෙකු එවැනි පිළිතුරු දෙන්නේ නැත.

පර්යේෂණ නැවත නැවත කරන්නේ ඒ නිසාය. නිතර යොදා ගන්නා උදාහරණයක් ගන්නේනම්, අපට හැමදාම හමුවන්නේ තණකොළ කන හරක් පමණක්නම් අපට කියන්නට පුළුවන් වෙන්නේ මිනී කන හරක් සිටින බවට සාක්ෂි නැති බව පමණි. මිනී කන හරක් නැති බව කිසිවෙකුට ස්ථිරව කිව නොහැක. අනාගතයේ යම් කිසි දවසක හරකෙක් මිනිසෙකු මරා කෑ බව වාර්තා වෙන්නට පුළුවන. එහෙත්, ඒ හේතුවෙන් අද හරකෙකු දකින විට පණ එපා කියා දුවන්නට අවශ්‍ය නැත.

ඇතැම් එන්නත් වලද රසදිය සංයෝගයක් වන තිමරසල් (වඩා නිවැරදි උච්ඡාරණය තයිමරසල්ය) විෂබීජ නාශකයක් ලෙස යොදාගැනේ. මේ තිමරසල් වලින් 50%ක පමණ බරක් එතිල් මර්කරි බවට පත්වේ. එතිල් මර්කරිද මෙතිල් මර්කරි මෙන්ම මොළයට හා මධ්‍යම ස්නායු පද්ධතියට හානිකරය. කෙසේවුවද, එතිල් මර්කරි වල අර්ධ ජීව කාලය සතියකටත් වඩා අඩු බැවින් සිරුරේ ඇති මෙතිල් මර්කරි වලින් 50%ක් ඉවත් වීමට යන කාලය තුළ එතිල් මර්කරි වලින් 99.75%ක් පමණම ඉවත් වේ. එන්නත් ආදිය සමඟ සිරුරට එකතුවන එතිල් මර්කරි ආහාර මාර්ගය හරහා ගමන් නොකර කෙළින්ම රුධිරයට එකතු වන නිසා සිරුරෙන් ඉවත් වීම මීටත් වඩා ඉක්මන්ය.

විවිධ එන්නත් වල ඇති තිමරසල් ප්‍රමාණ මේ වෙබ් පිටුවෙන් බලා ගන්නට පුළුවන. ඇතැම් එන්නත් වල මේ ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑමයකටත් වඩා අඩුය. මේ වගුව අනුව එන්නතක ඇති ඉහළම තිමරසල් ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 25කි. ඒ අනුව, එතිල් මර්කරි ඇත්තේ වැඩිම වුනොත් මයික්‍රෝ ග්‍රෑම් 12.5කි. ලංකාවේ ආහාරයට ගන්නා ඇතැම් මාළු වර්ග වල කිලෝවක බරක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 900ක් පමණ වන අතර, ඒ අනුව එන්නතක ඇති එතිල් මර්කරි ප්‍රමාණය ආහාරයට ගන්නා ග්‍රෑම් 100ක පමණ මාළු කෑල්ලක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණයටත්
වඩා බෙහෙවින්ම අඩුය. මේ එතිල් මර්කරි ප්‍රමාණයද මෙතිල් මර්කරි වලට වඩා හත් අට ගුණයක වේගයෙන් සිරුරෙන් ඉවත් වේ. එමෙන්ම මාළු කන තරමට එන්නත් ලබා ගන්නේද නැත.

ඇතැම් එන්නත් නිෂ්පාදනයේදී විෂබීජහරණය පිණිස තිමරසල් යොදා ගැනෙන්නේ එයින් ලැබෙන සෞඛ්‍යමය වාසිය සිදුවිය හැකි අවාසියට වඩා වැඩි බැවිනි. කෙටි කාලයක් තුළ එන්නත් විශාල ප්‍රමාණයක් නිපදවීම අසීරු කටයුත්තකි. එමෙන්ම එන්නත් ගබඩා කර තබාගැනීමේ සීමාවන්ද තිබේ. මේ නිසා ෆ්ලූ එන්නත් වැනි ඇතැම් එන්නත් වල අවශ්‍ය ඉල්ලුම සැපිරීමට තනි එන්නත් ලෙස නිෂ්පාදනය නොකර මාත්‍රා ගණනක් එකට ඇති බහු මාත්‍රා එන්නත් ලෙස නිපදවන්නට සිදුවේ. තිමරසල් යොදාගන්නේ මෙවැනි බහු මාත්‍රා එන්නත් භාවිතා කිරීමේදී එයට පසුව කිසියම් විෂබීජයක් ඇතුළු වීම නිසා ඇති විය හැකි අවදානම අඩු කර ගැනීම පිණිසය. එයින් ලැබෙන වාසිය තිමරසල් හේතුවෙන් ඇති විය හැකි අවාසියට වඩා වැඩිය.

කොයි දේ වුවත් ඕනෑවට වඩා හොඳ නැත. මේ 'ඕනෑවට වඩා' යන්නට නිශ්චිත තේරුමක් තිබේ. ඒ, යමකින් සිදුවන අහිතකර දේ හිතකර දේ ඉක්මවන සීමාවයි. 


(Image: https://jasonprall.com/blog/mercury-myth-fish-tale-epic-proportion/)

25 comments:

  1. හැම දේකම හොඳ නරක දෙකම තියනවා කියලා තමා සළකන්න වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔව්. හොඳ නරක දෙකම දැනගෙන තමන්ට හොඳම තේරීම කිරීමයි කළ යුත්තේ.

      Delete
  2. මාළුන් ගේ හම කෑම අහිතකරයි හමේ තමා වැඩිපුරම විශ සාන් ද්‍රණය වෙලා කියෙන්නේ කියලා නියුට්‍රිෂනිස්ට් කෙනෙක් කිව්වා

    ReplyDelete
    Replies
    1. එය ඇත්ත. අවාසනාවට හොඳ දේවල් ගොඩක් තියෙන්නෙත් හම ආශ්‍රිතව.

      Delete
  3. මාත් වසර දහයක් නිති පතා දවල්ට ටූනා ග්‍රෑම් 80 ක් විතර කෑවා. දැන් නම් එපාවෙලා. හෙට සිට වෙනස් කරන්න සැලසුම් කරලායි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොනම දෙයක් වුවත් වෙනස් නොකර එක දිගටම ආහාරයට ගන්න එක පෝෂණය අතින් එතරම් හොඳ නැහැ.

      Delete
  4. අෆොයි දංගොල්ලේ ගිහින් වෙන්ඩ ඩෙන්ටන්ට කියා දත් වැඩ කරගෙන මං නම් ඇණ ගත්තා

    ReplyDelete
    Replies
    1. මගේ දත පිරවුවේ ටිකක් පස්සේ. රැකියාවට යාමෙනුත් පසුව. මම සාමාන්‍යයෙන් යන දන්ත වෛද්‍යවරයා වෙනුවට එදා හිටියේ වෙන කෙනෙක්. ශිෂ්‍යයෙක් බව දකින කොටම තේරිලා ඇහුවට පසුව ඔහු විශේෂ සැලකිල්ලක් කර, වෙලාව ගෙන දත හැදුවා. නිමාව කමකට නැති වුණත් ඇමල්ගම් ලෝබ නැතුව පුරවපු නිසා පිරවුම ගොඩක් ශක්තිමත්. ඔහුට ලැබෙන්නේ දවසේ ශ්‍රමයට සුළු මුදලක් පමණක් නිසා මගෙන් වැඩි මිලක් අය කළෙත් නැහැ. ගත්ත ගානට ඇමල්ගම් වියදමවත් ආවරණය වෙන්න නැතුව ඇති. සාමාන්‍ය දන්ත වෛද්‍යවරයා හිටියනම් ඇමල්ගම් දමන්නේ ලෝබ කමට.

      Delete
  5. මාළු කෑම අහිතකරනම් ජපන්නු මේ වෙනකොට ඔක්කොම වඳවෙලා තියෙන්න ඕනේ. අනික උන් මාළු කන්නේ හමේ ඉඳල බොකු බඩවැල් ඔක්කොම කනවා.

    ReplyDelete
    Replies
    1. එකක් මෙය පරිසර දූෂණය නිසා මෑතකාලයේදී උග්‍ර වුණු ප්‍රශ්නයක්. අනිත් කරුණ මේ ප්‍රශ්නය හැම මාළු වර්ගයකටම අදාළ නැහැ. විශේෂයෙන්ම පොඩි මාළු වර්ග හා ලොකු මාළුන්ගේ නොවැඩුණු පැටවූ සාපේක්ෂව සුරක්ෂිතයි. අළුත් කෙලවල්ලන්ට වඩා ටින් කළ කෙළවල්ලන් (ටූනා) සුරක්ෂිතයි. ඒ ටින් කිරීම සඳහා ගන්නේ ඇල්ලූ මාළු වලින් පොඩි මාළුන් නිසා.

      Delete
    2. හැබැයි ජපන්නු වැඩියෙන්ම කන්නේ කෙලවල්ලෝ අමුවෙන්.
      රසදිය විෂවීම ගැන තියෙන හොඳම උදාහරනේ තමයි මිනිමත ඩිසීස් එක. (minimata)
      මේ ලඟකදීත් නඩු තීන්දුවක් ලැබුන එකෙන් විපතට පත් වූවන්ට වන්දි දෙන ලෙස.

      Delete
    3. //හැබැයි ජපන්නු වැඩියෙන්ම කන්නේ කෙලවල්ලෝ අමුවෙන්.//
      ඔව්, ඒකත් ඇත්ත. කොහොම වුණත් ජපානයත් මේ අවදානම ගැන විමසිල්ලෙනුයි ඉන්නේ.

      ඔබ මේ පිටුව දැක ඇති.

      http://www.mhlw.go.jp/topics/bukyoku/iyaku/syoku-anzen/suigin/index.html

      Delete
    4. ඔව්. රජයෙන් දෙන අවවාද වල තමයි ඔය විස්තර තියෙන්නේ. හැම වෝඩ් ඔෆිස් පේජ් වලම ඔය විස්තර දාල තියෙනවා. මෙහෙ රජයෙන් දෙන තොරතුරු සැහෙන විශ්වාසදායකයි.

      Delete
  6. හුරුල්ලෝ, බෝල්ලු, බලයා වගේ මාළු නම් ප්‍රෙග්නන්ට් කාලෙත් ඕනෑතරම් කන්න පුළුවන්. කන්න හොඳ නැති මාළු වර්ග කීපයක් තියෙනවා ඕනෙවට වඩා. කෙල්වල්ලෝ වගේ

    ReplyDelete
    Replies
    1. බලයාත් ටිකක් ලොකු මාලුවෙක් නේද?

      Delete
    2. බලයගෙන් එච්චර බලපෑමක් නැහැයි කියල තමයි කියල කියන්නේ. රට අනුව වෙනස්ද දන්නේ නැහැ. ලංකාවෙනම් බලයා උෂ්නයි කියල ප්රෙග්නනට් කාලේ කන්න දෙන්නේ නැහැ නේද?

      Delete
    3. කෙලවල්ලෝ(විශේෂයෙන් ලංකාවේ ඉන්න උන් යෙලොෆින්), තලපත් වගේ මාළු ප්‍රෙග්නන්ට් කාලේ සුමානෙකට 80ග්‍රෑම් වලට වඩා අඩුවෙන් කන්න කියල කියන්නේ.

      Delete
    4. //බලයගෙන් එච්චර බලපෑමක් නැහැයි කියල තමයි කියල කියන්නේ.//

      මෙය නිවැරදි ඇති. මටත් එතරම් විස්තරාත්මක දැනුමක් නැහැ. ඒ නිසා නිශ්චිතව කිසිවක් කියන්න බැහැ. කොහොමටත් ලංකාවේ කරල තියෙන පර්යේෂණ ප්‍රමාණයත් සීමිතයි. එකම මාළු වර්ගය වුණත් සිටින පරිසරය, ආහාර සඳහා ගන්නා ආකාරය හා රටාවන් ආදිය අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඇමරිකාවේම එකම මාළු වර්ගයේ වෙනස් නියැදි අතර සැලකිය යුතු තරම් වෙනස්කම් තියෙනවා. පහළින් දමපු තොරතුරු වලට ස්තුතියි!

      Delete
  7. අපි මාලු ආහාරයට ගන්නෙ පිසිමේන් හෝ වෙනයම් ක්‍රමයකට සකසා ගැනිමේන්නේ.ඒවිට මේ මාලුවල තියෙනවායි කියන "මෙතිල් මර්කරි" වල ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැතිද.

    ReplyDelete
    Replies
    1. මාළුන්ගේ පේශි වල ඇති ප්‍රෝටීන් වලට රසදිය සම්බන්ධ වී ඇති නිසා සාමාන්‍ය පිසීම් ක්‍රියාවලිය තුළ මෙතිල් මර්කරි ඉවත් නොවන බව තමයි කියන්නේ.

      Delete
  8. අර්ධ ජීව කාලය විකිරණශීලී මූල ද්‍රව්ය වලට පමනක් අදලය් කියල හිතාගන හිටියෙ.

    ReplyDelete
    Replies
    1. වෙනත් බොහෝ දේ වලටත් යොදනවා.

      Delete
  9. වැව් මාළු නෙලුම් අල කන්ඩ එපා කියා කියා කෑ ගැහුවට එකට හරි පරීක්ෂණයක් ලංකාවේ කරලා නැහැ නේද? මේවත් කන්ඩ එපා කියන්නේ බැර ලෝහ තියෙනවා කියල නේ

    ReplyDelete
    Replies
    1. මෙය එකක්.

      https://link.springer.com/article/10.1007/s10653-007-9129-6

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.