වෙබ් ලිපිනය:

Saturday, October 31, 2020

පොකුරු පොකුරු ඈ එන මග...


මේ වෙද්දී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අවසන් අදියරට පැමිණ ඇති බව පෙනෙනවා. රජය විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියත්, වෛරසය මේ වෙද්දී රජයේ පාලනයෙන් නිදහස් වී අවසන් බව පැහැදිලියි. අලුත්ම පොකුර මුලින් බ්‍රැන්ඩික්ස් පොකුර නමින්ද, පසුව මිනුවන්ගොඩ පොකුර ලෙසින්ද හැඳින්වුවා. පසුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරු බවට පත් වෙලා තිබෙනවා. මේ පොකුරු කතාවට තව දුරටත් තේරුමක් තිබෙයි කියා හිතන්න අමාරුයි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මා වරින් වර "අනාවැකි" පළකර තිබෙනවා. එහෙත්, ලංකාව සම්බන්ධව මා එවැනි අනාවැකි පළ කළේ නැහැ. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විවිධ පුරෝකථන කරද්දී මා එසේ නොකළාක් මෙන්ම එසේ නොකිරීමට හේතුවද පැහැදිලි කර තිබෙනවා.

කෝවිඩ් වැනි වසංගතයක් පැතිරෙන ආකාරය පිළිබඳව සෑහෙන තරම් නිවැරදි ලෙස අනාවැකි කිව හැකියි. මෙවැනි වසංගතයක් පැතිරෙන ආකාරය පුරෝකථනය කරන්නේ වසංගතවේදයේ ආකෘති අනුසාරයෙනුයි. එම ආකෘති සකස් කර තිබෙන්නේ යම් නිශ්චිත උපකල්පන මතයි. උපකල්පන නිවැරදි වන තරමට ආකෘතිය යොදාගෙන කරන පුරෝකථනද නිවැරදියි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් පැතිරෙන්නේ මෙවැනි ආකෘතියකින් පුරෝකථනය කර හැකි තරම් "නිශ්චිත" රටාවකට කියන එක පෙන්වා දෙන්න ගොඩක් තාක්ෂණික කරුණු කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහත ප්‍රස්ථාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට එවැනි රටාවක් ඇති බව පැහැදිලිව පෙනෙනවා. 


ඇමරිකාවෙන් දිනකට හමුවන කෝවිඩ් රෝගීන් ප්‍රමාණය මාර්තු මැද සිට සති තුනක පමණ කාලයක් ක්‍රමයෙන් ඉහළ ගියා. ඉන් පසුව, ජූනි මැද දක්වා ටිකෙන් ටික අඩු වුනත් එතැන් සිට ජූලි මැද දක්වා නැවතත් ක්‍රමයෙන් වැඩි වුනා. ජූලි මැද සිට දෙමසක පමණ කාලයක් කෝවිඩ් ව්‍යාප්තිය අඩු වුනත්, සැප්තැම්බර් මැද සිට නැවතත් වැඩි වෙමින් තිබෙනවා. මේ අනුව දැන් යන්නේ තෙවන චක්‍රය කියා කිව හැකියි.


ඇමරිකාවේ රටාවෙන් වෙනස්ව ඉන්දියාවේ කෝවිඩ් වසංගත වක්‍රය අප්‍රේල් මැද සිට මාස පහක් පමණ එක දිගටම ඉහළ ගියා. සැප්තැම්බර් මැද සිට එම ප්‍රවණතාව ආපසු හැරවී තිබෙනවා.

ඇමරිකාවේ හෝ ඉන්දියාවේ වසංගත වක්‍රයේ හැසිරීම ආකෘතියක් ඇසුරෙන් පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. වසංගතරෝග විද්‍යාඥයින් විසින් පසුගිය මාර්තු මාසයේදීම ඇමරිකාවේ වසංගත වක්‍රයේ හැසිරීම නිවැරදිව පුරෝකථනය කළා. එයින් අදහස් වෙන්නේ මිය යන ප්‍රමාණය හෝ ආසාදිතයින් ප්‍රමාණය හරියටම පුරෝකථනය කළා කියන එක නෙමෙයි. එවැනි දේ ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අප පෙර පැහැදිලි කර දී තිබෙන R0 අගය එවැනි පරාමිතියක්. 

ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට එය යොදාගෙන කරන පුරෝකථනද වෙනස් වෙනවා. මේ පරාමිතීන් ඇස්තමේන්තු කරන්න වෙන්නේ අනුභූතික දත්ත අනුසාරයෙන්. මිනිසුන්ගේ හැසිරීම් වෙනස් වන විට R0 අගය වැනි පරාමිතීන්ද වෙනස් වෙනවා. එහෙත්, එසේ වුනා කියා ආකෘති අහක දාන්න අවශ්‍ය නැහැ. මිරිස් කොටන මෝලේම කොත්තමල්ලිත් කොටන්න පුළුවන්.

එකම ආකෘතිය යොදාගත්තත් විවිධ රටවල් හා අදාළව ආකෘතියකින් පෙන්වන්නේ එකම ප්‍රතිඵලය නෙමෙයි. එයට හේතුව ආකෘති වල ආදාන සේ යොදාගන්නා පරාමිතීන් රටින් රටට වෙනස් වීමයි. එකම රටකට වුවත් එකම පරාමිතීන් හැමදාටම වලංගු වන්නේ නැහැ. කෙසේ වුවත්, ලංකාව සඳහා මෙතෙක් මෙවැනි සම්මත ආකෘතියක් යොදා ගැනීම කළ නොහැකි වුනේ ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මෙතෙක් සිදු වුනේ වසංගත ව්‍යාප්තිය පැහැදිලි කරන SIR ආකෘතියට හෝ එහි ව්‍යුත්පන්න ආකෘතියකට ගැලපෙන ආකාරයෙන් නොවූ නිසයි.

ඉතාම මූලික මට්ටමේ SIR ආකෘතියකදී අහඹු ලෙස හමුවන ඕනෑම පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි. එහෙත්, කලාතුරකින් මිස මෙතෙක් ලංකාවෙන් එසේ අහඹු ලෙස ආසාදිතයින් හමු වුනේ නැහැ. ඔවුන් හමු වුනේ පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් අතරින්. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් සමාජ පැතිරීමක් නැති බව දිගින් දිගටම කිවුවේ මේ පදනමෙන්.

ඕනෑම අහඹු පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි කියන එක ඉතාම සරල SIR ආකෘතියකදී කරන උපකල්පනයක් පමණයි. සැබෑ ලෝකයේ එය එසේම වෙන්නේ නැහැ. ඇතැම් අය ආසාදිතයින් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම මූලික මට්ටමේ SIR ආකෘතියකදී ඕනෑම අහඹු පුද්ගලයෙකුට වෙනත් ඕනෑම පුද්ගලයෙකු අහඹු ලෙස හමු විය හැකි බව උපකල්පනය කරනවා. සැබෑ ලෝකයේ එසේ වෙන්නේ නැහැ. 

මූලික මට්ටමේ වසංගත විද්‍යා පාඨමාලාවකදී මුලින්ම උගන්වන්නේ මෙවැනි සරල SIR ආකෘතියක් වුවත්, ඒ තරම්ම සරල ආකෘති ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැහැ. වඩා සංකීර්ණ ආකෘතියක පරාමිතීන් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ වුවත්, එවැනි වඩා සංකීර්ණ ආකෘතියක් වුවත් සැබෑ ලෝකයේ ඇත්තටම රෝගය පැතිරෙන ආකාරයට වඩා ගොඩක් සරලයි. හයේ හතේ පන්ති වලදී පරාවර්තනය හෝ වර්තනය ඉගැන්වීම සඳහා ආලෝකය සරල රේඛීයව ගමන් කරන සේ සැලකීම ප්‍රමාණවත්. ඒ වගේම රෝගය පැතිරෙන ආකාරය ගැන අදහසක් ගන්න මේ ආකෘති ප්‍රමාණවත්.

ඇමරිකාව හෝ ඉන්දියාව වැනි රටක් ගත්තත් ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න තිබෙන සම්භාවිතාව සමාන නැහැ. එය විවිධ කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා. ඒ වගේම, මේ වෙද්දී වුනත් ඇමරිකාවේ කෝවිඩ් පැතිරෙන්නේ පොකුරු විදිහටයි. බොහෝ විට කෝවිඩ් පරීක්ෂාව කර ගන්න යන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ අයයි. එහෙත්, රට පුරා මෙවැනි පොකුරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න පුළුවන් කියන උපකල්පනය මත ගොඩ නගපු ආකෘති වැඩ කරනවා.

සමාජ පැතිරීම හා පොකුරු පැතිරීම කියන්නේ ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් තත්ත්වයන් දෙකක් නෙමෙයි. පොකුරු විදිහට පැතිරුණත් එය සමාජ පැතිරීමක්ම තමයි. වඩා වැදගත් වෙන්නේ ආකෘතියක් යොදාගෙන තේරුම් ගත හැකි තරමට පැතිරීමක් වෙලාද කියන එකයි. මගේ අදහස අනුව මේ වෙද්දී ලංකාව ඒ තත්ත්වයට අවතීර්ණ වෙලා.

ලංකාව ආරම්භයේ සිට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. මේ ක්‍රියාමාර්ග හරහා කෝවිඩ් ව්‍යාප්තිය සෑහෙන දුරකට පාලනය කළ හැකි වුනා. එහෙත්, මේ පාලනය කොයි වෙලාවක හෝ ගිලිහීමේ අවදානම මුල සිටම තිබුණා. දැන් එය සිදු වී තිබෙනවා.

කෝවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් හොයාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක සති දෙකක් තියාගත් විට ඔවුන්ට කෝවිඩ් වැළඳී තිබුණානම් බොහෝ විට සති දෙක තුළ රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ නිසා, බාහිර සමාජයේ වෙනත් අයට වෛරසය ආසාදනය වීම පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ලංකාවේ රජය දිගින් දිගටම කළේ මෙයයි.

මේ ක්‍රමයේ වූ ගැටළුව ආසාදිතයෙකු නොවූ අයෙකුට නිරෝධායන මධ්‍යස්ථානයේදී කෝවිඩ් ආසාදනය වීමේ ඉඩක් තිබීමයි. එය සිදු වුනේ සති දෙකක කාලය අවසන් වන දිනයේදීනම් රෝග ලක්ෂණ මතු වන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට වී සති දෙකකට පසුවයි. යම් හෙයකින් එවැන්නෙකු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයෙකු වී තවත් අයට වෛරසය ආසාදනය කළේනම් එවැනි ආශ්‍රිතයෙකු රෝග ලක්ෂණ පෙන්වන්න මාසයක් පමණ ගත විය හැකියි. ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය අනුව සමාජයේ අහඹු පුද්ගලයෙකු ආසාදිතයෙකු වීනම් ඒ බව එකවර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඕනෑම මොහොතක රටේ කොහෙන් හෝ කෝවිඩ් පොකුරක් හමු වීමේ අවදානම දිගටම තිබුණා. එසේ නොවීම වාසනාවක්.

දැන් කරුණු හොයාගෙන තිබෙන විදිහට කොරෝනා පොකුරට යුක්‍රේන සම්භවයක් ඇති බව කියනවා. සම්භවය කුමක් වුවත් මේ වෙද්දී කෝවිඩ් රටවටා පැතිරී අවසන්. ආසාදිතයින් සියලු දෙනාගේම ආශ්‍රිතයින් සොයමින් නිරෝධායනය කිරීම තව දුරටත් කළ හැකි බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රජය විසින් මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය තව දුරටත් වැඩ කරන එකක් නැහැ. 

පසුගිය සති තුනක පමණ දත්ත අනුව අපට පෙනී යන්නේ සම්මත වසංගතවේද ආකෘතියක් යොදාගත හැකි තරමේ පැතිරීමක් මේ වන විට ලංකාවේ සිදු වී ඇති බවයි. අපගේ ප්‍රාර්ථනාව නොවුනත් ඉදිරි කාලය ලංකාවට හොඳ කාලයක් වන එකක් නැහැ.




2 comments:

  1. සුපුරුදු පරිදි ඉකොනොමැට්ටාගෙන් තවත් අසාර්ථක අනාවැකියක්... මම හිතන්නේ මේකත් කලින් ඒවා වගේම ලංකාවේ සිටින පක්ෂග්‍රාහීව යම් අසත්‍ය තොරතුරු ලබා දෙන අය මත බේස් වෙලා තියෙන්නේ

    වෙළඳපල ක්‍රමය තරමක් දුරට සාර්ථකයි, හැබැයි ප්‍රතිඵල බොහෝවිට අසාධාරණ නිසා ඒ අසාධාරණය හැකිතාක් තුලනය කරන්න තමයි රාජ්‍ය මැදිහත් වෙන්නේ. රාජ්‍යය කිව්වට ආණ්ඩු තමයි එහෙම මැදිහත් වුනේ. ආණ්ඩුවක ප්‍රතිපත්ති කියන්නේ ඒ අසාධාරණය තුළනය කරමින් වෙළඳපල ක්‍රමය ඉස්සරහට ගෙනයන විදිහ. න්‍යාය වෙනත් මානයක් වුනත් , ප්‍රායා්ගිකව වෙන්නේ ඒක.

    ඒත් ආණ්ඩු එහෙම නැත්නම් දේශපාලකයෝ වෙළඳපල ක්‍රමයේ නියෝජිතයෝ වුනා ම මොකද වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය වගේ අසමත් රටක මේක හොඳට පේන්න තියෙනවා. බුෂ්ලා,ට්‍රම්ප් ලා ඔබාමා ලා,ක්ලින්ටන්ලා සේරම කාටලයන් ගේ රැකියා කරන අය.

    නමුත් අර වෙළද පල ක්‍රමයේ අසාධාරණය තුළනය කිරීම මෙයාලා අතින් ගිලිහෙන්නේ නෑ. සරලව එහෙම කරන්න බෑ. ව්‍යවස්ථාව, සම්ප්‍රදායයන්, මානව හිමිකම් වැනි කේෂත්‍ර,බලපෑම් කණ්ඩායම්, මාධ්‍ය වගේ විශාල සාධක ගණනාවක් අර අසාධාරණය හැකිතාක් තුළනය කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියේ යාන්ත්‍රණය විදිහට ක්‍රියා කරනවා.

    වෙළඳපල ක්‍රමය හා අසාධාරණය තුළනය කිරීම කියන දෙකෙන් එකක් තෝරාගන්න කිව්වොත් මේ සාධකයන් කාගේ පැත්ත ගනිවී ද කියලා කාට හරි අහන්න පුළුවන්.. ඔව්.. එයාලා නිසැකවම වෙළඳපල ක්‍රමයේ පැත්ත ගනීවී.. අසාධාරණය තුළනය කිරීමත් වෙළඳ පල ක්‍රමයේ පැවැත්මේ අත්‍යාවශ්‍ය සාධකයක් කියලා නොදන්නවානම් විතරක්.

    ලංකාවේ මොකද වෙන්නේ?..

    ලංකාවේ ආණ්ඩු,දේශපාලකයෝ,මාධ්‍ය,සිවිල් ක්‍රියාකාරිත්වය, (දැන්නම් ව්‍යවස්ථාව) ආදී මේ කිසිවක් වෙළඳපල ක්‍රමයේ පැවැත්මට අසාධාරණය තුලනය කිරීම අත්‍යාවශ්‍යයි කියලා දන්නේ නෑ. හේතූව ඔවුන් "ක්‍රමයක්" "මොඩලයක්" පරිකල්පනය කරන්න බැරි සංයුක්තව දකින්න බැරි තරම් මුග්ධයන් නිසා.

    1978 ව්‍යවස්ථාව ම ගත්තොත් එය වෙළඳපල ක්‍රමය තුළ අසාධාරණය තුළනය කිරීම ඉලක්ක කරගත් හොඳ ආර්ථික ව්‍යවස්ථාවක්. ඒත් ඒක වට ගණනාවක විකෘතියකින් හා රිලවු අත පත් රන් කඩුවක තත්වයට දැන් පත් වෙලා.

    එතකොට ලංකාවේ වෙළදපළ ක්‍රමය සාර්ථක නොවන්නට ප්‍රධාන හේතූවක් තමයි අදාළ අංශ විසින් "අසාධාරණය තුළනය කිරීම" කියන අත්‍යාවශ්‍ය කොටස ගණන් නොගැනීම/ අමතක කිරීම/ නොසලකා හැරීම.

    ප්‍රේමදාස ජනාධිපතිගේ මරණය මේකේ කූට ප්‍රාප්තිය සටහන් කරන මොහොත බව කියන්න පුළුවන්.

    ඊට පස්සේ (ඊට පෙර ක්‍රමිකව වැඩුනා) වෙළඳපල ක්‍රමයේ අසාධාරණ ප්‍රතිඵල තුළනය කරන්නට කැප වුනේ රාජ්‍ය සේවය. ඒක කවුරුන හෝ පවරපු එකක්ද කියන එක නිශ්චිත නෑ. නමුත් ක්‍රමය විසින් ජනනය කරන සකල විධ අසාධාරණයන්ගෙන් පීඩාවන්ගෙන් ජනතාවට ගැලවීම තිබුණෙ රාජ්‍ය නිළධාරියා ගේ මැදිහත්වීම හා ක්‍රියාකාරිත්වය මත. එසේ නොවන ඕනෑම විටක නියත අසාධාරණය වඩා රළු හා පීඩාකාරී අන්දමින් මහජනයා මත බලපෑවා.

    මිනිසුන් රාජ්‍ය සේවයට පොදුවේ චෝදනා කිරීමට සහ තනි තනි නිළධාරින් ගේ ක්‍රියාකලාපයන් අධිනිශ්චය වීමට මේ තත්වය හේතූ වුනා.

    නමුත් මේ තත්වය වෙළඳපල ක්‍රමයේ වාටියේ සිට යැපෙන දේශපාලකයන් , ජාවාරම්කරුවන් හා පාදඩයන් සිතන්නේ තමන්ට වෙළඳපල ක්‍රමයෙන් ලැබිය යුතු "වාසී" නොලැබෙන්නේ රාජ්‍ය සේවයේ මැදිහත් වීම නිසා බවය.

    රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව යැයි කියන්නේ බොහෝ විට වෙළඳපල ක්‍රමය විසින් ඉල්ලා සිටින සිය ලාභය උපරිම කෙරෙන හා සමාජ පිරිවැය සඟවා සොරා ගන්නා ලද ක්‍රියාවලින් මන්දගාමී කිරීම හා නැවැත්වීමට මාන බැලීමයි.

    මිලිටරිමය මැදිහත්වීමකින් ඉල්ලා සිටින්නේ, වෙළඳපල ක්‍රමයේ අනිවාර්ය අංගයක් යැයි මේ අය නොදන්නා අසාධාරණය තුළිත කිරීමේ පිරිවැය සිය ලාභ ගොඩට දමා ගැනීමට ක්‍රමය සකස් කිරීමය. ඉතා අසාමාන්‍ය ලෙස රාජ්‍ය සේවයේ පිරිස වැඩි කරමින් එහි ශඛ්‍යතා දිය කරමින් කාලයක් තිස්සේ මෙම ක්‍රියාවලිය වර්ධනය කර ගන්නා ලදි.

    මිලිටරි චින්තනය කරඅඹන ලද චින්තනයක්. එහි නියෝග ක්‍රියාත්මක කිරීම හැර වෙන කිසිවක් අදාළ කර නොගනී. නියෝගය ඉටු කිරීම හෝ නොකිරීම පිළිබඳ වගකීම කවුරුන් හෝ ගත යුතුය. සමහර සිවිල් කරුණු වලට මැදිහත් වූ පරිණත සෙනෙවියන් පවා වියරුවෙන් හැසිරෙන්නේ මේ "වගකීම" පිළිබද සාධකය නිසාය.

    ඒ නිසා මිලිටරි නිළධරයෙකු වෛද්‍යවරයකුට ජාතිවාදයෙන් ආමන්ත්‍රණය කිරීම හා මරණීය තර්ජනය කිරීම ඔහු ගේ පුද්ගල දුර්ගුණයක් සේ දැකීමට තරම් අප මුග්ධ නොවිය යුතුය.

    ReplyDelete
  2. ඉකොනොලගේ රටේ ඔහොම උනත් ශ්‍රී ලංකා නමින් හැඳින්වෙන අපේ රටේ නම් කාලයකට කලින් ප්‍රාදේශීය පරිපාලනය කියා පාලන යාන්ත්‍රණයක් තිබුණා. ඒකේ ගමේ හිටි නිලධාරියා ගම් මුලාදෑනියා, ඔහුට සමස්ත රජයේ බලය ගම්මට්ටමේ ක්‍රියාත්මක කිරීමට බලය තිබුණා. ඒ සඳහා නිකුත් කරපු නියෝග instructions to headmen කියලා තියෙනවා. බෝවෙන රෝග පැතිරෙන වෙලාවල ගමේ කලයුතුදේ මේකේ තියෙනවා. දැන් මේ පාලන ක්‍රමයවත් ඒ පාලන ක්‍රමය ක්‍රියාත්මක කර රට පාලනයකල සුද්දනුත් නැත. ඒ වෙනුවට අපේම නිදහස් ස්වෛරී පාලකයින් අපිට සිටිනවා. මේවගේ ගමේ වගකීම ඇති නිලධාරීන් වෙනුවට මනාපයෙන් පත්වෙන මංත්‍රීවරු හැම ගමකම ඉන්නවා. ඒ ඇත්තන්ට කොන්ත්‍රාත්කිරීම ලොකු කොන්ත්‍රාත්වලට පස් සැපයීම, වැලි බලපත්‍ර ගැනීම ආදී කාර්‍යන් රැසක් තිබෙනවා. ඒ නිසා බෝවෙන රෝගවලදීත් ආණ්ඩුවේ සල්ලි වලින් තමන්ට මනාපෙ දුන් එකාලට බඩු මල්ලක් සපයන එක රෝගමර්දනයට වැඩිය ප්‍රමුඛ වී ඇත්තේ අනික් අතට පරිගනකය හරහා හැම ලබ්බම මධ්‍ය ගතකරගෙන කොලඹට ගෙන්නා කරදෙන රටක රෝග මර්ධනයත් මධ්‍ය ගත කිරීම හැර මේ ගම්වල එවුන් ලවා කරවීම දියුණු රටකට ගැලපෙන්නේ නැති නිසාදෝ ගමට බලය දීම අවශ්‍ය නැත. අපි කොලඹින් කියනවිදියට බෝවෙන රෝග පැතිරීම පාලනය කලයුතුමය.ඒ සඳහා උදේ දවල් රාත්‍රි තුන්වේලට රූපවාහිනියෙන් නිවේදන කියවන අහවල් ඇත්තන්ගේ නිවේදන නියෝග ආදියට සවන්දී ඇඳිරි නීති, ලොක් ඩවුන්, හුදකලා කිරීම්, ආදී නානාප්‍රකාර චාරිත්‍ර වාරිත්‍රවල යෙදී ඉෂ්ඨ දේවතා අනුස්මරණය මැනවි.(ඇඳිරිය මැද නිකං ඉන්නවාට බෝවෙන රෝග පැතිරෙන කොට ගමේ මුලාදෑනියා කලයුතු දේ ගැන කියවීමට ආසානම් Instructions to Headmen 1947 British Ceylon පොතේ 41 ඡේදය කියවීම මැනවි).

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: