වෙබ් ලිපිනය:

Wednesday, August 22, 2018

අම්බිකාගේ විලාපය


ජේආර් උන්නැහේ රේගන් මහත්තයව බැහැදකින්න යද්දී තුටු පඬුරක් විදිහට මාස දහ අටක අලි පැටික්කියක් කිහිල්ලේ ගහගෙන ගිය කතාවත්, ඇමරිකාවට ගිහිං වැඩි දොහක් යන්න කලින් මේ අලි පැටික්කිගේ ජීවිතේ ඉතාම අවාසනාවන්ත විදිහට කෙළවර වුනු ආකාරයත් කලින් ලිපියේ ලිවුවනේ.

මේ කටයුත්තෙදී ජේආර් කළේ වැරැද්දක්ද? නැත්නම් මෝඩකමක්ද? අලි පැටික්කිව බාර ගැනීම ඇමරිකාව කරපු වැරැද්දක්ද? එහෙම නැත්නම් ඇමරිකාවට සිදු වෙච්ච අත්වැරදීමක්ද?

මේ වගේ ප්‍රශ්න මතු වෙන එක අමුත්තක් නොවුනත් මේ දේවල් ගැන එක පාරටම අවසන් නිගමන වලට බහින එක ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි.

අලි පැටික්කිව රේගන්ට පිරිනමන්නේ ජේආර් විසින් වුවත් මේ වගේ දෙයක් සිදුවෙන්නේ ජේආර්ගේ හෝ රේගන්ගේ තනි තීරණේට නෙමෙයි. ඔය වගේ තීරණයක් ගන්න නිලධාරීන් විශාල පිරිසක් මැදිහත් වෙනවා.

ජයතු කියන්නේ ලංකාවේ සිට අඩු වයසකදී උතුරු ඇමරිකාවට පටවපු පළමුවෙනි අලි පැටික්කි නෙමෙයි. සමඟි පෙරමුණු ආණ්ඩු කාලේ ඔයාකාරයට ඇමරිකා එක්සත් ජනපදයට හා කැනඩාවට අලි පැටවු හා පැටික්කියෝ හතර පස් දෙනෙක්ම පටවලා තියෙනවා. ඒ අයට වුනේ මොකද කියන එක අපි වෙනම ලිපියකින් කතා කරමු.

ජයතු අලි පැටවාව ජනාධිපති ජේආර් විසින් ජනාධිපති රේගන්ට නිල වශයෙන් භාර දීම සිදු වුනේ 1984 ජුනි 18 වෙනිදා 11.30ට පමණ ධවල මන්දිරයේ දකුණු තණ තිල්ලේදීයි[1]. ඇය ඇමරිකාවට පැමිණ තිබෙන්නේ ඊට සතියකට පෙර 1984 ජුනි 11 දිනයි. ඇමරිකාවට පැමිණ දින 78කට පසුව, එනම් 1984 අගෝස්තු 29දා හවස 4.45ට පමණ වොෂින්ටන් ඩීසීහි ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේදී ඈ අවාසනාවන්ත ලෙස මිය යනවා.

ජයතු අලි පැටික්කිය ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරට පැමිණෙන විට එහි තවත් ආසියානු අලි දෙන්නෙක් සිටියා. දෙන්නාම කෙණෙරන්. (මේ කෙණෙර කියන වචනය පහේ ශිෂ්‍යත්වයට උගන්වන ගුරුවරුන් විසින් මෑතකාලීනව නැවත අරුත් ගන්වනු ලැබූ වචනයක් වෙන්න පුළුවන්). පළමුවැන්නිය 1961 අප්‍රේල් 14 වෙනිදා ඉන්දියානු දරුවන්ගෙන් ඇමරිකානු දරුවන්ට තෑග්ගක් සේ ලැබුණු අම්බිකා. දෙවැන්නිය ජයතු වගේම අඩු වයසෙන් 1976 දෙසැම්බර් 30දා ලංකාවේ සිට එහි පැමිණි ශාන්ති.

අම්බිකා ඉන්දියාවේ සිට ඇමරිකාවට එන කොට අවුරුදු දහතුනක අලි නෑම්බියක්. නමුත්, ශාන්තිව ඇමරිකාවට එවන විට ඇයට අවුරුද්දක්වත් නැහැ. ජයතු තරම් අවාසනාවන්ත නොවුනත් ඇතැම් විට ශාන්ති කුඩා කාලයේදීත් කිරි පොවන්න අමාරු වෙන්න ඇති. එහෙම නැත්නම් කිරි බොන අලි පැටියෙක්ව භාර ගන්න ඇමරිකාව පසුව අදිමදි කරන්න හේතුවක් නෑනේ. එහෙම නැත්නම් ශාන්ති ආ කාලයේම උතුරු ඇමරිකාවේ වෙනත් සත්ත්ව උද්‍යාන දෙකකට එවනු ලැබූ අනෙක් කිරි බොන අලි පැටවුන් හතර දෙනාගෙන් එකෙකු හෝ කිහිප දෙනෙකු මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා වෙන්නත් පුළුවන්.

අම්බිකාගේ තරුණ කාලයේදී මිනිස් රැකවරණය යටතේ සිටින කෙණෙරන් ගැබ්බර වීම සාමාන්‍ය දෙයක් වී තිබුණේ නැහැ. ඇගේ දරුමල්ලන් කිසිවකු ගැන වාර්තා දකින්නට නැත්තේ ඒ නිසා විය යුතුයි. නමුත්, ශාන්තිටනම් පසුව අලි පැටවුන් දෙන්නෙක්ම ලැබෙනවා.

කොහොම වුණත්, ජයතු ඇමරිකාවට රැගෙන එන කාලය වෙන කොටත් ශාන්ති අවුරුදු අටක අලි පැටික්කියක් මිස අලි නෑම්බියක් නෙමෙයි. හැබැයි ඉන්දියාවෙන් ආ අම්බිකාටනම් ඒ වන විට වයස අවුරුදු තිස් හයක් වෙලා. නිදැල්ලේ හිටියනම් බොහෝ විට අලි පැටවු කීප දෙනෙකුගේ අම්ම කෙනෙක්.

කතාවක් තියෙනවනේ ඇතින්නකට පැටියෙක් ලැබුනහම රැහේ අනෙක් ඇතින්නන්ටත් කිරි උනනවා කියල. ඉන්දියාවෙන් ආපු අම්බිකා ජයතුගේ රැහේම නොවුණත් මේ හුරතල් අලි පැටියා කිරි නැතුව කෑගහන කොට අම්බිකා වගේ දරුවෝ නොලබපු කෙණෙරකට වුනත් කිරි එරෙන්න බැරිද? ජයතු පැටියා කෑ ගහනකොට අම්බිකාට මොන වගේ දේවල් හිතෙන්න ඇද්ද?

අලි ඇත්තුන්ට හිතන්න පුළුවන්ද කියලා කාට හරි අහන්න පුළුවන්. හිතන්න පුළුවන් වුනත් ඒ හිතන දේවල් මට දැනගන්න විදිහක් නැහැ. අලියෙක් තියා මේක කියවන ඔබ හිතන දේවල්වත් මට දැනගන්න බැහැ. නමුත්, අම්බිකා හිතන දේවල් මේ වගේ වෙන්න පුළුවන් කියා මට පරිකල්පනය කරන්න පුළුවන්. අම්බිකා හිතන දේවල් කියා මම පරිකල්පනය කරන දේවල් මට ලියන්නත් පුළුවන්.

අම්බිකා හිතුවේ මේ වගේ වෙන්න බැරිද?


අම්බිකාගේ විලාපය 

මේ ඈත දීපංකර රටේ 
උඹට මට නුපුරුදු වනේ 
උඹට මවු වෙන්නට ඉඩක් නෑ 
බරට කිරි පිරිලා තනේ 

එකෙක් ගැබ්බර වූ තැනේ 
අපි හැවොම කිරි මවුවරු වුනේ 
උඹේ ඇඬුමට කිරි ඉනූවත් 
කෙල්ලෙ මමනම් පිට රැහේ 

උඹේ හුරතල් දුටු තැනේ 
රජ මැතිවරුන් හැම තුටු වුනේ 
ඒත් කෙල්ලේ ඒකමයි අද 
උඹට මේ හැටි කොඩිවිනේ 

පාට සළුපිළි අබරණින් නෙක  
අලංකාරෙට සරසලා 
රජෙක් රජෙකුට පඬුරු විලසට
උඹව ගෙනැවිත් පුද කළා 

මේ හීත හිම වැටෙනා රටේ අද
උඹව කරලා හුදෙකලා 
උඹේ රජු සහ රජ බිසෝ දැන් 
මූදු හතකින් ගොඩ වෙලා 

හාමතේ උඹ හාමතේ උඹ
අඬනවා කිරි ඉල්ලලා 
උඹ වගෙම උඹ වගෙම කෙල්ලේ
මමත් අද අසරණ වෙලා

අලි පැටවු විතරක් නෙමෙයි කෙලි පැටවුන්වත් ඔයාකාරයට ප්‍රාදේශීය රජවරුන් විසින් මහ රජවරුන්ට ගෙනත් භාර දුන් කතා අහල ඇතිනේ. ඒ නිසා අවශ්‍යනම් අම්බිකාගේ විලාපය ගැන වඩා පුළුල් විදිහට වුනත් හිතන්න බැරි කමක් නැහැ.

(Image: https://news.softpedia.com/news/Picture-of-the-Day-Baby-Elephant-Face-Plants-in-Mud-398366.shtml)

1. Ronald Reagan: "Remarks on Accepting a Gift From the People of Sri Lanka ," June 18, 1984. Online by Gerhard Peters and John T. Woolley, The American Presidency Project. http://www.presidency.ucsb.edu/ws/?pid=40056.

11 comments:

  1. ඉකොන්, "කෙණෙර" යන්න සකු/පාලි "කරේණු"/"කනේරු" යන්නෙන් තද්භව වූ පදයකි. හස්තියාගේ ගෑණු සතා "හස්තිනී"/"ඇතින්නී" වන අතර අලියාගේ ගෑණු සතා කෙණෙර වශයෙන් හැඳින්වේ. පාසල් සමයේදී මා දැනගත් පරිදි කුරුණෑගල යන්න කරේණු + ගල යන්නෙන් බිඳී ආවකි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ සටහනට බොහොම ස්තුතියි! කනේරා (कनेरा)/ කණේරා (कणेरा) වැනි වචනයකින් කෙනෙර/කෙණෙර යන වචන තද්භව වී ඇති බව පැහැදිලියි. සමාන අරුත් තිබෙන කරිණී (करिणी), කරේණු (करेणु), කරේණුකා (करेणुका) වැනි වදනකින් කුරුණෑගල යන්න හැදුණු බවත් පිළිගත හැකි අදහසක්. මට පැහැදිලි නැති කරුණ මේ වචන භාවිතා වී තිබෙන්නේ හස්තිනී (हस्तिनी) යන වචනයට පර්යාය අරුතකින්ද නැත්නම් වෙනස් අරුතකින්ද කියන එකයි. වෙනත් අයුරකින් කිවුවොත් අලියාගේ ගෑණු සතා සහ ඇතාගේ ගෑණු සතා වෙන් කර හඳුනාගන්නා නිර්ණායකය ගැන මට පැහැදිලි අදහසක් නැහැ. ආසියානු අලින් අතර දැනට සිටින්නේ කෙණෙරන් පමණද?

      Delete
    2. ඉකොනොමැට්ටා,

      අලින්ගේ ප්‍රධාන විශේෂ දෙක අප්‍රිකානු සහ ආසියානු අලි, අප්‍රිකානු අලින් අතර දළ සහිත ඇතුන් වැඩියි, ආසියානු අලින් අතර දළ සහිත ඇතුන් අඩුයි. අප්‍රිකානු අලින් Elephas africana සහ ආසියානු අලියා (Elephas maximus යන මේ විශේෂ දෙක අතර කැපී පෙනෙන ආවේණික ශරීර ලක්‌ෂණ ඇතත් සුවිශේෂී ලක්‌ෂණය වන්නේ අප්‍රිකානු අලින් ගේ ගැහැනු පිරිමි යන දෙපක්‌ෂයට ම දළ දෙකක්‌ පිහිටීම සහ ආසියානු අලින් ගේ පිරිමි සතුන්ට පමණක්‌ දළ පිහිටීමය. ශ්‍රී ලංකා අලියා Elephas maxima maximas නම් වූ උප විශේෂයට අයත්.

      දළ ඇතකු බිහිවන්නේ අලියකුගේ උඩු ඇන්දේ රදනක දත් වැඩීමෙන්. සුමංගල ශබ්ද කෝෂයහි පණ්ඩිත වැලිවිටියේ සෝරත හාමුදුරුවෝ කෙණෙර යනු ඇතින්න ලෙසින් අර්ථ දක්වති.

      අලි/ ඇතුන්ගේ බාහිර ලක්ෂණ හා හැසිරීම් අනුව ව්‍යවහාර කළේ යයි සැලකෙන සිංහල නම් කීපයක් ගැන ගාමිණී කුමාර විතාන ගේ "අලි ඇත්තු" පොත දක්වයි.

      එහි ‘කෙණෙර’ යන පදය දක්වා එයට අරුත් සේ සපයා ඇත්තේ ‘කුඩා දළ සහිත ගැහැනු සත්තු’ යන්නයි. එවන් කුඩා දළ "පණු දළ" යනුවෙන් හැඳින්වේ. පණු දළ දෙකක්‌ සැම ගැහැනු සතකුට ම තිබෙන අතර හොඳින් වර්ධනය වුණු දළ දෙකක්‌ තිබිය නොහැකිය. ප්‍රථම වතාවට සැබෑ දළ යුගළක්‌ සහිත (පණු දත් නොවේ) ඇතින්නක ශ්‍රී ලංකාවෙ දකුණු වනජීවී කලාපයට අයත් ප්‍රධාන පෙළේ වනෝද්‍යානයක සිටින බව වාර්තා වන අතර ආසියානු අලියාගේ පිරිමි සතුන්ට දළ පිහිටීමේ ප්‍රතිශතය 5% - 7% ත් අතර අගයයක්‌, එවැනි තත්ත්වයක්‌ තුළ මෙසේ සැබෑ දළ සහිත ඇතින්නක වාර්තා වන්නේ නම් එය ඉතා දුලබ හා විශ්මයජනක තත්ත්වයක්‌.

      Delete
    3. Alagiawadu Leelaratne,

      //කුරුණෑගල යන්න කරේණු + ගල යන්නෙන් බිඳී ආවකි.//

      ක්‍රි.ව.1300 දී දෙවැනි බුවනෙකබාහු රජ රජවන කාලයේ හස්ති+ශෛල+පුර ලෙස හැඳින්වෙන ඇතුගල්පුරය හෙවත් කුරුණෑගල ප්‍රදේශය මධ්‍යයේ ඇති විශාල ගල් පර්වතය (කඳු ගැටය) ඇතකුගේ විලාශය ගෙන තිබීම නිසා එම ප්‍රදේශය "හස්‌තිශෛලපුර" නම් වීය.

      “කුරුණෑ” යනු ඇතා ය. සමහර වියතුන්ට අනුව කඳු ගැටයක ගලක් ඇතකු මෙන් පෙනුණු නිසා කුරුණෑ + ගල නම ව්‍යවහාරයට එක්ව ඇති නමුත් සමහර වියතුන්ට අනුව ඇතාගල යනු කුරු මිනිසුන් ට නෑකම් ඇති පර්වතයක් විය හැකියි. මෙහි කුරු යනුවෙන් මිටි වාසීන් ද එහෙමත් නැත්නම් ඉන්දියාව සිටි පැමිණි කෞරව ගෝත්‍රයද යන්න අපට හරිහැටි කිව නොහැක.

      Delete
    4. ආසියානු අලි අතරෙත් ලාංකික උප විශේෂයේ දළ ඇතුන් ප්‍රතිශතය අඩුයි. හේතුව ගැන විවිධ මත තියනවා. ඒත් හරියටම කියන්න බෑ.
      පණු දත් - Tushes
      සැබෑ දළ - Tusks

      ආසියානු ගැහැණු සතුන්ට පණු දත් මිස සැබෑ දළ නෑ. ලීලාරත්න මහතා කියන විදිහට එසේ සිටිනවා නම් විශ්මයක්. ඒ ගැන තව තොරතුරු දැනගන්න පුලුවන්ද?


      දළ සඳහා මැරීම නිසා අප්‍රිකාවේත් දැන් ගැහැණු සතුන්ට දළ පිහිටීම අඩුයි කියනවා.
      https://truththeory.com/2016/11/29/98-female-elephants-now-born-no-tusks-due-poaching/
      ලංකාවේ ඇතුන් ප්‍රතිශතය මේතරම් අඩුවීමේ හේතුව ගැන එක මතයක් අතීතයේ සිටම තිබුන ඇත්දළ අපනයනය හා කර්මාන්තය.

      Delete
    5. //ලීලාරත්න මහතා කියන විදිහට //

      Sorry. Correction - ඇනෝනිමස් මහතා

      Delete
    6. //ආසියානු ගැහැණු සතුන්ට පණු දත් මිස සැබෑ දළ නෑ. ලීලාරත්න මහතා කියන විදිහට එසේ සිටිනවා නම් විශ්මයක්. ඒ ගැන තව තොරතුරු දැනගන්න පුලුවන්ද?//

      There are some female tuskers in SL also, but extremely rare. Read this article,

      http://www.vidusara.com/2011/11/30/feature6.html

      They mentioned about such incident observed.

      Delete
    7. @AnonymousAugust 23, 2018 at 5:46 PM
      Thank you very much. This is the first time I heard about this.
      The author of the article says it wasn't confirmed but was only suspected because of certain actions. That was in 2011. Was this followed up?

      Delete
    8. Just to correct few facts. The scientific name of African elephant is stated wrongly. There is no animal called "Elephas Africana" It belongs to completely different Genus. It is Loxodonta africana. And they have 2 sub species. In African elephants both males and females have tusks. But in Asian elephants only males have tusks and the percentage of tusk bearing males are comparatively low. This percentage is significantly low in Sri Lanka.
      Female Asian elephants do not have tusks and up to date it has not challenged with any credible scientific evidence.
      Scientifically both elephant and tuskers belong to same species and as such there is no difference between the females. In simple you can use the word "Kenara" or "athinna" only by looking at the male companion. Hence the same female can switch between "Kenara" and "athinna" few times during her life....

      Delete
    9. //In simple you can use the word "Kenara" or "athinna" only by looking at the male companion.// This seems an acceptable criterion to me. Other logical way is to think that "athinna"s are female (Asian) elephants with tusks (not tushes) who lived several centuries ago but extinct now.

      Delete
  2. අම්බිකාගේ පුකේ ඇගිල්ල ගහගනින් පොන්නයා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: