වෙබ් ලිපිනය:

Wednesday, August 15, 2018

ලංකාවේ ආර්ථිකය විවෘතද?

සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ලංකාව සංවෘත ආර්ථිකයක් බවට පත් කරපු බවත්, හැත්තෑ හතේදී ජේආර් විසින් නැවතත් ලංකාවේ ආර්ථිකය විවෘත කරපු බවත් බොහොම ජනප්‍රිය, හැමෝම වගේ විශ්වාස කරන කතාවක්. එකම කතාව විශාල පිරිසක් විසින් නැවත නැවත කියන කොට එය අවිවාදාත්මක කරුණක් බවට පත් වෙනවා. නමුත්, මේ කතාව අර්ධ සත්‍යයක් පමණයි.

සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ දැඩි ආනයන සීමා කිරීමක් කළා. මේ නිසා, රටේ ගොඩක් මිනිස්සු විශාල පීඩාවකට පත් වුණා. ගොඩක් මිනිස්සු කිවුවට ඒ හැමෝම නෙමෙයි.

මේ කාලය වෙන කොටත් ලංකාවේ ගම් වල සම්ප්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබුණේ නැහැ. දුර ඈත ගම් වල ගොඩක් මිනිස්සු කොහොමටත් කෑවේ බීවේ තමන් වවාගත් දේවල් මිසක් ආනයනය කළ ආහාර නෙමෙයි. වගා කළ හැකි, වගා නොකළ බිම් කට්ටිත් යම් ප්‍රමාණයක් ගම් වල තිබුණා. ඒ නිසා, සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් ලංකාවේ ගම්වල මිනිස්සු පීඩාවට පත් වුනේ නාගරික ප්‍රදේශ වල හිටපු අයට වඩා ගොඩක් අඩුවෙන්. මම මේ කියන්නේ මම ඇහින් දැකලා මතකයේ තිබෙන දේවල්.

හැබැයි ඉතිං මේ කාලයේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින්නම් විශාල අපහසුතාවයන්ට පත් වුණා. සමගි පෙරමුණු ප්‍රතිපත්ති ඒ අයගේ ජීවන රටාවන් සමඟ කොහෙත්ම ගැලපුනේ නැහැ. ඒ වගේම ඒ අයට වවන්න කියලා ලොකු ඉඩම් තිබුණෙත් නැහැනේ. ජේආර් බලයට පත් වීමෙන් පසුව ආනයන සීමා ලිහිල් කිරීමෙන් මේ අයටනම් ලැබුණේ විශාල සහනයක්.

හැත්තෑව අසූව දශක වල (වගේම තවමත්) ලංකාවේ මතවාද හදන්නේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින් මිසක් ගම් වල මිනිස්සු නෙමෙයිනේ. ඒ නිසා, ඔය විවෘත ආර්ථික කතාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු බරක් වැටුණා.

හැත්තෑ හතේදී වුනේ ආනයන වලට තිබුණු සීමාවන් අඩු වීමයි. ඊට පෙර සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේදීත් අපනයන අධෛර්යමත් කළේ නැහැ. ඒ වගේම සමගි පෙරමුණු ආණ්ඩුව විදේශ රටවලින් ප්‍රාග්ධන ආයෝජන හෝ තාක්ෂනය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේ වැඩේදී සමාජවාදී රටවල් වෙත වැඩිපුර නැඹුරු වුනත් සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල නිෂ්පාදන තාක්ෂණ ක්‍රමවේද ලංකාවට සාපේක්ෂව ගොඩක් ඉදිරියෙන් තිබුණු නිසා එයින් යහපතක් මිස අයහපතක් වුනේ නැහැ.

ඒ වගේම හැත්තෑ හතේදී ආර්ථිකයේ සියලු අංශ විවෘත වුනෙත් නැහැ. ජංගම ගිණුම මුලිනුත්, ප්‍රාග්ධන ගිණුම පසුවත් ක්‍රමයෙන් විවෘත වුනේ බොහොම හෙමින්. අදටත් ප්‍රාග්ධන ගිණුම මුළුමනින්ම නිදහස් නැහැ. ඒ වගේම විදේශ වෙළඳාමට තිබෙන බාධාවනුත් සම්පූර්ණයෙන්ම නැති වී නැහැ.

ලංකාව හා අදාළ අධ්‍යයන බොහොමයකම හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සලකන්නේ නැහැ. ඇතැම් අය එය ක්‍රමයෙන් සිදු වූවක් සේ සලකනවා. තවත් අය ඔවුන්ගේ නිර්ණායක අනුව හැත්තෑ හතට ගොඩක් පස්සේ අවුරුද්දකදී විවෘත වූ සේ සලකනවා. ඒ නිසා, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක අවිවාදිත කරුණක් නෙමෙයි.

රටක් කොයි තරම් විවෘතද කියන එක නිර්ණය කිරීමේදී භාවිතා වන විවිධ නිර්ණායක තිබෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය වන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස විදේශ වෙළඳ පරිමාව, එනම් ආනයන හා අපනයන පරිමා වල එකතුව, කොපමණද කියන එක. මේ ප්‍රතිශතය වැඩි වන තරමට ආර්ථිකයක් වඩා විවෘත සේ සැලකෙනවා. මෙහි වැදගත්කම වන්නේ විදේශ වෙළඳාමට තිබෙන නිල හා නිල නොවන බාධාවන් සියල්ල මේ දර්ශකය හරහා පිළිබිඹු වීමයි.

ලෝක බැංකු වෙබ් අඩවියෙන් බාගත කළ හැකි මේ හා අදාළ දත්ත විශ්ලේෂණය කර විස්තර කරන්න කාලය නොයොදවා මම කෙලින්ම රූප සටහනකින්ම පෙන්වන්නම්. රූප සටහන දිහා බැලුවහම කාලයත් එක්ක ලංකාවේ ආර්ථිකයේ විවෘතකමට සිදු වී තිබෙන දේ පැහැදිලි වෙයි කියා හිතනවා.


2 comments:

  1. ඔය ප්‍රස්තාරෙ අනුව විවුර්තයි හරි නෑ හරි කියන්න බැහැ නේද? උදාහරණයක් ලෙස කිව්වොත් රටක් තියෙන්න පුළුවන් කිසිම අපනයන හා ආනයන බාදකයක් නැති නමුත් ස්වාභාවික ව ම වාසිදායක නිසා තමන්ගෙ රටේ හැමදේම නිපදවන රටක්. එතකොට ඔහොම ප්‍රස්තාරයක් ඒරට ගැන ඇන්දොත් වැරදි අදහසක් නේද එන්නෙ. අනික අදට සමගිපෙරමුන රජය තරම් වෙලදාමට බාදක නෑනෙ,. නනුත් ඔය ප්‍රස්තාරෙ අනුව එච්චර බාදක තියේ කියල පෙන්වන්නෙ.

    ReplyDelete
    Replies
    1. //උදාහරණයක් ලෙස කිව්වොත් රටක් තියෙන්න පුළුවන් කිසිම අපනයන හා ආනයන බාදකයක් නැති නමුත් ස්වාභාවික ව ම වාසිදායක නිසා තමන්ගෙ රටේ හැමදේම නිපදවන රටක්.//

      මා ලියා තිබෙන ජාත්‍යන්තර වෙළඳාම ලිපි පෙළ කියවන්න. ජාත්‍යන්තර වෙළඳාම වාසිදායක වන්නේ පරිපූර්ණ වාසිය (absolute advantage) මත නෙමෙයි. සංසන්දනාත්මක වාසිය (comparative advantage) මතයි. ඒ කියන්නේ ඇමරිකාවේ තිරිඟු හදන එක වගේම තේ හදන එකත් ලංකාවේ ඒ දේවල් හදනවට වඩා වාසිදායක වෙන්න පුළුවන්. නමුත් තේ හදන එකට වඩා තිරිඟු හදන එකේ වාසිය වැඩියි. ඒ නිසා, තේ ඇමරිකාවේ නොහදා ආනයනය කරන එක වාසියි. ලංකාවෙන් තේ ආනයනය කරන එක රටේ හදනවට වඩා අවාසිදායක වුවත් තේ රටේ නොහදා එම ඉඩම් ටිකේත් තිරිඟු හදා අපනයනය කිරීමේ වාසිය ඉහත අවාසියට වඩා වැඩියි. ඒ වගේම මේ වාසිය ලංකාවටත් එලෙසම තිබෙනවා. අදාළ ලිපි මාලාවේ සංඛ්‍යාත්මක උදාහරණ සමඟ පැහැදිලි කර තිබෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂය නිර්දේශයක පළමු පාඩම.

      //අනික අදට සමගිපෙරමුන රජය තරම් වෙලදාමට බාදක නෑනෙ,. නනුත් ඔය ප්‍රස්තාරෙ අනුව එච්චර බාදක තියේ කියල පෙන්වන්නෙ.//

      සමගි පෙරමුණු කාලයේ තරම් බාධක නැහැනේ කියන එක නිකමට කියන දෙයක් මිස කරුණු මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රකාශයක් නෙමෙයිනේ. ඒක නිකම් ඔළුවට අත තියලා උණ බලනවා වගේ. නියම ක්‍රමය සම්මත නිර්ණායකයක් දෙස බලන එකයි. උණ කටුවකින් උණ බලනවා වගේ. ප්‍රස්ථාරයේ තිබෙන්නේ එවැනි සම්මත නිර්ණායකයක්. උදාහරණයක් ලෙස 1975දී ලංකාවේ ආනයන දදේනියෙන් 35%ක්. 2020දී 22.5%ක් පමණයි. අපනයන 1975දී දදේනියෙන් 27.5%ක්. 2020දී 16.1%ක් පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: