Sunday, September 13, 2020

අපේ අලුත් ජීවිතය

බ්ලොග් එක පැත්තේ ආවේ සති දෙකකටත් පස්සේ. මම හිතන්නේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නොවැම්බර් මැද වන තුරු අවසන් වන එකක් නැහැ. ඒ නිසා, එතෙක් කල් බ්ලොග් එක පණ පිටින් තියා ගන්න ඉඳහිට මේ වගේ යමක් ලියනවා හැර වැඩි දෙයක් කරන්න ලැබෙන එකක් නැහැ. 

පසුගිය වසර පහක පමණ කාලය තුළ වසරකට ලියා තිබෙන සාමාන්‍ය ලිපි ප්‍රමාණය මේ වසරේ දැනටමත් ලියා අවසන් නිසා ඉතිරි මාස කිහිපයේ වැඩිපුර නොලිවුවා කියා අඩුවක් දැනෙන එකක් නැහැ. කියවන්න අවශ්‍ය අයට කියවන්න ලිපි විශාල ප්‍රමාණයක් බ්ලොග් එකේ තිබෙනවා වගේම තවමත් සැලකිය යුතු පිරිසක් දිනපතාම පරණ ලිපි කියවනවා.

සැප්තැම්බර් මාසය කාර්ය බහුල වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙහි පළ කර තිබෙන්නේ ලිපි තුනක් පමණයි. පෞද්ගලිකව ගත්තහම සැප්තැම්බර් මාසය බොහෝ දේ සැලසුම් කර ගත යුතු අවුරුද්දක ආරම්භය වැනි කාලයක්. මේ අවුරුද්දේ සුවිශේෂී ස්වභාවය නිසා තවත් අමාරුයි.

මේ වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් "දෙවන රැල්ල" මන්දගාමී වෙමින් යන නමුත් තවමත් දවසකට රෝගීන් හතළිස් දහසක් පමණ අලුතෙන් හඳුනා ගැනෙනවා. මරණ දහසකට කිට්ටුව සිදු වෙනවා. මා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් පසුගිය මාර්තු මාසයේ සිට තවමත් ඉන්නේ නිවස ඇතුළේ. මෙය ස්වේච්ඡාවෙන් සිරගත වීමක්. අපේ රැකියා වල ස්වභාවය නිසා අපට මේ අවස්ථාව හිමි වී තිබෙනවා.

පසුගිය මාසයේ ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවතත් පාසැල් වාරය ආරම්භ වුනා. පාසැල් වල වගේම සරසවි වලත් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ රුචිකත්වය පරිදි පන්ති කාමරයට පැමිණ හෝ ගෙදර සිට ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ සිසුන් 22,000ක් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ගේ තේරීම් අනුව සිසුන් 7,000ක් මෙම පාසැල් වාරය අවසන් වන තුරු නිවෙස් වල සිට අධ්‍යයන කටයුතු කරන්නට කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතිරි සිසුන් 15,000 පන්ති කාමරයේ සිට ඉගෙන ගන්නවාට ඔවුන්ගේ දෙමවුපියන් කැමතියි. දරුවන් ගෙවල් වල තබා ගැනීම නිසා ඇති වන අමතර ප්‍රශ්නත් මෙයට හේතුවක්. අප නිවසේ සිට රැකියාව කරන නිසා දරුවන්ද නිවසේ සිටීම අපට ප්‍රශ්නයක් නොවූවත්, රැකියා සඳහා නිවෙසින් බැහැර යා යුතු දෙමවුපියන්ට එය ප්‍රශ්නයක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි සේ සිදුවන බවට වග බලා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ වගේම, කොහොමටත් ගෙදරින් එළියට යන නිසා දරුවන් බැහැර ගියා කියා ඔවුන්ගේ අවදානම අමුතුවෙන් වැඩි වෙන්න දෙයකුත් නැහැ. 

පාසැල් සිසුන්ගේ (දෙමවුපියන්ගේ) වගේම සරසවි සිසුන්ගේ රුචිකත්වයන් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන එක් දෙයක් වන්නේ පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුල් වල, විශේෂයෙන්ම ආසියානු සම්භවයක් ඇති පවුල් වල, ජනප්‍රිය තේරීම නිවසේ සිට අධ්‍යාපනය ලැබීම බවයි. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. 

පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුලකට ඇමරිකාව ඇතුළේ ඥාති සම්බන්ධතා ජාලයක් නැහැ. එසේ තිබියදී, පවුලේ අයෙකුට කෝවිඩ් ආසාදනය වී ඉතිරි අයටද බෝ වුනොත් බලන්න කෙනෙක් නැති කමින් අසරණ වෙනවා. ඥාති සම්බන්ධතා ජාලයක් තිබෙන කෙනෙකුට මේ වගේ අවස්ථාවක උදවු ලබා ගත හැකි සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, සංක්‍රමණිකයන්ට බය වෙන්න හේතු වැඩියි. 

ඉන්දියාව, චීනය වැනි ආසියානු රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වී සිටින බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ඇමරිකාවට සංක්‍රමණය වී සිටින වෘත්තීය රැකියා කරන අයයි. ඒ අයට බොහෝ විට නිවසේ සිට තමන්ගේ රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා, දරුවන්ද නිවසේ තබා ගැනීමට තිබෙන නැඹුරුව වැඩියි.

අනෙක් අතට මෙවැනි සංක්‍රමණික පවුල් වල දෙමවුපියන් බොහෝ විට ඉලක්ක කරන්නේ තමන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කරන්නයි. ඒ වගේම ඇමරිකාවේ ඉපදුනු සංක්‍රමණික පවුල් වල දරුවන් අතර පවා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ විභාග ඉලක්ක කළ අධ්‍යාපනය කෙරෙහි යම් නැඹුරුවක් තිබෙනවා. ඉලක්කය විභාගය හෝ ලකුණු වූ විට ඉගෙන ගන්නේ කොහොමද කියන එක එතරම් වැදගත් නැහැ.

හැම විටම නොවූවත්, පරම්පරා ගණනක් ඇමරිකාවේ ජීවත් වන සුදු හෝ කළු ඇමරිකානු පවුල් වල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඉලක්කය අධ්‍යාපනය මිස විභාග හෝ ලකුණුම නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපනය පූර්ණ එකක් වන්නේ සිසුන්ට පංති කාමරය තුළ අනෙක් සිසුන් සමඟ ගැටෙන්නට අවස්ථාව ලැබේනම් පමණයි. 

ඇමරිකාව හැම තැනම තත්ත්වය මා දන්නේ නැතත්, අපේ ප්‍රදේශයේ පාසැල් හා සරසවි විවෘත කර තිබෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි. සිසුන් හැම විටම මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ සිටිය යුතු අතර අඩි හයක පරතරය පවත්වා ගත යුතුයි. මේ කොන්දේසි යටතේ පන්ති කාමරයක ඉඩ තිබෙන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි. ඒ නිසා, පාසැල් යාමට කැමති සිසුන් සියලු දෙනාටම ඒ අවස්ථාව ලබා දීමේ හැකියාවක් නැහැ.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පංති කාමරයේ සිට ඉගෙන ගැනීමට කැමති සිසුන්ට සතියේ දින පහෙන් දෙකක් එසේ පාසැල් යාමට අවස්ථාව ලැබෙනවා. ඉතිරි දින වල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. වාසගමේ මුල් අකුරු අනුව ගෙදර සිටින දවස් හා පාසැල් යන දවස් තීරණය වෙනවා. 

ගෙදර හතර දෙනෙක් තැන් තැන් වලට වී සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පන්ති කාමරයක හෝ රැකියා ස්ථානයක කරන කටයුතු කිරීමත් පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට එක ගාලගෝට්ටියක්! සංගීතය, සරඹ වගේ විෂයයනුත් තියෙනවනේ!!

(Image: https://www.reddit.com/r/funny/comments/fxgm1p/my_roommates_zoom_meeting_attire/)

6 comments:

  1. I am going crazy with this WFH, not sure how long I can take this. I miss travel by air to other cities to work, airports, coffee shops, going to SL whenever I feel like, spend one night is Singapore on my way to SL. My whole life is kind of on it's head right now.

    ReplyDelete
    Replies
    1. අලුත් දෙයක් කරන්න, ඉගෙන ගන්න. Learn or do something which you haven't done before. එතකොට මොලය වර්ධනය, immune system එක boost වෙන එක, riverse-ageing ඔක්කොම වෙනව. ලෝකයේ මිලියන් ගානක මිනිස්සුන්ගෙ තත්වය ඕක තමයි.

      Delete
  2. සැමට මෙන්ම ඔබටත් නිදුක් නිරෝගී කරදර අඩු, විවේකය වැඩි සමයක් හනික උදා වේවා!

    ReplyDelete
  3. පියෙකු නැති දරුවෙකු
    බවට පත්විය විස්ස

    අලි සබ්‍රි කියන්නේ
    මම නෙවෙයි හැදුවේ

    තාත්තා සොයනකල
    හමුඋනා මන්දිරය තුල
    මල්වානෙ ගොඩනැගූ
    හිමිකරුද නොමැතිවූ!

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා දන්නවද අද ගරු ත්‍යාගදීප්පන් තිලීබන් මැතිතුමාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් මානුෂීය සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්. කේ. සිවාජිලිංගම් මහතා අද (ලංකාවේ සැප්තැම්බර් 15) උදෑසන යාපනය කෝපායි පොලීසිය විසින් ඉතා නරුමවාදි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පොලිස් භාරයට ගෙන ඇති බව?

    මෑතකදී තිබූ මහා මැතිවරණයේ දී දුෂ්ට සිංහල ජාතිවාදී අමනයින් විසින් කරන ලද කුමන්ත්‍රණ නිසා පරාජයට පත් කරනු ලැබූ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා යාපනය උරුම්පිරෛයි ප්‍රදේශයේදි තිලීබන් මහතාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් ඔහුව පොලිස් භාරයට ගෙන ඇත.

    ලංකාවේ දමිළ භාෂාවෙන් පළ කරන ජනමාධ්‍යවේදීන් අදාල සිද්ධිය ගැන කෝපායි පොලීසියෙන් දිගටම කරගෙන ගිය විමසීම්ය වලට පස්සේ ප්‍රකාශ කළේ ඒ මන්ත්‍රී වරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවත් විතරයි.

    මම හිතන්නේ ඔබට මතක ඇතැයි සිතිය හැකියි එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීප්පන් තිලීබන් මහතා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තම්බර් 26 වනදා මිය ගිය බව. මේක ගැන විරෝධය පළ කරමින් පෝස්ට් එකක් ලියන්න. මේකට දකුණේ සිංහල සමාජය තුළ කවුරුත් තාම විරෝධය දක්වලා නැහැ. මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිද්ධ කරනු ලබන අන්ත ජාතිවාදී අශීලාචාර ජඩ වැඩ වගේ දේවල් විවේචනය කරන්න ඕන.

    ReplyDelete
  5. මමත් මාර්තු මැද සිට තවමත් ගෙදර ඉඳන් වැඩ. ඒ අතරේ වැඩ කරන ආයතනය වෙනත් විශාල කොම්පැනියක් විසින් මිලදී ගනු ලැබුවා. අපේ කොම්පැනිය මෙහෙ 70 ක් සහ ලංකාවේ programmars ලා 30 විතර සිටින කුඩා එකක්. මිලදී ගත්ත කොම්පැනිය වඩා විශාල එකක්. දැනට රැකියාවේ ප්‍රශ්නයක් නැති වුනත් ඉදිරිය කොහොමද කියන්න බැහැ. restructuring කියන්නේ මේ කාලවල භයානක වචනයක් නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.