Tuesday, July 7, 2020

ලෝකයට ණය වීම හා ලෝකයට ණය දීම

කලින් ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රටක ජංගම ගිණුම ගැනයි. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නා රටකට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ වගේම දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් පවත්වා ගන්නා රටවලින් දිගින් දිගටම ප්‍රාග්ධනය පිටතට ඇදී යනවා.

මේක හරිම සරල දෙයක්. රටවල් පැත්තකින් තියලා තනි පුද්ගලයින් දිහා බැලුවත් ඔය දේ පැහැදිලිව පෙනෙනවා. දිගින් දිගටම ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් අතේ ප්‍රාග්ධනය එකතු වෙනවා. ආදායමට වඩා වියදම් කරන කෙනෙක් සතු ප්‍රාග්ධනය ටිකෙන් ටික ක්ෂය වෙනවා.

සෛද්ධාන්තිකව බැලුවොත් ආදායමට වඩා වියදම් කරන කෙනෙක් ආරම්භයේදී කොයි තරම් ධනවතෙක් වුනත් කාලයක් යද්දී දුප්පතෙක් විය යුතුයි. ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් කාලයක් යද්දී ධනවතෙක් විය යුතුයි.

රටවල් වලටත් මේ කතාව අදාළයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියා කියන්නේ ඒ රටේ සමස්ත පරිභෝජනය සමස්ත නිෂ්පාදිතයට වඩා අඩුයි. නිෂ්පාදිතයේ අතිරික්තය අපනයනය කර ලැබෙන ආදායම අනික් අතට ආනයන වෙනුවෙන් වැය කරන්නේ නැති නිසා රට ඇතුළේ විදේශ වත්කම් ගොඩ ගැහෙනවා. ඒ වගේම මෙහි අනිත් පැත්ත වුනොත්, ඒ කියන්නේ ආනයන ආදායම් ඉක්මවා අපනයන වෙනුවෙන් වියදම් කළොත්, බැරකම් ගොඩ ගැහෙන එකත් සිදු විය යුතුයි. නැත්නම් ආනයන සිදු වෙන්න විදිහක් නැහැ.

කලින් ලිපියේත් කතා කළ මේ කාරණා ඇසුරෙන් රටවල් තුළ ශුද්ධ වත්කම් හා බැරකම් සමුච්ඡය වෙන්න ජංගම ගිණුමේ ශේෂය බලපාන ආකාරය පැහැදිලි කළ හැකියි. නමුත්, මේ කතාව අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා, කාට හරි එසේ නොවන තැන් හොයාගෙන උදාහරණ ලෙස පෙන්වන්න බැරිකමක් නැහැ. ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටක් වුනත් ටිකෙන් ටික ධනවත් වෙන අවස්ථා ඇතැම් විට දකින්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙනත් ටිකෙන් ටික දුප්පත් වන රටවලුත් තිබෙනවා.

තනි පුද්ගල උදාහරණයට නැවත ගියොත් අපි හැම මාසයේම වැටුපෙන් කීයක් හෝ ඉතිරි කරන පුද්ගලයෙක් ගැන හිතමු. හරිනම් මේ පුද්ගලයා අතේ ටිකෙන් ටික ප්‍රාග්ධනය එකතු විය යුතුයි. නමුත්, කාලයකට පෙර පියා විසින් ඉඩම උගස් කර ලබාගත් ණයක පොලිය ගෙවන්න තිබෙනවානම්, මාසයේ වැටුපෙන් ඉතිරි වන මුදල ගෙවිය යුතු ණය පොලියට වඩා වැඩිනම්, මාස්පතා මුදලක් ඉතුරු කළත් කවදාවත් ධනවතෙක් වෙන්න බැහැ. ඒ වගේම, කිසිම රස්සාවක් නොකර කකා බිබී ඉන්න මනුස්සයෙක්ට වුනත් පරම්පරාවෙන් උරුම වූ දේපොළ විශාල තොගයක් තිබෙනවානම්, ඒ දේපොළ වලින් ලැබෙන ආදායම මාසයකදී වියදම් කරන මුදලට වඩා වැඩිනම් අවසාන වශයෙන් වෙන්නේ මේ පුද්ගලයා තවතවත් ධනවත් වෙන එකයි.

මේ කතා රටවල් වලටත් අදාළයි. ලෝකයට ණය වී සිටින රටවල් වලට ඒ වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න වෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණත් ඒ අතිරික්තය පොලී ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් වෙන්නේ රට ටිකෙන් ටික දුප්පත් වෙන එකයි. ඒ වගේම ජංගම ගිණුමේ හිඟයක් තිබුණත් ලෝකය පුරා තිබෙන වත්කම් වලින් ඊට වඩා පොලී ආදායමක් එනවානම් අවුලක් නැහැ. ඒ නිසා, අපි ලෝකයේ එක් එක් රටවල් වල අනාගතය තේරුම් ගන්නනම් එම රටවල ශුද්ධ වත්කම් හෝ ශුද්ධ බැරකම් තත්ත්වයන් හඳුනාගත යුතුයි.

Table 1: Net IIP (Billions of Dollars)
2014 2015 2016 2017 2018 2019
Japan 2910.5 2715.2 2879.2 2916.6 3080.4 3339.3
Germany 1449.3 1535.1 1696.8 2191.1 2394.6 2747.7
China, P.R.: Mainland 1602.7 1672.8 1950.4 2100.7 2146.1 2124.0
China, P.R.: Hong Kong 870.2 1003.1 1153.8 1421.2 1282.5 1563.1
Norway 710.3 698.5 736.0 883.3 798.8 996.6
Singapore 591.2 647.1 754.1 867.2 769.9 896.0
Switzerland 661.0 650.4 813.3 866.9 889.4 838.7
Saudi Arabia 791.6 689.8 597.3 623.6 631.8 682.8
Canada 27.4 323.2 304.0 586.8 564.5 774.6
Netherlands, The 391.7 367.5 458.0 525.7 626.6 813.4
2014 2015 2016 2017 2018 2019
United States -6945.4 -7461.6 -8192.2 -7743.2 -9554.7 -10991.4
Spain -1202.3 -1043.1 -1004.3 -1191.5 -1104.3 -1035.5
Euro Area -1676.6 -1463.4 -983.8 -1058.0 -610.4 -77.3
Australia -695.2 -673.7 -701.2 -766.8 -718.4 -624.6
Brazil -705.9 -374.7 -566.6 -645.3 -594.3 -731.9
Ireland -380.4 -556.9 -519.3 -596.0 -612.5 -671.1
Mexico -598.6 -600.8 -532.3 -556.5 -591.3 -655.0
Turkey -446.7 -384.0 -368.4 -462.7 -371.6 -352.0
France -407.6 -309.4 -306.3 -456.8 -440.8 -633.6
India -361.5 -368.4 -367.3 -426.7 -433.7 -432.0

Source: IMF

හරියටම සමාන නැති වුනත් දිගින් දිගටම සෘණ ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් බොහොමයක් ලෝකයට ණය වී සිටින බව, එනම් සමස්ත ජාත්‍යන්තර වත්කම් වලට වඩා සමස්ත ජාත්‍යන්තර බැරකම් වැඩි බව පැහැදිලිව දැකිය හැකි දෙයක්. ඒ වගේම කාලයක් තිස්සේ දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් සතුව ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් තිබෙන බව පෙනෙනවා.


ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් ඇති රටවල් අතර පෙරමුණේ ඉන්නේ ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල්. අනිත් ගොඩේ පෙරමුණේම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. උඩ සිතියමේ තැඹිලි පාටින් දැකිය හැකි රටවල් ලෝකයට ණය වී සිටින රටවල්. නිල් පාටින් දැකිය හැක්කේ ණය හිමියන්. මේ මොහොතේ ලෝක භූ දේශපාලන යතාර්ථයන් අවබෝධ කර ගන්න උත්සාහ කරන කෙනෙක් මේ සිතියම මතක තබා ගත යුතුයි.

තෙල් නිධි ඇති රටවල් බොහොමයක් නිල් පාට රටවල් බව කැපී පෙනෙන කරුණක්. එහෙත්, ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල් ඒ ගොඩේ ඉන්නේ එවැනි ස්වභාවික වාසියක් නිසා නෙමෙයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය විශාල ණයකරුවෙකු වී සිටින්නේ අනෙක් තැඹිලි පාට රටවල් ණය කරුවන් වී සිටින හේතු නිසාම නෙමෙයි.

ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් හා ජංගම ගිණුමේ ශේෂයට අමතරව රටවල් අතර අනාගත ප්‍රාග්ධන ප්‍රවාහ තීරණය කරන වෙනත් සංකීර්ණ සාධකද තිබෙනවා. චීන-ඇමරිකා සීතල යුද්ධය තේරුම් ගන්න ඒ සාධකත් හැදෑරිය යුතුයි. එහෙත්, ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල් හා අදාළව මේ නිල්-තැඹිලි භේදයේ බලපෑම ඉතා පැහැදිලියි.

5 comments:

  1. කැනඩාව වසරක් තුල ඔච්චර වෙනස් උනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ප්‍රශ්නය අහන්නේ කලින් ලිපිය සමඟ පළ කළ සිතියම හා මෙහි ඇති සිතියම සංසන්දනය කරමින් කියා මම හිතනවා. එකිනෙකට සම්බන්ධ වුනත් මේ සිතියම් දෙකෙන් පෙන්වන්නේ කරුණු දෙකක්. පෙර සිතියමේ පෙන්වන්නේ ජංගම ගිණුමේ ශේෂය. එම ශේෂය අදාළ වෙන්නේ කිසියම් නිශ්චිත වසරකටයි. අපේ පෞද්ගලික ගිණුමක ශේෂය වගේ දිගින් දිගට යන එකක් නෙමෙයි. කිසියම් වසරක් තුළ අපේ ආදායම් වියදම් අතර වෙනස වගේ එකක්. පෙර ලිපිය සමඟ ඇති සිතියමෙන් පෙන්වන පරිදි 2017දී කැනඩාවේ ජංගම ගිණුම් ශේෂය සෘණ එකක්. 2008 පමණ සිට එක් එක් වසර තුළදී දිගටම කැනඩාවේ ජංගම ගිණුම් ශේෂය සෘණ. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟය පියවෙද්දී රටේ වත්කම් ටිකෙන් ටික අඩු විය යුතුයි. එහෙත්, 2008 පමණ දක්වා කාලයක් තිස්සේ කැනඩාවේ ජංගම ගිණුම ධන තත්ත්වයේ තිබුණු නිසා කැනඩාව විසින් එකතු කරගත් ලොකු අතිරික්තයක් තිබෙනවා. එම අතිරික්තය තවමත් විදේශ වත්කම් සේ තිබෙනවා. ඒ නිසා, කැනඩාවේ ශුද්ධ වත්කම් තවමත් ධන. ඒ වෙනුවෙන් පොලී ආදායමක්ද කැනඩාවට ලැබෙනවා. මේ ලිපිය සමඟ තිබෙන සිතියමේ තිබෙන්නේ අදාළ වර්ෂය වන විට එක් එක් රටේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ධනද සෘණද කියන එකයි. අපේ පෞද්ගලික ගිනුමක ශේෂය සමඟ සංසන්දනය කළ හැක්කේ මෙයයි. හැමදාම ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන කෙනෙක් කාලයක් යද්දී ණයකරුවෙක් වෙනවා. සිතියම් දෙක බොහෝ දුරට සමාන ඒ නිසයි. එහෙත් කැනඩාව තවමත් ණයකරුවෙක් වී නැහැ. කලින් ඉතිරි කරගත් වත්කම් තවම තිබෙනවා.

      Delete
  2. එදා බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරියක නම් දරා තිබුණේ ‘යකඩ ගැහැනිය’ ලෙසය. ඇය මාග්‍රට් තැචර් නම් වූවාය. ලංකාව සංවර්ධනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රජයක් විසින් වික්ටෝරියා වේල්ල විවෘත කරන්නට ලංකාවට කැඳවාගෙන ආවේ ඇයයි. අද රුපියල් 30,000 තෙක් මිල නියම වන ‘එනසාල්’ වගාව වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල තහනම් කරන ලද්දේ මේ වික්ටෝරියා වේල්ල විවෘත කරන විටදීය. ඊට හේතු වුණේ එනසාල් වගාවේදී පාංශු ඛාදනය හේතුවෙන් එම රොන්මඩ ගලාවිත් වික්ටෝරියා ජලාශයට කාන්දු වීමය.

    ඉතින් මාග්‍රට් තැචර්ට සැකසූ දිවා ආහාරයට මෙරට රාජ්‍ය නායකයන් මෙන්ම බ්‍රිතාන්‍යයෙන් ආ රාජකීයයන්ද එක්විය. එහි විශේෂයෙන් සෑදූ මිරිදිය මාළු ආහාරයට ගත් මාග්‍රට් තැචර්, ජේ.ආර්.ගෙන් විමසුවේ මෙම මාළු වර්ගය කුමක්ද යන වගය. මහවැලියේ ආහාර භාර නිලධාරියා සිටියේ ෆුල් කිට් ගසා දුම්කොළයක් වැනි ටයිපටියක්ද බෙල්ලේ එල්ලාගෙනය. මහවැලියේ නිලධාරියා මාග්‍රට් තැචර් දෙස බලාගෙන සිටිත්දී එජාපයේ නායක වූ ජේ.ආර්. ජනාධිපතිතුමා එම නිලධාරියා කැඳවා මාළු වර්ගය කුමක්දැයි විමසා සිටියේය. අදාළ නිලධාරියා පිළිතුර දුන්නේ යටහත් පහත් ලෙසය.

    ‘‘ඒ මාළු වැවසියර් සර්…’’ (wawasiar fish sir!)

    ජේ.ආර්. වහාම පන්වලින් වියන ලද වට්ටියට උඩින් කෙසෙල් කොළයේ බෙදාගෙන තිබුණ ඇඹුල ​වේලට ඔය කියන වැවසියර් කෑල්ලක් දාන්නට අණ කළේය. මාළු කෑල්ල කෑ ගමන් ජේ.ආර්. කට කොණින් හිනාවුණේ උපහාසාත්මකවය.

    ‘‘තමුන්නාන්සේ මේවාට වැවසියර් කිව්වට අපි කියන්නේ තිප්පිලි කියලා’’යි ජේ.ආර්. මැතිතුමා මහ හයියෙන් කියා මාග්‍රට් තැචර්ට තමන් කියූ දේ ඉංග්‍රීසියෙන් පැවසූ විට මාග්‍රට් තැචර්ටද හිනාව නවතාගත නොහැකි විය.

    වැව් මාළු, වෙල් මාළු, ගඟේ මාළු සමග අපේ ගැමියන් මෙන්ම එදා නාගරිකයාද පැවතියේ දැඩි සම්බන්ධයකි. ගඟට ගොස් ඉලක්කය බලා හෙල්ලෙන් මාළුවකුට ​ඇන ගසක කොළයක ඔතාගෙන ඒමේ සිරිතක්ද එදා විය. එහි විශේෂත්වය නම් මාළුවා එතූ ගසේ කොළය කොතරම් ඖෂධීය ගුණයක් තිබුණේදැයි කිවහොත් ගෙදර ගෙන ගොස් මාළුවා උයන්නට තම ඇඹේනියට දෙන විටත් හෙලි පහරින් මාළුවාට වූ කැපුම් තුවාලය යාවී තිබීමය. එජාපයේ නායකයින්ගේ කැපවීමෙන් කළ කටයුතු නිසා ප්‍රේමදාස යුගයේ මෙරට මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය සංවිධාන්තමකව වර්ධනය වී ආවත් එය දුෂ්ට රාජපක්ෂ කල්ලියේ මුග්ධ විරෝධය හමුවේ යටපත්ව ඉන්පසු කෙමෙන් කෙමෙන් අපේ ජනතාවගේ මිරිදිය මසුන් අනුභවය කෙමෙන් ඈත් වී යන්නට විය. මිරිදිය මසුන් අල්ලන්නන් ​වෙහෙසක් නැති ත්‍රිරෝද එළවීම වැනි කම්මැලි රස්සා තෝරා ගැනීම, රාජපක්ෂ පාලන සමයේ පොහොට්ටු දාමරිකයන් පිටරටින් ගෙනා ආක්‍රමණශීලී මත්ස්‍යයන් අපේ දේශීය මත්ස්‍යයන්ගේ පැටවුන් හා බීජ ආහාරයට ගැනීම නිසා පරපුර වඳවීම හා මිරිදිය මත්ස්‍ය කඩ මුහුදු මාළු කඩ මෙන් ටයිල් අල්ලා ඒසී කොට කෑෂ් රෙජිස්ටරයකින් බිලක් මිලක් දෙන තත්ත්වයට අප්ඩේට් නොවීමද මීට හේතුපාදක විය. වර්තමානයේ අපේ රටට ආවේණික බොහෝ මිරිදිය මසුන් දැකිය හැක්කේ පාසල් ළමුන්ට මුද්‍රණය කරන පින්තූර කොළවලින් පමණි.

    ReplyDelete
    Replies
    1. දැනුත් ඉඳහිට හන්දිවල තබාගෙන මිරිදිය මසුන් අලෙවි කරන තැන් ඇතත් ඒවායේ බොහෝවිට ඇත්තේ බට්ටන් හෝ ලූලා මාළු වැනි මාළු ජාති දෙතුන් දෙනෙකි. ඇතැම් තැන්වල ඉඳහිට ‘ආඳා’ මාළුද දැකගත හැකිය. පොල්ගස්ඕවිට හන්දියේ ඇති මෙවැනි මිරිදිය මසුන් අලෙවි ලෑල්ලේ හවස 2.00 පමණ වනවිටත් ඇහිපිය ගහන ‘බට්ටා’ මාළු දැකගත හැකිය.

      මේ මිරිදිය මාළු විකුණන අමුතුම තාලේ මාළු ලෑල්ලක් අපට දැකගත හැකි වූයේ හෝමාගම හන්දියත් පනාගොඩ යුද හමුදාවේ ‘පඩිකපනාරාමය’ පන්සලත් අතරමැදය. මේ හරියට කියන්නේ ‘පනාගොඩ’ කියාය. අප වඳවී ගියා යැයි කියා පශ්චාත්තාප වූ අපේ බොහෝ මිරිදිය මසුන් වර්ග දුසිමකටත් වඩා එහි අලෙවියට ඇත.

      මේ මාළු ලෑල්ල වසර දහයක් පුරා පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රභාත් මොනරවිල නම් තරුණයා විසිනි. ඒත් ඔහුගේ ගම නම් මාළුවාට, මාළුවා හමු නොවුණත් ගහට ගහක් හමුවන මොරටුවයි. මොරටුව ප්‍රසිද්ධ මුහුදු මාළුවලට වුවත් බොල්ගොඩ ගඟ ආශ්‍රිතව අල්ලා ගන්නා මිරිදිය මසුන් මුහුදු මසුන්ට වඩා මොරටුවේ ජනප්‍රිය බව ප්‍රභාත් පවසයි. ප්‍රභාත්ගේ ලෑල්ලේ මීට කලින් දින අප ගිය විට අලෙවියට තිබුණ මෙරට මිරිදිය මාළු වර්ග ගණන පහළොවකට අධිකය. කොවිඩ් උවදුර හේතුවෙන් මාර්තු 19 වැනිදා ඇඳිරි නීතිය පැනවීමත් සමග අපේ ලිපිය මාස ගණනාවක් පසුපසට ගමන් කළේ ​නොසිතූ පරිදිය. එදා අලෙවියට තිබූ මාළු අතරින් හුංගා, මගුරා, ආඳා, තෙලියා, කාවයියා, සිදයා, පිරිනිලයා, කොරලියා, ලූලා, අංගට්ටා, ඉලයා, කටුපෙතියා, කටිල්ලා, අයිරාජා සහ මිරිදිය ඉස්සා හා කළුම කළු පාට කකුළුවාද ඒ අතර විය. එමෙන්ම බට්ටා මාළු එහි සිටි බවට අමුතුවෙන් කිව යුතු නැත. මේ මාළු අතර මිලෙන් වැඩිම මාළුවා ‘ලූලා’ ය. හොඳට වැඩුණ ලූලකු අලෙවි වන්නේ කිලෝවක් රුපියල් අටසීයෙන් ඉහළටය.

      ‘‘දැන් නයිෆ් ෆිෂ් කියලා ඩොට් ඩොට් තියෙන පිටරට ආක්‍රමණශීලී මාළුවෙක් බෝවෙලා. අපේ මිරිදිය මාළු ඕකකොම විනාශ වේගෙන යන්නේ. අපේ මාළු පැටව්, බිත්තර ඔක්කොම ඌ කාලා මහා විනාශයක් කරන්නේ’’ යි ප්‍රභාත් මුලින්ම අප සමග කතාවට එක්විය. මේ මාළු ලෑල්ලේ ප්‍රභාත්ගේ සහායට දිනේෂ් සහ නාලක නමින් මිතුරන් දෙදෙනකුද සිටී.

      ‘‘මේ මාළු එක තැනකින් නෙවෙයි, තැන් කීපයකින් අපි ​ගේනවා. බොල්ගොඩ ගඟ, වෑවල ගඟබඩ පාර, කහපොළ, පොල්ගස්ඕවිට වගේ පැතිවලින් ​ගේනවා. ඇඳිරි නීතිය දාන්න ඉස්සර ඇඹිලිපිටිය, අනුරාධපුරය, උඩවල, පදවිය, මහකනදරාව වැව, උලුක්කුලුම වැවෙන් අල්ලපු මාළුත් වික්කා. නමුත් තාම එහෙන් මාළු එන්න පටන් ගත්තේ නෑ. ඔය උලුක්කුලම වැව වැව් දෙකක් එකතුවෙලා තමයි හැදිලා තියෙන්නේ.’’ එහි සිටි කුඩා තිත් ඇති මාළුවාගේ නම ‘අබ කොරලි’ ය. එම මාළුවා ඉවීමට අබ අඹරා කබලේ බැඳ එක්කළ යුතුය. එම කොරලියා නියම සිංහල කොරලියා බව ප්‍රභාත් කියන අතර එම කොරලියා බෝකළ යුතු බවද ප්‍රභාත් කියන කතාවකි.

      Delete
    2. අප මේ මාළු ලෑල්ල අසලට වී කතා කරන විට විශාල බැරලයක කාවයියන් වැනි මාළුන් හත් අටදෙනකු පිහිනමින් සිටිනු දැකගත හැකි විය. අප ප්‍රභාත්ගෙන් ප්‍රශ්න කළේ කස්ටමර් ඕඩර් කළ විට පණපිටින් සිටින මාළුවා එවෙලේම මරා කපා දෙන සර්විස් එක්කද පවත්වාගෙන යනවාද කියාය.

      ‘‘අපෝ නෑ, නෑ. අපි කීයටවත් පණපිටින් ඉන්න මාළු මරන්නෑ. අපි කිරල මෙතැනට මාළු ගෙනාවාම සමහර මාළු කපන්න යනකොට ඇස් ගහලා පණ ගිය නැති මාළු ඉන්නවා. දඟලනවා. අපි කීයටවත් ඒ මාළු මරන්නේ නෑ, ඔය වතුර තියෙන බැරල් එකට දානවා.’’

      ප්‍රභාත් ඇතුළු තිදෙනා ඊට පසු මෙම බැරලයේ එකතු වන මාළු හවසට මාළු ලෑල්ල අසලම බෑවුමක පිහිටි ළිඳකට දැමීම සිරිතය.

      ‘‘අපි අඩි හතර සිලින්ඩර් බස්සලා මේ ළිඳ හැදුවේ. අන්තිම සිලින්ඩරෙන් පස්සේ යට පස් කණ්ඩිය දැන් මාළු වටේට ගුහාවක් වගේ හාරගෙන ඒ හෙවණේ ඉන්නවා. ළිඳේ මාළු වැඩිවුණාම ඔක්කොම අල්ලලා එහා පැත්තේ තියෙන ඇළට දානවා.’’

      ප්‍රභාත් ඇතුළු මෙම මාළු ලෑල්ලේ සිටින තිදෙනාටම මිරිදිය මසුන් ගැන ඇත්තේ හොඳ දැනුමකි. ඔවුන් පවසන්නේ මේ මිරිදිය මසුන් තරම් මුහුදු මාළුන් ගුණ නැති බවය.

      ‘‘ඔය තෝර, තලපත් කියලා කන්නේ මාස ගාණකට කලින් ටෝලර්වල අල්ලපු අයිස් මාළු. අයිස්වලට ලේවල ගුණ නැතිවෙලා. අපි විකුණන්නේ දවසේ මාළු විතරයි. හැබැයි ඉතින් හොඳට අබ, තුනපහේ කබලේ බැදලා උයන්න දැනගන්න ඕන. අපි උයන හැටිත් උගන්වනවා.’’

      ​මොවුන් කියන්නේ පිළිකා රෝගයෙන් ශරීරයේ ලේ අඩුවීමට ‘ලේ හුංගා’ ආහාරයට එක්කර ගත යුතු බවය. බබාලා හම්බවුණ අම්මලාට කිරි එරෙන්නට දෙන්නේ ලූලාය. වාතය නසන්නටත්, ධාතු ශක්තිය වඩන්නටත් එය උපකාරී වේ. එමෙන්ම ආඳා මාළු ධාතු ශක්තිය වඩවයි, ඇස් පෙනීම, කන් ඇසීම වඩාත් දියුණු කරයි. මන්දපෝෂණය, මාන්දම නැති කරයි. මිරිදිය ඉස්සන්ගේ ඇති ගුණය ආහාර දිරවීම ඉක්මන් කරයි, අග්නිය වඩවයි, සෙම මර්දනය කරයි. එමෙන්ම කොරලි ආහාරයට ගැනීමෙන් රුධිරයේ දෝෂ නසයි, රුධිරය තර කරයි, වාත ආබාධ නැති කරයි, ධාතු වඩවයි. පිත නැති කරන්න පංකාදු පෙතියා මාළු, ධාතු ශක්තියද වඩවයි. දැනට කලාතුරකින් හමුවන හුංගා මාළු ශරීරයේ ලේ වඩවයි, සිසිල් ගුණය ඇති කරයි, ධාතු ශක්තිය වඩවයි, වාතය නසන්නටද උපකාරී වේ.

      මේ කොයිකටත් වඩා කොවිඩ් උණෙන් බේරීමට, ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඇතිවීමට මිරිදිය මසුන් ආහාරයට ගැනීමට බොහෝ දෙනා වෛද්‍ය උපදෙස් මත පෙලඹී ඇති බව ප්‍රභාත් අපට කීවේ සුපිරි රථ කිහිපයකින් පැමිණි කීප දෙනකුට මාළු කපා දෙමිනි.

      දැන් අපේ ලොකුම මිරිදිය මත්ස්‍යා වන ‘තඹලයා’ වඳවෙමින් සිටී. මහ බැංකු වාර්තාවේ මිරිදිය මසුන් ගැන දත්ත තිබුණාට තමන් කිසිදින මහ බැංකුව දකිනවා තියා කිසිදු බැංකු නිලධාරියෙක් පැමිණ නැති බව ප්‍රභාත් කියයි. මොවුන් කියන්නේ වස විස නැති මේ මිරිදිය මසුන් ආහාරයට ගැනීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය. ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ ඇති චක්‍රීය අරමුදලේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරන්නට පසුගිය එජාපයේ නායකයින් රුපියල් මිලියන 184ක අරමුදලක් වෙන්කොට තිබූ බවත් රාජපක්ෂ කල්ලියේ පිරිස ඒවා අවභාවිත කිරීමට ඉඩ ඇති බවත් මේ පිරිස් දන්නේවත් නැත.

      එම අරමුදලේ 2025 වනවිට වටිනාකම රුපියල් මිලියන 1000ක් වන බව ඇස්තමේන්තු කොට ඇත. ඒත් ඔය කියන රාජපක්ෂ ආණ්ඩුවේ ටයිපටි දමාගත් අධිකාරිවල ලොක්කන් මෙවැනි ව්‍යාපාර නගාසිටුවන්නට කරපු හත්ඉලව්වක් නැත. කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැතිව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනයට කැපවූ මෙවැනි පිරිස් දිරිගැන්වීමට අප කටයුතු කළ යුත්තේ ඒ නිසාය.

      ව.ලි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.