Wednesday, July 29, 2020

මිනිස්සු සල්ලි එපා කිවුවොත්?


බැංකු හා මුදල් මැවීම ගැන උනන්දුවෙන් කියවන පිරිසක් තවමත් සිටින නිසා තව ටිකක් ඉදිරියට යමු. එකම මාතෘකාවක් පිළිබඳව එක දිගටම ලියන කොට ඒ මාතෘකාව ගැන වැඩි උනන්දුවක් නැති අය ටිකෙන් ටික හැලෙනවා. එහෙම වෙන බව තේරුණොත් මාතෘකාව වෙනස් කෙරෙයි. තවමනම් අවුලක් නැහැ.

ඒ වගේම, මේ ලිපිය පෙර ලිපි වලට සම්බන්ධ නිසා එම ලිපි නොකියවූ අයෙකුට අගමුල නොතේරෙන්න පුළුවන්. එහෙමනම්, කරුණාකර පහත තිබෙන ලිපි කියවා නැවත එන්න. ආර්ථික විද්‍යාව යම් මට්ටමකට හදාරා තිබෙන කෙනෙකුට වුනත් අලුත් දේවල් විය හැකි ඇතැම් කරුණුත් ඉදිරියට එන්න ඉඩ තිබෙනවා.

අපේ සල්ලි හා බැංකුවේ සල්ලි


මුදල් මවන්නේ කොහොමද?


පෙර ලිපි කියවුවානම් දැන් ඔබට වාණිජ බැංකු වලින් කරන මුදල් මැවීම ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. එසේ නැත්නම් අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අහන්න. දැන දැන උවමනාවෙන්ම ඇහුවේ නැත්නම්, මෝඩ ප්‍රශ්න කියා දේවල් නැහැ. පැහැදිලි නැති දෙයක් පැහැදිලි කර ගැනීම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. කොහොමටත් මෙහි ප්‍රතිචාර දමන්න තමන්ගේ නම දැමීම අනිවාර්ය නැහැ. එකම පහසුව කෙටියෙන් අකුරු දෙකක් හෝ දැම්මොත් එකම පුද්ගලයාගේ ප්‍රතිචාර වෙන් කර හඳුනා ගන්න පුළුවන් වීමයි.

දැන් මේ වාණිජ බැංකු විසින් කරන මුදල් මැවීම මුදල් ගුණනය කිරීමක් එහෙමත් නැත්නම් මුදල් බෝ කිරීමක්නේ. අර මැජික්කාරයෝ තොප්පියට පරවියෙක් දමලා පරවියෝ දෙන්නෙක් ගන්නවා වගේ. 

වට්ටක්කා ඇට දෙකක් කුඹුරට වීසි කළාම වට්ටක්කා වැල් දෙකක් හැදෙනවා. ඒ වැල් දෙකේ වට්ටක්කා හැදෙනවා. ඒ වට්ටක්කා වල තිබෙන ඇට ටික කුඹුරු වලට හරි වතු වලට හරි විසි කළාම තව වට්ටක්කා වැල් විශාල ප්‍රමාණයක් හැදී ඒවායේත් වට්ටක්කා හැදෙනවා. ඔය විදිහට හැදෙන වට්ටක්කා ටික ඔක්කොම නාස්ති වෙන්න නොදී එකතු කරගෙන අපනයනය කරන්න පුලුවන්නම් ලංකාව සංවර්ධිත රටක් කරන්න අවශ්‍ය වෙන්නේ වට්ටක්කා ඇට දෙකක් පමණයිනේ.

ඔය විදිහට වට්ටක්කා ඇට දෙකකින් රටක් ගොඩ දමන්න බැරි බව කියවන කාට වුනත් තේරෙනවනේ. හැබැයි ආකෘතියක් හදලා එහෙම පුළුවන් කියා සෛද්ධාන්තිකව පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආකෘතිය වැරදි බව තවත් කෙනෙක්ට පෙන්වන්න පුළුවන්. ආකෘතිය වැරදි වුනත් වට්ටක්කා ඇට දෙකකින් වට්ටක්කා හදා ගන්න පුළුවන් කියන කාරණය ඇත්තක්නේ.

වාණිජ බැංකු එකතු වෙලා මුදල් මවන එකත් ඔය වගේ වැඩක්. අසීමිත ලෙස මුදල් ගුණනය කරන්න බැරි වුනත් බැංකු වලට මුදල් ගුණනය කිරීමක් කළ හැකියි. මෙය කවුරුවත් හිතාමතා කරන දෙයක් නෙමෙයි. වට්ටක්කා ඇට දෙකක් කුඹුරට විසි කළාම පැල වෙනවා වගේ දෙයක්. සමහර වෙලාවට ඔය ඇට දෙක පැලවෙන්නේ නැති බව කාට හරි කියන්න පුළුවන්. එහෙම පැල වුනේ නැත්නම් වට්ටක්කා මැවීමක් නැහැ. මුලින් වට්ටක්කා පැල වුනත් වට්ටක්කා හේනක්ම බෝකර ගත්තාට පස්සේ වුනත් එක පාර ඔය හේනම විනාශ වෙන්න පුළුවන්. ඔය වගේම වාණිජ බැංකු විසින් මුදල් මැවීමේ යාන්ත්‍රණයත් විවිධ හේතු මත අතරමග නවතින්න පුළුවන්. 

ඊට කලින් අපි මුලටම ගියොත් වට්ටක්කා බෝකර ගන්න මුලින්ම වට්ටක්කා ඇටයක් හෝ ඇට දෙකක් අවශ්‍ය වෙනවා වගේම වාණිජ බැංකු වලට මුදල් මැවීම ආරම්භ කරන්නත් කිසියම් බීජ මුදලක් (seed money) අවශ්‍ය වෙනවා. ඔය බීජ මුදල් වෙන්නේ මහ බැංකුව විසින් සංසරණයට අලුතෙන් එකතු කරන මුදල්. 

අපි හිතමු රටේ මුදල් ඉල්ලුම හා සැපයුම මනා සේ සමතුලිතව තිබෙනවා කියා. දැන් එක බැංකුවකට දවස අවසානයේ මුදල් හිඟයක් ඇති වුනත්, ඒ හිඟය පියවා ගන්න අවශ්‍ය මුදල් වෙනත් බැංකුවක තිබෙනවා. ඒ වගේම, එක බැංකුවක මුදල් අතිරික්තයක් ඇති වුනොත් එම අතිරික්තය ආයෝජනය කළ හැකි ඉල්ලුමක් රටේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙනවා. ඒ නිසා, මහ බැංකුවට ඇඟිලි ගහන්න දෙයක් නැහැ.

ඔහොම තියෙද්දී රජය හා මහ බැංකුව එකතු වී රටේ මුදල් සැපයුම වැඩි කරන්න තීරණය කරනවා. හේතුව මොකක් හෝ වෙන්න පුළුවන් ඒ කාරණය අපි දැනට පැත්තකින් තියමු.

රජය විසින් රුපියල් බිලියන 10ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. මහ බැංකුව විසින් අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා. දැන් රජය විසින් ඔය මුදල් යොදවා රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා. අපි ඔය වගේ උදාහරණයක් ගනිමු. දැන් මෙහිදී රුපියල් බිලියන 10ක සල්ලි අච්චු ගැසීමක් සිදු වෙලා. ඒ වගේම රටේ මුදල් සැපයුම ක්ෂණිකවම රුපියල් බිලියන 10කින් ඉහළ යනවා. ඒ කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම අතර රුපියල් බිලියන 10ක පරතරයක් ඇති වෙනවා. ඒ අමතර රුපියල් බිලියන 10 ගන්න කෙනෙක් නැහැ.

වෙනත් විදිහකින් කිවුවොත් රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළත් රාජ්‍ය සේවකයින්ට ඇත්තටම වැඩිපුර සල්ලි අවශ්‍ය නැහැ. හැබැයි මෙහිදී රාජ්‍ය සේවකයින්ට ඇත්තටම වැඩිපුර සල්ලි අවශ්‍ය නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් තමන්ට පඩි වැඩි කළ එක ගැන අසතුටු වෙනවා කියන එක නෙමෙයි. කවුද ඒකට අකැමති? නමුත්, ඔවුන්ට ඒ වැඩි කළ මුදල මුදල් නෝට්ටු වලින් අතේ තියාගන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ක්ෂණික වියදම් සඳහා පරණ වැටුප ප්‍රමාණවත්. ඒ නිසා කරන්නේ වැඩි වූ මුදල බැංකුවේ දමන එකයි. බැංකුවට කෙළින්ම ආවානම් බැංකුවේම තියන එකයි.

දැන් බැංකුවේ රුපියල් බිලියන 10ක අතිරික්තයක් තිබෙනවා. ඒ මුදල තිබෙන්නේ අර රාජ්‍ය සේවකයින්ගේ තැන්පතු වලයි. ඒ නිසා, පාඨකයෙකු විසින් නිවැරදිව පෙන්වා දී තිබෙන පරිදි, බැංකු වලට එම මුදල් වෙනුවෙන් පොලියක් ගෙවන්න වෙනවා. බැංකුවේ නිකම් තිබෙන සල්ලි වෙනුවෙන් බැංකුව විසින් පොලියක් ගෙවනවා කියා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්නේ. ඒ නිසා, බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. ඔය රුපියල් බිලියන 10ක මුදල ණය විදිහට කාගේ හෝ ඇඟේ ගහන්නම වෙනවා.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ ණය ගන්න ඉල්ලුමක් නැති කමයි. අලුතෙන් රුපියල් බිලියන 10ක මුදලක් සංසරණයට එකතු වෙන්න කලින් ණය ඉල්ලුම සමතුලිත වෙලා තිබුණු නිසා දැන් ඊට වඩා අමතර ඉල්ලුමක් නැහැ. ඒ නිසා, අමතර ඉල්ලුමක් ඇති කරන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද?

අමතර ණය ඉල්ලුමක් ඇති කරන්න බැංකු වලට ණය පොලී අඩු කරන්න වෙනවා. කලින් 10%ක පොලියට ණය ගන්න අවශ්‍ය නොවූ යම් පිරිසක් පොලිය 9% වූ විට ණය ඉල්ලාගෙන එනවා. එවිට අර අමතර රුපියල් බිලියන 10ක මුදල හෝ එයින් කොටසක් ඒ අයට දෙන්න පුළුවන්. ඒ වගේම බැංකු වලට තැන්පතු පොලී අනුපාතික පහළ දමන්නත් පුළුවන්. එවිට එක පැත්තකින් දැනට තිබෙන තැන්පතු සඳහා ගෙවිය යුතු පොලී වියදම් පහළ යනවා. අනෙක් පැත්තෙන් ලැබෙන පොලිය අඩු නිසා පාරිභෝගිකයින්ගෙන් පිරිසක් තමන්ගේ තැන්පතු ඉවත් කර ගන්නවා. ඔය දෙයාකාරයෙන්ම අන්තිමට රටේ මුදල් ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. අර අමතර රුපියල් බිලියන 10ක මුදල බැංකු පද්ධතියෙන් එළියට යනවා.

ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට වාණිජ බැංකු විසින් මුදල් මවන ආකාරය පැහැදිලි කිරීම සඳහා යොදා ගන්නා ඉතා සරල ආකෘතියක් තිබෙනවා. මෙය ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම "වැඩ කරන" ආකෘතියක් නෙමෙයි. එහෙත්, එම ආකෘතිය යොදා ගෙන මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම පාලනය කරන ආකාරය පැහැදිලි කළ හැකියි.

මේ ආකෘතියේදී අපි උපකල්පන ගණනාවක් කරනවා. පළමු උපකල්පනය වන්නේ රටේ ණය ඉල්ලුමේ සීමාවක් නැහැ කියන එකයි. අරමුදල් තිබේනම් බැංකුවකට ඕනෑ තරම් ණය දෙන්න පුළුවන්. මෙය නිවැරදි උපකල්පනයක් නොවන බව අපි දන්නවා. නමුත්, ආකෘතිය වඩා සංකීර්ණ කර නොගැනීම සඳහා අපි දැනට ඒ බව අමතක කරමු. දෙවන උපකල්පනය වන්නේ කවුරු හෝ ණය ලෙස ලබා ගන්නා මුදල් සියල්ලම අනෙක් අතට නැවත බැංකු පද්ධතිය තුළට එනවා කියන එකයි. මේ උපකල්පන යටතේ මහ බැංකුව විසින් සංසරණයට එකතු කරන රුපියලක් කොපමණ ගුණනය වනවාද කියන එක අප‍ට ගණනය කළ හැකියි. එය තීරණය වන්නේ මහ බැංකුව විසින් නියම කරන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මතයි.

මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මගින් තීරණය වෙන්නේ වාණිජ බැංකු වලට තමන් විසින් එකතු කර ගන්නා තැන්පතු වලින් කොපමණ ප්‍රතිශතයක් නැවත ණය සේ නිකුත් කළ හැකිද කියන එකයි. බැංකු වල ව්‍යවස්ථාපිත සංචිත කියා කියන්නේ ණය සේ නිකුත් නොකර අනිවාර්යයෙන්ම මහ බැංකුවේ තැන්පතුවක් සේ තැබිය යුතු මුදලක්. එම මුදල සාමාන්‍යයෙන් බැංකුවේ තැන්පතු වල ප්‍රතිශතයක්. ණය සේ නිකුත් කළ හැක්කේ එම තැන්පතු මහ බැංකුවේ තැබීමෙන් පසු ඉතිරි වන අමතර මුදල හෝ එයින් කොටසක් පමණයි. මේ හරහා මහ බැංකුව විසින් වාණිජ බැංකු විසින් මුදල් ගුණනය කිරීමේ ක්‍රියාවලිය පාලනය කරනවා.

උදාහරණයක් විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් කියා අපි හිතමු. ඒ කියන්නේ බැංකුවක තැන්පතු ප්‍රමාණය රුපියල් 100කින් ඉහළ ගියොත් එම මුදලෙන් ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90ක් පමණයි. එම රුපියල් 90 නැවත තැන්පතුවක් සේ බැංකුවට පැමිණියොත් දෙවන වර ණය සේ නිකුත් කළ හැක්කේ රුපියල් 90*90% = 81ක් පමණයි. හැම චක්‍රයකදීම මුදල ටිකෙන් ටික අඩු වුනත් මේ වැඩේ වැල වගේ යනවා.

පළමු වටයේදී මහ බැංකුවේ හෝ රජයේ මැදිහත් වීමක්, එහෙමත් නැත්නම් වෙනත් බාහිර හේතුවක් නිසා වැඩි වූ රුපියල් 100
දෙවන වටයේදී ඒ රුපියල් 100 යොදාගෙන මවන රුපියල් 90
තුන් වන වටයේදී ඒ රුපියල් 90 යොදාගෙන මවන රුපියල් 81
හතර වන වටයේදී ඒ රුපියල් 81 යොදාගෙන මවන රුපියල් 81*90% = 72.90
....

ඔහොම වැල වගේ යනවා. වට්ටක්කා වගේම තමයි. අන්තිමේදී අර මුල් රුපියල් 100 රුපියල් කීයක් වෙනවද? ගුණෝත්තර ශ්‍රේණි ගැන දන්න කෙනෙකුට ඔය එකතුව පහසුවෙන් හොයා ගන්න පුළුවන්. කාට හෝ අවශ්‍යනම් අහන්න. මෙහි ගණිතය පෙන්වන්නම්. 

සමීකරණ පැත්තකින් තියමුකෝ. කාට වුනත් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ තරමයි මේ එකතුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මත හා ආරම්භක වටයේදී වැඩි වූ මුදල මත තීරණය වන දෙයක් බව. උදාහරණයක් විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 50%ක් කළොත් දෙවන වටයේදී මැවෙන්නේ රුපියල් 90ක් නෙමෙයි රුපියල් 50ක්. තෙවන වටයේදී මැවෙන්නේ රුපියල් 25ක් පමණයි. ඒ වගේම පළමු වටයේදී තැන්පතු ප්‍රමාණය රුපියල් 200කින් වැඩි වුනොත් ඉන් පසු වට වලදී මැවෙන මුදල් ප්‍රමාණයත් සමානුපාතිකව වැඩි වෙනවා.

මේ අනුව තවත් කරුණු කිහිපයක් හොඳින් පැහැදිලි වෙනවා.

- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව තියෙද්දී මහ බැංකුව හා රජය එකතු වී සල්ලි අච්චු ගැසූ විට එසේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් සැපයුම ඉහළ යනවා.
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව තියෙද්දී මහ බැංකුව හා රජය එකතු වී සල්ලි අච්චු ගැසූ විට මුදල් සැපයුම ඉහළ යන්නේ එසේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණයට සමානුපාතිකවයි.
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම මගින් සල්ලි අච්චු නොගසා රටේ මුදල් සැපයුම වැඩි කළ හැකියි. අවසන් ප්‍රතිඵලය සමානයි.

මහ බැංකුවකට මුදල් සැපයුමට බලපෑම් කළ හැකි තවත් ආකාර තිබුණත් මෙහි සඳහන් කළේ ප්‍රධානම ක්‍රම දෙකයි.

දැන් අපි මහේෂ්ගේ ප්‍රශ්නයට එමු.

"ඉකොන් කියන විදියට අපි හිතමුකෝ වානිජ බැන්කු තමන්ට ලැබෙන සියලුම තැම්පතු ( අපි හිතමුකෝ ස්තාවර තැම්පතු සහ ලමා ගිනුම් වැනි ආපසු ලබා ගැනීමේ අඩු සම්බාවිතාවක් තියෙන තැම්පතු කියලා) වලින් 90% ක් නය විදියට දෙන්න සුදානමින් ඉන්නවා කියලා. ඒත් රටේ මිනිස්සුන්ගෙන් නය වලට ඉල්ලුමක් නැති නම් ඒ සල්ලි වලට බැන්කු මොනවද කරන්නෙ? අපි හිතමුකෝ ලක්ශ 100 ක් තැම්පතු තියෙනවා එකෙන් ලක්ශ 90 නය දෙන්න පුලුවන්. ඒත් නය ගන්නේ ලක්ශ 20 විතරයි නම් ඉතුරු ලක්ශ 70 ට බැන්කුව මොකද කරන්නේ?"

ඇත්තනේ! පොතේ තියෙන්නේ ඔය උඩින් කියපු කතාව තමයි. ඒ නිසා, විභාගයකට ලියන කෙනෙක් වැඩි පණ්ඩිතකම් නොකර ඒ කතාව කට පාඩම් කරගෙන ලිවුවොත් ලකුණු ටික හම්බ වෙයි. හැබැයි ඔය කතාවේ කියන ආකාරයට රටේ ණය වලට ඉල්ලුමක් නැත්නම් වට්ටක්කා හැදෙන්නේ කොහොමද?

පහසු පිළිතුරක් අවශ්‍යනම් උඩින්ම ලියලා තිබෙනවා. විසඳුම සරලයි. කරන්න තියෙන්නේ පොලී අනුපාතික පහළ දමන එකයි. එතකොට නැති ණය ඉල්ලුම හැදෙනවා. බොහෝ වෙලාවට ඇත්තටම වෙන්නෙත් ඕක තමයි. 

හැබැයි ඔය ආකාරයට පොලී අනුපාතික අඩු වී අවශ්‍ය තරම් ණය ඉල්ලුමක් ඇති නොවන තත්ත්වයන්ද තියෙනවා. දැන් ලංකාවේ තියෙන්නේත් ඒ වගේ තත්ත්වයක්. ඒ ඇයි කියා මම පැහැදිලි කරන්නම්. මේ කියන්න යන ටික පාඨ ග්‍රන්ථ වල තිබෙන මූලික කරුණු නෙමෙයි.

කාට හෝ ණයක් දෙන එකේ අවදානම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. පොලියක් බලාගෙන ණය දුන්නත් පොලිය තියා දුන් මුල් මුදලවත් ආපසු නොලැබෙන අවස්ථා එමටයි. මෙය වාණිජ බැංකු විසින් මුහුණ දෙන ලොකුම අවදානමයි. පෙර ලිපි වල විස්තර කළ ද්‍රවශීලතා අවදානමත් ලොකු අවදානමක් වුණත් ණය ආපසු නොලැබීමේ අවදානමට සාපේක්ෂව ද්වීතියිකයි.

අපි හිතමු මෙලෙස ණය ආපසු නොලැබීමේ අවදානම 1%ක් කියා. ඒ කියන්නේ රුපියල් ලක්ෂය බැගින් සිය දෙනෙකුට ණය දුන්නොත් එයින් කවුරු හෝ කෙනෙක් පොල්ල තියනවා. ඒ නිසා, මේ ණය ආපසු නොලැබීමේ අවදානම වෙනුවෙන් පමණක් බැංකුවට 1%කට මඳක් වැඩි පොලියක් අය කරන්න වෙනවා. එක්කෙනෙක්ට දුන් රුපියල් ලක්ෂය නැති වුවත් ඉතිරි 99 දෙනාගෙන් අමතර රුපියල් දාහ බැගින් (හරියටමනම් පාඩුව පියවගන්නනම් රුපියල් 1010.10ක් බැගින්) ඇවිත් නිසා අවුලක් නැහැ. අනෙක් අවදානම් වෙනුවෙනුත් ඔය වගේ යම් පොලියක් එකතු කරන්න වෙනවා.

දැන් මේ වෙලාව ගැන හිතමුකෝ. කෝවිඩ් ඉවරවෙන දවසක් පෙනෙන්න නැහැ. ආර්ථිකය නැවත හිස ඔසොවන දවසක් පැහැදිලිව පෙනෙන්න නැහැ. ඔය වගේ තත්ත්වයක් යටතේ බැංකුවකින් ණයක් ගන්නා කෙනෙකුට ඒ ණය ආපසු ගෙවාගන්න බැරි වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. අපි කියමු මේ අවදානම 5%ක් කියලා. ඒ කියන්නේ ඒ අවදානම වෙනුවෙන් පමණක් අඩු වශයෙන් 5%ක පොලියක් අය කරන්න වෙනවා. ඊට වඩා අඩු පොලියකට ණය දෙනවා කියන්නේ දැන දැන කිඹුල් කටකට පනිනවා වගේ වැඩක්. වෙනත් විදිහකින් කිවොත් වාණිජ බැංකුවකට අනිවාර්ය පාඩුවක් නොලබා ණයක් දිය හැකි අවම පොලියක් තිබෙනවා.

මේ විදිහට වාණිජ බැංකුවකට අනිවාර්ය පාඩුවක් නොලබා ණයක් දිය හැකි අවම පොලියට ණය දුන්නත් ණය ගන්න රටේ ඉල්ලුමක් නැත්නම් මොකද කරන්නේ? දැන් අර මම මුලින් කියපු විසඳුම වැඩ කරන්නේ නැහැ. බැංකු වලට සල්ලි එනවා. ඒත් මළ වදේ ඒ සල්ලි වලට කරන්න දෙයක් නැහැ. දෙන්න හැදුවට කවුරුවත් ණය ගන්නේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ණය පොලිය තවත් අඩු කිරීමේ හැකියාවක් නැති නිසා බැංකු විසින් කරන්න ඉඩ තිබෙන්නේ තැන්පතු පොලිය අඩු කරන එකයි. එවිට, බැංකුවෙන් තැන්පතු ඉවත් වෙනවා. අලුත් තැන්පතු එන එක නවතිනවා. රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. බැංකුවේ තත්ත්වයත් සමතුලිත වෙනවා. නමුත්, අර පොතේ හැටියට සිදු විය යුතු, බොහෝ විට ඇත්තටමත් සිදුවෙන මුදල් ගුණනය වීම කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා, රජය හෝ මහ බැංකුව විසින් අපේක්ෂා කළ ප්‍රතිඵලය එලෙසම දකින්න ලැබෙන්නේ නැහැ.

අදට ඔය ඇති. ප්‍රශ්න තිබේනම් අහන්න.

7 comments:

  1. ඉකොනෝ,
    ලංකාවේ රාජ්‍ය බැංකුවලින් නම් තමන්ගේ දේශපාලන හිතවතුන්ට ණය අරගෙන නොගෙවා ඉන්නත් පහසුකම සපයනවානේ!
    එතකොට මොකද වෙන්නේ?

    එහෙම අයගේ නම් ලැයිස්තු හොයාගෙන ඒ ගැනත් post එකක් ලිව්වොත්.... යෝජනාව හොඳ නම් විතරක් සලකා බලන්න.

    ReplyDelete
  2. මේ ලියල තිබෙන ලිපිය සමග කෙලින්ම සම්බන්ධ නැති ප්‍ප්‍රශ්නයක් තිනාවා,කරුණාකරල පිලිතුරක් දෙන්න.

    රජයට විදේශ ණය ගෙවන්න සාල්ලී නැත්නම්
    නැත්නම් , රජය විදේශ සංචිත වලින් ණ්‍ය ගෙවන්න හදනවා නේ, එතකොට මොකද වෙන්නේ,

    කෙටි පිලිතුරක් උනත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. රජයට විදේශ ණය ගෙවන්න සල්ලි නැත්නම් කියන එකේ කොටස් දෙකක් තිබෙනවා. මේ කරුණ මම පෙර ලිපි කිහිපයකම (පසුගිය සතියේ නෙමෙයි) දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා. අවශ්‍යනම් හොයලා ලින්ක් දමන්නම්. ලියපු කාල වකවානු දැන් මටත් මතක නැහැ.

      1. ණය ගෙවන්නට තරම් ආදායමක් රජයට නැති වීම
      2. ණය ගෙවන්න තරම් ආදායමක් රජයට තිබියදී එම ආදායම රුපියල් ආදායමක් වීම නිසා රුපියල් ඩොලර් කිරීමට අවශ්‍ය ඩොලර් රටේ නැති වීම

      පළමුව මුහුණ දෙන ප්‍රශ්නය පළමු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සාපේක්ෂව පහසුයි. බදු වැඩි කිරීම, සල්ලි අච්චු ගැසීම, අලුතෙන් තවත් ණය ගැනීම ආදිය පළමු ප්‍රශ්නයට විසඳුම්. නමුත්, පළමු ප්‍රශ්නය විසඳාගත් පමණින් දෙවන ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

      සංචිත විකිණීම දෙවන ප්‍රශ්නයට විසඳුමක්. ණය ගෙවීම සඳහා මහ බැංකුව විසින් විකුණන සංචිත මිල දී ගන්නත් රජයට අරමුදල් තිබිය යුතුයි. ඒ සඳහා මුලින් පළමු ප්‍රශ්නය විසඳාගෙන සිටිය යුතුයි. ඇතැම් විට මහ බැංකුව විසින් සංචිත විකිණීම හා සල්ලි අච්චු ගැසීම යන දෙකම එකවර කරමින් රජයේ ප්‍රශ්න දෙකම එක වර විසඳා දෙනවා. විදේශ ණය ලබා ගත් විටත් ප්‍රශ්න දෙකම එකවර විසඳෙනවා. අරමුදල් ලැබෙන්නේම ඩොලර් වලින් නිසා දෙවන ප්‍රශ්නය මතු වන්නේ නැහැ.

      සංචිත විකිණීම නිසා සංචිත අවසන් වූ විට ඇති වන තත්ත්වය ඉතා භයානක එකක්. කොයි තරම් බදු වැඩි කළත්, කොයි තරම් දේශීය ණය ගත්තත්, කොයි තරම් සල්ලි අච්චු ගැසුවත් විදේශ ණය ගෙවන්න බැරි වෙනවා. විදේශ ණය ගෙවිය හැකි එකම ක්‍රමය අලුතෙන් තව විදේශ ණය ලබා ගැනීමයි. සංචිත කිසිවක් අතේ නැති රටකට ණය දෙන්න විදේශිකයෙකු කැමති වෙන්නේ නැහැ. සංචිත තිබුණත් කෙටිකාලීනව ගෙවිය යුතු රටේ විදේශ ණය වලට වඩා සංචිත අඩු වුනොත් රට බංකොලොත් වෙන්න ආසන්න බව කාට වුනත් තේරෙනවා. එවිට විදේශ ණය නොලැබී යනවා. ගෙවිය යුතු ණය වාරික ගෙවා ගත නොහැකි වෙනවා. එසේ වුවහොත් ආර්ථිකයේ විශාල හා ක්ෂණික කඩා වැටීමක් සිදු වෙනවා.

      Delete
  3. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හා සල්ලි අච්චු ගැසීම මගින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ගුනනයක් ද? පහුගිය දවස් වල ලංකාවෙ කරේ මේකනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම්.

      Delete
  4. ආසිරි මහත්තයා කිව්වා හෙට තක්කාලි ගුරුකම කෙරුවනම් සල්ලි මැවෙනවා කියලා.
    මාත් ටෙස්කරන්න හිතං ඉන්නේ.

    ReplyDelete
  5. ඉකෝන් ලංකාවේ මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත COVID-19 වසංගතය නිසා පීඩාවට පත් ලංකාවේ ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා 'සෞභාග්‍යා COVID-19 පුනරුද සහන' කියල ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් අතර එය මගින් ලංකාවේ ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට හැකි වන බවට ප්‍රචාරය කරනවා. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා වල සිට තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑ ම ව්‍යාපාරයක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා ගත හැකි බවයි කියන්නේ. මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවන බව අවධාරණය කර තිබේ. මේක ඇත්තක් ද? මේ ගැන විස්තර කරන්න බලන්න.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.