Thursday, August 10, 2017

මොන රෙද්දක්වත් නැතුව...


පසුගිය කාලයේ ඉකොනොමැට්ටා විසින් බ්ලොග් වල ලිපි පළ කර ඇති ආකාරය නිරීක්ෂණය කළ විට එහි කිසියම් රටාවක් දැකිය හැකිය. ඉකොනොමැට්ටා විසින් ටික කාලයක් දිනපතාම වාගේ බ්ලොග් ලිපි පළ කරයි. සමහර දවස් වල ලිපි දෙකක් අතර පරතරය පැය 24කටත් අඩුය. සමහර විට, මෙසේ ටික දවසක් ෆෙස්ටිවල් දමා ලිපි පළ කිරීමෙන් පසුව දවස් ගානක් යන තුරු ඉකොනොමැට්ටාගේ සද්දයක්වත් නැත.

අවුරුද්දකට පමණ කලින් ඉකොනොමැට්ටා බ්ලොග් යාවත්කාලීන කර ඇත්තේ මීට වඩා ක්‍රමවත් රටාවකය. පත්තරයක් එළියට දානවා හෝ ටෙලි නාට්‍යයක් විකාශනය කරනවාක් මෙන් පිළිවෙලකට සතියේ නිශ්චිත දවස් තුනක නියමිත වෙලාවක ඉකොනොමැට්ටා විසින් බ්ලොග් යාවත්කාලීන කළ කාලයක්ද තිබුණේය. එහෙත්, ඒ ඉතා ටික කාලයකි.

ඇත්තටම කියනවානම් මුල සිටම ඉකොනොමැට්ටා බ්ලොග් ලිපි ලිවුවේ දැන් ලියන ආකාරයටමය. ඒ කියන්නේ, වෙලාවක් ලැබුණු විට ලිපි ගණනාවක් ලිවීමත්, වැඩ වැඩි වූ විට කිසිවක් නොලියා දවස් ගණනක් සිටීමත් මුල සිටම කළ දෙයක් බවය. එහෙත්, සමහර කාල වලදී මෙය පාඨකයින්ට නොතේරුනේ ලිපි පළකලේ ලියන රටාව අනුවම නොවූ බැවිනි. 

ඉහත කී ආකාරයෙන් පිළිවෙලකට ලිපි පළ කරන කාලයේ ඉකොනොමැට්ටා විසින් කළේ ලියන ලිපි ඉදිරි දිනයක පළවන පරිදි පෝලිම්ගත කර තැබීමයි. ඒ නිසා, බොහෝ විට ලියා අවසන් කළ ලිපි තුන හතරක් හෝ ඇතැම් විට හත අටක් ඉදිරියට පළවන්නට නියමිතව පෝලිමේ තිබුණේය. සංචිතයේ ලිපි ප්‍රමාණය අඩු වන විට ඉකොනොමැට්ටා එයට එකවර ලිපි ගණනක් එකතු කළේය.

මේ කියන කාලයේ ඉකොනොමැට්ටාගේ පාඨකයින් වැඩි දෙනෙක් මෙහි පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර් හා බ්ලොග් රෝල් හරහාය. එවැනි තත්ත්වයක් යටතේ පිළිවෙලකට ලිපි පළකිරීමේ කිසියම් උපාය මාර්ගික වාසියක් තිබුණේය. කාලයක් ලිපි පළ නොකරන විට සින්ඩිකේටර් වල හා බ්ලොග් රෝල් වල ඉකොනොමැට්ටාගේ බොජුන්හල පහළට ගොස් නොපෙනී යයි. අනෙක් අතට, එක ළඟ ලිපි දෙකක් පළ කළ විට පළමුවැන්න වෙනුවට දෙවැන්න ආදේශ වන නිසා පළමුවැන්න පාඨකයින්ට මඟ හැරේ. ඒ නිසා, හොඳම උපාය මාර්ගය වූයේ දින 2-3කට වරක් ලිපියක් පළ කිරීමයි.

කෙසේ වුවත්, මේ වන විට ඉහත තත්ත්වය වෙනස් වී තිබේ. දැන් වැඩි දෙනෙකු මෙහි පැමිණෙන්නේ වත්පොත හෝ ගූගල් හරහාය. එසේ පැමිණෙන බොහෝ අය ලිපි එක දිගට පළවන විට අලුත් ලිපි ඇත්දැයි බැලීමට නැවත නැවත මෙහි පැමිණෙති. ලිපි පළ නොවන විට නොපැමිණෙති. මෙහි පළවන ලිපි කියවන්නට කිසියම් අයුරකින් "ඇබ්බැහි වී" සිටින අයට ඉකොනොමැට්ටාගේ අපිළිවෙළ රටාව බාධාවක් වුවත්, ඔවුන් වැඩි දෙනෙක් මෙහි අලුත් ලිපියක් පළවූ විට පසුව හෝ එය කියවති. ඇත්තටම කියනවානම් ඉකොනොමැට්ටාගේ බොහෝ ලිපි ලියූ වහාම කියවිය යුතු ඒවා නොවේ. ඇතැම් ලිපි වල කරුණු වසර කිහිපයකට පසුව කියවූවද ප්‍රශ්නයක් නැති ආකාරයේ ඒවාය. ඒ නිසා, ටික කාලයක සිට ඉකොනොමැට්ටා විසින් කරන්නේ ලියා අවසන් වූ වහාම ලිපි මෙහි පළ කිරීමයි. ලිපි ලියන්නේ ෆෙස්ටිවල් රටාවට නිසා ඒවා පළවන්නේද ෆෙස්ටිවල් රටාවටය.

මේ ෆෙස්ටිවල් රටාව ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකට පමණක් සීමා වුවක් නොවේ. දැන් අමාරුවෙන් තරමක් දුරට වෙනස් කරගෙන සිටියත්, ඉකොනොමැට්ටා කුඩා කාලයේ සිටම වැඩ කළේ මේ ෆෙස්ටිවල් රටාවටය. පාසැල් කාලයේ සාමාන්‍යයෙන් විභාග වලින් හොඳ ප්‍රතිඵල ලැබුණත් එය එසේ වුණේ දිනපතා පිළිවෙලකට එදිනෙදා කළ යුතු වැඩ කොටස කිරීම නිසා නොව විභාගය අත ළඟට පැමිණි විට එක දිගට දින ගණනක් ෆෙස්ටිවල් දමා විභාගයට සූදානම් වීම නිසාය. 

ඉකොනොමැට්ටා ප්‍රථම උපාධිය හදාරන කාලයේ අනුගමනය කළේත් මේ ෆෙස්ටිවල් රටාවමය. ඒ අනුව, වසර පුරා අනෙක් සියළු වැඩ කරමින් සිට විභාග වෙනුවෙන් වැඩ කරන්නට පටන් ගත්තේ අධ්‍යයන නිවාඩු ලැබුණු පසුවය. අධ්‍යයන වැඩ වලට අමතරව අනෙක් පෞද්ගලික කටයුතු කළේද මේ විදිහටමය. හොඳම උදාහරණය ඉකොනොමැට්ටා පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර වල ජීවත් වෙද්දී රෙදි සේදූ ආකාරයයි.

ඒ කාලයේදීත් අපි අනිත් අයගේ රෙදි සේදුවේ නැතිවාක් මෙන්ම අපේ රෙදි සෝදන්නට වෙනත් අය සිටියේද නැත. අද මෙන්ම එදාත් අප කළේ අපේ රෙදි අපිම සෝදා ගැනීමයි. හැබැයි ඉතින් මේ වැඩේ කළේත් අර පෙර කී ෆෙස්ටිවල් රටාවටමය. 

අඳින්නට සේදූ ඇඳුම් තිබෙන තාක් රෙදි සේදීම පස්සට යයි. අන්තිමේදී ෆෙස්ටිවල් දමා රෙදි හෝදන්නට අතගහන්නේ එළියට බහින්නට සේදූ ඇඳුමක් නැති වන තැනටම වැටුණු පසුවය.

ඔහොම කිවුවාට සේදූ රෙදි නැත්තටම නැති වී ගියාමත් නොවේ. 

එදා මෙන්ම අදත් ඉකොනොමැට්ටා ඇඳුම් ගැන ලොකු සැලකිල්ලක් නැත. දැන් ජීවත් වන රටේත්, කරන රැකියාවේත් ඉකොනොමැට්ටාට ඇති එක් විශේෂ වාසියක් වන්නේ මොන රෙද්දක් ඇඳගෙන ගියත් ප්‍රශ්නයක් නැති වීමයි. 

මෙයින් අදහස් වන්නේ ඉකොනොමැට්ටා ඕනෑම රෙද්දක් ඇඳගෙන වැඩට යන්නට නොපැකිළෙන බව නොවේ. ලොකු තේරීම් නොකළත් ඉකොනොමැට්ටාට ඇඳුම් පිළිබඳ රුචිකත්වයන් තිබේ. ඒ නිසා ප්‍රායෝගිකව සිදුවන්නේ කොයි තරම් ඇඳුම් තිබුණත් බොහෝ විට ඇඳෙන්නේ වඩා කැමති ඇඳුම් කිහිපයෙන් එකක් වීමයි. ඉතිරි ඇඳුම් බොහෝ විට ඔහේ පැත්තක තිබේ.

සරසවියේ හිටි කාලයේ ඉකොනොමැට්ටාට අද තරම් ඇඳුම් නොතිබුණත්, ඒ කාලයේදීත් අඳින්නට එතරම් ප්‍රිය නොකළ ඇඳුම් තිබුණේය. කොහොමටත් ඉතින් අඳිනවා කියා ඕනෑම රෙද්දක් අඳින්නට නුපුළුවන. ඒ නිසා, ඇත්තටම වුනේ මෙසේ අඳින්නට අකමැති ඇඳුම හෝ දෙක අඳින තැනට වැටෙන තෙක් ඉකොනොමැට්ටාගේ රෙදි සේදීම ප්‍රමාද වීමයි.

මේ කියන කාලයේදී අප නැවතී සිටියේ පේරාදෙණිය සරසවියේ ජේම්ස් පීරිස් ශාලාවේ දෙවන මහලේ කාමරයකය. නැවතී සිටියේ කියා කිවුවත් ගෙදර ගියේ මාසයකට වරක් පමණ බැවින් ජීවත්ව සිටියේ කියා කීම වඩා නිවැරදිය. ඒ නිසා, රෙදි සෝදා ගැනීම හා වේලා ගැනීම වැනි දේ කරන්නට වුනේ ඕක ඇතුළේමය.

පිටතින් දකින අයෙකුට අසුන්දර දසුනක් විය හැකි වුවත්, නේවාසිකාර කාමරයේ සඳලුතල කොටස ඇතුළේ වැලක් අදින්නට කාටවත් තහනමක් නොතිබුණේය. වැලක් කිවුවේ රෙදි වැලක් ගැනය. ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා සෝදන රෙදි වනන්නට මේ නේවාසිකාගාර කාමරයේ සඳළුතලයේ ගැට ගසා තිබුණු රෙදි වැලද ප්‍රමාණවත් නොවූ අතර, බොහෝ විට එහි කොට බිත්තිය දිගේද රෙදි ඇතිරුණේය. මෙසේ වනන රෙදි වේලෙන්නට දිනක් හෝ දෙකක් ගත වෙයි.

මේ කියන දවසේත් ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා වැල මෙන්ම කොට බිත්තියද පිරෙන්නට රෙදි අතුරා තිබුණු දවසකි. රාත්‍රියේ රෙදි සෝදා වැනීමෙන් පසුව උදේ පාන්දර සඳළුතලයට පිවිසි ඉකොනොමැට්ටාගේ ඇස ගැටුණේ ඉතා සුන්දර දසුනකි. රාත්‍රියේ වැලේ හා බිත්තිය මත වැනූ රෙදි කිසිවකුත් එහි නැත!

මේ හොරා විසින් කලිසම් කමිස පමණක් නොව අඩු වශයෙන් යට ඇඳුම්වත් ඉතිරි කර නොතිබුණේය. ඉකොනොමැට්ටාගේ සරම් කිහිපයෙන් ඉතිරිව තිබුණේ ඇඳගෙන සිටි සරම පමණි. ෆෙස්ටිවල් දමන සමහර දිනවල තුවායක් ඇඳගෙන අන්තිම සරමත් හෝදන නමුත් හොඳ වෙලාවට එදා එසේ කර නොතිබුණු නිසා ඒ සරම හෝ ඉතිරි විය. නැත්නම්, ඉතිරි වන්නේ තුවාය පමණි.

ඉකොනොමැට්ටාට සිදු වූ ඉහත අකරතැබ්බය ඒ දවස් වල පේරාදෙණියේ නේවාසිකාගාර කිහිපයකම ජීවත් වූ සිසුන් ගණනාවක් විසින්ම මුහුණ දුන් අකරතැබ්බයකි. කිසියම් පුද්ගලයෙක් විසින් හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් ඒ කාලයේ පේරාදෙණියේ නේවාසිකාගාර වල සිසුන්ගේ රෙදි හොරකම් කිරීම වාර ගණනක් දිගින් දිගටම සිදු විය. මෙය සිදු වුනේ හිතාගන්නටවත් අමාරු ආකාරයකිනි. 

පේරාදෙණිය සරසවිය කියන්නේ අද මෙන්ම එදාත් "මුදා නොගත්" භූමියකි. මෙහි පැමිණ රෙදි හොරකම් කරන්නට සිතන අයෙකු විසින් ගන්නේ සුළුපටු අවදානමක් නොවේ. යම් හෙයකින් මේ හොරකම කරන්නට ගොස් මාට්ටු වුනේනම් රටේ නීතිය ක්‍රියාත්මක වන්නට පෙර කැම්පස් නීතිය ක්‍රියාත්මක වන අතර, සිසුන් සිටි මානසික තත්ත්වය අනුව, හොරාගේ වෘෂණ කෝෂ දෙකවත් ඉතිරි නොවන බව ඉඳුරාම කිව හැකිය. ඒ දවස්වල එසේ හොරා මාට්ටු වූයේනම් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉකොනොමැට්ටාද පෝලිමේ ඉදිරියෙන්ම සිටිය හැකිව තිබුණේය.

කොහොම වුවත් හොරා අහුවුනේ නැත.

ඉකොනොමැට්ටාගේ රෙදි නැති වන විටත් අවස්ථා ගණනාවක මෙවැනි හොරකම් සිදුවී තිබුණු බව ඉකොනොමැට්ටා දැන සිටියේය. එහෙත්, ඒ එක්කෝ පළමු මහලේ කාමරයකය. එසේ නැත්නම්, දෙවන මහලේ එක් අන්තයකට වන්නට තිබුණු කාමරයකය. ඉකොනොමැට්ටාගේ කාමරය තිබුණේ දෙවන මහලේ මැද හරියේ නිසා හොරෙකුට එහි ළඟා විය හැකි බවක් පෙනෙන්නට නොතිබුණේය. රෙදි වැනීමේදී එතරම් සැලකිලිමත් නොවුණේ ඒ නිසාය. 

එහෙත්, ඉකොනොමැට්ටාගේ රෙදි නැති විය. හොරා අහුවුනේ නැත.

රෙදි නැති වූ පසු ඉකොනොමැට්ටාට සමාජයට මුහුණ දෙන්නට සිදු වූ අපහසුව මෙහි විස්තර කරන්නට යන්නේ නැත. කෙටියෙන් කියන්නට තියෙන්නේ අඳින්නට රෙද්දක්වත් නැති වූ විට පත්වන අසරණ භාවය ගැන ඉකොනොමැට්ටාට පළමෝත අත්දැකීම් ඇති බවයි. ඉන්පසු ඔලුව උස්සන එක ලේසි නැත. කාට වුවත් ඒක එහෙමය.

මෙසේ රෙදි නැති වුනේ ඉකොනොමැට්ටාගේ පමණක් නොවේ. තවත් සිසුන් ගණනකට මේ අකරතැබ්බයට මුහුණ පාන්නට සිදු වූ අතර සමස්තයක් ලෙස සියළුම සිසුන්ට තමන්ගේ රෙදි පරිස්සම් කර ගැනීම ගැන නිබඳ සිතන්නට සිදු විය. සිසුහු  කණ්ඩායමක් ලෙස සාමූහිකව කාල වේලා වෙන් කරගෙන රෙදි හොරා අල්ලන්නට නිදි වැරීම පවා කළත් හොරා අහු වුණේ නැත. 

ඇස් පනා පිටම වාගේ රෙදි හොරකම දිගටම සිදු වුණේය. හොරාව අල්ලන්නට සිසුහු මහන්සි වූහ. එහෙත් හොරා අහු වුනේ නැත. හොරකම දිගටම සිදු වුණේය. හොරෙක් නැතුව හොරකමක් සිදු විය නොහැකි වුවත් හොරා අහු වුණේ නැත. 

තත්ත්වය මෙසේ තිබියදීම අධ්‍යයන වර්ෂය අවසන් වූ අතර ඉකොනොමැට්ටාගේ ඊළඟ නවාතැන වූයේ ජයතිලක ශාලාවයි. මේ ශාලාව පිහිටියේ විද්‍යා පීඨය ඉදිරිපිටය.

පේරාදෙණිය සරසවිය ලංකාවේ රජයේ සරසවි අතරින් වැඩිම නේවාසිකාගාර පහසුකම් ඇති සරසවිය ලෙස සැලකිය හැකි වුවත්, එහිද කාමර පහසුකම් සැපයුම ඉල්ලුමට වඩා බොහෝ අඩුය. ඒ නිසා, තමන් කැමති නේවාසිකාගාරයක කාමරයක් ලබාගැනීම පහසු කටයුත්තක් නොවේ. 

ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා විසින් ඉංජිනේරු පීඨ සිසුවෙකුට ජයතිලක ශාලාවේ කාමරයක් වෙන් කිරීමට දැක්වූයේ ඉතා අඩු උනන්දුවකි. ඔහුගේ තර්කානුකූල තීරණයට හේතුව වූයේ ජයතිලක ශාලාව ඉංජිනේරු පීඨයට ඈතින් පිහිටීම හා ඉංජිනේරු පීඨයට ආසන්නව අක්බාර්-නෙල් ශාලාව තිබීමයි. ඒ නිසා, ජයතිලක නේවාසිකාගාරයේ කාමර ලබා දීමේදී ප්‍රමුඛතාවය ලැබුනේ එයට ආසන්නව පිහිටි විද්‍යා පීඨයේ සිසුන්ට හා වෛද්‍ය, දන්ත වෛද්‍ය, කෘෂි විද්‍යා වැනි පීඨ වල සිසුන්ටය.

තමන්ගේ පීඨයට ආසන්නව පිහිටි නේවාසිකාගාරයක නවාතැන් ගැනීම බොහෝ සිසුන්ගේ කැමැත්ත වුවත් වෙනත් ප්‍රමුඛතා ඇති සිසුහු ඕනෑ තරම් සිටිති. එහෙත්, පේරාදෙණි ශිෂ්‍ය නේවාසිකාගාර වලට සිසුන් අනුයුක්ත කිරීම භාරව සිටි නිලධාරියා, මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන වෙනත් බොහෝ අය මෙන්ම, සිතා සිටියේ එක් එක් සිසුවාට හොඳම නේවාසිකාගාරය කුමක්ද කියා ඔවුන්ට වඩා හොඳින් ඔහු දන්නා බවයි. මෙය ක්‍රමයේ ප්‍රශ්නයක් මිස ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ.

මධ්‍යගත සැලසුම් වලින් පාරිභෝගික ඉල්ලුම නිසි පරිදි නොසැපිරෙන විට තමන්ගේ ප්‍රමුඛ තේරීම ලබා ගැනීම සඳහා පාරිභෝගිකයෝ තමන්ට හැකි දේ කරති. ජනප්‍රිය පාසැල් වලට දරුවන් ඇතුළු කර ගැනීම සඳහා දෙමවුපියන් විසින් දරන විවිධ ප්‍රයත්නයන් උදාහරණ වේ.

ඉකොනොමැට්ටා ඇතුළු ඉංජිනේරු පීඨයේ සුළුතර සිසු පිරිසකට අවසන් අධ්‍යයන වසර අරුණාචලම් හෝ ජයතිලක ශාලා දෙකෙන් එකක නේවාසිකව සිටින්නට අවශ්‍යව තිබුනේය. එහෙත්, ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා දැඩි ලෙස කියා සිටියේ එම නේවාසිකාගාර වල දැනට පුරප්පාඩු කිසිවක් නැති බවයි. පෙර වසරේ ජේම්ස් පීරිස් ශාලාව ඉල්ලා සිටි විට අපට ලැබුණේද මෙවැනිම පිළිතුරකි. ඒ නිසා, අපි දෙවන වසරේ සිටියදී සිටම මේ නිලධාරියා සමඟ ගනුදෙනු කර සාර්ථක වූ උපක්‍රමය නැවත වරක් යොදා ගත්තෙමු.

අපේ බලකිරීම නිසාත්, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් වූ (හා ඒ නිසාම මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්ද වූ) සිසුන් අපේ කණ්ඩායමේ සිටීමත් නිසා අදාළ නේවාසිකාගාර වල ඇති කාමර ගණන් හා එක් එක් පීඨ වලට අයත් සිසුන් ගණන් පිළිබඳ සංඛ්‍යාලේඛණ අපට මේ නිලධාරියාගෙන් ලබා ගත හැකි විය. මේ කටයුත්ත අප දැන් මෙසේ කරන්නේ තෙවන වරටය. පෙර දෙවසරේදීමත් අප මෙය මෙලෙසම කළෙමු. මේ උපක්‍රමය මඟින්, සාමාන්‍යයෙන් නේවාසිකාගාර පහසුකම් නොලැබෙන දෙවන වසරේදීද අපට නේවාසිකාගාර පහසුකම් ලබාගත හැකි විය.

පෙර පළපුරුද්ද නිසා, අදාළ ශාලා වල නේවාසිකව සිටින එක් එක් පීඨ වලට අයත් සිසුන්ගේ එකතුවත්, නේවාසිකාගාරයක ඇති කාමර ගණන එක් කාමරයක සාමාන්‍යයෙන් සිටින සිසුන් ගණනින් වැඩි කළ විට ලැබෙන ගණනත් අතර වෙනසක් ඇති බව සොයා ගන්නට අපට වැඩි වෙලාවක් ගියේ නැත. ජයතිලක හා අරුණාචලම් ශාලා වල ඇති නීත්‍යානුකූල ලෙස නොපිරවූ කාමර පුරප්පාඩු ගණන අපේ කණ්ඩායමට ප්‍රමාණවත් බව අපට පෙනී ගියේය.

කෙසේ වුවද, අදාළ ශාලා වල මේ පුරප්පාඩු තිබෙන්නේ කුමන කාමර වලද යන්න අදාළ නිලධාරියා නොදන්නා බව ඔහු පවසන්නේ ඇත්තටම බවද මේ වන විට අප දැන සිටි නිසා අප විසින් ඊළඟ පියවර කරා යා යුතුය. මේ පුරප්පාඩු සාමාන්‍යයෙන් තිබෙන්නේ හිස් කාමර වල නොවේ. බොහෝ විට සිදු වන්නේ සහකාර නේවාසිකාගාර පාලක කෙනෙකු විසින් පුරප්පාඩු තුනක් ඇති කාමරයකට දෙදෙනෙකු පමණක් අනුයුක්ත කිරීමයි. එසේ කරන ඔහු කාමරයේ පුරප්පාඩුවක් ඇති බව ශිෂ්‍ය සුබසාධන නිලධාරියාට දැනුම් නොදී සිටියි. එවැනි දැනුම් දීමක් නොලැබෙන තාක් සුබසාධන අංශයේ දත්ත අනුව නේවාසිකාගාර වල පුරප්පාඩු නැත.

සහකාර නේවාසිකාගාර පාලකවරුන් විසින් මෙසේ කිරීමට හේතුවක් තිබුණේය. ඒ මේ කාමර වල ඇත්තටම කිසියම් සිසුවෙක් හෝ සිසු පිරිසක් ජීවත් වීමයි. එහෙත්, ඒ නීත්‍යානුකූල ලෙස නොවේ. එවැන්නෙක් එක්කෝ ශිෂ්‍ය දේශපාලනය හෝ වෙනත් කිසියම් පක්ෂයක දේශපාලනය කරමින් වසර ගණනක් තිස්සේ සරසවි ඇතුළේම ජීවත් වන අයෙකි. එසේ නැත්නම්, දේශපාලනය නොවන වෙනත් හේතු මත විභාග දිගින් දිගටම අසමත් වුවත් සරසවිය ඇතුළේම රැඳී සිටින අයෙකි. 

මේ කාණ්ඩ දෙකෙන් කවරකට අයත් වුවත් බොහෝ විට මෙවැනි සිසුවකු ජනප්‍රිය සිසුවෙකු වූ අතර සාමාන්‍යයෙන් කා සමඟත් හොඳින් සිටි අයෙකි. කෙසේ වුවත්, මෙවැන්නෙකු සිටින තැනක් අධ්‍යයන කටයුතු සඳහා සුදුසු තැනක් හෝ පෞද්ගලිකත්වයක් ඇති තැනක් නොවීය. ඒ නිසා, අවස්ථාවක් ලැබුණත් එවැනි කාමරයක සිටින්නට බොහෝ සිසුන් කැමති නොවුණේය. එවැනි විටක එවැනි කාමරයකට අනුයුක්ත කරනු ලබන සිසුවකු බොහෝ විට සහකාර නේවාසිකාගාර පාලක හමු වී වෙනත් කාමරයක් ඉල්ලා සිටී. මෙය දිගින් දිගටම සිදුවන විට එවැනි පුරප්පාඩුවක් නොපුරවා ප්‍රශ්නයෙන් බේරීමට සහකාර නේවාසිකාගාර පාලකවරු පෙළඹුණෝය.

මෙයට තවත් හේතුවක් තිබුණේය. මේ සහකාර නේවාසිකාගාර පාලකවරු බොහෝ විට වසර දෙක තුනකට පෙර උපාධිය ලබාගත් අයයි. ඒ නිසා, ඉහත කී ලෙස නේවාසිකාගාර කාමර වල නීත්‍යානුකූල නොවන ලෙස පැලපදියම් වී සිටි අය ඇතැම් විට ඔවුන්ගේ බැචාලාය. එසේ නැත්නම් යාලුවෝ හෝ ඇතැම් විට සීනියර්ස්ලාය. ඒ නිසා, මේ සහකාර නේවාසිකාගාර පාලකවරුන්ට එවැනි අයෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට උවමනාවක් හෝ ඇතැම්විට ප්‍රායෝගික හැකියාවක් හෝ නොතිබුණේය. නේවාසිකාගාර පාලකවරු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වුවත් ඔවුන් විසින් දැරුවේ නාමික තනතුරකි. නේවාසිකාගාර පරිපාලනය සිදුවුනේ ඉහත කී සහකාර නේවාසිකාගාර පාලකවරුන් අතිනි.

දැන් මේ පුරප්පාඩු තිබෙන කාමර සොයා ගැනීම පහසු දෙයක් නොවේ. ඒ සඳහා කාමරයෙන් කාමරයට තට්ටු කර එහි සිටින සිසුන් සමඟ සෘජුව හෝ වක්‍රව කතා කර කරුණු දැනගත යුතුය. මේ අසීරු කාර්යය හරහා එවැනි පුරප්පාඩු ඇති කාමර හඳුනා ගැනීමෙන් පසුව සහකාර නේවාසිකාගාර පාලක හමු වී එම කාමර වල නීත්‍යනුකූලව සිටින සිසුන් ගැන තොරතුරු විමසා සිටිය යුතුය. ඔහුට එවැනි පැහැදිලි කිරීමක් කළ නොහැකිනම් කාමරයේ පුරප්පාඩුවක් ඇති බව පිළිගන්නට සිදුවන අතර ඒ බව තහවුරු කර අදාළ තොරතුරු ශිෂ්‍ය සුබසාධන අංශයට යවන මෙන් ඔහුට බල කරන්නට පුළුවන. එසේ කිරීමෙන් පසුවද ප්‍රමුඛතාවය මත අදාළ කාමර වෙනත් අයෙකුට ලැබෙන්නට ඉඩ තිබෙන නිසා එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද කලින්ම ගත යුතුය. අවුරුදු තුනක්ම අපට අවශ්‍ය තැන් වලින් අප කාමර සොයා ගත්තේ මේ සෙල්ලම කිරීමෙනි.

මෙසේ අමාරුවෙන් කාමරයක් ලබාගත්තත් මෙවැනි කාමරයක ජීවත් වීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මෙවැනි ඇතැම් කාමරයක, නීත්‍යානුකූල ලෙස නොවූවත්, සිසුහු හතර පස් දෙනෙක්ම සිටියහ. එවැනි තැනක ජීවත් වීම මාර ඇණයක් බව කියන්නට අවශ්‍ය නැත. පසුව වෙනත් කාමරයක් ඉල්ලාගෙන පැමිණියාට ඔහුට කරන්න දෙයක් නැති බව සහකාර නේවාසිකාගාර පාලක විසින් කලින්ම අවවාද කර තිබෙන නිසා ලබාගත් කාමරයෙන්ම ගොඩ යා යුතුය. ටික කාලයක් උත්සාහ කිරීමෙන් පසුව අන්‍යෝන්‍ය හුවමාරු වලට සිසුන් කැමති කරගෙන තැන් තැන් වල කාමර වල වෙනත් අය සමඟ සිටින අපේ කණ්ඩායමට නැවත එකතු වන්නට පුළුවන. එහෙත්, මෙය පහසු වැඩක් නොවේ. බොහෝ විට මෙවැනි කාමර වලදී හමුවන සිසුන් අපට වඩා දරාගැනීමේ ශක්තියක් ඇති ඇම්ඩන්ලා නිසා ඔවුන්ට කාමරය මාරු කිරීමට පෙළඹවීම පහසු නැත. 

හතරවන වසර මුලදී ජයතිලක ශාලාවෙන් හොයා ගත් කාමරයද මේ ජාතියේ කාමරයකි. පළමු මහලේ කැන්ටිම කිට්ටුව තිබුණු මේ කාමරය විද්‍යා පීඨයේ පොදු කාමරයක් වැනිය. වසර හත අටක සිටම සරසවියේ ඉගෙනුම ලබා තිබුණු, බොහෝ විට උපාධි පාඨමාලාව සම්පූර්ණ නොකළ, සිසුන්ගේ සටහන් පොත් මෙන්ම ඇඳුම් පවා මේ කාමරයේ නිරුපද්‍රිතව තිබුණේය. උපාධිය සම්පූර්ණ කර රැකියා විරහිතව සිටි, පෙම්වතිය සරසවි සිසුවියක වීම නිසාත් වෙනත් කරන්නට දෙයක් නැති නිසාත් සරසවිය ආශ්‍රිතවම සිටි සිසුන්ද මේ අතර වූහ. මෙවැනි කාමරයක ජීවත් වෙද්දී දත් බුරුසුව පවා පොදු දේපොළක් වන්නට පුළුවන. අනිත් ඒවා ගැනනම් කියන්නත් දෙයක් නැත.

විද්‍යා පීඨයේ සිසුන් ගණනාවක් ළඟ මේ ජයතිලක කාමරයේ යතුරු තිබුණු නිසා කාමරය වසා තිබීම තේරුමක් නැති දෙයකි. අනෙක් අතට සමහර සිසුන් හා ආදි සිසුන් උදේම කාමරයට පැමිණ කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කාමරයේ ඇති සබන් කෑල්ලක් ගෙන වොෂ් එකක් දමාගෙන, කොණ්ඩය පීරා, ගමන් මල්ලක් එහි දමා පෙම්වතිය බලන්නට යන්නේ නැවත පැමිණෙන විට දොර අගුළු නොදමා තබන මෙන් ඉල්ලීමක් කරමිනි. කොහේ හෝ ගොස් කාමරයට ආපසු එන්නට වැඩිපුර පරක්කු වුනොත්, එන කොට ඇඳේ කවුරු හෝ නිදාගෙනය. අල්ලපු ඇඳේ නිදා සිටින්නේ කලින් දැක නැති අයෙකු බව ඇතැම් විට දැනගන්නට ලැබෙන්නේ උදේ නැගිටින විටය. 

මේ තරම් ජනාකීර්ණ කාමරයටත් රෙදි හොරා ආවේය. ඒ වන විට ඉකොනොමැට්ටාගේ රෙදි වරක් නැති වී තිබුණු නිසාත්, මේ දෙවන දිනය ඉකොනොමැට්ටා විසින් ෆෙස්ටිවල් දමා රෙදි සෝදා තිබුණු දවසක් නොවූ නිසාත් එවර ඉකොනොමැට්ටාගේ රෙදි නැති නොවුණත්, රෙදි පමණක් නොව බයිසිකලයක් හා ගණක යන්ත්‍රයක් ඇතුළු කාමරයේ සිටි වෙනත් සිසුන්ගේ බඩු රැසක් එවර අතුරුදහන් විය. නැති වුනු බයිසිකලය මුලින්ම කෘෂි විද්‍යා සිසුවෙකුට අයිතිව තිබී කාමරයට උරුමයෙන් හිමිව තිබුණු අයිතිකරුවකු නොසිටි පොදු දේපොලක් විය. හොරා එවර කාමරය ඇතුළටම පැමිණ තිබුණේය. කාමරයේ සිසුහුද නිදා සිටියහ. එහෙත්, හොරා අහු වුණේ නැත.

මෙසේ ජයතිලක ශාලාවේ (කාමරය මාරු කර වෙනත් කාමරයක) සිටියදී පසුව අසන්නට ලැබුණේ පොලීසියට රෙදි හොරාව කොටු වී සිටින බවයි. එහෙත් ඒ පොලීසිය රෙදි හොරකම අල්ලන්නට සිදුකළ විමර්ශනයක් හේතුවෙන් නොව, වෙනත් වරදකට අත්අඩංගුවට ගෙන තිබුණු අයෙකු පාපෝච්චාරණය කිරීම හේතුවෙනි. අනෙක් අතට ඉකොනොමැට්ටා ඇතුළු රෙදි නැති කරගත් කිසිදු සරසවි සිසුවකු විසින් පොලීසියට පැමිණිලි කර නොතිබුණු බැවින් එවැනි විමර්ශනයක් කිරීම සඳහා පොලීසියට හේතුවක්ද නොතිබුණේය.

පොලීසිය විසින් හොරකම් කළ රෙදි සොයාගැනීමෙන් පසුව, හොරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රෙදි නැති වූ සරසවි සිසුන්ට පොලීසියට පැමිණ පැමිණිල්ලක් දමන මෙන් මහනුවර ආසන්නව ජීවත් වූ සිසුවෙකු අතේ පොලීසියෙන් පණිවුඩයක් එවා තිබුණත් දන්නා තරමින් කිසිවකු ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා, පොලීසියට රෙදි හොරාට විරුද්ධව චෝදනා ගොනු කරන්නට නොහැකි වූවා විය හැකිය. ඒ නිසා, හොරා නීතිය ඉදිරියේ වරදකරුවකු නොවූවා වන්නටද පුළුවන.

ලංකාවේ විවිධ ආකාරයේ හොරකම් විවිධ මට්ටම් වලදී සිදුවේ. හොරෙක් කියන්නේ මූලික වශයෙන් දේපොළ අයිතිවාසිකම් ගරු නොකරන්නෙකි. වෙනත් රටවලද හොරු සිටිති. අඩුම වශයෙන් ඇමරිකාව හා ලංකාව ගැන මගේ පෞද්ගලික සංසන්දනාත්මක අත්දැකීම වන්නේ ලංකාවේ ජීවත් වන්නේනම් හැම මොහොතේම හොරු ගැන ඇස ගසාගෙන සිටින්නට වන බවයි. සුදු රෙදි හොරු හා සිවුරු හොරු පමණක් නොව තවත් විවිධ වර්ග වල ආවේණික හොරුන්ගෙන් ලංකාව ස්වයංපෝෂිතය. ඇමරිකාවේත් හොරකම් සිදුවුවත්, මෙහි ජීවත් වීමේදී ලංකාවේදී මෙන් හැම මොහොතකම හොරු ගැන සිතමින් පරීක්ෂාවෙන් සිටීම අවශ්‍ය නැත.

හොරකම් නිසා මිනිස්සු විශාල ලෙස පීඩාවට පත් වෙති. ඉකොනොමැට්ටාගේ රෙදි නැති වූ දිනයේ ඉකොනොමැට්ටා පත් වූ අසරණ භාවය මෙන්ම ඉන් පසුව මුහුණ දුන් එවැනි අවස්ථා ගණනාවක සිටි මානසිකත්වය ඉකොනොමැට්ටාට අමතක නැත. හොරකමක් සිදුවී කාලයක් ගත වූ පසු හොරා අල්ලාගෙන දඬුවම් දීමෙන් හැම විටම වින්දිතයාගේ හානිය පූරණය වන්නේ නැත. රෙදි හොරාට එරෙහිව ඉකොනොමැට්ටා පොලීසියට පැමිණිලි කළේනම් දින ගාණක් උසාවියේ රස්තියාදු වීමෙන් පසුව ඉකොනොමැට්ටාට නැති වූ ඇඳුම් ටික ලබාගත හැකිවන්නට ඉඩ තිබුණේය. එහෙත්, ඒ වන විට ඉකොනොමැට්ටා රෙදි නැති වීමේ හානිය විඳ, ප්‍රශ්නයට මුහුණ දී එය විසඳාගෙන අවසන්ය. ඒ වන විට, පරණ රෙදි වලින් ඉකොනොමැට්ටාට වැඩක් නොතිබුණේය. 

නීතිය ක්‍රියාත්මක කිරීම මඟින් හොරකම් යම් තරමකට පාලනය කළ හැකි වුවත් මිනිසුන්ට හොරකම් කිරීමට ඇති ස්වභාවික පෙළඹුම කාලයත් සමඟ පරිණාමය වීමෙන්ම අඩු විය යුත්තකි. මිනිසුන් අනෙක් අයගේ දේපොළ අයිතිවාසිකම් වලට ගරු කරන්නට පුරුදු වන තරමට හොරකම් කරන්නට ඇති ස්වභාවික පෙළඹුමද අඩු වේ. හොරකම් අඩුවීමත්, දේපොළ අයිතිවාසිකම් ගැන ඇති සැලකිල්ල වැඩි වීමත් රටකට ඉදිරියට යන්නට උදවු වේ.

(Image: https://www.rodalesorganiclife.com/home/organic-way-dry-your-clothes)

31 comments:

  1. හිත අතීතයට ගියා. මා නම් ජයතිලක හෝ අරූ වැනි හෝල් ඔෆ් රෙසිඩන්ස්වලට කැමැති වුනේ නෑ දුර වැඩි නිසා.

    පළමු වසරේ මුල් ටර්ම් එක මාකස් ඉන්න වුණා. ඉන් පසු තාවකාලික ව්‍යාපෘති සඳහා මිත්තා, නාදන් ගොස් තියෙනවා.

    ගඟෙන් එගොඩ වැඩ එපමණයි.

    ReplyDelete
    Replies
    1. ගඟෙන් එගොඩ ජීවිතය සුන්දරයි.

      Delete
  2. අන්න සුපිරි රෙදි පෝස්ට් එකක්! මගෙත් 99%ක් ම වැඩ ෆෙස්ට්වල් ක්‍රමයට තමයි.. හමුදාවේ හිටි කාලේ අමාරුවෙන් ඒකෙන් මිදිලා හිටියා රෙදි සේදීම වගෙ දේවල් සම්භන්දව.. ඒත් බොහෝ තැන්වලදි තාමත් හයිපරැක්ටිව් වෙන්නේ බිත්තියට කොටු උනාම තමයි.. කොහොමහරි ඇණ ගන්නනැතුව ගොඩ යන නිසා ඒ ක්‍රමේ වෙනස් වෙන්නෙත් නෑ.. :))

    ReplyDelete
    Replies
    1. //අන්න සුපිරි රෙදි පෝස්ට් එකක්!//

      අපේ රෙදි ඔහොම තමයි. හැලපේ වගේ අඩු වියදම් වැඩ නෑ. :)

      Delete
  3. "...හොරකමක් සිදුවී කාලයක් ගත වූ පසු හොරා අල්ලාගෙන දඬුවම් දීමෙන් හැම විටම වින්දිතයාගේ හානිය පූරණය වන්නේ නැත..."

    හොරු අල්ලන්න ආපු කම්බ හොරු හොරකම් කරලා මාට්ටු වුනහම ඔහාමලු කිව්වේ. හැබැයි බැදුම්කර වංචාව වෙද්දී මහා බැංකුව තිබ්බේ අගමැති යටතෙන්. අර අර්ජුනව සුද්ද කරලා වාර්තාව හදපු ලොයර්ලගේ පට්ටම ගලවන්න බැරිද දන්නේ නැහැ විජේදාසට?

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවක් බර වැඩි වී ගිලෙන්න යනවිට මූදට තල්ලු කරන්නේ,
      (a) ගිලෙන්නට ඇත්තටම හේතුවුණු අන්තිමට නැග්ග කෙනා
      (b) ගිලෙන්නට හේතුවුණු බවට පහසුවෙන් චෝදනා කළ හැකි මහත වැඩිම කෙනා
      (c) මුහුදට කිට්ටුව බෝට්ටුව අයිනේම ඉන්න තල්ලු කරන්න පහසු කෙනා

      Delete
  4. හැබැයි මේ හෝදන හෙදිල්ලට දැන්නම් ඉකොනොමට්ටගේ සාලුවත් හේදිලා වගෙයි!

    ReplyDelete
    Replies
    1. ඇයි ෆුල් ඔෆ්ෂන් ලෝන්ඩරියක් දැම්මත් මොකෝ රෝඩියෝ කියලා කියන්න ද ඕනේ

      Delete
    2. ඉකොනොමැට්ටාගේ සාලුව ගලවන්නත් මේ දවස්වල ටීම් එකක් බැහැල වගේ. :)

      Delete
    3. ආයේ අපි මොනවා ගලවන්නද, ඔබතුමාම ඔක්කොම ගලවලා පෙන්නලා තියෙන්නේ... :-)

      Delete
  5. If you want a symbolic gesture, don't burn the flag; wash it.
    - Norman Thomas

    ReplyDelete
  6. එක එක ඒවා හිතෙන පෝස්ට් එකක්.. එළ. හොරා නැති උනත් රෙදි නැති උනත් මැට්ටෙක් ඉන්න එකම මදෑ

    ReplyDelete
    Replies
    1. //එක එක ඒවා හිතෙන පෝස්ට් එකක්//
      මොනවද කියල අහන්නේ නැහැ.

      Delete
  7. උඩුවාත් ලියන්නෙ ඔය වගේ අපිළිවෙලට තමයි.
    පිළිවෙලක් වෙන්න කොච්චර හිතුවත් පිළිවෙලක් වෙන්න බෑ නෙව

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ දැන් උඩුවා පිළිවෙලක් වෙලා කියලයි!

      Delete
  8. මුලින්ම කියන්න තියෙන්නේ මට නම්ෆෙස්ටිවල් දාන්න තරම් ඇඳුම් තිබුනේ නෑ. කලිසම් එකයි ඩෙනිම් එකයි . ටී ෂර්ට් එකයි ෂර්ට් දෙකයි. කලිසම සතියක් අඳිනවා . කමිසය හැමදාම ලෙක්චර්ස් ගිහිල්ලා ඇවිල්ලා හෝදනවා. මාරුවෙන් මාරුවට තමයි කමිස දෙක ඇන්දේ. ඩෙනිම් එක හවසට ජිම් යන්න වගේ තමයි ඇන්දේ ටී ෂර්ට් එකත් එක්ක. ටි ෂර්ට් එක හැමදාන හේදුවා ජිම් ගිහිල්ල ඇවිල්ල නාන ගමන්. ඔය කියන විදියේ හොරු අපේ කාලේ හිටියේ නෑ. විශේෂයෙන් අක්බාර් එකේ. අනෙක මගේ ඇඳුම් වල නම් රී සේල් අගය බිංදුවයි පට්ට ගහපු හැටියට. හොරා දැක්කා නම් උගේ කලිසමක් මට දීලයන සයිස් එකක් තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. //මුලින්ම කියන්න තියෙන්නේ මට නම්ෆෙස්ටිවල් දාන්න තරම් ඇඳුම් තිබුනේ නෑ.//

      ෆෙස්ටිවල් කිවුවට ඔතන ඇඳුම් මහ ගොඩක් නැහැ. ඔය කාමරයක බැල්කනියේ හරහට අදින වැලක දමන්න පුළුවන් ඇඳුම් ගණන හිතාගන්න පුළුවන්නේ. ෆෙස්ටිවල් දාන කතාව මගේ රෙදි හේදිල්ලට ඒ දවස්වල අපේ රූමන්ගේ වචනය. ඩෙනිමක්, සරමක්, ටී ෂර්ට් දෙක තුනක් දමන කොට වැල පිරිලා. බිත්තිය උඩ දැම්මේ අන්ඩර්වෙයා, බැනියම් වගේ පොඩි කෑලි.

      // විශේෂයෙන් අක්බාර් එකේ. //
      අක්බාර් එකටනම් මේ ප්‍රශ්නය තිබුණේ නැහැ.

      //හොරා දැක්කා නම් උගේ කලිසමක් මට දීලයන සයිස් එකක් තිබ්බේ.//
      එහෙම තමයි මමත් හිතාගෙන හිටියේ. ඒ වුනාට අන්ඩර්වෙයා, බැනියම් වගේ ඒවවත් ඉතුරු කරල තිබුණේ නැහැ.

      Delete
  9. ඒ ක්‍රමෙත් මරු අපෙත් වැඩ ඉතින් ඔහොන්මමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයගේ ජනප්‍රිය ක්‍රමයක්!

      Delete
  10. බලාගෙන ගියාම මේක රෙද්දක් නෙමෙයි රෙදි කඩයක්නෙ.
    ඔච්චර සෙට් එකක් ඉන්න තැනකට පැනල බය නැතුව හොරකං කරන එකෙකුටනං සම්මාන දෙන්න වටිනව.

    ReplyDelete
    Replies
    1. //බලාගෙන ගියාම මේක රෙද්දක් නෙමෙයි රෙදි කඩයක්නෙ.//
      මේ කමිය ඔළුවට දාපු රෙද්දක් නිසා මතක් වුන පරණ කතාවක්! තවත් රෙදි කතා තියෙනවා.

      Delete
  11. මගේ සරසවි සගයන් අතරේ සිටි පිරිමි සහෝදරයන් රෙදි සේදීමෙන් පසු ඒවා වේලෙනතුරු දේශනවලට ද සහභාගී නොවෙමින් අසල ඉඳගෙන ඒවා බලාගන්නේ යට ඇඳුම් පවා නැතිවීම හේතුකොටගෙනය .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාලගේ යට ඇඳුම් පවා නැතිවීම හේතු හොයා ගන්න බරිවුනදා ඒකාලේ

      Delete
    2. @විචාරක දියණිය
      බලනකොට මෙය තවත් තැන් වල වෙලා තියෙනවා. මේ පේරාදෙණියෙමද?

      Delete
  12. ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?

    මගෙත් රෙදි සේදීමේ හා ඇඳීමේ රටාව ඔයිට ආසන්නයි. ඔය අකරතැබ්බෙම මටත් වුනා හොරා ගෙදර වැලෙන්ම රෙදි ටික ඩවුන්ලෝඩ් කරන් ගිහින් තිබුන නිසා.ලැජ්ජා බයක් නැති හොරුන්ට රෙදි මොකටද කියලා පුදුමත් හිතෙනවා වෙලාවකට....

    ReplyDelete
    Replies
    1. //ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?//
      ඇඳුම් නැති වීම නිසානම් නෙමෙයි. :)

      Delete
  13. ඉන්ජිනියරින් කරලා ඉකොනොමැට්ටෙක් වුනේ කොහොමද?

    මගෙත් රෙදි සේදීමේ හා ඇඳීමේ රටාව ඔයිට ආසන්නයි. ඔය අකරතැබ්බෙම මටත් වුනා හොරා ගෙදර වැලෙන්ම රෙදි ටික ඩවුන්ලෝඩ් කරන් ගිහින් තිබුන නිසා.ලැජ්ජා බයක් නැති හොරුන්ට රෙදි මොකටද කියලා පුදුමත් හිතෙනවා වෙලාවකට....

    ReplyDelete
  14. පළමු වසරේදී වසරේදී මම හිටියේ මට මතක විදිහට අංක 2225, නෙල් ශාලාවේ දෙවන මහලේ පළමු කාමරේ. අක්බාර් පැත්තෙන් එන කොරිඩෝවයි, නිව් වින්ග් එකෙන් එන කොරිඩෝවයි ෆැකල්ටිය පැත්තට යන පඩිපෙලයි තුංමං හන්දියේ ඉස්සරහම තිබුන කාමරේ. හැම වෙලේම පට්ට ට්‍රැෆික්. පෙරහැර දවසට පාරේ යන කොල්ලෝ කුරුට්ටෝ රංචු වගේ. එත් එතන තිබුන රෙදි වැලේ රෙදිත් නැති උනා. සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා නුවර ගිහින් ගත්ත ආසම ටී ෂර්ට් එකයි කලිසමයි එක සැරයයි හේදුවේ. උදේ වැලට දාල ලෙක්චර්ස් ගිහින් දවල්ට කන්න අක්බාර් දුවගෙන එනකොට මිසින්. එදායින් පස්සේ කොමන් වැලේ ඇදුම් දැම්මේ නෑ. කොහොම උනත් අපේ කාලේ ඔය ෆෙස්ටිවල් කියන වචනේ තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. උපාලි:
      නොම්මරේ කිව්වම කාමරේ තියෙන තැන මැප් කරගන්නනම් පුළුවන්. එක ෆ්ලෝ එකක 24යිනේ. ෆෙස්ටිවල් වචනේ අපේ රූමන්ගේ වචනයක් මිසක් පොදු භාවිතාවේ තිබුණු වචනයක් නෙමෙයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.