වෙබ් ලිපිනය:

Monday, October 19, 2020

සෙත සදවා මූට නොදෙමු


යොන් මැරිල්ල වගේම අපි කුඩා කාලයේ කරපු තවත් ගණිතමය ක්‍රීඩා තිබුණා. මේ එක ක්‍රීඩාවක් කරන්නේ මදටිය ඇට හරි මදටිය ඇට හොයාගන්න නැත්නම් පොඩි ගල් කැට හරි විස්සක් යොදා ගෙන. ක්‍රීඩාවක් කිවුවත් පොඩි මැජික් එකක් වගේ එකක්.

පළමුව මදටිය ඇට විස්ස දෙක බැගින් ගොඩවල් දහයකට වෙන් කරනවා. ඉන් පසුව, වටේ ඉන්න අයට කියනවා මේ ගොඩවල් දහයෙන් එක ගොඩක් හිතා ගන්න කියලා. හැමෝම ගොඩක් හිතා ගත්තට පස්සේ මදටිය ඇට විස්ස වරකට දෙකේ ගොඩ ගානේ අරගෙන නිශ්චිත රටාවකට පේලි හතරක් හදනවා. එක පේළියකට මදටිය ඇට පහයි.

දැන් අර කලින් මදටිය ඇට දෙකක ගොඩක් හිතා ගත්ත අය තමන් හිතාගත් මදටිය ඇට දෙක තිබෙන පේලිය හෝ පේලි දෙක පෙන්වන්න ඕනෑ. එවිට, ඔහු හෝ ඇය විසින් හිතාගත් මදටිය ඇට දෙක හරියටම පෙන්වන්න පුළුවන්. නියම පිළිවෙලට මදටිය ඇට ටික තියා ගත්තහම බොහොම සරල වැඩක්. 

ගොඩවල් දහය 1 සිට 10 දක්වා අංක යොදාගෙන නම් කළොත්, පේළි හදන්නේ පහත පිළිවෙලටයි.


පළමු පේළිය           1 2 3 2 4

දෙවන පේළිය           5 6 5 7 4

තුන්වන පේළිය           8 7 8 9 3

හතරවන පේළිය 10 6 1 9    10


යොන් මැරිල්ලේ කවිය වගේම මේ පිළිවෙළ මතක තියා ගන්නත් පොඩි "මන්තරයක්" තියෙනවා. තේරුමනම් මම දන්නේ නැහැ. සමහර විට විශේෂ තේරුමක් නැතුව ඇති.


නරවරයා 

කට කැතයා 

සෙත සදවා 

මූට නොදෙමු  


කවිය ඉහත අංක එක්ක ගලපන්නේ, එහෙමත් නැත්නම් මදටිය ඇට ගොඩවල් දහය එක්ක ගලපන්නේ, මේ විදිහටයි.


1 න/නො 

2 ර 

3 ව/වා 

4 යා 

5 ක/කැ 

6 ට 

7

8 ස/සෙ 

9 ද/දෙ 

10 මු/මූ 


***

මේක තවත් ගණිතමය ක්‍රීඩාවක්. රජ කෙටවිල්ල.

කලින් වැඩේට ගත්ත මදටිය ඇට විස්සෙන් දහයක් මේ වැඩේට ප්‍රමාණවත්. මුලින්ම කරන්න තියෙන්නේ උඩින් තියෙන රූප සටහනේ පරිදි පස්-මුළු තාරකාවක හැඩේට මදටිය ඇට දහය තියන එකයි. එක මදටිය ඇටයකින් නිරූපණය වෙන්නේ රජකම උරුම දහ දෙනෙකුගෙන් කෙනෙක්. අපි කියමු ප්‍රාදේශීය පාලකයෝ කියලා. කාට හරි රජ වෙන්න පුළුවන් වෙන්නේ ඉතිරි නව දෙනාම "ඉවත් කළොත්" පමණයි.

තමන්ට ලඟින්ම ඉන්න කෙනෙක්ට "ගහල දාන්න" කාටවත් බැහැ. එහෙම කළොත් හැමෝම සැක කරනවා. ඒ වගේම ගොඩක් ඈතින් ඉන්න කෙනෙක්ට ගහල දාන්න හැකියාවකුත් නැහැ. කාට වුනත් විනාශ කරන්න පුළුවන් එකම ඉරක ඉන්න "යාළුවන්ගේ යාළුවන්ව" පමණයි. උදාහරණයක් විදිහට Cට කෙළින්ම ඉවත් කරන්න පුළුවන් G සහ J පමණයි. එතකොට Gට කෙළින්ම ඉවත් කරන්න පුළුවන් C සහ E පමණයි. ඒ කියන්නේ තනි ඉරක තමන්ගේ සිට තුන් වන ස්ථානයේ ඉන්න කෙනෙක්ව. මැද ස්ථානයේ හිටපු කෙනා කලින් ඉවත් වෙලා තිබීම ප්‍රශ්නයක් නෙමෙයි.

දැන් A රජ වෙන්න සැලසුම් කරනවා. මේ වැඩේට වෙනත් අයව යොදවාගෙන තමන්ට ඉවත් කරන්න බැරි අයව ඉවත් කරන්න වෙනවා. පස්සේ ඒ අයවත් ඉවත් කරන්න වෙනවා. කැමති තැනකින් පටන් ගෙන කැමති පිළිවෙලකට වැඩේ කරගෙන යන්න පුළුවන්. වැඩේ කරගෙන යා යුතු පිළිවෙළ කුමක්ද?


4 comments:

  1. මේ ක්‍රීඩා ගැන හරියට දැනගත්තේ ඔබේ ලිපිවලිනුයි. මේවා ලියා තැබීම වැදගත් බව සිතීමමත් අගේ කලයුතුයි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. රජ කෙටවිල්ල
    1 2 3
    E J I
    F G B
    G F E
    D J F
    C H G
    J I C
    H I D
    A G H
    A F J

    ReplyDelete
    Replies
    1. නිවැරදියි. මෙය කළ හැකි ක්‍රම ගණනාවක් තිබෙනවා.

      Delete
  3. බට්ටො පැනලා හරින්නෙ නෑ. දැන් ලෝකයට ලොකූ විනාශයක් වෙන්න යන්නේ.

    කෝවිඩ් කියලා බොරු වසංගතයක් පතුරවලා. දැන් මේකට එන්නතක් කියලා එකකුත් හදනවා. ඒකෙන් ජාන විකෘති කරනවා.

    එලෝන් මස්ක් මොලේට සවිකරන චිප් එකක් හදලා.
    රංග ඩයස් මහතා ඇතුලු කණ්ඩායම සුපිරි සන්නායකයක් හදලා. චිප් එකට උදව්වට.
    ඒ මදිවට මේ කලබල අස්සේ 5G කියලා කාටවත් අවශ්‍ය නැති තාක්ෂණයක් පතුරවන්න පටන්ගෙන.

    තව ටිකක් කල්ගියාම එන්නතයි චිප් එකයි දාගත්තේ නැති අය ත්‍රස්තවාදියෝ කියලා නම් කරයි.

    (මෘගයාගේ සලකුණ අතේ හෝ නලලේ ඇති අය ස්වර්ගයට උරුමකම් නොලබයි.)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: