වෙබ් ලිපිනය:

Tuesday, August 28, 2018

ගෙවුම් ශේෂ ප්‍රශ්නය

ලංකාවේ ආර්ථිකය මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක වන රාජ්‍ය ණය ප්‍රශ්නය හා ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන අප නිතරම කතා කරනවා. මෙයින් පළමුවැන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියන එක බොහෝ දෙනෙක්ට පැහැදිලියි. නමුත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නයත්, ඒ එක්කම කතා කරන ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම, නිල සංචිත වගේ දේවලුත් ගොඩක් අයට පැහැදිලි නැහැ. මේ ලිපියෙන් කරන්නේ මේ තාක්ෂනික වචන වල තේරුම පැහැදිලි කිරීමයි.

කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය ඇතුළු සාර්ව ආර්ථික දර්ශක ගණනාවක් ගණනය කරන්නේ ජාතික ගිණුම් ඇස්තමේන්තු පදනම් කර ගෙනයි. මෙහිදී රටේ සිදුවන සෑම ගනුදෙනුවක්ම සෛද්ධාන්තිකව කිසියම් ගිණුමක සටහන් විය යුතුයි. ඒ අතරින්, විදේශ රටක් සම්බන්ධ වන ගනුදෙනු සටහන් වන්නේ ජංගම ගිණුමේ, ප්‍රාග්ධන ගිණුමේ හෝ මූල්‍ය ගිණුමේ.

මෙයින් ජංගම ගිණුමේ සටහන් වෙන්නේ අදාළ කාලය තුළ සිදුවී අවසන් වූ, ඉදිරි කාලයකට සම්බන්ධයක් නැති ගනුදෙනුයි. ජංගම ගිණුම ඇතුළේ තවත් උප ගිණුම් කිහිපයක්ම තිබෙනවා. එයින් ප්‍රධානම ගිණුම වෙළඳ ගිණුමයි.

වෙළඳ ගිණුමේ සටහන් වෙන්නේ අපනයන ආදායම් හා ආනයන වියදම්. අපනයන ආදායම් හර පැත්තේත්,  ආනයන වියදම් බැර පැත්තේත් සටහන් වෙනවා. වෙළඳ ශේෂය කියා කියන්නේ මේ අපනයන ආදායම් හා ආනයන වියදම් අතර වෙනසයි. ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් වලට වඩා අඩු නිසා වෙළඳ ගිණුමේ දකින්නට ලැබෙන්නේ සෘණ ශේෂයක්.

ජංගම ගිණුමේ දෙවන උප ගිණුම සේවා ගිණුමයි. විදෙස් රටවල් සමඟ කරන භාණ්ඩ වෙළඳාම හා අදාළ ගනුදෙනු වෙළඳ ගිණුමේ සටහන් වෙනවාක් මෙන්ම විදෙස් රටවල් සමඟ කරන සේවා වෙළඳාම හා අදාළ ගනුදෙනු සේවා ගිණුමේ සටහන් වෙනවා. උදාහරණ විදිහට නැව් හා ගුවන් ගමන් සේවා සැපයීම්, විදුලි සංදේශ සේවා සැපයීම්, සංචාරක සේවා හා අදාළ වියදම් හා ඉපැයීම් සඳහන් කළ හැකියි. ලංකාවේ වෙළඳ ගිණුමේ ශේෂය සෘණ අගයක් වුවත් සේවා ගිණුමේ සාමාන්‍යයෙන් අතිරික්තයක් දකින්න පුළුවන්. ඒ අතිරික්තයෙන් වෙළඳ ගිණුමේ හිඟයෙන් කොටසක් ආවරණය වෙනවා.

ජංගම ගිණුමේ තෙවන උප ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුමයි. ලාංකිකයින් සතුව විදේශ වල තිබෙන වත්කම් වලින් ලැබෙන ආදායම් මෙහි හර පැත්තේත්, ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලින් ඔවුන් උපයන දේ මෙහි බැර පැත්තේත් සටහන් වෙනවා. ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලට සාපේක්ෂව ලාංකිකයින් සතුව විදේශ වල තිබෙන වත්කම් ප්‍රමාණය ඉතා සීමිත නිසා මේ ගිණුමේ දකින්නට ලැබෙන්නේත් සෘණ ශේෂයක්.

ජංගම ගිණුමේ සිවුවන උප ගිණුම ද්වීතියික ආදායම් ගිණුමයි. මැදපෙරදිග ශ්‍රමිකයින් විසින් හෝ වෙනත් කවර හෝ අයෙකු විසින් නැවත ආපසු ගැනීමේ හෝ ආදායම් ඉපැයීමේ අරමුණක් නැතිව එවන ප්‍රේෂණ මෙහි හර පැත්තේ සටහන් වෙනවා. ලංකාවෙන් පිටතට යන ප්‍රේෂණ බැර පැත්තේ සටහන් වෙනවා. මේ ගිණුමේනම් සැලකිය යුතු අතිරික්තයක් තිබෙනවා.

ඉහත කී උප ගිණුම් හතරේම එකතුවයි ජංගම ගිණුමේ ශේෂය සේ හැඳින්වෙන්නේ. ලංකාවේ ද්වීතියික ආදායම් ගිණුමේ හා සේවා ගිණුමේ අතිරික්තයන් තිබුණත්, වෙළඳ ගිණුමේ හා ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟ ශේෂයන් ආවරණය කරන්න ඒ අතිරික්තය ප්‍රමාණවත් නැති නිසා ජංගම ගිණුමේ තිබෙන්නේ හිඟයක්.

කිසියම් රටක ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවානම් ඒ හිඟය පියවෙන ක්‍රමයකුත් අනිවාර්යයයෙන්ම තිබිය යුතුයි. මේ හිඟය පියැවෙන්නේ ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම් හරහායි. විදේශිකයෙකු විසින් ලංකාවේ වත්කමක් මිලදී ගත් විට එය ප්‍රාග්ධන හෝ  මූල්‍ය ගිණුමක හර පැත්තේ සටහන් වෙනවා. ලාංකිකයෙකු වෙනත් රටක වත්කමක් මිල දී ගත් විට එය බැර පැත්තේ සටහන් වෙනවා. වත්කම් අතරින් මූල්‍ය වත්කම් මූල්‍ය ගිනුමේත්, අනෙක් ස්ථිර වත්කම් ප්‍රාග්ධන ගිනුමේත් සටහන් වෙනවා.

රටක මහ බැංකුව විදේශ විණිමය වෙළඳපොළේ මැදිහත්වීම් නොකරනවානම් ජංගම ගිණුමේත්, ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේත් ශේෂයන් සමතුලිත විය යුතුයි. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟයක් ඇති විට ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ එයට සමාන අතිරික්තයක් තිබිය යුතුයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙන විට ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ එයට සමාන හිඟයක් තිබිය යුතුයි.

ලංකාවේ මූල්‍ය ගිණුමට සාපේක්ෂව ප්‍රාග්ධන ගිණුම ඉතා කුඩා එකක්. එහි හර පැත්තේ වගේම බැර පැත්තේත් එතරම් ලොකු ගණන් සටහන් නොවන නිසා ශේෂයත් එතරම් විශාල නැහැ. ඒ නිසා, ජංගම ගිණුමේ හිඟය ප්‍රධාන වශයෙන්ම ආවරණය වන්නේ මූල්‍ය ගිණුමේ අතිරික්තයෙනුයි.

සෘජු විදෙස් ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන, බැඳුම්කර ආයෝජන ආදී ලෙස මෙන්ම රජය විසින් ලබාගන්නා ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ණය හරහා ලැබෙන මුදල් මූල්‍ය ගිණුමේ හර පැත්තේ සටහන් වෙනවා. මේ ආයෝජන මුදල් කර ආපසු ගෙනයන විට හා රජයේ ණය ආපසු ගෙවන විට මෙහි බැර පැත්තේ සටහන් වෙනවා.

රටක මහ බැංකුව විදේශ විණිමය වෙළඳපොළේ මැදිහත්වීම් කරන විට ජංගම ගිණුමේ ශේෂය ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ හිඟයට වඩා වැඩි අතිරික්තයක් ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම් වල තියෙනවානම් ඒ වෙනස නිල සංචිත වලට එකතු වී තිබිය යුතුයි. එහෙම නැතුව අඩුවක් පෙනෙන්නට තියෙනවානම් නිල සංචිත අඩු වී තිබිය යුතුයි.

ගෙවුම් ශේෂය කියන්නේ ජංගම ගිණුමේ ශේෂයේත්, ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ ශේෂයේත් එකතුවටයි. මේ එකතුව වසර තුළ රටේ නිල සංචිත වෙනස් වල වෙනස් වීමට සමාන විය යුතුයි. එසේ නොවුනොත් ඒ නිල නොවන මාර්ග වලින් සම්ප්‍රේෂණය වන මුදල් ආදිය මඟ හැරීමෙන් සිදුවන ඇස්තමේන්තු කිරීමේ අඩුපාඩු නිසයි. මහබැංකුවේ මැදිහත්වීම් විණිමය අනුපාතිකයට හා රටේ ආර්ථිකයට බලපාන ආකාරය අපි වෙන වෙලාවක කතා කරමු.


No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: