වෙබ් ලිපිනය:

Saturday, October 24, 2020

විස්ස දිනුවත් දහනවය පරාදද?


විස්ස නම් කොහොම හරි ගොඩ දාගත්තනේ. කොහොම හරි කිවුවත් කවුරුවත් නොහිතපු අමුතු දෙයක් වුනේ නැහැ. ආණ්ඩුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ එය ඉන්තේරුවෙන්ම දිනන්න පුළුවන් බව දැනගෙන, එහෙමත් නැත්නම්, දිනන්න පසුබිම හදාගෙන බව, පොඩි හෝ දේශපාලන අවබෝධයක් තියෙන කෙනෙක් සැක කළා කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම ඒ තත්ත්වය වෙනස් කිරීමේ කිසිදු හැකියාවක් අදාළ සංශෝධනයට විරුද්ධ වූ ජවිපෙ හෝ සජබ වැනි පක්ෂ වලට තිබුණේ නැහැ. එහෙම පුළුවන්කමක් තිබුණානම් ඒ ආණ්ඩුව ඇතුළේම තිබුණු ප්‍රතිවිරෝධතා වල උදවුවෙන් පමණයි. එහෙත්, ඒ ප්‍රතිවිරෝධතා බොහොමයක් ලෙමන් පෆ් එකකින් ගහලා කඩන්න පුළුවන් තරමේ සබන් බෝල පමණක් වූ බවත් මුල සිටම පෙනෙන්න තිබුණු කරුණක්.

විස්ස ගැන ලියන්න ඕනෑ තරම් දේවල් තිබුණත් ඒ කිසිම දෙයක් ලියන එකේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා, චචන නාස්ති කරගන්න ගියේ නැහැ. කොහොම හරි දැන් විස්ස පාස්නේ. ඒ කියන්නේ දහනවය ෆේල්. 

එක දහනවයක් පරාද කළත් ජය පැන් සමරන්නවත් ඉඩක් නොතියා දැන් ආණ්ඩුවට තවත් දහනවයක් කරදර කරන්න පටන් අරන්. ඒ කෝවිඩ්-19. ආණ්ඩුවට අනුව "සමාජගත වෙලා" කියන එකේ අර්ථ දැක්වීම මොකක් වුනත් දැන් කෝවිඩ්-19 ආසාදිතයින් ලංකාව හැම තැනින්ම වගේ හමු වෙන්න පටන් අරන්. 

කෝවිඩ්-19 ලෝක වසංගතයක්. වෛරසය පැතිරෙන්නේ ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය බල බල නෙමෙයි. එහෙත්, රෝගය පැතිරෙන්නේ මේ කිසිවක් නොතකමින් තනිකරම අහඹු ලෙස කියා කියන්නත් බැහැ. වසංගතය පැතිරීමට ඉහත සාධක වලද යම් බලපෑමක් තියෙන්න පුළුවන්. ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය අනුව මිනිස්සුන්ගේ හැසිරීම් වෙනස් වෙනවා. කෝවිඩ්-19 පැතිරෙන ආකාරයට මිනිසුන්ගේ හැසිරීම් බලපානවා. ඊට අමතරව කිසියම් ආසාදිතයෙකුට කෝවිඩ්-19 නිසා ඇතිවන බලපෑම ප්‍රධාන වශයෙන්ම වයස හා ශරීරයේ බර ඇතුළු තවත් කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා.

මේ වන තුරු කිසිම රටක් කෝවිඩ් වලින් නිදහස් වී නැහැ. එහෙත් හැම රටක් වගේම කෝවිඩ් යම් තරමකින් පාලනය කරගෙන තිබෙනවා. ඒ කොපමණකින්ද කියන එක සංකීර්ණ කරුණු ගණනාවක් මත තීරණය වී ඇති දෙයක්. ආණ්ඩු වල මැදිහත්වීමේ ප්‍රමාණය ඒ කරුණු අතරින් එකක් පමණයි.

කෝවිඩ් පාලනය කිරීම සඳහා විවිධ රටවල ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග ලෙසත් තවත් ඒවා සාපේක්ෂව ලිහිල් ක්‍රියාමාර්ග ලෙසත් හඳුන්වන්න පුළුවන්. චීනය හා ලංකාව වැනි රටවල් රජයයන් මුල් වී දැඩි ක්‍රියාමාර්ග ගත් රටවල් සේ සැලකිය හැකියි. ස්වීඩනය වැනි රටවල් අනුගමනය කළේ සාපේක්ෂව බොහෝ ලිහිල් ක්‍රමවේදයක්. එහිදී රජය මුල් වී දැඩි නීති පනවනු වෙනුවට පුද්ගල විනය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කළා.

කෝවිඩ්-19 පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල රාජ්‍ය බලය හෙබවූයේ බොහෝ දෙනෙකු "දක්ෂිණාංශික" සේ හඳුන්වන දේශපාලන පක්ෂ විසිනුයි. මේ රටවල රාජ්‍ය නායකයින්, "වාමාංශික" පක්ෂ බලය හෙබවූ ජර්මනිය හා නවසීලන්තය වැනි වෙනත් බටහිර රටවල රාජ්‍ය නායකයන්ට සාපේක්ෂව කෝවිඩ්-19 ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ජනාධිපති ට්‍රම්ප්ට, අගමැති බොරිස් ජොන්සන්ට හා ජනාධිපති බොල්සොනාරෝට කෝවිඩ්-19 ආසාදනය වී සුවවීම අහම්බයන් සේ සැලකීමට බැරිකමක් නැතත් ඒ අහම්බයන් ඔවුන්ගේ දේශපාලන මතවාද වලින් වියුක්තයැයි සලකන්න බැහැ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය යන රටවල් තුනම කෝවිඩ්-19 මරණ අනුපාතය අනුව (ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස) ලැයිස්තුවේ ඉහළින් සිටින රටවල්. බොහෝ විට මෙහි වරද මේ රටවල් පාලනය කළ ආණ්ඩු වලට බැර කෙරෙනු දැකිය හැකියි. ආණ්ඩු වල බලපෑමක් නැතැයි කිව නොහැකි වුවත් එය එකම සාධකය නෙමෙයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල දක්ෂිණාංශික ආණ්ඩු බලයට පත් වී සිටින්නේ එම රටවල බහුතර ජනතාව හෝ අඩු වශයෙන් ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දක්ෂිණාංශික අදහස් දැරූ නිසයි. මේ ජනමතය කෝවිඩ් වසංගතය පැතිරීමෙන් පසුව වෙනස් වී තිබිය හැකි වුවත්, වසංගතය පැතිරෙද්දී එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. අදාළ රටවල රාජ්‍ය නායකයින්ගෙන් නිරූපණය වුනේ එම රටවල විශාල පිරිසක් හිතන ආකාරයයි. 

මේ රටවල් අතරින් මා වැඩිපුර දන්නා ඇමරිකාවේ බොහෝ දෙනෙකු කෝවිඩ්-19 පිට දමා රටේ මිනිස් ජීවිත හැසිරවීමේ ලීවරය ආණ්ඩුව අතට ගන්නවාට කැමැත්තෙන් හිටියේ නැහැ. කාලයක් තිස්සේ ආණ්ඩුවේ රූකඩ සේ ජීවත් වීමට මිනිස්සුන්ව පුරුදු කර තිබෙන චීනය හෝ සිංගප්පූරුව වැනි රටක ආණ්ඩුවකට කළ හැකි දේ බටහිර රටක ආණ්ඩුවකට කළ නොහැකියි. මේ කරුණ "වාමාංශික" සේ සැලකෙන ආණ්ඩුවක් බලයේ සිටින ජර්මනිය වැනි රටකට වුවත් සාධාරණ ප්‍රකාශයක්.

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත කෝවිඩ්-19 හමුවේ රිපබ්ලිකන් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත වලට සාපේක්ෂව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රාන්ත වල වසංගතයේ ව්‍යාප්තිය මන්දගාමී වුනා. එහෙත්, එම ප්‍රාන්ත වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීමට සමත්ව නැහැ. යුරෝපයේ රටවල් අතරින් සෑහෙන තරමකින් සාර්ථකව වසංගතය පාලනය කළ සේ සලකනු ලැබූ ජර්මනියේත් මේ වෙද්දී නැවතත් කෝවිඩ්-19 පැතිරෙනවා.

දැඩි ක්‍රියාමාර්ග හරහා කෝවිඩ්-19 පාලනය කරගත් රටක් ලෙස දැනට හඳුනාගත හැක්කේ චීනය පමණයි. චීනය විසින් මුලදීම කළේ උපයෝගීතාවාදී පදනමකින් ජීවිත පහක් බේරා ගැනීම සඳහා මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කරන එකයි. එසේ නොවේනම් අවම වශයෙන් වැඩිදුර නොහිතා ක්ෂණිකව ලීවරය ඇද අතුරු මාර්ගයට ට්‍රොලිය හරවන එකයි. එයට සාපේක්ෂව බොහෝ බටහිර රටවල් විසින් කළේ අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාවත් බේරාගෙන ඉතිරි ජීවිත පහ බේරාගන්නා ආකාරය ගැන සැලසුම් හදමින් කල් ගැනීමයි. 

පසුගිය ඔක්තෝබර් 8 දින දක්වා චීනයේ සිදු වී ඇති කෝවිඩ් මරණ 4,634කින් 4,512ක්ම සිදුව තිබෙන්නේ හුබෙයි ප්‍රාන්තයේ. එයින්ද මරණ 3,869ක්ම සිදුව තිබුණේ මිලියන 11.1ක ජනගහණයක් සිටින වුහාන් ආශ්‍රිතවයි. වුහාන් ආශ්‍රිතව කෝවිඩ් පැතිරෙද්දී, චීන ආණ්ඩුව විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ ප්‍රදේශය ලොක් ඩවුන් කළා. මෙහිදී චීනය විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ මිලියන 1400ක් ඉක්මවන රටේ සෙසු ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වුහාන් වල සිටින සීමිත ජනගහණය බිල්ලට දීමයි. 

මේ ක්‍රියාමාර්ගය නොවන්නට වුහාන් වල ජීවත් වූ පිරිස් "පණ බේරා ගැනීම" සඳහා ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීමත්, ඒ හරහා රට පුරා වසංගතය ව්‍යාප්ත වීමත් සිදු විය හැකිව තිබුණා. චීන ආණ්ඩුව විසින් ගත් ක්ෂණික ක්‍රියාමාර්ගය නිසා එක පැත්තකින් වුහාන් වැසියන්ට පණ බේරා ගන්න තිබුණු අවස්ථාව අහිමි වෙද්දී වුහාන් වලින් පිට සිටි අයගේ අවදානම අඩු වුනා.

කෙසේ වුවත්, ඒ වන විටත් වුහාන් වලින් පිටතට වසංගතය පැතිරී තිබුණා. ඒ නිසා චීනයට වුහාන් ඇතුළත් හුබෙයි ප්‍රාන්තයම ලොක් ඩවුන් කරන්න සිදු වුනා. 

දැන් අප දන්නා පරිදි කෝවිඩ්-19 මරණ අනුපාතය කලින් සිතා සිටියාට වඩා බෙහෙවින්ම අඩු වුවත්, ආරම්භයේදී මේ ප්‍රතිශතය 2% පමණ සේ ඇස්තමේන්තු කර තිබුණා. ඒ වගේම, ඇස්තමේන්තු කර තිබුණු R0 අගය අනුව රෝගය ස්වභාවිකවම පාලනය වීම සඳහා මුළු ජනගහණයෙන් 50%කට පමණවත් රෝගය වැළඳිය යුතුව තිබුණා. මේ අනුව, උපරිම වශයෙන් ජනගහණයෙන් 1%ක් පමණ මේ වසංගතයෙන් මිය යා හැකිව තිබුණා. 

මිලියන 11ක වුහාන් ජනගහණයෙන් 1%ක් කියා කියන්නේ 110,000ක පිරිසක්. දැනට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබෙන කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩියි. බ්‍රසීලයේ හා ඉන්දියාවේ මරණ ප්‍රමාණද මීට වඩා වැඩියි. සමස්ත චීනයේම ජනගහණය අනුව බැලුවොත් මේ මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 76ක පමණ ප්‍රමාණයක්. එය චීනයට දැනෙන මරණ ප්‍රමාණයක් නෙමෙයි. 

අනෙක් අතට මේ මරණ ප්‍රමාණය උපරිම සීමාවක්. සංචරණය සීමා කර R0 අගය පහත හෙළිය හැකි නිසා ජනගහණයෙන් 50%කට රෝගය ව්‍යාප්ත වන තුරු රෝගය පැතිරෙන්නේ නැහැ. චීන රජයට බය නැතිව ලීවරය අදින්න පුළුවන් වුනේ මේ සියළු තත්ත්වයන් එක්කයි.

විශාල ජනගහණයක් සිටින විශාල රටක් වන චීනයට තිබෙන සියළු වාසි ලංකාව වගේ පොඩි රටකට නැහැ. අනෙක් අතට ලංකාවට දූපතක් වීමේ වාසිය තිබෙනවා. කෙසේ වුවත්, දූපතක් වීමේ වාසිය තිබෙන්නේ යම් සීමාවක් තුළ පමණයි. දූපතකට පිටතින් කෝවිඩ් පැමිණීමේ අවදානමින් බේරී ඉන්න පුළුවන් වුනත්, රට ඇතුළේ කෝවිඩ් පැතිරුනොත් ඉතා ඉක්මණින් වසංගතය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානම එසේම තිබෙනවා.

(Image: https://www.cagle.com/tom-janssen/2020/03/corona-and-goliath)


7 comments:

  1. ඉකොනොමැට්ටා පුළුවන් නං දාන්නකෝ බලන්න ඇමරිකානු ජනාධිපතිවරණය ගැන ලිපියක්. මේවර වැඩි වාසි කාටද? මිනිස්සු කොහොමද ජන්දේ දෙයිද ? ට්‍රම්ප් ආයේ දිනයිද කියලා විශ්ලේෂණයක්.

    ReplyDelete
    Replies
    1. දැනට තිබෙන ඇස්තමේන්තු/ සමීක්ෂණ ප්‍රතිඵල අනුව ට්‍රම්ප් නැවත දිනන්න එතරම් ලොකු ඉඩක් නැහැ. නමුත්, පසුගිය වරත් මේ ඇස්තමේන්තු/ සමීක්ෂණ ප්‍රතිඵල වැරදුනා කියන කරුණත් අමතක කරන්න බැහැ. තව දවස් දහයනේ තියෙන්නේ දැන ගන්න. මා මෙන්ම මා දන්නා ගොඩක් අය දැනටමත් ඡන්දය දමා අවසන්.

      Delete
  2. October 20, 2020 comment.

    1. ඉකොනෝ, මුලින්ම ඔබ විහිළුවට සේ ප්‍රකාශ කල [ඔබ මේ බ්ලොග් එක ඔබේ සතුරු කඳවුරේ සාහිත්‍යයේ කොටසක් ලෙස හඳුනාගෙන වගේ! :)]  යන කොටස ගැන මගේ අවංක අදහස කෙටියෙන් ප්‍රකාශ කිරීමට සතුටුයි.

    ඔබට හැකි නම් වර්තමානයේ  සමාජවාදී කඳවුරේ යැයි කියා ගන්නා , සමාජවාදී විප්ලවය මහා ඉහලින්ම සලකා , මහා ඉහලින් ක්‍රියාත්මක වන,  ඉහලම සාහිත්‍ය අඩවිය සොයා ගෙන එහි link එක මෙහි පල කරන්න. මහා කඳවුරක් විසින් පවත්වාගෙන යන  ඒ 'සාහිත්‍යයට' නොහොත් බයිලාවට  වඩා ඉකොනොමැට්ටාගේ බොජුන්හල අවංක බව මට පෙන්වා දීමට පුලුවන්. ඒක නිසා ඔබම තීරණය කරන්න මම අයිති ⁣කුමන කඳවුරටද කියලා.

    පුද්ගලිකවම මට ලංකාවේ 'විෆ්ලවීය සමාජවාදීන්'  back stab කරලා side walk එකේ අතහැර දාලා ගිය  විට, මගේ තුවාලවලට බෙහෙත් දාලා පණ බේරා ගත්තේ  සතුරු කඳවුරේ අයයි. ශුද්ධ ධනවාදයේ නිසඟ ලක්ෂණයක් තමයි විශ්වාසයයන් /faith based , ඉතිහාසයේ කාර්යය භාරයන් ඈ සුවහසක් සදාචාරාත්මක කරුණු යම් තරමකට පසෙකලා වර්තමානයට අදාල කරුණු ගැන සැලකිලිමත් වන එක. නමුත් සමාජවාදීන් වඩාත් සැලකිලිමත් වන්නේ අනාගතය සම්බන්ධවයි. එය ඉතා ඓන්ද්‍රීය ලෙස සමාජවාදීන් රැක ගන්න උත්සාහා කරනවා. ඒක නිසා සමාජවාදීන්ට වර්තමානය අහිමියි. ධනවාදයේ ස්ථිථික/stability  බව ගැන ඔබ දරන විශ්වාසයම තමයි ඔබගේ අවංක කම - කුමන  යුගයක හෝ  ඉතාම දුර්ලභම චරිත ලක්ෂණයක් එය -  ප්‍රකට කරවන්නේ. ඔබේ ඒ අවංකකම (සමහර විට) ඔබේ කඳවුරේ අයට ආගන්තුක වුවත් , ප්‍රතිවිරුද්ධ කඳවුරේ එවන් චරිත ලක්ෂණයක් දරන අයට ඒ bandwidth එක සුසර කර ගැනීමට අපහසු නැත. ඒ නිසා  තමයි ඔබ වෙහෙස මහන්සි වී  හොයා ගන්නා දේවල් ඔබ මෙහිදී  නොමිලේම බෙදා දෙන විට අපි ලොකු පිඟන් අරං ඇවිත් ඒවා බෙදාගෙන යන්නේ.

    ඇත්තටම ඉකොනෝ දැන් මේ ඔබ කියනවා සේ  සතුරු කඳවුරු හා මිතුරු කඳවුරු නැහැ. මෙතැන තියෙන්නේ සංවාද කඳවුරක්. ඔබම නිරීක්ෂණය කරලා ඇති මේ බොජුන්හලේ නිකං කාලා බීලා, වෙරි වෙලා , කබරයා දාලා, පිඟන් , වීදුරු පොලොවේ ගහලා පුටු මේස පෙරලලා යන කට්ටිය අඩු බවට. ඔබ පෞද්ගලිකව හැම වෙලාවේම ඔබේ දැනුම හා ප්‍රයෝජනය සඳහා වඩා නිවැරදි දෙය හොයලා, මෙහි පල කරන විට මෙහි එන්නේ සංවාදයට සහ දැනුමට පක්ෂපාතී අය පමණයි. (Opportunity cost එකට උදාහරණයක් )

    Contd..

    CP- C

    ReplyDelete
  3. Contd. from On October 20, 2020 comment.

    2. සම්භාව්‍ය මාක්ස්වාදය තව දුරටත් වලංගු නැති බව ලංකාවේ හා ලෝකයේ තමන් සමාජවාදීන් හෝ වාමාංශිකයින් සේ හඳුන්වා ගන්නා හෝ පෙනී සිටින බොහෝ දෙනෙක්ද එකඟ වී ඇති කරුණක් බව ඔබ උපුටා දක්වනවා. අදහස්  තෝරා ගැනීම සහ ඒ අනුව ජීවත් වීම  යනු මිනිසා විසින් තම අද්දැකීම, දැනුම සහ සාපේක්ෂ වාසිය උදේසා සිදු කරන්නක්. සදාචාරාත්මක තෝරා ගැනීම / selections based on moral values තමයි මෙහි මිම්ම.

    ලංකාවේ සමාජවාදීන්ගේ වෘත්තීය අවසානය අප දැන් දැක ඇත. ඔවුන්ගේ පටු නිර්ණායක මත සම්භාව්‍ය මාක්ස්-ලෙනින්වාදය අභාවයට හෝ අක්‍රීයත්වයට ගොස් ඇතැයි තීරණය කිරීමට මට නොහැක. මා එසේ වීමට නම්මා ගැනීමට අයකුට අවශ්‍ය නම්  (උදාහරණයක් ලෙස මගේ බිරිඳට ) ,  ධනවාදයේ නැති එහෙත් සම්භාව්‍ය මාක්ස්-ලෙනින්වාදය විසින් යෝජනා කරන  සදාචාරාත්මක යොමුව ධනවාදයේ ඇතැයි මට පෙන්වා දී අවබෝධ කර/convince කර දිය යුතුය. ලංකාවේ වෘත්තීය  සමාජවාදීන් නටබුන්ව , මමි බවට පත්ව ඇති යුගයක උදාහරණ කිහිපයක් දක්වමි

    . ඒ එකෙක්,  'කෙහෙල්මල්  සමාජවාදය'  නිසා තමන්ට සීගිරිය බලන්න යන්න බැරි වූ බවට උත්තරීතර මඩ වලේ  සිට  නහයෙන් ඇඬුවා මතකද? ඒ පක්ෂයේම තව එකෙක් ( අන්තරේ ලේකම්)  , Mr. 10% ගේ ගුණ දැකලා සමාජවාදයට සමු දුන්නා මතකද? අප , පසුගිය සියවසේදී side walk එකේ සිට  රතු විප්ලවයක් කිරීම සඳහා සාකච්ඡා/සැලසුම්  කරන විට, විෆ්ලවීය නායකයන් ජීප් එකෙන් බහින්නේවත්  නැතුව රතු වර්ණය හැර වර්ණාවලියේ වෙනත් වර්ණයක විෆ්ලවයක් යෝජනා කරනවා! ඉතින් ඉකොනෝ, ඔබ සඳහන් කරන ලංකාවේ ඒ , සම්භාව්‍ය මාක්ස්-ලෙනින්වාදය අහෝසිව ගොස් ඇතැයි කියන සමාජවාදීන් කවුරුද? ඇන්. ඇම්. ගේ සිට තිස්ස විතාරණ set එකද?

    ඉබ්බංවල හන්දියේ සමාජවාදී  London Hyde Park එක සිහි ගන්වන, (ඊට පිටුපසින් London Vauxhall වීදිය අනුකරණය කල British  business premises and manual workers residents පිහිටා තිබූ )  , පිලිප් ගූණවර්ධන නමින් නම් කරන විට වික්‍රමබාහු කරුණාරත්න (ලංකාවේ අවසාන ට්‍රොට්ස්කිවාදී, හෘදය සාක්ෂියේ වාමාංශිකයා...පුඃ) විරුද්ධ වුනා. මේ වචන යෝජනා කර බාහු වෙනුවෙන්  type කල අප මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ (පැරා)  ගැන මම අවංකවම දුක් සහ සතුටු  වෙමි. මක්නිසාදයත් , තමා මාක්ස්-ලෙනින්වාදියකු නොවන බවට පැරා ප්‍රසිද්ධියේම කී නිසාය. ඒක නිසා ඉකොනෝ  ඔබ යෝජනා කරන සහ  ලංකාවේ සිටින,  සම්භාව්‍ය මාක්ස්වාදය යල් පිනූ නිසා පමණක් පිල් මාරු කල වාමාංශිකයෝ කවරහුද? ලංකාවේ අවසාන මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයා වන SB De Silva එසේ කලේද? භෞතිකවාදී ඉතිහාසඥ ලක්ෂ්මන් පෙරේරා එසේ කලේද?


    ඉකොනෝ, ඔබ අසා  ඇති පරිදි [ප්‍රොතෙස්තන්ත සමාජවාදීන් එක්ක මට තිබෙන පෞද්ගලික ප්‍රශ්නය ඔවුන් ධනවාදයට එරෙහි වීමට සැලසුම් කරන්නේ ඇයි කියන එකට පැහැදිලි පිළිතුරක් නැති එක ගැන ] මගේ පිලිතුර මම පසුවට ලියන්නම්.

    එසේම දැනටමත් මම මහා ගොඩක් ලියා ඇති නිසාත්, පිරිස මේ pub එකට එන්නේ  ඔබේ කෑම බීම විඳ ගැනීමට නිසා මගේ කඩල බේසම සහ උම්බලකඩ වඩේ ටික පසුවට ගෙන එන්නම්. :)
    ස්තුතියි.
    CP- C

    ReplyDelete
    Replies
    1. ඔබේ දිගු පිළිතුරට ස්තුතියි! නොලියූ කොටසත් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම පහත කොටස.

      //ධනවාදයේ නැති එහෙත් සම්භාව්‍ය මාක්ස්-ලෙනින්වාදය විසින් යෝජනා කරන සදාචාරාත්මක යොමුව//

      Delete
  4. මම දන්න විදියට කොරෝනාවෙන් බේරේනවට වඩා අපිට කරන්න පුලුවන් අනිත් මිනිස්සුන්ට අපෙන් සම්ප්‍රේශනය වෙන එක වලක්වා ගන්න එක. ඒක කොච්චර දුරට අපේ රටවල් වල ප්‍රායෝගිකද කියන ප්‍රශ්නයක් තියෙනවා. හොන්දම උදාහරනය බ්‍රැන්ඩික්ස් සහ මාලු වෙලෙද පොලේ පොකුර. මම හිතන්නේ එක අසාදිතයෙක් ගෙන් අඩුම ගානේ 20-30 වත් බෝ වෙලා තියෙනවා. කොරෝන පැමිනි මුල් කාලයෙ වුහාන් වල බෝ වෙන්න ඇත්තෙත් මේ වගේ වෙන්න ඇති. ඒ පුද්ගල විනය.

    අනිත් කාරනේ, මුලු ලෝකෙම කොරෝනා එක්ක තම ජීවිතය හැඩ ගස්වා ගන්න උනන්දු වෙන අතරේ අපි තවත් නිරෝදාන මද්‍යස්තාන වැඩි කරමින් ඉන්නවා. ඒක උඩ කියපු කාරනේ (පුද්ගල විනය) එක්ක සම්බන්ධ නිසා මේ වෙලාවෙ වැරදි කියන්නත් බෑ හැබැයි.
    පාරම්පරික සින්හල වෙද මහතුන් කිහිපදෙනෙක්ම මේයට යම් ප්තිකාරයක් හදුන්වා දි තිබෙනවා. ඉකෝනෝගෙ පුද්ගලික අදහස මොකක්ද කෝරෝනා සම්බන්ධ සින්හල බෙහෙත් ගැන. ( බොරු වෙද්දු ගැන නෙමෙයි මේ කියන්නේ. පාරම්පරික සින්හල වෙද මහත්තුරු ගැන. ඉතාමත් සුලු පිරිසක් තාම ඉතුරු වෙලා ඉන්නවා. මම කියන්නේ මාද්‍ය සන්දර්ශන කරන අය ගැන නෙමෙයි)

    ReplyDelete
    Replies
    1. //පාරම්පරික සින්හල වෙද මහතුන් කිහිපදෙනෙක්ම මේයට යම් ප්තිකාරයක් හදුන්වා දි තිබෙනවා. ඉකෝනෝගෙ පුද්ගලික අදහස මොකක්ද කෝරෝනා සම්බන්ධ සින්හල බෙහෙත් ගැන.//

      ප්‍රතිකාරයක ඵලදායීතාවය පරීක්ෂා කරන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය අනුව ඵලදායී සේ පෙනෙන ප්‍රතිකාර සම්බන්ධව මගේ විශ්වාසයක් තිබෙනවා. ඒ හැර වෙනත් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධව මගේ විශ්වාසයක් නැහැ. නමුත්, එසේ පරීක්ෂාවට ලක් නොවූ ප්‍රතිකාර ක්‍රම මම බැහැර කරන්නේ නැහැ. කෝවිඩ්-19 වැනි අවදානමක් හමුවේ, පැහැදිලි අහිතකර ප්‍රතිඵල කිසිවක් නැත්නම්, ඵලදායීත්වය තහවුරු නොවූ ප්‍රතිකාරයක් අත්හදා බැලීම නරක අදහසක් නෙමෙයි. හැබැයි ඒ මත පූර්ණ විශ්වාසය තැබීම භයානකයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: