Sunday, August 27, 2017

සිම්පල් ප්ලෑන්!



පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. දේශීය ණය වලින් වැඩි ප්‍රමාණයක් රුපියල් ණය වන අතර විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. ඒ නිසා, අපි අපේ පහසුව සඳහා මේ ලිපියේදී දේශීය ණය රුපියල් ණය ලෙසත් විදේශ ණය ඩොලර් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ලෙසත් සලකමු.

ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. මේ ආණ්ඩුව බලයට පත් වන තුරු මේ ණය අර්බුදය ගැන වැඩිපුර කතා කළේ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ, ආණ්ඩු විරෝධීන් සහ සහ වෙනත් ඇතැම් මැදහත් විශ්ලේෂකයින් විසින් පමණි. ආණ්ඩු විසින් බොහෝ විට කියන්නට උත්සාහ කළේ එවැනි අර්බුදයක් නැති බවයි. මේ කියන්නේ පසුගිය ආණ්ඩුව පැවති කාලය ගැන පමණක් නොවේ. 

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු විය. දැන් ණය අර්බුදය ගැන වැඩිපුරම කතා කරන්නේ බලයේ සිටින ආණ්ඩුවයි. ඒ නිසා ණය අර්බුදයක් ඇතැයි කීම දැන් ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩුවට කඩේ යන ප්‍රකාශයක් ලෙස සැලකෙන්නේ නැත. හොරකම් වැනි වෙනත් දේවල් ගැනද තත්ත්වය එසේය.

ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයින්ට හදිසියේම නිරීක්ෂණය වී ඇති කරුණක් වන්නේ රටේ හැම තැනම හොරු සිටින බවයි. ඒ අනුව, රටේ හැටියට ආණ්ඩුවේ හොරු සිටීම අමුතු දෙයක් නොවේ.

තවමත් කිසිදු දේශපාලනඥයෙකු විසින් "සොයාගෙන" නැතත්, ආණ්ඩුව පමණක් නොව රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් විශාල පිරිසක්ද පෞද්ගලිකව ණය අර්බුද වල හිර වී සිටිති. එහෙම බැලුවාම රටේ හැටියට ආණ්ඩුව ණය අර්බුදයක සිටීමද අමුතු දෙයක් නොවේ.

ණය අර්බුද වල පැටලී සිටින සාමාන්‍ය මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් කරන්නේ මාසයෙන් මාසයට ණය රෝල් කිරීමයි. මෙවැනි ඇතැම් අය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් නඩත්තු කරමින් එකකින් අනිත් එකේ ණය ගෙවීමත්, අනිත් එකෙන් මුල් එකේ ණය ගෙවීමත් මාරුවෙන් මාරුවට කරති. ක්‍රෙඩිට් කාඩ් වල අධික පොලී අනුපාතික නිසා ණය එන්න එන්නම වැඩි වේ. එවිට විසඳුම බැංකුවට කතා කර ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව ණය ඉහළ දමා ගැනීමයි. මේ ක්‍රමයට කලක් ඇදගෙන යා හැකි වුවත් කොයි වෙලාවේ හෝ අමාරුවේ වැටෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

ව්‍යාපාරිකයින් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ලංකාවේ බොහෝ දෙනෙකු විසින් කරන්නේද ණය රෝල් කිරීමයි. මේ බොහෝ දෙනෙකු ව්‍යාපාරිකයෝ මිස සැබෑ ව්‍යවසායකයෝ නොවෙති. එයින් කියන්නේ සැබෑ ව්‍යවසායකයින්ද නොසිටින බව නොවේ. බැලූ බැල්මට ආණ්ඩුවට පිටින් සිටින කොටසක් මෙන් පෙනෙන ලංකාවේ ව්‍යාපාරිකයින් අතරින්ද සෑහෙන පිරිසක් ඇත්තටම ආණ්ඩුවේම කොටස්ය. මේ අයද දේශපාලනඥයින් හා ර‍ජයේ සේවකයින් මෙන්ම විශාල අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීමේ ප්‍රතිලාභ ලබන්නෝය. ආණ්ඩුවේ කොන්ත්‍රාත් මත හෝ රජයට භාණ්ඩ හෝ සේවා සම්පාදනය කිරීම මඟින් ලාභ ලබන්නන්ගේ සිට මන්ත්‍රීවරුන් විසින් බදු රහිතව ගෙන්වන වාහන මිල දී ගන්නන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ගොඩට දැමිය හැකිය.

ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් මත පදනම්ව නොවේ. ඔවුන් සතුව උරුමයෙන් හිමිවූ ප්‍රාග්ධනයක් තිබීම හෝ සමාජ  සම්බන්ධතා මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රවේශ හැකියාවක් තිබීම මත පදනම්වය. මේ දෙකෙන් එකක්වත් නැති ලංකාවේ බොහෝ දෙනෙකුට ව්‍යවසායකත්ව හැකියාවන් තිබුණද ව්‍යාපාරිකයින් වීමට අවස්ථාවක් නොලැබේ. තමන්ගේ හැකියාව අනුව හිමි විය යුතු, එහෙත් පවතින තත්ත්වයන් යටතේ තමන්ට නොලැබෙන අවස්ථාව අධ්‍යාපනය හරහා ඉහළට ගොස් වෘත්තීයවේදීන් වීම මඟින් වෙනත් ආකාරකින් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ එබැවිනි. රජයේ සරසවි වල වෛද්‍ය පීඨ වලට විශාල ඉල්ලුමක් තිබෙන්නේ වෛද්‍යවරුන් වන්නට "ඇඟෙන්ම​" උවමනාවක් තිබෙන පිරිසට සමාජ ඉනිමගේ ඉහළට යාමට වෙනත් ප්‍රවේශ මාර්ග නැති තවත් පිරිසක්ද එකතු වීම නිසාය.

සාමාන්‍ය පුද්ගලයෙකුට ලංකාවේ වාණිජ බැංකුවකින් ආයෝජන ණයක් ගැනීම ඉතාම අපහසුය. මෙවැනි අයට බැංකුවකින් පහසුවෙන් ලබාගත හැක්කේ කල්බදු ආකාරයේ පරිභෝජන ණය, උගස් ණය හා ක්‍රෙඩිට්කාඩ් ණය පමණි. ලංකාවේ බැංකු වලින් ව්‍යාපාරික ණය ලබා ගන්නෝ බොහෝ දෙනෙකු එක්කෝ දැනටමත් සැලකිය යුතු ප්‍රාග්ධනයකට හිමිකම් කියන අයයි. එසේ නැත්නම් දේශපාලන හෝ වෙනත් සම්බන්ධතා ඇති අයයි. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලැබීමට තරම් ශාස්ත්‍රාලීය දක්ෂතා නැති, උරුමයෙන් ලැබුණු ප්‍රාග්ධනයක්ද නැති, එහෙත් කිසියම් ආකාරයක දක්ෂතාවන් ඇති අය ප්‍රාදේශීය දේශපාලනඥයින් වන්නට උත්සාහ කරන්නේ ඉහළට නගින්නට ඔවුන්ට ඉතිරි වී ඇති හොඳම විකල්ප ප්‍රවේශ මාර්ගය එය නිසාය. දේශපාලන සම්බන්ධතා ඇතුළු වෙනත් දේ නැතුව පාසැලක කැන්ටිමක් කිරීමේ අවස්ථාව ලබා ගැනීම පවා අසීරු කරුණකි.

ලස්සෙට කොඩි දමා සිටින බව පෙනෙන ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නවා වන්නටද පුළුවන. වත්කම් මිස බැංකු ණය පිටතට පෙනෙන්නේ නැත. එහෙත්, ඒ හේතුව නිසා මෙවැනි ව්‍යාපාරිකයකුට සිය ව්‍යාපාරය බිඳ නොවැටී පවත්වාගනිමින් හා අත දිගහැර වියදම් කරමින් හොඳ ජීවන තත්ත්වයක්ද පවත්වාගැනීමට නොහැකි වන්නේද නැත. එක් ණයක් ගෙවා ගන්නට අසීරු වන විට තවත් ණයක් ගන්නට පුළුවන. 

එක පැත්තකින් මෙවැනි "හිර වී සිටින" ව්‍යාපාරිකයෙකුට බැංකුව තවත් ණය නොදී සිටියොත් වෙන්නේ ඔහුගේ ව්‍යාපාර  ක්ෂණිකව බංකොලොත් වී දැනට ලබාගෙන ඇති ණයද ගෙවන්නට නොහැකි වීමයි. එහෙම වුනොත් ණය අනුමත කළ බැංකු කළමනාකරුගේ රැකියාවද අනතුරේය. එහෙම වනවාටත් වඩා වෙන්නට ඉඩ තිබෙන්නේ අදාළ පාරිභෝගිකයා වෙනත් බැංකුවක් වෙත යාමයි. එයද, පළමුව කළමනාකරුගේ ඉලක්කත් පසුව රැකියාවත් අනතුරේ හෙළයි. මෙයට අමතරව මේ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට බැංකුවකින් ණයක් අනුමත කර ගැනීමේ "ක්‍රමවේදය" ගැන මනා පළපුරුද්දක් තිබේ. බැංකුව රාජ්‍ය බැංකුවක් වුවත්, පෞද්ගලික බැංකුවක් වුවත් පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තයේ හෝ මැලේසියාවේ සති අන්තයක් ගෙවන්නට අකමැති කළමනාකරුවෝ නැත.

වරින් වර ණය රෝල් කිරීම ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින්ගේ විශේෂ ප්‍රාගුණ්‍යයකි. ඕකට අවශ්‍යනම් ණය රෝල් කිරීම නොකියා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා කියන්නත් පුළුවන.

ව්‍යවසායකයින් යනු වෙනත් අයට නොපෙනෙන දේ දැකිය හැකි අයයි. මෙවැන්නන්ට ඇතැම් විට වෙනත් අයට නොපෙනෙන "සිම්පල් ප්ලෑන්" පෙනේ. ව්‍යවසායකත්වය යනු අධ්‍යාපනය හරහාම බිහිවන දෙයක් නොවේ. එහෙත්, ව්‍යවසායකත්වය තුළින් යා හැකි දුර අධ්‍යාපනය විසින් තීරණය කරයි. අධ්‍යාපනය යනු හැමවිටම විධිමත් අධ්‍යාපනයම නොවූවත්, ඇතැම් සංකීර්ණ විෂයයන් හා අදාළව අලුතෙන් දෙයක් සාර්ථක ලෙස කරන්නටනම් අදාළ විෂයේ මූලධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. වතුරෙන් දුවන කාර් හදන්නට පෙර එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන හා ශක්ති සංස්ථිතිය සිදුවන ආකාරය ගැන මූලික දැනුමක් අවශ්‍ය වේ. ඩෙංගු වලට බෙහෙත් හොයන්නට පෙර ඩෙංගු රෝගය සිරුරේ විවිධ අවයව වල ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය ගැන මැනවින් අවබෝධ කරගත යුතුය. එවැනි පෙර පුහුණුවක් නැති අයෙකු විසින් ඉදිරිපත් කරන "සිම්පල් ප්ලෑන්" එකක වුවද ගන්නට දෙයක් තිබෙන්නට ඉඩක් නැත්තේම නැතත්, එවැන්නක් ගොන්පාර්ට් එකක් වෙන්නට තිබෙන ඉඩ ඊට වඩා වැඩිය.

ඉතිහාසය පුරා ලංකාව මුහුණ දුන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අපට තිබුණු එක් "සිම්පල් ප්ලෑන්" එකක් වුනේ ඉඟුරු දී මිරිස් ගැනීමයි. පෘතුගීසින් එළවන්නට ලන්දේසීන් සමඟත්, ලන්දේසීන් එළවන්නට ඉංග්‍රීසින් සමඟත් ගිවිසුම් ගැසූ ජාතියකට ඩොලර් ණය වෙනුවට යෙන් ණය ගැනීම හොඳ විසඳුමක් බව පෙනෙන්නට පුළුවන. හොරකම් නැවැත්වීමෙන් පසු ඉතිරිවන මුදලින් සියලු ණය පියවා රට සමෘද්ධිමත් කිරීමේ "සිම්පල් ප්ලෑන්" එක ආකර්ශනීය වූ අයුරින්ම මේ  "සිම්පල් ප්ලෑන්" එකද ඇතැම් අයට ආකර්ශනීය විය හැකිය.

මේ හා අදාළ තාක්ෂණික කරුණු ගැන උනන්දුවක් දක්වන්නේනම් කරුණාකර පහත ලිපියද කියවන්න.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?

11 comments:

  1. දේශපාලන සම්බන්ධතා ඇතුළු වෙනත් දේ නැතුව පාසැලක කැන්ටිමක් කිරීමේ අවස්ථාව ලබා ගැනීමට පවා අසීරු කරුණකි.athha

    ReplyDelete
  2. “Savers have to be punished so debtors can be saved.

    Why? Because if debtors are rescued, that makes it possible for more debts to be issued in the future.

    And why is that important? Because the banking system needs ever more loans in order to survive.”
    ― Chris Martenson

    ReplyDelete
    Replies
    1. http://jokes.cc.com/funny-god/a32xjl/jesus-and-satan-are-having-a-conversation---

      Delete
  3. Replies
    1. පොස්ටුවට අදාල නුනාට කව්රුහරි දැනගතයුතු කරුණක්


      අහෝ විචාරක දියණිය
      ඔබපියා 1974 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ ඉගෙන ගනිද්දී රගර් ක්‍රීඩාව පුහුණුව සඳහා කෝට්ටේ නව පාර්ලිමේන්තු පාරේ පිට්ටනියක් පුහුනුවට ගියා කියා මහා ලොකු බොරුවක් ලියා අප සැම රැවටීමට උත්සහා කළා නමුත් 1974 වසරේ නවපර්ලිමෙතුවක් කෝට්ටේ තියා කොහෙවත් සිතියමක්වත් තිබිනේ නැහැ .1977 රජය්පෙරලුනු පසු JR ජනාධිපති විසින් තමයි 4 July 1979 මුල් ගල තියා 29 April 1982 විවුර්ථ කලේ
      එමනිසා ඔබගේ පියා කුජිත වුනා බොල්ග් ලොවේ ....බොරු ලියා .

      දැන් ඔබ පියා කල දෙයක් ඔබ මෙසේ කියනවා
      31 August 2017

      මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය ලිපිය තුලින්

      මගේ පියා - ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්
      මුදල් ඇමති තුමා - ඉලන්දාරියා මොකටද මේ පුහුණුවීම් ?
      මගේ පියා - සර්, ලබන සතියේ රන්ටැඹේ යන්න ......

      එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. විචාරක පාසල් කාලයේ මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා කියලා ඔබ කියනවා [1964-65] සහ [1970-1977] නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා මැති තුමා 1979 වසරේ මිය යනවා

      හරි දැන් එක එහෙම උනයි කියමුකෝ ......

      National Cadet Corps Training Centre, Rantembe was established on 2 December 1990 දී අප විසින්
      ncc අනුයුක්තව .

      ඉතින් ඔබ [ඔබේ පියා සේම ]කියන පරිදි ඔහු රන්ටඹේ යායුත්තේ 1990 පසුවයි ඊට ප්‍රථම රන්ටබේ පුහුණු කඳවුරක් තිබුනෙත් නැහැ 1979 පෙර එවැනි කඳවුරක් ලෝකයේ කිසිම සිතියමක් හෝ කාගේ සිතෙවත් තිබුනේ නැහැ

      [ඔබේ පියාට මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා 1979 පෙර හමුවුවානම් ද නැතිනම් එයත් බොරුවක් ]

      ඔබත් පියා සේම බොරු බේගල් කියමින් බ්ලොග් කියවන් නන් රැවට්වනවා .නමුත් ඇත්ත එය නොවේ ...

      දැන් ඔබත් කුජිත වි අවසානයි !!!! ..... අහෝ දුකකි !


      Delete
  4. State debtors 9702 Milions Or 9702 Bilions

    ReplyDelete
    Replies
    1. You are correct, Sanath! It's my mistake. Thank you for pointing this out.

      Delete
  5. State debtors 9702 Milions Or 9702 Bilions

    ReplyDelete
  6. රට පාලනය කරන අයටත් තියෙනෙන් සිම්පල් ප්ලෑන් වගේනේ. ඒ ගොල්ලොත් හදන්නේ නය රෝල් කරන්න. එක හින්ද තමයි සමහර වෙලාවට නයට සල්ලි අරන් හදපු දෙයින් ලාභයක් නැත්නම් ඒක විකුනන්නේ නැතිව මොනවා කරන්නද කියන අදහස එන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.