වෙබ් ලිපිනය:

Sunday, October 13, 2019

ඇල්පිටි වැල්ලට නොආ රැල්ල

ටික කලක සිට සජිත් පාක්ෂිකයින් විසින් සජිත් රැල්ලක් ගැන කතා කරමින් හිටියා. මෑතකාලීනව දේශපාලන අදහස් අතින් සජිත්ට සමාන සේ සැලකිය නොහැකි මංගල, චම්පික වගේ පිරිසුත් මේ රැල්ල හමන අතටම හබල් ගාන්න පටන් ගැනීමත් එක්ක රටේ කොහොම වුනත්, එජාපය ඇතුළේ ලොකු සජිත් රැල්ලක් ඇති වුනා. ඒ රැල්ලට අහු වෙලා එජාප ජනාධිපති අපේක්ෂකයා විය හැකිව සිටි අනෙකුත් ප්‍රබල තරඟකරුවන් වූ කරු හා රනිල්ගේ නම් වැල්ලේ දිය වී ගියා. එජාප ගාලුමුවදොර රැළියේදීත් එජාප පාක්ෂිකයින්ගේ උද්‍යෝගය කැපී පෙනුනා. නමුත්, ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ සජිත් රැල්ලක් පේන්න නැහැ.

ඒ වගේම, පහුගිය කාලයේ මතු වී ආ තවත් රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ලයි. මේ රැල්ල එක්ක ගොඩයන්න බලාගෙන විවිධ ස්වාධීන අපේක්ෂකයින් විසින් රුවල් දැම්මා. මේ රැල්ල නිසා වඩාත්ම කලබල වුනු අය අතර ජවිපෙ ඉදිරියෙන්ම හිටියා. කලක සිටම ජවිපෙ විසින් උනුත් එපා මුනුත් එපා කියන අදහස සමාජගත කරමින් සිටි අතර ඒ අදහස යම් පිරිසක් විසින් පිළිගත්තා. 225ම එපා කියන අදහස ආවේ උනුත් එපා මුනුත් එපා කියන අදහස වඩා පුළුල් වෙලා උනුත්, මුනුත් ගොඩට අරුනුත් එකතු වෙලයි. මේ රැල්ලත් එක්ක ජවිපෙ එක්තරා උභතෝකෝටිකයට මුහුණ දුන්නා. ජවිපෙට ඉදිරියට යන්න "උනුත් එපා මුනුත් එපා" කියන අදහස ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වුවත්, ඒ අදහස වර්ධනය වීමේ ස්වභාවික ප්‍රතිඵලයක් විදිහට "225ම එපා" කියන අදහස ප්‍රවර්ධනය වීම වලක්වා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්න වුනා. ඒ නිසා, ස්වාධීන පුද්ගලයකු සඳහා වූ ඉල්ලීම යටපත් කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෙකු තරඟයට දමන්න ජවිපෙට සිදු වුනා. ජවිපෙ සාමාජිකයින් තුළත් ජනාධිපතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තු තිබුණු බව ඔවුන්ගේ ගාලු මුවදොර රැළියෙන් පෙනුණත් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළනම් ජවිපෙ රැල්ලක් පේන්න තිබුණේ නැහැ.

ගෝඨා රැල්ල ඔය දෙකටම වඩා පරණ රැල්ලක්. කලින්ම ආ ගෝඨා රැල්ල කලින්ම බිඳී ගියා. ගෝඨා තරඟයට ඉදිරිපත් වන විට පීක් එක ඉවරයි. නමුත්, ගෝඨා හිටියේ අනෙක් අපේක්ෂකයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මගේ තක්සේරුව අනුවනම් ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය තුළ ගෝඨා රැල්ලක් කියා එකකුත් නැහැ.

පහුගිය දවස් වල මා ලංකාවේ මා සාමාන්‍යයෙන් කතා කරන කිහිප දෙනෙකුට කතා කළා. විවිධ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්, රැල්ල හමන අතට ඔරුව පදින්නන් හා නිර්පාක්ෂිකයින් ඇතුළු විවිධ කොටස් ඇතුළත් මේ පිරිස ලංකාවේ දේශපාලන ප්‍රවණතා ගැන අදහසක් ගැනීම සඳහා ප්‍රමාණවත් නියැදියක් බව බොහෝ වර තහවුරු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ වලට පෙර මේ පිරිසට කතා කළ විට පොදුජන පෙරමුණ අනපේක්ෂිත ලෙස ඉදිරියට එන බව පෙනුනත්, ඒ වෙලාවේ එවැන්නක්‌ සිදු වේයැයි මට හිතුනේ නැහැ. එහෙත්, මැතිවරණයෙන් පසුව තේරුණේ මගේ නියැදිය මත විශ්වාසය තැබිය හැකිව තිබුණු බවයි.

මෙවර කතා කළ විට පෙනුනේ ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් ඇති බවයි. ඒ වගේම ගෝඨාභය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කිසියම් වික්ෂිප්ත භාවයක් ඇති බවයි.

ගම් වල ඇත්තටම සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, මේ රැල්ල තිබෙන්න අරටු බැහැපු එජාප පාක්ෂිකයින් අතරම මිස එයින් පිටත නෙමෙයි. මේ වෙද්දී ගම් වල ඉතිරි වී ඉන්නේ ඉතා සීමිත එජාප පවුල් ගණනක්. ඔවුන් ඉතාම අභියෝගාත්මක තත්ත්වයන් යටතේත් පක්ෂය අත් හැර නොගිය අයයි. රනිල්ගේ නායකත්වය යටතේ මේ පිරිසට ලැබුණු දෙයක් නැහැ. සජිත්ගේ නායකත්වය යටතේ තමන්ට යමක් ලැබෙයි කියා මේ පිරිස හිතනවා. ඒ නිසා, ගම් වල සජිත් රැල්ලක් තිබෙනවා. නමුත්, ඒ රැල්ල එජාප ඡන්ද ප්‍රතිශතය ඉහළ දමන මට්ටමකට ඇවිත් නැහැ. සිදු වී තිබෙන්නේ පාක්ෂිකයින්ගේ උද්‍යෝගය වැඩි වීමක් පමණයි.

ඒ වගේම, ගම් වල බොහෝ දෙනෙක්ට ගෝඨාභය වැදගත් චරිතයක් නෙමෙයි. බොහෝ දෙනෙක්ට ඔහු වැදගත් වන්නේ මහින්දගේ සහෝදරයා හා නියෝජිතයා ලෙසයි. ගම් වල බොහෝ පිරිසක් තවමත් භක්තිමත් මහින්දවාදීන්. මහින්දගේ සහයෝගය ලබන කාට වුවත් මේ පිරිසගේ ඡන්ද ලැබෙනවා. ඇල්පිටියේදී පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේත් මේ මහින්දවාදීන්ගේ ඡන්දයි.

මේ වන විට එජාපයට හා පොදුජන පෙරමුණට (පැරණි ශ්‍රීලනිපයට) වගේම ජවිපෙටත් රටේ ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ජවිපෙ රැල්ලක් තිබෙනවානම් තිබෙන්නේ මේ ඡන්ද පදනම තුළයි. ඔවුන් මේ ඡන්ද පදනම පුළුල් කරගන්න විශාල උත්සාහයක් දරනවා.

එක පැත්තකින් එජාප හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන විරෝධයට වඩා ලොකු විරෝධයක් ජවිපෙ හා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් අතර තිබෙන නිසා ජවිපෙට පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීම සිහිනයක්. අනෙක් පැත්තෙන්, මේ වෙද්දී එජාපය මොනවා කළත් අත නොහරින පිරිසක් හැර අනෙක් සියලු දෙනාම වගේ එජාපය හැර ගොස් අවසන් නිසා ජවිපෙට ආකර්ශනය කර ගත හැකි ඡන්ද ඒ ගොඩේත් නැහැ. ජවිපෙ විසින් ඉලක්ක කරන්නේ ඔය දෙකටම නැති පිරිසයි.

ජවිපෙ තුළ තිබෙන රාජපක්ෂ විරෝධය එජාප විරෝධයට වඩා වැඩියි. මේ නිසා, කලක සිටම ජවිපෙට රතු අලි ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබලය ගැන ජවිපෙ එතරම් වද වෙන්නේත් නැහැ. ජවිපෙ විසින් දැන් හදාගෙන තිබෙන ජාතික ජන බලවේගයේ ලාංඡනයත් ටිකක් විතර රතු අලියෙක්ගේ රූපයක් වගේ.

ජවිපෙ විසින් මේ වෙලාවේ උත්සාහ ගනිමින් ඉන්නේ සමාජවාදීන්ගේ හෝ ධනපති විරෝධීන්ගේ ඡන්ද ආකර්ශනය කර ගන්න නෙමෙයි. එහෙම කරලා දැන් ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි බව ඔවුන් නිවැරදිව අවබෝධ කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවානම් ජවිපෙට දැන් ඇණයක් වී තිබෙන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි. ඒ නිසා, ඔය රතු අලි හංවඩුව එක පැත්තකින් බැලුවහම ජවිපෙට වෙස් වලාගත් ආශීර්වාදයක්. ඇතැම් පොදුජන පෙරමුණු පාක්ෂිකයින් ජවිපෙට මඩ ගහන්න හිතාගෙන විවිධ දේ ප්‍රචාරය කරනවා. එවැනි එක පොස්ටුවක සැබෑ අව්‍යාජ විප්ලවවාදී නායකයින් කියා රෝහණ විජේවීර ඇතුළු පිරිසකුත්, ධනපතියන්ට කඩේ යන නායකයින් කියා අනුර කුමාර ඇතුළු පිරිසකුත් පෙන්වනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ පෝස්ට් ජවිපෙට වාසියි.

ඇල්පිටියට නැවත ආවොත්, එහි ප්‍රතිඵලය මා ඉහත සඳහන් කළ ප්‍රවාද සියල්ල සමඟ මනාව සැසඳෙනවා. එජාපය විසින් ලබාගෙන තිබෙන්නේ 2015 ජනවාරියට පෙර ඔවුන් ලබාගත් අවම එජාප ඡන්ද ප්‍රතිශතය පමණයි. ජවිපෙ ලබාගෙන තිබෙන්නේත් ඔවුන්ගේම පාක්ෂික ඡන්ද පමණයි. පොදුජන පෙරමුණ කියලාත් වෙනසක් නැහැ. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් (ඔවුන්ගේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම්ද ඇතුළත්ව) ලබාගත්තේ 41.2%ක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද විසින් 47.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඇල්පිටිය ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ පොදුජන පෙරමුණ තවමත් ඉන්නේ ඒ මට්ටමට පහළින් බවයි. මෙයින් පෙනෙන්නේ ගෝඨාගමනයෙන් පසුව මහින්දවාදී ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි.

සමස්ත ප්‍රතිඵලයම විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ පොදුජන පෙරමුණේ, එජාප හෝ ජවිපෙ ඡන්ද අඩු වී මිස වැඩි වී නැති බවයි. එසේනම් ඉතිරි ඡන්ද ටික කෝ?

ඇල්පිටිය ඇතුළේනම් මේ ඡන්ද ටික තිබෙන්නේ එජනිස ගොඩේ. නමුත්, මේ එජනිස ඡන්ද ඇත්තටම එජනිස ඡන්දද?

මම හිතන විදිහටනම් මේ ඡන්ද එජනිස ඡන්දම නෙමෙයි. වෙනත් විකල්පයක් නැති තැන පොදුජන පෙරමුණ, එජාප හා ජවිපෙ තුනම එපා වී සිටින පිරිස ඒ විරෝධය පෙන්වීම පිණිස එජනිසය තෝරා ගෙන තිබෙනවා වෙන්න පුළුවන්. වෙනත් අයුරකින් කිවුවොත්, පාවෙන ඡන්ද ටික තියෙන්නේ එජනිස ගොඩේ. ජනාධිපතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති පසුබිමක මේ ඡන්ද වල ඉදිරි හැසිරීම ගොඩක් වැදගත්.

ගොඩක් අය චම්පිකව හඳුනා ගන්නේ රැල්ල හමන පැත්ත ගැන ඉවක් තිබෙන දේශපාලනඥයෙකු ලෙසයි. මංගලත් මේ ගොඩට දැමිය හැකි, තියුණු දේශපාලන ඉවක් තිබෙන දේශපාලනඥයෙක්. ඔවුන් සජිත්ගේ පැත්ත ගත්තේ මෙවර ඔවුන්ට ගණන් වැරදුනු නිසාද? පැත්තක සිටින අපට නොපෙනෙන බොහෝ දේ දේශපාලනය ඇතුළේ සිටින ඔවුන්ට පෙනෙන නිසා එය එසේයැයිම හිතන්නත් අමාරුයි.

මේ වන විට දැකිය හැකි ඡන්ද සංයුතිය අපට 2015 ජනාධිපතිවරණයට පෙර පැවති ඡන්ද සංයුතිය සමඟ සැසඳිය හැකියි. ජනාධිපතිවරණයට පෙර අවසන් වලට පැවැත්වුණේ පළාත් සභා මැතිවරණයි. වට හතරකින් පැවැත්වුණු එම මැතිවරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මෙසේයි.

එජනිස- 54.0%
එජාප- 26.4%
ජවිපෙ- 4.0%
ප්‍රපෙ- 4.0%
වෙනත්- 11.6%

මෙවැනි පසුබිමක පැවති ජනාධිපතිවරණයෙන් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගත්තේ නැහැ. ප්‍රතිඵලය වුනේ මෙවැන්නක්.

මහින්ද රාජපක්ෂ- 47.6%
මෛත්‍රීපාල සිරිසේන- 51.3%

එජාප, ජවිපෙ, ප්‍රපෙ හා දෙමළ මුස්ලිම් පක්ෂ වල ඡන්ද සියල්ල ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනට කියා හිතුවත්, ඔහු එජනිස ඡන්ද වලින් 6.5%ක් පමණද ලබාගෙන තිබෙන බව පැහැදිලියි. මේ ඡන්ද එජාප හෝ ජවිපෙ ඡන්ද නොවන, රාජපක්ෂ විරෝධී ඡන්දයි. එම පළාත් සභා ඡන්ද වටයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණු ඡන්ද දමන්න වෙන්නේත් මේ ගොඩටයි. එවිට, එජාප, ජවිපෙ හෝ සුළු ජාතික පක්ෂ වල ඡන්ද නොවන රාජපක්ෂ විරෝධී ඡන්ද එකතුව 10.5%ක් පමණ වෙනවා. මා හිතන විදිහට ඇල්පිටියේදී එජනිසයට ලැබුණු ඡන්ද වැඩි ප්‍රමාණයක් මේ ඡන්දයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර තත්ත්වය හා සැසඳූ විට එජාප හා ජවිපෙ පක්ෂ දෙකම ඉන්නේ තරමක් ඉදිරියෙන්. ඒ වගේම, පොදුජන පක්ෂය තනිව ගතහොත් ඉන්නේ 2016දී මහින්ද රාජපක්ෂ සිටියාට වඩා දුර්වල තැනකයි. එජාප, ජවිපෙ හා සුළු ජාතික පක්ෂ සියල්ලේම ඡන්ද එකතු කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එහෙත්, වෙනස එතරම් විශාල නැහැ. ඒ වගේම, මේ දෙගොඩෙන් එක් ගොඩක්වත් 50% මට්ටම ආසන්නයේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන්නේ එජනිස ඡන්ද සේ පෙනෙන්නට තිබෙන, එහෙත් එජනිස ඡන්ද කියා මා නොසිතන සැලකිය යුතු තරම් විශාල පාවෙන ඡන්ද ප්‍රතිශතයයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගිලිහුණු ඡන්ද නැවත ආකර්ශනය කර ගැනීමට පොදුජන පෙරමුණ අසමත් වීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්. එයින් පෙනෙන්නේ, 2015 ජනවාරියේදී වූ මේ පිරිසගේ රාජපක්ෂ විරෝධය මේ වන විටත් මුළුමනින්ම සමනය වී නැති බවයි. එසේ වුවත්, මේ ඡන්ද එජාපය හෝ ජවිපෙ වෙත ආකර්ශනය වී නැහැ. ඒ වගේම, මේ පිරිස දේශපාලනිකව  සබුද්ධික පිරිසක් නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර ඉන්න හේතුවක් නැහැ. එය බොහෝ විට තමන් අකැමැති විකල්ප අතරින් අඩු නරක තෝරා ගැනීමක් විය හැකියි කියා සිතන්න පුළුවන්. ඒ නිසා, අවසන් ප්‍රතිඵලය තීරණය විය හැක්කේ ඉදිරි මාසය ඇතුළත ප්‍රධාන අපේක්ෂකයින් හා මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෛත්‍රීපාල සිරිසේන වැනි වෙනත් ඇතැම් අය හැසිරෙන ආකාරය මතයි.

8 comments:

  1. පළාත් පාලන ආයතන චන්ද වලදී පක්ෂය වගේම අදාළ කොට්ටාශයෙන් ඉදිරිපත්වෙන පුද්ගලයත් බලපානව. සමහර අවස්ථා වල උග්‍ර පාක්ෂිකයන් පවා නියෝජිතයා නිසා චන්දය නොදෙන අවස්ථා තියෙනව. මනාප ක්‍රමයේදී චන්දය පමණක් භාවිතා කර තරහා පිරිමසාගැනීමට හැකියාව තිබ්බත් දැන් පවතින ක්‍රමයේදී එසේ කරන්න බැරි නිසා චන්දය දීම සිදු නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට පොහොට්ටුවේ එකා අවුල් නිසා සන්ධානයේ එකාට දෙන්න මහින්ද වාදියෙක් උනත් පෙළඹෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණ සමඟ සියයට සියයක් එකඟ වුවත්, මේ කරුණ නිසා ලිපියේ ඇති කරුණු කිසිවක් වෙනස් වෙනවා කියා මම හිතන්නේ නැහැ. මා ඇල්පිටිය සසඳා බලන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා සමඟ නිසා ඔබ කියන ප්‍රාදේශීය සාධක වල බලපෑම සංසන්දනයේදී ඉවත් වෙනවා. එසේ නොවන්නේ ඇල්පිටිය ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙක් තැන් වලට වඩා සුවිශේෂී ප්‍රාදේශීය සාධක ඇති තැනක්නම් පමණයි. දෙවනුව, මේ මැතිවරණය ප්‍රාදේශීය මැතිවරණයක් වුවත් ජාතික මැතිවරණයකට ලැබෙන තරමේ අවධානයක් මේ මැතිවරණයට ලැබුණා. තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ හතරම උපරිම ශක්තිය යෙදවූවා. ඒ නිසා, මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ ප්‍රාදේශීය සාධක වල බලපෑම වෙන තැන් වලට වඩා අඩු මිසක් වැඩි වෙන්න හේතුවක් නැහැ.

      Delete
  2. ඉකොනෝ, මාත් ඔබ සමඟ සෑහෙන්නට එකඟයි. අදීශ ජයනාත් කමෙන්ටුවෙන් කියන දේත් ගොඩක් ඇත්ත.

    නමුත් වැඩි දෙනෙක් හිතනවාට වඩා වැඩි පිරිසක් මේ කුජීත දේශපාලුවන් එක්ක ලොකු තරහකින් ඉන්නේ. මෙයාලා විතරක් නෙවෙයි එයාලගෙ හාල්පාරු ඇම්බට්ටයන් එක්කත්. ඒ හුඟ දෙනෙකුගේ කෙරුවාවන් නිසා වෙන්නේ දෙන්න තියෙන ඡන්දත් නොවැටෙන එකයි. උන්ට ලජ්ජා නැතිව 'රෙදි ඇඳගෙන විත් හෙළුවෙන්' වුණාට මිනිස්සු මැරිලා ඉපදිලායැ? සේරටම හපන් එයාලා එහෙම එකතු වෙවී කියන්නේ ජනතාව වෙනුවෙන් කියලනේ!

    මා දන්නා ගොඩක් දෙනාට නම් තවම කිසිම දේශපාලන උණක් නැහැ වගෙයි. එයාලා ඡන්දය දමාවිද- කාට දමනවාද කියන එක ගැන ගැනවත් කියන්න තවම කල් වැඩියි වගේ.

    මටම වුණත් චන්දය දෙන්න වෙන්නේ වැරදි අඩුම කෙනාට මිසක් කැමැත්තක් තියෙන කෙනෙකුට නෙවෙයි!

    ReplyDelete
  3. ජනාධිපතිවරණයේදී සිංහල චන්ද වලට අමතරව මුස්ලිම් සහ දෙමළ චන්ද එකතුව බලපෑමක් ඇතිකරනවා.ඇල්පිටිය චන්දයේදී එහෙම එකක් උනේ නැහැ. මෙවරත් ජනපති සටනේ ජය තීන්දු කරන්නේ සුළුජන කොටස්. මධුමාධව හම්බයො කියලා කතා කරනකොට අලි සබ්‍රි වතුර දැකපු පිස්සු බළලා වගේ වෙන්නෙ ඒනිසා.

    ReplyDelete
  4. මම නම් ගෝඨාට විරුද්ධව ජන්දය දෙන්න තීරණය කරලා ඉවරයි.මගේ ජන්දය මාලිමාවට හෝ ඉදිරියේ ඇති වෙන තත්වයන් සලකා බලා සජිත්ට දෙනවා.සමහරවිට පළමු මනාපය මාලිමාවටත්,දෙවැනි මනාපය හංසයාටත් දෙන්න ඉඩ තියෙනවා.නැතිනම් කුරුටු ගානවා.

    ReplyDelete
  5. ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධියට ඡන්දෙ ඉල්ලුව බොහෝ දෙනෙක් පොහොට්ටුවෙන් නාමයෝජනා නොලැබුණු අය. ඒ නිසා ජනාධිපතිවරණයෙදි දෙක එකතුවෙන නිසා, පොහොට්ටුවට වාසියි. සජිත් රැල්ල තියෙන්නෙ ඔබ කියන ආකාරයටම සම්ප්‍රදායික එජාප සමාජිකයො අතර මිසක් පාවෙන ඡන්දදායකයො අතර නෙවෙයි. වර්ජන ර්‍අල්ල, පාස්කු බෝම්බ හා සිරිසේන රනිල්ගෙ දෙපැත්තට ඇදිලි නිසා බහුතර ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා ඉන්නෙ. මේ නිසා ගෝඨා මේ ඡන්දෙන් ඉතා පහසු ජයක් ලබනවා. හොඳම වැඩේ වෙන්නෙ, පස්සෙ එකතුවෙච්ච සිරිසේනගෙ සෙට් එකට, දැනටමහ් යන යන තැන හූ කියනවා. මේ නිසා මහ මැතිවරණෙ එකතුවෙලා ඉල්ලුවොත් ඒ අය බොහෝ දෙනෙක් පරදීවි.

    ReplyDelete
  6. ඉකොනෝ මහත්තයා හිතන්නේ කවුරු දිනයි කියලද? පොහොට්ටුව දින්නොත් මහත්තයා අළුත් රැකියාවක් හොයා ගන්නවද?

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා වගේ කැපුවත් කොළ උග්‍ර එක්සත් ජාතික පාක්‍ෂිකයන් ගැන........ දුකයි….දුකයි….දුකයි…. :,(

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: