වෙබ් ලිපිනය:

Wednesday, July 15, 2020

චීන වත්කම්


ලංකාවේ වගේම ඇමරිකාවේත් ශුද්ධ බැරකම් ගැන කලින් ලිපියෙන් කතා කළා. මේ එක් එක් රටේ ශුද්ධ බැරකම් එම රට වල ජාතික ආදායමෙන් බාගයකට ටිකක් වැඩියි. ඇමරිකන් ඩොලර් බිලියන 84ක ජාතික ආදායමක් උපයන ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක්. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 21.4ක ජාතික ආදායමක් උපයන ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 12.1ක්.

ඉහත සමානකම තිබුණත් ඇමරිකාවේ ශුද්ධ බැරකම් ලංකාවේ ශුද්ධ බැරකම් මෙන් රටට බරක් නොවන බව මම පැහැදිලි කළා. ඇමරිකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 31%ක් පමණක් වුවත්, ලංකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 77%ක් වීම මේ වෙනසට එක් හේතුවක්. එක් එක් රට තමන්ගේ වත්කම් වලින් උපයන හා බැරකම් වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික අතර වෙනස දෙවන හේතුවයි. කොහොම වුනත් ලෝකයේ විශාලතම ශුද්ධ බැරකම් සහිත රට ඇමරිකාව බව පැහැදිලි කරුණක්.

ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ වත්කම් ඇති රටක් වන්නේ චීනයයි. 2020 මාර්තු අවසානයේදී ලෝකය පුරා වූ චීන වත්කම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 7,635.4ක් වෙද්දී චීනයේ බැරකම් වල වටිනාකම වුනේ ඇමරිකන් ඩොලර් බිලියන 5,498.1ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ප්‍රමාණයක් චීනය සතුයි. එම ප්‍රමාණය චීනයේ මුළු බැරකම් ප්‍රමාණයෙන් 39%ක්.

ලංකාවේ ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් ලෙස ඩොලර් 438ක් තිබෙනවා. ඇමරිකාවේ ඩොලර් 100ක වත්කම් සාපේක්ෂව වලට බැරකම් ලෙස ඩොලර් 145ක් තිබෙනවා. එහෙත්, චීනයේ  ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් තිබෙන්නේ ඩොලර් 72ක් පමණයි. වෙනස පැහැදිලියිනේ.

හැබැයි ශුද්ධ බැරකම් තිබුණු පලියටම ඇමරිකාවෙන් ප්‍රාග්ධනය පිටතට ගලා නොයන බව අපි පෙර ලිපියෙන් දැන ගත්තානේ. ඒ කියන්නේ ශුද්ධ වත්කම් තිබුණු පලියටම ප්‍රාග්ධනය රටක් ඇතුළට ගලා එන බවටත් සහතිකයක් නැහැ. ඒ නිසා, අපට චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දෙසත් බලන්න වෙනවා.

පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී චීනයේ ශේෂ පත්‍රයයි. මෙයට හොංකොං ඇතුළත්ව නැහැ.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-    2,089.5
කළඹ ආයෝජන-                 640.8
මූල්‍ය ව්‍යුත්පන්න-                   10.5
වෙනත් ආයෝජන-           1,714.3
නිල සංචිත-                        3,180.3
එකතුව-                              7,635.4

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  2,906.4
කළඹ ආයෝජන-            1,263.2
මූල්‍ය ව්‍යුත්පන්න-                 11.9
වෙනත් ආයෝජන-         1,316.6
එකතුව-                             5,498.1

චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දිහා බැලුවහම අපට කලින් නොපෙනුණු කරුණු කිහිපයක් පෙනෙනවා. රාජ්‍ය මැදිහත්වීම් වල බලපෑම අඩු සෘජු විදේශ ආයෝජන හා කළඹ ආයෝජන පමණක් සැලකුවොත් චීනයේ වත්කම් වලට වඩා බැරකම් වැඩියි. චීනයේ ශුද්ධ විදේශ වත්කම් වලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ චීනය සතු විශාල විදේශ සංචිත ප්‍රමාණයයි.

චීනය සතු ඇමරිකන් ඩොලර් බිලියන 3,180.3ක නිල සංචිත වලින් ඇමරිකන් ඩොලර් බිලියන 3,060.6ක්ම විදේශ ව්‍යවහාර මුදල් සංචිත. මේ විදේශ ව්‍යවහාර මුදල් සංචිත තිබුණේ නැත්නම් චීනයේ ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ශුද්ධ බැරකමක් බවට හැරෙනවා. මේ විදිහට සංචිත ලෙස එකතු වී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇමරිකාව සමඟ කළ විදේශ වෙළඳාමේ වෙළඳ ශේෂය කියන්නත් පුළුවන්. එය සෘජුව වගේම වක්‍ර ලෙසිනුත් සිදු වී තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ලංකාව කතාවට එකතු කරන්න පුළුවන්. ලංකාව ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙන් එකතු කර ගන්න ඇමරිකන් ඩොලර් චීනය සමඟ කරන වෙළඳාමේදී චීනයට යනවා.

ලංකාව විසින් ලෝකයට ණය වෙමින් රුපියල ආරක්ෂා කරගන්න දඟලද්දී චීනය විසින් කාලයක් තිස්සේ කළේ එහි අනික් පැත්තයි. චීන මහ බැංකුව විසින් අපනයන හරහා චීනයට ලැබෙන ඇමරිකන් ඩොලර් එකතු කර ගනිමින් දිගින් දිගටම චීනය ඇතුළේ කෘතීම ඩොලර් හිඟයක් ඇති කළා. එහි ප්‍රතිඵලය ලෙස එක පැත්තකින් චීනයට ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සීමා වී ආනයන සීමා වෙද්දී අනික් පැත්තෙන් චීන යුවානය එහි නියම වටිනාකමට වඩා දුර්වල වී ඩොලරය එහි නියම වටිනාකමට වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන භාණ්ඩ චීනයෙන් පිටතදී එහි නියම මිලට වඩා ලාබ වෙනවා. ඇමරිකන් බඩු මිල අධික වෙනවා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව ඇතුළේදී චීන භාණ්ඩ ගොඩක් ලාබ වෙනවා. ඇමරිකන් භාණ්ඩ වලට චීන බඩු එක්ක තරඟ කරන්න අසීරු වෙනවා. චීනය හා ඇමරිකාව අතර චීනයට වාසිදායක වෙළඳ ශේෂයක් ඇති වෙනවා. චීන ආනයන වෙනුවෙන් ඇමරිකාව ගෙවන ඩොලර් ඇමරිකන් අපනයන සමඟ හුවමාරු වී නැවත ඇමරිකාවට එන්නේ නැහැ. ඒ නිසා, චීනය ඇතුළේ ඇමරිකන් ඩොලර් එකතු වෙනවා.

චීනයේ රාජ්‍ය මැදිහත් වීම නොවන්නට මෙවැනි තත්ත්වයක් වැඩිකල් පවතින්නේ නැහැ. චීනය ඇතුලෙ ඩොලර් සැපයුම ටිකෙන් ටික ඉහළ යන විට ඩොලර් ඉල්ලුම අඩු වී ඩොලරය පිරිහෙනවා. එහෙත්, චීනය එය සිදුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයට එන ඩොලර් ටික වෙළඳපොළෙන් එකතු කර ගන්නවා. යුවානය ශක්තිමත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයේ සංචිත ඉහළ යනවා. චීන ඇමරිකා වෙළඳ යුද්ධයට හේතු වුනේ චීන රජය විසින් මේ ආකාරයට දිගින් දිගටම චීනයේ වාසියට විණිමය අනුපාතිකය පාලනය කිරීමයි.

දැන් මේ විදිහට සංචිත ලෙස චීනය ඇතුළේ එකතු වන ඇමරිකන් ඩොලර් වලට මොකද වෙන්නේ? සුරක්ෂිතතාව ගැන හිතනවානම් මේ ඩොලර් නැවත ඇමරිකාවේම ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, ඩොලර් වැඩි ප්‍රමාණයක් නැවත ඇමරිකාවටම ආපසු එනවා. හැබැයි එහෙම කරලා චීනයට ලොකු පොලී ආදායමක් උපයන්න බැහැ. මොකද ඇමරිකාව චීනයෙන් ණය ඉල්ලන්නේ නැහැ. සල්ලි අරගෙන ඇමරිකාවට එන්නේ චීනයයි. ඒ නිසා, චීනයට ගන්න වෙන්නේ ඇමරිකාව විසින් ලබා දෙන පොලී අනුපාතිකයයි.

චීනය සමඟ කරන වෙළඳාමෙන් ඇමරිකාවට එක පැත්තකින් ලාබෙට බඩු ලැබෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලියකට ප්‍රාග්ධනය ලැබෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ අවුලක් නැතුව සිදු වුනේ ඒ නිසයි. ඇමරිකාවට සිදු වූ අවුල මේ වැඩෙන් ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වීමයි. ඇමරිකාවේ චීන විරෝධය මතු වුනේ රැකියා ප්‍රශ්නය මුල් කරගෙනයි.

චීනය පැත්තෙන් බැලුවහම චීනයට මේ වැඩෙන් විශාල වෙළඳපොළක් හිමි වුනා. චීනය විසින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කර තියා ගන්නවා කියා කියන්නේ චීන නිෂ්පාදකයින්ට නියම මිලට වඩා අඩු මිලක් ලැබෙනවා කියන එක. චීන ශ්‍රමිකයින්ට නියම වැටුපට වඩා අඩු වැටුපක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ චීන රජය විසින් සැලසුම් සහගතව චීන ශ්‍රමිකයාව සූරාකෑමක්. චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ ඒ විදිහට චීන රජය විසින් එකතු කරගත් නිෂ්පාදන අතිරික්තය. මේ ක්‍රමයට චීනය හා ඇමරිකාව අතර වෙළඳාම චීනයේ වාසියට සිදු වුනත් ඒ වාසිය ලැබෙන්නේ චීන රජයට මිසක් චීන ශ්‍රමිකයාට නෙමෙයි. ඒ නිසා, චීන ශ්‍රමිකයාගේ ආදායම් ඉහළ ගිහින් ඇමරිකාව වැනි බටහිර රටක නිෂ්පාදන මිල දී ගැනීමේ හැකියාවක් චීනය ඇතුළේ හැදෙන්නේ නැහැ.

චීනයේ එකතු වන සංචිත සියල්ලම නැවත ඇමරිකාව ඇතුළේම ආයෝජනය කළොත් චීනයට වෙන්නේ අතින් කාලා හරක් බැලුවා වගේ වැඩක්. වත්කම් තිබුණට මොකටද ඒ වත්කම් වලින් ප්‍රමාණවත් ආදායමක් හැදෙන්නේ නැත්නම්?

චීනයේ ගොඩ ගැහෙන සංචිත වලින් පාඩුවක් නොවෙන්නනම් ඒ සල්ලි කාට හෝ වැඩි පොලියකට දෙන්නම වෙනවා. ලංකාව වගේ රටවල් ණය ගන්න චීනය පස්සේ ගියත් ඇත්තටම කාට හෝ ණය දෙන්න අවශ්‍ය චීනයටමයි. වත්කම් වලට වටිනාකමක් ලැබෙන්නේ ඒ වත්කම් වලින් ආදායම් ඉපැයිය හැකි තරමටයි.

චීනය වගේ රටවල් ඇමරිකාව එක්ක වෙළඳ යුද්ධ වල නිරත වෙන්නේ තමන්ගේ ජාතික ව්‍යවහාර මුදලේ වටිනාකම පහළින් තියා ගන්නයි. චීනයට කලින් ඇමරිකාව මේ වගේ වෙළඳ යුද්ධයක පැටලී හිටියේ ජපානය එක්කයි. එහෙත්, ලංකාව කාලයක් තිස්සේම උත්සාහ කරන්නේ රුපියල මොන විදියෙන් හෝ ශක්තිමත්ව තියා ගන්නයි.

ලංකාවේ රුපියල ශක්තිමත්ව තියා ගන්න උදවු කිරීමෙන් චීනයට වාසි ගණනාවක් ලැබෙනවා. පළමුව මේ වැඩෙන් ලංකාව ඇතුළේ චීන බඩු ලාබ වෙනවා. ඒ නිසා, ලංකාවට සිදු කෙරෙන චීන ආනයන ඉහළ යනවා. දේශීය කර්මාන්ත වැහෙනවා. රැකියා නැති වෙනවා. ඇමරිකාවේදී වෙන දේමයි. හැබැයි ඊට අමතරව තවත් දේවල් වෙනවා.

ලංකාව වගේම චීනයත් තෙවන රටකට විකුණන භාණ්ඩයක් ගැන හිතන්න. දැන් ලංකාවේ භාණ්ඩය නියම මිලට වඩා ගණන්. චීනයේ භාණ්ඩය නියම මිලට වඩා ලාබයි. එක පැත්තකින් ලංකාවට වෙළඳපොළ නැති වෙනවා. අනික් පැත්තෙන් ආයෝජකයෙකුට ලංකාවේ තිබෙන ආකර්ශනීයත්වය අඩු වෙනවා. එක පැත්තකින් ලංකාවේ ආනයන ආදායම අඩු වෙද්දී අනික් පැත්තෙන් ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම, සෘජු ආයෝජන වගේම කළඹ ආයෝජනත්, අසීරු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ලංකාවට වැඩි පොලියක් ගෙවා හෝ විදේශ ණය ගන්න සිදු වෙන එකයි. චීනයට තවත් වාසියක්!

ඇමරිකාව එක්ක කරන වෙළඳාම හරහා චීනය සංචිත එකතු කරන තාක් ඒ සංචිත වලින් කොටසක් වැඩි පොලියකට ආයෝජනය කළ හැකි ලංකාව වගේ තැන් හොයා ගන්න එකත් කරන්නම වෙනවා. මෙහිදී අවදානම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අවදානම ගැන හිතනවානම් සල්ලි ආයෝජනය කරන්න තිබෙන්නේ නැවතත් ඇමරිකාවේමයි. කොහොමටත් ඒ වැඩේ වෙනවා. ලංකාව වගේ රටවලදී කෙරෙන්නේ වැඩි අවදානම්- වැඩි වාසි ආයෝජන. අවදානම ඉහළ වුනත් ලැබෙන පොලිය බැලුවහම ඒ අවදානම ගන්න එකේ පාඩුවක් නැහැ.

මොන කතන්දර කිවුවත් අන්තිමේදී ඇමරිකාව චීනයට ණයයි කියන එක වහන්න බැහැනේ. චීනයට වගේම ඇමරිකාවටත් දැනටනම් වැඩෙන් පාඩුවක් නැහැ. චීනය තමන්ගේ වත්කම් වලින් කොටසක් සුරක්ෂිත අඩු පොලී ආයෝජන වලත්, තවත් කොටසක් වැඩි අවදානම් වැඩි පොලී ආයෝජන වලත් දමලා ලාබ ගන්නවා. ඇමරිකාව තමන්ගේ වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු පොලියකට ණය ලබා ගෙන එහි වාසිය ගන්නවා. ඒ නිසා, ඇමරිකාව සතුව ශුද්ධ බැරකම් තිබුණත් ඇමරිකාව ලංකාව වගේ අවදානමක නැහැ.

ඇමරිකාවට මේ වාසිය තියෙන්නේ චීනය වගේ රටවල් ඇමරිකන් ඩොලර් ගොඩගහගන්න නිසානේ. චීනය ඩොලර් එක අත ඇරියොත් ඇමරිකාවට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඩොලර් එක වැටෙන්න ඕනෑ නේද?

කොයි තරම් කතන්දර තිබුණත් ඔය වැඩෙන් ඇමරිකාවට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඇයි? චීනය සතු ඩොලර් සංචිත ප්‍රමාණය එක්ක බැලුවහම ඩොලර් එක වැටෙනවා කියා කියන්නේ චීනයට විශාල පාඩුවක්. චීනය අල්ලාගෙන ඉන්නේ කොටි වලිගයක්. ඒක එහෙම එක පාරට අතාරින්න බැහැ. යම් විදිහකින් චීනය ඔය සංචිත නිදහස් කරනවානම් එය කරන්න වෙන්නේ ටිකෙන් ටික සතෙන් සතේ මිසක් එක පාරට නෙමෙයි.

කොහොම වුනත් චීනය වගේ රටක් ඩොලර් සංචිත සැලකිය යුතු තරමින් නිදහස් කළොත් ඇමරිකන් ඩොලරය පිරිහෙනවා. එයින් ඇමරිකාවට සිදු වන බලපෑම කුමක්ද?

ඇමරිකන් ඩොලරය පිරිහෙනවා කියා කියන්නේ ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියන එකයි. ඒ වගේම ඇමරිකන් බඩු ඇමරිකාවෙන් පිටතදී ලාබ වෙනවා කියන එක. මේ වගේ දෙයක් වුනොත් ඇමරිකානු නිෂ්පාදකයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා.

ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියා කියන්නේ ලංකාව ඇතුළේ ඒ දේම වෙනවා වගේ දෙයක් නෙමෙයි. ඇමරිකාව ආනයනය කරන්නේ ඇමරිකාව ඇතුළේ හදන්න බැරි දේවල් නෙමෙයි. ආනයනික භාණ්ඩ හැම දෙයක්ම වගේ ඇමරිකාව ඇතුළේ හදන්න අවශ්‍ය තාක්ෂනය, භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් ඇමරිකාව ඇතුළේ තියෙනවා. එහෙම තියෙද්දී පිටින් ආනයනය කරන්න එකම හේතුව මිල අඩුකම පමණයි.

දැන් ඩොලරය පිරිහී ආනයනික භාණ්ඩ වල මිල වැඩි වුන ගමන් වෙන්නේ කුමක්ද? මේ හැම දෙයක්ම රට ඇතුළේ හැදෙනවා පමණක් නෙමෙයි අපනයන වෙළඳපොළටත් යනවා. ලෝකයට නැවතත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඇමරිකානු ජාතිකවාදය විසින් කරගන්න උත්සාහ කරන්නේත් ඔය වගේ දෙයක්.

ඔය ටික චීනය නොදන්නවා නෙමෙයිනේ. ඒ නිසා, චීනය ඔය කතන්දර වල තියෙන දේවල් කරන්න යන්නේ නැහැ. ඇමරිකාව හා චීනය අතර පෙනෙන්න තිබෙන වෙළඳ යුද්ධය හෝ තරඟය හෝ මොකක් හරි එකේ මතු පිටින් පෙනෙන තරම් ගැඹුරක් නැහැ. රටවල් දෙක අතර සහයෝගීතාවය ඊට වඩා ගැඹුරුයි. ඒ වගේම රටවල් දෙකටම වාසියි.

20 comments:

  1. Econ, it will be very helpful if you could indicate key words in English (our little economic knowledge is in English) Wijebahu

    ReplyDelete
  2. //කෘතීම ඩොලර් හිඟයක් ඇති කර එහි ප්‍රතිඵලය ලෙස එක පැත්තකින් චීනයට ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සීමා වී ආනයන සීමා වෙද්දී අනික් පැත්තෙන් චීන යුවානය එහි නියම වටිනාකමට වඩා දුර්වල වී ඩොලරය එහි නියම වටිනාකමට වඩා ශක්තිමත් වෙනවා//

    එකොනො,මෙය සිදුවන යාන්ත්‍රණය තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද, කරුණාවෙන්. ආනයන සීමා වෙනකොට කොහොමද local currency එක දුර්වල වෙන්නේ?..එතකොට රටක් අපේක්ෂා කල යුත්තේ තම currency එක දුර්වලව තබා ගැනීමටද?

    ReplyDelete
    Replies
    1. ආනයන සීමා වෙනකොට local currency එක දුර්වල වෙන්නේ නැහැ. එය අනික් දිශාවටයි වෙන්නේ. local currency එක දුර්වල වෙන කොට ආනයන සීමා වෙනවා. මෙය ඉතාම සරලයි. අපි හිතමු ඇමරිකන් ඩොලරය එක පාරටම රුපියල් 500ක් වුනා කියලා. ලංකාව ඇතුළේ සියලුම ආනයන භාණ්ඩ වල මිල ක්ෂණිකව ඉහළ යනවා. එවිට නිකම්ම් ආනයන සීමා වෙනවා. ඒ වගේම අනික් පැත්තට විදේශිකයින්ට ලංකාවේ අපනයන ලාබ වෙනවා. ඒ නිසා අපනයන වැඩි වෙනවා. භාණ්ඩ පමණක් නෙමෙයි, සේවාවනුත්. උදාහරණයක් විදිහට ලාංකිකයින් විදේශ සංචාර වල යෙදෙන එක, අධ්‍යාපනය සඳහා විදේශගත වන එක වගේ දේවල් සීමා වෙනවා. ලංකාවට සංචාරකයින් පැමිණීම ඉහළ යනවා. කාලයක සිට චීනය විසින් කරන්නේත්, ඊට පෙර කාලයක් තිස්සේ ජපානය විසින් කළේත් තමන්ගේ ව්‍යවහාර මුදල් ඒකකය දුර්වලව තබාගෙන එහි වාසිය ගැනීමයි. අනූව දශකයේ ඇමරිකන්-ජපන් වෙළඳ යුද්ධයට හේතු වුණෙත්, දැන් ඇමරිකන්-චීන වෙළඳ යුද්ධයට හේතු වී තියෙන්නේත් මෙයයි. ඇමරිකාව චීනයට බල කරන්නේ චීන මුදල් ඒකකය ශක්තිමත් වෙන්න ඉඩ අරින්න කියලයි. ඒ දවස් වල ජපානයට බල කළේත් යෙන් එක ශක්තිමත් වෙන්න ඉඩ දෙන්න කියලයි. ලංකාවනම් ප්‍රතිපත්තියක් විදිහට කරන්නේ දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීමයි. ඩොලරයේ රුපියල් අගය පහළින් තියා ගන්නා තරමට ආනයන ඕනෑවට වඩා ලාබ නිසා දේශීය කර්මාන්ත වලට හිස ඔසොවන්න අමාරු වෙනවා.

      Delete
  3. ඇමරිකාව ලෝකයට ණය නම් ඇමරිකාවට පුලුවන් නේ ඩොලර් අච්චු ගහල එ ණය පියවන්න, ලංකාවට වගේ නම් එ වැඩේ කරන්න බෑ නේ. ඇමරිකාව එ විදියට ඩොලර් අච්චු ගහල ණය පියවන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. යම් ආකාරයකින් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. චීනය වගේ රටවල ගොඩ ගැහෙන සංචිත කියා කියන්නේ ඒ විදිහට අච්චු ගහන ඩොලර්. ඩොලර් අච්චු ගැහුවා කියා ඇමරිකාවේ උද්ධමනය ඉහළ නොයන්නේ චීනය වගේ රටවල් ඒ අච්චු ගහන ඩොලර් අරගෙන පැත්තකින් තියාගෙන ඉන්න නිසා. ඒ ඩොලර් වැය කර ඇමරිකාවේ භාණ්ඩ ආනයනය කරනවානම් ඇමරිකාවේ උද්ධමනය ඉහළ යන නිසා ඇමරිකාවට මේ වැඩේ කරන්න අමාරු වෙනවා.

      Delete
  4. චීනය විසින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කර තියා ගන්නවා නම් , චීන කර්මාන්ත ක්‍රමයෙන් වැහෙන්න එපැයි , නමුත් චීන නිෂ්පාදන එහෙම වැහෙන්නේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ එහෙම කියන පදනම මොකක්ද? සිදු වෙන්නේ ඔබ කියන එකේ අනික් පැත්තයි. චීන කර්මාන්ත ක්‍රමයෙන් වැහෙන්නේ චීනය යුවානය අධිප්‍රමාණය කර තියා ගත්තානම්. හොඳම උදාහරණය ලංකාව.

      Delete
  5. 1. එකොනො , පහත කල්පිතය සලකන්න.

    චීනය (හෝ වෙනත් රටක්), දන්න ශිල්ප සියල්ලම දාලා US $ 100/= නෝට්ටුම කෝටි සිය ගණනක් අච්චු ගැහුවා කියලා හිතන්න. එම අදාල රටේ රජයේ අනුග්‍රාහකත්වය ඊට තියෙන නිසා ඒක රජයේ අනුග්‍රහයෙන් සිදුවන වංචාවක්! පසුව මේ මුදල් යොදවා එම වංචනික රට ඇමරිකාවෙන් භාණ්ඩ සහ සේවා අධික සීඝ්‍රතාවයකින් මිලදී ගත්තොත් එම සීඝ්‍රතාවයෙන්ම (හෝ ආසන්න ප්‍රමාණයකින්) ඇමරිකාව උද්ධමනයකට යනවා නේද?

    2. රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි නම්, රුපියල ශක්තිමත් වී ඇතැයි කිව හැකිද?

    ReplyDelete
    Replies
    1. 1. හේතු ගණනාවක් නිසා මෙවැන්නක් සිදු වීමේ හැකියාවක් නැති බව පැත්තකින් තියා මෙය අදාළ මූලධර්ම තේරුම් ගැනීම සඳහා ඔබ යොදාගන්නා මනඃකල්පිත උදාහරණයක් පමණයි කියා හිතුවොත් පිළිතුර ඔව්.

      2. ඔව්.

      Delete
  6. ඇයි ලංකාව ණය වෙලා හරි රුපියල ශක්තිමත් කරන්නෙ? අපිත් චීනේ වගේ බාල්දු කලානම් හුගක් ප්‍රශ්න විසදෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නය ඇතුළේ ලංකාවේ සමස්ත ආර්ථික-දේශපාලන අර්බුදයම කැටි වී තිබෙනවා. දිග පිළිතුරක් නොදී මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. අපි හිතමු හෙට ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 300 දක්වා ඉහළ ගියා කියලා. එසේ වුවහොත්, ඉදිරි මැතිවරණයේදී ඔබ පවතින ආණ්ඩුවට ඡන්දය දෙන්න තිබෙන ඉඩකඩ අඩු වෙනවාද? වැඩි වෙනවාද?

      Delete
    2. පහුගිය නොවැම්බර් වලට සාපේක්ෂව අද තත්වය ඩොලර් එක රුපියල් 300ක් වුනා වගේ තමයි. තෙල් මිල ඩොලර් එක 300 වුනත් අද ගානට දෙන්න පුළුවන්. කාර් එකේ ඉදන් සෙල් ෆෝන් එක වෙනකම් ආනයනය තහනම්. ජන්ද ප්‍රතිපලය ලොකු වෙනසක් වෙයිද?

      Delete
    3. මම මේ ප්‍රශ්නය ඇහුවේ මේ මොහොතේ තත්ත්වය ගැන අවධානය යොමු කරවන්න නෙමෙයි. අපි හිතමු යහපාලන ආණ්ඩුව කාලයේ ඩොලරය රුපියල් 300ට ගියා කියලා. එහෙමනම් ආණ්ඩුව ඔයිටත් කලින් කඩා වැටෙන්න පුළුවන්කම තිබුණා. අපි අනාගත ආණ්ඩුවක් ගැන හිතමු. ඒත් තත්ත්වය එහෙමයි. ඇත්තටම මෙය මීට වඩා සංකීර්ණ කරුණක්. මෙය එක් මානයක් පමණයි.

      Delete
    4. දේශපාලනික කරුණු ඇරුනහම රුපියල ශක්තිමත්ව තබාගන්න විද්‍යාත්මක හේතු තියනවද? (කෙටියෙන්)

      Delete
    5. විද්‍යාත්මක කරුණු කියන දේවලුත් දේශපාලනිකයි. ආර්ථික විද්‍යාත්මක කරුණු වඩාත් දේශපාලනිකයි. (මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ කොහොමද කියන එක පසුව ලිපියකින් පැහැදිලි කරන්නම්. එය කෙටියෙන් කියන්න අමාරුයි.)

      Delete
  7. ඉකොනෝ, මට නම් මේ ලිපිය තව දෙසැරයක්වත් බලන්න වෙනවා, සියල්ල වටහා ගන්න. තොරතුරු සමුදායට ගොඩක් ස්තුතියි!!

    ReplyDelete
  8. එත්කොට ඉකොනෝ සිම්බාබ්වේ මුදල් එකක බල්දූ කරල බාල්දු කරල එ රජය කටයුතු කල නිසා සිම්බාබ්වේ තවත් අගාධයකට ගියා මිසක් චීනේ වගේ ගොඩ ගියේ නෑනෙ,

    චීනේ මුදල් ඒකක ශක්තිමත් නොකර රාජ්‍ය ආර්තිකය නංවන්‍යි, සිම්බාබ්වේ එ වැඩේම ඕනවට වඩා කරල එහි ආර්තිකය නැති වෙන්නයි හෙතුව මොකක්ද

    ReplyDelete
    Replies
    1. චීනය මුදල් ඒකකය අවප්‍රමාණය කර තබා ගැනීම සැලසුම් සහගතව හිතා මතා කළ දෙයක්. චීනයට අවශ්‍යනම් පහසුවෙන් මුදල් ඒකකය අධිප්‍රමාණය වෙන්න ඉඩ හරින්න පුළුවන්කම තිබියදීයි චීනය එහෙම කරන්නේ. හදිසියේ යුවානය ඕනෑවට වඩා අවප්‍රමාණය වෙනවා කියා පෙනෙන විටක ඒ තත්ත්වය පහසුවෙන් වලක්වා ගත හැකි තරම් සංචිත චීනය සතුයි. ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටක් ගත්තත් එහෙමයි.

      සිම්බාබ්වේ තත්ත්වය තනිකරම වෙනස්. සිම්බාබ්වේ රජය කිසි විටෙකත් ඔවුන්ගේ මුදල් ඒකකය අවප්‍රමාණය කරන්න සැලසුම් කළේ නැහැ. ඔවුන් හැම විටම උත්සාහ කළේ ලංකාව වගේ සිම්බාබ්වේ ඩොලරය එහි නියම වටිනාකමට වඩා ශක්තිමත්ව තියා ගන්නයි. එහෙත් ඔවුන්ට එය දිගින් දිගටම අවප්‍රමාණය නොකර බැරි වුන එකයි වුනේ. එහෙම නැතුව චීනයට මෙන් වෙනත් විකල්පයක් තිබියදී අවප්‍රමාණය කළා නෙමෙයි. ලංකාවේ ක්‍රමයේ තිබෙන අනතුරත් හරියටම මෙයයි. දැනටත් අවුරුදු දෙක තුනකට පාරක් එක පාරට රුපියල කඩා වැටෙන්නේ නොකරම බැරි වෙන කොට මිසක් කැමැත්තෙන් රුපියල අවප්‍රමාණය කරන නිසා නෙමෙයි. ඔය විදිහට ගිහින් හිර වෙන වෙලාවට සිම්බාබ්වේ වලට වුනු දේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට මුදල් ඒකකය එක පාරටම විශාල ලෙස අවප්‍රමාණය වෙනවා. බොහෝ විට එයින් හොඳක් වෙන්නේ නැහැ. මොකද එහෙම එකවර කඩා වැටුනහම එහි වාසිය ගැනීම සඳහා ආර්ථික කටයුතු ප්‍රතිසංවිධානය කර ගන්න කාලයක් ලැබෙන්නේ නැහැ. ටිකෙන් ටික අවප්‍රමාණය වෙන්න ඉඩ හැරිය යුත්තේ එවැනි තත්ත්වයක් වලක්වා ගන්නයි.

      Delete
  9. AnonymousJuly 16, 2020 at 11:27 AM
    ඇයි ලංකාව ණය වෙලා හරි රුපියල ශක්තිමත් කරන්නෙ?

    එකොනෝ මෙහෙම රුපියල පිරිහෙන්න දුන්නොත් ණ්‍ය බර තව වැඩි වෙලා තවත් අසීරු වෙනවා නේද ,මොකද ලංකාවට අවශ්‍ය පමණ්ටවත් විදේශ විනිමය නැතිකොට

    ReplyDelete
    Replies
    1. රුපියල පිරිහුණා කියලා ණය බර ඇත්තටම වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙනවා වගේ පේනවා පමණයි. ඒ වගේම රුපියල අධිප්‍රමාණය කර ණය බර අඩු වුනා වගේ පෙන්වන්න පුළුවන් වුනත් එය රැවටීමක් පමණයි. ඩොලරයක මිල රුපියල් 180 සිට 200 දක්වා වැඩි වන විට ඩොලර් මිලියනයක විදේශ ණය වල රුපියල් අගය මිලියන 180 සිට 200 දක්වා වැඩි වෙනවා තමයි. නමුත්, විදේශ ණය ගෙවන්නේ රුපියල් වලින් නෙමෙයි. ඩොලර් වලින්. ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ නොදෙන තරමට රටට ලැබෙන්න තිබෙන විදේශ විණිමය තවත් අඩු වෙන එකයි වෙන්නේ. ඒ නිසා, ණය ගෙවන්න වෙන්නේ වැඩි වැඩියෙන් තවත් විදේශ ණය අරගෙනයි. එන්න එන්නම ලංකාවේ විදේශ ණය ඉහළ යන්නේ ඒ නිසයි. ඔය ක්‍රමයට දිගටම යන්න බැහැ. කොයි වෙලාවේ හෝ හිර වෙනවා. මෙතෙක් කල් ලංකාවේ ආණ්ඩු කළේ ප්‍රශ්නය ඊළඟ ආණ්ඩුවට තල්ලු කිරීමයි. එහෙත්, දැන් එපමණ කලක් ඉදිරියට තල්ලු කිරීම අසීරු වන තරමට ප්‍රශ්නය උග්‍ර වී තිබෙනවා. ඒ නිසා, මේ ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ප්‍රශ්නය මග නොහැර එයට මුහුණ දෙන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: