Sunday, March 26, 2017

අධික තත්පරය


පෙර ලිපියෙන් විස්තර කළ පරිදි අවුරුද්දක් යනු පොළොවට ඉර වටා රවුමක් යාමට ගතවන කාලයය යන්නද සරල කතන්දරක් පමණි. ඇත්තටම කියනවානම් මේ කතන්දරය ඉරට තාරකා මණ්ඩල හරහා වටයක් යාමට ගතවන කාලය යන සංකල්පයටත් වඩා අවිනිශ්චිත හා අවුල් සහගත සංකල්පයකි. ඒ, පොළොව ඉර වටා ගමන් කරන එවැනි නිශ්චිත පථයක් නැති බැවිනි. එකම ගඟ දෙවරක් දැකිය නොහැකි අයුරින්ම, පොළොව දෙවරක් එකම පථයේ ඉර වටා නොයයි.

පොළොව ඉර වටා යන නිශ්චිත පථයක් නොමැති නිසා අපට ඇතැම් කටයුතු වලදී අපේ පහසුවට එවැනි පථයක් ඇති බව උපකල්පනය කිරීමට සිදුවේ. මේ උපකල්පනය හරියටම නිවැරදි නොවන නිසා අපට මේ පථය කිසියම් ආකාරයකින් අර්ථදැක්වීමට සිදුවේ. එවැනි අර්ථදැක්වීම් එකකට වඩා තිබිය හැකි හා තිබෙන නිසා පොළොව ඉර වටා යාමට ගතවන කාලය ලෙස අපට මිනුම් එකකට වඩා තිබේ. නක්ෂත්‍ර වසරක් හා ඇනෝමලිස්ටික් වසරක් අතර ඇති මිනිත්තු  4කුත් තත්පර 42ක වෙනසට හේතුවද මෙවැනි අර්ථදැක්වීම් වල ඇති වෙනසකි.

කෙසේ වුවද, නක්ෂත්‍ර වසරක් හා ඇනෝමලිස්ටික් වසරක් අතර වෙනස ප්‍රායෝගිකව ජනජීවිතය හා අදාළව විශාල ප්‍රශ්නයක් ඇති නොකරයි. ඒ අතරම, පොළොවේ, විශේෂයෙන්ම සමකයෙන් ඈත ප්‍රදේශ වල කාලගුණ රටා සමඟ මේ වසරක කාලය මැනවින් ගැලපේ. ඒ නිසා, සහශ්‍ර ගණනකට පෙර පෙරදිග මෙන්ම අපරදිග ලෝකයේත් අවුරුද්ද ලෙස බොහෝ විට සැලකුණේ නක්ෂත්‍ර වර්ෂයයි. වසරේ ආරම්භය ලෙස සැලකුණු දින ඉර හා දිශානුගතව පැවති තාරකාව වෙනස්වීම නිසා අවුරුද්දේ ආරම්භය
වෙනස් වුවත් මේ පදනම මත ගණනය කෙරුණු අවුරුද්දක කාලය ගිණිය හැකි තරමින් වෙනස් වුණේ නැත.

පොළොවේ කාලගුණ රටා, විශේෂයෙන්ම සෘතු, වෙනස්වන චක්‍රය නක්ෂත්‍ර වර්ෂයක කාලය සමඟ ආසන්න ලෙස ගැලපීමට හේතු වන්නේ පොළොව තමන් වටා භ්‍රමණය වන අක්ෂයෙහි අංශක 23.5කට මඳක් අඩු (23°26′13.4″) ආනතියයි. මේ ආනතිය හේතුවෙන් පොළොවේ සමකයෙන් ඈත පෙදෙස් වල ශිශිර, වසන්ත, ගිම්හාන හා හේමන්ත සෘතු ඇති වන ආකාරයත්, දිවා රාත්‍රී කාල වල දිග වෙනස් වන ආකාරයත් පෙර ලිපියකින් විස්තර කර තිබේ.

සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, පොළොව ඉරවටා යද්දී ඉරේ බලපෑම පොළොවේ උතුරු හා දකුණු අර්ධගෝල වලට සමමිතික ලෙස සිදුවන්නේ අවස්ථා දෙකකදී පමණි. ඒ වසන්ත විෂුවය හා හේමන්ත විෂුවය සිදුවන (මේ වසරේ මාර්තු 20 හා සැප්තැම්බර් 22) දින වලදීය. ඉතිරි දින වල පොළොවේ උතුරු හා දකුණු අර්ධගෝල වලට ඉරේ බලපෑම සිදුවන්නේ අසමමිතිකවය. මේ අසමමිතිය වඩාත්ම විශාල වන්නේ ගිම්හාන හා ශිශිර සූර්ය නිවෘත්තීන් සිදුවන (මේ වසරේ ජූනි 21 හා දෙසැම්බර් 21) දිනවලදීය. මෙය වාර්ෂික චක්‍රයක් ලෙස සිදුවන අතර ග්‍රෙගෝරියන් දින දර්ශනයටද පදනම් වන නිවර්තන වර්ෂය යනු මේ චක්‍රය සම්පූර්ණ වීමට ගතවන කාලයයි.

පොළොව ඇද වුවත්, පොළොවේ ඇදය වෙනස් නොවී එක විදිහකට තිබුණානම් නිවර්තන වර්ෂයක් නක්ෂත්‍ර වර්ෂයකට සමාන විය හැකිව තිබුණේය. එහෙත්, පොළොවේ මේ ඇදයත් හැමදාම එක විදිහට තියෙන්නේ නැත. කලකදී මේ ඇදය අංශක 22.1 පමණ දක්වා අඩුවන අතර තවත් කාලයකදී අංශක 24.5 පමණ දක්වා වැඩි වේ. මේ වන විට මේ ඇදය අංශක 23.5 පමණ  වුවත් එය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. ක්‍රිස්තු වර්ෂ 11,800 පමණ වන තුරු මේ ඇදය ටික ටික ටික අඩුවී අවම මට්ටමට පැමිණීමෙන් පසු නැවත වැඩි වන්නට පටන්ගනු ඇති අතර මෙය (nutation) වසර 41,000කට පමණ වරක් චක්‍රීය ලෙස සිදුවේ. (රූප සටහනේ පොළොව කැරකෙන දිශාව ලකුණු කර ඇති ආකාරය නිවැරදි නැත.)



මේ කාලයේ පොළොවේ ඇදය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා පොළොවේ ඉර සෘජුව මුදුන් වන උතුරු හා දකුණු සීමාවන්ද වසරින් වසර සමකය දෙසට විතැන් වේ. උතුරු හා දකුණු ධ්‍රැව ආශ්‍රිතව ඇති සමකයට සාපේක්ෂව සමසකට වරක් දිවා රෑ මාරුවන, සුරයන්ගේ හා අසුරයන්ගේ අඩවි ටිකෙන් ටික කුඩා වේ. කෙසේ වුවද, ඉහත හේතුව නිසාද නිවර්තන වසර දිගුකාලීනව නක්ෂත්‍ර වර්ෂයකින් වෙනස් විය යුතු නොවේ.

පොළොවේ ඇදය වෙනස් වන එකම ආකාරය ඉහත ආකාරය නොවේ. මේ ආනතිය වසර 26,000කට පමණ වරක් තුන්වන මානයක බමරයක් සේ වාමාවර්තව (දක්ෂිණාවර්තව භ්‍රමණය වන පොළොවට ප්‍රතිවිරුද්ධව) කැරකේ. චක්‍රීය ලෙස සිදුවන මේ වෙනස්වීම පූර්වායනය (precession) ලෙස හැඳින්වේ.


 
පූර්වායනය හේතුවෙන් එක් හේමන්ත විෂුවයක සිට තවත් හේමන්ත විෂුවයකට හෝ එක් ශිශිර සූර්ය නිවෘත්තියක සිට තවත් ශිශිර සූර්ය නිවෘත්තියකට ගතවන්නේ නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව පොළොවට ඉර වටා රවුමක් යාමට ගත වන කාලයට වඩා වසර 1/26,000කින් හෙවත් මිනිත්තු 20කුත් තත්පර 25කින් පමණ කෙටිය.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ජීවත් වූ ග්‍රීක විද්‍යාර්ථියෙකු වූ (වත්මන් බෙදීම් අනුව ඔහු ජීවත් වූ පෙදෙස අයත් වන්නේ තුර්කියටය) හිපාර්කස් විසින් ආකාශ නිරීක්ෂණ සටහන් කර තිබුණු පැරණි ලේඛණ පරීක්ෂා කරමින් සූර්යය නිවෘත්ති හා විෂුවයන් සිදුවන දින කාලයත් සමඟ වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළේය. ඔහුගේ ගණනය කිරීම් අනුව, එවකට භාවිතා කළ නක්ෂත්‍ර වසර මත පදනම් වූ දින දර්ශනය වසර 100කට පමණ වරක් දවසක් 'වැඩියෙන්' ගමන් කළේය. අද අප දන්නා පරිදි මේ වෙනස වසර 71කට (26,000/365) දවසකි.

හිපාර්කස්ගේ නිරීක්ෂණ මත පදනම්ව බටහිර දින දර්ශනය සෘතු වෙනස්වීම් සමඟ ගැලපෙන පරිදි 'නිවැරදි' කෙරුණේය. ඒ අනුව, ජුලියන් දින දර්ශනයට මෙන්ම ග්‍රෙගෝරියන් දින දර්ශනයටත් සූර්ය නිවෘත්ති මත පදනම් වූ නිවර්තන වසර යොදා ගැනුණේය.

ග්‍රීසියෙහි සිදුවුණු හිපාර්කස්ගේ නිරීක්ෂණ පිළිබඳ දැනුම භාරතීය විද්‍යාර්
ථින්ටද රහසක් නොවීය. එහෙත්, සමකය ආසන්නයේ පිහිටි (වත්මන්) ඉන්දියාවට සිය දින දසුන සෘතු වෙනස්වීම් සමඟ ගැලපීම එතරම් වැදගත් නොවූ නිසා භාරතීය දිනදසුන් තවදුරටත් නක්ෂත්‍ර වසර මතම පදනම් විය.

ග්‍රෙගෝරියන් දින දසුන නිවර්තන වසර මත පදනම් වුවත් ග්‍රෙගෝරියන් සැලසුම නිවර්තන වසර සමඟ වුවද හරියටම නොගැලපේ. ග්‍රෙගෝරියන් වසරක් නිවර්තන වසරකට වඩා තරමක් දිගය. ඒ නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ වසරක් හා නිවර්තන වසරක් අතරද තත්පර 27ක වෙනසක් තිබේ. මේ නිසා අප දැනට භාවිතා කරන කැලැන්ඩරයත්, නක්ෂත්‍ර වසර මත පදනම් වූ සිංහල අවුරුද්ද ගණනය කිරීමට හා (ඉන්දියානු) ජ්‍යෝතිෂයේදී යොදාගන්නා කැලැන්ඩරයේ වසරක් අතර ඇති වෙනස මිනිත්තු 19කුත් තත්පර 58කි.

සාමාන්‍ය වෙනස මෙය වුවත්, මේ වෙනස සෑම වසරකදීම සමාන නොවේ. එයට හේතුව නක්ෂත්‍ර වසරක දිග බොහෝ දුරට සමාන වුවත්, නිවර්තන වසරක දිග වසරින් වසර වෙනස් වීමයි. මෙයට හේතුව පොළොව ඉර වටා ගමන් කරන පථය ඉලිප්සාකාර නොවීම හා එහි වෙනස් තැන් හරහා ගමන් කරන්නේ එකම වේගයකින් නොවීමයි.

කෙසේවුවද, වඩා ස්ථිර නක්ෂත්‍ර වසරක කාලය හා දවසක පැය ගණන වුවද කිසිදා වෙනස් නොවන දේවල් නොවේ. ඉතා සුළුවෙන් වුවත් මේවාත් වෙනස් වේ. පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර මේ නිසා පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට දැන් ටික කලකට ගතවුණාට වඩා වැඩි කාලයක් ගතවේ. මේ වෙනස දිනකට මිලිතත්පර 1.7ක් පමණ ඉතා සුළු වෙනසක් වුවත් මේ සුළු වෙනස එකතු වීම නිසා මාස 19කට පමණ වරක් තත්පරයක වෙනසක් ඇති වේ. මෙය නිවැරදි කරගැනීම සඳහා කලින් කලට අධික තත්පරයක් එකතු කරන්නට සිදුවේ.

පසුගිය වසර 46ක කාලය තුළ 27 වරක් මේ අයුරින් අධික තත්පර එකතු කරමින් දැනට භාවිතා කරන සම්මත කාලය නිවැරදි කරනු ලැබ ඇති අතර අවසන් වරට මෙවැනි නිවැරදි කිරීමක් කෙරුණේ පසුගිය දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රියේදීය. ඒ අනුව, පසුගිය 2016 දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රී 11:59:59 තත්පරයෙන් පසුව එළඹුණු තත්පරයේදී 2017 නව වසර උදාවුණේ නැත. ඒ වෙලාවේ එළඹුණේ 11:59:60 තත්පරයයි. 2017 නව වසර උදාවුණේ තත්පර 61ක් දිගින් යුතු වූ මේ අන්තිම මිනිත්තුවෙන් පසුවය. සමහර වෙලාවට මිනිත්තුවක කාලයක් අපට තත්පර 60කට වඩා දිගු ලෙස දැනේ. ඒ, ඇත්තටම ඒ මිනිත්තුව තත්පර 60කට වඩා දිග නිසා වෙන්නටත් පුළුවන. 


වෙනස්වීම් තේරුම් ගැනීම සඳහා අප හදාගෙන ඇති කාලය නම් වූ සංකල්පය පදනම් වන්නේ අප ඇතැයි සිතන කිසියම් නොවෙනස් වන දෙයක් මතය. එහෙත්, වඩා හෙමින් වෙනස් වන දේවල් මිස එවැනි නොවෙනස් වන දේවල් නැත.


විල් මත නෙළුම් හෙලුවත් කැළුම්
ගල් පර තලයි රැළි මෙන් හැඟුම්...
වෙරළේ තෙරේ අප හමුවෙනා
කිසිවෙකු නෑ දන්නේ ආදරේ...
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
ඔබ හා මා ඉන්නා තත්පරේ...
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...

ඊයේ පැවති නෙළුම්යාය සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉකොනොමැට්ටාගේ බ්ලොග් අඩවි අගය කර ඇති බව මේ දැන් දැනගන්නට ලැබුණු අතර ඒ පිළිබඳව සංවිධායකයින්ට ස්තුතිවන්ත වන අතර සියළුම සම්මානලාභීන්ට සුභපතමු!

(Image: http://www.theskepticsguide.org/the-leap-second-insertion, http://sciences-physiques.ac-dijon.fr/astronomie/lexique/lexique_astro/p/precession_equinoxes.htm, wikipedia)

17 comments:

  1. "...පසුගිය වසර 46ක කාලය තුළ 27 වරක් මේ අයුරින් අධික තත්පර එකතු කරමින් .."

    According to following it is 37 secs.

    UTC, GPS & TAI Clocks

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ! ඔබ දමා ඇති පිටුවේ පහලින් ඇති ලින්ක් ඔස්සේ ගිය විට පෙනෙන පරිදි, 1972දී මේ අයුරින් අධිතත්පරය බැගින් එකතු කිරීම පටන් ගන්නා විටත් තත්පර දහයක වෙනසක් සලකමින් පටන් ගත් නිසා මේ වන විට තත්පර 37ක වෙනසක් එකතු වී තියෙනවා.

      http://maia.usno.navy.mil/ser7/tai-utc.dat

      Delete
    2. මා දන්නා පරිදි මෙම අධි-තප්පර පුරෝකථනය කිරීම අසීරුය. තවද පරමාණුක ඔරලෝසු තිබෙන මේ යුගයේ අධි-තප්පර ක්‍රමයේ පලක් තිබේද?

      Delete
    3. ඇනෝ, දැන් අපිට මේ වෙනස මැන ගැනීමට හැකිවී තිබෙන්නේම පරමාණුක ඔරලෝසු නිසානේ. ඔබ කියන දෙයිනුත් තහවුරු වෙන්නේ කාලය කියන සංකල්පය අපේ දැනුමට සාපේක්ෂ බවයි.

      Delete
  2. නේපාලෙ භූමිකම්පාවෙන් පස්සෙත් පොලොවේ කැරකෙන වේගෙ තප්පර දශම ගානකින් වෙනස් උනාලු නේද ?

    ReplyDelete
    Replies
    1. එවැනි වෙනස්වීම් වෙනවා. 2004 සුනාමිය ඇති කරවූ භූමිකම්පාව නිසාත් පෘථිවිය භ්‍රමණය වන වේගය වෙනස් වුණා.

      Delete
  3. මම මේ ලිපි පෙළ කියෙව්වා. ඔබතුම ජෝතිෂ්‍යයවේදියෙක් බවයි හැගීම. ඉතිං මෙවැනි ලිපි මගින් ජෝතිෂ්‍යයේ පදනම ගැන අපට දැනගත හැකියි. එ වගේම පැරණි සෘෂිවරුන් ලබා දුම මෙම ජෝතිෂ්‍යය විද්‍යාවට අද ඇතැමුන් ගරහනවා. ඔබගේ ලිපි පෙළ මගින් මෙම විද්‍යාවේ තාරුකා ශාස්ති‍්‍රය පදනම අපට ඉතා සරලව පැහැදිලි කිරීම ගැන අපගේ ආචාරය.

    මම කොහේදෝ කියෙව්වා මෙම ජෝතිෂ්‍ය විද්‍යාව දත් තැනැත්තාට අන් අයගේ ගැටළු වලට මෙම සාශ්ත්‍රය මගින් පිහිට වීම මගින් ගොඩක් කුසල් රැස් කරගත හැකියි කියලා. ඔබතුමාටත් ගොඩක් පිං අගනා ශාස්ත්‍රය ගැන ලිපි පෙළක් පළකිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. ලිපි කියවීම ගැනත්, අදහස් දැක්වීම ගැනත් ඔබට ස්තුතියි! නමුත්, කණගාටුවෙන් වුවත් කියන්න තියෙන්නේ ඔබ අපේක්ෂා කරනවාක් මෙන් පෙනෙන කරුණු මෙහි නොලියවෙනු ඇති බවයි. මෙය ලියන ලේඛකයා ජ්‍යෝතිශාස්ත්‍රඥයෙක් නෙමෙයි.

      Delete
  4. /* ....වසර 26,000කට පමණ වරක් තුන්වන මානයක බමරයක් සේ..... */

    මේ කියන්නේ ත්‍රිමාන බඹරයක් කියන එකද නැතිනම් බඹරයක් වෙනත් (තුන්වෙනි) කැරකෙන එකද?

    ත්‍රිමාන බඹරයක් කියා නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ?

    මෙය "....වසර 26,000කට පමණ වරක් බමරයක් සේ තුන්වන මානයක...." කියා ලිව්වොත් නිවැරදි ද?

    ReplyDelete
    Replies
    1. බමරයක් සාමාන්‍යයෙන් කැරකෙන්නේ පොළොවට ලම්බක අක්ෂයක වුවත්, මෙහිදී බමරයේ සාමාන්‍ය කැරකීමට අමතරව එම අක්ෂයත් කැරකෙන බවයි මට කියන්න අවශ්‍ය වුණේ. මෙය හරියටම විස්තර කළ යුතු ආකාරය ඔළුවට එන්නේ නැහැ.

      Delete
    2. ඉකොනොමැට්ටා විසින් axis = අක්‍ෂය යන්නට මුලින් මානය = dimension යන්න යොදා ගැනීම නිසයි මට නොවැටහුනේ.

      දැන් පැහැදිලියි. දෙදෙනාටම ස්තුතියි.

      !

      Delete
  5. මෙහෙම slow වෙලා ප්රැතුවිය කැරකෙනඑක නැවතෙන දවසක් එන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. කැරකෙන වේගය අඩුවන ආකාරය අනුව එවැන්නක් වෙන්න ඉතා විශාල කාලයක් යනවා. ඊට බොහෝ පෙර වෙනත් වෙනස්කම් රැසක් වන නිසා පොළොව සත්ත්ව වාසයට නුසුදුසු තැනක් බවට පත් වෙනවා.

      Delete
  6. ඔබේ ලිපි පෙල තවත් ඉදිරියට යනවා. හොඳයි, මේ වගේ හරවත් දැනුම කැටි කරගත් ලිපි වලට මම හරිම කැමතියි.

    සූර්‍ය කේන්ද්‍රීයව ගත් කල එක් එක් ග්‍රහ වස්තූන් සූර්‍යයා වට පරිභ්‍රමනය මේ තරම් සංකීර්ණ පථයක් ඔස්සේ සිදු වෙද්දීත් එක් එක් ග්‍රහ වස්තූන්ගේ පථයන් එකිනෙකා විසින් කපා නොදමන්නේ ඒවා අතර වූ පරතරය එතරම්ම විශාල නිසා විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ පථ ඉතා ඈතින් තිබීම හා ආසන්න ලෙස වෘත්තාකාර වීම නිසා එසේ නොවුණත්, වෘත්තාකාර නොවන පථ ඇති වල්ගාතරු වැනි දේ පෘථිවියේ හෝ වෙනත් ග්‍රහවස්තුවක වැදෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. දැන් මෙසේ ස්ථාවර ගමනක යෙදුණත් සූර්ය ග්‍රහ මණ්ඩලය ඇති වූ කාලයේ තත්ත්වය එසේ තිබී නැහැ. වැඩි වශයෙන් පිළිගන්නා ප්‍රවාදයක් අනුව, හඳ හැදී තිබෙන්නේ ඒ කාලයේ පෘථිවියේ වැදුණු වෙනත් විශාල වස්තුවක් නිසා ගැලවී ගිය කොටසකින්.

      Delete
  7. මෙව්වා අපේ හදහන් හදද්දි සැලකිල්ලට ගන්න කියල යෝජනා කරන්න ඕන හිටං.. මේ විශ්වයම අපුරු නිර්මාණයක්.. අර ඇටොමික් ඔරලෝසු ගැන තව දැනගන්න කැමතියි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.